සමන් ගමගේ
කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ ඒ පිළිබඳ සොයා බැලීමට කැබිනට් මණ්ඩලය මගින් පත් කරනු ලැබූ කමිටුවේ නිර්දේශ අනුව බව වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක ‘දිවයින ඉරිදා සංග්රහය’ට පැවසීය.
ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ වරායේ නැගෙගනහිර පර්යන්තය සම්බන්ධයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමඟ ගිවිසුමකට එළැඹ තිබීම හේතුවෙන් මේ වන විට සංවේදී ගැටලුවක් නිර්මාණය වී තිබෙන බවද ඒ මහතා කීවේය.
අදාළ ගිවිසුම අහෝසි කර දැමීමට වත්මන් රජයට හැකියාවක් තිබුණද ඉන්දියාව සහ ජපානය සමඟ දීර්ඝ කාලීනව ශ්රී ලංකාව පවත්වාගෙන යන මිත්රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා හමුවේ එකවර එවැනි තීරණයක් ගැනීම රාජ්ය තාන්ත්රිකව කල්පනා කිරීමේදී අසීරු කරුණක් බවද හෙතෙම සඳහන් කළේය.
අදාළ ගිවිසුමට අනුව පසුගිය රජය සමයේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු සඳහා ඉන්දියාව හා ජපානයෙන් ණය මුදලක් ලබා ගැනීමට තීරණය වී තිබී ඇත.
එම සංකීර්ණ තත්ත්වය තුළ ඇති වී තිබෙන ගැටලුව කල්පනාකාරීව විසඳා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි පරිශ්රමයක් දරමින් සිටින අතර පසුගියදා ණය මුදලක් වෙනුවට සිදු කරන ආයෝජනයක් අනුව ඉන්දියාවේ අදානි සමාගමට සියයට 49 හිමිකාරිත්වයක් සහ ශ්රී ලංකාවට සියයට 51 හිමිකාරිත්වයක් ලැබෙන පරිදි කටයුතු කිරීමට සූදානම් වූයේ එහි එක් පියවරක් ලෙසින් බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ කමිටුවේ වාර්තාව ලැබීමෙන් පසු එය ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතය.