Divaina - රජ්ගම කඩොලාන විනාශයි !

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


rajgama

* පොල්ගස්දූව සෙනසුනටත් හෙනයක්
* තනිමතයට කලපුව උඩින් පාලමක්
* අවට ප‍්‍රදේශවලට පහසුවෙන් ගමන් කිරීමට මාර්ග පහසුකම් තිබියදී රජ්ගම කලපුව මැදින් පාලමක් මොකටද?

 

තරංග රත්නවීර

rajgama2දවසක් පුරා ගින්නෙන් දැවෙමින් තිබූ රජ්ගම සැඳෑ සුළඟින් නිවී යමින් තිබිණි. ගත වෙලා ගන්නා සුළං රැළිවල පහසින් සිත ප‍්‍රබෝධමත් වූයේය. නෙක විසිතුරු සිත්තම් මැවුණු සැඳෑ අහස යට රජ්ගම කලපුවේ ඔරු කඳක පාවුණු ඒ හෝරාව මතකයට නැෙඟන විට දැනෙන සතුට මේ යැයි කිව නොහැකි තරම්ය. එවැනි නිසල, නිහඬ සුන්දර කඩොලාන පරිසරයක ජීවත්වීමට ලැබීම ද වාසනාවකි. එහෙත් දැන් අප කම්පනයට පත්ව සිටින්නේ සොබාදහමේ අපූර්වත්වය විඳින්නට පින්කර නැති, ඇතැම් පවිටු දේශපාලනඥයන් විසින් රජ්ගම මේ සුන්දර කඩොලාන පරිසරය නැතිබංගස්ථාන කිරීමට පාරක් කැපීමට අරඇදීම ගැනය.

දැන් අප සිටින්නේ එම අලූත් පාර ආරම්භ වන, හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජ්ගම ගොවිජන බල ප‍්‍රදේශයේ අංක 48 කටුදම්පේ ප‍්‍රදේශයේ ඇළ මාර්ගයේය. ඇළේ වම් ඉවුර දිගේ අලූත් පාර පටන් ගන්නේම කුඹුරක් ගොඩකරමිනි. අනවසරයෙන් කුඹුරු ගොඩ කරගෙන ඇළේ වම් ඉවුර දිගේ ඉදිරියට ගමන් කරන නව මාර්ගය රක්‍ෂිත වන වදුලූ බිඳගෙන, පෞද්ගලික ඉඩමක බෑවුමෙන් සහ රජ්ගම කලපුවේ අභයභූමියත් විනාශ කරගෙන ඉදිරියට ගමන් කිරීමට යෝජිතය. අලූතින් කැපෙන පාරට මායිම් වූ ඇළ දිගේ අපි රැගත් බෝට්ටුව රජ්ගම කලපුව දෙසට ගමන් කළේය. දියට බර වූ කඩොලාන පඳුරු අතරින් ඇසෙන කිචි, බිචිය දෙසවනට මිහිරි ආස්වාදයකි. ගොම්මන් කාලයේ වන වදුලූ අතරින් ඇසෙන කණාමැදිරියන්ගේ හඬ, රැහැයියන්ගේ විලාපය රජ්ගම කලපුවේ කඩොලාන පඳුරු අතරින් ද නොඇසුණාම නොවේ. කටුදම්පේ නුගගහකොටුවෙන් ආරම්භ වන ඇළ ගලා බසින්නේ රජ්ගම කලපුවටය. ගාල්ල දිස්ත‍්‍රික්කයේ, හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජ්ගම, දොඩන්දූව, පින්නදූව, කටුදම්පේ යන ග‍්‍රාමයන් මුල් කරගනිමින් හෙක්ටයාර තුන්සිය දහයක ජල කඳක බර දරාගෙන රජ්ගම කලපුව පිහිටා ඇත. මේ ජල කඳ මුහුදට ගලා බසිනුයේ දොඩන්දූව වරාය අසල මෝයෙනි.

රතු පාට හිරු තවමත් කලපුවට ආලෝකයකි. එහෙත් හෝරාවකටත් අඩු කාලයකින් හිරු මියැදෙන බව නම් නිසැකය. ධීවර කර්මාන්තයේ යෙදෙන ප‍්‍රදේශවාසීන් ඔරුවල නැඟී කලපු දියේ ඈත, මෑත පාවෙන අයුරු ද පෙනේ. දැන් අප සිටින්නේ අලූත් මාර්ගයේ කලපුව හරහා පාළම ඉදිකිරීමට යෝජිත ප‍්‍රදේශයේය.

‘‘අලූත් මාර්ගය කඩොලාන පරිසරය කපාගෙන ඇවිත් ගලගොඩවත්ත ප‍්‍රදේශයෙන් කලපුව හරහා පාළම වැටිලා එහා ඉවුරේ හෙන්නතොටට වැටෙනවා. කියන විදිහට අඩි 12 ක් පළල, මීටර් 100 ක් දිග විශාල පාළමක්. අලූතින් කැපෙන පාරෙත් පළල අඩි 12 ක් කියනවා. කෝටි ගානක ව්‍යාපෘතියක්. මේ මාර්ග තැනීමට මූලිකත්වය ගන්න දේශපාලනඥයා ඇතුළු පිරිස කියන්නෙ අලූත් පාර තැනීමෙන් කුමාරකන්දට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් කියලා. ගාල්ල, කොළඹ මාර්ගයට පහසුවෙන් යන්න පුළුවන් කියනවා. මේ පාර කැපීමත් එක්ක මෙතෙක් කාලයක් ගමේ ජනතාව නොදැකපු සුන්දර පරිසරයක් දැකබලාගැනීමට අවස්ථා ලැබෙනවා කියනවා. ඉඩම්වලට විශාල වටිනාකමක් ලැබෙනවා කියනවා...’’ පාවෙන බෝට්ටුව මත හිඳගෙන සිටි පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනාධිපති රජ්ගම විවේකවිහාරී අපේ හාමුදුරුවෝ ලොකු කතාවකට එසේ මුල පිරූහ.

‘‘කුමාරකන්දට ගමන් කරන්න අලූත් පාරවල් ඕන නෑ. කටුදම්පේ මේ පාර ආරම්භ වන තැන ඉඳලා පාර දිගේ විනාඩි 10 කින් කුමාරකන්දට යන්න පුළුවන්. රජ්ගම හන්දියේ ඉඳලා ගාලූ පාරට තියෙන්නෙ කිලෝ මීටර් තුනයි. එහෙම ගමනාගමන පහසුකම් තිබියදී කඩොලාන පරිසරය විනාශ කරගෙන ඇවිත්, කලපුව මැදින් විශාල පාලමක් හදන්න ඕන නෑ. කෝටි ගාණක් නිස්කාරනේ නාස්ති කිරීමක්. අපිට හැෙඟන විදිහට නම් මේ යෝජිත පාර කපන්න යන්නෙ කුමාරකන්දෙ මිනිස්සුන්ට තියෙන ආදරයට නෙමෙයි. කලපුව අයින දිගට පාර කපා ගැනීමට. එතකොට ඉතාම පහසුවෙන් කලපුවේ ඉවුර දිගට හෝටල් ඉදිකරන්න පුළුවන්. රෙස්ටුරන්ට් විවෘත කරන්න පුළුවන්. සංචාරක පුරවරයක් බවට පත්කරගන්න පුළුවන්. ඒ නිසා මේ මාර්ගය හදන්න වලි කන්නෙ දේශපාලනඥයෙක් ඇතුළු ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් විතරයි. කටුදම්පේ බෝක්කුව අසලින් පාර කපාගෙන, කුඹුර ගොඩ කරගෙන එනකොට ඒ දේශපාලනඥයා එතැනට ඇවිත් ඉඳලා තියෙනවා. ‘කුඹුර ගොඩ කරන්නෙ ඇයි’ කියලා අහන හැම කෙනෙකුටම එතුමා කියලා තිබුණේ ‘මේ මගේ වැඩක්...’ කියලා. ඒ වගේම අදාළ ආයතනවල කිසිම අනුමැතියක් නැතිව තමයි, අලූත් පාර හදන්න කටුදම්පේ කුඹුර ගොඩ කරලා තියෙන්නෙ. කරල් පැහිච්ච කුඹුරට තමයි පස් දාලා ගොඩ කරලා තිබුණේ. ඒ ගොඩ කිරීමට විරුද්ධව කතා කරපු කෘෂිකර්ම නිලධාරිණියට පහුගිය දවස්වල මරණ තර්ජනය කරලා තිබුණා. කවුරු තර්ජනය කළා ද කියලා අපි දන්නෙ නෑ. අපි ඒ කාන්තාවගෙන් හාර අවුස්සමින් ඒ ගැන අහන්න ගියෙත් නෑ...’’

‘‘කැලෑව මැදින් ඉදිවෙන මේ පාර පාළු මාර්ගයක් වෙනවා. ඒ වගේම අපරාධ අනතුරු බහුල මාර්ගයක් වෙනවා. තනිපංගලමේ මේ පාරෙ ළමයින්ට, කාන්තාවකට ගමන් කරන්න බැරිව යනවා. ඒ වගේම මේ කලපුව අයින දිගට සේරම ඉඩම් විකිණෙන්නෙ විදේශිකයන්ට. අන්‍ය ආගමිකයන්ට. මේ රජ්ගමට එහෙම වෙන්න දෙන්න බෑ. මේ ඉඩම්වල ජීවත් වෙන්නෙ පාරම්පරික මිනිස්සු. ඒ වගේම රජ්ගම කලපුව ආශ‍්‍රිත ප‍්‍රදේශය හික්කඩුව වගේ සංචාරක කලාපයක් කරන්න ඕනත් නෑ. මේ සුන්දර කලපුව ජාවාරම්කාරයන්ගේ තෝතැන්නක් බවට පත්කරන්න දෙන්නත් බෑ. සංචාරක පුරවරයක් බවට පත් වෙලා නිතරම බෑන්ඞ් ගහගෙන, පාටි දාගෙන, කලපුවේ මෝටර් රේස් පදින්න ගත්තොත් භික්‍ෂූන්වහන්සේ ආරණ්‍ය සේනාසන දෙකට එන්නෙ නැතිව යනවා. අපිට ඉන්නත් බැරිව යනවා. අපිට වෙන්නෙ මේ ඓතිහාසික ආරණ්‍ය සේනාසන දාලා වෙන ප‍්‍රදේශවල වනසෙනසුන් සොයාගෙන යන්න...’’ රජ්ජගම විවේක විහාරී හාමුදුරුවන් කතා කරගෙන යන්නෙ සිත්තැවුලෙන් බව අපට හැෙඟ්.

භික්‍ෂූන්වහන්සේ නමක් පැවිදි ජීවිතයේ විමුක්තියට මුල් තැන දී කටයුතු කරන්නේ නම් මිනිස් වාසයෙන් බැහැර වූ වනගත ප‍්‍රදේශවල වැඩ වාසය කළ යුතු බව බුදුදහමේ ද සඳහන් කර තිබේ. අරක්‍ද්ක්‍දගතෝවා, රුක්ඛමූලගතෝවා, සුක්‍ද්ක්‍දාගාරගතෝවා යනුවෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළහ. විමුක්තිකාමී භික්‍ෂූන්වහන්සේලා වෙනුවෙන් එකල මෙරට පැවති නිදහස් වනගත පරිසරය මේ වන විටත් පවිටු ගිහියන් විසින් විශාල වශයෙන් විනාශ කර දමා හමාර බව සැබෑය. භික්‍ෂූන් වහන්සේලාට ගෝචර වූ පරිසරයක පිහිටි පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයට ද මේ වන විට දැවැන්ත තර්ජනයක් පැමිණ ඇත. රජ්ගම කලපුවේ එක දූපතක පිහිටි පොල්ගස්දූව වන සෙනසුනට පමණක් නොව, ඊට ඉදිරියෙන් ඇති දූපතේ පරප්පදූව වන සෙනසුනට ද එම තර්ජනය එලෙසින්ම බලපාන බව සැබෑය.

එමෙන්ම රජ්ගම කලපුවේ දූපත්හි පිහිටි මේ ආරණ්‍ය සේනාසන අද, ඊයේ ආරම්භ වූ සෙනසුන් නොවේ. වසර සීයකට එහා ගිය ඉතිහාසයක් සහිත විමුක්තිකාමී භික්‍ෂූන්වහන්සේලා නිදහසේ බණ භාවනා කරගෙන ගිය සිද්ධස්ථානය. එමෙන්ම මෙරට සම්බුද්ධ ශාසනයට වීර්යවන්ත ශ‍්‍රමණයන් වහන්සේලා දායාද කළ පින්බිම්ය. පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනය ආරම්භ වී ඇත්තේ 1911 වර්ෂයේ ජුලි 09 වැනිදා. අක්කර හතරහමාරක් සහිත දූපත් භූමිය තුළ පොල්අතු ආවාසයක් හදාගෙන ප‍්‍රථම වරට වැඩ සිටියේ මෙරටට වැඩම කළ ජර්මන් ජාතික ක්‍දාණතිලෝක ස්වාමීන් වහන්සේය. එම ඉඩමේ හිමිකරුවන් විසින් ඒ පින්බිම ක්‍දාණතිලෝක හාමුදුරුවන්ට ලබාදීමත් සමඟ පොල්අතු ආවාසය ඉවත් කොට දායකයන් විසින් පුංචි ආවාසයක් නිර්මාණය කර දී ඇත. අනතුරුව පින්වත් දායක, දායිකාවන් විසින් එම පින්බිමේ ආවාස ගෙවල් කිහිපයක්ම තැනීමට කටයුතු කර තිබේ. වප්ප, කොණ්ඩක්‍ද්ක්‍ද යන දෙනම උපසම්පදා කිරීම පිණිස රජ්ගම කලපුවේ මොරළුවන්ගේ ගල අසල සීමාවක් සාදවා බුරුම සංඝයා වහන්සේලා විසිනමක් එකවර උපසම්පදා කර ඇති බව ද ඉතිහාස පොත්පත්වල සඳහන්ය. එවැනි ශාසනික මෙහෙවරක නිරත වූ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයට පළමු ලෝක යුද සමයේ අනේක විධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව ද සඳහන් වේ. භික්‍ෂූන් වහන්සේලා ඔත්තුකරුවෝ යන සැකය උපදවා එවකට ලංකාවේ නවතා සිටිය පන්ජාබ් ජාතික මහම්මත් ආගමික යුද භටයෝ හතළිස් අටදෙනකු සහ යුරෝපීය මුලාදෑනින් කැටුව පැමිණ පොල්ගස්දූව වන සෙනසුනේ පිහිටි ආවාසවල දොර ජනෙල් කඩා බිද දමා ක්‍දාණතිලෝක ස්වාමීන්වහන්සේව සිරභාරයට ගෙන තිබිණි. පොල්ගස්දූව සතුරන්ට අයිති ඉඩමක් බව හඳුන්වා රාජසන්තක කර ඇත. අනතුරුව ආණ්ඩුවට අයිති ඉඩමක් හැටියට ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණූ විට විලියම් විජයසේකර මහතා විසින් රුපියල් දහසකට මිලට ගෙන තිබේ.

1926 මැයි මාසයේදී ක්‍දාණතිලෝක ස්වාමීන් වහන්සේ සිරභාරයෙන් නිදහස්ව ලංකාවට පැමිණ නැවත පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනය පිහිටුවා ඇත. කොළඹ, රජ්ගම විවිධ ප‍්‍රදේශවල පින්වත් දායක, දායිකාවන් විසින් නැවත ආවාස ගෙවල් ඉදිකර දී, දානශාලාවක් ඇතුළු අනෙකුත් ආරාමික ගොඩනැඟිලි ද ස්ථාපනය කර දී ඇත. ජර්මන් ජාතික ක්‍දාණතිලෝක ස්වාමීන්වහන්සේගේ ගුණ, නුවණ ලොව පුරා පැතිරෙත්ම, බුදුදහම ගැන පැහැදුණු විදේශිකයෝ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනය සොයා එන්නට පටන් ගත්හ. ඔවුහු බුදුදහම අවබෝධ කරගෙන පැවිදි වූහ. ක්‍දාණ සංඝ පරපුර අතර ක්‍දාණමෝලි, ක්‍දාණපෝනික, වප්ප ආදි භික්‍ෂූන්වහන්සේලා ක්‍දාණතිලෝක ස්වාමීන් වහන්සේගේ ප‍්‍රධාන ගෝලයන් වූහ. අපවත් වී වදාළ ඇමරිකන් ජාතික කෝවිධ හිමි, බි‍්‍රතාන්‍ය ජාතික ක්‍දාණවීර හිමි, ජර්මන් ජාතික ක්‍දාණවිමල හිමි, මාතර ක්‍දාණාරාම හිමි, කුටුකුරුන්දේ ක්‍දාණානන්ද හිමි ඇතුළු මෑතකදී මෙලොවින් සමුගෙන ගිය ඩෙන්මාර්ක් ජාතික ඥාණදීප අපේ හාමුදුරුවෝ ද පොල්ගස්දූව ආරාණ්‍ය සේනාසනයේ පැවිදි දිවිය ආරම්භ කර පසුකාලීනව එම සෙනසුනේදීම උපසම්පදාව ලබාගත් භික්‍ෂූන් වහන්සේලාය. එහෙයින් පෙල්ගස්දූව ආරණ්‍ය සේනාසනය යනු මෙරට සම්බුද්ධ ශාසනයට මහා මෙහෙවරක් ඉටු කර ඇති පින්බිමකි. ථෙරවාදී බුදුදහමේ එක් සුවිශේෂී සංධිස්ථානයකි. එමෙන්ම අවට ප‍්‍රදේශවාසීන්ට ධර්මයේ යථා අවබෝධය ලබාදෙන පන්සලකි. ගම පුරා පිණ්ඩපාතය වඩින භික්‍ෂූන්වහන්සේලාට දානය පිරිනමා පින්වතුන්ට කුසල් රැස්කරගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ ද මේ ආරණ්‍ය සේනාසන නිසාය. අදටත් එම පින්බිමේ ස්වාමීන් වහන්සේලා දහ, පහළොස්නමක් බණ භාවනා කරගෙන වැඩ සිටින්නාහ. පවිටු දේශපාලනඥයන් විසින් අනවශ්‍ය මාර්ගයක් ඉදිකරමින් කෙළෙසීමට සූදානම් වන්නේ ඒ සුසිවතුන්ගේ භූමියයි. ඒ ඓතිහාසික පින්බිමේ නිදහසයි.

‘‘මේ කඩොලාන පරිසරයේ විවිධාකාර සංචාරක පක්‍ෂීන් ජීවත් වෙනවා. හරිම ලස්සනයි. මෙරටට ආවේණික විවිධ සතුන් ජීවත් වෙනවා. දුර්ලභ ශාක, බෙහෙත් පැළෑටි බහුලව තියෙන පරිසරයක්. මේ පරිසරයේ වටිනාකම දන්නේ මේ ගහකොළ, සතා සීපාවා දකිමින් කාලයක් තිස්සේ ජීවත් වෙන අපි. ඒ වගේම භික්‍ෂූන් වහන්සේලාගේ සිවුරු පඬු ගහන්න ගන්නේ ගස්වල කොළ, පොතු. කඩොලාන ශාකවල හොඳට පඬු තියෙනවා. ඒත් සිවුරු පඬු ගැසීමට කඩොලාන ශාක භාවිත නොකරන ලෙසට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කර ඇත්තේ කඩොලාන ශාකයේ වටිනාකම හඳුනාගෙන ඒ දුර්ලභ පරිසර පද්ධති ආරක්‍ෂා කර ගැනීමට. ඒත් වර්තමාන සමාජයේ ඇතැම් මිනිස්සු සොබාදහමේ වටිනාකම දැන, හෝ නොදැන මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් පරිසරය විනාශ කරනවා. දිගින් දිගටම පරිසරයට සැහැසිකම් කරනකොට සොබාදහම කම්පාවට පත් වෙලා වියරු වැටෙනවා. සුනාමිය වගේ ස්වාභාවික විපත් දැන් හික්කඩුවේ ඇතැම් දේශපාලනඥයන්ට, ව්‍යාපාරිකයන්ට අමතක වෙලා. ඒ නිසා තමයි මෙවැනි පරිසර විනාශ කරන්න පෙළඹෙන්නෙ...’’ විවේක විහාරී අපේ හාමුදුරුවෝ නැවතත් කතා කළහ. අහස කළුවරය. මෝදු වෙමින් තිබූ සඳ ද වැහි වලාකුළු වසාගෙනය. හද කම්පනයට පත් කරවන මේ කතාව ඇසෙන විට කලපු දිය අඳුරු නොවුණොත්ය පුදුමය.

අවට ගම්වාසීන් පවසා සිටියේද රජ්ගම කලපුව ඉවුර දිගේ අලූතින් ඉදිවීමට යන පාර ඇතැම් දේශපාලනඥයකුගේ ඕනෑකමට පමණක් සිදුවන බවය. එහි යටි අරමුණ මෙරටට පැමිණෙන සංචාරකයන්ට රිසි සේ සතුටුවීමට රජ්ගම කලපුව සංචාරක පාරාදීසයක් බවට පත් කිරීමය. කඩොලාන පරිසරය විනාශ කර කලපුවේ ඉවුර දිගට සංචාරක හෝටල් තැනීමය. අලූතින් මාර්ග නොකැපුණ ද රජ්ගම කලපුවට සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් නැති බවද ගම්මු අප සමඟ පැවසූහ. හිමිදිරි පාන්දර සිට ගොම්මන් අඳුර වැටෙන තෙක් බෝට්ටුවල නැඟී මේ කඩොලාන පරිසරයේ සුන්දරත්වය විඳින සංචාරකයන් සුලබ බව ද ඔවුහු අපට පැවසූහ. සංචාරකයන් කැමතිි මෙවැනි නිසල සුන්දර පරිසරයක විඳින්නටය. එහෙත් සංචාරකයන් දඩමීමා කරගත් හික්කඩුවේ ඇතැම් දේශපාලනඥයකුට ඇවැසි කලපු දිය බයිස්කෝප් පාරාදීසයක් බවට පත් කර මුදල් ගැරීමටය.

යහපාලන රජය පිරිහීමට ප‍්‍රධාන වූ සාධක අතර වනාන්තර සහ කඩොලාන පරිසර පද්ධති විනාශය ප‍්‍රමුඛ විය. රටේ ජනතාව බහුතර මනාපයෙන් පත් කරගත් මේ ආණ්ඩුව යටතේ පරිසර විනාශයන් කිසිලෙසකින්වත් බලාපොරොත්තු නොවේ. එහෙත් රටේ අවාසනාවට තවමත් කැලෑ විනාශය අඩු වී නැත. එරුවුවන්කුලම, ආනවිලූන්දාව, තබ්බෝවේ කැලෑ කැපීම ගැන විටින් විට පසුගිය දිනවල පුවත් මැවිණි. එම වනාන්තර විනාශයන් යට දේශපාලන ඥාතීන් සිටින බව ද වාර්තා විය. රජ්ගම කලපුවේ කඩොලාන පරිසරය විනාශ කර තැනීමට සූදානම් වන පාර යට සිටින්නේ ද ප‍්‍රදේශයේ දේශපාලනඥයෙකි. ජාතියේ නාමයෙන් රට තුළ සිදු වන පරිසර විනාශය නතර කිරීමට මේ රජය වග බලාගත යුතුය. පරිසරයේ සුන්දරත්වය නොදකින දේශපාලන කාපාලූවන්ට රිසි සේ රඟන්නට ඉඩදීම මේ ආණ්ඩුවේ ද පිරිහීමේ එක සාධකයක් වන බව සිහිපත් කර තැබිය යුතුය.

රට සංවර්ධනය විය යුතු බව සැබෑය. ජනතාව පවතින රජයට බහුතර බලයක් ලබා දී ඇත්තේ රට සංවර්ධනය කර නිදහසේ ජීවත්වීමට සුන්දර පරිසරයක් නිර්මාණය කරගැනීමටය. ඒ සුන්දර රටේ සංචාරක පාරාදීසයන් ඇති කළ යුතුය. සුන්දර උද්‍යානයන් නිර්මාණය විය යුතුය. පුළුල් මං මාවත් ඇති කළ යුතුය. එහෙත් එම සංවර්ධනය සිදු වන්නේ සොබාවික පරිසරය විනාශ කරමින් නම් එය රට වැසියන්ගේ මිනී වළ කපනවා විනා රටට යහපත් නොවේ. අපට හුස්ම වැටෙන්නේ සොබාවික පරිසරය සුරක්‍ෂිතව තිබුණොත් පමණි.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles