Divaina - මහාචාර්ය මෛති‍්‍ර වික‍්‍රමසිංහ වෙතය:

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

mainrana500

ලංකාවේ රාජ්‍ය නායකයන්ගේ බිරින්දෑවරියන්ගේ් නාමාවලියෙහි ඔබ සැබැවින්ම විශිෂ්ට වන්නීය. සරල කාන්තාවක ලෙස ලැබූ ගෞරවය සමාජ මාධ්‍ය ජාලා හරහා නිතර සම්භාවනාවට පාත‍්‍ර විය. රටටම ආඩම්බරයක්වූ ඔබතුමියට මෙසේ ආමන්ත‍්‍රණය කිරිමෙන් පුද්ගලික අපහසුවක් සිදුවී නම් මම මුලින්ම ඒ ගැන සමාව ඉල්ලාසිටිමි. නොවැම්බර් 15 වෙනි දින තෙක් ඔබතුමිය පක්ෂ දේශපාලනයට බද්ධව නොසිටියෙහිය. එදා ලිප්ටන් වටරවුමේ රැස්වීමට නොපැමිණියේ නම් මේ ලිපිය මා අතින් ලියැවෙන්නේම නැත. නොවැම්බර් 15 වෙනි දින සිට ඔබ එජාප දේශපාලනයේ චරිතයක් වී හමාරය. බොහෝ විශිෂ්ටයන් එජාප දේශපාලනයට සම්බන්ධව සිටි බව ආඩම්බරයෙන් කියා සිටිමි.

 ජනාධිපති මෛත‍්‍රී, මහින්ද තෝරා ගැනීම පුද්ගල බද්ධ හේතුවකි. කරු ජයසුරිය හෝ සජිත් පේ‍්‍රමදාස එකගවුණා නම් මහින්ද අගමැති වන්නේ නැත. එහෙත් රනිල් ප‍්‍රතික්ෂේප කිරිමට හෝ මහින්ද තෝරා ගැනීමට මෛත‍්‍රීට කිසිදු සදාචාර අයිතියක් නැතුවාමය. එසේම රනිල් වික‍්‍රමසිංහ අගමැතිව නො සිටියා නම් මේ ගැටලූවට රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවන්නේ නැත. එබැවින් තවදුරටත් අගමැතිකම හෝ එජාප නායකත්වය දැරීමට රනිල් වික‍්‍රමසිංහටද සදාචාර අයිතියක් නැත. ඔබතුමිය කඩිනමින් මැදිහත් ව රනිල් ගෙන් එජාපයත් රටත් බේරාදිය යුතුව ඇත.
 
 1994 තෙක් එජාපය රටේ ප‍්‍රධාන දේශපාලන ධාරාව විය. 1994දී විපක්ෂ නායකත්වයට ගාමිණි දිසානායක පත් කිරිමේදී එජාප පාර්ලිමේන්තු කණ්ඩායම රනිල් වික‍්‍රමසිංහ බැහැර කරනු ලැබීය. එජාපය තුළ පැවති අවසන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සිද්ධිය එය විය. ගාමිණි ඝාතනය සමග රනිල් එජාපය අල්ලාගත්තා කීම නිවැරදිය. රනිල් යටතේ එජාපය දිගින් දිගටම බෙහෙවින් දුර්වල විය. 2010 මහ මැතිවරණයේදී එජාපය ලැබුවේ ඡුන්ද 23,57,057(29.34) කි. 2001දී සහ 2015දී එජාපය බලයටපත් අවස්ථාවල එජාපය ජනතාව දුන් බලය විධායකය ඩැහැගත්හ. හේතුව රනිල්ගේ සංස්කෘතික හේතුන්ය. 2003දී චන්ද්‍රිකා ඉල්ලා සිටි ඇමති පදවි 3ක් පමණය. 2018දී මෛත‍්‍රී ඉල්ලා සිටියේ අගමැතිකම සඳහා රනිල් නොවන එජාපයේ වෙන කෙනෙකි. අදත් රනිල් හිතන්නේ අගමැති තමන් නොවේ නම් එජාපය යකාට ගියදෙන් කියාය. 1994 ගාමිණි දිසානායක අභ්‍යාසය අනුව, එජාප පාර්ලිමේන්තු කණ්ඩායම කරු හෝ සජිත් අගමැති ලෙස තේරුවොත් ඉබේම එජාප පක්ෂ නායකත්වයද වෙනස් වේ.
 
 මහ බැංකු මංකොල්ල චෝදනාව තිබියදීත් 2015 අගෝස්තුවේ 50,98,916 ක් ජනතාව එජාපය විශ්වාස කළහ. එහෙත් රනිිල්ගේ ගජමිතුරු පාලනය නිසා 2018 පෙබරවාරියේ දී ඡුන්ද 36,40,620 තෙක් ඇද වැටී පාලක එජාපය දෙකට වැටිණ. රනිල්ට එරෙහිව විශ්වාසභංගය හමුවේ රනිල් යායුතුය යන ඓතිහාසික අපේක්ෂාවෙන් එජාපය ආවේශ විය. 2018 මාර්තුවේදී රනිල් සිය ආරක්ෂාව සඳහා එජාප මන්තී‍්‍රන්ට දුන් පොරොන්දු එක් රැයකින් කඩ කළේය. අද ජවිපෙය අවලාද නොතකා සටන් කරති. ඒ මහින්දට එරෙහිවය. සිරිලිය ගිණුම,තාජුදීන් ඝාතන පරීක්‍ෂණ, හිර ගෙදර ඝාතන, ගාමිණි සෙනරත්ගේ වංචා යටපත් කරමින් රාජපක්ෂලා රැක්ක රනිල් ඒ ජයග‍්‍රහණය හරහා හෙට නැවත අගමැතිවනු ඇත. මෙය අවසන් නොවන කාලකන්නි කරුමයකි. එජාප නායකත්වය සඳහා කරු සහ සජිත් දෙවරක් සටන් වැදිණ. එහෙත් කරු හෝ සජිත් අගමැතිකමට කෑදරව රනිල් පාවා දුන්නේ නැත.
 
 එජාපයට විනාශය ගෙනා පළමු නායකයා ආර්.පේ‍්‍රමදාසය. ඔහු ගාමිණි ලලිත් නොතකා හැරියේ රනිල් හැසිරෙන විදියටමය. එදා ලලිත් කීවේ ‘‘අපි බුද්ධිමත් මිනිස්සු අගමැති කවුදැයි තෝරා ගැනීමට ගාමිණිටයි මටයි ඉඩ දෙන්න’’ කියාය. පේ‍්‍රමදාසට එය ඇසුණේ නැත. 2015දී පොදු අපේක්ෂකත්වය කරු ජයසුරියට දිය යුතු බව මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ කීහ. එහිදී රනිල් තමා හැර එජාපයේ කිසිවෙකු පොදු අපේක්ෂකයා නොවියයුතු බව කීය. අද රටත් එජාපයත් මේ විඳවන්නේ එහි විපාකය වේ. කරුට සජිත්ට පක්ෂය භාරදී රනිල් නික්ම යායුතු හෝ්රාවද අවසන් වෙමින් පවතී.
 
 මාදුළුවාවේ හාමුදුරුවන් මෛත‍්‍රිපාල තෝරා ගැනීමටද, ජනාධිපති මෛති‍්‍රපාලට මහින්ද තෝරා ගැනීමටද, එකම හේතුව රනිල් වික‍්‍රමසිංහ ය. ගාමිණි ඝාතනය නොවුණා නම් රනිල් කෙනෙකු නැත. 2014දී එජාප නායකයා රනිල් නොවුණා නම් රටේ ජනාධිපති වන්නේ කරු ජයසූරිය මිස, මෛති‍්‍රපාල නොවේ. උදාව ඇත්තේ රනිල් පළවා හැර එජාපය රැකගත යුතු හෝරාවය.
 
 ගෙවුණ 24 වසරපුරා රනිල් ඉවත් කිරිමට නොහැකි විය. විජේපාල මැන්දිස්ගෙන් පටන්ගෙන ගාමිණි ලොකුගේ ඇතුළු මන්තී‍්‍රන් 63ක් එජාපය හැර ගියහ. 2003දී චන්ද්‍රිකාත් 2018දී මෛත‍්‍රීත් කෝපගැන්වූවේ රනිල් මිස එජාපය නොවේ. කරු සජිත් දෙදෙනා අගමැතිකම භාර නොගත්තේ එජාපය ගැන සිතලාය. 2014දී රනිල් එජාපය ගැන සිතුවා නම් අද ජනාධිපති කරු ජයසුරියයි. මෛති‍්‍ර වික‍්‍රමසිංහ මැතිනියනි, මේ යථාර්ථය තේරුම් ගෙන ඔබ වහා මැදිහත්විය යුතුව තිබේ.
 
 ඔබතුමිය මෙහිදී එලීනා ජයවර්ධන ආර්යාව අනුගමනය කළ යුතුවේ. ඇය විශිෂ්ට චරිතයකි. ඩඞ්ලි පෙරමුණ සකි‍්‍රය කාලයේ ජේ.ආර්.ජයවර්ධනට එරෙහිව වෝඞ් පෙදෙසේ බ්‍රෙමෝර් මන්දිරය ඉදිරිපිට කෑ ගසමින් සිටියහ. මේ තත්වය සැලවී ජේ. ආර්.ගේ ආරක්ෂාවට බ්‍රෙමෝර් මන්දිර පරිශ‍්‍රයෙහි රැස්ව සිටි පිරිස අතර මමද සිටියෙමි. බ්‍රෙමෝර් මන්දිය ඉදිරිපිට කෑ ගසමින් සිටි පිරිස හිටි ගමන් හිස් ලූලූ අත දිවයන්නට විය. එය දුටු අප ජයවේවා කියා කෑ ගැසුවේ මහත් පී‍්‍රතියෙනි. අපේ ශබ්දය නිසා, එලීනා ජයවර්ධන ආර්යාව නිවෙසින් පිටතට පැමිණියාය.
 
 ‘‘ඩිකි මොකද මේ ඔයා කරන්නේ... අපේ ගේ ඉස්සරහ මිනිසුන්ට ගහන කල් බලා ඉන්නේ’’ කියා එතුමිය කෑ ගැසුවාය. ඒ අවස්ථාවේ ජේ.ආර්.ගේ මුහුණෙහි ඇඳුණු පසුතැවිල්ල අද මෙන් මට මතකය. ‘‘ලජ්ජයි’’ කී එතුමිය ආපසු නිවෙස තුළට ගියාය. මේ 1970 ගණන්වල මුල් කාලයේ සිද්ධියකි. එලීනා ජයවර්ධන ආර්යාවට බොහෝ මහජන දුක්ගැනවිලි ලිඛිතව යොමුවීය. ඒවා සම්බන්ධව ඇයගේ නිර්දේශ වහා කි‍්‍රයාකිරීමට ජේ. ආර්. ජයවර්ධන නියෝග කළබව පුද්ගලික සහකාර ධර්මසිරි එදිරිසිංහ මහතා වරක් මා සමග කීය. ලිපියේ මුලින් විස්තර කළ ඔබගේ බොහෝ විශිෂ්ටතා එලීනා ජයවර්ධන ආර්යාවට සමපාත වීමට තරම් ප‍්‍රබල නොවේ. ඔබට තවත් එලීනා ජයවර්ධන ආර්යාවක් විය හැක්කේ රනිල්ගෙන් එජාපයත් අපේ රටත් මුදා දීමෙන් පමණකි.
 
 මේ ලියන මා 1965දී ඡුන්ද සටන සඳහා මින්නේරිය ආසනයට එජාප මූලස්ථානයෙන් යැවූ පාක්ෂිකයෙකි. එදා සරසවි සිසුවෙකු වූ මා ලංකාවේ සරසවියක ප‍්‍රථමයෙන් එජාප තරුණ පෙරමුණක් ඇති කිරිමට මුල් වූවෙකි. චීනයේ ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මගේ සමාකාලීන සරසවි සගයෙකි. 1966 සරසවියට පිවිසි රනිල් වික‍්‍රමසිංහ තරුණ සමසමාජ කි‍්‍රයාකාරිකයෙකු විය. 1977 මැතිවරණයේදී මා මාතලේ එජාප දිස්ති‍්‍රක් ප‍්‍රධාන ලේකම්වරයා විය. 2001දී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කි‍්‍රයාකාරි අධ්‍යක්ෂ ලෙස මා නිර්දේශ කොට අමාත්‍ය ඇලික් අලූවිහාරේ යැවූ ලිපිය කමිටුවකට යොමුකළ බව අගමැති රනිල් ලිඛිතව දැන්වීය. මේ ගැන විමසූ විට, බ‍්‍රැඞ්මන් වීරකෝන් සිනාසෙමින් කීවේ කමිටුවට දැම්මා කියන්නේ වැඬේ නොකෙරන බවය. වසර 6ක් මහනුවර එජාප නීතිඥ සංගමයේ සභාපති හා ලේකම් ලෙස කි‍්‍රයා කළේ හරින්ද්‍ර දුනුවිල සහ මමය.
 
 2015 ජනවාරියේ ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙස යැවුණ මගේ නම කපා දැමුවේ අගමැති රනිල් විසිනි. පසුව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධාන විධායක ලෙස ජනාධිපති මෛති‍්‍රපාල‍්‍ර මගේ නම නිර්දේශ කළ විට, අගමැති රනිල් එය ප‍්‍රතික්‍ෂේප කළේය. ලේක් හවුස් පිළිබඳ ජනාධිපති කමිටුවේ සාමාජිකයෙකු වූ මා 2017 ජූලි මස ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙස පත් කෙරිණ. එතෙක් ලේක් හවුස් අධ්‍යක්ෂවරුන්ට හිමි වෛද්‍ය සහ රක්ෂණ පහසුකම් සහ දීමනා වසර 50ක් එජාපය රැක්ක මට අහිමි කළේ අගමැති වික‍්‍රමසිංහය. මට පසුව පත්කළ මුදල් අධ්‍යක්ෂට මට නොලැබුණ සියලූ වරප‍්‍රසාද හිමි විය. 2018 ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද අගමැති ලෙස පත්කළ පසුව මම ලේක් හවුසියෙන් නික්ම ගෙදර ගියෙමි. ජනාධිපති මෛත‍්‍රී මට නැවත පැමිණෙන ලෙස දැන්වීය. මහින්ද රාජපක්ෂ අගමැති වූ ආණ්ඩුවක් වෙනුවෙන් මට මාධ්‍ය මෙහෙයවිය නොහැකිබව මම එතුමාට ගෞරව පෙරදැරිව දැන්වීමි. මේ විස්තර කළේ 50 වසරක් එජාපය සමග සිටින නීතිඥයෙකුගේ අත්දැකීම්ය. මහාචාර්ය මෛති‍්‍ර වික‍්‍රමසිංහ මැතිනියනි, ඔබේ සැමියා සහ එජාප කි‍්‍රයාකාරින් අතර, පැවති සහ සම්බන්ධය මෙවැනි රසමුසු කතා බොහෝය. 15 වෙනිදා ලිප්ටන් වටරවුමට පැමිණි මාද ඇතුළත් කිසිවෙකු පැමිණියේ රනිල් වෙනුවෙන් නොවේ. එජාපය වෙනුවෙනි. රනිල් නම් දේශපාලන සාධකය කොතරම් බරපතළද යන්න ඔබ තේරුම් ගත යුතුවේ. ඔහුගෙන් එජාපය මුදා උපන් රටට ඔබ සතු කැපවීම සහතික කරන ලෙස ඉල්ලා සිටිමි. මේ තීරණාත්මක අවස්ථාවකි. ඉතිහාසය ඔබේ විශිෂ්ටත්වයේ දිග පළල තක්සේරු කරන ලිට්මස් පරීක්‍ෂණයට ඔබ යොමු කර ඇත. කිසි දිනෙක රනිල්ගේ දේශපාලන ප‍්‍රභාව අපේක්ෂා නොකළ ඔබ පූර්වාදර්ශයට ගත යුත්තේ එලීනා ජයවර්ධන ආර්යාවගේ භූමිකාව ය. එලීනා ජයවර්ධන ආර්යාව ලජ්ජයි කියා තනිව ගෙට වැදුනාය. ඔබ රනිල් සමග ගෙට ගොස් දොර වසා ඉතිහාසය අලූත් කළ යුතුව ඇත.
 
 නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles