Divaina - ලොක්කෙකු වන්නට ගියත් ඉන්දියාවේදි සොක්කෙකු වී ජීවත් වෙලා... පාතාලේ අංගොඩ ලොක්කා වසදී මරා දැමුවාද? ජීවතුන් අතරද?

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


angoda

* අපරාධ රැසකට හවුල්
* මරණය සිදුකලා යැයි කියන්නේ අනියම් බිරිඳ


හේමන්ත රන්දුණු


angoda2පාතාල ලෝකයේ කෙරුම්කාරයන් ලෙස වැජඹෙමින් සිටින අපරාධකාරයන්ට වැඩි ආයුෂ නැත. පාතාල ලෝකයේ මොන තරම් කෙළිකාරයකු වුවද උන් ජීවත් වන්නේ මරන බියෙන් මිරිකෙමින්ය.

ඒ පාතාලයේ හැටිය. කොයිතරම් චණ්ඩිකම් දැම්මද මේ කාලකණ්ණින්ගේ ජීවිත තණ අග පිණි බිඳු වැනි ය.

ආයුධවලින් සන්නද්ධ කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් විසිකර සුපිරි ජීවිත ගත කරමින් සිටිය ද මේ පාතාල අපරාධකාරයන්ට තමුන් ළඟ ඉන්නා එකා විශ්වාස නැත.

මෑත ඉතිහාසයේ පාතාල ලෝකයේ නමගිය අපරාධ රැසක් සිදුකළ අංගොඩ ලොක්කා නමැති අපරාධකරු පසුගිය වසර දෙකක පමණ කාලයක් තිස්සේ සිටියේ ඉන්දියාවේ ය. මේ කාලකණ්ණි පාතාල චරිතය පිළිබඳව වැදගත් තොරතුරක් පසුගියදා ආසන්නට ලැබුණේය.

යුරෝපා රටක පදිංචි වී සිටින මාගේ පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් පසුගිය බදාදා දහවල් දුරකථන ඇමතුමක් ලැබුණේ ය. පාතාලය ගැන උනන්දුවක් දක්වන මේ මිතුරා කියා සිටියේ අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා ඉන්දියාවේදී ඝාතනය කර ඇති බවට තොරතුරක් ලැබී ඇති බවය.

මේ පිළිබඳව සොයා බලන ලෙස එම ඔත්තුකරු කීවේය. පොලිසියෙන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් මේ පිළිබඳව විමසීම් කරද්දී එම සිද්ධියේ සත්‍යතාවක් ඇති බව ඔවුන් ද කියා සිටියහ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් කීපදෙනෙකුම කියා සිටියේ අංගොඩ ලොක්කා ඝාතනය කර ඇති බවට පිළිගත හැකි තොරතුරු ලැබී ඇති බවය.

තොරතුරු ලැබෙන ආකාරයට අංගොඩ ලොක්කා ඝාතනය කර ඇත්තේ වසර කීපයක් තිස්සේ ඔහුගේ අනියම් බිරිඳ ලෙස ජීවත් වූ සුරූපී කාන්තාවක විසින් ය.

angoda3ආරංචිමාර්ග පවසන ආකාරයට මෙම ඝාතනය සිදු වී ඇත්තේ ඉන්දියාවේ කොයිම්බතූර් ප‍්‍රදේශයේදීය. මෙම ඝාතනය සිදු වී ඇත්තේ ඉකුත් 03 වැනිදා ය.

අංගොඩ ලොක්කා කායවර්ධන ව්‍යායාම් දෛනිකව කරන පුද්ගලයෙකි. කායවර්ධන ව්‍යායාම් කරද්දී පානය කරන ශක්තිජනක පානයක අධි මාත‍්‍රාවක් ඔහුට පානය කිරීමට ලබා දී මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු මේ වන විට ලැබී තිබේ.

එම ශක්තිජනක පානය ගැනීමෙන් දැඩි ලෙස රෝගාතුර වී ඇති අංගොඩ ලොක්කා කොයිම්බතූර් ප‍්‍රදේශයේ රෝහලකට රැගෙන යද්දී ඔහු මියගොස් ඇති බවට තොරතුරු ලැබී තිබිණි.

තොරතුරු ලැබෙන ආකාරයට අංගොඩ ලොක්කාගේ මරණයෙන් පසු ඔහුගේ ආදාහන කටයුතු කොයිම්බතූර් ප‍්‍රදේශයේදී සිදුකර තිබේ.

ආරංචිමාර්ග පවසන ආකාරයට මෙම අනියම් බිරිඳ අංගොඩ ලොක්කා ඝාතනය කිරීමට කටයුතු කර ඇත්තේ ඔහු සමඟ කාලයක් තිස්සේ තිබූ වෛරයක් පිරිමසා ගැනීමටය.

ශක්තිජනක පානයට අධි මාත‍්‍රාවක් පානය කිරීමට ලබා දී අංගොඩ ලොක්කාගේ ඝාතනය මෙම කාන්තාව විසින් සිදුකර ඇත්තේ නීතියෙන් බේරීම සඳහා ය.

ශක්තිජනක පානය අධිමාත‍්‍රාවක් පානය කිරීමට දීමෙන් ඇති වූ හදිසි හෘදයාබාධයකින් අංගොඩ ලොක්කා මියගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ. අංගොඩදී ඝාතනයට ලක් වූ පුද්ගලයකුගේ සුරූපී බිරිඳක් අංගොඩ ලොක්කා සිය අනියම් බිරිඳ ලෙස තබාගෙන සිටින්නේ මීට වසර දෙකක් පමණ පෙර සිටය. ආරංචි මාර්ග පවසන අන්දමට මෙම සුරූපී කාන්තාව නිතර ඉන්දියාවේ සංචාරය කරන තැනැත්තියකි. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පෙර මෙම කාන්තාව ඉන්දියාවට ගොස් ඇති අතර ඇය අංගොඩ ලොක්කා සමඟ මාස ගණනක් තිස්සේ වාසය කරමින් සිට ඇත.

කොරෝනා ව්‍යාප්තියෙන් ඉන්දියාව දැඩිව පීඩා විඳිද්දී මෙම කාන්තාව අංගොඩ ලොක්කාගේ ඝාතනය ඉතාම සූක්‍ෂමව කර ඇත්තේ මේ මරණය කෙරෙහි අවධානයක් යොමු නොවීමට වගබලා ගනිමින්ය. ඉන්දියාව පුරා කොරෝනා රෝගය තදින් පැතිර යන නිසා අංගොඩ ලොක්කාගේ ඝාතනය එක්තරා මරණයක් පමණක් වී ඇති බව ද අනාවරණය වී ඇත්තේය.

අංගොඩ ලොක්කා නමැති පාතාල නරුමයා ඝාතනය කළ බවට විවිධ අංශ මගින් තහවුරු කළ ද එය ඇසින් දුටු සාක්‍ෂියක් මෙතෙක් ලැබී නොමැත. එහෙත් මේ පාපතරයා මරා දැමූ බවට පිළිගත හැකි තොරතුරු රැසක් මේ වන විට ලැබී තිබේ.

කෙසේ වෙතත් මේ පාපතරයාගේ මරණය සිදු වී ඇත්නම් එය මේ රටේ නීතිගරුක පුරවැසියන්ට ශුභ ආරංචියක් වනු ඇත්තේය. ඒ මන්ද යත් අංගොඩ ලොක්කා මෙරට පාතාලයේ කෲරතර මිනිස් ඝාතන රැසක් මෙන්ම ප‍්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයකු වීම නිසාය. සමාජයට කිසිදු සෙතක් නැති මුළු රටටම මහා පිළිලයක් වූ මේ පාපතරයා මේ ආකාරයට හෝ ඝාතනය වී ඇත්නම් එය මෙරට නීතිගරුක පුරවැසියන්ට මහත් අස්වැසිල්ලකි.

පාතාල ලෝකයේ මහ කෙරුම්කාරයකු යැයි කියමින් මෙරට සිටි අංගොඩ ලොක්කා රටින් පලා යන්නේ 2017 වර්ෂයේදීය. ඒ කළුතර බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් පසුවය.

පාතාල නායකයකුව සිටි රණාලේ සමයං ඉලක්ක කර කළුතරදී බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කිරීමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළේ මේ පාතාල මැරයා විසින්ය. මේ ප‍්‍රහාරයෙන් රණාලේ සමයා මෙන් ම බන්ධනාගාර නිලධාරීන් ඇතුළු හත්දෙනකු ජීවිතක්‍ෂයට පත්වූහ.

පොලිස් පරීක්‍ෂකවරයකුගේ නිල ඇඳුමින් සැරසී පැමිණි අංගොඩ ලොක්කා බන්ධනාගාර බස් රථය අම්බුෂ් කර ප‍්‍රහාරයක් එල්ල කළේය.

මේ ප‍්‍රහාරයේ මහමොලකරු වූයේ මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා ය. ඒ වන විට මධුෂ් සිටියේ ඩුබායි රාජ්‍යයේ ය. මෙරට පාතාලයේ ගෝර්ඞ්ෆාදර් යැයි කියා ගනිමින් මධුෂ් නමැති මිනීමරුවා රටපුරා අපරාධ රාශියක් ක‍්‍රියාත්මක කළේය.

සමයං ඝාතනය කිරීමෙන් පසු අංගොඩ ලොක්කා සහ ලඩියා ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගැනීමට මධුෂ් සැලසුම් කර තිබුණේය. එහි මුල් පියවරක් ලෙස අංගොඩ ලොක්කා බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට ගෙන්වා ගත්තේය. එහෙත් මධුෂ්ට අංගොඩ ලොක්කා ඩුබායි රාජ්‍යය වෙත ගෙන්වා ගැනීමට ඉඩ ලැබුණේ නැත.

අන්තිමේදී අංගොඩ ලොක්කා ඉන්දියාව සිය වාසස්ථානය කර ගනිමින් මෙරට පාතාලය මෙහෙයවන්න පටන් ගත්තේය. මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදෙමින් කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් උපයන්නට වූයේය.

අංගොඩ ලොක්කා පාතාල ලෝකයේ මහ කෙරුම්කාරයකු ලෙස කුප‍්‍රකට වන්නේ කළුතරදී බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් පසුවිය. ඒ වන තුරු මේ පාතාල මැරයා අංගොඩ ප‍්‍රදේශයේ කසිප්පු පෙරමින් කුඩු විකුණමින් නීති විරෝධි ක‍්‍රියාවල නිරත වෙමින් සිටි තුට්ටු දෙකේ මැරයකු විය.

අංගොඩ ලොක්කා උපන්නේ අංගොඩ රෝහලේය. පවුලේ වැඩිමලා වීම නිසා මව්පියන් ඔහුට කීවේ ලොක්කා කියා ය. තම ලොකු පුතා අංගොඩ ලොක්කා ලෙස පාතාල ලෝකයේ දරුණු අපරාධකාරයකු වනු ඇතැයි ඒ දෙමව්පියන් සිහිනයකින් හෝ නොසිතන්නට ඇත.

පවුලේ වැඩිමලා වුවද අධ්‍යාපනය කෙරෙහි ඒ තරම් උනන්දුවක් නොදැක්වූ අංගොඩ ලොක්කා රස්තියාදුකාරයන් ඇසුරට දැඩිව ප‍්‍රිය කළේය.

අංගොඩ රාහුල විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවද, හොඳ රැකියාවක් කරන්නට මේ පාපතරයාට උනන්දුවක් තිබුණේ නැත. අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්නට අංගොඩ ලොක්කාගෙන් කිසිම සහනයක් ලැබුණේ ද නැත.

හැමදාම රාත‍්‍රියට කටගොන්නක් බීගෙන එන ලොක්කාගේ පියා මුළු නිවසම යුද පිටියක් කරන්නේය. එවැනි පරිසරයක හැදී වැඩුණු අංගොඩ ලොක්කා අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු අංගොඩ නගරයේ රස්තියාදුකාරයන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගත්තේය. අතමිට මුදල් හිඟවීම නිසා අතට හසුවන ඕනෑම දෙයක් කර කීයක් හරි හම්බ කිරීම අංගොඩ ලොක්කාගේ මූලික පරමාර්ථය වී තිබුණේය.

පියාගේ අධික බීමත්කමත්, නිතර නිතර ඇතිවන ආරවුලූත් නිසා නිවසේ විසීම අංගොඩ ලොක්කාට අරහං විය. අංගොඩ නගරයේ තැන් තැන්වල රස්තියාදු ගසමින් එදා වේල සොයා ගනිමින් සිටි අංගොඩ ලොක්කා කසිප්පු පෙරා අලෙවි කිරීමේ ජාවාරමට අතගැසුවේය. එය හොඳ ආදායම් මාර්ගයක් නිසා අංගොඩ කාලකණ්ණි කීපදෙනෙකු සමඟ එක්ව කසිප්පු ව්‍යාපාරය දියුණු කිරීමට අංගොඩ ලොක්කා කටයුතු කළේය.

ඒ වන විට අංගොඩ දෙල්ගහවත්ත ප‍්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් ක‍්‍රියාත්මක වෙමින් තිබුණේය. ලොක්කාගේ මිතුරන් කීපදෙනෙකු මේ කල්ලියට සම්බන්ධ වී විවිධ අපරාධවල නිරත වෙමින් සිටියහ. තරුණවියේ සිටම පාතාල උණ වැළඳි තිබුණ නිසා ලොක්කාට ද මේ කල්ලියට එක් වී පාතාලයේ කෙරුමකු වීමේ ආශාවක් ඇතිව තිබුණේය. මිතුරන් මාර්ගයෙන් දෙල්ගහවත්තේ කල්ලියට සම්බන්ධ වූ අංගොඩ ලොක්කා පාතාල ලෝකයේ සාමාජිකයකු ලෙස බෞතිස්ම ලැබුවේය.

ප‍්‍රදේශයේ දේශපාලනඥයකුගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වීම නිසා ලොක්කාට ඒ දේශපාලනඥයා සමීපව ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේය.

එතැන් පටන් ලොක්කාට අංගොඩ ප‍්‍රදේශයේදී කිසියම් අනන්‍යතාවක් ගොඩනැගෙන්නට වුණේය. දේශපාලනඥයා මාර්ගයෙන් විවිධ නීතිවිරෝධි ක‍්‍රියාවන් ඉටුකරගත් ලොක්කා අංගොඩ ප‍්‍රදේශයේ ගණන්කාරයකු වන්නට පටන් ගත්තේය.

කසිප්පු ව්‍යාපාරය එතරම් ලාභදායී එකක් නොවන නිසා එය අතහැර දැමූ ලොක්කා මහා ධනයක් ලැබෙන වෙනත් නීති විරෝධී ක‍්‍රියාවන්වල යෙදෙමින් මුදල් උපයන්නට පටන් ගත්තේය. ඒ සඳහා හිතවත් දේශපාලනඥයාගෙන් ලැබුණේ නොමඳ සහායකි.

අංගොඩ ලොක්කා අතුරුගිරිය කඩුවෙල, මාලඹේ, මුල්ලේරියාව ඇතුළු ප‍්‍රදේශ ගණනාවක අතහැර දැමූ වගුරුබිම් අනවසරයෙන් ගොඩ කරමින් ඒවා රුපියල් කෝටි ගණනට විකිණීම ලොක්කාගේ අලූත්ම ව්‍යාපාරය විය.

මේ ව්‍යාපාරය සඳහා හිතවත් දේශපාලනඥයාගෙන් ලැබුණේ නොමඳ සහායකි. දේශපාලන හයිය නිසා අංගොඩ ලොක්කාගේ නීති විරෝධී ක‍්‍රියාවන් දෙස ඇස්කන් පියාගෙන බලා සිටීමට පොලිසියට සිදුවුණේය.

මේ නීති විරෝධී ක‍්‍රියාවන් දිගින් දිගටම කරගෙන යද්දී ලොක්කාට පාතාල බලයක් ද අවශ්‍ය විය. ඒ වන විට දේශපාලන හයිය පොලිස් බලය නොඅඩුව ලැබී තිබීම නිසා ඔහු හැම විටම උත්සාහ කළේ පාතාල බලය තමන් වෙත ලබා ගැනීමටය.

ඒ වන විට කඩුවෙල පාතාලයේ කෙරුමා ලෙස කටයුතු කරමින් සිටියේ මෝචා ය. කඩුවෙල වසන්ත, කරාටේ ධම්මික නමැති කාලකණ්ණි පාතාල මැරයන් ඝාතනය වීමෙන් පසු කඩුවෙල පාතාලයේ කෙරුමා ලෙස ඉදිරියට ආවේ මෝචා ය.

තම නීති විරෝධී කි‍්‍රයාවන්ට කඩුවෙල මෝචාගෙන් සහායක් නොලැබුණු නිසා ඔහු පරලොව යවා පාතාල බලය තමන් වෙත ලබා
ගන්නට ලොක්කා සැලසුම් කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෝචා ඝාතනය කෙරිණි.

ලොක්කා නමින් හඳුන්වමින් සිටි මේ කාලකණ්ණි චරිතය අංගොඩ ලොක්කා ලෙස කුප‍්‍රකට වන්නට පටන් ගත්තේ මෝචා ඝාතන සිද්ධියෙන් පසුවය.

එතැන් පටන් අංගොඩ ප‍්‍රදේශයේ පමණක් නොව කඩුවෙල මාලඹේ අතුරුගිරිය ප‍්‍රදේශවල පවා සිය පාතාල බලය ව්‍යාප්ත කරගත් අංගොඩ ලොක්කා රිසි සේ නීති විරෝධී ක‍්‍රියාවල නිරත වන්නට පටන් ගත්තේය.

ප‍්‍රතිවිරුද්ධ පාතාල මැරයන් ඉවක් බවක් නොමැතිව ඝාතනය කරමින් මහා පරිමාණ හෙරොයින් ජාවාරමට අත ගැසූ අංගොඩ ලොක්කා එය ජයටම කරගෙන ගියේය.

ඒ වන විට කඩුවෙල පාතාලය නැවතත් හිස ඔසවමින් තිබුණේය. රණාලේ සමයං නමින් හඳුන්වන රස්තියාදුකාරයකු කඩුවෙල පාතාලයට නායකත්වය දෙමින් කරදඬු උස් මහත් කරමින් සිටියේය.

මේ අතරතුර ටී. 56 ගිනි අවි පිස්තෝල ඇතුළු අවි ආයුධ තොගයක් සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් වූ අංගොඩ ලොක්කා බන්ධනාගාරගත වුණේය.

අංගොඩ ලොක්කා වසර දෙකක පමණ කාලයක් බන්ධනාගාරගතව සිටිද්දී කඩුවෙල පාතාලයේ බලය රණාලේ සමයං අතට පත්විය. අංගොඩ ලොක්කා ඇප මත මුදා හැරීමෙන් පසු අංගොඩට එනවිට ඒ ප‍්‍රදේශයේ පාතාල බලය පවා රණාලේ සමයං අත්පත් කරගෙන සිටියේය.

අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලිය සහ රණාලේ සමයංගේ කල්ලිය අතර දරුණු ගැටුම් ඇති වන්නට පටන් ගත්තේ එතැන් සිටය. අංගොඩ ලොක්කා සහ මෙරට පාතාලයේ මහා කෙරුම්කාරයා ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් නමැති පාපතරයා අතර ඒ වන විට සමීප සබඳතාවක් ගොඩනැගී තිබුණේය.

මධුෂ්ගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී සිටි අංගොඩ ලොක්කා ඒ හරහා මහා ධනස්කන්ධයක් ඉපයුවේය. ඒ අතරම වගුරු බිම් ගොඩකර විකිණීම, කොන්ත‍්‍රාත් මිනිස් ඝාතන, කප්පම් ගැනීම ඇතුළු නීති විරෝධී ක‍්‍රියාවල නිරත වෙමින් අංගොඩ ලොක්කා මුදල් උපයන්නට පටන් ගෙන සිටියේය.

එහෙත් මේ ජාවාරම්වල ප‍්‍රධානම ප‍්‍රතිවාදියා ලෙස රණාලේ සමයං කටයුතු කරන්නට පටන් ගැනීම නිසා මේ දෙපාර්ශ්වය අතර ගැටුම් උග‍්‍ර වන්නට පටන් ගත්තේය.

අංගොඩ ලොක්කා හැම විටම උත්සාහ කළේ රණාලේ සමයං ඝාතනය කිරීමටය. අංගොඩ ලොක්කා පරලොව යවා කඩුවෙල මෙන්ම අංගොඩ ප‍්‍රදේශයේ පාතාල බලය ද තමන් වෙත ලබා ගැනීම සඳහා රණාලේ සමයං හැම විටම උත්සාහ කළේය. එක් අවස්ථාවකදී රණාලේ සමයං නුගේගොඩ අධිකරණයට රැගෙන එද්දී අධිකරණ භූමියේ රැක සිටි පාතාල සාමාජිකයකු ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළේය.

ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබුවද අවසානයේ රණාලේ සමයං ජීවත් වීමට වාසනාවන්ත වුණේය.

අංගොඩ ලොක්කා එවර කළ සැලසුම ව්‍යර්ථ වී ගියේ ඒ ආකාරයටය. ඒ සිද්ධියෙන් පසු පාතාල කල්ලි දෙක අතර ගැටුම් තව තවත් උග‍්‍ර වන්නට පටන් ගත්තේය. අංගොඩ ලොක්කාගේ කල්ලියේ සාමාජිකයන් විශාල පිරිසක් සමයංගේ කල්ලිය අතින් ඝාතනය විය.

රණාලේ සමයංගේ කල්ලියෙන් එල්ලවන තර්ජන දිගින් දිගටම උග‍්‍රවන්නට පටන් ගැනීම නිසා ඔහු කෙසේ හෝ විනාශ කළ යුතුය යන තීරණය අංගොඩ ලොක්කා ගෙන තිබුණේය. ඒ සඳහා තම සමීපතම මිතුරා වන මාකඳුරේ මධුෂ්ගේ ද සහාය ලබා ගන්නට අංගොඩ ලොක්කා කටයුතු කළේය.

ඒ වන විට මාකඳුරේ මධුෂ් සහ රණාලේ සමයං අතර ද මහා ආරවුලක් ඇති වෙමින් තිබුණේ ය. ඊට හේතු වුණේ මධුෂ්ගේ සමීපතම සගයකු කොලොන්නාව ප‍්‍රදේශයේ වෙඩිතබා ඝාතනය කිරීමට රණාලේ සමයං කටයුතු කිරීමය.

කළුතරදී බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාරයක් එල්ල කර රණාලේ සමයං ඇතුළු පාතාල සගයන් පිරිස ඝාතනය කිරීමට මධුෂ් සහ අංගොඩ ලොක්කා සැලසුම් කරන්නේ ඉන් පසුවය.

2017 වර්ෂයේ පෙබරවාරි මාසයේ 27 වැනිදා රණාලේ සමයං කළුතර බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙන යද්දී මඟරැක සිටි අංගොඩ ලොක්කා, ලඩියා ඇතුළු පාතාල මැරයන් බස් රථය වටකර ඊට ප‍්‍රහාර එල්ල කළහ. සිනමාපටයක දිගහැරෙන ත‍්‍රාසජනක ප‍්‍රහාරයක් ආකාරයෙන් එල්ල කළ මේ ප‍්‍රහාරයෙන් සමයං ඝාතනයට ලක්විය. ඒ අතරම බන්ධනාගාර නිලධාරීන් මෙන්ම තවත් පාතාල සාමාජිකයන් කීපදෙනෙකු ඇතුළු හත්දෙනකු මේ ප‍්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්වූහ.

මෙම ප‍්‍රහාරය මෑත ඉතිහාසයේ මෙරට වාර්තා වූ දරුණුම ගණයේ පාතාල ප‍්‍රහාරයක් ලෙස ඉතිහාසගත වුණේය. රණාලේ සමයං ඝාතනය කිරීමෙන් පසු අංගොඩ ලොක්කා සහ ලඩියා හලාවත ප‍්‍රදේශයට පලාගොස් බෝට්ටුවකින් ඉන්දියාවට පැන ගත්හ.

ඔවුන් කලක් ඩුබායි දේශයට ගොස් මාකඳුරේ මධුෂ් සමඟ සිටි බවට තොරතුරු ලැබී තිබුණ ද එය සනාථ කිරීමට නොහැකි විය.

ඉන්දියාව සිය වාසස්ථානය කර ගත් අංගොඩ ලොක්කා එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරමත්, මෙරට පාතාලය මෙහෙයවීමත් ජයටම කරගෙන යන්නට පටන් ගත්තේය. මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත්වීමෙන් පසු අංගොඩ ලොක්කා මෙරට පාතාලයේ කෙරුම්කාරයා බවට පත්වුණේය.

ඉන්දියාවේ සැඟ වී සිටිය ද අංගොඩ, කඩුවෙල, අතුරුගිරිය ප‍්‍රදේශවල සියලූ මැරකම් පාතාල ක‍්‍රියාකාරකම් හෙරොයින් ජාවාරම් මෙහෙයවනු ලැබුවේ අංගොඩ ලොක්කා විසින් ය.

අනවසරයෙන් වගුරුබිම් ගොඩකර විකිණීම, ප‍්‍රතිවිරුද්ධ පාතාල සාමාජිකයන් ඝාතනය කිරීම, කොන්ත‍්‍රාත් මිනීමැරුම්, කප්පම් ගැනීම් ඉන්දියාවේ සිට මෙහෙයවූ අංගොඩ ලොක්කා සිය පාතාල බලය ව්‍යාප්ත කරන්නට වුණේය.

කාන්තාවන් ඇසුරට අංගොඩ ලොක්කා දැක්වූයේ පුදුමාකාර උනන්දුවකි. අනියම් බිරින්දෑවරුන් එකකු දෙන්නකු නොව හත්අටදෙනකුම අංගොඩ ලොක්කා ඇසුරු කළේය. ශරීර අභ්‍යාස ව්‍යායාම්වල දෛනිකව නිරත වූ මේ පාතාල මැරයා රටේ තරුණ පරපුර විනාශ කරමින් මිනිස් ඝාතන කරමින් තම ඇඟපත පුම්බාගෙන සිටියේය.

අනියම් බිරිඳක් ලෙස ඇසුරු කළ කාන්තාවක් මීට මාස කිහිපයකට පෙර ඉන්දියාවට ගෙන්වා ගැනීමට අංගොඩ ලොක්කා කටයුතු කර තිබුණේය.

අංගොඩ ලොක්කාට වස පානය කිරීමට දී ඔහු ඝාතනය කර ඇත්තේ මේ අනියම් බිරිඳ විසින් බවට මේ වන විට තොරතුරු ලැබී තිබේ.

අංගොඩ ලොක්කාගේ ඝාතනය පිටුපස ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සාමාජිකයන් සිටින බවට ද තොරතුරු අනාවරණය වෙමින් පවතී. අනියම් බිරිඳ යොදා ගනිමින් අංගොඩ ලොක්කා පරලොව යැවූ බවට විවිධ කථා පැතිර යමින් තිබේ. කෙසේ වෙතත් අංගොඩ ලොක්කා නමැති පාපතරයා පරලොව ගිය පුවත මුළු රටටම සතුටුදායක එකක් බව පැහැදිලිය.

කොයි ආකාරයකින් හෝ මේ කාලකණ්ණින් විනාශ වී යෑම රටට මෙන්ම සමස්ත සමාජයටම වාසනාවකි.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles