Divaina - පුතාට කොරෝනා හැදිලා කියල මට කිව්වේ නෑ.... විශේෂඥ වෛද්‍ය ප‍්‍රියංකර ජයවර්ධනගේ පියාණන් ‘දිවයින’‍ට කියයි...

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p16

* රටට නිදහස ලැබෙන විට මට අවුරුදු 18 යි
* පින්වන්ත ගුණවන්ත දරුවන් තරම් සම්පතක් දෙමව්පියන්ට තවත් නෑ
 

රුවන් ජයවර්ධන


p16 2කතා කළ යුතු දේ බොහෝය. සෑම වදනකම කුමන හෝ වටිනාකමක් ගැබ්වී ඇත. නිස්සාර වදන්, පුරසාරම්වලින් තොර ඒ කටහඬ තුළින් ගලා එන්නේ සරල, නිර්ව්‍යාජ හඬ පෞරුෂයක්ය. මේ වන විට දිවි මගෙහි අනූ වැනි වියට පා තබා සිටින ඔහු ඇසුරෙහි ඉකුත් දිනෙක කෙටි කාලයක් ගත කරන්නට ලැබුණු අතර එහිදී ඔහු තුළින් විද්‍යමාන වූ සුවිශේෂී ලක්ෂණයක් වූවේ ගතින් වියපත් වුවද මනසින් විය පත් නොවුන දැහැමි, නිරහංකාර ගැමියෙක් සතුව පවතින ඇවතුම් පැවතුම්ය.

පස්දුන් කෝරලයේ දේශපාලන ඉතිහාසය සමඟ නිතර කියවෙන නමක් වන ඔහු හේම ජයවර්ධනය. මෙරට කීර්තිමත් වෛද්‍යවරයකු වන කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප‍්‍රියංකර ජයවර්ධන ඇතුළු දූ දරුවන් පස් දෙනෙකුගේ ආදරණීය පියාණන් වන හේම ජයවර්ධන කලක් ගම් සභා මන්ත‍්‍රීවරයෙක්, ගම්සභා සභාපතිවරයෙක් මෙන්ම දිස්ත‍්‍රික් සංවර්ධන සභා මන්ත‍්‍රීවරයෙක් ලෙස ද ප‍්‍රදේශයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ලද පුද්ගලයෙක්ය. එම අතීත මතකයන් මෙන්ම ඔහුගේ දිවි සැරියේ සුවිශේෂී සංධිස්ථාන පිළිබඳ කෙටි කතාබහක නිරත වීම ඔහු සොයා ගිය අපගේ ගමනෙහි අරමුණ විය.

ඒ සඳහා ආරම්භය ගනිමින් මතක මංපෙත මතින් අතීතයට පියමන් කළ හේම ජයවර්ධන... මතකයේ ඈතම ඉම පිහිටි තම පාසල් විය පිළිබඳ මතකය මෙනෙහි කරමින් අප හා කතාබහට එක් විය.

”ලංකාව සුදු ජාතිකයන්ගෙන් නිදහස ලබන කාලේ අපි පාසල් ශිෂ්‍යයො. මට මතකයි... එදා නිදහස ලබපු දවසෙ රටේ ම උත්සව පැවැත්වූව. බොහොම නිහඬව සාමකාමීව ඒ කටයුතු සිද්ධ වුණා. ඒ සඳහා අපේ ඉස්කෝලෙත් උත්සවයක් පවා සංවිධානය කළා. ඒ වගේම තමයි නිදහස කියන කාරණය ගැනත් ඒත් එක්කම ලොකු පිබිදීමක් රටේ ඇති වුණා. මා සම්බන්ධව ගත්තොත් මම විශ්වාස කරන දෙයක් තමයි පසුකාලීනව දේශපාලනේට පිවිසීමට ඒ හැඟීම මටත් යම් උත්තේජනයක් ලබාදෙන්න ඇතියි කියන කාරණය’.

මෙරට තුළ සමාජ පරිවර්තනයන් රැසක් සිදු වූ පසුගිය සියවසේ එක් සුවිශේෂී සිදුවීමක් ද සහිතව තම පාසල් විය පිළිබඳව මතකය මෙනෙහි කළ හේම ජයවර්ධන එතැන් සිට තවත් බොහෝ දෑ පිළිබඳව අප හා දොඩමලූ විය. වර්ෂ 1930 මැයි මස 18 වන දින මෙලොව දිනන ඔහු තම දිවි මගෙහි 90 වැනි වියට පා තබනු ලබන්නේ මේ මස 18 වැනි දිනටය. දශක 9ක් පුරා දිවෙන ජීවන චාරිකාවක හිමිකරුවකු වන ඔහු තමන් සතුව පවතින අනගි මිණි මුතු වැනි මතකය එතැන් සිට එකින් එක විස්තර කරන්නට විය. අගලවත්ත මැතිවරණ කොට්ඨාසයට අයත් පැලවත්ත

ගොරකදුව පිහිටි ඒ මහතාගේ නිවසේදී අපගේ කතා බහ සිදු වූ අතර නිවසත් අවට වටපිටාවත් එම සිරිමත් අතීතයට සාක්ෂි සපයන නිහඬ සාක්ෂිකරුවන් යැයි හැඟී ගිය වාර අපමණය.

”ඒ කාලේ පැලවත්ත කියන අපේ ගම දුප්පත්. ගමේ මිනිස්සුත් දුප්පත්. ගමට පාසලක් තිබුණේ නෑ. අපි අකුරට ගියේ හෙවෙස්ස ඉස්කෝලෙට. ඔය අතර තුර වැඩිහිටියෝ එකතු වෙලා ගමට ඉස්කෝලයක් ගේනව. මගේ තාත්තා තමයි ගම්මුලාදෑනිය. තාත්තගේ මූලිකත්වයෙන් තවත් ගම්මු පිරිසක් ඒ සඳහා මූලිකත්වය ගන්නව. එහෙම තමයි අද තියෙන පැලවත්ත මහා විද්‍යාලය ආරම්භ වෙන්නෙ. ඊට පස්සේ මා ඇතුළු පිරිසක් ගමේ ඉස්කෝලේ අධ්‍යාපනය ලබනව. නමුත්... මම ජ්‍යෙෂ්ඨය සමත් වෙන්නෙ වලල්ලාවිට විද්‍යාලයෙන්. ගමේ ඉස්කෝලේ ජ්‍යෙෂ්ඨයට වෙනකම් ඒ කාලෙ පන්ති තිබුණෙ නෑ. මම වලල්ලාවිටින් ජ්‍යෙෂ්ඨය සමත් වෙනව.... ඒ කාලේ ජ්‍යෙෂ්ඨය සමත් වෙනව කියන්නේ රැකියාවක් සඳහා ලොකු සුදුසුකමක්. මගේ මුල්ම රැකියාව උප තැපැල් ස්ථානාධිපතිකම. ජ්‍යෙෂ්ඨය සමත්වීම ඒ වගේ තනතුරකට යන්න හොඳටම ප‍්‍රමාණවත්. මගේ සමකාලීනයන්වූ තවත් පිරිසක් ගුරු පත්වීම් ලබාගෙන ගුරුසේවයට එක් වුණා... මේ වෙලාවෙ තවත් කාරණයක් මතක් වුණා. ඒකත් කියලම ඉන්න ඕන...”

p16 3හදිසියේ යම් වැදගත් කරුණක් සිහිපත් වූවා වැනිය. ඒ බව අපහසුවෙන් තොරව ඔහුගේ මුහුණෙන් කියවා ගත හැක. මුවමත නිරායාසයෙන් මතුවූ සිනහවක් ද සහිතව හදිසියේ මතකයට ගොඩවූ එම කාරණාව පිළිබඳ තොරතුරු එතැන් සිට හේම ජයවර්ධන විසින් වචන බවට පත් කරන්නට විය.

”.....මේ කියන කාලය වෙනකොට මට වයස විස්සක් විතර ඇති. මගේ අයියා වාමාංශික ව්‍යාපාරයත් එක්ක හිටපු කෙනෙක්. ඒ හින්ද මටත් දේශපාලනය ගැන උනන්දුවක් ඇති වුණා. මම තෝර ගත්තෙ සමසමාජ පක්ෂය. ඒ කාලේ අගලවත්ත සමසමාජ සංවිධායක ධුරය දැරුවේ සෑම් සිල්වා සහෝදරය. මම මුලින්ම තරග කරන්නෙ ගම් සභා මැතිවරණයට. ”මහ පත්තුව” නියෝජනය කරමින් තමයි මම එදා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. අද දේශපාලන සංයුතිය එක්ක ගත්තොත් ඒ කාලෙ ගම්සභා මැතිවරණයක් කියන්නේ අද නම් ප‍්‍රාදේශීය සභා තුනක් නියෝජනය වන බල ප‍්‍රදේශයක්. මම එක ජයග‍්‍රහණය කරනව. පසු කාලීනව ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා අගලවත්ත සංවිධායක ධුරයට පත් වෙනව. එතුමාව මට මුලින්ම හඳුනා ගන්න ලැබෙන්නේ එතනදී. ඒ මිත‍්‍රත්වය එතුමා මියයන තෙක් අප අතරේ පැවතුනා. එතුමගේ සංවිධායකත්වය යටතේ ගම්සභා මැතිවරණයට තරග කරන මම ගම්සභා සභාපති ධුරය දක්වා ගමන් කරනව. එහෙම ආව මගේ දේශපාලන ගමනේදී මුහුණ දුන් තවත් සාර්ථකම මැතිවරණයක් තමයි දිස්ත‍්‍රික් සංවර්ධන සභා මැතිවරණය. ඒ මැතිවරණය පැවැත්වුණේ ජේ. ආර්. මහත්තයගේ කාලේ. මම ඇතුළු කණ්ඩායමක් ස්වාධීනව ඒ සඳහා ඉදිරිපත් වෙල ජයග‍්‍රහණය කරනව. මන්ත‍්‍රීවරයා වශයෙන් පත් වෙන්නෙ මම. තව දෙයක් සඳහන් කළ යුතුයි. ඒ තනතුරට පත් වෙන්න ඉස්සෙල්ල මට තවත් තනතුරක් හිමි වෙනව. ඒ තමයි... ගම් සභා සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපතිකම. දේශපාලන ගමන් මගේ මට තවදුරටත් යන්න පුළුවන්කම තිබුණත් අවසානයේ මා විසින්ම තීරණය කරනව ”ඇති” කියල. විවෘත ආර්ථිකය හමුවෙ ඇති වෙච්ච සමාජ පරිවර්තනයන් එක්ක තවදුරටත් පිරිසිදු දේශපාලනයේ නියැලෙන්න යම් යම් බාධා ඇති වීමත් එක්ක තමයි මම ඒ වගේ තීරණයක් ගත්තේ. දැන් වයස අවුරුදු අනූවක් වෙන මට අදත් මේ පළාතේ මිනිස් සලකන්නෙ වෙන මොකක්වත් හින්දා නෙවෙයි.... අන්න අර මම කරපු පිරිසිදු දේශපාලනය හින්ද කියල මා තුළ ලොකු විශ්වාසයක් පවතිනව...”

p16 4ගම, ප‍්‍රදේශය පමණක් නොව පස්දුන් කෝරලයම ආවරණය වන පරිදි පිරිසිදු දේශපාලනයක නිරතව ඇති හේම ජයවර්ධන සතු අතීත මතකයන් අතර මෙරට ප‍්‍රකට දේශපාලනඥයන් වූ ඇන්.ඇම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, වෛද්‍ය වික‍්‍රමසිංහ, සෝමවීර චන්ද්‍රසිරි ආදී වාමාංශික දේශපාලන නායකයන් පිළිබඳ මතකයන් බොහෝය. ඔවුන් හා සමීපව ඇසුරු කරන්නට භාග්‍යවන්ත වන හේම ජයවර්ධන ඒ හරහා ලද දේශපාලන පන්නරය ද ඉමහත්ය. පක්ෂ විපක්ෂ සියල්ලන් හා මිත‍්‍රශීලී ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති හේ වරදාන වරප‍්‍රසාද හමුවේ තම දර්ශනය පාවා නොදුන් පුද්ගලයෙක් ලෙස දැනටත් ජනතාව අතර ප‍්‍රකටය. සක‍්‍රීය දේශපාලනයේ නියැලෙන කාලය අතරතුර දෙවරක් විදෙස්ගත වීමටද හේම ජයවර්ධනට අවස්ථාව උදා වී ඇත.වරක් ලෝක තරුණ සමුළුවක් සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සතියක පමණ කාලයක් බල්ගේරියාවේ ගත කරන හේම ජයවර්ධන දෙවන වර විදෙස් ගත වන්නේ එකල සමාජවාදී සමූහාණ්ඩුවක්ව පැවැති සෝවියට් දේශය සංචාරයක් පිණිසය.

දශක හය හතක් දීර්ඝ තම දේශපාලන ගමන් මග පිළිබඳව කෙටියෙන් විස්තර කරන ලද හේම ජයවර්ධන මදක් නිහඬ වූ අතර ඒ අවසරයෙන් ප‍්‍රයෝජන ගත් මා වෙනත් මානයක් වෙත ඔහුගේ අවධානය රැගෙන යන ලදී. ආරම්භයේ සිට අවසානය තෙක් ඉතාමත් මිත‍්‍රශීලී ලෙංගතු ස්වරූපයක් ගත් අපගේ කතා බහ එතැන් සිට යොමුවූයේ හේම ජයවර්ධන නම් වෘක්ෂයේ සෙවණ යට උස මහත් වූ ඔහුගේ දුවා දරුවන් ඇතුළු ”ගෙදර පරිසරය” පිළිබඳව අතීත සිරි විසිතුරු මඳක් විමසා බැලීමටය.

පින්වන්ත කැදැල්ලක් පසුපස පවතින නිබඳ ශක්තිය අම්මාය. තම දරුවන් පිළිබඳව කතාබහ කිරීමට පෙර ඔවුන්ව උස් මහත් කළ ”අම්මා” පිළිබඳව මතකය අවදි කරන්නට ඔහු විසින් අමතක නොකළේය. සිය ආදරණීය බිරිඳ පිළිබඳ අමරණීය මතක පළමුව සිහිපත් කළ හේම ජයවර්ධන තම දුවා දරුවන් පිළිබඳ වගතුග පවසන්නට වූවේ ඉන් අනතුරුවය.

priyankara2”...මගේ බිරිඳ කරුණාවන්ත කාන්තාවක්. ඒ වගේම දරුවන්ට, සමාජයට ආදර්ශ සම්පන්න අම්මා කෙනෙක්. ඇයත් මුලින් රාජකාරි කළේ තැපැල් දෙපාර්තමේන්තුවෙ. ඒ හරහා තමයි අපි දැන හඳුනා ගත්තේ. මගේ... ඒ වගේම අපේ දරුවන් පස් දෙනා ගත්තොත් ඒ අයගේ සාර්ථකත්වය පසු පස මටත් වඩා හිටියේ මගේ භාර්යාව. ඒක මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන. එහෙම අම්මා කෙනෙකුගේ කුස තුළ පිළිසිඳ ගන්න දරුවෙක් පින් කරන්න ඕන. මගේ දරුවෝ පස් දෙනාම එහෙම භාග්‍යවන්ත, පින්වන්ත දරුවෝ... ඒ පස් දෙනාම මූලික අධ්‍යාපනය ලබා ගත්තේ ගමේ ඉස්කෝලෙන්. ඊට පස්සේ තමයි උසස් අධ්‍යාපනය පිණිස වෙනත් ඉස්කෝල තෝරාගත්තේ. ලොකු පුතා... වෛද්‍ය ප‍්‍රියංකර ජයවර්ධන කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කරන්න රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙනව. අද ඔහු ලංකාවේ ප‍්‍රකට කායික විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු මොන තත්ත්වයක හිටියත් ගමේකම තමන්ගෙකම අනිත් හැම දේටම වඩා අදත් ඉහළින්ම තියාගෙන ඉන්නව. මාසයකට සැරයක් ගමට එනව. ඒ ඇවිත් එයාගෙ සේවය ගම්වාසීන්ට ප‍්‍රදේශවාසීන්ට ලබා දෙනව. කොච්චර අවිවේකී ජීවිතයක් ගත කළත් ලොකු පුතා ඒ කටයුත්ත සිද්ධ කරනව. පහුගිය දවස්වල ලොකු පුතාට කොරෝනා වෛරසය වැළඳිලා කියල දැනගත්ත වෙලාවේ විශාල පිරිසක් කම්පා වුණා. එයා ගැන හොයා බැලූව. පුතාට කොරෝනා වෛරසය වැලඳිලා කියල මට කිව්වේ නෑ.මොකක් හරි හේතුවක් නිසා ඒක මගෙන් වසන් කළා.මම ඒ බව දැන ගත්තේ මගේ හිතවතකුගේ මාර්ගයෙන්. අනිත් දරුවෝ හතර දෙනා ගත්තත් එහෙමයි. පස් දෙනාගෙන් තුන් දෙනෙක් දියණියන්. ඒ අතරින් එක් අයෙක් ගුරුවරියක්, අනිත් දියණිය බැංකු නිලධාරිණියක්, බාල දියණිය ප‍්‍රජාපාදක විශෝදන සහකාර කොමසාරිස්වරියක් වශයෙන් කටයුතු කරනව. පුතාලා දෙන්නගෙන් බාලය රවී ජයවර්ධන. ඔහු නීතිඥවරයෙක්. ඒ වගේම කලක් රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නත් පුතාට අවස්ථාව ලැබෙනව. මොන තනතුර දැරුවත් ඔවුන් ඒ වගකීම හරියාකාරව ඉටු කරන බව මම හොඳාකාරවම දන්නව...”

කවදත් සැහැල්ලූ නිදහස් දිවි පෙවෙතක් ගත කිරීමට රුචිකත්වයක් දක්වන හේම ජයවර්ධන තම ජීවිතයේ සැන්දෑව ගත කිරීම පිණිස තෝරා ගනු ලබන්නේ පැලවත්ත ගොරකදුව පිහිටි තම නිවසය. දූ දරුවන් සෙවණේ කල් ගත කරන ලෙස ඔවුන් විසින් කරන ලද ඉල්ලීම් කාරුණික ලෙස ප‍්‍රතික්ෂේප කරන ඔහු ඒ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ ”ගම” හැර යෑම තරම් අපහසු දෙයක් තමන්ට තවත් නොමැති බවය. වයස අවුරුදු අසූ අටක් වන තෙක් තමන් සතු මෝටර් රථය ධාවනය කර ඇති ඔහු මේ වන විට ද උපැස් යුවලක් නොමැතිව පුවත්පත් කියවීමට සමත්ය. බැලූ බැල්මට වයස අවුරුදු අනූවක් ඉක්මවූ වියපත් පුද්ගලයකු යැයි කිසිවෙකුටත් කිව නො හැකි තරමේ පෙනුමකින් යුත් හේම ජයවර්ධන අපගේ කතා බහ නිමා කිරීමට මත්තෙන් අවසන් වරට ද ප‍්‍රකාශ කර සිටියේ මේ වන විට තමන්ගේ සමීපතම මිතුරා ලෙස ”නිරෝගීකම” තමන් සමීපයේ ගැවසෙමින් සිටින බවය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles