Divaina - අපමණ ඉතිහාසයක් කියන දුම්බර මිනිරන් කෞතුකාගාරය

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 

dumbara

ජගත් කණහැරආරච්චි
ඡායාරූප - සුජාතා ජයරත්න
අමතර ඡායාරූප සහ විවිධ සහාය -
හර්ෂණ ජයතිලක, රවී ද සිල්වා

දුම්බර මිනිරන් පතල පිහිටියේ පානදුර - ඉංගිරිය පාරේ ඇල්ල මංසන්ධියෙන් හැරී යන අයගම පාරේ දුම්බර නම් ගම්පියස තුළය. අද වන වදුලකට යටවී ඇතත්, දුම්බර මිනිරන් පතල සුද්දන්ගේ කාලයේ මෙරට පැවති සුවිශාල වැඩබිමකි. කාලයාගේ අවෑමෙන් මේ මහා පතල් බිම වැසී ගියත්, දුම්බර මිනිරන් පතල මගින් ඇති කළ පතල් කවි සාහිත්‍යයක් මෙන්ම, දුම්බර ප‍්‍රදේශයේ ගොඩනැ`ගුණු ජන සංස්කෘතියක්ද වේ. එසේම, එදා පොළොව විද, මිනිරන් ගොඩදැමීම සඳහාම ඇතිකරන ලද දෝනා සහ බඹ ගණන් විදපු මිනිරන් ළිං අදත් කැලෑවට යටවී පවතී. එම ගුහා සංකීර්ණය දෑසින් දැක, ඒ තුළ ඇවිද, පතල් අත්දැකීම ලබන්නට ගිය ගමනක තවත් කොටසක් මෙසේ සටහන් කරමු. මෙහි මුල් කොටස මැයි මස 02 වැනිදා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’ පළ විය. මේ එහි අවසන් කොටසයි.

 

dumbaraminiran3
මැදපොල දෝනා කටෙන් ඇතුළු වූ පසු ඒ තුළ දකින්නට ඇත්තේ ගස් වැල් පැලෑටිවලින් තොර ඉතා පැහැදිලි පරිසරයකි. එනම්, ගල් කුහරයක්ම පමණි. එනිසා ගුහා කට පිට සිට දකින තරමේ චකිතයක් ගුහාව තුළට ගිය පසු දැනෙන්නේ නැත. වෘත්තාකාරව මෙන් හාරා ඇති පතල් ගුහාව කෙනකුට අපහසුවෙන් තොරව හිටගෙන යාහැකි තරමේ උසකින් සමන්විතය. එහි පතුලද රළු පරළු නොවූවකි. නමුත් ගුහාව සරළ රේඛාවක් තරම් හරි කෙළින්ම පිහිටියක් නොවේ. බස්නාහිර දෙසට ගමන් කළත් පටන් ගන්නා තැන පටන්ම මෙහි ඇත්තේ ඇද කුද වංගු සහිත ගුහාවකි.

මේ ගුහාවේ අපි එකා පිටුපස එකා බැගින් ගමන් කිරීම පටන් ගත්තේ මාර්ගෝපදේශක හි`දුරංගල පේ‍්‍රමකුමාර අනුගමනය කරමිනි. පේ‍්‍රමකුමාර තම බලගතු විදුලි පන්දම දල්වාගෙන ඉදිරියෙන් ගමන් කළ අතර, කණ්ඩායම පසුපසින් තවත් ගමන් සගයෙකු වූ දුම්බර ගමේ සුරේෂ් ද විදුලි පන්දමක් දල්වාගෙන අපේ උදව්වට පසුපසින් පැමිණියේය. හිස වදින නොවදින ගානට ගල් පියස්ස පිහිටා ඇති නිසා අපි අඳුර මැදින් ගමන් කළේම හිස තරමක් නමාගෙනය. මෙසේ විනාඩි කිහිපයක් ගමන් කිරීමේදී අපිට තැන තැන පතල් ළිං මෙන්ම එදා මිනිරන් හාරාගත්, දෙපසට විහිද ගිය කුඩා කුඩා පටු කුහරද දකින්නට ලැබිණි. පේ‍්‍රමකුමාර හා සුරේෂ් එවන් ස්ථානවලදී අපේ ගමන නවතා එම ස්ථාන ගැන විස්තර කියන්නටද අමතක නොකළේය. එනම්, මේ ස්ථාන මිනිරන් නිධි තිබුණු තැන් ය. පෙනෙන්නට තිබුණු ආකාරයට ඒ සියලූ තැන්වල පිහිටි මිනිරන් එදා කැණ, එකතුකර අවසන්කර ඇත. බෙහෙතකටවත් මිනිරන් කෑල්ලක් ගලවාගන්නට විදුලි පන්දම් දල්වාගෙන අපට මෙහි සෑහෙන සටනක් දෙන්නට සිදුවිය. හර්ෂණත්, රවීත්, මමත් ඒ මතක සටහන් ගෙදර ගෙනයන්නට හරි හරියට වෙහෙසුණේය. අන්තිමේ සොච්චම් මිනිරන් කෑලි කිහිපයක් පමණක් සොයාගැනීමට සුරේෂ් අයියා අපට උදව් කළේය.

 

dumbaraminiran1

කොහොම කොහොම හරි මැදපොළ දෝනාවේ මීටර් 300 ක් පමණ ඇතුළට ගමන් කරන්නට අපට හැකි විය. පේ‍්‍රමකුමාර අත රැඳි විදුලි පන්දම දල්වා ඒ අතර අඳුරු පතල් ළිං කිහිපයකම පතුළ අපට පෙන්වන්නට ආයාසකර වෙහෙසක් දැරීය. ගුහා කටේ සිට මීටර් 250 ක් පමණ ඇතුලේ පිහිටි බංගලා වළ නම් ස්ථානයක් ඇත. එම වළ පතුලෙන් තවත් දෝනා කිහිපයක් ඇරඹෙන බව අපට කීවේ පේ‍්‍රමකුමාර ය. ඔහු එම වළ බැස දෝනා මාර්ග සියල්ල සියැසින්ම දැක ඇත්තේ මීට පෙර රුපවාහිනි වැඩසටහන පටිගත කරන්නට පැමිණි අවස්ථාවේදීය. අපට බංගලා වළට බසින්නට අවස්ථාවක් නොමැති වුවත්, (ඉණිමගක් නැති නිසා) දණගාගෙන, බඩගාගෙන අපි පතල් ළිංවල ගැඹුර මනින්නට වෙහෙස දැරීමු.

 

dumbaraminiran2

සැබෑය, පතල් කවියා කී පරිදි ඔහු මේ පතලට බඹ තිහක් (අඩි 150 ක් පමණ) බැස කළුගල විද මිනිරන් ගොඩදැමූ බව සක්සුදක් සේ දැන් ඉතින් අපට පැහැදිලිය. බැසලා බඹ තිහක් කළු ගල සිදුරු කළේ.....යනු ඔහු අතිශයෝක්තියෙන් කී කතාවක් නොවන ඒ බව අප අත්දුටුවේ මැදපොල දෝනාව තුළදීය. එපමණක් නොව, මේ කළුගල යටටම වී ඇල් හාලේ හෝ රට හාලේ බත කමින් කළුගල යටම තිබුණු ගල්වළවල්වල තිබුණු බොර දිය බිබී අම්මාගේ බත්පත මතක් කරමින් මේ අඳුරු ගුහාව තුළ දිවිය ගැටගසා ගන්නට ඇති බවද පැහැදිලිය. අපිට යන්නට නොහැකි වූ නමුදු එවන් බොර වතුර පිරුණු වතුර වළක් මේ දෝනාවේ මීටර් 800 ක් පමණ ගිය තැන හමුවන බව කීවේ රත්මල්ගොඩ ඉස්කෝලේ මහත්තයාය. ඔහු ඊට ටික දිනකට පෙර බඩගාගෙන මෙන් එම ස්ථානයට ගොස් ඇත්තේ තම වැඩසටහනට දර්ශන ලබාගැනීම සඳහාය.

පේ‍්‍රමකුමාර පවසන්නේ මැදපොළ දෝනාව පහළපොළ දෝනාවට සම්බන්ධ නමුත්, එම මාර්ග සොයාගැනීම ඉතා අසීරු බවය. පොළොව අභ්‍යන්තරයේ විශාල ප‍්‍රදේශයක් පුරා විහිද ඇති වංක ගිරියක් බඳු දෝනා පද්ධතිය ඊට හේතුව මෙන්ම, ඒවා තුළ බසින්නට අද එහි ඉනිමං නැති නිසාය. එසේ මැදපොළ දෝනාවේ අත්දැකීම විඳගෙන යළිත් ගුහා කටෙන් අපි එළියට එන විට පැය කිහිපයක්ම ගතවී තිබිණි.

අනතුරුව පහළපොළ දෝනාවේ අත්දැකීම ලබන්නට වාහනවල නැ`ගී යළිත් බස් පාර දිගේ කළුගඟ දෙසට ඇති පාරේ කිලෝමීටරයක් පමණ පැමිණ යටිපොළ ගම්මානයට පිවිසිය යුතුය. එම ගම්මානය කෙළවර පිහිටි ඉඩමක මෙම යටිපොළ දෝනා කට පිහිටා ඇත. එම ඉඩම අයත්වන්නේ සරත් චන්ද්‍රකුමාර මහතාටය. ඔහු කියන පරිදි මේ ඉඩම ඔහුට පරම්පරාවෙන් එන්නකි. ඔහුගේ පියා සහ මුත්තාගේ කාලයේදී දුම්බර මිනිරන් පතලේ වැඩකටයුතු සිදුව ඇති අතර, අද පතලේ ඉතිරිව ඇති බොහෝ නටබුන් හා පුරාවස්තු අයත්ව තිබෙන්නේ ඔහුටය.

එසේම, සම්පූර්ණ දුම්බර මිනිරන් පතල පිහිටා ඇති ප‍්‍රදේශය ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජ දවස (ක‍්‍රි.ව. 1798-1815) පටන් රත්නපුර - කිරිඇල්ල නැදුන් රජමහා විහාරයට අයත් නින්දගමක් ලෙස පවතින බවට තොරතුරු ඇත. එනම්, දුම්බර මිනිරන් පතල පිහිටා ඇත්තේ කිරිඇල්ල නැදුන් විහාරයට අයත් නින්දගමකය. අතීතයේ එය අක්කර 12,000 ක් පුරා පැතිර තිබී ඇත. නමුත් පසුකාලීනව සිදුකළ මැනුම්වලට අනුව දුම්බර විහාර ගමෙහි වපසරිය අක්කර 8317 කි. අපගේ ගමනට ඉතා හොඳ මගපෙන්වීමක් ලබා දුන් දිනේෂ් රත්මල්ගොඩ සහ වසන්ත රණවීර සඳහන් කළේ ඒ බව සනාථ කිරීමට අදාළ, කරකොළයක ලියන ලද තුඩපතක් අදටද කිරිඇල්ල නැදුන් විහාරයේ සුරක්ෂිතව පවතින බවයි. එය ක‍්‍රි. ව. 1801 දී ලියූ බවට එහි සඳහන් වන බවද කියයි. ඒ කරුණු කාරණා සොයන්නට රත්මල්ගොඩත්, වසන්ත රණවීරත් නැදුන් විහාරයට ගොස් විහාරාධිපති හඳපාන්ගොඩ මහින්ද නාහිමි හමුවී කරුණු කාරණා සනාථ කරගෙන තිබිණි.

 

 

dumbaraminiran555

දුම්බර මිනිරන් පතල කර්මාන්තයක් ලෙස ආරම්භ වී ඇති බව කියන්නේ ඉංග‍්‍රීසි පාලන සමයේදීය. ඒ එක්දහස් අටසිය අනුවේදී පමණය. එම කාලයේ දුම්බර ප‍්‍රදේශය තිබී ඇත්තේ කැලෑ කුට්ටියක් ලෙසය. ජනාවාස තිබී නැත. නමුත් රටේ විවිධ ප‍්‍රදේශවලින් පතලේ වැඩට පැමිණි කම්කරුවන්ගෙන් ප‍්‍රදේශය ජනාවාස වී ඇත. නැදුන් විහාරය මගින් මෙසේ පදිංචිවූ පිරිස් සඳහා පසුව ඉඩම් ලබාදී ඇත. රජයේ කාර්යාල, නිවාසවලින් සමන්විත දුම්බර ප‍්‍රදේශය අද තරමක් ජනාවාස වූ ප‍්‍රදේශයකි. නමුත් මේ සියලූ ජනාවාස බිහිවන්නේ දුම්බර මිනිරන් පතල නිසා බව අමතක නොකළ යුතු කාරණයකි.

කෙසේ හෝ සරත් චන්ද්‍රකුමාර මහතාගේ අවසරය ලබාගෙන මිනිරන් පතල පිහිටා තිබුණු ප‍්‍රධාන වැඩබිම භූමිය මෙන්ම, එහි තැන තැන අදටත් පවතින වැඩපළේ නටබුන් ද දැක බලාගන්නට අපි අමතක නොකළෙමු. අනතුරුව, අපි එදා යටිපොළ ලෙස හැඳින්වූ මිනිරන් මඩුවේ පසෙකින් පිහිටි දෝනාවේ අඳුරු ගුහා කට තුළින් පතල ගවේෂණය සඳහා පතල් කට තුළට ඇතුල් වූයෙමු.

මෙම ගුහාව තුළින් සුපැහැදිලි දිය කඳක් ගලා එයි. අනතුරුව එය ඒ අසලම පිහිටි මාරලිය ඔයට එකතු වේ. කුඩා ඔයක් බඳු දියපාරේ බැසගෙන අපි එකා පසුපස එකා බැගින් ගුහාවට ඇතුළු වුණේ මැදපොළ දෝනාවේ ගමන අනුකරණය කරමිනි. ආරම්භයේදී දණක් තරම් උසට තිබුණු ජල පහරේ ගැඹුර ඉන්පසු ක‍්‍රමයෙන් අඩුවන නමුත්, සුපැහැදිලි මේ ජල කඳ තරමක් වේගයෙන් ගලා එන බව අපට පසක් කළේ ඉහළ කුමන හෝ තැනකින් පතල් සංකීර්ණය තුළට ජල මාර්ගයක සම්බන්ධතාව ඇති බවයි. සැබැවින්ම, උඩපොළ ප‍්‍රදේශයෙන් එකළ හිතාමතාම මෙසේ දිය දහරක් පතල් ගුහාවට සම්බන්ධකර තිබූ බවට තොරතුරු ඇති බවත්, එසේ කර ඇත්තේ ගුහා සංකීර්ණය තුළ හුස්ම ගැනීම පහසුකිරීම සඳහා (ඔක්සිජන් ලැබෙන පරිදි) බවත් කීවේ රත්මල්ගොඩ ය.

කාලය නොඉක්මවා අපි එම ජල කඳට විරුද්ධ දෙසට ඇදුණේ අඳුර බිඳින්නට විදුලි පන්දම් එළි දල්වාගෙනය. පෙර පරිදිම ගමනේ පෙරමග පේ‍්‍රමකුමාර විසින් ගන්නා ලද අතර, ඉන් පසු අපගේ කණ්ඩායමත්, පිරිස සමග පසුපසින් සුරේෂ් අයියාත් ගමන් කළහ. මේ ගුහාවේ දිය සීරාව වැඩිය. ගල් පියස්සේ තැන තැන දිය බින්දු වැහේ. අපි විදුලි එළියෙන් මෙන්ම ජංගම දුරකථන එළිවලින් ඉදිරිය බලාගෙන වතුරේ බැසගෙන ගමන් කළෙමු. මීටර් 100 ඉක්මවන විට ගුහාව තුළින් එළියට ඇදී එන වවුලෙකු දෙන්නෙකු වේගයෙන් ඇදී ගියේ විටෙක අපගේ හිස් වැසුමක් ගලවා දමමිනි. තවත් ඉදිරියට යන්නට යන්නට ගමන වවුල් ප‍්‍රහාරයකට ගොදුරු වූ අතර, කිරි වවුලන් රංචු පිටින් ගුහාවෙන් එළියට ඇදුනේ අපගේ අනපේක්ෂිත ගමනෙන් ඔවුන්ට සිදුවූ කරදරය හේතුවෙනි. ඒ බාධාව ඉවසාගෙන අපි තවත් ඉදිරියට ගියත් සිය ගණනක වවුලන්ගේ කලබලයට මැදි වූ අපගේ හිස්වල හා මුහුණේ පවා වදින වවුලන් නිසා තවදුරටත් ගමන ඉදිරියට යෑම නොකළ යුතුය යන්න අවසානයේ අපගේ තීරණය විය. එසේ හෙයින් ජල පාරේ කෙළවර හෝ ඒ කෙළවර ඇති දිය ඇල්ල බැලීම පසෙක තබා අපි වහ වහා ගුහා කටෙන් පිටතට පැනගතිමු. නමුත්, මීට පෙර මෙම ගුහාවේ (ගල් දෝනාවේ) මීටර් 800ක් පමණ දුර ගොස් ඇති දිනේෂ් හා වසන්තගේ කණ්ඩායම අඩි 200ක් පමණ ඉහළ සිට විවරයකින් පහළට කඩා හැලෙන දිය ඇල්ලේ පහස ලබා ඇති අතර, ඒ ආසන්නයේම තිබෙන තවත් විවරයකින් උණ බම්බු ඉනිමගක් තනා අඩි 150ක් පමණ උඩට නැග, ඌරුකොටුව නම් විවෘත ස්ථානයකට ගොඩවැදුණු බව පවසයි. ඒ ගමන අති දුෂ්කර හා අති අවදානම් වූවකි. මෙම ඌරු කොටුව හා මැදපොල දෝනාවේ බංගලාවල අතර සම්බන්ධයක් තිබිය හැකි බව විශ්වාස කරන අතර, එසේනම් එම දෝනා දෙක එහිදී සම්බන්ධවන වනු නිසැකය. නමුත්, මේ අඳුරු ගුහා සංකීර්ණයේ ඇති ගුප්ත බව හා පවතින දුෂ්කරතාව හා අවදානම නිසා එම සම්බන්ධය සොයාගන්නට අපේ කණ්ඩායම් දෙකටම හැකියාවක් නොවීය.

වවුලන්ගේ කරදරය නිසාම ගමන අතහැර එළියට පැමිණි අපි ඉන්පසු සරත් මහතා හමුවී මිනිරන් පතලේ අතීත තොරතුරු මෙන්ම, එහි ඉතිරිව ඇති කළමනා, උපාංග ගැන විස්තර සොයන්නට තීන්දු කළෙමු.

ඔහු කියන පරිදි දුම්බර මිනිරන් පතල මහා වැඩබිමේ සියලූ මෙහෙයුම් කටයුතු සිදුකර ඇත්තේ ඔහු මේ සිටින ඉඩමේය, ඒ බවට වන සාධක, සාක්ෂි ඇත්තටම තවමත් තැන තැන විසිරී ඇත. ඒ අසලින්ම ගලා යන ඔය හරස් කර සුදු ජාතිකයන් විසින් කුඩා විදුලි බලාගාරයක් තනා තිබී ඇත. එහි ටර්බයිනය සවිකර තිබූ තැන අදටත් දකින්නට පුළුවන. මේ මගින් පතල තුළට ආලෝකය ලබාදෙන්නට ඇත. එසේම, අඩි 150 කට වඩා කම්කරුවන් නැ`ග ගිය යකඩ ඉනිමංවල කොටස් ද සරත් මහතා සතුව ඇත. ඔහු ඒවා අපිට පෙන්වන්නට උත්සුක වූ අතර, තවත් වටිනා පුරා වස්තූන් කිහිපයක්ද ගෙන හැර දැක්වීය. ඒ නම්, එකළ කාර්යාලයේ සිට පතල තුළට පණිවිඩ හුවමාරුව සිදුකරන ලද පැරණි දුරකථන දෙකකි. ඒවා පතලේ මෙහෙයුම් කටයුතු සිදුකළ ජර්මන් සමාගම විසින් ප‍්‍රයෝජනයට ගන්නා ලද ඒවාය. සරළ තාක්ෂණය සතු එම උපකරණ අදත් සරත් මහතා විසින් ආරක්ෂා කරගෙන එනු ලබන්නේය.

dumbara4

 

සැබවින්ම. දුම්බර මිනිරන් පතල එකළ මෙරට තිබී ඇති ප‍්‍රධාන හා සුවිසල් වැඩබිමකි. කාලයාගේ අවෑමෙන් අද වල්වැදී ගියද, මෙම පතල් (ගුහා) සංකීර්ණය සංචාරක හෝ ක‍්‍රියාදාම (ඇඞ්වෙන්චර්) වැනි කුමන හෝ කටයුත්තකට යොදාගත හැකි අනර්ඝ වස්තුවකි. අද මෙහි කළු රත්තරන් නිධි අවසන් කර ඇතත්, හාරා ඉතිරිවී ඇති පතල් මාර්ග හා දෝනා විටෙක වියට්නාමය හා ඇමෙරිකාව අතර පැවති යුද්ධය අතරතුර වියට්නාම්වරු විසින් තනා ඇති යුද ගුහා සංකීර්ණ අපට සිහිගන්වයි. ඇමෙරිකානු ආක‍්‍රමණයට එරෙහිව එදා වියට්නාම ජාතිකයන් ගොඩනැ`ගූ එම ගුහා අද එරටට විදෙස් විණිමය ගෙනෙන සංචාරක තෝතැන්නකි. එසේ දුම්බර මිනිරන් පතලත් යම් කිසි පලදායක් කටයුත්තක් සඳහා යොදා ගැනීමට හැකියාව තිබියදී කාලයේ  වනගොමුවකට යටවෙන්නට ඉඩදී තිබීම අපරාධයක් බව පතල ගවේෂණයෙන් පසු අපට තේරුම් ගිය කාරණයයි.

ගෙතුව මුතු වැල සේ දත් පෙළ නැත              අඩුව
පැතුව ඉල් මසේ බොහො සෙනෙහස             වැඩුව
ඇතුව මද නුරා මා සමගින්                           දෙඩුව
නැතුව ජේන් පාළුයි මිනිරන්                         මඩුව

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles