Divaina - කියන තරම් ලේසියෙන් 19 ඉරන්න පුලූවන්ද?

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

19

ඔස්ටින් ප‍්‍රනාන්දු


පසුගිය දිනක ඉංග‍්‍රීසි පුවත්පතකට 19 වන ව්‍යවස්ථා සංශෝධනය අළලා මවිසින් ලිපියක් පළකිරීමෙන් අනතුරුව එය සිංහලට පරිවර්තනය කිරීම මැනවයි යෝජනා ඉදිරිපත්වීය. ප‍්‍රස්තුත විෂය ගැන විස්තරාත්මකව සලකා බැලීම් වඩා සුදුසුයි සිතුවෙමි. ඒ දේශපාලන වාසියක් සඳහා නොව, යහපාලනය කූටප‍්‍රාප්තය කාලීන අවශ්‍යතාවක් ලෙස සලකමිනි. දහනමවැනි සංශෝධනය දීර්ඝ හෙයින්ම අන්තර්ගතය ගැන මුළුමනින් සාකච්ඡාවක් කිරීම මෙහිදීද අපහසුය.

දහනමවන ව්‍යවස්ථා සංශෝධනය දේශපාලනීකරණය

දහනමවන සංශෝධනය මගින්, විශේෂයන්ම නව ජනාධිපතිවරයාගේ බලතල හීනවීමෙන් රටේ ස්ථාවරහාවය, ආරක්ෂාව, සංවර්ධනය ආදී අංශ සාර්ථකව පරිපාලනයට ඉඩ ඇහිරීම නිසා එය ව්‍යවස්ථාවෙන් මකාදැමිය යුතු යැයි පිරිසක් තර්ක කරති. එසේ කළහොත්, එකාධිපතිත්ත්වයට මග පෑදෙන හෙයින් එය මැඬලන 19 සංශෝධනයට අත නොතැබිය යුතු යැයි තවත් පිරිසක් තර්ක කරති. ඒ නිසා පළමු කණ්ඩායම මහ මැතිවරණයේදී 2/3 බලයක් ඉල්ලන අතර, දෙවැන්නා එම බලය නොදිය යුතුයි පවසති. පවත්නා ව්‍යවස්ථාව අනුව 19 සංශෝධනය ඉවත් කිරීමට 2/3 බලයක් අවශ්‍ය වේ. වෙනත් කෙටි පාරවලින් එය ලබාගැනීමටද යෝජනා ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ගෙනා 18 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව 19 සංශෝධනය සම්මත කළ හෙයින් වත්මන් රජය ඊට එරෙහි වේ. එය ශ‍්‍රී ලංකා දේශපාලනයේ ගතිලක්ෂණයකි. දෙවනුව, 18 සංශෝධනයත්, ශේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක්ද ලබා පැවැත්වූ ජනාධිපති මැතිවරණයකින් පරාජය වීමේ පරිභවයට වත්මන් අගමැතිවරයා සමාව නොදේ. තෙවනුව, විධායක ජනාධිපතිවරයෙකුට කාර්යක්ෂමව හා සාපල්‍යව කාර්යසාධනයට අවශ්‍ය වන්නේ 19 සංශෝධනය වැනි නීති නොව 18 සංශෝධනය වැනි නීතියැයි රජයේ බලධාරීහු සිතති. සිව්වැනිව, 19 සංශෝධනය බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය කරතැයිද, එය ජනාධිපතිනි කුමාරතුංගට හා ජනාධිපති සිරිසේනට එරෙහිව රනිල් වික‍්‍රමසිංහ රජයන්ගේ ගැටුම්වලින් පිළිබිඹු වෙතියි තර්කයකි. මෑතදී ජනාධිපති සිරිසේන ජනාධිපති, අගමැති බල කේන්ද්‍රයන්ට අමතරව කථානායකද තුන්වැනි බලකේන්ද්‍රයක් වී යැයි චෝදනා කළේය.

දහනමවැනි සංශෝධනය කෝකටත් තෛලයක්ද?

1987-2015 දක්වා ”ඊනියා ඒකාධිපති ස්වරූපයේ බලතල” තිබුණද කිසිම ජනාධිපතිවරයෙක් රට ඒකාධිපතිත්ත්වයකට ගෙන නොගියේය. එසේනම් වර්තමානයේ එම බලතල ලබාගත්තොත් ඒකාධිපතිත්වයකට රජය යනු ඇතියැයි විපක්ෂයේ චෝදනාව ප‍්‍රශ්නාභිමුඛ වේ. මෙම කාලසීමාවේදී සමරූපීව ආර්ථික සංවර්ධනය නොවීමත්, දිගටම යුදමය තත්ත්වයක් තිබීමම මේ බලතල ජනාධිපතිවරයෙකුට ලැබීම ආරක්ෂාව හෝ සංවර්ධනයට දේවවරමක් හෝ ආරූඩයක් සලසතැයි යන රජයේ තර්කය බිඳියි. ඇත්තටම අද සිදුවී ඇත්තේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු කඩාවැටුණු ආරක්ෂාව හා සංවර්ධනය මැතිවරණයේදී ජනමතය උදුරාගැනීමට හොඳ ඇමක්වීම පමණි.

එමෙන්ම, එකී බලතල ඉවත්කොට 2015-2019 තුළ රට යුද්ධයකට හෝ එකාධිපතිත්ත්වයට නොගියේය. එහෙත්, පොලිස් කොමිසමකට, තොරතුරු දැනගැනීමට නීති සැදුනද, පොලිස් කූඩු තුළ මිනීමැරුම් අඩුකිරීමට හෝ දේශපාලන නායකයන්ගේ අනවශ්‍ය වියදම්, දූෂණ තොරතුරු උකහා ගැනීමට ජනතාව අසමත් වීය. අපේක්ෂිත සංවර්ධනයද අප‍්‍රමාණවත් වීය. රට විදේශ බලපෑමට වැඩියෙන් නතුවිය. තවද අපේක්ෂිත නෛතික සහන වුවද වින්දිතයන්ට නොලැබුණි. උදාහරණ ලෙස 19 සංශෝධනය යටතේ පිහිටුවූ අතුරුදන් වූවන්ගේ කාර්යාලය හා හානිපූර්ණ කාර්යාලය නොන්ඩි ගැසීමෙන්ම එය ඔප්පුවීය. මින් ගම්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධන පමණක් දුබල සංවර්ධනය හෝ විදේශ බලපෑම් නෂ්ට නොකරන බවය.

එසේනම් මෙම බලතල තිබුණද, නොතිබුණද රටට හානියක් නොවෙතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත්, ආංශිකව ධනාත්මක භාවයක් දැක්කේනම් ඒ පුද්ගලානුබද්ධ වීය. උදාහරණ ලෙස ජේ. ආර්. ජයවර්ධන හා මහින්ද රාජපක්ෂ යුගවල පිළිවෙළින් ආර්ථික හා මතුව්‍යුහ සංවර්ධනය දැක්විය හැකිය. ඊනියා බලතල නැතිනම් රට සංවර්ධනය, ආරක්ෂාව නොරැකෙන බව එක පාර්ශ්වයක් පැවසීමත්, ඊනියා බලතල 19 සංශෝධනයෙන් ඉවත් කළහොත් රට ඒකාධිපතිත්වයට යතියි විශ්වසනීයව කෑමොර දෙන්නට හේතුව ධුරගත ජනාධිපතිවරයාගේ චරිත ස්වරූපය මත කෙරෙන දේශපාලනික විවරණයන් වෙතැයි පෙනේ. ඒ බව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද්විතීයනයට පැවැත්වූ ජනමත විචාරණ සන්දර්භයේදීත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ බල කේන්ද්‍රණය කළ 18 සංශෝධන සන්දර්භයේදීත් විවරණය විය.

රජයේ හා විපක්ෂයේ නායකකාරකාදීන් යන දෙපාර්ශ්වයම අද ව්‍යාජයෙන් ප‍්‍රසිද්ධියේ එළිදක්වන්නේ සිය බලපරාක‍්‍රම ස්ථාපිතයට 19 සංශෝධනය මෙවලමක්, ආයුධයක් බවට පත්කර ගැනීමයි. නැතිව හදවතින්ම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හෝ සංවර්ධනය ප‍්‍රචලිතය නොවේ. එහෙයින් දැනට පෙනෙන්නේනම් 19 සංශෝධනය කාටත්, කාලීනව, කෝකටත් තෛලයක් බවය.

දහනමවැනි ව්‍යවස්ථාවේ ශක්තීන්

පුරවැසියන්ට වැඩි සංතෘප්තියක් ලැබීමට නීතිමය ප‍්‍රතිපාදන 19 ව්‍යවස්ථාව සංශෝධනයෙන් ශක්තිමත් කර ඇත. ව්‍යවස්ථාවේ 14අ යටතේ තොරතුරු වෙත ප‍්‍රවේශවීමේ අයිතිය මූලික අයිතියක් ලෙස නීතිගත වීම උදාහරණයකි.

ජනාධිපති ධුරකාලය වසර පහකට සීමාකිරීම 19 ව්‍යවස්ථා සංශෝධනයේ 30 (2)න් සිදුවීය. මෙම සංශෝධනයේ නෛතිකත්වය ජනාධිපති සිරිසේනගේ මත විමසීමකින් තීරණය වී ඇත. නව ව්‍යවස්ථාවකින් මෙය වැඩිකරයිද, අඩුකරයිද, නැතහොත් සමහර රාජ්‍ය කර ඇති පරිදි ”ජීවිත කාලයටම” පවරාගනීදැයි වැටහීමක් කිසිවෙකුට නැත. දහනවවැනි සංශෝධනය ඉරාදමා පසුව ගන්නා ක‍්‍රියාමාර්ගය රහසකි.

දහනමවන සංශෝධනයෙන් පසුව, 31(2) ව්‍යවස්ථාව පරිදි ජනාධිපතිධුර දැරීමේ සීමාව (දෙවරක්) ඉවත්කිරීමට අවශ්‍යතාවක් රජයට ඇති යැයි සිතේ. ධුර කාලසීමා දීර්ඝය බලයේ සිටින ප‍්‍රජාතන්ත‍්‍රීය රජයන් ප‍්‍රිය කරන, එකාධිපතීන්ද ප‍්‍රියකරන්නකි. සැමවිටම විපක්ෂ ඊට එරෙහි වෙති. විශේෂයෙන්ම අද රජයේ මිලිටරිකරණ නැඹුරුවක් පිළිබඳ සමාජගතවී ඇති සන්දර්භය තුළ මෙය වැඩිදුරටත් විවේචනය වේ. ආරක්ෂක අංශයන්ට වර්තමාන ජනාධිපතිගෙන් ලැබෙන ප‍්‍රමුඛතාව ඔහුගේ හමුදා පිළිබඳ විශ්වසනීයත්වය මත සිදුවේ. එහෙයින්ම, දේශපාලන සන්දර්භයන් තුළ එය විවේචනය වේ. සමහරවිට 19 සංශෝධනය ඉරාදැමීම ඒකාධිපතිත්වයට මුල් පියවරක් ලෙස සැක පහළවීම ගොඩනැගී ඇත්තේ මේ පදනම නිසා විය හැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සවිමත් කිරීමට 19 සංශෝධනය බිහිකළ පාර්ශ්වයන් ඒනිසාම පළකරන වීරෝධය පැහැදිලිය.

ව්‍යවස්ථා සභා රාජකාරි

ව්‍යවස්ථා සභාව දහනමයෙන් නිර්දේශපාලනීකරණයේ ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරයි. දහනම වැනි සංශෝධනය නිශේධ කළ පසු ව්‍යවස්ථා සභාවේ කාර්යයන් ඉටුකරන නීතිමය පදනමක් රජයේ ප‍්‍රකාශකයන්ගෙන් නොඇසේ. එහෙයින් අපට උපගමනයන් මත යැපීමට සිදුවේ. එය සාවද්‍ය වීමටද ඉඩ ඇත. එහෙත්, ඉතා පහසු විකල්පයක් ලෙස දහඅටවැනි සංශෝධනය හෝ ඊට වැඩිමනත් ප‍්‍රතිපාදන එකතුකිරීම සිදුවිය හැකිය. දහඅටවැනි සංශෝධනයෙන් අඩු නීති පද්ධතියක් පාලකයන් යොදාගනිතැයි නොසිතේ.

ප‍්‍රජාන්ත‍්‍රවාදීව 17 හා 19 සංශෝධනයන්ගෙන් ව්‍යවස්ථාදායක සභාවක් (පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා බාහිරයින් ඇතුළත්) යෝජනා කෙරිණි. ඊට නො-අනුගත ප‍්‍රතිපාදනයන් 18 සංශෝධනයේ වීය. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගෙන් පමණක් සමන්විත ”පාර්ලිමේන්තු සභාව”ක් ව්‍යවස්ථාදායක සභාවේ කාර්යයන් ඉටුකරගැනීමට යොදා ගැනීමෙනි. එය ජනාධිපතිගේ අභිමතයට, බලපෑමට අනුගතවීමේ විභවය වැඩි ආයතනික ව්‍යුහයක් හෙයින් පූර්ණ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවේ.

දහඅටවැනි සංශෝධනයයෙන් ”පාර්ලිමේන්තු සභාව” මගින් කොමිෂන් සභාවලට සාමාජිකයන් සහ උපලේඛනගත ධුරවලට නාමයෝජනා කෙරිණි. එසේවුවද, 18 සංශෝධනයෙන් පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ අබිභවා ක‍්‍රියා කිරීමට ජනාධිපතිට හැකිය. දහනමවැනි සංශෝධනය, මේ පත්වීම් ව්‍යවස්ථාදායක සභා නිර්දේශ අනුව කළයුතු බවත්, දැනුම්දී සතිදෙකක් තුළ ජනාධිපති පත්කිරීම් නොකළහොත් ”පත්කරනු ලැබූ ලෙස” සැලකීමට 41ආ (4) යටතේ හැකිවීමත් ජනාධිපති ඒකාධිකාරීවීම වැළැක්වීය. ඉදින්, පළමුවැනි විකල්පය සුරැකීමට ඕනෑම ජනාධිපතිවරයෙකු රුචිවනු ඇත.

දහනමවැනි සංශෝධනය යටතේ පත්වීම් බොහෝදුරට සාර්ථකව සිදුවිය. ජනාධිපති සිරිසේන විසින් යෝජනා කළ ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනා නාම යෝජනා දෙකක්ම ප‍්‍රතික්ෂේප කිරීමම ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වයට හොඳම සාක්ෂි විය. ව්‍යවස්ථාදායක සභාව නාමයෝජනා කළ සමහරුන් පත්කිරීමට ජනාධිපතිවරයා එකඟ නොවූ අවස්ථා ඉතාම අතලොස්සක්ද වීය. එහෙත්, එක්තරා කොමිසමක සභාපති ධුරයට නාමයෝජිතයා පත්කිරීමට ජනාධිපතිවරයා ක‍්‍රියා නොකර විකල්ප කෙනෙකු ව්‍යවස්ථාදායක සභා ලැයිස්තුවෙන්ම පත්කිරීමෙනුත්, ජනාධිපති විරෝධතාව මත තවත් කොමිසමකට විකල්ප නාමයෝජනා ඉදිරිපත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව ක‍්‍රියාකිරීමෙනුත්, සභාවේ නාමයෝජනාවක් පිළිගැනීමට තරයේ එරෙහි වූ ජනාධිපතිවරයා අවසානයේදී එකී නාමයෝජිතම පත්කිරීමෙනුත් ප‍්‍රදර්ශනය වූයේ, දෙපාර්ශ්වය අතර සහජීවනය සාර්ථකව ගොඩනැගිය හැකි බවය. මෙම ක‍්‍රියාදාමය සඳහා දෙපාර්ශ්වයේම සුඛනම්‍ය බවක් තිබිය යුතුය.

ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිගේ බලල් අතක් නොවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහණයකි. එමෙන්ම ජනාධිපති වෙනුවට ව්‍යවස්ථාදායක සභාව එකාධිපතියෙකුද නොවිය යුතුය. මේ එකඟතාවන් ඇතිකර ගැනීමට හැකිවූයේ දෙපාර්ශ්වයේ අදහස් අවිධිමත්ව සන්නිවේදනය තුළිනි. එහෙයින් 19 සංශෝධනය දෙස විවේචනාත්මක සමාලෝචන අක්ෂියෙන් බලා මෙවැනි ප‍්‍රභේදයන් නීත්‍යනුකූලව නිවැරදි කරගැනීම එය ඉරාදැමීමට වඩා ඉතා උචිතය. නව ව්‍යවස්ථාවක් සැදීමේදී හෝ 19 සංශෝධනයට වෙනස්කම් කරන්නේනම් මෙම ස්ථාවරයන් අඩංගු කළ හැකිය.

මෑතදී ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා සභාව පිළිබඳව සඳහනකදී කථානායකවරයාද තීරණාවලියේ තුන්වැනි බල කේන්ද්‍රයක් වී යැයි විවෙචනයක් කළේය. ජනාධිපතිවරයාගේ අභිමතයම පරිදි ක‍්‍රියාකිරීම එකාධිපතිත්ත්වයට පියනැගීමක් වීම මෙන්ම, ව්‍යවස්ථාදායක සභාවේ එකාධිපතිත්ත්වයටද ඉඩදීම නුසුදුසුය.

දහනමවැනි සංශෝධනය සහ අමාත්‍ය මණ්ඩලය

දහනමවැනි සංශෝධනය මගින් ඇතිකළ දේශපාලන ගැටුම්කාරී සිද්ධි තීව‍්‍ර වූයේ ඇමැති මණ්ඩලය හා අගමැතිවරයා පිළිබඳ වූ වෙනස්කම් නිසාය. සාමාන්‍යයෙන් ඇමැති මණ්ඩල පත්කිරීමට අදාළ ප‍්‍රතිපාදනවලට අමතරව, ජනාධිපති රජයේ ප‍්‍රධානියා, සන්නද්ධ සේවා සේනාධිපතිවරයා වේ. 33 (2) (උ) යටතේ යුද්ධ හා සාමය ප‍්‍රකාශ කිරීමට බලතල ලැබීමත්, 61ඉ (අ) හා (ආ) යටතේ පිළිවෙළින් හමුදාපතිවරුන් හා පොලිස්පති පත්කිරීමේ බලය පෞද්ගලිකවම ඔහු සතුය.

වගන්ති 43 (2) යටතේ ආරක්ෂක අමාත්‍යවරයාද පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් අතුරෙන් පත්කිරීමට ජනාධිපතිවරයාට සිදුවේ. ජනාධිපති මන්ත‍්‍රීවරයෙකු නොවේ. එය වගවීම පිළිබඳව සංකීර්ණ පරිපාලන ගැටලූවක් ඇතිකරයි. මෙනිසා අද රටට ආරක්ෂක ඇමැතිවරයෙකු අහිමිකර ඇත.

ශ‍්‍රී ලංකාවට වඩා ආරක්ෂක ගැටලූ ඇති ඉන්දියාවේ ආරක්ෂක ඇමැති අගමැතිවරයා නොවේ. එහෙයින් අපට ජනාධිපතිගෙන් බැහැරව ආරක්ෂක ඇමැතිවරයෙකු සිටිය නොහැකිදැයි ප‍්‍රශ්නයකි. එහෙත් වගවීම පිළිබඳ ස්ථාවරයෙන් ජනාධිපතිවරුන්ට ඉවත්වීමට අපහසු මනෝභාවයක් ඇත්නම්, ඒවා ඇවිලීමට නොව සමනයට පිළියම් ව්‍යවස්ථාව මගින් සෙවීය යුතුවේ.

වගන්ති 33අ මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේද, මහජන ආරක්ෂාවට බලපවත්නා නීති ආදිය යටතේද ස්වකීය ”බලතල, කාර්ය සහ කර්තව්‍ය යථාපරිදි ක‍්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටුකිරීම” පිළිබඳව ජනාධිපතිවරයා ”පාර්ලිමේන්තුවට වගකිව” යුතුය. ඒ සඳහන ”ස්වකීය” බලතල ගැන මිස වෙනත් ආරක්ෂක ඇමැතිවරයෙකුගේ ක‍්‍රියාත්මක කිරීමක් හෝ ඉටුකිරීමක් ගැන නොවේ. වෙනත් ඇමැතිවරයෙකු ඉටුකළ රාජකාරි පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැඳීමෙන් ඔහුට කෙරෙන නිලමය අසාධාරණයකි. අනික් අතට ”ස්වකීය” බලතල ලෙස අනුන්ගේ බලතලවලට වගවීමට ලක්කිරීමෙන් ජනාධිපති ධුරය බාල්දු වේ. එහෙයින් රටේ ආරක්ෂාව ව්‍යවස්ථාපිතව ජනාධිපතිවරයාගේ වගකීමක් ලෙස සලකා ජනාධිපතිවරයාට සාධාරණයක් සඳහා 19 සංශෝධනය ප‍්‍රතිශෝධනය කළ හැකිය.

1978 ජනරජ ව්‍යවස්ථාවේ 44(2) යටතේ අමාත්‍යවරයෙකුට නොපැවරුනු යම් විෂයක් හෝ කාර්යයක් වීනම් ඒවා ජනාධිපතිවරයාට භාරව සිටිය හැකිවුවත්, 43(2) නිසාත්, 1978 ව්‍යවස්ථාවේ 44(2) 19 සංශෝධනයෙන් ඉවත්කර ඇති නිසාත් ජනාධිපතිට අමාත්‍යවරුන්ට ඇඟිලි ගැසීමේ බලය දුබල කරයි.

දහනමය විසින් මීට වඩා ඇමැති මණ්ඩලයට බලපෑමේ බලය දුබලකර ඇත්තේ අගමැති ඉවත්කිරීමේ බලතල 46(2) ව්‍යවස්ථාවෙන් හීන කිරීමෙනි. අගමැති ඉවත් කිරීමත් ජනාධිපතිගේ අත්සනින් යැවුණු ලිපියකින් 1978 ව්‍යවස්ථාවේ 47(අ) යටතේ සිදුවුවද, එම වගන්තිය 19 යටතේ මකාදමා ඇත. ඇමැතිවරුන් ඉවත් කිරීමද 46(3) (අ) යටතේ අගමැති ”උපදෙස්” මත සිදුකළ යුතුය. මෙසේ බලගතුවුණු
අගමැතිවරයෙකු 19 සංශෝධනය ඉරාදැමීමට කැමතිවීම ප‍්‍රශ්න කළ හැකිය.

1978 ව්‍යවස්ථාවෙ 47(4) යටතේ අගමැති ඉවත් කළ හැකියි යන උපගමනයෙන් ක‍්‍රියාකිරීමට උත්සාහයක් 2018 මුලදී තිබුණි. එය අපගේ උපදෙසින් නතරවුණද, 2018 ඔක්තෝබරයේදී එයම සිදුවිය. ”උපදෙස්” දියාරුවන අවස්ථා අප අත්දැක ඇත. එය දූෂ්‍ය කළ හැකි බවද දනිමු.

මීටම සබැඳිව අගමැති හා කැබිනට් මණ්ඩලය විසිරවීමද ගැටලූ ජනනය කර ඇත. මේ බලය ජනාධිපතිට ඇතැයි 2018 ඔක්තෝබර් ව්‍යවස්ථා අර්බුදයේදී සිංහල ව්‍යවස්ථා පිටපත වගන්ති 48(1) (ඉංග‍්‍රීසි පිටපතේ නොමැති ”ධුරයෙන් ඉවත්කරනු ලැබුවේ වුවද”) මත පිහිටා තර්ක කළද, එය අධිකරණ ක‍්‍රියාවලියන් ජනාධිපතිගෙන් ගිලිහුණි. එහිදී වැදගත්වූයේ සභාගැබ තුළ මන්ත‍්‍රීවරුන්ගේ සහාය වැඩි කාහටද යන්නය. එම තීරණාත්මක බලය නැවත ලබාගැනීමට ඕනෑම ජනාධිපතිවරයෙකු අනිවාර්යයෙන්ම යුහුසුළු වනු ඇත. 2003 දී කුමාරතුංග ජනාධිපතිනිය වික‍්‍රමසිංහ රජය එක පෑන් පහරින් ඉවත්කළ අන්දම මත පිහිටාම 19 සංශෝධනය මෙසේ සකස් කිරීමට 19 සංශෝධනයට දැන් චූදිතයා වන අගමැති වික‍්‍රමසිංහ ක‍්‍රියාකිරීම අරුමයක් නොවේ.

සක‍්‍රීයව බලන විට, අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම ඤ42 (2) යටතේ% සැමවිටම ඇමැතිවරුන් ක‍්‍රියාත්මක කරයිද යන්නද ගැටලූවකි. ඇමැති මණ්ඩල සාකච්ඡා මාධ්‍යයට බෙදාහැරීම වැනි ක‍්‍රියා නොව ඉන්දියාව සමග 2017 අපේ‍්‍රල් මස අත්සන් කළ ආර්ථික අවබෝධතා ගිවිසුම මෙහිදී මා උදාහරණයක් ලෙස දක්වන්නේ 19 සංශෝධනය තිබුණද ඉන් රිංගා ගොස් සාමූහික වගවීමද නිශේධ කළ අවස්ථා ඇති බව පෙන්වීමටය. සාමූහික වගවීම තිබියදී අමාත්‍ය මණ්ඩලය තීරණයක් පරිදි ඉන්දු-ලංකා සම්මුතියකට එළඹීම නිසා ජනාධිපති සිරිසේන පිළිබඳව සාවද්‍ය අදහසක් ඉන්දියාවේ ඇතිවන්නටද ඇත. එය 19 සංශෝධනයේ දුරස්ථ අතුරු පලයකි!

දහනමයෙන් එළඹී ජනරජ ව්‍යවස්ථාවේ වගන්ති 46 (1) (අ) පරිදි අමාත්‍ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව තිහකට සීමාවේ. 46(4) පරිදි ”ජාතික ආණ්ඩුවක්” පත්කර ගැනීමේදී අමාත්‍ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව තීරණය පාර්ලිමේන්තුවෙනි. යහපාලන රජය, එක් සන්ධානගත පක්ෂයකින් තේරුණු එකම මන්ත‍්‍රීවරයෙකු සම්බන්ධ කරගෙන, ජාතික ආණ්ඩුවක් තනාගැනීමට ප‍්‍රයත්නයක් වී යැයි මාධ්‍යය සමාජගත කළේය. එය එසේ නොසිදුවිය. එහෙත්, එවන් ක‍්‍රියාමාර්ග, ඉතා ප‍්‍රගතිශීලීයි පැවසෙන 19 සංශෝධනය ලොව පැරණිම වෘත්තියට නැඹුරු කිරීමක්ය. දූෂ්‍ය කිරීමක්ය.

ඉදිරි දැක්ම

මෙහි සඳහන් කළ කරුණුවලට පරිබාහිරව පාර්ලිමේන්තුව පිළිබඳවත්, ජනාධිපති ධුරයේ සුදුසකම් ආදිය පිළිබඳවත්, මැතිවරණ, අන් කොමිෂන් සභා ආදිය පිළිබඳවත් තවත් සංශෝධනයන් සිදුකර ඇත. මෙහිදී ඒවා පිළිබඳව සාකච්ඡා නොවන්නේ ඒවායේ වැදගත්කමෙහි අඩුවක් නිසා නොවේ. ලිපියේ අන්තර්ගතය පිළිබඳව ස්වයං සීමාවක් පිහිටුවාගත් හෙයිනි.

කෙසේ වුවද, මෙහි සඳහන් කරුණු මත වුවද කිව හැක්කේ 19 සංශෝධනය විසින් ඉටුකර ඇති සාධනීය වෘද්ධීන් දිගටම පවත්වාගෙන යෑම වඩා ප‍්‍රඥාගෝචර බවය. එය ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ස්ථාපනයටත්, වගවීමෙන් රාජ්‍ය පාලනයටත් හේතුකාරක වන හෙයිනි.

එහෙත් මෙහි දක්වා ඇති පරිදි එයට වැඩිදියුණු කිරීම් අවශ්‍යය. (උදා: ජනාධිපති හා ආරක්ෂක අමාත්‍යාංශය) ඒවා සංශෝධනය කරන විටක විධායකය බලගැන්වීමම හෝ ව්‍යවස්ථාදායකයම බලගැන්වීම යන කූඩුවලට සීමා නොවිය යුතුය. ජනතාවගේ අයිතීන්, ඔවුන්ට සාධාරණය, යුක්තිය කෙසේ දිගුකළ හැකිද යන සංකල්පය මත පිහිටා ක‍්‍රියා කිරීම වඩා සුදුසුය. එය දේශපාලනික වශයෙන් එකාධිපති මගකට පිවිසීමට සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී චින්තනයෙන් බැහැරව ඉටුකර ගත යුතුය.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles