Divaina - තිරය ඇරෙනවා තිරය වැහෙනවා මගේ පළවෙනි ගීතයයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 
 ධර්මසිරි ගමගේ එක්ක යොවුන් ජනතා පත්තරේ කවි ලිව්වා
 

family3

චරිතාපදාන රචකයකු සහ කවියකු ලෙස අපමණ දස්කම් දක්වා ඇත්තේ වුවද බණ්ඩාර ඇහැලියගොඩ යන නම සමාජගත වී ඇත්තේ ගීත රචකයකු ලෙසය. බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණ පිටුපස සිට අනූපම සේවාවක් කළ මේ යහපත් කලාකරුවාගේ ගීත රචනා මේ රටේ ප‍්‍රමුඛ ගායක ගායිකාවන් වෙතින් ගැයී අපේ හදවත් තුළ තැන්පත්ව පවතී. දන්නා නොදන්නා ඕනෑම කලාකරුවකුගේ කලා කර්තව්‍යයක් සඳහා කොන්දේසි විරහිතව උපකාර කරනු පිණිස මේ නිහතමානී මිනිසා බැඳි සිටී. ඔබ මේ කියවන්නේ ඔහුගේ ජීවිතය සහ ගීත කලාව පිළිබඳ ඔහුගේ හෘද සාක්ෂිය විය යුතුය.
 
 * ඔබේ පළවෙනි ගීතය අදටත් ජනතාව අතර ජීවත් වන ජනතා ආදරය ලබන සුවිශේෂී ගීතයක්?
 
 මගේ පළවෙනි ගීතය හැටියට ගැනෙන්නේ ”තිරය ඇරෙනවා තිරය වැහෙනවා” ගීතය. මං ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගන්න කාලේ එහෙ තිබුණා ලොකු කානිවල් එකක්, ඉස්කෝලෙට ආධාර පිණිස. ඒ කානිවල් එකට විවිධ සංදර්ශන ඉදිරිපත් වුණා. දවස් තුනක් විතර මේක පැවැත්වුණා. අපි එතකොට උසස් පෙළ කරන ශිෂ්‍යයෝ. අපි ඉතිං ගම්වල හැදුන වැඩුන උදවියනේ. තාත්තලත් එක්ක හරි හරියට කුඹුරුවල වැඩ කරනවා. පුරන් කොටනවා, කරල් කරනවා, වපුරනවා, ගොයම් පාගනවා. ඒ ඕන දෙයක් අපිට පුරුදුයි කුඹුරුවල. ඒ අතර වාරයේ අපි ඉස්කෝල වැඩත් කරගන්නවා.

ඔය ඔක්කොම අතර තමයි මේ කානිවල් එකත් තිබුණේ. කානිවල් එකේ කොළඹ කාන්තා විද්‍යාලයක ශිෂ්‍යාවන් පිරිසක් ගිහිල්ලා හිටියා. ඒගොල්ලෝ බතේ උපත කියලා නර්තනාංගයක් ඉදිරිපත් කළා. පොඩි දෑකැති අරගෙන ගොයම් කපනවා, එකතු කරනවා, ඔලූවේ තියාගෙන යනවා, පාගනවා, හුළං කරනවා; එක එක අවස්ථා නර්තනයෙන් ඉදිරිපත් කරනවා. අපි වේදිකාවෙන් පල්ලෙහාට වෙලා බලාගෙන ඉන්නවා. ඉතිං එතකොට මට හිතුනා ඒ වෙලාවේ මෙතන ඉන්න ඕන අපිනේ. අපිනේ සැබෑවටම කුඹුරු වැඩ කරන මිනිස්සු. අපේ අත්වලනේ කරගැට තියෙන්නේ. අපේ ඇෙඟ්නේ මඩ තියෙන්නේ. ජීවිතේට කුඹුරක් දැක්කේ නැති, මඩ පොදක් ගා ගත්තේ නැති කණ්ඩායමක් ඇවිල්ලා අපට බතේ උපත කියලා දෙනවා කියන හැඟීම මට ඇතිවුණා. සමහර වෙලාවට මගෙත් එක්ක හිටපු අනිත් යාළුවන්ටත් ඒ හැඟීම ඇති වෙන්න ඇති. ඕක මගේ හිතේ තිබුණා.
 
family1 * හිතේ තිබුණ දේ ගීතයක් වුණේ තවත් අවුරුදු දහයකට විතර පස්සේ?
 
 ඒ අත්දැකීම මට ලැබුණේ 1974 විතර. නමුත් මං ගීතය ලිව්වේ ඊට අවුරුදු දහයකට විතර පස්සේ තමයි. දීර්ඝ කාලයක් මං කවි ලියපු කෙනෙක්. කවි කියපු කෙනෙක්. කවියත් එක්ක මගේ ලොකු සම්බන්ධකමක් තියෙනවා කුඩා කාලයේ ඉඳලම. අසූව දශකයේ මුල භාගයේ කොළඹට ඇවිල්ලා ධර්මසිරි ගමගේ මහත්මයත් එක්ක යොවුන් ජනතා පත්තරේ ආශ‍්‍රිතව කවි ලියලා, ඊට පස්සේ ගීතයක් දෙකක් ලියන්න ඕන කියලා හිතිලා තමයි පස්සේ ඔය අත්දැකීම ගීතයක් බවට පත්වුණේ. තව පොඩි පොඩි ගීත ලියලා තිබුණා. නමුත් ගීතයක් හැටියට නම් කරන්න පුළුවන් ගීතය තමයි තිරය ඇරෙනවා ගීතය. ගමන ආරම්භ වුණේ එතනින්. සිංදුව සරල ගී වලටත් කියලා, සිංග් ලංකා කැසට් එකකටත් තෝරා ගත්තට පස්සේ තමයි සුනිල් එදිරිසිංහයි, රෝහණ වීරසිංහයි මට අඳුන ගන්න ලැබෙන්නේ. එතකං අපි අතර ඇඳුනුම්කමක්වත් තිබුණේ නෑ.
 
 * එතකොට මේ ගීතය සුනිල් එදිරිසිංහයන්ට ලැබෙන්න සැලැස්සුවේ කොහොමද?
 
 ජයලත් මනෝරත්න සහ සුනිල් එදිරිසිංහ එකම ආයතනයක වැඩ කළේ. මහවැලි කේන්ද්‍රයේ. මනෝරත්න මගේ දීර්ඝ කාලීන යාළුවෙක්. මං විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ඉඳලා මනෝරත්න ව දන්නවා. මනෝරත්නව හම්බවෙන්න ගියාම සුනිල් එදිරිසිංහත් ඉන්නවා මං දකිනවා. අපි ඉතිං ඒ කාලේ අද වාගේ ගිහිල්ලා කතා කරන්න යන්නේ නෑ. ඊට පස්සේ මම ලියපු සිංදු කිහිපයක් මං මනෝරත්න අතේ සුනිල් එදිරිසිංහට යැව්වා. ඒවායින් සුනිල් ගීත දෙකක් තෝරා ගෙන තිබුණා. එකක් තිරය ඇරෙනවා. අනික ලෝකයක් නසන්නට රුදුරු අවි අත දරා කියන ගීතය. ජනවාර්ගික ප‍්‍රශ්නය ගැන යුද්ධය ගැන මගේ තිබිච්ච අදහස ගැන ලියවෙච්ච ගීතයක්. ඔය දෙකම සුනිල් ගිහිල්ලා පෙන්නලා තියෙනවා රෝහණලා සපුතන්ත‍්‍රීලා, කුලරත්න ආරියවංශ ලා එහෙම කණ්ඩායමක් ඉන්නවා රෝහණ ගේ ගීත කරන, ඒගොල්ලන්ට. පෙන්නුවට පස්සේ ඒගොල්ලෝ තමයි මේ ගීත දෙක තෝරා ගෙන තියෙන්නේ. ඒ ඇරෙන්න මට එහෙම සුනිල්ලත් එක්ක රෝහණලත් එක්ක කිට්ටු සම්බන්ධයක් තිබුණේ නෑ. මේ ගීතයෙන් පසුව තමයි මං ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වුණේ. ඊටපස්සේ දිගටම අද දක්වාම ඒ සම්බන්ධකම නොනැසී තියෙනවා.
 
 * මීට පෙර ඔබේ ගීයක් ගායනා වුණා නේද?
 
 ලෝරන්ස් මාටින් කියලා ගායකයෙක් මගේ ගීතයක් ගායනා කරලා තිබුණා සරල ගීවලට. ගායනා උනත් ජනප‍්‍රිය වූ ගීතයක් නෙමෙයි. ”මල්ලියේ නුඹට මතකද අප දෙන්නා” කියලා කවි හැඩයේම එකක්. පළවෙනි ගීතයට කලින් ලියවුණ ගීතයක්. නමුත් මගේ පළවෙනි ගීතය හැටියට හැඳින්වෙන්නේ ජනප‍්‍රිය වුණේ මාව අඳුනන්නේ තිරය ඇරෙනවා ගීතයෙන්.
 
 * කවියත් එක්ක මේ තරම් කිට්ටුවන්තකමක්?
 
 අපේ ගම් පළාත්වල හරියට කවියෝ. මල් වට්ටි වෙන්දේසි, සල්පිල් වෙන්දේසි, තොරණ මේ හැමතැනම ඔය කවියෝ ඉන්නවා අපේ ගම්වල. කවියෝ කවි මඩු පවත්වනවා. හුඟක් පන්සල් ආශ‍්‍රිතව තමයි සිද්ධවෙන්නේ. සල්පිල් තියෙනවා. ඒවායේ මල් වට්ටි වෙන්දේසි තියෙනවා. වෙසක් එකට පොසොන් එකට තොරණ තියෙනවා. ඒ හැමතැනම කවිය තිබුණා. ඒ හින්දා කවියත් එක්ක මට ලොකු බැඳීමක් තිබුණා. ආසාවක් තිබුණා. ඊටපස්සේ මම යම් යම් තැන්වල කවි කියන්න පටන්ගත්තා. සමහර කවියෝ සල්පිල් වෙන්දේසිවලට ගිහිල්ලා සල්පිල් වෙන්දේසිය කරන අතරවාරයේ පොඩි විවේකයකට වට පිට බලනවා පොඞ්ඩක් මයික් එක කාටද භාරදීලා යන්න පුළුවන් කියලා. තේකක් බොන්න යන්න, වෙන අවශ්‍යතාවකට යන්න. අපි කවි කියන්න ආසයි කියලා දැනගත්තම අපිට කතා කරනවා. එහෙම තමයි කවිය පටන් ගත්තේ. පාසල් වේදිකාවේ මම හුඟක් වෙලාවට කවිය භාවිතා කළා. ලක්ෂ්මන් කහටපිටිය මගේ මිත‍්‍රයා අපි දෙන්නා එක ඉස්කෝලේ. එයා මට වඩා හුඟක් ඉස්සරහින් හිටියා. පොත් පත්තරවලට කවි ලියනවා; තරුණි, මිහිර, බුදුසරණ පත්තරවලට කවි ලියනවා. ඔය නිසා මට කවි ලියන්නත් ආසා හිතුනා. ඒකට බලපෑම වුණේ ලක්ෂ්මන්. ඊටපස්සේ මම පත්තර වලටත් ලිව්වා. එතකොට මට පාසලේ කවියට සම්බන්ධ ජනප‍්‍රියත්වයක් මට තිබුණා. පාසල් වේදිකාවේ, යම් යම් සාහිත්‍ය තරගවල මං කවි කියනවා. පාසලේ භක්ති ගීත ප‍්‍රසංගයක් වෙච්චහම සර්ලා මටත් කියනවා ගීතයක් දෙකක් ලියලා දෙන්න කියලා. මං ලියලා දුන්නා. දුන්නු ඒවා ගායනා වුණා. එහෙම පොඩි මුලින් හුරුවක් ඇතිවෙලා තිබුණා මට. අදත් මං විශ්වාස කරන දෙයක් තියෙනවා, තාම මං ගීත ලිව්වට මගේ ගීතවල හුඟක් තියෙන්නේ කවි ආර කියලා. තිරය ඇරෙනවා ගත්තත් එහෙමයි.
 
 * පාසල් අවධියේ තිබුණු බලාපොරොත්තුවක් ද මේ?
 
 පාසල් යන කාලේ අපේ ගම් මට්ටමින් කිසිම කෙනෙක්ගේ එහෙම බලාපොරොත්තු තිබුණෙත් නැහැ. ඔහේ පාසල් යනවා, ඉගෙනගන්නවා, කුඹුරු වැඩත් කරනවා, ගෙදර වැඩත් කරනවා, හේන් වැඩ, තාත්තලත් එක්ක හරි හරියට අනිත් වැඩත් කරනවා. වර්තමානයේ වගේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කරන්න අපට එහෙම හීන තිබුණේ නැහැ. අපේ ගම්වල එහෙම දොස්තරලා ඉංජිනේරුවෝ නැහැ. අපේ ගම්වල වැඩිම ඉගෙනගත්ත කෙනෙක් කරන රස්සාව තමයි ඉස්කෝලේ මහත්තයෙක් වෙන එක. ඒ ඇරෙන්න පරමාර්ථයක් ඇතුව, එල්ලයක් ඇතුව, අරමුණක් ඇතුව ගියේ නෑ. විභාගේ කරන අතරේ කුඹුරු වැඩත් කරනවා. පතලූත් කපනවා. වත්තේ කිරි ටිකත් කපනවා. ඒවා කරමින් ඉන්න අතරේ විභාගෙත් කරනවා. විභාගේ පාස් උනොත් ඉදිරි කටයුතුවලටත් යනවා. මං පළවෙනි පාර සාමාන්‍ය පෙළ කළේ හලාවත ඉස්කෝලෙ. එහෙදි මං විභාගේ කරලා ගෙදර ඇවිල්ලා වැඩ කරමින් ඉන්න අතරේ දවසක් මං ඒ හලාවත හිටපු තැනින් විභාගේ පාස්වෙලා කියලා මට ලියුමක් එව්වා. එතකං මම පාස් වෙලාද කියලා හෙව්වෙත් නෑ බැලූවෙත් නෑ මුකුත් නෑ. මං උසස්පෙළ කළේ ඇහැලියගොඩ මහා විද්‍යාලයේ. එතැනදී පළවෙනි වතාව යන්තං පාස් වෙනවා. දෙවැනි වතාවේ වැඩ හතරම සමත්වෙලා ගෙදරට වෙලා පතල් කපා කපා කුඹුරු වැඩ කර කර මං ඉන්නවා. එහෙම ඉන්නකොට ඉස්කෝලේ යාලූවෙක් තමයි ඇවිත් කිව්වේ මාව විශ්වවිද්‍යාලෙට තේරිලා කියලා. ඒ ඇරෙන්න අපේ කිසිම එහෙම එල්ලයක් තිබුණේ නෑ. අපේ ගම් එහෙම අරමුණු එක්ක යන්න තරම් දෙයක් නෑ. මොකද අපේ ගම් හරි සශ‍්‍රිකයි. කුඹුරු, රබර් වතු තියෙනවා. තේ වතු තියෙනවා. මැණික් තියෙනවා. ඉතිං ඔය වගේ කාරණා හින්දා අපේ ගම්වල බොහෝ අය කෙටි කාලයකින් පාසල අත්හැරලා යනවා. ගිහිල්ලා ඒ කටයුතු කරනවා. මේ සියලූ දේවල් මහන්සියෙන් උනත් අහම්බෙන් ඉබේට වගේ ලැබිච්ච දේවල්. ඒ නිසා මේවායේ බර වැඩියි අපට.
 
 * ඔබේ ගීත ඔබේ අත්දැකීම් ද?
 
 මගේ ගීතාවලියම හුඟක් වෙලාවට මාත් එක්ක සම්බන්ධ වෙච්ච ගීත. අපේ ගම්වල ජීවත් වෙන මිනිස්සුන්ගේ දුක් කඳුළු දහදිය තමයි ඒ ගීතවල තියෙන්නේ. අපේ තාත්තලාගේ අම්මලා ගේ අයියලාගේ ජීවිතවල හැඩ හුරුකම් තමයි ඒ ගීතවල තියෙන්නේ. බොහොම සැහැල්ලූ නමුත් දුක්බර ජීවිත තමයි ඔවුන් ගෙව්වේ. එකම දේ ලොකු පරමාර්ථත් එක්ක ජීවත්වෙලා සිතින් දුක් විඳින මිනිස්සු නෙමෙයි. එදාවේල හරිහම්බ කරගෙන ඔහේ ඉන්න කණ්ඩායම්. ඔවුන් ගේ දුක් කම්කටොලූත් එක්ක තමයි මගේ ජීවිතේ හැදෙන්නේ වැඩෙන්නේ. ඒ හින්දා බහුතරයක් පෞද්ගලික අත්දැකීම්.
 
 * අන්න බලං ඉඳිකඩ ළඟ ඉතා ජනප‍්‍රිය ගීතයක්?
 
 ඒ ගීතය පුරාම තියෙන්නේ මගේ ළමා කාලය. මට දුවලා දෙන්නෙක් එතකොට හිටියේ පුතා පස්සේ හම්බුනේ. ඒ දුවලා දෙන්නා උදේ පාන්දර ඉස්කෝලේ යන්න ලෑස්ති කරනකොට සුදු පාටට ගවුම් අන්දලා ලෑස්ති කරනකොට මට මතක් වෙනවා මගේ ඉස්කෝලේ ගමන. අපිට එහෙම සුදු පාට ඇඳුම් කියලා එකක් තිබුණේ නෑ. අපි ඉතිං අහුවෙච්ච එකක් ඇඳන් තමයි මම ඉස්කෝලේ ගියේ. මුල් කාලේ මං ඉස්කෝලේ ඇන්දේ සරමක්. හුඟක් වෙලාවට ඉස්කෝලේ අරලිය ගහයට හෙවනේ තමයි අපිට ඉගැන්නුවේ. මොකද ශාලා ඒකයි තිබුනේ. තව එකක් තිබුණා පොල් අතු වලින් හෙවිල්ලලා. ඔය දෙකේ උගන්වන්න ගියාම සද්දේ වැඩි නිසා අපිව එක්කගෙන යනවා අරලිය ගහ යටට. වැස්සට ඉස්කෝලෙට දුවගෙන එනවා. පායන දවස්වලට අරලිය ගහ හෙවනට යනවා. ඔහොම තමයි අපි ඉගෙනගත්තේ. අපට පුටුත් මදි. අපි පුටු දෙකක් එකට තියලා තුන්දෙනෙක් ඉඳ ගන්නවා. එක්කෝ බංකුවේ මේ කෙරෝලේ ඉඳන් ඒ කෙරවලටම කට්ටිය වාඩිවෙලා ඉන්නවා. එක පුටුවක වාඩිවෙලා එක පැන්සල දේකට කඩන් අකුරු කෙරුව කාලය නෑ ආයිත් එන්නේ කියල ලියවුණේ ඒ මතකයන්. දරුවා පිළිබඳ ලියවුණ ගීතයක් හින්දා දරුවා ගැන තියෙන බලාපොරොත්තුව මං නොදුටුව නව ලෝකය කිරුළ පැළඳ රැුජින වෙලා කියලා මං ලිව්වා. රෝහණගේ මියුරු සංගීතයට දීපිකා මේ ගීතය අලංකාරව ගායනා කළා.
 
 
 
 *”වන්නි වන පෙතේ” ඔබේ ගමේ ඔබේ ගෙදර කතාවක්ද?
 
 අපේ තාත්තා බොහොම පිටිසර අමුඬේ ගහපු කොන්ඬේ බැඳපු ගොවියෙක්. අපේ ගෙදර ලොකු ඉස්තෝප්පුවක් තිබුණා. එතන වැල් ඇඳක් තිබුණා. පොඩි මිටි බංකුවක් තිබුණා. හවසට අයියලාගේ යාළුවො ආවහම එකතුවෙලා දාන් අදින්නේ පංච කිරන්නේ ඔක්කොම ඔය ඉස්තෝප්පුවේ තමයි. අපේ ගේ මිදුල උඩින් මිනිස්සු ගියා. එතන පාර නෙමෙයි. පාර වෙනම තියෙනවා. පාර ටිකක් දුරයි. ඒක හින්දා මිනිස්සු ලේසියට මිදුල උඩින් තමයි යන්නේ. ඒක අපේ ගෙවල්වල කාටවත් ප‍්‍රශ්නයක් වුණේ නැහැ. අද වාගේ වැටවල් ගහගෙන තාප්ප බැඳගෙන ගෙවල් ඇතුලේ බන්ධනාගාරගත වෙලා හිටියේ නෑ අපේ ගම්වල මිනිස්සු. ඉතිං ඔහොම යනකොට අර වැල් ඇඳ උඩ ඉඳන් බත් කන තාත්තා පාර දිගේ යන අයට තාත්තා කතා කරනවා. සිරිසේන ළමයෝ වරෙන්කො බත් ටිකක් කන්න. ඒ තාත්තගේ හැටි. පුරුද්දක්. ඇත්තටම ඒක මේ අපේ තාත්ත ගේ විතරක් නෙමේ අපේ ගම්වල තාත්තලාගේ පුරුද්දක් ඒක. අපේ ගෙදර නව දෙනෙක් හිටියා අම්මයි තාත්තයි එක්ක. අපේ අම්මා පහළොවකට විතර උයනවා. ලොකු බත් හැලියක් තම්බනවා. කොස් ටිකක් කූරු ගාලා හාල් මැස්සන් හොද්දක් හදලා එච්චර තමයි ආහාරවේල. නැත්නම් මඤ්ඤොක්කා ටිකක් කූරුගාලා කරවල හොද්දක් හදනවා. කව්රුහරි අමුත්තෙක් ආවොත් පරිප්පු ටිකක් හදලා පපඩමක් බදිනවා. එහෙම නැත්නම් සැමන් එකක් කඩෙන් අරං ගිහිල්ලා හදනවා. ඒ ඇරෙන්න වෙන නෑ. හැම තැනම එක වගේ ආහාර වට්ටෝරු තමයි ක‍්‍රියාත්මක වෙන්නේ. හුඟක් වෙලාවට දෙතුන් දෙනෙක් වරදින්නේ නෑ ඉතිං. තාත්තා කුඹුරට ගියත් අම්මා ඇඹුල අරං එනකොට තාත්තා වක්කඩෙන් අත පය හෝදගෙන කමතට ගොඩවෙලා අහල පහල ඉන්න එක්කෙනා දෙන්නට කතා කරනවා තේ ටිකක් බොන්න වරෙන්, බත් ටිකක් කන්න වරෙන් කියලා. එහෙම දීලා කාලා පුරුද්දක් තියෙන අය තමයි අපේ ගම්වල හිටියේ. වෙස්සන්තර පාරමිතාව පුරනවා වගේ එහෙම එකක් තමයි මං දැක්කේ. ඔහොම ඉඳලා තාත්තා අන්තරා වෙනවා. මම එතකොට කුලී ගෙදරක. දරුවෝ පාසල් යනවා ආණ්ඩුවේ රස්සාවක් කළේ. ඒ වැටුපෙන් තමයි ජීවත්වෙන්නේ. මාස භාගයක් යනකොට පඩිය ඉවරවෙනවා. අපි බොහොම සීමාසහිත ක‍්‍රමයකට ජීවත්වෙන්න ඕන. ඉතිං මං තාත්තගේ මළ ගෙදරට ගිය වෙලාවේ ගමේ හිටපු හැමෝම කියපු දෙයක් මට ඇහුනා ”අනේ ඉතිං ගමටම කන්න දුන්න මනුස්සයනේ මේ” කියලා. ඒ කටයුතු ඉවරවෙලා
 
 ඇහැලියගොඩින් බස් එකට නැගල මං එනකොට දෝංකාර දුන්නේ ඔය වචන ටික විතරමයි. එතකොට මට මතක් වුණා ගමටම කන්න දුන්න මනුස්සයගේ පුතා කොළඹට වෙලා මාස භාගයක් පඩියෙන් ජීවත්වෙලා ඉතුරුභාගේ ණය වෙලා සමාජයේ කටයුතු කරගෙන ළමයින්ගේ කටයුතු කරගෙන අමාරුවෙන් ජීවත් වෙනවා. අපේ අම්මලා තාත්තලා කරපු දේවල් අපට කරගන්න බෑ. අපේ අම්ම්ලාට තාත්තලට වගේ අපිට දාන පාරමිතාව පුරන්න හැකියාවක් නෑ. ඒ හැඟීම තමයි තාත්තාගෙන් මරණින් පස්සේ මං ඒ ගීතයෙන් ලිව්වේ. පුරුදු පරිදි ගීතය ලියලා සුනිල්ට දුන්නා මං. සුනිල් ඒක රෝහණට දීලා සංගීතය නිර්මාණය කරලා ගායනා වුණා. අද දක්වාම ඒ ගීතය මිනිස්සු අතර තියෙනවා.
 
 * ”මගේ අමල් බිසෝ” ගීතය?
 
 විවෘත ආර්ථික ක‍්‍රමයත් එක්ක විදේශ සංචාරකයින් ගේ පැමිණීමත් එක්ක අපේ රටේ ඇතිවෙච්ච
 
 කලබගෑනි ප‍්‍රශ්න තිබුණා. මූදු බඩ පළාත්වල ඒ සංචාරක ව්‍යාපාරය නිසා ජන ජීවිතයට යම් බලපෑමක් ඇතිවුණා. ඇතැම් වෙලාවට මත්කුඩු වගේ දේවල් නිසා. සමහර තැන්වල මේ ළදරු තවාන් කියලා වචනයක් අපේ සංස්කෘතියට එකතු වෙනවා. කුඩා දරුවන් එක තැනකට එකතු කරලා ඒ දරුවන් මුදලකට විකුණනවා සංචාරකයින්ට. ඒ කාලේ මාධ්‍යවල මේක ප‍්‍රචාරය වුණා කියවන්න ලැබුණා. ඉතිං එක අහලා මට ඇතිවෙච්ච හැඟීම තමයි මං ගීතයක් හැටියට ගොනු කළේ. ගීතය ලියනකොට මට මතක් වුණේ අපි කුඩා කාලයේ අත්දැකපු ජනප‍්‍රවාදයේ එන කතන්දරයක්. ඒක තමයි අමල් බිසෝ කතන්දරේ. ගීතයේ හැටියට ගීතයේ ඉන්න පුද්ගලය රට ගිය කෙනෙක්. මූදු බඩ පළාතක තමයි පවුලේ අනිත් උදවිය ඉන්නේ. රට ගියාට බයයි පවුලේ අයට අතවරයක් කරදරයක් වෙයිද කියලා. ඒක හින්දා ඒ රට ඉඳගෙන පවුල අමතා කියන ආමන්ත‍්‍රණයක් හැටියට තමයි ඒ ගීතය ලියවුණේ. ඒ දෙකම මං ඒකට සම්බන්ධ කරගත්ත. රෝහණ මේ ගීතය අවබෝධ කරගෙන ඉතා උචිත නාද මාලාවක් සකස් කළා. සුනිල් ඉතා හැඟීම්බරව ගායනා කළා.
 
 * දියණියට, විවාහ උත්සව ආශ‍්‍රිතව වැඩි ගීත ප‍්‍රමාණයක් ඔබ රචනා කර තිබෙනවා?
 
 වැඩිම ගීත ගණනක් විවාහ උත්සවවලට ලියන්න ඇත්තේ මම වෙන්නැති. පළවෙනියට ලිව්වේ ”දුවේ නුඹ මගේ ප‍්‍රාණයයි”. ඒක ලියන්න හේතු වුණේ නන්දදාස රාජපක්ෂ මහතා කරපු ඉල්ලීම. ඔහු මට කිව්වා ඔහුගේ දුවගේ විවාහ මංගල්‍යය උත්සවය පැවතුණා ලොකුවට. ඒකෙ එක එක ගීත අහන්න ලැබුණා. ඒ ඔක්කොම අඳෝනා වගේ. මේ දුක කියන්නේ නැතිව අපිට බැරිද දුවෙක් කියලා කියන්නේ පරම්පරාවක අභිමානය කියලා හිතෙන විදිහේ ගීතයක් ලියන්න කියලා මගෙන් ඇහුවා. ඔය අදහස වචනවලට පෙරළද්දී මගේ හිතට ආව පළවෙනි දේ තමයි ඉස්සර අපේ ගම්වල මඟුල් ගෙදරකදී කටයුතු ඉවරවෙලා යන්න ලෑස්ති වුණහම තියෙනවා පොඩි උත්සවයක් දෙපැත්තේම කට්ටිය එකතු වෙලා ගාථා ශ්ලෝක කවි කියලා ජීවිතේ ගෙවන්නේ මෙහෙමයි කියලා අවවාද අනුශාසනා සමූහයක් දෙනවා. මට ගීතය ලියන වෙලාවේ හිතුනා මේක ඉතා හොඳ අවස්ථාවක් දුව පිළිබඳව කියන්න. දුව චාරිත‍්‍ර ඉවරවෙලා පිටත්වෙන වෙලාවට තාත්තා කෙනෙක් තුළ ඇතිවන හැඟීම. ලියලා පළවෙනි වතාවට මං ඒක නන්දදාස මහත්මයට යැව්වාම එතුමා හරියට සතුටට පත්වෙලා මේක අපි ඉක්මනින්ම පටිගත කරන්න ඕන කිව්වා. සංගීතය රෝහණ නිර්මාණය කරලා සුනිල් ගීතය ගායනා කළා. ඒ කියපු දවසේ ඉඳන් අද දක්වාම සෑම මඟුල් ගෙදරකම පාහේ මේ ගීතය ගායනා වෙනවා. ඒක මට හරි සතුටක්. ඊට පස්සේ ගීත ගණනාවක් දුවලා පිළිබඳ ලියවුණා. අතිනත අරං යනවිට සෙමෙන් නව නෑ සියන් සමගින් මෙසේ ගීතය සංඛනි එදිරිසිංහ ගායනා කරන්නේ. තව ගීතයක් සුනිල් ගයනවා පුතා ගැන. නුඹ වන් පුතෙක් ලද මවක් වේ නම් ඇයද සැනහේ මැයි, නුඹ වන් පුතෙක් ලද පියෙක් වේ නම් ඔහුද සැනහේ මැයි කියලා. අම්මට  ගැන ඇතිවෙන හැඟීම  අපේ ආලෝකයයි කියලා දිස්නා අතපත්තු ගායනා කරනවා.
 
 *”ජීවිතේ කවියක් ආදරය එහි සොඳුරුතම වදනක්” තවමත් එදා වගේම ජනප‍්‍රියයි?
 
 මම රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන කාලේ තමයි ගජමන් නෝනා කියන ටෙලි නාට්‍යය රූප ගත කරන්න පටන් ගත්තේ මගේ අධීක්ෂණය යටතේ. ඒ සඳහා ගජමන් නෝනාගේ ජීවිතය හොයාගෙන යන ගමනට මටත් එකතුවෙන්න පුළුවන් වුණා. ඇගේ ජීවිතය පිළිබඳව තොරතුරු හොයලා බැලූවා, පිටපත ලියන්න කලින්. ගජමන් නෝනා ගැන අහලා තිබුණ විදිහ නෙමෙයි ගජමන් නෝනාගෙ ජීවිතය කියලා ඉන්පස්සේ අපට තේරුණා. අසීමිත දුක් කන්දරාවක් අනුභව කරපු කාන්තාවක් තමයි ගජමන් නෝනා. අපට එහෙම චරිතයක් හම්බවෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ පටාචාරා. මං හිතන්නේ පටාචාරාවට වඩා දුකක් අනුභව කළා ගජමන් නෝනා. පටාචාරාවට අවසානයේ බුදු හාමුදුරුවෝ පිහිට වෙනවා. බුදුන් වහන්සේ ධර්මය දේශනා කරලා ඇය රහත් භාවයට පත් වෙනවා. ගජමන් නෝනාට එහෙම පිහිට වෙන්න කව්රුත් හිටියේ නෑ. ඇය හැබැයි ජීවිතයේ සියලූ දේවල් අනිත්‍යයි කියලා අවසාන කරගන්නේ නෑ, ඇය මැරෙනතුරුම ජීවත්වෙනවා. ඒ ජීවත්වෙන්න ඇයට තිබිච්ච එකම හයිය තමයි එකම ශක්තිය තමයි කවිය. ඇය කිවිඳියක්. ඒ කවිකම තමයි ඇයට ආශිර්වාදයක් වුණේ. කඳුලයි හසරැල්ලයි මැද්දෙන් ගත කරපු ජීවිතයක් තමයි ගජමන් නෝනා ගෙ තිබුණේ. මධුර තනුවක් නිර්මාණය කළා රෝහණ වීරසිංහ. ඉතා හැඟීම්බරව ගායනා කළා නන්දා මාලිනී. ඒ නිසා ඒ ගීතයත් අදටත් අප අතර පවතිනවා.
 
 * ඔබේ ආදරණීයයන්?
 
 තිලකලතා මහානාම මගේ බිරිඳ. අපි මුණගැහෙද්දී ඇය සෙන්ට‍්‍රල් හොස්පිටල් එකේ හෙද නිලධාරිනියක් විදිහට කටයුතු කළා. එහෙට ගිය වෙලාවේ ඇය දැකලා ඇතිවෙච්ච බැඳීමක් හැටියට තමයි අපේ විවාහය සිද්ධ වෙන්නේ. ඇය දකුණු පළාතේ. මම සබරගමුවේ. ලොකු දුව අමාලි කවි ලියනවා. කවි පොතකුත් කළා. ඒ කන්ද පාමුල කියලා. ගීතත් හතරක් පහක් දැනට ලියලා තියෙනවා. ඒවා හර්ෂණ දිසානායක, ශෂිකා නිසංසලා, උරේෂා රවිහාරි ගායනා කළා. භාග්‍යා නිර්මානි අනිත් දුව. පුතා අකලංඛ මාධව. මෑත මම ලියාපු මේ කිරුළ බර වැඩියි දේවි ගීතය බිරිඳ පිළිබඳ ලියූ ගීයක්. ජයන්ත ධර්මදාස මට එක පාරක් කිව්වා එයාගේ බිරිඳ මිය ගිහිල්ලා අවුරුදු හතරහමාරක් වෙනවය, තවමත් ඒ තනිකම දැනෙනවා කියන කාරණාව. ඒ හැඟීම ගැන කියන්න ගීතයක් ලියන්න පුළුවන්ද කියලා ඔහු දවසක් මගෙන් ඇහුවා. මං ඒක ලිව්වා. අමරසිරි පීරිස් ගයන්නේ.
 
 
 යුගන්ති යශෝධරා 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles