Divaina - ප‍්‍රභාකරන් ඇතුළු නඩය මුහුදෙන් පැන යෑම ජෑම් කළ හැටි... විජයග‍්‍රහණයේ සංඛ්‍යාත යුද්ධය... මේජර් ජෙනරාල් රේණුක රෝවෙල් හෙළි කරයි

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

මනෝජ් අබයදීර

 

prabhakarannadaya2

 

සටන් බිමේ මතක තවමත් ජන හදවත් තුළින් මැකී ගොස් නොමැත. වසර 12ක් සපිරෙන සමස්ත දේශයම කිරිබත්කමින්, සිංහ ධජ ලෙළ දෙවමින් සමරන ලද ජයග‍්‍රහණය, ස්මරණය කිරීම සඳහා අප තෝරාගත්තේ, වෙනදා නොදකින පන්නයේ චරිතයකි. සංග‍්‍රාම භූමියේ අප කවුරුත් දන්නා හඳුනන චරිත වෙනුවට මෙවර විජයග‍්‍රහණයේ මතක සැමරුම සඳහා එක්වන්නේ මේජර් ජෙනරාල් රේණුක රෝවෙල්ය. ඔහුගේ සම්පත්දායකත්වයෙන් කියවෙනුයේ වෙනස් කතාවකි. පාබල බල ඇණි පිරිවරා සිදුකරන ලද අවසන් සටනේදී, ඉන් ඔබ්බේ වූ විසල් මෙහෙයුම් රාශියක් තවමත් නොලියවී පවතී. මේ එවන් ලියමනකි.

සතුරා පරාජය කරන ලද ත‍්‍රාසජනක කතාන්දරයේ වෙඩි ගැටෙන හඬ පමණක් නොව මෙවන් අධ්‍යයනය කළ යුතු එතරම්ම ජනප‍්‍රිය නොවූ කතා සමූහයකි. ශ‍්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායේ හිටපු අධිපතිවරයෙකු වූ මේජර් ජෙනරාල් රේණුක රොවෙල්, ශ‍්‍රී ලංකා යුද හමුදාව බිහිකරන ලද අති විශිෂ්ට නිලධාරියෙකි. වර්තමානයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ඔහු කටයුතු කරයි. මේජර් ජෙනරාල් රොවෙල්ගේ ප‍්‍රකාශනය යම් තාක් දුරකට හරබර අධ්‍යන ක‍්‍රියාවලියක් මෙන්ම එහි සනිටුහන් වී ඇති යුද උපායික වැදගත්කම ද අවසාන සටනේ ජයග‍්‍රහණය සඳහා බර සාර ලෙස වැදගත් වූ බව කිව හැකිය.

army1වචනාර්ථයෙන් ගත් විට සංඥා බළකාය කියන හැඳින්වීම සඳහා තේරුම වන්නේ, යුද හමුදාවේ එකිනෙකා අතර සංඥා හුවමාරුව සඳහා පිහිටුවා ඇති ඒකකය යන්නයි. යුදමය පරිසරයකදී මෙයට එහා ගිය වැදගත්භාවයක් සංඥා බළකායට හිමිද...?
මේජර් ජෙනරාල් රොවෙල් අපගේ විමසුම සඳහා පෙර සූදානමක සිටි බැවින්, ඔහු න්‍යායික ප‍්‍රවේශයක් සිය පිළිතුර සඳහා භාවිතා කරන බව පෙනී ගියේය.

 

prabhakarannadaya1

* අණ පාලනය සහ පරිපාලනය

”ඔව්... මෙහිදී අප මුලින්ම තේරුම් ගත යුත්තේ යුද හමුදාවක් ප‍්‍රධාන වශයෙන් අවි සහ සේවා යන අංශ දෙක සඳහා වර්ග වෙන බවයි. ්රප ්බා ීැරඩසජැි යන එම වර්ග දෙකෙන් සංඥා බළකාය අයත් වන්නේ සේවා  ගණයටයි. යුද හමුදාවේ අන්තර් සම්බන්ධතාවය  පවත්වාගැනීම හෙවත් අණ පාලනය සහ පරිපාලනය සඳහා අවශ්‍ය සංඥා සම්බන්ධතා ලබාදෙන රෙජිමේන්තුව තමයි, සංඥා බළකාය වන්නේ. යුදමය හෝ සාමකාමී අවස්ථාවක හමුදාවේ, විවිධ වූ මූලස්ථාන අතර අණ පාලනය සහ පරිපාලනය, දත්ත සන්නිවේදනය සඳහා කටයුතු යොදන්නේ සංඥා බළකාය මගින්. අවසන් සටන හෙවත් මානුෂිය මෙහෙයුම පුරාම ක‍්‍රියාත්මක වූයේ නවමු යුද උපාය මාර්ගයන්. මෙම නවමු උපාය මාර්ග සංකල්පය සංඥා බළකාය සඳහාත් යෙදෙවෙන්නට ඇති. එම ප‍්‍රවේශයන් බොහොමයක් ලෝක හමුදා අධ්‍යනයන් සඳහා ද පාත‍්‍රවී තිබේ. සංඥා බළකාය ඒ මොහොතේ එළඹි එවැනි ප‍්‍රවේශයන් මොනවාද යන්න මේජර් ජෙනරාල්වරයා මෙසේ පැහැදිලි කළේය.

එතෙක් පැවති රජයන් නොගත් තීන්දුවක් ගනිමින් පැවති රජය, ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා තීරණය කළ පසු හමුදාවන්ට ඒ සඳහා සංවිධානය වීම සිදුවුණා. එහිදී අපටද යුද හමුදාවේ එක් සංවිධානයක් ලෙස සැලසුම් සකස් කිරීමට සිදුවුණා. මේ යුද්ධය සඳහා නායකත්වය ලබා දුන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, එකල ආරක්ෂක ලේකම්වරයා ලෙස ක‍්‍රියා කළා. එතුමා ශ‍්‍රී ලංකා යුද හමුදවට බැඳී, දෙවන ලූතිනන්වරයෙකු ලෙස අධිකාරිය ලබා මුලින්ම සේවය කරලා තියෙන්නේ, සංඥා බළකායේ. ඒ නිසා මේ සංඥා සම්බන්ධයෙන් එතුමාට අලූතින් කවුරුත් කියා දිය යුතු තත්ත්වයක් තිබුණේ නැහැ. එහිදී අප මූලිකව සලකා බැලූවේ, සතුරාගේ සන්නිවේදන හැකියාවයි. සතුරා සංඥා සම්බන්ධයෙන් දරන හැකියාව අපි එහිදී සලකා බැලූවා. ඒ මොහොතේ සතුරා සතුව අපට වඩා දියුණු සහ කාර්යක්ෂම සන්නිවේදන උපකරණ තිබුණු බව පැහැදිලි වුණා. ඒ සියල්ල සතුරා ගෙන්වාගෙන තිබුණේ, සාම ගිවිසුම් කාලයේ. ජී. පී. එස්. වැනි ක‍්‍රමවේද සතුරා භාවිතා කර තිබුණේ අපට පෙර...

* සතුරාගේ හැකියාව මැන බැලීම

සතුරා විවිධාකාර හෙවත් වැඩි දියුණු කරන ලද ක‍්‍රමවේද භාවිතා කරමින් ප‍්‍රහාර එල්ල කරන්න පටන් ගෙන තිබුණා. විශේෂයෙන්ම දුරස්ථ පාලක මාර්ගයෙන් සිදු කරන ලද පුපුරුවා හැරීම් ආදිය එල්ටීටීඊ සංවිධානය ඒ වන විට සිදු කරගෙන ගියා. අපේ පළමු අවශ්‍යතාව වූයේ සතුරාගේ මෙම හැකියාවේ ප‍්‍රමාණය දැනගෙන ඒ සඳහා කවුන්ටර් කරන්නේ කෙසේද යන්නයි. ඒ වන විටත් එල්ටීටීඊය ගුවන් බලයක් පිහිටුවාගෙන තිබුණා. එහිදී ඔවුන් ක‍්‍රියාකරන ආකාරය අවබෝධ කරගෙන, පෙර දැනුවත් වීම් සඳහා සූදානම් වන්නේ කොහොමද කියන එකට අපි සූදානම් වුණා. දිශා සොයාගැනීමේ උපකරණ ඔවුන් ළඟ තිබුණා. අප සතුවත් එවැනි උපකරණ තිබුණා. එම උපකරණ මාර්ගයෙන් හමුදා පිරිස් ගැවසෙන ස්ථාන සතුරාට සොයා ගත හැකිව තිබෙනවා. අපේ පිරිස් බලය වැඩි නිසා සතුරාට මෙයින් සිදු කිරීමට හැකි හානිය සහ එය නිෂේධනය කරන්නේ කොහොමද කියන එක අපි සෙවිය යුතුව තිබුණා. අපේ ඉදිරි ආරක්ෂක වළලූ සඳහා මේ අය ඇතුල් වෙලා, අපේ ස්ථානගත කිරීම් ආදී තොරතුරු ලබාදෙනවා. එසේ ලබා දෙන්නේ කුමන සංඛ්‍යාත මාර්ගයෙන් ද කියලා අපි දැන ගත යුතුව තිබුණා. එල්ටීටීඊ නායකයන් සැටලයිට් දුරකථන භාවිතා කළා. එසේම මුහුදු කොටින්ගේ ක‍්‍රියාකාරම් නිරීක්ෂණය සඳහා සමුද්‍ර ආරක්ෂක රේඩාර් අවශ්‍ය වුණා. එල්ටීටීඊ සංවිධානය සතුව ජෑමර්ස් තිබුණා. අපිට ලැබී තිබුණු තොරතුරු අනුව, ඒවා ප‍්‍රබල මට්ටමක ඒවා. එවැනි ජෑමර්ස් මගින් අපේ සන්නිවේදන ක‍්‍රියාවලි සහ දුරස්ථ පාලක ක‍්‍රියාවලි බිඳ වැට්ටවීමේ හැකියාවක් ඔවුන්ට තිබෙනවා ද ඒ සඳහා යෙදිය හැකි පිළියම් මොනවාද යන්න අප තක්සේරු කර ගත යුතුව සහ ඒ සඳහා පිළියම් යෙදීමට අවශ්‍ය වී තිබුණා.

army5යුද්ධයකදී වැදගත් වන දෙයක් තමයි මේ සංඛ්‍යාත ජයග‍්‍රහණය. සංඛ්‍යාත පරාවලිය තමුන්ට නතු කරගන්නා කණ්ඩායම තමයි, යුද ජයග‍්‍රහකයා වන්නේ. විද්‍යුත් සංග‍්‍රාමයෙදී අවශ්‍ය වන්නේ මේ සංඛ්‍යාත පරාවලිය තමුන් නතු කර ගැනීමයි. ඒ නතු කර ගැනීම සිදු කරන්නා තමයි, යුද්ධයේ අනිවාර්ය ජයග‍්‍රහකයා වන්නේ, ඒ අයත්, අපත් භාවිතා කරන්නේ එකම සංඛ්‍යාත පරාවලියක්... මේ පරාවලිය අපට නතු කර ගැනීම සඳහායි අපි මෙහිදී මූල උපායන් භාවිතා කළේ.

* සී. ඞී. එම්. ඒ. දුරකථනත් කරළියට

මීට අමතරව යුද හමුදාවේ පිරිස් බලය වැඩි කරන විට ආරක්ෂක වළලූ සහ සටන් බිම සඳහා සංඥා බළකායේ පිරිස් යොදා ගැනීමට සිදුවුණා. මේ නිසා අපේ පිරිස් බලය වෙනත් ආකාරයකින් ගොඩනගා ගැනීමට අපිට සිදුවුණා. යුද්ධයකදී සාමාන්‍ය වශයෙන් සන්නිවේදනය සිදුවුණේ රේඩියෝ උපකරණ මගින්. එහෙම වුණත් අපිට ඒ දවස්වල තිබ්බ, රේඩියෝ උපකරණ එවැනි මෙහෙයුමක් සඳහා ප‍්‍රමාණවත් වුණේ නැහැ. මේ සඳහා අපි සී. ඞී. එම්. ඒ. දුරකථන යොදාගත්තා. යුද හමුදා මූලස්ථාන මට්ටමේ සිට ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක මුලස්ථාන, බල සේනා මූලස්ථාන, බල ඇණි දක්වාම අපි සන්නිවේදන කටයුතු කරන්න ඕනේ. මේ සඳහා ඒ කාලයේ තිබුණු සී. ඞී. එම්. ඒ. තාක්ෂණය අප පාවිච්චි කළා. විශ්ලේෂණයක් මගින් අපි මෙසේ සතුරා පිළිබඳව, ඔහුට සන්නිවේදනය සම්බන්ධයෙන් ඇති බලය පිළිබඳව තක්සේරුවකට පැමිණියා.’’

මේජර් ජෙනරාල් රොවෙල්ගේ මේ සඳහන සේම බුද්ධි අංශ සඳහා ද විශේෂ දායකත්වයක් ද සංඥා බළකායට හිමිව තිබුණි. ඉලෙක්ට්‍රොනික් වෝ ෆෙයාර් යන සංකල්පය හෙවත් විද්‍යුත් සංග‍්‍රාමය සඳහා සංඥා බළකා දායකත්වය සැපයෙනුයේ ඒ අනුවය.

* සංඛ්‍යාත පරාවලි සංග‍්‍රාමය

”සංඥා බුද්ධි මෙහෙයුම් කියන්නේ, මේ සංඛ්‍යාත පරාවලිය ජයගනිමින් සතුරාගේ තොරතුරු ලබා ගැනීම මූලික කර ගැනීමට. එයින් අපි තොරතුරු රාශියක් ලබා ගත්තා. මූලික වශයෙන්ම බුද්ධි අංශ සඳහා තොරතුරු ලැබෙන ක‍්‍රම කිහිපයක් තිබෙනවා. මුලින්ම පුද්ගලයන් මාර්ගයෙන් ලැබෙනා බුද්ධි තොරතුරු. ඊළඟට සංඥා බුද්ධි තොරතුරු... මේ සංඛ්‍යාත පරාවලිය තමන් අතට අරගෙන වැඩ කරන කණ්ඩායමට සතුරා පිළිබඳව බුද්ධි තොරතුරු සොයා ගැනීම සඳහා අවකාශයක් ලැබෙනවා. සතුරා ගුවන් විදුලි යන්ත‍්‍ර මාර්ගයෙන් කතා කරන දේවල් අහගෙන අපිට මේ තොරතුරු දැන ගන්න පුළුවන්. මේ අංශය සඳහා අපි කෙතරම් ප‍්‍රවේශ වී සිටියාද කිව්වොත්, සතුරු නායකයන්ගේ හඬ පහසුවෙන් හඳුනාගන්නා තරමට අපේ පිරිසට හැකියාව තිබුණා. ඒ අනුව ගුවනින් සතුරු නායකයන් විනාශ කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක

ගැනීමට අදාළ බුද්ධි තොරතුරු අප ලබාදුන්නා. ඒ වගේම මේ නායකයන් ස්ථානගතව සිටින ආකාරය අනුව, අපි මේ නායකයන්ගේ ගමන් මාර්ගය සහ ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කළා.’’

* අපි වෙනුවෙන් අපි සඳහා බිලියන දෙකක්

විවිධ සංඥා නිකුත් වන යුද්ධයක් අතරේ, සංඥා බළකාය විසින් ඉටු කරන ලද තවත් කීර්තිධර කර්තව්‍යයක් ද මේජර් ජෙනරාල්වරයා සඳහන් කළේ, අතිශය සොම්නස් සහගත මුහුණෙන් යුක්තවය.

”මේ යුද්ධය ඉවර වුණහම සංඥා කටයුතු නිමා වෙන්නේ නැහැ. ඒ පිළිබඳව අප මුල සිටම කල්පනාවෙන් සිටියා. විශේෂයෙන්ම අවතැන් වූ පුද්ගලයන් පදිංචි කරන විට, ඒ සඳහා සන්නිවේදන ක‍්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. නැවත ගම් බිම් බලා පැමිණෙන මිනිස්සුන්ට සහ යළි පදිංචි කිරීමේ යාන්ත‍්‍රණය සඳහා මෙවැනි සන්නිවේදන ක‍්‍රමවේදයක් අවශ්‍ය වන නිසා, අපි ඒ සඳහාත් ක‍්‍රමවේදයක් ඇති කළා. මොබයිල් කොමියුනිකේෂන් නෙට්වර්ක් කියන ව්‍යාපෘතිය අපි ඒ අනුව ආරම්භ කළා. ඩයලොග් සමාගම සහ පසුව මොබිටෙල් ආයතනය සමග අපි මෙවැනි ඇන්ටනා කුලූණු සියයක් ඇතිකරන්න තීරණය කළා. ඒ අනුව අදාළ ස්ථාන මම සහ මගේ කණ්ඩායම තීරණය කළා. ඒ අනුව මුලින්ම ඉදිකළේ මන්නාරම කඳවුරේ තිබෙන මීටර් එකසිය විස්සක් උස කුලූන. මේ කුලූන සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේදී අපේ කොන්දේසි කිහිපයක් තිබුණා. ඒ හැම කුලූනක්ම කුමන හෝ හමුදා කඳවුරක් ඇතුළේ ඉදිකරන්න ඕනේ. ඒ හැම කණුවක්ම මීටර් හැත්තෑවට වඩා උස වෙන්න ඕනේ. සෑම සේවා සපයන්නෙකුම, මේ කුලූන පාවිච්චි කරන්න ඕනේ. එහෙම පාවිච්චි කරනවාට මාසයකට රුපියල් එක් ලක්ෂ පනස්දාහක කුලියක් දෙන්න ඕනේ. ඒකෙන් සියයට පනහක් ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලට දෙන්න ඕනේ. මේ විදිහට අපි කුලූනු හදන්නේ යුද්දයේ අවසන් හරියේ. මේ විදිහේ කුලූනු හැත්තෑ හයක් අපි, 2012 වසර වෙනකොට හැදුවා. මම පුද්ගලයෙකු ලෙස සහ අපේ සංඥා රෙජිමේන්තුවට සතුටු වෙන්න පුළුවන් කාරණය තමයි, මෙවැනි කාරණයක් අපි කල් තියා ඉටු කිරීම. 2020 වෙනකොට එයින් අපි වෙනුවෙන් අපි අරමුදලට ලබා දුන් මුදල රුපියල් බිලියන දෙකක්, ඒ කියන්නේ, යුද්ධයේදී ජීවිත අහිමි වූ සහ විවිධ වූ දුබලතාවන්ට මුහුණ පෑ හමුදා විරුවන්ට සල්ලි ලැබෙන මූලික ක‍්‍රමය තමයි මේ වැඩපිළිවෙළ.’’

දැන් අප සංඥා බළකාය අවසන් යුද්ධය සඳහා දායක වූ පසුබිම් කතාවෙන් මෑත්ව එය සංග‍්‍රාම භූමිය දක්වා ගමන් කරන ආකාරය මේජර් ජෙනරාල්වරයාගෙන් අසා ගත යුතුව තිබේ. විශේෂයෙන්ම ඉදිරි පෙළ සටන සඳහා සංඥා බළකාය ලබා දෙනු ලැබුවේ, සාම්ප‍්‍රදායික ආකාරයෙන් අණ සහ පරිපාලනය පමණක් නොවේ.

* සතුරා සජීවී ලෙස සේනාංක ඇසට

”අපි මේ ඉතිහාසයේ පළමු වතාවට සතුරා පිළිබඳව සජීවී රූප රාමු සංග‍්‍රාම භූමිය සඳහා ලබා දුන්නා. වෙනදාට නියමුවන් රහිත ගුවන් යානා මගින්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ලබා දෙන දර්ශන නැරඹීම සඳහා හැකියාව තිබුණේ, ඒ පාලන මධ්‍යස්ථානයේ සිට පමණයි. අප විශේෂයෙන් මෙහිදී එම දර්ශන ඉදිරියේ සිටින බල ඇණි වෙත එවලේම ලබා දෙන යාන්ත‍්‍රණයක් ඇති කළා. මන්නාරම ප‍්‍රදේශයේ සහල් බඳුන කලාපය සඳහා පාබළ බල ඇණි ඇතුල් වෙන විට අපි මේ ක‍්‍රමය මුලින්ම ස්ථාපිත කළා. ඒ අනුව සතුරා ඉදිරියෙන් සිටින ආකාරය අපේ හමුදාවන්ට සජීවී ආකාරයෙන් ලබා දෙන්න අපිට හැකියාව ලැබුණා. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් කමල් ගුණරත්න, ජෙනරාල් ජගත් ඩයස්, ජෙනරාල් නන්දන උඩවත්ත, ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා යන සියලූදෙනා වෙන වෙන ස්ථානවල හිටියත් ඒ සියලූ දෙනාට ඒ මොහොතේ සතුරාගේ භූමියේ හැසිරීම දැකගැනීමට හැකියාව තිබුණා. එම දර්ශන කොළඹ සිටින යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාටත් අපි ඒ මොහොතේම ලබා දුන්නා. මෙයින් විශේෂ දෙයක් සිදුවුණා. ඒ තමයි සිවිල් වැසියන්ට අවම හානියක් වන සේ අපේ හමුදාවට කටයුතු කිරීමේ හැකියාව ලැබීම. ඔය මානව හිමිකම් කඩකිරීමේ චෝදනා එයින්ම අසත්‍යක් බවට පත්වෙනවා.’’

අවසන් දින කිහිපය වන විට සතුරා වටකරගෙන හමුදා සේනාංක කිහිපයක් ඉදිරියට පැමිණෙමින් සිටියහ. මේ සියලූ සේනාංක සඳහා සංඥා බළකායේ සහාය අත්‍යවශ්‍ය විය. ඒ සඳහා එවකට ලූතිනන් කර්නල්වරයෙකු ලෙස සිටි රේණුක රොවෙල් කටයුතු කළේ කෙසේද...?

”මම මේ හැම සේනාංකයකටම යනවා. ඒ සියලූ සේනාංකාධිපතිවරු සමග ඊළඟ පියවර පිළිබඳව කතා කිරීම මේ රාජකාරිය සඳහා අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම වෙනත් හමුදා නායකයෙකුට අවශ්‍ය වන්නේ තැනකින් තවත් තැනකට යෑම සඳහා පමණක් නිසා, ඔවුන් සිය ගමන් බිමන් සඳහා බෆල් රථ භාවිතා කළත්, මට එහෙම යන්න බැහැ. ඊළඟ අදියර සඳහා භූමියේ උස් තැන් ආදී පිහිටීම් දැනගත යුතු වෙනවා. මේ නිසා මට හැමවිටම ගමන් කළේ ජීප් රථයෙන්. මම කියන්න සතුටුයි, අප සියලූදෙනා අතර කාලයක් තිස්සේ, එකට ඉඳලා හොඳ අන්‍යොන්‍ය අවබෝධයක් තිබ්බා. මේ සියල්ලේ ප‍්‍රතිඵලය වුණේ, මේ යුද්ධයේදී කිසිම සංඥා අසමත්භාවයක් සිද්ධ වුණේ නැහැ.’’

දැන් අප පැමිණ සිටින්නේ, 2009 අපේ‍්‍රල් මස අවසන් සතියටය.

”ඒ වෙනතුරු අපි ත‍්‍රස්තවාදීන්ගේ සංඥා, ජෑම් කිරීම සිදු කළේ නැහැ. ඒ කියන්නේ එතරම් කාලයක් අපි එල්ටීටීඊයේ සන්නිවේදන උපකරණ සඳහා අවහිරතා සංඥා මාර්ගයෙන් සිදු කළේ නැහැ. අපි ඒවා මැදින් අහගෙන හිටියා. ජෑම් කරන විකල්පය අපි යම් කිසි අවස්ථාවක් එනතුරු තියාගෙන හිටියා. ඒක අපේ උපාය මාර්ගයක්. යම් හෙයකින් අපි මුල ඉඳලා ජෑම් කරානම්, ඒ අය ඒ සඳහා හුරු වෙනවා.

ත‍්‍රස්තවාදීන් වෙල්ලමුල්ලිවයිකාල්වලට කොටු වුණාට පස්සේ, ඒ කියන්නේ 59 වෙනි සේනාංකය වැලිඔය පැත්තෙන් උඩට ඇවිල්ලා හිටියා. 58 සහ 53 කියන දෙක පහළ සිට උඩට ඇවිල්ලා හිටියා. ඒ අනුව අපි සේනාංකාධිපතිවරු සමග කතා කරලා, සතුරු සංඥා ජෑම් කළා. මේ නිසා ආසන්නව සිටියත් එල්ටීටීඊ පිරිසට අන්තර් සංඥා පැවැත්වීම අසීරු වුණා.’’

සිය නායකයන් කඩොලාන තීරුවකට කොටුවීමට පෙර සිටම එල්ටීටීඊයේ විදේශගත ප‍්‍රජාව සහ බටහිර රාජ්‍යයන් කිහිපයක්, ප‍්‍රභාකරන් ඇතුළු ඉදිරි පෙළ නායකයන් බේරා ගැනීම සඳහා යුහුසුළුව සැලසුම් සකස් කළේය.

එම සැලසුම් තුළ, සබ්මැරීනයක් ආධාරයෙන් ප‍්‍රභාකරන් ඇතුළු ප‍්‍රබල කණ්ඩායම පිටමං කර ගැනීම, සී ප්ලේන් වැනි යානාවක් මගින් රටින් පිටතට ගැනීම වැනි සැලසුම් තිබුණි. මේ සියල්ලටම බාධාවක් වන්නේ, අවසාන මොහොතේදී අධි බලැති ජෑමර් යොදා ගනිමින් එල්ටීටීඊ සන්නිවේදන ශක්තිය මුළුමනින්ම අහුරා දැමීමය.

2009 මැයි 17 වැනිදාට එළිවෙන යාමයේ නන්දිකඩාල් කලපුවේ සිට මුලතිව් කැලය දෙසට බෝට්ටු කිහිපයක් වේගයෙන් ධාවනය වන ආකාරය සංඥා බළකාය සිය රේඩාර් පද්ධතිය හරහා නිරීක්ෂණය කළේය. මුහුද දෙසට යායුතුව තිබූ අධිවේගී බෝට්ටු ගොඩබිම දෙසට පැමිණීම සඳහා හේතු වන්නට ඇත්තේ, සාගරය සඳහා පිවිසීම නාවික හමුදාව විසින් මුළුමනින්ම අවහිර කර තිබීම සහ සාගරය සඳහා පිවිස, ඊළඟ අදියර සඳහා යායුතු ආකාරය පිළිබඳව පණිවිඩ හුවමාරුව ද සංඥා බළකාය විසින් මුළුමනින් අවහිර කරදමා තිබීම විය හැකිය. මේ නිසා මුහුදෙන් පැන ගැනීම වෙනුවට මුලතිව් කැලයට පැන ගැනීම සඳහා යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දැමීම, එල්ටීටීඊ ප‍්‍රබලයන්ට තිබූ එකම අවස්ථාව විය. එම අවස්ථාව ද සංඥා බළකාය, සිය රේඩාර් පද්ධතිය මාර්ගයෙන් කල් තබා හඳුනාගැනීම තුළ, පැමිණෙන බෝට්ටු කවරේදැයි රේඩාර් තිරය මතදීම කිව හැකි තරමට සංඥා බළකා පිරිස් සමත්ව සිටියහ. ධීවර බෝට්ටු, නාවික බෝට්ටු සහ එල්ටීටීඊ බෝට්ටු යන ප‍්‍රධාන බෝට්ටු වර්ග තුන, ධාවනය වන ආකාරය සහ වේගය අනුව ලැබෙන රේඩාර් සටහන දෙස බලා, ඒවා කිනම් වර්ගයට අයත්දැයි, කිව හැකි තරමට සංඥා බළකායට තිබූ හැකියාව හේතුවෙන් ප‍්‍රහාරක බල ඇණි සඳහා ක්ෂණිකවම ඒ සඳහා ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාවක්, තිබුණි.

ඒ සමගම මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය බලඇණි යොදවා, සිය ආරක්ෂක වළල්ල බිඳ දැමීම සඳහා වේගයෙන් පැමිණෙන මරාගෙන මැරෙන බෝට්ටු සියල්ලටම ප‍්‍රතිචාර දැක්වීමට සමත්ව තිබුණි. මේ යුද්ධයේ අවසන් පැය කිහිපය විය. සිය රේඩාර් පද්ධතියෙන් ඇස ඉවතට නොගත් සංඥා සෙබළ මුළු, බුද්ධි අංශ වෙතට සහ ඉදිරි පෙළ සඳහා තමන්ට ලැබෙන සියලූ තොරතුරු දන්වා සිටියහ.

මීට වසර දොළහකට පෙර, මැයි 19 වෙනිදා පාන්දර 5.30 වන විට, එල්ටීටීඊයේ සියලූ රේඩියෝ සංඥා නැසී ගියේය. නන්දිකඩාල් කලපුවෙන් එල්ටීටීඊ නායකයාගේ මිනිය හමුවෙන විට, ශ‍්‍රී ලංකා හමුදාවෝ සංඛ්‍යාත යුද්ධය ද ජයගෙන ඇති බව ඉන් සනිටුහන් විය. රණ බිමේ තීරණාත්මක ‘භූමියක් වූ’ සංඛ්‍යාත පාරාවලිය ජයග‍්‍රහණය කිරීම සඳහා නායකත්වය ලබා දුන් මේජර් ජෙනරාල් රේණුක රොවෙල්ගේ මතක පොත, සංඛ්‍යාත යුද්ධයකට පමණක් සීමා වූවක් නොවේ. ඔහු ද වැඩි සඳහනක් නොමැති වීර නාමාවලියේ ප‍්‍රධාන චරිතයකි.


 

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles