Divaina - පොළොන්නරුවේ ශිව කෝවිල යටින් බුදුගෙයක් මතුවෙයි; බුදුගෙය කඩා බුදු පිළිමය තැබූ තැනම ශිව ලිංගය තියලා!

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sivakovla

කාලයාගේ ඇවෑමෙන් නැතිව ගිය ඉතිහාසය නැවත ලියැවෙන්නේ මිනිසුන්ගේ පිනටමය. සිංහල ඉතිහාසය තුළත් එලෙස වැළලූනු අතීතය තුළ වූ සංස්කෘතික වටිනාකම් ගැන හෙළිදරව්වක් පසුගියදා අප වෙත දැනගන්නට ලැබිණ. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දනන්ජය ගම්ලත් මහතා විසිනි. පොළොන්නරුව ශිව දේවාල අංක 1 සංරක්ෂණය සඳහා ගලවා තිබී ඇති අතර එහි වාස්තු විද්‍යා ව්‍යුහයක් ලෙස හඳුනාගැනීමට ලැබුණේ එක්තරා අහම්බයක් ලෙසිනි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙහි දරුවන්ගේ ක්ෂේත‍්‍ර චාරිකාවක් සඳහා පසුගියදා 17 වැනිදා එක්වූ ඔහුට මෙම නටබුන් නෙත ගැටුණු අතර එය නිරීක්ෂණයට අනුව ඒ මහතා විසින් එය පිළිම ගෙයක් ලෙස හඳුනාගනු ලැබිණ. පොලොන්නරු යුගයෙහි අවසානය වන තෙක් පිළිම ගෙවල් දෙසිය පනහක් පමණ නිරීක්ෂණය කළ පුරාවිද්‍යා ආචාර්ය දනන්ජය ගම්ලත් මහතාට මෙම පිළිම ගෙය හඳුනාගැනීමට ලෙහෙසි විය. එතෙක් ජරාජීර්ණව පැවති කොටස් අතර එම වාස්තුවිද්‍යා ව්‍යුහය අනුව බුදු පිළිම ගර්භයෙහි යන්ත‍්‍ර ගලක් ඇත්දැයි පරීක්ෂා කරන විට ඒ මහතාට පෙනීගොස් ඇත්තේ අසල ගසක් මුල වැටී ඇති වටිනාම පුරාවස්තුවක් වන නිධන් ගලයි.
 
polonnaruwa3

 

 

 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දනන්ජය ගම්ලත්

 

 

 වර්තමාන පොළොන්නරුව පුරාවිද්‍යා පරිශ‍්‍රය සහිත සංඝාරාමය ඇරඹෙන්නේ ගෝපාල පබ්බත ශිලා ලේඛනයට අනුව කි‍්‍ර. ව. 2 වැනි සියවසේ දී චූලගල්ල විහාරය යන නමිනි. මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විග‍්‍රහ කරන අන්දමට වටදාගෙය තුළ ඇති කුඩා ස්තූපයත් එම උස්මාලක භූමියත් මෙන්ම මහා පරාක‍්‍රමබාහු රජුගේ රූපාවතී බිසව විසින් වැඩි දියුණු කරවූ පබළු වෙහෙර සෑයත් ඒවායේ මුල් ඉදිකිරීම් ලක්‍ෂණවලට අනුව කි‍්‍ර.ව. 8 වැනි සියවසට අයත්වනු ඇත. මෙම ලිපියට මූලික වන ශිවකෝවිල යටින් සොයාගෙන තිබෙන බුදුගෙය එහි වාස්තු විද්‍යා ලක්‍ෂණ වලට අනුව ලක්දිව ස්වාධීන බුද්ධ ප‍්‍රතිමාගෘහ ඉදිකිරීමේ මුල්ම වකවානුවට එනම් කි‍්‍ර.ව. 3-4 සියවසට අයත්වනු ඇත. කි‍්‍ර.ව. 10 වැනි සියවස අවසාන භාගයේදී දකුණු ඉන්දියානු චෝල අධිරාජ්‍ය විසින් අනුරාධපුර රාජධානිය විනාශකොට ලක්දිව චෝල අධිරාජ්‍යයේ මණ්ඩලයක් ලෙසට ප‍්‍රකාශයට පත්කරන විට (මුම්මුඩිචෝළමණ්ඩලම්) පොළොන්නරු භූමියේ විශාල වශයෙන් සංවර්ධනයට පත්වූ සංඝාරාමයක් චූලගල්ල යන නමින් වැජඹුණු බවට මේ පුරාවිද්‍යා ස්මාරක සාක්‍ෂි සපයනු ඇත. කි‍්‍ර.ව. 982-1029 රාජ්‍ය කාලය තුළ අනුරාධපුර රාජධානියේ අවසාන රජුවන V වැනි මහින්දව සිරකරුවෙකු ලෙසට චෝළ අධිරාජ්‍යයට රැගෙන යෑමත් චෝළ සිරකරුවෙකුව සිටියදී ඔහුගේ මරණය එහිදී සිදුවීමත් එවක්පටන් වසර 60 ක පමණ කාලයක් ලක්දිව පාලනය ගෙන ගියේ රාජරාජ ඇතුළු චෝල පාලකයන් වීමත් සිංහල කාසි ව්‍යවහාරය තහනම් කොට සේතු නම් වූ දෙමළ කාසිය ව්‍යවහාසනරයට යෙදවීමත් රාජධානියේ බලයට නතුවූ බවට සාක්‍ෂිය.

 

siva500new
 
  පුරාවිද්‍යා ආචාර්ය දනන්ජය ගම්ලත් මහතා පවසන පරිදි මෙම පිළිමගෙයි නිධන් ගල සොයාගන්නා විටත් එහි කොටසක් විනාශව තිබිණි. ඔහුගේ නිරීක්ෂණයෙන් පසු එය දැනට ආරක්ෂිතව ගබඩාකර ඇති අතර එවන් කැබලි හයකින් යුතු නිධන් ගල වඩාත් සමාන වන්නේ පිළිම ගෙවල් වල මුල් භාගයේ ඒවාය. එවන් පිළිම ගලක් ත‍්‍රිකුණාමලය රිදී කන්දේ හි ක‍්‍රිස්තු වර්ෂ 2 වන සියවසට අයත් පිළිමගෙයක දක්නට ඇති බව ඒ මහතා පවසයි. දැනට වර්ෂාව නිසා එම කොටස වසා ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනට තීරණය කර ඇත්තේ මෙම ස්ථානය කැණීම් කරන ලෙසයි. එනමුත් නැවත මෙම ස්ථානය කැණීම්වලට බඳුන් කළ හොත් එහි වටිනා පාෂාණ තට්ටුව විනාශ වී යා හැක. ආචාර්ය ගම්ලත් මහතාගේ මතය අනුව දැනට පිළිමගෙය සොයාගෙන ඇති නිසාම එය සංරක්ෂණය කළ යුතු වෙයි.

 

siva2
 
 එදා පස්වෙනි මහින්ද රජුව සිරකාරයෙක් කර තමින්නාඩුවට රැගෙන යන චෝල ආක‍්‍රමණිකයන් ලක් දේශයේ ගම්බිම් අත්පත් කරගනිමින් තම බල පරාක‍්‍රමය පතුරවා හරින්නට විය. විහාර ගෙවල්, පිළිමගෙවල් වල තැන්පත් කර තිබූ ඓතිහාසික අතින් අතිශය වැදගත් වටිනා දේ සියල්ල කොල්ලකමින් එම ගොඩනැගිලි පොළොවට සමතලා කොට ඇත. මහාවංශයත් ඊට ආසන්න කාලයක ලියැවුණු පූජාවලියත් එදා බෞද්ධ සිද්ධස්ථාන වලට සිදුවූ හානිය ගැන පැහැදිලි කර ඇත. රාජ රාජගේ චෝල පාලනය වසර හැට පහක් තෙක් දිවෙත්ම ඔවුන් කළ විනාශය සුළුපටු නැත. එලෙස ගොඩනැඟිලි විනාශ කළ චෝලයන් රට තුළ තම සංස්කෘතිය පතුරවා ලීමට කදිම උපක‍්‍රමයක් කල්පනා කළේය. ඔවුන් සිදුකළේ විනාශ කළ බෞද්ධ විහාර ඇති ස්ථානයේම ඊට අඩියක් පමණ ඉහළින් ශිව දේවාල ගොඩනැගීමයි. එදා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ලංකා ඉතිහාසය නම් ග‍්‍රන්ථයෙහි පෙන්වා දෙන පරිදි මෙම විනාශයන් සත්‍යයක් බවත් ඊට හේතු පාදක වන යම් පුරාවිද්‍යා සාක්ෂි ලැබී නැති බවය. ඒ අනුව විහාරගෙය සොයාගැනීම අප හට සුවිශේෂී සොයා ගැනීමක් වන්නේය. ශිව දේවාල අංක 1 ගොඩ නගා ඇත්තේ බුදුගෙය විනාශ කොට එය උඩය. ශිව කෝවිල 11 වන සියවසට අයත් අතර එය ඇත්තේ ලෝක උරුම නගරයකය. ඒ අනුව ශිව කෝවිලත් ලෝක උරුමයකි. අප දැන් ශිව කෝවිල රැක ගන්නවා සේම මෙම විහාර ගෙයද සංරක්ෂණය කොට රැකගත යුතුය. අහම්යකින් වුවද සොයා ගත් මේ වටිනා ගොඩනැගිලි සංරක්ෂණය කළ යුතුමය.

 

siva1
 
 ඒ අනුව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දනන්ජය ගම්ලත් මහතා තම සොයාගැනීම පිළිබඳව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ලිපියකින් පෙන්වා දී ඇත්තේ දැන් සිදු කළ යුත්තේ බුදු ගෙයත්, ශිව දේවාලයත් එක ළඟින් වෙන වෙනම සංරක්ෂණය කළ යුතු බවය. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා එම ස්ථානය නැවත කණින්නට උපදෙස් දීම සිදුකර තිබුණේ ඔහුට බුදුගෙය හඳුනා ගැනීමට නොහැකි වූ නිසා යැයි පෙන්වා දෙන ආචාර්ය ධනංජය ගම්ලත් මහතා පවසන්නේ පස් තට්ටු කැණීම නිසා මෙහි වටිනාකම නැතිව යන්නට හැකි බවය. මෙම ගොඩනැගිලි දෙකම අපගේ ඉතිහාසයට වඩාත් වැදගත්ය. යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශිත එම භූමියෙහි වටිනාකම දැන කටයුතු කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

 


siva3
 
  1970 මහාචාර්ය පරණවිතාන මහතා පළකළ වාර්තාව අනුව පොළොන්නරුව බිම් යට ඇති ගෝපාල පබ්බත නම් වූ මහා පාෂාණ පද්ධතියෙහි ඇති ලෙනක වූ සෙල්ලිපියක චූලගල්ල විහාරය නම් වූ ගොඩනැගිල්ලක් ගැන සඳහන්ය. මෙම පරිශ‍්‍රයෙහි ක‍්‍රි.ව 2 වන සියවසෙහි නම චූලගල්ල සංඝාරාමයයි. තවත් බොහෝ වෙහෙර ගෙවල් යටපත්ව තිබෙන්නට පුළුවන. මෙවන් සොයාගැනීමක් හෙළිදරව් නොකර සිටීමට බොහෝ පාර්ශ්ව සිතන්නේ එයින් ආගමික සංහිඳියාව නැතිව යන බවය. එහෙත් එය පටු ආකල්පයක් පමණි. කෙසේ වෙතත් පුරාවිද්‍යා පර්යේෂණ ගණනාාවක් පැවැත්තුවද චෝල අධිරාජ්‍යය කාලය තුළ දත්ත කිසිවක් හෙළිදරව් නොවුනි. මෙකී සොයාගැනීමට පෙර ශිව කෝවිල අංක 2 තුළද විහාරයක නෂ්ඨාවශේෂ හසුවුවත් ඒ පිළිබඳව ලොවට රහසක් බවට පත්වුණු කතාවක් ද ඇත.
 
 ගරභ පාත‍්‍රය
 
 සොයාගන්නා විට මෙය කැබලි හයකින් සුසැදිව තිබුණු අතර එහි කොටසක් කැඞී විනාශ වී තිබිණ. වෙහෙරගල සාදා තිබුණෙ ස්පටික හුණුගලයි. හෙවත් ක‍්‍රිස්ටල් පාෂාණයෙනි. පැරණි බව නිසාම එහි විනාශය වැඩිය. මුල් කාලීනව මෙය කොටු නවයකින් හෝ කොටු විසිපහකින් යුතුව තිබෙන්නට ඇත. බුද්ධ ප‍්‍රතිමාව තබන්නට පෙර යටින් නිධන් වස්තු තැන්පත් කර ඒ මත තනි පාෂාණයකින් වසා ඒ මත නෙළුම්මල් පද්මාසනය තියා පිළිමය තැන්පත් කරයි. ශිව කෝවිල තිබුණු පොළව උඩම මෙම බුදුගෙය මතුව ඇති අතර බුදුගෙයි කොටස් අඩියක් පමණ යටින් පිහිටා තිබෙන්නට ඇත. බුදුගෙය කඩා බුදු පිළිමය තැබූ තැනම ශිව ලිංගය තබා ශිව දේවාලය සාදා ඇත.
 
 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙවන් විශිෂ්ටතම සොයා ගැනීම ජනතාව වෙත දැනගැනීමට සැලැස්වීම සිදුකළ යුතුය. ඉතිහාසය තුළ සොයාගත් බොහෝ දෑ අප ගෙන් සැඟව යන්නට ඇත ද ආචාර්ය දනන්ජය ගම්ලත් මහතා ලොවට අනාවරණය කළ මෙකී ලෝක උරුමය රැකගැනීම වගකිව යුත්තන්ගේ යුතුකමකි. තම ආචාර්ය උපාධිය වෙනුවෙන් රාජ්‍ය සම්මානයද වසර හතළිහකට පසු මහාචාර්ය සෙනරත් පරණවිතාන සම්මානය පවා දිනා ඇති පුරාවිද්‍යාව වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටුකරවන්නන් සිටීමම ජාතියේ වාසනාවකි. ඔවුන්ව දිරි ගන්වමින් ඉතිහාසයේ වටිනා දෑ සෙවීමට ශක්තිය ධෛර්ය ලබා දිය යුතුය. එය ජාතියේ වගකීමකි.
 
 
 නදීෂ නිර්මාණ හේරත්

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles