
* විශ්වවිද්‍යාලයෙන් පිටවන විටම සම්මාන දිනූ ව්‍යවසායකයෙක්.
* ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල මුලින්ම ලබා දුන්නේ ඔහුයි.
* කිසිදිනෙක ණයක් ලබා ගෙන නැහැ.
දමිත නිපුණජිත්
අද වනවිට ශ‍්‍රී ලාංකිකයන් කාගේත් ස්මාර්ට් ජංගම දුරකථනවල පැළපදියම්ව හිඳිමින් ඔවුන්ට හිතුමතේ සිංහලෙන් සයිබර් අවකාශයේ කරක් ගහන්නට උදව් දෙන මේ හෙළකුරු යෙදුමේ නිර්මාපකයා අන් කවරකුවත් නොව ධනික පෙරේරායි. නව නිර්මාණකරණය හරහා මුළු මහත් ලාංකික ජන සමාජයම නැවුම් තැනකට ඔසවා තැබූ ඔහු අද වන විට ලාංකේය තොරතුරු තාක්ෂණික ක්ෂේත‍්‍රයේ සම්මාන පිට සම්මාන දිනූ කැපී පෙනෙන ව්‍යවසායකයෙක් බවට පත්ව හමාරයි. භාෂා ලංකා සමාගමෙහි සමාරම්භකයා සහ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ඔහු මේ වනවිට හෙළකුරු යෙදුම සාමාන්‍ය භාෂා යෙදුමකින් ඔබ්බට ගිය බහුකාර්ය සුපිරි යෙදුමක් බවට පරිවර්තනය කර ඇති අතර ඡු්හ්‍යැරු හා හපන් නමින් නව මෘදුකාංග නිපැයුම් දෙකක් ශ‍්‍රී ලාංකිකයන්ට හඳුන්වා දී තිබේ. ඔහුගේ ව්‍යාපාර මොඩලයත් අන්කවරකුටවත් වඩා සුවිශේෂී ඔහුටම අනන්‍ය වූ එකකි.
හෙළකුරු අද වනවිට ලංකාවේ කොයි කවුරුත් දන්නා ජනප‍්‍රිය යෙදුමක් බවට පත් වී අවසානයි. නමුත් මේ සියල්ලේම ආරම්භය සනිටුහන් වුණේ කොහොම ද?
”මම ඉගෙන ගත්තේ කළුතර සිරිකුරුස විදුහලෙන්. මට පාසල් කාලයේ පටන්ම උවමනාව තිබුණා මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන්න. ඒ වගේම මට සිංහලෙන් මෘදුකාංග නිර්මාණය කරන්න සුවිශේෂී ආසාවකුත් තිබුණා. උසස් පෙළ කරන කාලයේ එච්චර මෘදුකාංග ක‍්‍රමලේඛන දැනුමක් නොතිබුණත් මම පොත් පත් වලින් ඉගෙන ගෙන මානවයා කියලා මිනිස් සිරුර ගැන සිංහලෙන් විස්තර වෙන සජීවීකරණ සහිත මෘදුකාංග නිර්මාණයක් මගේ උසස් පෙළ ව්‍යාපෘතිය විදිහට ඉදිරිපත් කළා. එයට 2007 දී මට තරුණ පරිගණක විද්‍යාඥයා තරඟයෙන් රිදී සම්මානය ලැබුණා. ආපහු හැරිලා බැලූවොත් එය තමයි මෘදුකාංග ක්ෂේත‍්‍රයේ මගේ පළවෙනි පියවර.
මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත්වෙලා මෘදුකාංග පිළිබඳව අධ්‍යයනය කරමින් ඉඳිද් දී මම ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකථන හරහා සිංහල වෙබ් අඩවි කියවන්න පුළුවන් සෙට් බ‍්‍රව්සර් නමින් වෙබ් බ‍්‍රවුසරයක් නිර්මාණය කරනවා. එයට මම පෙළඹෙන්නේත් සිංහලෙන් මෘදුකාංග නිර්මාණය කිරීමේ මගේ තිබූ සුවිශේෂී කැමැත්ත මුල් කරගෙනයි. මේ කාලයේ දුරකථනයෙන් සිංහල කියවන්න වත් පුළුවන් කමක් තිබ්බේ නැහැ. මේ නිර්මාණයට මට පඊසකකසදබ එය කියන දකුණු ආසියාතික තරඟාවලියෙන් සම්මානයක් හිමිවෙනවා. මේ සම්මානය හිමිවෙනවත් එක්ක ඒ නිර්මාණයට ලොකු ඉල්ලූමක් ලංකාවේ නිර්මාණය වෙනවා. ඒත් එක්කම ලංකාවේ දුරකථන සමාගමක් මගෙන් මේ නිර්මාණය මිලදී ගන්න ඉල්ලනවා. ඒ වෙලාවෙදි තමයි මම තීරණය කරන්නේ පුද්ගලයෙක් විදිහට මේ ගනුදෙනුව කරනවාට වඩා සමාගමක් පිහිටුවලා සමාගමේ නිෂ්පාදනයක් විදිහට එය වෙළෙඳපොළට ලබාදෙන එක වඩා හොඳයි කියන එක. ඒ අනුව තමයි මම 2011 දී මම විශ්වවිද්‍යාලයේ තුන්වන වසර ඉගෙනුම ලබමින් ඉඳිද් දිම භාෂා ලංකා පෞද්ගලික සමාගම නමින් සමාගමක් පිහිටුවන්නේ. එතැනින් තමයි ඇත්තටම ඉංජිනේරුවෙක් වෙන්න හිටපු මම අහම්බෙන් ව්‍යවසායකයෙක් බවට පත්වෙන්නේ.
කිසිම ගොඩනැඟිල්ලක් නැතුව මම තවත් යාළුවෝ දෙන්නෙක් එකතු කරගෙන ආරම්භ කරපු ඒ සමාගමෙන් අපි සිංහල භාෂාව මුල් කරගත්ත මෘදුකාංග කිහිපයක්ම නිර්මාණය කළා. 2013 මම විශ්වවිද්‍යාලයෙන් පිට වෙද්දි දකුණු ආසියානු සම්මානයට අමතරව ඊ-ස්වාභිමානී සම්මාන තුනක් ලැබිලා තිබුණා. සෙට් බ‍්‍රව්සරය නිසා සිංහලෙන් කියවන්න ලැබුණු පාරිභෝගිකයන්ගෙන් ඊළඟට අපට ලැබුණු ඉල්ලීම වුණේ සිංහලෙන් ලියන්නත් අපිට අවස්ථාව හදලා දෙන්න කියන එකයි. 2011 දී හෙළකුරු මෘදුකාංගය නිර්මාණය කරන්න මම කටයුතු කළේ ඒ ඉල්ලීමේ ප‍්‍රතිඵලයක් විදිහටයි. සමාජයේ එවැනි නිර්මාණයක අවශ්‍යතාවය දැඩිව තිබුණු කාලයක මුලින්ම ඒ නිෂ්පාදනය ඉදිරිපත් කරන්න අපිට පුළුවන් වුණ නිසා පසුකාලීනව එය අතිශය විශාල ජනප‍්‍රියතාවයක් අත්පත් කරගත්තා. අද වෙනකොට මිලියන 5ක් පමණ හෙළකුරු යෙදුම බාගත කරලා තියෙනවා. මිලියන 2.5ක් පමණ සක‍්‍රීය පරිශීලකයන් පිරිසක් අපිට ඉන්නවා. ”
විශ්වවිද්‍යාල සිසුවකු විදිහටම ගොඩනැඟිල්ලක් පවා නැතිව ඔබ ආරම්භ කළ භාෂා ලංකා සමාගම අදවන විට විශාල වත්කම් ප‍්‍රමාණයක් හිමි තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ලංකාවේ ප‍්‍රමුඛ සමාගමක් බවට පත්ව තිබෙනවා. මේ පරිණාමීය ක‍්‍රියාවලිය සිද්ධ වුණේ කොහොම ද?
”ඇත්තටම 2013 දී විශ්වවිද්‍යාලයෙන් පිටවෙද් දි මට මුහුණ දෙන්න වුණු බරපතළම අභියෝගය වුණේ සාමාන්‍යයෙන් බොහෝ දෙනක් කරන විදිහට තොරතුරු තාක්ෂණික සමාගමක ඉහළ වැටුපකට රැකියාවකට යනවද එහෙම නැත්නම් මගේම මේ ව්‍යාපාරය දිගටම කරගෙන යනවාද කියන එක ගැන තීරණය කිරීම. අන්තිමේ දී මම මට ලැබිලා තිබුණු රැකියා අවස්ථාව ප‍්‍රතික්ෂේප කරලා මගේම සමාගම ඉදිරියට ගෙනියන්න පූර්ණකාලීනව කැප වෙනවා කියලා තීරණය කළා. ඒ තීරණය මම ජීවිතේ ගත්ත අභියෝගාත්මකම තීන්දුව කියන්න පුළුවන්. ඊට පස්සේ මම කළුතරින් කුඩා ගොඩනැඟිල්ලක එක් මහලක් කුලියට අරන් කාර්යාලයක් පටන් ගෙන මම ම සම්මුඛ පරීක්ෂණ කරලා හතරදෙනෙක්ව කාර්ය මණ්ඩලය විදිහට බඳව ගත්තා. මුලින්ම පූර්ණකාලීනව වැඩ කළේ අපි පස් දෙනායි. භාෂා ලංකා කියන නම දාලා මේ සමාගම පිහිටුවද්දි මගේ ඉලක්කය වෙලා තිබ්බේ ම සිංහලෙන් භාවිත කළ හැකි මෘදුකාංග නිර්මාණය කරන එක. සමාගමක් විදිහට අපේම නිෂ්පාදන එළියට දාලා ලාභ ඉපයීම දිගුකාලීන ප‍්‍රතිලාභ සහිත වැඩක් නිසා මම මුල් කාලයේ සමාගමේ වියදම් පියවා ගැනීම සඳහා වෙනත් සමාගම් වලට අවශ්‍ය ජංගම දුරකථන යෙදුම් නිර්මාණය කර දීමට කටයුතු කළා. ජංගම දුරකථන යෙදුම් ලංකාවේ ජනප‍්‍රිය වෙන්න ගත්ත ඒ මුල් කාලේ ඉඳන්ම ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජාතික රූපවාහිනිය, හිරු මාධ්‍ය ජාලය, ලේක්හවුස් ආයතනය, සම්පත් බැංකුව, සෙලින්කෝ ලයිෆ් වගේ ලංකාවේ මුල්පෙලේ ආයතන ගණනාවකට අවශ්‍ය ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම් හදලා දෙන්න අපිට පුළුවන් වුණා. ඒ අතරවාරයේ අපේම නිෂ්පාදන වල පරිශීලක පදනම ගෙඩනඟා ගන්නත් අපි දිගටම කටයුතු කරගෙන ගියා. 2018 වර්ෂයේ ඉඳන් අපි ඒ සේවා සැපයීම නවත්වලා දැන් සම්පූර්ණයෙන්ම අපේම නිෂ්පාදන බිහිකිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා කැපවෙලයි ඉන්නේ.”
හෙළකුරු මේ වනවිට සාමාන්‍ය සිංහල යතුරු පුවරුවකින් එහා ගිය සේවා සපයන යෙදුමක් බවට පත් වී තිබෙනවා. ඒ එක්කම ඔබ අලූත්ම නිෂ්පාදන දෙකක් භාෂා සමාගම හරහා හඳුන්වා දී තිබෙනවා. ඒ ගැන කථා කළොත්.
”ඔව් අපි මේ වෙද්දි හෙළකුරු සුපිරි යෙදුමක්, ඒ කියන්නේ විශාල සේවාවන් පරාසයක් එකම යෙදුමක් හරහා ලබා ගන්න පුළුවන් යෙදුමක් විදිහට වැඩි දියුණු කරමින් ඉන්නවා. ලංකාවේ තාක්ෂණික සේවා හඳුන්වා දීමේදී රජය ඇතුළු බොහෝ අය මුහුණපාන ලොකුම ගැටලූව තමයි නව සේවා හා විසඳුම් නිර්මාණය කළත් ඒවා ජනතාවට හුරු කරවන්න තියෙන අමාරුකම. මෙතැනදි දැනටමත් මිලියන ගණනක් දෙනා හෙළකුරු භාවිතයට හුරු වී ඇති නිසා අපිට ලොකු හැකියාවක් තියෙනවා, එවැනි නව තාක්ෂණික සේවා පහසුවෙන් මිනිස්සු අතරට ගෙනියන්න. මෙන්න මේ හැකියාවෙන් ප‍්‍රයෝජන ගනිමින් අපි දැන් වෙහෙසෙන්නෙ තවත් ආයතන එක්ක එකතු වෙලා, ජනතාවගේ දෛනික ජීවිතය පහසු කළ හැකි විවිධාකාරයේ නව තාක්ෂණික සේවාවන් හෙළකුරු හරහාම සිංහලෙන් ජනතාවට ලබාදෙන්න.උදාහරණයක් විදියට පහුගිය ජනාධිපතිවරණයේ දී අපි මැතිවරණ කාර්යාලය හා තාක්ෂණිකව එක්වී හෙළකුරු හරහා ජනවරම නමින් අලූත් සේවාවක් හඳුන්වා දුන්නා. කිසිම මාධ්‍ය ජාලයකින් මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වෙන්න කලින් ඒ හරහා ජනතාවට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිල මැතිවරණ ප‍්‍රතිඵල මුලින්ම ලබා දෙන්න අපිට පුළුවන් වුණා. ඊට අමතරව එසැණින් ප‍්‍රවෘත්ති දැනුම් දීම්, චැනලින් සේවා, රීලෝඞ් සහ බිල්පත් ගෙවීම්, ශබ්දකෝෂ වගේ විවිධ සේවාවන් දැනටමත් හෙළකුරු සුපිරි යෙදුම හරහා පිරිනැමෙනවා.
ඒ වගේම ලංකාවේ ව්‍යාපාරික ප‍්‍රජාවට ලොකු ගැටලූවක් වෙලා තිබුණු, ලංකාවට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් ලබා ගැනීමට ඡු්හඡු්ක සේවාව නොමැති වීමේ ගැටලූව විසඳන්න අලූත් නිපැයුමක් හඳුන්වා දෙන්නත් අපිට පුළුවන් වුණා. අද වෙනකොට අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු කරන ඊ කොමර්ස් ලෝකයේ ඉතාමත් වැදගත් වාණිජ ක්ෂේත‍්‍රයක්. ඒ ක්ෂේත‍්‍රය ලංකාවේ ප‍්‍රචලිත වෙන්න තිබුණු ලොකුම බාධකය තමයි අන්තර්ජාලය හරහා මුදල් ගෙවීම් ලබා ගන්න පුළුවන් සරල ක‍්‍රමයක් නොතිබීම. වසර ගණනාවක් තිස්සේ ඡු්හඡු්ක සමාගම හරහා ඒ අඩුව පුරවගන්න රටක් විදියට අපි විශාල උත්සාහයක් දැරුවත් එය සාර්ථක වුණේ නැහැ. අපට තියා අපට වඩා විශාල වෙළෙඳපොළක් තියෙන පකිස්තානයට පවා තවමත් ඒ සේවාව ඔවුන් ලබා දීලා නැහැ. ඒ නිසා තවත් බලා නොසිට ඒ අඩුව පුරවන්න ඡු්හ්‍යැරු නමින් අපේම දේශීය නිපැයුමක් බිහි කරන්න 2016 වසරේදී අපි සම්පත් බැංකුවේ සහයෝගයත් සහිතව කටයුතු ආරම්භ කළා. මුල් කාලයේදී එයට නීතිමය බාධා මතුවුණත් එය රටට දැඩිව අවශ්‍යව තිබූ තාක්ෂණික විසඳුමක් නිසා මම ඒ සඳහා ඉදිරියට තැබූ පය ආපසු ගත්තෙ නැහැ. මගේ නොපසුබට උත්සාහයේ ප‍්‍රතිඵලයක් විදියට 2018 වසරේ දී අපිට ඡු්හ්‍යැරු සේවාව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ද සහිත අන්තර්ජාලය හරහා මුදල් ගෙවීම් ලබා ගත හැකි සේවාවක් ලෙස ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට හඳුන්වා දෙන්න පුළුවන් වුණා. මේ හරහා වෙනත් රටකට හෝ අපේම රටේ පාරිභෝගිකයන්ට අන්තර්ජාලය හරහා භාණ්ඩ හෝ සේවා විකුණා ඒ වෙනුවට කරන ගෙවීම් අන්තර්ජාලය ඔස්සේම ලාංකික ව්‍යාපාරිකයන්ට ලබා ගන්න පුළුවන්. මේ වෙද්දි ව්‍යාපාර ආයතන 1500ක් විතර ඡු්හ්‍යැරු සේවාව හරහා තම පාරිභෝගිකයින්ගෙන් ගෙවීම් ලබා ගන්නවා. මේ වෙනකොට ඒ හරහා රුපියල් මිලියන 400ක පමණ විටිනාකමකින් යුත් විශාල ගනුදෙනු ප‍්‍රමාණයක් සාර්ථකව සිද්ධ වෙන්න තාක්ෂණික පහසුකම් සපයන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මේ ගනුදෙනු ප‍්‍රමාණයෙන් අඩකට වඩා ඇත්තේ පිටරට සිට ලංකාවට ආපු ගෙවීම් නිසා ඒ හරහා රුපියලේ අගය ශක්තිමත් කරන්නත් අපට දායකවෙන්න පුළුවන් වුණා.
ඔබේ ව්‍යාපාර කළමනාකරණ ක‍්‍රමවේදය ඔබටම අනන්‍ය එකක්. ඒ වගේම ආයතනය තුළ තිබෙන්නේත් සාමාන්‍ය කාර්යාලයක දකින්න ලැබෙන්නේ නැති ව්‍යුහයක්. මොකක්ද මේ විශේෂත්වය.
අපේ ආයතනය ගත්තොත් ඒකේ අපිම හදාගත්ත අපට ආවේණික වැඩ සංස්කෘතියක් තියෙනවා. මගේ කාර්යය මණ්ඩලයේ දැනට විසිපස් දෙනක් පමණ සේවය කරනවා. අපි හැමදෙනාම වැඩ කරන්නේ එකම පවුලක් වගේ. හැමෝම මට කතා කරන්නේ ධනික අයියා කියලා. බොස්ලා සර්ලා අපි අතර නෑ. අපේ ආයතනය තුළ අලූත් අදහස් නිර්මාණය කරන්නේත් ඒවා සංවර්ධනය කරලා නිෂ්පාදන බවට පත්කරන්නේත් ප‍්‍රචාරණ කටයුතු කරලා වෙළෙඳපොළට හඳුන්වා දීලා පාරිභෝගික සේවාවන් සැපයීම දක්වා මේ සම්පූර්ණ අගය දාමයම ක‍්‍රියාත්මක කරන්නේ අපිමයි. මේ ක‍්‍රියාවලිය සාර්ථකව කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ එකම පවුලක් විදිහට එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරන නිසයි. ඒ වගේම අපි විශාල වශයෙන් ස්වයංක‍්‍රීයකරණය මත රැකෙනවා. කුඩා කණ්ඩායමක් හරහා විශාල වැඩ කොටසක් කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ නිසයි. ඒ වගේම සමාගම ආර්ථික වශයෙන් වර්ධනය වෙන කොට එහි ප‍්‍රතිලාභ නැවත අපේ කණ්ඩායමට ම ලබා දෙන්නත් මම කටයුතු සලසලා තියෙනවා. මාසික වැටුපට අමතරව සමාගමේ මාසික ලාභයෙන් කොටසකුත් අපේ කණ්ඩායම අතරම බෙදිලා යන විදියෙ ක‍්‍රමවේදයක් මෑතදී ද මම ආරම්භ කළා. ඒ අපි කණ්ඩායමක් විදිහට කරන වැඬේ ප‍්‍රතිලාභ කණ්ඩායම අතරම බෙදිලා යන්න ඕනේ කියන අදහසිනුයි. ඒත් එක්කම අපේ කණ්ඩායමට හිතේ නිදහසින් සතුටින් වැඩ කරන්න පුළුවන් නවීණ නිදහස් කාර්යාල වටපිටාවක් ලබා දෙන්නත් මම ගිය අවුරුද්දෙ කටයුතු කළා. ඔවුන් හැමෝටම තමන් කරන කාර්යය අභිමානවත් ලෙස කරන්නත් හැම තිස්සෙම සතුටින් වැඩ කරන්නත් එය ලොකු පිටිවහලක්.
ඒ වගේම විශේෂයෙන් කිව යුතු දෙයක් තමයි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් වර්ධනය කරන්න සමහරු බැංකු ණය ගන්නවා, නැත්නම් කොටස් විකුණලා මුදල් ආයෝජන ලබා ගන්නවා. නමුත් අපි, අපිම උපයපු ධනය මතම ගොඩනැගිච්ච සමාගමක්. අවුරුදු නමයකට කලින් පටන් අරන් මේ ගතවුණ කාලය තුළ කිසිම දවසක අපි බැංකුවකින් ණයක් අරගෙනවත් වෙනත් බාහිර පාර්ශ්වයකින් මුදල් ආයෝජනයක් අරගෙනවත් නැහැ. අපිම උපයපු ලාභය නැවත නැවතත් සමාගම වෙනුවෙන්ම ආයෝජනය කරලා තමයි අපි ව්‍යාපාරය මේ දක්වා වර්ධනය කළේ. මගේ පුද්ගලික ජීවිතයේදීවත් මම වාහනයක් ගන්නවත් ගෙවල් හදන්නවත් කිසිම දවසක ණය අරගෙන නැහැ. මම උපයපු ධනයෙන්මයි ඒ සේරම කළේ.”
අපේ විශ්වවිද්‍යාලවල නිර්මාණශීලී අදහස් ඇති ඉතා දක්ෂයන් සිටිනවා. මේ අය බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ යම් කිසි පරිගණක සමාගමක රැකියාවක නියැළෙන්නයි. තමාගේම වූ ව්‍යාපාරයක් පටන් ගෙන තමාට වගේම රටටත් විශාල වශයෙන් ප‍්‍රතිලාභ ලබාගන්නට ඔවුන් එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. මේකට හේතුව විදිහට ඔබ දකින්නේ මොකක්ද?
”මේකට හේතුව ප‍්‍රධාන වශයෙන්ම බිය සහ අවදානමක් ගැනීමට ඇති අකමැත්ත. මම හිතන්නේ අපට මේ ගතිය ඇවිල්ලා තියෙන්නේ කුඩා කාලයේ ඉඳලමයි. අපේ සංස්කෘතියේ ළමයින්ව හදන්නේ හැමතිස්සේම කිසිම අවදානමක් නොගෙන ආරක්ෂිත දේවල් වල විතරක් නිරතවෙන්න උපදෙස් දෙමිනුයි. ගහකට නැග්ගොත් වැටෙයි, තනියම පාරක ගියොත් වාහනයක හැප්පෙයි වගේ හැම තිස්සෙම අපට අවදානම් වලින් ඈත් වෙලා ඉන්න කුඩා කාලයේ ඉඳන්ම අපේ මනස හුරු කරනවා. අපේ විශ්වවිද්‍යාලය ගත්තොත් එයින් පිටවෙද්දි හැමෝටම පරිගණක තාක්ෂණ සමාගම් මගින් ඉහළ වැටුපක් සහිතව රැකියා පිරිනමනවා. අති දක්ෂ නව නිර්මාණාත්මක අදහස් සහිත අය වුණත් මේ පිරිනැමීම් ප‍්‍රතික්ෂේප කරලා අවදානමක් අරන් තමන්ගෙම ව්‍යාපාරයකට කාලය වැය කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම සමාජයත් ඒ වගේ උත්සාහයන් ගැන ධනාත්මකව හිතන්නේ නැහැ. මමත් රැකියාවකට නොගිහින් මගේම ව්‍යාපාරයක් කරන්න යොමු වෙද්දි හුඟ දෙනෙක් මටත් කිව්වේ වසරකට දෙකකට හෝ රැකියාවකට යන්න කියලයි. ගොඩක් අය ඒ විදියට රැකියාවකට ගිහින් අවුරුදු කිහිපයක් අත්දැකීම් අරගෙන තමාගෙම ව්‍යාපාරයක් අරඹනවා කියලා හිතනවා. නමුත් ඒ අයත් විවාහවෙලා දරුවන් එහෙම ලැබිලා මාසික වේතනයෙන් යැපෙන ස්ථාවර ජීවන රටාවකට හුරු වුණාම පස්සේ ඒක වෙනස් කරලා අවදානමක් අරන් ව්‍යාපාරයක් පටන් ගන්න බයයි. මෙන්න මේ මානසික තත්ත්වය නිසා හුඟක් දක්ෂ අයගෙන් රටට ලබා ගන්න පුළුවන් සැබෑ ප‍්‍රතිලාභය හිමි වෙන්නේ නැහැ. මම සම්බන්ධයෙන් නම් ගත්තොත් මම විශ්වවිද්‍යාල කාලයේදීම මගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා එයින් ඉපැයිය හැකි මට්ටම පිළිබඳ අවබෝධයක් ලබාගෙන තිබුණු නිසා විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට මට පිරිනැමුනු රැකියා අවස්ථාවත් ප‍්‍රතික්ෂේප කරලා පූර්ණ කාලීනව මගේම ව්‍යාපාරය සඳහා කැපවෙන්න තීරණය කිරීම එතරම් දුෂ්කර වුණේ නැහැ.”
අපේ රටේ බොහෝ ව්‍යාපාරිකයන් සාර්ථක නොවන්නට හේතුවක් විදිහට පෙනෙන්නේ ඔවුන්ගේ කළමනාකරණ දැනුමෙහි අඩුපාඩුකම්. ඔබ තොරතුරු තාක්ෂණය හැදෑරුවත් ව්‍යාපාර කළමනාකරණය ගැන හදාරලා තිබුණේ නැහැ. එහෙම තිබියදීත් ඔබ ව්‍යාපාරවලින් සාර්ථක වෙන්නේ කොහොම ද?
”ඒක ඇත්ත. මට ආරම්භයේ දී ව්‍යාපාර කළමනාකරණය ගැන න්‍යායාත්මක දැනුමක් තිබුණේ නැහැ. නමුත් මට හොඳ ව්‍යාපාරික ඉවක් තිබුණා. මම මුල් කාලයේ තීන්දු තීරණ ගත්තේ ඒ ඉවෙන්. ගණිත දැනුම නිසා අනවශ්‍ය දෙයට වියදම් නොකර අවශ්‍ය දේට පමණක් වියදම් කරගෙන මුදල් කළමනාකරණය නිසි ලෙස කරන්න මූලික හැකියාව මට තිබුණා. මගේ පළමු නිර්මාණය වෙනුවෙන් ජංගම දුරකථන සමාගම විසින් ගෙවපු මුදල ප‍්‍රාග්ධනය කරගෙන එය ආයෝජනය කරමින් ලැබෙන ලාභය නැවත නැවතත් සමාගමේ දියුණුව වෙත යොදවමිනුයි මම ඉදිරියට ගියේ. මගේ කණ්ඩායම නිවරැදිව මෙහෙයවන්න මට උදව් වුණේ පාසල් කාලයේ ප‍්‍රධානශිෂ්‍යනායක විදිහට මම ඉගෙන ගත්ත සහ ප‍්‍රගුණ කළ නායකත්ව ගුණාංගයි. මගේ කණ්ඩායමට බොස් කෙනෙක් නොවී හොඳ නායකයෙක් වෙන්න ඒ හරහා මට පුළුවන්කම ලැබුණා. කොහොම නමුත් සමාගමේ ඉදිරි දියුණුවට ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ වැඩිදුර දැනුමක් අවශ්‍ය යැයි හැඟුණු නිසා මේ වෙද්දි මම ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පිරිපාලන ශාස්ත‍්‍රපති උපාධිය හදාරනවා. ඒ හදාරද්දි මම ව්‍යාපාර කටයුතු වලදී ඉවෙන් මෙන් අනුගමනය කරපු සමහර දේවල් ව්‍යාපාර කළමනාකරණයේ පිළිගත් න්‍යායන් විදියට දැන් දැනගන්න ලැබෙනවා. ඒ වගේ වෙලාවට හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම මෙතෙක් මට කරන්නට නොහැකි වුණු, ව්‍යාපාරයේ වර්ධනය සඳහා ඉදිරියට කරන්න පුළුවන් දේවල් බොහෝමයකුත් මම ඒ හරහා ඉගෙන ගන්නවා. ඉදිරියේදි මට ඒවා ප‍්‍රයෝජනවත් වෙයි.”
තමාගේම කියලා ව්‍යාපාර ආරම්භ කරන්න බලාපොරොත්තු වන තරුණයන් බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා. ඒ අයට සාර්ථකත්වය ඔස්සේ ගමන් කළ ඔබට දෙන්න පුළුවන් උපදෙස මොකක් ද?
”මම හැමතිස්සෙම කියන්නේ දැනට තියෙන ව්‍යාපාරික මොඩලවලට අනුරූපව තවත් එක් ව්‍යාපාරයක් පටන් ගන්නා ව්‍යාපාරිකයකු නොවී, අලූත් අදහසක්, නිර්මාණයක් හරහා සමාජයේ තියෙන ගැටලූවක් විසඳමින් ආදායම් උපදවන ව්‍යවසායකයකු වෙන්න කියලයි. එහෙම කරන්න නම් ඔබ වෙනස් විදියට හිතන පුරුදු විය යුතුයි. වෙනස් විදියට හිතුවොත් අනෙක් අයට සමාජයේ ප‍්‍රශ්න ගැටලූ විදියට පෙනෙන දේවල් ඔබට අවස්ථාවන් ලෙස පෙනෙන්න පටන් ගනීවී. ඒ ප‍්‍රශ්න ගැටලූ විසඳන්න ඔබට නව අදහස් ඒවි. ඒ අදහස් වෙනුවෙන් ක‍්‍රියාත්මක වෙන්න. ඔබට මොනතරම් හොඳ අදහසක් ආවත් ඔබ ඒ සඳහා ක‍්‍රියාත්මක නොවුණොත් ඒ අදහසේ වටිනාකම බින්දුවයි. ඒ නිසා ඔබේ අදහස් වෙනුවෙන් හැකි ඉක්මණින් ක‍්‍රියාත්මක වෙන්න.
ඒ වගේම අද සමාජයේ ගොඩක් තරුණයන් උත්සාහ කරනවා මොන විදිහකින් හෝ පුළුවන් තරම් ඉක්මණින් මුදල් හම්බ කරන්න පුළුවන් මාර්ග සොයන්න. නමුත් ඒ දේවල් බොහෝවිට කෙටිකාලීනයි. මම කියන්නේ ඔබ කරනා හැම දෙයකින්ම සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට උත්සාහ කරන්න, ඒ සඳහා ප‍්‍රමුඛතාවය දෙන්න කියලයි. ඔබ තුළ තියෙන දෙයින් ඔබ සමාජයට යහපත් දෙයක් දුන්නොත්, නැවත සමාජයෙන් ඔබට එහි ප‍්‍රතිලාභ අනිවාර්යයෙන් ලැබෙයි. මගේ විශ්වාසය එයයි. ”
- Hits: 250




































