Divaina - කුරුන්දි විහාරයෙන් තවත් සෙල් ලිපියක් මතුවේ... සෙල් ලිපිය කරවා ඇත්තේ සිව්වන උදය රජුගේ කාලයේ...

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


* කුරුන්දාශෝක පුදබිමේ කැණීම් සංරක්‍ෂණ කටයුතු ඇරඹේ...
 
* ස්ථූපය ප‍්‍රතිසංස්කරණය කරන්නේ කබොක් ගලෙන්

තරංග රත්නවීර

 

kurun500450
යුද හමුදා ආරක්‍ෂාව මධ්‍යයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරේ සෑම ස්ථානයකම කැණීම් සිදු කරන බව උතුරු පළාත් හිටපු දෙමළ මන්ත‍්‍රීවරයෙක් පසුගිය දිනක මාධ්‍යයට පවසා තිබිණි. ඒ කතාව ඇසෙනවිට මගේ සිත සතුටින් ප‍්‍රමුදිත විය. කාලයක් තිස්සේ සිට විවිධ අන්තවාදී, ත‍්‍රස්තවාදී කල්ලි යටතේ විනාශයට පත්වෙමින් තිබුණු උතුරේ බෞද්ධ උරුමය ඉස්මතු කරගැනීමට එල්.ටී.ටී.ඊ. යුද්ධය අවසානයෙන් පසු ප‍්‍රධාන ඉලක්කය විය. බෞද්ධ සමාජයේ ඒ බලාපොරොත්තුව මේ වනවිට මල් ඵල ගැන්වී ඇති පුවත උතුරු පළාත් දමිළ ජාතික දේශපාලනඥයන් විසින්ම පැවසීම සතුට කරුණක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

 

kurun1
එම සුබ ආරංචිය වැඩිදුරටත් සපථ කරමින් පසුගිය මස 18 වැනිදා සුබ මුහුර්තියෙන් මුලතිව් කුරුන්දාශෝක විහාරයේ පුරාවිද්‍යා කැණීම් සංරක්‍ෂණ කටයුතු ආරම්භ කෙරිණි. ජාතික උරුමය, ප‍්‍රසංග කලා හා ග‍්‍රාමීය කලා ශිල්ප ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක, බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අනුර මනතුංග ඇතුළු විශාල රාජ්‍ය නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටීයහ. එමෙන්ම එම පුණ්‍යවන්ත කටයුත්තට සෙත් පැතීමට මහා සංඝරත්නය නන් දෙසින් වැඩම කර සිටියහ. එම උතුම් කටයුත්ත දෙස දෑස් දල්වාගෙන බලා සිටි ස්වාමීන් වහන්සේ අතර විශේෂ හිමිනමක් වූහ. ඒ කුරුන්දාශෝක විහාරයට නැවත ජීවය ලබාදීමට පෙරමුණ ගෙන කටයුතු කරගෙන යන ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ කල්‍යාණවංශ පාර්ශ්වයේ උතුරු පළාත් ප‍්‍රධාන සංඝනායක, සපුමල්ගස්කඩ රාජමහා විහාරයේ විහාරාධිපති, ශාසන කීර්ති ශ‍්‍රී සද්ධර්මවාගීෂ්වර පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීන් වහන්සේය.

 

kurun2
පුරාවිද්‍යා නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරු මත 2017 වර්ෂයේ දිනක උන්වහන්සේ මේ පුරාවිද්‍යා ස්ථානයට නොවඩින්න අද අපට මේ ඉපැරැණි බෞද්ධ පුදබිම මෙලෙසින් දැක බලාගැනීමට නොලැබේ. එමෙන්ම එදා උන්වහන්සේ සමඟ එම ස්ථානයට යෑමට මා හට ද අවස්ථාව ලැබීම ජීවිතයේ ලද භාග්‍යයක් කොට සලකමි. ලඳු කැලෑව පීරගෙන අපි එම ස්ථානයට යන විටත් අන්තවාදී නිධන් හොරු එම පින්බිමේ පුරාවිද්‍යා ස්මාරක හාරමින් මහා විනාශයක් සිදු කර තිබූ අයුරු දැනුදු මට මැවී පෙනේ. ගෝත‍්‍රික අන්තවාදයක් ක‍්‍රියාත්මක වන උතුරු පළාතේ මුලතිව් තන්නිමුරුප්පු රක්‍ෂිතයේ පිහිටි ඓතිහාසික කුරුන්දාශෝක පුරාවිද්‍යා ස්ථානයට අපි පැමිණෙන විට දෙමළ තරුණයන් පිරිසක් පරුෂ වචනයෙන් බැණ වදිමින් ගල්ගමුවේ සන්ත බෝධි ස්වාමීන්වහන්සේට තර්ජනය කළ අයුරු දැනුදු මගේ දෙසවනේ දෝංකාර දෙන්නේය. විහාරස්ථානවල චෛත්‍ය ඉදිකරනවාට, බුදුපිළිම වහන්සේ තැන්පත් කිරීමට එරෙහිව උසාවි යන තරමට උතුරු පළාතේ අන්තවාදී කණ්ඩායම් ප‍්‍රබලත්වයට පත්ව සිටි අයුරු, ඓතිහාසික බෞද්ධ පුදබිම්වලට වැඩම කරන භික්‍ෂූන් වහන්සේට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කරන අයුරු පසුගිය කාලයේ විරල දසුනක් නොවිණි. පසුගිය කාලයේ උතුරු, නැෙඟනහිර පුරාවිද්‍යා ස්ථානවල සංචාරය කිරීමේදී මුස්ලිම්, ද්‍රවිඩ තරුණයන්ගේ අමන බැලූම්, අමුතු වෙට්ටු අපට ද විඳින්නට සිදු වූ අවස්ථා අප‍්‍රමාණ බව සිහිපත් කළ යුතුය.

uruma3
”මේක අප ලැබූ විශාල ජයග‍්‍රහණයක්. අපි මේ ස්ථානයට පැමිණි පළමු දවසෙ ඉඳලා නොසෑහෙන්න තර්ජන, ගර්ජනවලට මුහුණ දෙන්න වුණා. මේ අවට අන්තවාදී කොලණියක් බවට පත් කරගෙන තිබුණා. අලම්පිල් හන්දියෙන් හැරිලා ඉදිරියට එනකොට අපේ වාහනයට මඟ දිගට බයිසිකල් දැම්මා. ලී කොටන් දැම්මා. එක දිගට කෙණහිලිකම් කළා. ඒ මඟ ඇහිරීම නිසා මම තව, තවත් දිරිමත් වුණා. මේ උතුම් පින්බිම සංරක්‍ෂණය කර ආරක්‍ෂා කරගන්න ඕනෑ කියන දැඩි අධිෂ්ඨානය මගේ හිතේ පැලපදියම් වුණා. ඊට පස්සෙ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂතුමාට කතා කරලා ඒ බව මම දැනුම් දුන්නා...’’ ගල්ගමුවේ සන්තබෝධි හාමුදුරුවෝ අපේ කතාවට එසේ එකතු වූහ.

ඓතිහාසික කුරුන්දාශෝක විහාරය මුලතිව් දිස්ත‍්‍රික්කයේ පිහිටි පුරාවිද්‍යා ස්ථාන අතර සුවිශේෂී ස්ථානයකි. ලංකාවේ ලියැවුණු අට්ඨකථාවන් ලෙස මහා අට්ඨකතාව, පච්චරි අට්ඨකතාව සහ කුරුන්දි අට්ඨකථාව යනුවෙන් අට්ඨකතා තුනක් පවතින බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එකී කුරුන්දි අට්ඨකතාව නම් සුවිශේෂී අට්ඨකතාව ග‍්‍රන්ථාරූඪ කර ඇත්තේ මේ ඓතිහාසික කුරුඳුවෙලි විහාරය නම් උතුම් පින්බිමේදී බව ඉතිහාසයේ සඳහන් වේ. ඛල්ලාඨනාග රජු (ක‍්‍රි.ව. 100 - 103) මෙම විහාරය ගොඩනැඟූ බවත් පළමුවැනි අග්බෝ (කි‍්‍ර.ව. 571 -604) පළමුවැනි විජයබාහු (කි‍්‍ර.ව. 1055 - 1110) යන රජවරුන් කුරුන්දි විහාරයට විවිධ අනුග‍්‍රහයන් දැක් වූ බවත් මහාවංශයෙහි සඳහන් වේ. එමෙන්ම බුදුන් වහන්සේ මෙම ස්ථානයට වැඩි බවද ජනප‍්‍රවාදයේ සඳහන් වේ. 1905 පාලන වාර්තාවේ සඳහන් පරිදි මෙරට ඇති විශාලතම ශිලා ලේඛනය පිහිටා ඇත්තේ ද මේ උතුම් පින්බිමේය. එම ශිලා ලේඛනය ලියැවී ඇත්තේ තුන්වන මිහිඳු රජුගේ ජල ගැටලූවක් විසඳීම සම්බන්ධයෙන් බවත් සඳහන්ය. එමෙන්ම මේ ස්ථානයේ ඇති සෑය ‘වටදාගෙයක්’ බවද එම පාලන වාර්තාවේ සඳහන්ව ඇත. ඉන්දියාවේ සාංචි ස්තූපයේ හැඩයට ඇති මෙරට එකම සෑය මෙම ස්තූපය බව ද ඉතිහාසයේ සඳහන් වේ. එවැනි ඉතිහාසයක් සහිත කුරුන්දාශෝක විහාරයේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට සිදුවීම ගැන ජාතියක් වශයෙන් අප කම්පා විය යුතුය. එහෙත් එම ඓතිහාසික බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග කරනු ලැබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් වූයේ ඓතිහාසික කුරුන්දාශෝක විහාර භූමිය සංරක්‍ෂණ කටයුතු සිදුකරගෙන යෑමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බලය පවරන ලෙසටය.

uruma2‘‘1933 අවුරුද්දේ මේ ස්ථානය පුරාවිද්‍යා රක්‍ෂිතයක් විදිහට ගැසට් කරලා තියෙනවා. අක්කර 78 යි, රූඞ් 2 යි, පර්චස් හතරක භූමි ප‍්‍රමාණයක මේ පුරාවිද්‍යා ස්ථානය විසිරිලා තියෙනවා. පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 26 වැනිදා එම භූමි ප‍්‍රමාණය නැවත අපිට ලැබුණා. දැන් මේ ස්ථානය අක්කර අසූවක පුරාවිද්‍යා රක්‍ෂිතයක්. ඒත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ ස්ථානයේ කරගෙන යන ගවේෂණ කටයුතුවලදී අක්කර හාරසීය විස්සක පමණ වපසරියක බෞද්ධ නටබුන් විසිරිලා තියෙන බව හඳුනාගෙන තියෙනවා. කඳු මුදුනේ, තැන්නේ පබ්බතාරාම පරිශ‍්‍රයක් තිබිලා තියෙන බවට සාධක හමු වෙලා තියෙනවා. පිළිම ගෙය, පෝය ගෙය මේ වනවිටත් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ පුරාවිද්‍යා ස්ථානයෙන් තවත් සෙල් ලිපියක් සොයාගෙන තියෙනවා. මේ වනවිටත් එම සෙල් ලිපිය සම්පූර්ණයෙන් කියවා තියෙනවා. එම සෙල් ලිපිය කරවා ඇත්තේ ක‍්‍රිස්තු වර්ෂ 10 වන සියවසේ සිව්වන උදය රජුගේ කාලයේදී. ඒ සෙල් ලිපියේ උඩින්ම සඳහන් වෙලා තියෙන්නේ සිව්වන උදය රජු ගැන වර්ණනාවක්. ඊට පහළින් තියෙන්නේ සිරිත් පරිදි පිළිම ගේ බුද්ධ පූජා වත්පිළිවෙත් සිද්ධ කරන ආකාරය. මහා සංඝයා වහන්සේට සිදු කරන වත්පිළිවෙත් ගැන. ඉර හඳ පවතින තුරු මේ ශිලා ලේඛනය වලංගු බවත් සඳහන් කරලා තියෙනවා. සුදම්ම කියලා රජ බිසවක් ගැනත් සඳහන් වෙලා තියෙනවා. මේ සෙල් ලිපිය කර වූ සිව්වන උදය රජුගේ සහෝදරයා පස්වන කාශ්‍යපගේ මෑණියන් තමයි සුදම්ම බිසව. මවුවරුන්ගේ නම් සඳහන් වෙන සෙල් ලිපි අපේ රටේ අඩුයි. ඒ අනුව මේ සෙල් ලිපියත් සුවිශේෂයි.

මේ ස්ථානයේ දළදා ගෙයක් තිබුණු බවත්, විශාල පුස්තකාලයක් තිබුණු බවත් එම සෙල් ලිපියේ සඳහන් කර තියෙනවා. ලොකු සෙල් ලිපියක් තවත් බොහෝ කරුණු එම සෙල් ලිපියේ අඩංගු කර තියෙනවා. සෙල් ලිපියේ සමහර තැන්වලට හානි වෙලා කියව ගන්න බැරි තත්ත්වයට පත් වෙලා. මේ සෙල් ලිපිවලින් කියැවෙන විදිහට මේ ස්ථානයේ තිබිලා තියෙන්නෙ සාමාන්‍ය සිද්ධස්ථානයක් නෙමෙයි. උතුරු පළාතේ ප‍්‍රධාන බෞද්ධ සිද්ධස්ථානයක් බව තමයි තේරුම් යන්නේ. බෞද්ධ විහාරස්ථානයක් තිබුණු බවට මෙච්චර සාධක හමු වෙලා තියෙද්දීත් සමහර ද්‍රවිඩ දේශපාලනඥයන් කියනවා මේ ස්ථානයේ කෝවිලක් තිබුණු බවට දොඩවනවා...’’ සන්තබෝධි ස්වාමීන්වහන්සේගේ ඒ හඬ ඇසෙනවිට මගේ සිත කුරුන්දාශෝක පුරාවිද්‍යා ස්ථානයට දිව ගියේය.

කඳු මුදුනේ තැනිතලා බිමෙහි හිස හැරුණු සෑම දෙසකින්ම පුරාවිද්‍යා ස්මාරක දුටු සැටි මතකයට නැෙඟනවිට මගේ සිත රූප පෙට්ටියක් බවට පෙරළිණි. දෙනෙත්වලට රිසි සේ තැන්න පුරා ඇවිඳින්නට ඉඩ හැර තැනිතලා භූමිය පුරා ඇවිද ගිය අයුරු දැනුදු මට මැවී පෙනේ. තැනිතලාව පහළට බෑවුම් වන සීමාව වටා විශාල ප‍්‍රාකාරයක් ඉදිකර තිබූ බව තැන, තැන ශේෂ වී ඇති කබොක් ගල් බැම්මේ අවශේෂ කොටස්වලින් මනාව පැහැදිලි විය. තැනිතලා භූමියේ එක් දිසාවකට මද දුරක් ගමන් කළ විට කුට්ටම් පොකුණට සමාන විශාල පොකුණක් දැකගැනීමට ද ලැබිණි. තැනිතලා භූමියේ දකුණු දෙසට, මුල්ලට වන්නට කටු කොහොළින් වැසී ගිය ගොඩැල්ල දැක බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් සිත පිරුණු හැටි සිහිපත් වනවිට දැනුදු සිතට සතුට දැනේ. ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීන්වහන්සේගේ උස් හඬට නැවත මම පියවි සිහියට පැමිණියෙමි.

’’ඉපැරැණි ස්ථූපය සුවිශේෂී කබොක් ගලකින් හදලා තියෙන නිසා, නැවත ප‍්‍රතිසංස්කරණය කරන්නෙත් කබොක් ගලෙන්ම තමයි. වර්තමානයේ මෙරට කබොක් ගලෙන් ප‍්‍රතිසංස්කරණය වන ප‍්‍රථම සෑය. ඒකත් විශේෂයක්. එළැඹෙන මැයි මාසයේ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මේ ස්ථූපය බුද්ධ ශාසනයට පූජා කිරීමට නියමිතව තිබෙනවා. කුරුන්දි විහාරයේ ස්ථූපයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබාදෙන්නේ බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහත්තයා. එතුමා මේ කරන පුණ්‍ය කටයුත්ත ජාතියට කරන මහා මෙහෙවරක් හැටියට අපි දකිනවා. ඒ වගේම කැණීම් කර සංරක්‍ෂණය කිරීමට මේ ස්ථානයේ තවත් විශාල පුරාවස්තු ප‍්‍රමාණයක් ශේෂව තියෙනවා. එම බෞද්ධ ස්මාරක කැණීම් කර සංරක්‍ෂණ කරගැනීමට දෙස්, විදෙස් දෑහිතකාමීන්ගේ උපකාරය දැඩිව අපට අවශ්‍ය වෙලා තියෙනවා...’’

ඒ වගේම මේ පුණ්‍ය කටයුත්ත මෙපමණ ඉක්මනට සාර්ථකව සිද්ධ කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් කපිල ගුණවර්ධන මහතා විශාල සේවයක් කළා. ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා, මුලතිව් ආඥාපති ජෙනරාල් රත්නායක මහතා, විසිහතර වැනි සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිවරයා මේ පින්බිම නැවත ගොඩනැඟීමට උපරිමයෙන් කැප වී සිටිනවා.

uruma4

 

මේ ස්ථානයේ කැණීම් සංරක්‍ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව යුද හමුදාව විශාල මෙහෙවරක් සිද්ධ කරගෙන යනවා. ඒ වගේම මේ පුණ්‍ය කටයුත්ත සාර්ථක කරගැනීමට නන් අයුරින් උපකාර කරපු සියලූ දෙනාට මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනය කරනවා. ඒ වගේම මේ පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධයෙන් කාලයක් අපිට නඩු කියන්න වුණා. එම නඩුවට අය කිරීමකින් තොරව, කොළඹ සිට තම වියදමින් පැමිණ පෙනී හිටිය නීතිඥ නුවන් බැල්ලන්තුඩුව, නීතිඥ සමිත් ලියනගේ යන මහත්වරුන්ව විශේෂයෙන් සිහිපත් කරන්න ඕනෑ...’’ මේ පින්කමට හැකි පමණින් සම්මාදම් වූ විශාල පිරිසක් සිටිති. ඒ සියලූ දෙනාගේ නම්, ගම් සිහිපත් කිරීමට කාලය මිඩංගු කිරීමට අවශ්‍ය නොවේ. මේ බෞද්ධයන් විසින් ඉෂ්ට කළ යුතු යුතුකමකි.

උතුරු පළාත යනු ඓතිහාසික බෞද්ධ පූජා භූමියකි. දෙවන වරට මෙරටට බුදුරදුන් වැඩම කරනු ලැබුයේ යාපනයේ නාගදීපයටය. ශ‍්‍රී මහා බෝධි දකුණු ශාඛාව රැගෙන සංඝමිත්තා තෙරණිය අනුරාධපුරයට වැඩම කරනු ලැබුයේ ද යාපනය හරහාය. නාග ගෝත‍්‍රික වැසියෝ දින හතක් පුරාවට ශ‍්‍රී මහා බෝධි ශාඛාවට පුද පූජා පැවැත්වූ බව ‘නා ලොව සතියක් පුද ලද බෝධිය’ යන්නෙන් අර්ථවත් වේ. මහරහතන් වහන්සේලා දහස් ගණන් වැඩ සිටිය, බෞද්ධ වෙහෙර විහාරවලින් පිරුණු උතුරුකරයේ ‘බෞද්ධ උරුමය’ නූපන් දරුවන්ට ආරක්‍ෂා කරදීම බෞද්ධ සමාජයේ යුතුකමකි. එම යුතුකම සිද්ධ කිරීමට හැකි පමණින් සම්මාදම් වීමට බෞද්ධයන් හැටියට අප ඉදිරිපත් විය යුතුය. එමෙන්ම උතුරු, නැෙඟනහිර බෞද්ධ උරුමය මත බඩ පිණුම් සෙල්ලම් දැමූ ගෝත‍්‍රික අන්තවාදීන් තවමත් නිහඬ නැත. කුරුන්දි විහාරයේ කැණීම් සංරක්‍ෂණ කිරීමේ වැඩ ඇරඹීමත් සමඟ ඇතැම් දමිළ දේශපාලනඥයෝ අඩු නින්දෙන් ඇහැරුණු ගාණට දොඩවති. ජාත්‍යන්තරයේ ක‍්‍රියාත්මක අන්තවාදී කල්ලිවල සහයෝගය ඉල්ලති. එහෙත් උතුරේ බෞද්ධ උරුමය සොයා යන මේ ජාතික මෙහෙයුම ජාත්‍යන්තර බලවේග සහ අන්තවාදීන්ගේ විලම්භීත කතා ඉදිරියේ මොහොතකට හෝ නතර නොකෙරෙන බව අපගේ විශ්වාසයයි. කුරුන්දි විහාරයෙන් මේ ආරම්භ වී ඇත්තේ උතුරේ බෞද්ධ පුනරාගමනයයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles