Divaina - ජීවිතේ තීරණ ගනිද්දි යම් යම් තැන්වල වරදිනවා දැන් පසුතැවීමෙන් පලක් නෑ... - අජිත් මුතුකුමාරණ

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sg1
 
 මුල් සාමාජිකයන් එකතුකරලා සකුරා රේන්ජ් යළි අරඹනවා
 
 කාලයක් නිහ`ඩව සිටි ඔහු ගැන විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පහුගිය දවස්වල ලොකු කතාබහක් ඇති වුණා. ඒ කතාබහට විවිධ කරුණු කාරණාත් ඔවුන් මූලික කරගෙන තිබුණා. කොහොම වුණත් විවිධ හැලහැප්පීම්, තීන්දු තීරණ වලට මුහුණ දුන් අජිත් මුතුකුමාරණගේ ජීවිතය අද ගෙවෙන්නේ කොහොමද? කොතැනද ඔහුට වැරදුනේ? මොනවද ඔහු ඒ ගැන කියන්නෙ?
 
 කාටවත් නොකියූ කතා ගොඩක් ඔහු අපිට කිව්වා. මීවිත මේ ඉඩකඩ අජිත්ට වෙන් කළේ ඒ තොරතුරු ඔබටත් දැනගන්න.
 
 මොනවද අලූත් වැඩකටයුතු?
 
 මගේ සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම ටික කාලෙකට නතර කරල තිබුණ. ඒකෙ මුල්ම සාමාජිකයො එකතු කරගෙන නැවතත් අලූත්ම විදිහකට සංගීත ප‍්‍රසංගවලට සහභාගි වෙන්න තමයි සූදානම.
 
 මොකක්ද මේ සකුරා රේන්ජ් අලූත්ම වෙනස?
 
 අලූත්ම විදිහකට වෙනස්කම් ගොඩක් එක්ක එන්න තමයි සූදානම. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමත් ඒ වගේ වෙනසක් කළා. ඒ වෙනස සාර්ථක වුණා. මේකෙන් කියන්නෙ අලූත් අය නරකයි කියල නෙමෙයි. අපේ පැරණි සාමාජිකයො එකතුවෙලා අවුරුද්දක් හරි මේ වෙනස කරල බලමු කියල තමයි කතා වුණේ. මම හිතනව ඉදිරියේදී සියලූ දෙනා එකතුකරගන්න පුළුවන් වේවි කියල. ඒක එහෙම වුණොත් සන්ෆ්ලවර් එකෙන් පස්සෙ ලංකාවේ දෙවැනි වතාවට සකුරා රේන්ජ් ඒ වෙනස සිදුකරාවි.
 
 සංගීත කණ්ඩායම නතර කිරීම හොඳ තීරණයක්ද?
 
 මෙහෙමයි... යම් යම් හේතූන් මත සංගීත කණ්ඩායමේ වැඩ නතර කරන්න සිදු වුණා. ඒ වගේම රටේ තත්ත්වයත් ඒකට බලපෑවා. මගේ සමහර තීරණවල හරි දේවලූත් තියෙනව වැරදි දේවලූත් තියෙනව. අපි හැමවෙලේම කරන්නෙ අත්හදාබැලීම් නෙ. ඒ නිසා ඒවා හරියන්නත් පුළුවන් දෝශ තියෙන්නත් පුළුවන්. හරියට බල්බය සොයාගන්න නවසිය අනූනව වතාවක් උත්සාහ කළා වගේ. කොහොම වුණත් මම හිතනව මේ හැමදේම වෙන්නෙ මගේ හොඳට කියල.
 
 එදා තිබුණ ජනප‍්‍රියත්වය නැවත ලැබෙයිද?
 
 එදා තිබුණාට වඩා ජනප‍්‍රියත්වයක් අද තියෙනව. මොකද සංගීත කණ්ඩායම නතර කළාම තමයි පේ‍්‍රක්‍ෂකයන්ට ඒ අගේ දැණුනෙ. මොකද සන්ෆ්ලවර් කණ්ඩායමෙන් පස්සෙ ලංකාවේ කැසට් වලට වැඩියෙන්ම සංගීතය සැපයුවේ අපි.
 
 සංගීත කණ්ඩායම්වල අද තත්ත්වය?
 
 පේ‍්‍රක්‍ෂකයන්ට ප‍්‍රසංග වලට සහබාගී වෙන්න තවම අවකාශයක් නැහැ. ඒ අනුව ලංකාවේ සියලූම සංගීත කණ්ඩායම් අද අසීරු තත්ත්වයකට වැටිල. ගායකයො සියලූම දෙනා වැටිල. ජනප‍්‍රියත්වයෙන් ජීවත් වෙන කෙනා ඒක එළියට කියන්න ලැජ්ජයි. දුකයි. ඔවුන් හරි සංවේදී මිනිස්සු. ව්‍යාපාරයක් එක්ක කටයුතු කරන අපිිට ඒක දැනෙන්නෙ සියයට පනහයි. සියයට සියයක් ඒ අපහසුතාව දැනෙන අය බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් ව්‍යසනය ව්‍යසනය කිය කිය ඉන්නෙ නැතිව මේකෙන් ගොඩ එන්න නම් විකල්ප හොයන්න ඕන. මොකද ඉදිරියේදී ප‍්‍රසංග වලට අනුමැතිය ලැබුණත් ඉස්සර වගේ පන්දාහක් හයදාහක් දාගෙන ප‍්‍රසංග කරන්න බැරිවෙයි.
 
 ඔබ කලායතනයක් ආරම්භ කරන්න යනව?
 
 ඔව්. බණ්ඩාරවෙලට තමයි මගේ ඊළඟ සංක‍්‍රමණය සිද්ධ වෙන්නෙ. මම එක ප‍්‍රදේශයක් තෝරාගෙන තියෙනව. අනිවාර්යයෙන්ම තව මාස දෙක තුනකින් වගේ ලොකු කලායතනයක් ආරම්භ කරනවා.
 
 මොකක්ද ඔබේ බලාපොරොත්තුව?
 
 ඇත්තටම කවුරුත් කරන දේට වඩා වෙනස් දෙයක් තමයි මම හැමදාම කළේ. මෙතනදි මගේ බලාපොරොත්තුව වෙන්නෙ දැනුම බෙදාගැනීම. තරුණ පරපුරේ අපිට වඩා දක්‍ෂයන් ඉන්නවා. ඒ අය සමග අපේ දැනුම බෙදාගන්න ඕන. තව ගැටලූවක් තමයි දැනුම තියෙන අයට ඒකෙන් ප‍්‍රයෝජනයක් ගන්න මාර්ගයක් නැහැ. දුර බැහැර අය කොළඹ එන්න බයයි. ඒ ආවත් යා යුතු තැන් ගැන අවබෝධයක් නැහැ. එදා මමත් දික්වැල්ලෙ ඉඳන් කොළඹ එද්දි මට අත දෙන්න කෙනෙක් හිටියෙ නැහැ. මම මගේ ගමන ආවෙ තනියම. නමුත් මෙවැනි දේකින් නවකයකු හරි මගට යොමු කරන්න හැකියාව ලැබෙන බව මට විශ්වාසයි.
 
 ව්‍යාපාර කටයුතු?
 
 දික්වැල්ලෙ, කතරගම වගේ ප‍්‍රදේශ කිහිපයකම මම හොටෙල් සම්බන්ධ ව්‍යාපාර කටයුතු කළා. අලූත්ම ව්‍යාපෘතිය හපුතලේ ආරම්භ කළා. වෙනස්ම තැනක්. වෙනස්ම අත්දැකීමක් ලැබෙන විදිහට තව මාස දෙකතුනකින් ඒ වැඩකටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනව.
 
 ඔබ කොළඹ අතහරින්නද සූදානම?
 
 නැහැ. නොයෙක් නොයෙක් මතිමතාන්තර තියෙනව. නමුත් මම අනිවාර්යයෙන්ම කොළඹ ඉන්නව. මොකද මම කොළඹට ආවෙ අමාරුවෙන්. ඒ වගේම දික්වැල්ලෙ ඉඳන් මේ කර්තව්‍ය කරන්න අමාරුයි. මම සොබාදහමට ආදරෙයි. ඉඩක් ලැබුණ හැම මොහොතකම සොබාදහම එක්ක කතාකරද්්දි මනසට දැනෙන දේ පුදුමයි. සංගීතය ජීවිතය කරගත්ත කෙනකුට නිස්කලංක බව අතවශ්‍යයි.
 
 අලූත් ගීත කිහිපයක් එළිදක්වන්න සූදානමක් තියෙනව?
 
 ඔව්. අලූත් ගීත කිහිපයක් පරණ විදිහට කරන්න තමයි දැනට සූදානම තියෙන්නෙ. සීඞී එකක්නම් කරන්න බැරිවෙයි. මොකද එහෙම කරන්න තරම් ආයතනයක් දැනට ලංකාවේ නැහැ. මට විතරක් නෙවෙයි ගායක ගායිකාවන් බොහෝ දෙනකුට ඒ ප‍්‍රශ්නය තියෙනව. දැනට අවුරුදු දහයකට ආසන්න කාලයකින් ගීත ඇල්බමයක් එළිදැක්වුණේ නැහැ. මගේ උත්සාහයක් තියෙනව අතීතයට ගිහිල්ලා එයින් යම් යම් දේවල් අරගෙන පැරණි ශබ්දයක් සහ වචන වලින් අලූත් විදිහක දෙයක් කරන්න.
 
 ඔබ දැනටමත් පැරණි සාමාජිකයන් සමග එකතු වෙලා?
 
 ඔව්... අපි දැනට රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහබාගි වෙනව. ඒක අමුතු වැඩක්. වාදකයො ගායකයො වෙලා නැවත වාදකයො වෙලා. ඒක තමයි විශේෂත්වය. ලෝකෙ පළවෙනි වතාවට සිදු කෙරෙන දෙයක්. හැමදෙනාම ව්‍යාපාරිකයො. විවිධ ප‍්‍රශ්න එන්න පුළුවන්. නමුත් ඒවාට මුහුණ  දීලා සාර්ථකව කරගෙන යනව. දැනටත් රටවල් ගණනාවකින් සංගීත ප‍්‍රසංගවලට ආරාධනා ලැබිල තියෙනව.
 
 ජීවිතය දෙස නැවත හැරී බැලූවොත්?
 
 ඇත්තටම අද මම ඉන්න තැන ගැන හරි සතුටුයි. මේ මම ම ද ඉන්නෙ කියල හිතෙන වෙලාවලූත් තියෙනව. මොකද මෙතෙක් සිදු වුණ ප‍්‍රශ්නත් එක්ක වෙන කෙනෙක් නම් බින්දුවටම වැටෙනව. මගේ පේ‍්‍රක්‍ෂකයො, යාලූවො නිසා මේ කිසිම දෙයක් දැණුනෙ නෑ. මාව රැුකගත්තෙ එයාලා. පවුරක් වගේ ඔවුන් මා වටා හිටියා. විශේෂයෙන්ම ෆේස්බුක් සමාජ ජාලයේ යහළුවො මතක් කරන්න ඕන. දැනට තිස්දහසක් පමණ පිරිසක් ඉන්නවා. ඔවුන් මගේ නරක අතහැරල හොඳ දේ විතරක් අරගෙන අපි ඔයාගේ සිංදු වලට ආසයි අයියේ කියල, කෑවද බිව්වද කියල හොයල, මොනවද දැන් කරන්න හදන්නෙ කියල හොයල බලල, මොනව වුණත් අපි ඉන්නව කියල ලොකු පිරිසක් මාව බලන්න ආවා. ඒ හයියෙන් තමයි මම මගේ ඉදිරි වැඩ කටයුතු පටන් ගත්තෙ. මට ලැබුණු ඒ සහයෝගය මට විශාල සතුටක්.
 
 අජිත් මුතුකුමාරණ මොනවගේ චරිතයක්ද?
 
 සිංහලෙන්ම කිව්වොත් මගේ ලොකු සීන් නැහැ. පොළොවෙ පය ගහල ජීවත් වෙනව. මම ගොඩක් දුක් වින්ඳ. අවුරුදු අටේදි මගෙ තාත්තා නැති වුණේ. එක එක අය එක එක දේවල් කිව්වට මම දුක අඳුනනව. සමහරවිට බස් එකේ යන්නත් පුළුවන්, ෆුස් සයිකලේ යන්නත් පුළුවන්, ෆ‍්‍රාඩෝ ඩිෆෙන්ඩර්වල යන්නත් පුළුවන්. එවැනි මනුස්සයෙක් බිහිවෙලා තියෙන්නෙ මේ අත්දැකීම් වලින්. අදටත් ජීවිතේ ප‍්‍රශ්න තියෙනව. ඒවාට මුහුණ දෙමින් ඉදිරියට යන්න පුළුවන් ශත්තිය ධෛර්යය මගේ ළඟ තියෙනව කියල මට දැනෙනව.
 
 මේ දිනවල අන්තර්ජාලයේ ඔබ ජනප‍්‍රිය චරිතයක් වෙලා?
 
 මෙහෙමයි... හොඳ නරක දෙකම එනව. ඒ ජීවිත ගමනෙ හැටි. ජීවිතේ ගොඩදාගන්න උත්සාහ කරනකොට වරදින විදිහට යම් යම් දේ සිදුවෙද්දි අපි වැටෙන්න බලනව. නමුත් ගල්මුල්වල පැටලෙද්දි ඒ ගමනෙත් හැඩයක් තියෙනව. අවසානයේ අපිට ඉතිරි වුණ දේ රැුකගැනීමයි වැදගත් වෙන්නෙ. නැති වුණ දේවල් ගැන මම පොඞ්ඩක්වත් දුක් වෙන්නෙ නෑ.
 
 ජීවිතේ යම් පසුතැවීමක් තියෙනවද?
 
 නෑ... මම හිතනව මම හැමදාම ගත්තෙ හරි තීරණ. නමුත් ජීවිතේ අපි තීරණ ගනිද්දි යම් යම් තැන්වලදි වැරදි තීරණ ගන්න ඇති. ඒව එවෙලෙට හරිනෙ. ඒ දේවල් සිදුවෙලා ඉවරයි. දැන් පසුතැවීමෙන් පලක් නෑ.

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles