Divaina - අඟහරුට යන ලංකාවේ තැප්‍රොබේන්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 

mars

මතීෂ සේනානායක


අඟහරු ග‍්‍රහයා එහෙමත් නැත්නම් රතු ග‍්‍රහයා අද සමාජයේ තාරකා විද්‍යාව දන්නා නොදන්නා පෙර පාසල් යන දරුවාගේ පටන් හොඳාකාරව දන්නා ග‍්‍රහලොවකි. මෙම රතු ග‍්‍රහයා සිනමා අධ්‍යක්ෂකවරුන්ට චිත‍්‍රපට සෑදීමට, කතුවරුන්ට විද්‍යා ප‍්‍රබන්ධ කෘති නිර්මාණයට මෙන්ම ලිපි නිර්මාණයට උල්පතක් බඳුය. ජ්‍යොතිෂවේදීන්, කලාකරුවන් වැනි විවිධ විෂය පථයන්ට සම්බන්ධ පුද්ගලයින්ට මෙම ග‍්‍රහලොව දැනුම ලබාදෙන තෝතැන්නක් බඳුය. එසේ නම් විද්‍යා පරීක්ෂකයන්ට, අභ්‍යවකාශ ක්ෂෙත‍්‍රයට සම්බන්ධ පුද්ගලයින්ට අඟහරු ග‍්‍රහයා කොපමණ වැදගත් වනු ඇත්ද? ඔවුනට අඟහරු යනු තමන්ගේ පර්යේෂණ හා ගවේෂණයන්ගේ අතිශය තීරණාත්මක නැවතුම්පලකි. ඔවුනගේ මේ ඇති වී තිබෙන කුතුහලය කොතෙක් ද යත් 2011 වසරේ දී අඟහරු වෙත දියත් කෙරුණු කුතුහලයේ රෝවර් යානය එසේත් නැත්නම් ”කියුරියෝසිටි” රෝවර් යානය සාක්ෂි දරනු ඇත. රෝවර් යානයක් යනු වෙනත් ග‍්‍රහලොවක හෝ ආකාශ වස්තූන්ගේ මතුපිට පෘෂ්ඨය හරහා යමින් එම ග‍්‍රහලොව ගවේෂණය කරන උපකරණයකි. මෙවැනි රෝවර් යානා සෑදීමේ දැනුම සහ පහසුකම් ඇත්තේ අතිශය දියුණු අභ්‍යාවකාශ ක්ෂේත‍්‍රය තුළ තම නාමය පතුරවා ඇති රටවල් ය. අපේ ශ‍්‍රී ලංකාවෙන් මෙවැනි රෝවර් යානාවක් සෑදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා යැයි ඔබට කිවහොත් අනිවාර්යෙන්ම ඔබ පුදුම වනවා නිසැකයි.

පසුගිය කාලය තුළ ලංකාව තාක්ෂණික ක්‍ෂේත‍්‍රයේ විශිෂ්ට නිර්මාණ තුළින් එනම් වේගා මොටර් රථය, රාවණා 1 කියුබ් සැට් සැටලයිටය කක්ෂ ගත කිරීම වැනි ව්‍යාපෘති තුළින් ලෝකය හමුවේ ගෞරවයට පත‍්‍ර වී ඇත. එම ගෞරව තව තවත් වැඩි කිරීමේ අරමුණෙන් ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මුල්වරට ”තැප්‍රොබේන්” රෝවර් යානය පෙරටු කරගත් SEDS Sri Lanka නම් ලංකීය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සැදුම්ලත් අභ්‍යාවකාශ ගවේෂණ හා පර්යේෂණ ව්‍යාපෘතින් දියත් කරන මෙම සංවිධානය දරන්නේ අපමණ කැප කිරීමකි.

මෙම සුවිශේෂී රෝවර් යානා ව්‍යාපෘතිය අදියර කිහිපයකින් ඉටු කිරීමට SEDS Sri Lanka සංවිධානය පිඹුරුපත් සකසා ඇති අතර එහි එක් එක් කොටස් නිර්මාණය කිරීම සඳහා රජයේ මෙන්ම පුද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්ගේ දායකත්වය ලබා ගැනීම තුළින් මෙම නිර්මාණය ලාංකීය විශ්වවිද්‍යාල සිසුන් අතින් නිමවන විශිෂ්ටතම නිර්මාණ ගොන්නට අයත් වේ. මෙම ව්‍යාපෘතියේ, නායකත්වය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කසුන්ත මධුමාල් මහතා විසින් ලබා දෙන අතර උපදේශනය හා මග පෙන්වීම කොළඹ විශ්වද්‍යාලය හා IESL පෞද්ගලික විශ්වවිද්‍යාලය මූලික කරගනිමින් කරන ලදී. සන්නිවේදනය හා රෝවර් යානයේ බඳ කොටස නිර්මාණය කිරීමේ වගකීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ද, අඟහරු ග‍්‍රහයාගේ මතුපිට පෘෂ්ඨය විදීමෙන් එහි පස් සාම්පල් එකතු කොට පර්යේෂණය කිරීමේ යාන්ත‍්‍රණය (Drilling Mechanism) ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය හා රුහුණු විශ්වවිද්‍යාලයන් ගෙන් ද, රෝවර් යානයේ රෝබෝ අත නිර්මාණය කිරීම, මෘදුකාංග නිර්මාණය සහ ඉලෙක්ට්‍රොනික උපාංග නිර්මාණය මොරටුව විශ්වවිද්‍යාලය මගින් ද නිර්මාණ කටයුතු සිදු කරන ලදී. මෙම කොටස් නිර්මාණයෙන් අනතුරුව ඒවා එකලස් කරන ලද්දේ ස්ථාන දෙකක දීය. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්ව විද්‍යාලය තුළයි.

අප තවදුරටත් ”තැප්‍රොබේන්” රෝවර් යානයේ අභ්‍යන්තරයට එබී බැලූවොත් එහි ඇති කුඩා පර්යේෂණාගාරයට Drilling ක‍්‍රියාවලිය හරහා පස් සාම්පල් ලබාගෙන ඒවා එහිදීම පර්යේෂණයන්ට බඳුන්කොට පර්යේෂණ වාර්තාවක් ලබා ගැනීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂීම ලක්ෂණය අතර තවද නාසා ආයතනය මගින් අඟහරු වෙත දියත් කෙරූ රෝවර් යානා මෙන්ම සියලූම තාක්ෂණික උපාංගවලින් මෙම රෝවර් යානය බලගැන්වේ. එම වෑයමේ මුල් පියවර ලෙස, 2019 වසරේ සැප්තැම්බර් මස ”තැප්‍රොබේන්” රෝවර් යානය පෝලන්තයේ පැවති යුරෝපානු රෝවර් අභියෝගතා (Europe Rover Challenge) තරගයට ඉදිරිපත් කෙරූ අතර පැවතුනු මූල්‍ය බාධා හමුවේ වුවද පෝලන්තයට යානය රැගෙන යෑමට නොහැකි වුවද ව්‍යාපෘතියේ ප‍්‍රගතීන් හා වීඩියෝ පට වාර්තා සහතික කිරීමෙන් පමණක් රටවල් 50 කටත් අධික සංඛ්‍යාවක් අභිබවමින් අවසන් කණ්ඩායම් 20 අතරට පැමිණීමට ”තැප්‍රොබේන්” රෝවර් යානයට හැකිවූයේ එහි ඇති විශිෂ්ටත්වය නිසාය. ඉන් නොනැවතුනු ඔවුන් දකුණු ආසියානු අඟහරු ගවේශණ රෝවර් යානා තරගයට ද (South Asia Mars Society Rover Challenge) රෝවර් යානය ඉදිරිපත් කෙරුණු අතර ඉදිරියේ දී ඇමරිකාවේ පැවැත්වීමට නියමිත ලොව විශාලම රෝවර් යානා නිෂ්පාදන තරගාවලිය වන විශ්වවිද්‍යාල රෝවර් තරගාවලියටද (University Rover Challenge) ”තැප්‍රොබෙන්” රෝවර් යානය ඉදිරිපත් කිරීමට එහි නිෂ්පාදන කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටී.

”තැප්‍රොබේන්” වැනි රෝවර් යානාවක් සෑදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන අතර මෙවැනි රෝවර් යානයක් සෑදීමට අති විශාල දැනුම් සම්භාරයක් තිබීම පමණක්ම ප‍්‍රමණවත් නොවන බව ඉහත තරගවලදී පැමිණි බාධක වලින්ම පිළිබිඹු වන කරුණකි. නමුත් නිෂ්පාදක කණ්ඩායම පවසන්නේ මෙම රෝවර් යානයේ අඩුපාඩු සහිත කොටස් සෑදූ පසු විශාල වියදමක් ඉදිරියේදී වැය නොවන බවත් මේ සඳහා අනුග‍්‍රහයක් ලැබුණහොත් ඉදිරියේ දී විශිෂ්ට නිර්මාණයක් ලෙස ”තැප්‍රොබේන්” රෝවර් යානාය සම්පූර්ණයෙන්ම නිම කිරීමට හැකියාවක් පවතින බවත්ය. එලෙස අනුග‍්‍රහයක් දීමට බලාපොරොත්තු වෙන අයෙක් හෝ ආයතනයක් වෙතොත් SEDS Sri Lanka සංවිධානයේ සමාජ මාධ්‍ය පිටු හරහා සම්බන්ධ වන ලෙස නිෂ්පාදක කණ්ඩායම ඉල්ලා සිටී. තවද SEDS Sri Lanka සංවිධානය මගින් ඉදිරියේදී ශ‍්‍රී ලංකාවේ පළමු වතාවට පෘථිවියේ ඉහළ වායුගෝලයට බැලූනයක් දියත් කිරීම මගින් ලොව ඉහළම රටවල් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගන්නා පෘථිවි ඡායාරූපවලට සමාන ඡායාරූප හා අභ්‍යාවකාශ ක්ෂේත‍්‍රයට සම්බන්ධ බොහෝ ප‍්‍රයෝජන ඉතාමත් අඩු වියදමකින් ලබාගැනීමට සූදානමින් සිටී.

මෙම රෝවර් යානය අනාගතයේ දී ශ‍්‍රී ලංකාවේ නාමය ලොව පුරා බැබලවීමටත් ඉදිරියේදී මෙවැනි නිර්මාණ තුළින් රට පුරා සිටින නව නිර්මාණ ශිල්පීන්ට ද තමන්ගේ නිර්මාණ ලක්මවගේ නාමයෙන් ලෝකයට ඉදිරිපත් කිරීමට උත්තේජනයක් වනු නොඅනුමානයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles