Divaina - මං තීරූ නොතැකු තකතීරූ මග මරුවෙක් රණවිරු ජීවිතයක් බිලිගත් හැටි... අනතුරෙන් බරපතල තුවාල ලැබූ කපිතාන්වරයාටත් අසාධ්‍යයයි...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


army

* සුදු අයියා 20 වැනිදා ගෙදර එන්න හිටියේ...
* දූලා දෙන්නම තාම පුංචියි දැන් මම මොනව කරන්නද? තවම අපිට ඉන්න හිටින්න ගෙයක්වත් නෑ...

 

තරංග රත්නවීර
මහරගම එස්. ඞී. අබේසිංහ
අම්බලන්ගොඩ ජසෙන්තු


army2මහ මග අනතුරක් සිදුවීමට ඇසිපිය හෙළන ඇසිල්ල ප‍්‍රමාණවත්ය. හදිසි අනතුරක් යනු බලාපොරොත්තු නොවූ හේතුවක් නිසා ඇති වන අසාමාන්‍ය තත්ත්වයකි. පසුගිය 20 වැනිදා හිමිදිරියේ නුගේගොඩ ගුවන් පාළම ලෙයින් තෙත් වූවේද ඇසිපිය හෙළන ඇසිල්ලෙනි. ඒ නොහික්මුණු පෞද්ගලික බස් රියැදුරකුගේ නොමනා රිය පැදවීමේ කාලකණ්ණි ප‍්‍රතිඵලයක් නිසාය.

රථ වාහනවලට හිතක් පපුවක් නැති බව සැබෑය. රෝද කිහිපයක් මත එහා මෙහා දුවන යකඩ ගොඩකි. එයට මිනිසුන්, මිනිස් සිතුම් පැතුම් තේරුම් ගැනීමට නොහැකිය. එහෙත් එම යකඩගොඩ ධාවනය කරනු ලබන්නේ හිතක් පපුවක් ඇති මිනිසෙකි. එහෙයින් සංයමයකින් යුක්තව රිය ධාවනය කරවීමට ඒ මිනිසාට බුද්ධියක් තිබිය යුතුය. එහෙත් නුගේගොඩ ගුවන් පාලම මත යුද හමුදා ජීප් රථය යටකරගෙන ගිය පෞද්ගලික බස් රියැදුරා රිය ධාවනය කර ඇත්තේ මන්දබුද්ධිකයෙක් ලෙසය. ගුවන් පාලමක් මත වාහනයක් ධාවනය කළ යුතු වේග සීමා මායිම් නොකොට මාර්ග නීති සියල්ල උල්ලංඝනය කරමින් විදුලියක් මෙන් ඉදිරියට ධාවනය කළ බස් රථය තවත් බස් රථයකට ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි යුද හමුදා කැබ් රථය කුඩුපට්ටම් කරගෙන ගොස් ඇත. එහෙත් මරාවේෂයෙන් පැමිණි බස් රථයට සිදුව ඇත්තේ සුළු හානියකි. බස් රථයේ රියැදුරු අසුනට ඉදිරිපස මුල්ල තැලී යෑම පමණි. කුලප්පු වූ බස් රියැදුරාට සීරීමක් හෝ නැත. බස් රථයේ ගැටී කුඩුපට්ටම් වී ගිය ජීප් රථයේ රියැදුරු ලාන්ස් කෝප‍්‍රල් ගොඩගේ ලලිත් බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලේදී නොඑන ගමන් ගියේය. කැබ් රථයේ ගමන් කරමින් සිටි යුද හමුදා කපිතාන් අරඹේලියනලාගේ ගාමිණී සනත් කුමාර සහ සාමාන්‍ය සෙබළ 28169 රත්නායක මුදියන්සේලාගේ ලසන්ත මනෝජ් ගුණරත්න මේ සටහන තබන මොහොත වන විටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටී. ඔවුන් දෙදෙනාගෙන් යුද හමුදා කපිතාන්වරයාගේ ජීවිතය දැඩි අවධානමක පසු වන බව ද වාර්තා වේ.

මරදානේ පිහිටි 142 බලසේනා අනුඛණ්ඩයට අයත් යුද හමුදා කඳවුරේ රාජකාරියේ නිරතව සිටි යුද හමුදා කපිතාන්වරයා සහ සෙසු නිලධාරීන් දෙදෙනා ගමන් කර ඇත්තේ කොහුවල යුද හමුදා කඳවුරේ රාජකාරි කටයුත්තක් සඳහාය. ඔවුන් තිදෙනා හිමිදිරියේම යු.හ. 51221 දරන කැබ් රථයෙන් පිටත් වී ඇත්තේ කඩිනමින් රාජකාරිය නිමා කර වටිනා කාලය ඉතිරි කරගැනීමටය. එහෙත් ඔවුන්ට ගමන් කිරීමට සිදු වූයේ නුගේගොඩ ගුවන් පාළම මතට පමණි. අවිස්සාවේල්ලේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටි මගීන් සහිත පෞද්ගලික බස් රථය ගමනට හරස් වූයේ රට, ජාතියට වටිනා ජීවිත තුනක් අනතුරේ හෙළමින්ය.

පසුගිය 20 වැනිදා හිමිදිරි 5.30 ට පමණ සිදු වූ අවාසනාවන්ත අනතුරින් අප අතරින් සමුගෙන ගිය ලාන්ස් කෝප‍්‍රල් ගොඩගේ ලලිත් අම්බලන්ගොඩ නින්දාන වතුරවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. 14 වන විජයබා රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කළ ඔහුගේ සේවා කාලය වසර දහතුනකි. මුලතිව් ප‍්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි කෝප‍්‍රල් ලලිත් මරදාන යුද හමුදා අනුඛණ්ඩයට අනුයුක්ත කර ඇත්තේ වසර දෙකහමාරකට පෙරය. මේ වන විට තිස්පස් වැනි වියේ පසුවන හේ දෙදරු පියෙකි. දියණියන්ම දෙදෙනෙකි. වැඩිමහල් දියණිය දිහන්සි ජනිත්මාය. වයස අවුරුදු හතරකි. දෙවැනි දියණිය නෙතුකි ඕෂධීය. ඇයට වයස අවුරුද්දකි. කෝප‍්‍රල් ලලිත් අවසාන වරට නිවසට පැමිණ ඇත්තේ පසුගිය ජූලි මස 12 වැනිදා සිය බාල දියණියගේ උපන් දිනයටය.

‘‘12 වැනිදා ඇවිල්ලා චූටි දුවගේ උපන් දිනය සමරලා නිවාඩු නෑ කියලා පහුවැනිදා උදේම කෑම්ප් එකට ගියා. එදා දුවල පුතාලා සේරම ඇවිත් හිටියා. එදා ? අක්කලා, අයියලා එක්ක සුදු පුතා හොඳටම සතුටු වෙලා උදේම කෑම්ප් එකට යන්න ගියේ 20 වැනිදා නිවාඩු එනවා අම්මේ කියලා...’’ ලලිත්ගේ මව සෝමලතා අම්මා හැඬුම් අතරින් අපට කතා කළාය.

army3‘‘මට දරුවො පස්දෙනයි. මේ නැති වෙලා ඉන්නෙ පවුලෙ බඩපිස්සා. පුංචි කාලෙ ඉඳලම එයාට කිව්වේ සුදු පුතා කියලා. එයාට ගමේ අය කතා කළෙත් සුදු කියලා. දැන් මගේ සුදු පුතා සදහටම නැති වුණා. මල්ලිට අනතුරක් වෙලා කියලා ලොකු පුතා කියනකොටත් මම මෙහෙම දෙයක් හිතුවේ නෑ. පුතා බලන්න මමත් කොළඹ යන්න හැදුවේ. ඒත් පැයක් දෙකක් යනකොට ලොකු පුතා කතා කරලා මට කිව්වා ‘අම්මා කොළඹ යන්න ඕන නෑ, සුදු මල්ලි නැති වෙලා’ කියලා. කොහොමද පුතේ එහෙම කතාවක් අම්මා කෙනෙක් අහගෙන ඉන්නෙ... නොදරුවො දෙන්නෙකුට තාත්තා නැති වුණා. තරුණ බිරිඳකට ස්වාමිපුරුෂයා නැති වුණා. මේ වගේ අපරාධ කරන රියැදුරන්ට දෙන්න තියෙන උපරිම දඬුවම දෙන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා...’’ සෝමලතා මවගේ කතාව සැබෑය. මහ මඟ මරණ මඟක් කරන තිරිසන් රියැදුරන්ට නීතිය අකුරටම ක‍්‍රියාත්මක කළ යුතු බව සැබෑය. එහෙත් තරාතිරම මත නීතිය නැමෙන තැන් අප සමාජයේදී ඕනෑ තරම් අත්දකින්නට ලැබෙන බව සැබෑය. නීතිය නැමෙන හැටි පැත්තකින් තබා ලලිත්ගේ බිරිඳ චතුරිකා ගයන්ති අසලට අපි ගියෙමු.

‘‘මගේ සුදු මහත්තයා 19 වැනිදා ?ත් මට ෆෝන් එකෙන් කතා කළා. ‘දරුවො දෙන්නා හොඳින් නේද.. හෙට හවස් වෙන්න ඉස්සර වෙලා ගෙදර එනවා’ කියලත් කිව්වා. මහත්තයාව බලන්න ආපු සර්ලත් කිව්වා ලලිත් 20 වැනිදා නිවාඩු එන්න හිටියෙ කියලා. අනේ බලන්න... මගේ මහත්තයා ආපු හැටි...’’ ලාන්ස් කෝප‍්‍රල් ලලිත්ගේ ආදරණීය බිරිඳ චතුරිකාට හදවත දැවෙන වේදනාව වචන කිරීමට නොහැකි තරමට කම්පනයට පත්ව සිටින්නීය. ලලිත්ගේ නිසල දේහය තැන්පත් කර ඇති ඔහුගේ මහගෙදර එකම විලාපයකි. අම්මා, ආච්චි අම්මා, නැන්දා මාමලා විලාප නඟමින් හඬන විට ලලිත්ගේ පුංචි දියණියන් දෙදෙනා ද අම්මට තුරුලූ වී හඬන අයුරු දකින ඕනෑම හදවතක් හැඬිණි. කඳුළු සඟවාගත් අපි නැවත චතුරිකාගේ කඳුළු කතාවට සවන්දී සිටියෙමු.

‘‘අපි විවාහ වුණේ 2009 අවුරුද්දේ. එදා ඉඳලාම අපිට කියලා ගේ කෑල්ලක් හදාගන්න ඕනෑ කියලා සුදු කිව්වා. මේ මෑතකදී බැංකු ණයක් අරගෙන ඉඩම් කෑල්ලක් ගත්තා. අත්තිවාරම් දාන්න නැකත තිබුණෙ මේ මාසෙ 24 වැනිදා. මහත්තයා 20 වැනිදා නිවාඩු එන්න හිටියේ ඉඩම සුද්ද කරලා ගෙපළ අඳින්න බලාගෙන. දැන් මම කොහොම ගෙවල් හදන්නද? අපේ සියලූ බලාපොරොත්තු ඉවරයි...’’ චතුරිකාගේ කඳුළු වියළුණු දෙනෙත් සාලය මැද මිනී පෙට්ටිය මත නිදා සිටින ලලිත් දෙසට පාවිණි.

army4‘‘කසාද බඳින්න ඉස්සෙල්ලා මම පෞද්ගලික ඩිස්පැන්සරියක බෙහෙත් දෙන්න ගියා. ලලිත්ලාගේ ගෙදරට ආපු දවසෙ ඉඳලා ඒ ජොබ් එකට ගියෙත් නෑ. අපිට තිබුණු එකම ආදායම් මාර්ගය මහත්තයාගේ පඩිය විතරයි. ඒ පඩියෙන් කාලා ඇඳලා දරුවන්ගේ වැඩ ටික කළාට පස්සෙ ඉතිරියක් වුණේ නෑ. කසාද බැන්ඳ දවසෙ ඉඳලා අදටත් අපි ජීවත් වෙන්නෙ ලලිත්ගේ මහගෙදර...’’ චතුරිකාගේ මුව කොඳුරන්නීය. දුබල හඬ නොඇසෙන ගානය. අප ඇයට ඕනෑකමින් සවන් දී සිටි හෙයින් හීන් හඬ දෙසවනේ රැඳිණි.

ලලිත් මහගෙදරින් සදහටම සමුගෙන යෑමට තවත් හෝරා තුනකට වැඩි නැත. ලලිත් උපන් වතුරවිල ගම්වාසීන් පමණක් නොවේ, චතුරිකාගේ මහ ගෙවල් පිහිටි බටපොළ කොබෙයිතුඩුව ප‍්‍රදේශවාසීන් මෙන්ම විවිධ ප‍්‍රදේශවලින් පැමිණි හිත, මිතුරු, ඥාතීන්ගෙන් මුළු වත්තම පිරී ගොස්ය. ඒ කිසිම කෙනෙක් සමඟ කතා බහ කිරීමට චතුරිකාට සිහියක් නැත.

‘‘අනේ මගේ මහත්තයා පාරේ පයින් ගියත් බොහෝම පරිස්සමින් ගියේ. මේ අනතුරටත් එයාගේ කිසිම වරදක් නැතිලූ. ඉදිරියෙන් බස් එක රෝන්සයිඞ් එනකොට ‘සර් බස් එක ඇඟට එනවා...’ කියලා තියෙනවා.

‘පැත්තකට කපන්න... කපන්න...’ කියලා සර් කියනකොටත් බස් රථය කැබ් එක යට කරගෙන ගිහින්... මංතීරු දෙකේ ගුවන් පාළම උඩ කොහේට කපන්නද... පාර අයිනේ වැට. මගේ මහත්තයට හිතන්නවත් වේලාවක් නැතිව ඇති... ඉස්පිරිතාලයට අරගෙන යනකොටත් නැති වෙලා කියලා තමයි කියන්නෙ. මේ වගේ විපතක් නම් අහන්න සිද්ධ කරන්නවත් එපා. තවත් දරු පවුලකට මෙවැනි ගින්දරක් නම් උහුලන්න නොලැබේවා...’’ කඳුළු අතරින් චතුරිකා ගයන්ති එසේ ප‍්‍රාර්ථනා කරන්නීය.

යුද හමුදා කැබ් රථය යටකරගෙන ගිය පෞද්ගලික බස් රථයේ රියැදුරුට සිදු වූ මාරාන්තික අනතුරත් සමඟ ඇති වූ කම්පනයට අධික රුධිර පීඩන තත්ත්වය ඇති වී රෝහල්ගත කෙරිණි. එහෙත් ඔහුව මේ මස 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. මේ සටහන තබන මොහොත වන විටත් බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මැද හේ කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ගනු ලැබේ.
ඒ කඳුළු කතාව එතැකින් අවසානය. එහෙත් අපි යනෙන මගෙහි අනාරක්‍ෂිත භාවය තවමත් එසේමය. මහ මඟදී කිනම් මොහොතක මරුවා කඩා පාත්වේදෝ කියා කිසිවකුට කිව නොහැකිය. හෙටත් අපට මහ මඟ ගමන් කිරීමට සිදුව ඇත්තේ මරණයේ සෙවණැලි මැදිනි. එහෙයින් මහ මඟ ගමන් කරන විට ඉදිරියෙන් ගමන් කරන්නේ කුලප්පු වූ හරක් රැළකි. පිටුපසින් ගමන් කරන්නේද එම හරක් රැළේම කොටසකි. ඒ වස්සන් අතර මනුෂ්‍යයෙක් ලෙස රිය ධාවනය කිරීමට ඔබ වගබලා ගත යුතුය. එය ඔබේ ජීවිතයට ආරක්‍ෂාවකි. එහෙත් කුලප්පු වූ වස්සෙක් ඔබ එන මඟ හරස් නොකරන්න අපි ප‍්‍රාර්ථනා කරන්නෙමු...
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles