Divaina - නකල්ස් වන පෙත රකින්නට පෙරමග ගත් ගම්වැසියන්ගේ කතාව

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 nakalsrakinna666


 ජගත් කණහැරආරච්චි
 
යුනෙස්කෝව මගින් ලෝක උරුම වනාන්තරයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සංරක්ෂිත වනාන්තරය වන නකල්ස් නොහොත්, දුම්බර කඳුකර වනාන්තරයේ ආරක්ෂාව සහ සංරක්ෂණය තහවුරු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ජගත් පරිසර පහසුකම් (GEF) ආධාර ඔස්සේ සු`ඵ මූල්‍යාධාර වැඩසටහනේ (SGP) හයවැනි අධියර යටතේ 2017 වසරේ පටන් 2020 දක්වා ප‍්‍රජා වැඩසටහනක් රැසක් ක‍්‍රියාත්මක කරනු ලැබූ අතර, දැන් එම වැඩසටහන් අවසන් අධියරට, එනම් නිමාකිරීමේ අධියරට පැමිණ ඇත. එසේ ප‍්‍රජා ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන සංවිධාන ගණන 14 කි. මෙම සංවිධාන 14 න් දෙකක් මුළු නකල්ස් වනපෙතම ආවරණය වන ලෙස කටයුතු කරන අතර, සංවිධාන 12 ක් යම් යම් නිශ්චිත ප‍්‍රදේශ ආවරණය වන ලෙස කටයුතු කරයි. මේ එක් එක් සංවිධාන මාතලේ සහ මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්ක දෙකම ආවරණය වන පරිදි නක්ල්ස් (දුම්බර) වනාන්තර කලාපයේ සිදුකරනු ලබන ව්‍යාපෘති විවිධාකාරය. එනමුත් ඒවා සියල්ලක් ප‍්‍රධාන අරමුණු තුනවන නකල්ස් වනාන්තරයේ වන වැස්ම වැඩි කිරීම ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම හා පාංශු සංරක්ෂණය කිරීම යන කරුණු තුන තුළ පිහිටා කටයුතු කරනු ලැබීම විශේෂත්වය විය.

 

nakalsrakinna1
 
 මෙම සංවිධාන කටයුතු කරන ආකාරය සහ එක් එක් සංවිධානයේ ක‍්‍රියාකාරකම් අවස්ථා දෙකකදී අපගේ අධ්‍යයනයට ලක් කරන ලද අතර, ඒවා සියසින්ම දැක කරුණු කාරණා වාර්තාවක් ලෙස සකසා ඉදිරිපත් කිරීම මින් පෙර අප විසින් අවස්ථා දෙකකදී සිදුකරන ලදී. අවසන් අධියර වන මෙහිදී අප බලාපොරොත්තුවන්නේ එක් එක් සංවිධාන තමන් විසින් අත්කරගන්නා ලද ව්‍යාපෘති ධාරිතාව තුළ ව්‍යාපෘතිය අවසන් වන විට අපේක්ෂා කළ පරිදි කෙතරම් ප‍්‍රගතියක් අත්කරගත්තේ දැයි විමසුමට ලක් කිරීමයි. එසේ හෙයින් පළමුව අප මෙම සංවිධානවල ක‍්‍රියාකාරකම් බලප‍්‍රදේශ හඳුනාගන්නා ලද අතර මාතලේ සහ මහනුවර දිස්ත‍්‍රික් දෙක යටතට ගැනෙන පරිදි සංවිධානවල ක‍්‍රියාකාරීත්වය අධ්‍යයනයට ලක්කරන ලදි.
 
 

nakalas

 

නකල්ස් සංරක්ෂිත කලාපයේ මාතලේ පරිපාලන දිස්ත‍්‍රික් කලාපය නියෝජනය කරන සංවිධාන 7 ක් ඇති අතර, ඉතිරි සංවිධාන 5 මහනුවර දිස්ත‍්‍රික්කයට අයත් ප‍්‍රදේශය තුළ තම ක‍්‍රියාකාරකම් සිදුකරනු ලැබීය. මේ අතරින් පළමුව අපගේ අවධානයට යොමු කෙරුණේ මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් නකල්ස් සංරක්ෂණ ව්‍යාපෘති පිළිබඳවය.
 
nakalsrakinna2මාතලේ බල ප‍්‍රදේශයේ මාතලේ රිවර්ස්ටරින් මාර්ගයෙන් ඉහළට ගමන් කරද්දී අපට පළමු ව්‍යාපෘතිය හමුවන්නේ රත්තොට මැදවත්ත රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මැදවත්ත තේ වත්ත ආශ‍්‍රිත කටාරම්තැන්න හා දන්කන්ද කුඩා වැව් ආශ‍්‍රිත ප‍්‍රදේශයෙනි. ග‍්‍රාම අභිවෘද්ධි පරිසර සංරක්ෂණ පදනම (GAFEC) මගින් සිදුකරන ලද මෙම ව්‍යාපෘතිය මගින් මැදවත්ත තේ වත්ත ආශ‍්‍රිතව කාබනික තේ වගාව හෙක්ටයාර් 100 ක භූමියක් පිහිටුවා පාරිසරික සංචාරක සේවාවන් සහිත භූමියක් බවට සංවර්ධනය කිරීම ව්‍යාපෘති තේමාව විය.
 
  මෙම ව්‍යාපෘතිය මගින් එම ප‍්‍රදේශයේ කටාරම්තැන්න හා දන්කන්ද කුඩා වැව් ආශ‍්‍රිත ප‍්‍රදේශය පාරිසරික සංචාරක නිකේතනයක් ලෙස වැඩිදියුණු කර සංචාරකයන් හට සේවාවන් සපයන සංචාරක ආකර්ෂණීය තැනක් බවට පත් කිරීමේ කටයුතු නිමාකර ඇත. වැව් ජල තලය හා වැවේ ඉවුරු සංරක්ෂණය, රුක් රෝපණය මගින් හරිත ආවරණය වැඩි කිරීම, රුක් රෝපණය සඳහා ශාක තෝරා ගැනීමේදී දේශීය අනන්‍යතාව ඇති ශාක ස්ථාපනය කිරීම මගින් නකල්ස් වනාන්තරයේ වනගහනය වැඩි කිරීමට දායක වීම මෙන්ම, මෙම ස්ථානයේ සංචාරක පහසුකම් ඇතිකර පාරිසරික සංචාරක කර්මාන්තයට වැඩි ඉඩ ප‍්‍රස්ථාව ලබාදීමට මෙම සංරක්ෂණය ව්‍යාපෘතිය මගින් කටයුතු කර ඇත. එසේම මැදවත්ත වතුයාය සතු මෙම භූමි ප‍්‍රදේශයේ පැරණි තේ වගාව සහිත භූමි කොටසක් කාබනික තේ වගාවක් බවට පත් කිරීමද සිදුකර ඇත.
 
 රිවස්ටන් පසුකර ඉදිරියට ගමන් කිරීමේදී ඇටන්වල ග‍්‍රාමය සඳහා යන මාර්ගය හමු වේ. ඇටන්වල මාර්ගයේ ඉදිරියට ගමන් කළවිට රත්නින්ද හා ඇටන්වල ග‍්‍රාමයන් හමු වේ. මෙහිදී අපට හමුවන්නේ අරුණලූ ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන මගින් ක‍්‍රියාත්මක ඇටන්වල සහ රත්නින්ද පාරම්පරික ගම් ප‍්‍රදේශයේ තෙළිගමු ඔය අධි සංවේදී පෝෂිත කලාපයේ ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පරිසර පද්ධති හා සංචාරක සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියයි.
 
 මෙම ව්‍යාපෘතිය මගින් ක‍්‍රියාකාරකම් රැසක් අදාළ කලාපයේ සිදුකර ඇත. සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීම, ගෙවතු වගාව දියුණු කිරීම, පස සංරක්ෂණය, මේ ව්‍යාපෘතියේ ප‍්‍රමුඛ කාර්යයන් වේ. එසේම ප‍්‍රදේශය ආශ‍්‍රිතව සිදුවන අවිධිමත් පාරිසරික සංචාරක කටයුතු විධිමත් කර, පුහුණු කරන ලද සංචාරක මග පෙන්වන්නන් මගින් කඳු නගින්නන් හට පහසුකම් සැපයීම, අදාළ ප‍්‍රදේශයේ සංචාරක පහසුකම් ගොඩනැගීම ආදී කටයුතු ද එම සංවිධානය මගින් සිදුකර ඇත.
 
 මෙහිදී සංචාරකයන්ගේ පහසුව තකා වැසිකිළි - කැසිකිළි පද්ධතියක් තැනීම, සංචාරකයන් සඳහා ගෘහාශිත දේශීය ආහාර ලබාදෙන පහසුකම් වැඩිදියුණු කිරීම, නකල්ස් වනයේ පහළ ප‍්‍රදේශයන්හි වනගහනය ඉහළ නැංවීමටද, පාංශු සංරක්ෂණ කටයුතු කිරීම මෙම සංවිධානය මගින් ඉටු කරන ලද තවත් කාර්යයන් වේ.
 
 එම ප‍්‍රදේශයේම පිහිටි ඉළුක්කුඹුර හා මහලකොටුව ග‍්‍රාමයන් සඳහා රංගිරි තාක්ෂණ පියස මගින් තිරසාර භූමි කළමනාකරණ ක‍්‍රියාමාර්ග හඳුන්වා දී ඇත.
 
 මේ මගින් ගෙවතු වගාව ප‍්‍රචලිත කිරීම හා ගල්වැටි දැමීම මගින් පස සංරක්ෂණය කිරීමද, උචිත ශාක යොදාගෙන වන වගාව වැඩිදියුණු කිරීම ආදිය මෙම ව්‍යාපෘතියෙන් කරන ලද ප‍්‍රමුඛ කාර්යයන් වේ. එසේම ග‍්‍රාමීය ආර්ථිකය නංවාලීම සඳහා පැළ තවාන් ඇති කිරීම සහ අත්කම් නිෂ්පාදන දිරිමත් කිරීම මගින් ගැමි තරුණ තරුණියන්ට ස්වයං රැකියා අත්වැලක් ද සපයා ඇත. මීට අමතරව අතහැර දමා තිබූ ඉලූක්කුඹුර වැව ප‍්‍රතිසංස්කරණය කර එමගින් ජලය සපයන කුඹුරු යායක් සඳහා දෙකන්නයම වගා කිරීමට අවශ්‍ය ජල පහසුකම් සපයා දී ඇත.
 
 ඉහත ප‍්‍රදේශයට ආසන්නව පිහිටි මැද ඇළ හා කහගල ගම්මාන ආශ‍්‍රිතව අනුරුද්ධ අරණ භාරකාර මණ්ඩලය මගින් ක‍්‍රියාවන්ට නගන ඒකාබද්ධ පරිසර ගම්මාන සංවර්ධනය තුළින් ජෛව විවිධත්ව සංරක්ෂණය හා ගැමි ජීවනෝපාය සංවර්ධන කටයුතු සිදුකර මේ වනවිට ඒවා නිමාකර ඇත. ගෙවතු වගාව, ගල්බැමි ඉදිකිරීම හා කාණු කැපීම මගින් පාංශු සංරක්ෂණය, වනගහනය වැඩිකිරීම හා පැළ තවාන් පවත්වාගෙන යෑම, යනාදී කටයුතු මගින් අපේක්ෂිත අරමුණු ජයගැනීමට සංවිධානය කටයුතු කර ඇත.
 
  අනතුරුව අපගේ නිරීක්ෂණයට බඳුන්වන්නේ දුම්බර මිතුරෝ පරිසර සහ සංස්කෘතික පදනමේ කටයුතු කෙරෙහිය. ඔවුන් විසින් හල්මිණිය, රණමුරේ සහ නාරංගමුව ග‍්‍රාමනිලධාරී වසම් තුළ පිහිටි ජල මූලාශ‍්‍ර සහ පාරම්පරික දැනුම සංරක්ෂණය කිරීම, පාරිසරික කෘෂිකාර්මික කටයුතු ප‍්‍රගුණකිරීම සිදුකරන ලද අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව පිටවල පතන ප‍්‍රදේශයේ සිදුකරන ලද ප‍්‍රජා පාදක නකල්ස් ජෛවවිවිධත්ව සංරක්ෂණ කටයුතු නිමා කරනු ලැබ ඇත. මෙම සංවිධානය මගින් රණමුරේ වසමේ ගෙවතු වගාව දියුණු කිරීමට කටයුතු කරන ලද අතර, රණමුරේ සහ නාරංගමුව වසම් තුළ පිහිටි ස්වභාවික ජල මූලාශ‍්‍ර හයක් සංවර්ධනය කර ප‍්‍රජාවට භාර දී ඇත. එසේම එම ප‍්‍රදේශයේ පාරිසරික සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම, පාංශු සංරක්ෂණ වැඩසටහනක්ද, පිටවල පතන ප‍්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව පිටවල පතනේ සංරක්ෂණය සඳහා පැති බැමි සකස් කිරීම, ශෛලමය විස්තර පුවරුවක් සැකසීම හා වනෝද්‍යාන ගිමන් ප‍්‍රදේශය වැඩිදියුණු කිරීම සහ පිටවල පතනේ පිහිටි ආක‍්‍රමණික ශාක ඉවත්කිරීම ආදී කටයුතු සාර්ථකව නිමා කර ඇත. මීට අමතරව සංවිධානය විසින් මු`ඵ නකල්ස් ප‍්‍රදේශයම ආවරණය වන පරිදි සංචාරක මග පෙන්වන්නන් 52 දෙනකු පුහුණු කර අවශ්‍ය සංවිධානාත්මක ව්‍යුහය සකසා දී ඇත.
 
 නාරංගමුව හා ලකේගල ගම්මාන තුළ නිර්මාණී සංවර්ධන පදනම මගින් පාරිසරික සංචාරක සේවා වැඩිදියුණු කිරීමේ හා පාරම්පරික දැනුම සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතුද අවසන් අදියරට පැමිණ ඇත. මෙහිදී සංචාරකයන් සඳහා
 ගෘහාශ‍්‍රිත නවාතැනපළවල් (හෝම්ස්ටේ) තෝරාගෙන හා ඒවායේ පහසුකම් හා ප‍්‍රමිතිය දියුණුකර එමගින් පාරිසරික සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් කටයුතු කර ඇත. මෙහිදී එම ගම්වල ප‍්‍රජා තරුණයන්ට සංචාරක මගපෙන්වන්නන් ලෙස පහසුකම් සලසා දී ඇත. එසේම, නාරදපුර සුරැකීමේ සංවිධානය නම් ප‍්‍රජා සංවිධානය පිහිටුවා ඒ තුළින් ප‍්‍රජා කටයුතු සිදු කළ මෙම සංවිධානය විවිධ ක‍්‍රියාකාරකම් සඳහා කුඩා කණ්ඩායම් පිහිටුවා ඔවුන්ගේ සංවිධාන සඳහා අරමුදලක් ද පිහිටුවා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම හා දේශීය දැනුම සංරක්ෂණය සඳහා ධනාත්මකව කටයුතු කර ඇත.
 
 එසේම පාරම්පරික වෙද කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ ලබාගැනීමට නාරංගමුව පාසලේ ඖෂධ උයනක් ස්ථාපිත කර ඇති අතර, හෙළ වෙදදුරන් 12 දෙනකුගේ කටයුතු දියුණුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදී ඇත. මීට අමතරව මෙම ගම් දෙක ආවරණය වන ලෙස පාංශු සංරක්ෂණ කටයුතු සහ වනගහනය වැඩිදියුණු කිරීමේ කටයුතු සිදුකර ඇත. ජෛව විවිධත්වය හා හේන් ගොවිතැනේ ආරක්ෂාව හා අයිතිය වෙනුවෙන් ප‍්‍රජා ජෛව ප‍්‍රඥප්තියක් සකස් කිරීම ඔවුන්ගේ කැපී පෙනෙන කටයුත්තකි.
 
 අපගේ මීළඟ නිරීක්ෂණය යොමු වූයේ විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි හෙට්ටිපොල, මොරගහ උල්පත, උඩුවෙල්වල හා සු`ඵ ගුණේ ග‍්‍රාමයන් කේන්ද්‍ර කරගනිමින් ඒකාබද්ධ ප‍්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමය මගින් ක‍්‍රියාවට නංවනු ලබන ව්‍යාපෘතිය නකල්ස් ස්වාරක්ෂක කලාපයේ කුඩා පරිමාණ කෘෂි පරිසර පද්ධතියේ ඵලදායිතාව සහ තිරසාරත්වය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙතය.
 
 එම සංවිධානය මගින් තෝරාගත් ප‍්‍රජා කණ්ඩායම් සඳහා පොදුවේ යොදා ගත හැකි කෘෂි ළිං පද්ධති 10ක් සැකසීම සිදුකර ඇත. මෙමගින් මෙම ළිං පද්ධතිය උපයෝගි කරගෙන කර්යක්ෂම ජල සම්පාදන ක‍්‍රමවේදයක් භාවිතකිරීම සඳහා පුරුදු පුහුණු කර ඇත. විල්ගමුව, හෙට්ටිපොළ සහ මොරගහඋල්පත ප‍්‍රදේශයේ මෙසේ ගොඩනගා ඇති කෘෂි ළිංවලට අමතරව තෝරාගත් ගොවිපවුල් සඳහා කෘෂි ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා වැඩිදියුණු කළ පොල්පැළ හා පලතුරු පැළ බෙදා දී සිටුවීම අවසන් කර ඇත. තවද රබර් සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සම දායකත්වය ඇතුව මොරගහඋල්පත ප‍්‍රදේශයේ හෙක්ටයාර 5ක රබර් වගාවක් ද පාංශු සංරක්ෂණ කටයුතු නිසියාකාරව යොදා ආරම්භ කර ඇත. එසේම, අතිදුෂ්කර ගම්මානයක් වන සු`ඵගුණේ ග‍්‍රාමයේ පිහිටි වැවෙන් ගොවි ක්ෂේත‍්‍රවලට ජලය ගෙනයන ප‍්‍රධාන ඇළ ප‍්‍රතිසංස්කරණය කර වැඩ අවසන් කර ඇත. තවද විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක‍්‍රියාත්මක වන ක‍්‍රියාකාරී කාන්තා ගොවි සංවිධාන 52ක් එකතු කර ගෙන කාන්තා බලමණ්ඩලයක් පිහිටුවා එමගින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට කාන්තා ”දැනුම් බැංකුවක්” සකසා ක‍්‍රියාත්මක කරනු ලබයි. මෙලෙස ඉහත සඳහන් කළ ව්‍යාපෘති 7 මගින් මාතලේ දිස්ත‍්‍රික්කය තුළ පිහිටි නකල්ස් රක්ෂිතයේ සහ සංචාරක කලාපයේ ක‍්‍රියාකාරකම් ඉටු කරමින් නකල්ස් සංරක්ෂිත වනාන්තරය සංරක්ෂණය සඳහා කටයුතු කරමින් සිටී.
 
  මහනුවර දිස්ත‍්‍රික්කයට අයත් නකල්ස් රක්ෂිත කලාපයේ සංවිධාන 5 ක් ව්‍යාපෘතීන් ක‍්‍රියාවට නංවා තිබිණි. ඒ අතරින් ජනතා ජීවනෝපාය සංවර්ධන පදනම මිණිපේ, රත්නඇල්ල ග‍්‍රාමයේ පිහිටි රත්නඇල්ල සහ කලූවාවැටුණුඇල්ල පදනම් කර ගනිමින් ප‍්‍රජා දායකත්වය ඇතිව පාරිසරික සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සිදු කරයි.
 
 මේ යටතේ රත්නඇල්ල ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් රත්න ඇල්ල නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් සඳහා වාහන නැවතුපළක්, සංචාරක පිරිස් සඳහා වස විසෙන් තොර කාබනික ආහාර ලබාගත හැකි අවන්හලක් සඳහා පහසුකම් සැපයීම, පාරිසරික සංචාරකයන් සඳහා කඳවුරු හා පරිසර හිතකාමී නවාතැන් පහසුකම් දියුණු කිරීමේ වැඩසටහනක්ද, සංචාරක මග පෙන්වීමේ පුහුණුව හා පහසුකම්ද ලබාදී ඇත. එසේම රත්නඇල්ල අසල සංචාරක පහසුකම්ද මේ යටතේ වැඩිදියුණු කර ඇති අතර, විවිධ ආකාරයේ ස්වයං රැකියාලාභීන් 20 ක් බිහිකිරීමට කටයුතු කර ඇත. එසේම, රත්න ඇල්ල ආශ‍්‍රිතව සිදුවන පරිසර දූෂණය නැතිකිරීම සඳහා ප‍්‍රජා දායකත්වයෙන් ක‍්‍රමවේදයන් සකසා ක‍්‍රියාවට නංවනු ලබයි.
 
 ව්‍යාපෘති අධ්‍යයනය සඳහා යොදාගත් අපගේ මීළඟ නැවතුම්පළ මීමුරේ ගම්මානයයි. එහිදී ප‍්‍රජා සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානය තම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවා ඇත්තේ දුම්බර මිටියාවතේ ආදර්ශ සංචාරක හරිත ගම්මාන ව්‍යාපෘතිය සඳහාය. මේ යටතේ මීමුරේ තරුණයන් 18 දෙනකුගෙන් යුතු ජීවිතාරක්ෂක කණ්ඩායමක් පුහුණු කරනු ලැබ ඇත. එසේම පලතුරු පැළ 1000 ක් රෝපණ වැඩසටහනක් ක‍්‍රියාත්මක කළ අතර, ගම්මිරිස් වගාවේ පාංශු සංරක්ෂණය සහ පලදායිතාව වැඩිකිරීම සඳහා පියවර ගෙන ගල් වැටි, කාණු කැපීම සිදුකර ඇත. එම සංවිධානයේ තවත් එක් වැදගත් කටයුත්තක් වන්නේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක් ලෙස සේවා පියස මධ්‍යස්ථානයක් ඉදිකිරීමයි. මීමුරේ නැරඹීම සඳහා එන සංචාරකයන් සඳහා අවශ්‍ය මග පෙන්වීමත් පහසුකම් සැපයීමත් මෙන්ම සම්බන්ධීකරණයත් මෙමගින් සිදුකරයි. වැඩ නිමවූ මෙම මධ්‍යස්ථානය පෙබරවාරි මස 13 වැනිදා මීමුරේදී පැවති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසඳරක් වැඩසටහන පවත්වන්නට මොහොතකට පෙර, එතුමන් අතින් ජනතා අයිතියට පත්කර, එහි ඇති අමුත්තන් සඳහා වන පුස්තකයේ පළමු අත්සන සනිටුහන් කරන ලදී. මෙම වැඩකටයුතු සඳහා මී මුරේ පාරම්පරික අයිතීන් සුරකින්නන්ගේ සංගමය සම්බන්ධ වන අතර, ඉදිරි කටයුතු එම සංවිධානය මගින් සිදුකරනු ලබයි.
 
 උඩුදුම්බර ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශයේ පදුපොල සහ උඩුකුඹුර ගම්මාන ආශ‍්‍රිතව කෘෂි පරිසර පද්ධතියේ ඵලදායීතාව සහ තිරසාරත්වය වැඩිදියුණු කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය ක‍්‍රියාවට නගන ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය මගින් සිදුකර ඇති කටයුතු ද අපගේ නිරීක්ෂණයට බඳුන් කෙරිණි. පස සංරක්ෂණය කිරීම, වන වියන වැඩි කිරීම මෙන්ම ජෛවවිවිධත්ව සංරක්ෂණය ආදී කටයුතු කරන මෙම සංවිධානය කුඩා ප‍්‍රජා කණ්ඩායම් සකසා ඒවා ඒකරාශීකොට මහා සමිති 2ක් නිර්මාණය කර ඇත. හෙක්ටයාර් 500ක් පස සංරක්ෂණය කර, වන වියන වැඩි කිරීම ඔවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය වී තිබිණි. මේ යටතේ ගොවීන් 85 දෙනකු විසින් ගල් වැටි, කාණු හා දෙවැටි ක‍්‍රමයට පස සංරක්ෂණය කරනු ලැබ ඇති අතර ගෙවතු සංවර්ධනය සඳහා පලතුරු පැළ 1000 ක් බෙදා හැර ඇත. දේශීය බීජ සංරක්ෂණය බෝංචි වගාවේ අධික කෘෂි රසායන භාවිතය තුරන් කිරීමේ කටයුතු මෙන්ම කහ, ඉඟුරු සහ ගම්මිරිස් වගාව වැඩිදියුණු කිරීමේ කටයුතු සිදු කර ඇත. කාන්තා ව්‍යවසායකයන් තෝරා, කිතුල් පැණි සහ හකුරු කර්මාන්තය, කහ කුඩු කර්මාන්තය දිරිගන්වන අතර කාබනික පොහොර නිෂ්පාදනය ගම්මිරිස් වගාව සංවර්ධනය සඳහා පුහුණු වැඩමු`ඵ පවත්වා නිමා කර ඇත. රිළව්, ඌරන් සහ ඉත්තෑවන්ගෙන් සිදුවන වගා හානි සඳහා පිළියම් අත්හදා බලා ඇති අතර ගම්මාන දෙකටම පොදු ප‍්‍රශ්නයක්ව පවතින වන අලි කඩාවැදීම හා අලි මිනිස් ගැටුම පාලනය සඳහා කිලෝමීටර් 4.5 ක් දිගින් විදුලි වැට (අලි වැට) පුනරුත්ථාපන කටයුතු සිදු කර ඇත.
 
 මිනිපේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩත්තව හා ගලමුදුන ගම්මානවල තෝරාගත් පවුල් 100ක් සමග කටයුතු කරන ජනතා ජීවනෝපාය සංවර්ධන පදනම, ප‍්‍රජා සහභාගිත්වයෙන් පාරිසරික හා ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවයි. ඒ යටතේ ගෙවතු 100ක් සංවර්ධනය කර පවුල් 27 ක් සඳහා ගම් කුකුළන් 405ක්, කිතුල් කර්මාන්තය කරන පවුල් 40 කට උපකරණ, මී මැසි පෙට්ටි 130ක්, කිතුල් පැළ 3000ක්, වන පැළ 2400ක්, පලතුරු පැළ 400ක් බෙදා දී අවසන් කර ඇත. උඩත්තව හා ගලමුදුන දක්වා මාර්ගයේ දිය අගල් මෙන්ම ගෙවතුවලද ගල් වැටි සහ අගල් රක්ෂණ ක‍්‍රම යොදා ඇත. එසේම ගෙවතු වගා පුහුණුව, බිම්මල් වගාව, කිතුල් නිෂ්පාදන, මී මැසි පාලන ආදී ක්ෂේත‍්‍රයන්හි පුහුණුව ප‍්‍රතිලාභී පවුල්වලට ලබා දී ඇත.
 
 අපගේ නිරීක්ෂණයට බඳුන් වූ අනෙක් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන්නේ උඩුදුම්බර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොබෝනිල්ල හා කන්දේගම ගම් සහ හෙයාර් පාර්ක් තේ වත්ත ආශ‍්‍රිත කරගෙනය. පාරම්පරික දැනුම් පද්ධති සමෝධානික මධ්‍යස්ථානය මගින් ක‍්‍රියාවට නගන මෙම ව්‍යාපෘතිය නකල්ස් ගම්මාන ආශ‍්‍රිත ජෛව විවිධත්වය වැඩි දියුණු කිරීමේ හා ප‍්‍රජාවගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කිරීමේ පස සංරක්ෂණය, ගෙවතු වගාව, වන වියන වැඩි කිරීම ඔවුන්ගේ ප‍්‍රධාන කාර්යයයි. නකල්ස් රක්ෂිතයේ නිබඳ ගිනි ගැනීම්වලට ලක්වන ඞීන්ස්ටන් - දෝතළුගල ප‍්‍රදේශයේ ගිනි බාධකයක් ලෙස කිලෝමීටර් 6 ක් දිගැති හණ ශාකවලින් සමන්විත ජීව වැටක් නිර්මාණය කර ඇත.
 
 එමෙන්ම, මාතලේ සහ මහනුවර දිස්ත‍්‍රික්ක දෙක පුරා පැතිර පවතින නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ සමස්ත වනාන්තර කලාපය ආවරණය වන පරිදි ව්‍යාපෘති 2ක් ක‍්‍රියාවට නැගේ. එයින් එකක් වනුයේ නකල්ස් කලාපයේ උරග සහ උභයජීවීන්ගේ ජෛව විවිධත්වය අධ්‍යයනය කිරීම වන අතර ශ‍්‍රී ලංකා උරග සහ උභයජීවී පදනම මගින් ක‍්‍රියාවට නඟන මෙය නකල්ස් භූදර්ශයේ සංරක්ෂිත තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා ආවේණික නව උරග - උභයජීවී විශේෂ රැසක් හඳුනාගෙන නම්කර ඇති අතර, ඒවා විද්‍යාත්මක පර්යේෂණ පත‍්‍රිකා (Journal) මගින් ප‍්‍රකාශයට පත්කිරීම සිදුවෙමින් පවතී.
 
 සමස්ත නකල්ස් භූ දර්ශය ආශ‍්‍රිතව සිදු කරන අනෙක් ව්‍යාපෘතිය වනුයේ ධාරිතා වර්ධනය සහ දැනුම කළමනාකරණ ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකා පරිසර ගවේෂණ සංගමය (SLEES) මගින් ක‍්‍රියාත්මක කරන අතර නකල්ස් ආශ‍්‍රිත සියලූම ව්‍යාපෘතීන්හි දැනුම බෙදා ගැනීම, පහසුකම් යෝජනා කිරීම සහ සම්බන්ධීකරණ කටයුතු මෙන්ම ව්‍යාපෘතීන්ගේ ධාරිතා සංවර්ධනය මොවුන් විසින් සිදුකරන්නට යෙදිණි.
 
 අපගේ නිරීක්ෂණය අනුව මෙසේ නකල්ස් භූ දර්ශයේ සංවිධාන 14 ක් වෙන් වෙන් වශයෙන් හා ඒකාබද්ධව තම අත්දැකීම් බෙදා ගනිමින්ද සිදුකරන ලද ප‍්‍රජා සංවර්ධන, පරිසර සංරක්ෂණ හා ජෛවවිවිධත්ව සංරක්ෂණ කටයුතු ඉතා ඉහළ මට්ටමක පවතී.

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles