Divaina - අවුරුදු 17ක් මට නිහඩව ඉන්න සිද්ද උනා...

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 old1
 
 දිගු කලකට පසු නන්දා පතිරණගෙන් ගීතයක්
 
 ලන්ද දිගේ හැංගි හොරා
 සැඳෑ කාලයේ
 රැන්දු සිනා ඇයිද මෙසේ
 මැකීලා ගියේ....
 
 
 ඒ අපූරු කටහඬ මැකී වියැකී යන්නට මත්තෙන් ශ‍්‍රී ලාංකික සංගීත ලෝලීන් වෙනුවෙන් ගීතයක් ප‍්‍රදානය කෙරෙන්නේද දශක හතරකට පසුවය. ඇය උපතින්ම උරුම කරගත් අපේකම මොනවට කියාපාන්නා වූ හැටි හඬ එදා සේම අදත් මිහිරිය.
 
 නන්දා පතිරණ විසින් ගායනා කරන ලද ”බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා, මගේ දෑස් ඔබේ කියා ඔබ පවසනවා” ගීතද බොහෝ ජනපි‍්‍රයත්වයක් ලැබූවකි. ඒ විශාරද එඞ්වඞ් ජයකොඩිගේද දායකත්වයෙනි. මෙවැනි අතිශය ජනපි‍්‍රය ගීත ගායනා කර නිහඬ ජීවිතයක් ගෙවන ඇය ගැන මාධ්‍ය කතා බහ කරන්නේද කලාතුරකිනි. මෙවැනි ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරමින් සුපිරි තරු බවට පත්වන සුපිරි තරු, සුපිරි වාහනවල
 
 ගමන්කරමින් සුපිරි නිවාසවල සුපිරි ජීවිත ගතකරන සමයක ඇය බොහොම නිහඬව අල්පේච්ඡු ජීවිතයක් ගත කරයි.
 
 ‘‘මම පාසල් කාලයේ ඉඳලා සංගීතය විෂයක් විදිහට කළා. නමුත් වැඩිපුර කළේ නැහැ. හැබැයි කටහඬ වර්ධනය කරගන්න සරසවි කලායතනයට සම්බන්ධ වෙලා රාගධාරී සංගීතය හැදෑරුවා.
 
 ඇත්තටම 1979 වර්ෂයේ තමයි අංකුඹුර එගොඩමුල්ල ග‍්‍රාමීය අසන්නන්ගේ් සමාජය කියලා අපේ ගමේ ගුවන් විදුලි ග‍්‍රාමීය අසන්නන්ගේ සමාජයක් තිබුණා. මම ඒ ග‍්‍රාමීය අසන්නන්ගේ සමාජයට සාමාජිකාවක් විදිහට සම්බන්ධ වුණා. ගුවන් විදුලියෙ වැඩසටහනක් කරන්න අංකුඹුර ගමේ ශ‍්‍රී ජයවර්ධනාරාම කියන විහාරස්ථානයට ආවා පුංචි උත්සවයකට. ගුවන් විදුලි සංස්ථාවෙන් ආවේ චිත‍්‍රානන්ද අබේසේකර සහ බර්ටි ගලහිටියාව කියන මහත්වරුන් දෙදෙනා. අපේ ප‍්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිතුමා මගේ ගායන හැකියාව ගැන දැනගෙන හිටියා. ඉතිං ඔහු චිත‍්‍රානන්ද මහත්මයාට මගේ හැකියාව ගැන කිව්වා. එතැනදී ගීත දෙකක් ගායනා කරන්න මට අවස්ථාව උදාවුණා. ඔය අතරේ මම 1973 වසරේදී සරල ගී සහ සංගීත පර්යේෂණ යන අංශ දෙකෙන්ම ශිල්පිණියක් විදිහට සමත් වුණා. එතකොට මගේ පළමුවැනි සරල ගීතය වුණේ ”මගේ දෑස ඔබේ කියා” ගීතය. මේ ගීතය තැටියකට නැගුණේ 1975 වසරේදීය.
 
 
 
 * මේ කාලයේ නේද ඔබට ගුවන් විදුලියේ දැවැන්තයන් රැුසක් මුණ ගැසෙන්නේ?
 
 1971 වසරේදී තමයි මගේ විවාහය සිද්ධ වුණේ. ඔහු ජීවත්වුණේ කැලණිය ප‍්‍රදේශයේ. විවාහයත් එක්ක තමයි මට ගොඩක් සංගීත අධ්‍යක්‍ෂවරුන් මුණගැසුණේ. පේ‍්‍රමදාස අතුකෝරල සංගීතඥයා හිටියෙත් ඒ කාලේ කැලණියේ. ඔහු තමයි මගේ දෑස කියන ගීතයට සංගීතය සැපවූවේ. සැමියයි මායි නිතර ගුවන් විදුලියට යනකොට අපිට එහිදී හමුවුණා ඩෝල්ටන් අල්විස් කියන ගී පද රචකයා. ඉතිං ඔහු මගේ සැමියත් සමඟ බොහොම සුහඳත්වයක් ඇතිකරගත්තා. ගුවන් විදුලියේ ආපන ශාලාවේදී තමයි අපි ඔහුට ආරාධනා කළේ සරල ගීතවලට ගීතයක් හදලා දෙන්න කියලා. මම ඒ දවස්වල කොහේ ගියත් පොඩි තිලකයක් තියාගෙන යනවා. මගේ මුහුණ දිහා බලාගෙන ඉඳලා කිව්වා ගීතය රචනා කරල දෙන්නම් කියලා. මම හිතන්නේ තිලකයේ කතාවත් ඔහුට මාව දැක්කට පස්සේ ඇතිවුණ හැඟීමක්ද දන්නේ නැහැ. ඔය විදිහට තමයි මේ ගීතය නිර්මාණය වුණේ.
 
 * ඔබත් සමඟ කතාබහ කරන කොට ලන්ද දිගේ හැංගි හොරා ගීතය ගැනත් කතා නොකරම බැහැ?
 
 1970 දශකයේදී මගේ සැමියා නිෂ්පාදනය කළා ගීත 4 ක් අඩංගු තැටියක්. ඒකට තමයි ඔය ගීතය මම ගායනා කළේ. කුලරත්න ආරියවංශයන් ගේම ගීත 4 ක් ගායනා කළේ. ඒ ගීත හතරට තමයි ලන්ද දිගේ, මා අමතන්න එපා තනිවම, ටී. එම්. ජයරත්න සමඟ ගීත දෙකක්
 
 ගායනා කළා. ලන්ද දිගේ ගීතයට සංගීතය සැපවූවේ ස්ටැන්ලි පීරිස් මහත්මයා. ලන්ද දිගේ ගීතයට සංගීතය පටිගත කරන වෙලාවේ එතැනට ඇවිත් හිටියා රුක්මණී දේවිය කියන අසහාය ගායිකාව. එතුමිය කිව්වා හරිම ලස්සන මෙලඩි එකක් කියලා. කනගාටුවට කාරණාව කියන්නේ මම ගීතය වොයිස් කරන දවසේ එතුමිය ජීවිතය හැර ගියා.
 
 * පුද්ගලික අත්දැකීම් ඇසුරින් ගායනා කළ ගීත තිබෙනවාද?
 
 පුද්ගලික අත්දැකීමෙන් ගායනා කළ ගීතය තමයි මල්වනේ රෝස කැකුළු කියන ගීතය. සංගීත පර්යේෂණ අංශයට ගායනා කළේ. ගීතය රචනා කළේ ගාමිණී විජේතුංග. සංගීතය සැපවූවේ බන්දුල විජේවීර. මගේ පළමු දරුවා දවසක් විතර ජීවත්වෙලා මෙලොව හැරගියා. පසු දවසක ගාමිණි විජේතුංග කිව්වා මේ අත්දැකීම ඇසුරු කරගෙන ගීතයක් රචනා කරල දෙන්නම් කියලා.
 
 * ඔබ ගායනා කළ ගීත සියයකට අධිකයි?
 
 ඇත්තටම ගීත එච්චරට ගායනා කරලා තිබුණත් ඒ ඔක්කොම ගුවන් විදුලි සංස්ථාව සතු ගීත. ගොඩක් වෙලාවට මට සරල ගී වැඩසටහනක මාස හයක් විතර සින්දු කියන්න ලැබුණා. සංගීත පර්යේෂණ අංශයටත් එකවර ගීත හයක් ගායනා කරනවා. එහෙම කාලයක් මම වැඩකළා. එහෙම බැලූවහම ගීත විශාල ප‍්‍රමාණයක්
 
 ගායනා කරලා තියෙනවා. තැටියකට නැංවිලා තියෙන්නේ බොහොම සුළු ගීත ප‍්‍රමාණයක්.
 
 * ක්‍ෂේත‍්‍රයට ඇවිත් දශක හතරකට පසුව තමයි සංයුක්ත තැටියක් නිර්මාණය කරන්නේ?
 
 ඒකත් සිද්ධ වුණේ මෙහෙමයි. මම රූපවාහිනියේ නුග සෙවණ වැඩසටහනට සහභාගි වුණා. එම වැඩසටහනේ නිවේදකයා ඇහැව්ව මෙච්චර කාලයක්
 
 ගිහිල්ලා සංයුක්ත තැටියක් කළේ නැත්තේ ඇයි කියලා. ඇත්තටම මට තිබුණ ආර්ථික දුෂ්්කරතා එක්ක සංයුක්ත තැටියක් කරන්න හම්බ වුණේ නැහැ. ඒ වැඩසටහන නරඹපු සරත් කොතලාවල මහතාගේ කාර්ය මණ්ඩලයේ කෙනෙක් ඔහුට කියලා තිබුණා මා ගැන. ඊට පස්සේ ඒ වැඩසටහනට ඉඳලා ගෙදර එනකොට තමයි මට කොතලාවල මහත්තයා කතා කළේ. ඒක අහම්බයෙන් ලැබුණු අවස්ථාවක්. බොහොම තෝරල බේරලා තමයි ගීත ටික තෝරාගත්තේ.
 
 * ඔබේ හඬ ජන ගී ශෛලයට හරි කිට්ටු සම්බන්ධයක් තියෙන හඬක්. ඇත්තටම ජනශ‍්‍රැති පරිශීලනයක් සිදුකර තිබෙනවාද?
 
 මම පදිංචි වෙලා හිටියේ නුවර අංකුඹුර වගේ ගමක. අනික මගේ හඬත් එක්ක බොහෝ දෙනෙක් හිතුවා මට ජන ගායනයට සුදුසු කටහඬක් තියෙන්නේ කියලා. නමුත් මම දේශීය සංගීතය හැදෑරීමක් කරලා නැහැ. මට ලැබුණු සහජ හැකියාවෙන් ගායනා කිරීමේ ශක්තිය ලැබිලා තියෙනවා. ඒක නිසාම සංගීත පර්යේෂණ අංශයටත් ජන ගී තනු ඇසුරෙන් මම නිර්මාණ කළා. මගේ ගීත ඒකාලේ සංගීත පර්යේෂණ අංශයට කරලා තියෙන්නේ රෝහණ වීරසිංහයන් විසින්. ඔහු තමයි ජන ගීයක් ඇසුරෙන් බොහෝ ගීත නිර්මාණය කරලා දුන්නේ. ඒ විදිහට නිර්මාණය වුණු ගීතයක් තමයි මල්වනේ් රෝස කැකුළු ගීතය.
 
 * ඔබේ ගීත රියැලිටි වැඩසටහන් වලදී සමහර රියැලිටි තරු
 
 ගායනා කරලා අවසානයේ ඔබටත් වඩා මුදලක් අය කරනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
 
 මට ඒ ගැන කිසිම දුකක් නැහැ. ගොඩක් රියැලිටි වැඩසටහන්වල මට ඇහිලා තියෙනවා මගේ ගීත ගායනා කරනවා. සතුටක් තමයි තියෙන්නේ.
 
 * දිගු නිහැඬියාවකට පසුව අලූත් ගීතයක් නිර්මාණය කළා නේද?
 
 මම රූපවාහිනී වැඩසටහනකට සහභාගි වුණ වෙලාවේ බන්දුල නානායක්කාරවසම් ගේය පද රචකයා ගැන කතා වුණා. මට අවස්ථාවක් උදාවුණේ නැහැ ඔහුගේ ගීතයක් ගායනා කරන්න. ඒ වෙලාවේ මට අදහසක් ආවා මේ ගීත රචකයාගෙන් කොහොම හරි ගීතයක් ඉල්ලාගෙන කරන්න ඕනෑ කියලා. ඊට පස්සේ මම ඔහුට කතා කළා. අන්තිමේ මට ගීතය ලැබුණා. රෝහණ ධර්මකීර්ති තමයි තනුව නිර්මාණය කළේ. අපි දෙමංපෙතේ ගොස් අද තනිමංසලකට වී කියලා මේ ගීතය නිර්මාණය වුණා.
 
 * එදා සහ අද සංගීතයේ වෙනස කොහොමද දකින්නේ?
 
 අපේ කාලයේ නම් බොහොම කැපවෙලා තමයි ගීතයක් ගායනා කරන්න ඕනෑ. සංගීතය සමඟ වුණත් මුල ඉඳලාම ගීතය ගායනා කරන්න එපායැ. අද තාක්‍ෂණයත් එක්ක මට දැනෙනවා සුවිශේෂී වෙනසක්. තාක්‍ෂණය දියුණුවීම සතුටට කාරණාවක්. අපේ කාලයේ අපි ගුවන් විදුලියට ගීතයක් පටිගත කරන කොට ගීතය මගදී වැරදුණොත් ආපහු මුල ඉඳලාම ගීතය කියන්න ඕනෑ. සමහර අවස්ථාවලදී එකම ගීතය දෙතුන් වතාවක් ගායනා කරන්න සිද්ධවෙනවා. එහෙම බැලූවහම අද තාක්‍ෂණය දියුණුයි. නමුත් හරවත් වචන අහන්නට ලැබෙන්නේ නැහැ. ඒ ගැන නම් පොඩි
 
 කනගාටුවක් තියෙනවා.
 
 * අද කාලේ ගුවන් විදුලි නාලිකාවල ප‍්‍රචාරය වන ගීත ගැන ලොකු විවේචනයක් තියෙනවා නේද? ඒ ගැන ඔබ මොකද හිතන්නේ
 
 ඒ ගැන නම් හිතන්න දෙයක් නැහැ. පෞද්ගලික නාලිකා කියන්නේ ඔවුන්ගේ කැමැත්තනේ. අපි ගුවන් විදුලියට ගිය කාලේ පද රචනය, සංගීතය ගැන අහන්න බලන්න විශේෂ මණ්ඩලයක් හිටියා. අපි හොඳ රචනාවක් කරනවාද? නැද්ද කියලා ඔවුන් හොයලා බලනවා. අද නාලිකාවල ඇහෙන ගීතවල එහෙම ප‍්‍රමිතියක් නැහැ. බොහොම ඝෝෂාකාරී සංගීතයක් තියෙන්නේ. වචනවල කිසිම හරවත් බවක් නැහැ.
 
 * ඔබේ ගීතත් නාලිකාවලින් ප‍්‍රචාරය වෙන්නේ හරි අඩුවෙන් කියා හැෙඟන්නේ නැතිද?
 
 නැහැ. හැම නාලිකාවක්ම මට අහන්න ලැබෙන්නේ නැහැ. නමුත් අසන්නන් හරහා මට තේරෙනවා ගීත ප‍්‍රචාරය වෙනවා කියලත්. මගේ ගීතවලට සෑහෙන සාධාරණයක් ලැබිලා තියෙනවා.
 
 * නන්දා පතිරණ නමැති ගායිකාවගේ සංගීත දිවිය දෙස ආපසු හැරී බැලූවොත්?
 
 ආපසු හැරී බැලූවොත් ලොකු කනගාටුවක් තියෙනවා. මගේ හැකියාවෙන් සෑහෙන කාලයක් ප‍්‍රයෝජනයක් ගන්න බැරිවුණා. දේශපාලන වශයෙන් ඇතිවුණ කාරණයක් හින්දා වසර 17 ක් පමණ මට නිහඬව ඉන්න සිද්ධ වුණා. 70 දශකයේ මම ජනපි‍්‍රයත්වයට පත්වේගෙන එනකොට තමයි මට ඒ අවස්ථාවට මුහුණදෙන්න සිද්ධ වුණේ.
 
 
 
 දිනේෂ් විතාන
 
 
 අපි දෙමංපෙතේ...
 
 අපි දෙමංපෙතේ ගොස්
 
 අද තනි මංසලකට වී
 
 මතකය හ`ඩාවැටේ
 
 නතර වෙමුද එක තැනක
 
 ක`දුළු නිමාකර ගඟක
 
 
 
 ඉරහඳ ගහකොළ ඒවාගේ
 
 මල් සුපිපේ වදුලක් ගානේ
 
 ඇති සිටියා සිහිනයානේ
 
 අපි තාම පේන මානේ
 
 
 
 අපි දෙමංපෙතේ...
 
 
 
 වරද කාගේ දැයි සොයන්න එපා
 
 වසන්තය ගැන හිතන්නෙපා
 
 ගිම්හානෙට දොස් කියන්නෙපා
 
 යලි මේ අත අත්හරින්නෙපා
 
 
 
 පද - බන්දුල නානායක්කාරවසම්
 
 සංගීතය - රෝහණ ධර්මකීර්ති

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles