Divaina - දීඝවාපි ධාතූන් වහන්සේලා රටට ගෙනා සාධු නාදය.....

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

digawapi
 සුසන්ත අමරබන්දු
 
සද්ධාතිස්ස රජු විසින් ඉදි කළ දීඝවාපී සෑරදුන් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් සේ ලංකාවාසි ජනතාවගේ වන්දනාමානයට පත්වූ පුදබිමකි. වසර සිය ගණන පුරාවට සසුන්කෙත බැබළවූ හිමිවරුන්ගේ පිරීගිය පුදබිමට 1818 වෙල්ලස්ස කැරැල්ලත් සමග නරක කලද උදාවන්නට විය.
 
 පොතුබන්ධන, ටැම්ගොඩ දීඝවාපී ආදි විහාරවල අධිපති ධුරය දැරූ නාපේ රේවත නාහිමියන් 1818 වෙල්ලස්සේ කැරැල්ල ඇතිවීම නිසා ඉංග‍්‍රිසීන් විසින් අත්අඩංගුට ගෙන 1823 දී වෙඩි තබා උන්වහන්සේ ඝාතනය කරන්නට වූහ. එතැන් සිට කලින් කලට කෙටි කාලවල් ඇතැම් භික්ෂූන් වහන්සේ වැඩ වාසය කළද දීඝවාපී පුදබිම වනාන්තරයෙන් වැසී යෑම වළක්වා ගැනීමට නොහැකි වූහ.
 
 1902 වසරේදී ටැම්ගොඩ වත්තේ බුද්ධරක්ඛිත නාහිමියන් වසර 02ක් මෙම පුදබිමේ වැඩ වාසය කරන්ට වූහ. නැවතත් කැලෑවට යටවූ මෙම පුදබිමට 1916 වසරේදී පැමිණි කොහුකුඹුරේ රේවත හිමිපාණන් 1950 වසරේදී විහාරස්ථාන සතු ඉඩම් ආරක්ෂා කිරීමට යෑම නිසා අන්තවාදියෙකුගේ වෙඩි පහරින් බුදු සසුනට අහිමිව ගියහ.

 

diga4
 
 උන්වහන්සේගේ ඇවෑමෙන් දීඝවාපී විහාරාධිපති ධුරය නන්නපුරාවේ බුද්ධරක්ඛිත හිමියන්ට ලැබුණි. ඒ අනුව වනාන්තරයට යටව තිබූ දීඝවාපිය සෑරදුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1962 සිට 1965 කැණීම් සිදු කරන ලදී. ඊට පසු ද විටින් විට අවස්ථා කීපයකම සෑ රජුගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු වුවද කොටි ත‍්‍රස්තවාදී කලබල නිසා එම සියල්ල අතරමඟදී නවතා දමන්නට සිදුවිය. 2011 වසරේදී මෙම දාගැබේ ඊසාන දිග කොටසේ කැණීම් කටයුතු සිදු කළ අතර 2012 සහ 2013 කාලයේදීද කැණීම් කටයුතු සිදු කරන්නට විය.
 
 පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් භාර සහකාර අධ්‍යක්ෂ සමින්ද පෝරමගේ, අම්පාර මඩකලපුව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක එස්. ඒ. ටී. ජී. ප‍්‍රියන්ත මහතා, ඇතුළු නිලධාරීන්ගේ මගපෙන්වීමෙන් මෙම කැණීම් කටයුතු සිදු වන්නට වූහ.
 
 සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ මගපන්වීමෙන් දීඝවාපිය වැඩබිම භාරව කටයුතු කරන මේජර් එම්. ආර්. එම්. බී. එම්. එම්. මිල්ලවාන මහතාගේ නිසි අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක භටයන් හැටකට අධික පිරිසක් කැණීම් සඳහා දායකත්වය ලබා දෙමින් සිටිති.
 
 දීඝවාපිය පුදබිමේ කැණීම් භාර නිලධාරී සේනක චන්ද්‍රකුමාර මහතා ඇතුළු කැණීම් නිලධාරීන් පිරිස සහ සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන්ගේ සහාය මත ගිනියම් අව්වේ ගලනා දහඩිය මැද මෙම පුදබිමේ දකුණු වාහල්කඬේ කැණීම් කටයුතු සිදුකරන්නට වූහ.
 
  විටෙක ඇදහැළුණු වර්ෂාවත් සමග කැණීම් සිදුකරන ස්ථානයන් ජලයෙන් පිරී යද්දී ජලය ඉසිමින් පස් අතර සැඟවුන දීඝවාපිය පුදබිමේ ඉතිහාසය සොයා ගැනීම සඳහා මහා කැපවීමකින් කැණීම් සිදුකළ පිරිස කටයුතු කරන්නට වූහ.
 
 ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් 19 දෙන නැවතත් කැණීම් කටයුතු ඇරඹුණු අතර මෙම දාගැබේ සංරක්ෂණ කටයුතුද සිදුවන්නට විය. දීඝවාපී දාගැබේ දකුණු වාහල්කඬේ කැණීම්වලදී කැණීම් භාර නිලධාරී සේනක මහතා ඇතුළු නිලධාරීන් ලෝහ මංජුසාවක් හමු වන්නට වූහ.

 

diga1
 
 දිගින් දිගටම අව් වැසි මැද කැණීම් කටයුතු සිදු වද්දී නිධන් සොරුන් විසින් නිධන් හාරන වළක් දකුණු වහල්කඩ ආසන්නයේ තිබෙන බව කැණීම් භාර නිලධාරී සේනක මහතා ඇතුළු නිලධාරීන්ගේ ඇස ගැටුණි. ඒ ඒ ආසන්නයේ ගල් පුවරුවක් තිබුණ ද නිධන් සොරුන් කුමන හෝ කරුණක් නිසා එය හාරා නොතිබිණි. පුරාවිද්‍යා නිලධාරීන් ඒ අසල කැණීම සිදු කරන්නට වූහ. ඒ මොහොතේ  ගඩොලින් කරන ලද කුටියක් දක්නට ලැබුණු අතර ඒ තුළ ඒ වන විටත් තුඹසක් බැද තිබුණු අතර එයට යටව ශෛලමය කරඬුවක් තිබෙන අයුරු දැක ගන්නට ලැබුණි. ඒත් කරඬුවට පිටතින් පලිඟු ඇතුළු විවිධ පාෂාණ සහ පබළු රැසක් හමුවන ලදි. හසල අත්දැකීමක් ඇති පුරා විද්‍යාඥයන් පිරිස මීට පෙර ලෝහ මංජුසාවක් හමුව තිබෙන නිසා මේ හමු වන්නට යන්නේ ධාතූන් වහන්සේ විය හැකි යැයි අනුමාන කරන්නට වූහ.

 

diga2
 
 ඒ
digawapi3 අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කරමින් දීඝවාපී විහාරාධිපති මහඔය සෝභිත හිමියන්, අම්පාර මහා දිසාපති ඞී. එල්. එම්. බණ්ඩාරනායක මහතා ඇතුළු ප‍්‍රදේශයේ ආරක්ෂක අංශ නිලධාරීන් සහ රාජ්‍යය නිලධාරීන් ඉදිරියේ මෙම ගල් මංජුසාව එම ස්ථානයෙන් ඉවතට ගෙන මුද්‍රා තබා අම්පාර මහ දිසාපති කාර්යාලයේ ප‍්‍රධාන සේප්පුවේ තබන්නට විය.
 
 මීට පෙරදී පුරාවස්තුවක් හමු වූ විට පුරාවිද්‍යා ප‍්‍රධාන කාර්යාලයට ගොස් පරීක්ෂණය කිරීම සිදුකළත් මෙවර අම්පාර දිසාපති කාර්යාලයේදීම මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු පවත්වන්නට කටයුතු සූදානම් කෙරිණි. ඒ අනුව උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක කිරිඳිවැල සෝමරතන නාහිමියන්, දීඝවාපි විහාරාධිපති මහඔය සොභිත නාහිමියන්, වනජීවී හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, නැගෙනහිර පළාත් ප‍්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ, අම්පාර මහා දිසාපති බණ්ඩාරනායක, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, නැගෙනහිර නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අම්පාර නියෝජ්‍ය පොලිස්පති අයාෂ කරුණාරත්න, අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක, සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ යුද හමුදා නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් ඉදිරිපිට මෙම ගල් කරඬුව විවෘත කර පරීක්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාර අධ්‍යක්ෂ ගීතානිස කුරුප්පුආරච්චි, අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ප‍්‍රියන්ත, දීඝවාපි කැණීම් භාර නිලධාරී සේනක චන්ද්‍රකුමාර ඇතුළු යන පුරාවිද්‍යා නිලධාරි මහත්ම මහත්මීන් පිරිසක් විසින් සිදු කරන ලදී.
 
 පුරාවිද්‍යාඥයන් අනුමාන කළ පරිදිම ඉතා වටිනාකමින් යුත් ඉපැරණි උරුමයන් රැසක් එහි දක්නට ලැබුණි. එහි රන් ආලේපිත කරඬු තුනක්, රන් කරඬුවක් යැයි අනුමාන කරන ලද කරඬුවක් සහ පළිගු කරඬුවක් තිබුණි.
 
 එහි විශාලම කරඬුව අභ්‍යන්තරයේ සහ පතුලේ පිට පැත්තේ නෙළුම් මල් කැටයම් කර තිබුණි. ඒ තුළ කුඩා කොපුවක ධාතූන් වහන්සේ තිබුණ අතර මෙම මල් කැටයම් කළ කරඬුව තුළ සර්වඥ ධාතුන් වහන්සේ ඇති බව පුරාවිද්‍යා නිලධාරීන් විශ්වාස කරන්නට වූහ.
 
 ඒ සමග එහි අකුරු සටහන් කරන ලද රන් පත්තිරුවක්ද තිබුණි.
 
  අනෙකුත් කරඬු තුළ ද රන් තහඩු වලින් ඔතා තිබුණු ධාතූන් වහන්සේ දක්නට ලැබුණි. තිබුණ කුඩාම කරඬුව රනින් නිමවා ඇති බවට පුරා විද්‍යාඥයින් අනුමාන කරන්නට වූහ. පළිඟු කරඬුව තුළද රන් තහඩුවෙන් ඔතනු ලැබූ ධාතූන් වහන්සේ තිබුණි
 
 මේ පිළිබඳව අදහස් දැක්වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දීඝවාපිය කැණීම් භාර නිලධාරී සේනක චන්ද්‍ර කුමාර මහතා මෙසේ පැවැසුවේය.
 
 මෙම කරඬුව තුළ තිබුණු රන් පත්තිරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතා පරීක්ෂාවට ලක් කරා. මෙම කරඬුව දෙවන සියවසට අයත් බවත් කනිෂ්ඨ තිස්ස රජතුමා විසින් නිර්මාණය කර මෙම දීඝවාපී දාගැබේ වාහල්කඩ තැන්පත් කර බවත් ඒ අනුව අනාවරණය වුණා.
 
 එම රන් පත්තිරුවේ සිධ මහනක රජහ පුත මලිතිස රජ හ සොවන තුබේ, යනුවෙන් සඳහන් වෙන බවත් ඒ අනුව යහපත් මහල්ලක නාග රජුගේ පුත් කනිට්ඨතිස්ස රජුගේ රන් කරඬුව බව නාමල් කොඩිතුවක්කු මහතා අනාවරණය කර තිබුණා යැයි කැණීම් භාර නිලධාරී සේනක චන්ද්‍රකුමාර මහතා පවසා සිටින්නට වූවේය.
 
 ඒ අනුව කනිෂ්ඨ තිස්ස රජතුමා විසිනි දීඝවාපී දාගැබේ වාහල්කඩ නිර්මාණය කළ බවට සාධක හමු වන්නට විය.
 
 මීට පෙරද සලපතල මළුවේ හමුවූ ගල් පුවරුවක් පරීක්ෂා කර නාලක කොඩිතුවක්කු මහතා පවසා සිටියේ එය කිස්තු වර්ෂ පළමු වන සියවසට අයත් බවත් එකල කෙනකුගේ නාමයක් සඳහන් වන බවත්ය. එය දීඝවාපී පුද බිමෙන් හමු වූ පැරණිතම ශිලා ලිපියයි.
 
 මේ පිළිබඳ අදහස් දැක්වූ දීඝවාපී ඓතිහාසික රජමහා විහාරස්ථානයේ විහාරාධිපති මහඔය සෝභිත හිමිපාණන් මෙසේ අදහස් දක්වන ලදී.
 
 මෙම අවස්ථාව ඉතා සුවිශේෂි අවස්ථාවක්. සර්වඥ ධාතූන් වහන්සේලාගේ ධාතූන් වහන්සේල හමුවීම සැබැවින්ම සතුටට කරුණක්. මේ සත්කාරය සඳහා ජනාධිපතිතුමන් අගමැතිතුමන්, පොලිස් පති තුමා ඇතුළු පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක අංශ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන්ට ලැබුණු නිසා අපට දීඝවාපියේ කැණීම් කටයුතු සහ සංරක්ෂණ කටයුතු කරගෙන යෑමට හැකිව තිබෙනවා. ඒ වෙනුවෙන් අම්පාර මඩකලපුව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ප‍්‍රියන්ත, දීඝවාපියේ කැණිම් භාර නිලධාරී සේනක චන්ද්‍රකුමාර මහතා, සංවර්ධන නිලධාරීනි අනුරාධ පියදර්ශනී මහත්මිය ඇතුළු පුරාවිද්‍යා නිලධාරීන්, සිවිල් ආරක්ෂක භාරව කටයුතු කරන මේජර් මිල්ලවාන මහතා ඇතුළු සිවිල් ආරක්ෂක භටයන් දැඩි කැපවීමකින් කටයුතු කරනවා.
 
 තව වසර තුනක් යනවිට සෑ රදුන්ගේ වැඩ අවසන් කිරීමට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. අඩි දෙසිය හැට දෙකක් උසට ඉදි කිරීමට අපේක්ෂා කරන දාගැබට ගඩොල් කැට මිලියන විසි තුනක් අවශ්‍ය වෙනවා.
 
 මෙම හම්බවුණු ධාතූන් වහන්සේ සහ පුරාවස්තු මෙම දාගැබ තුළම තැන්පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජනතාවට දැක බලා ගැනීම සඳහා මෙම කරඬුවල අනුරුවක් සකස් කිරීමටත් අදහස් කරමින් සිටිනවා.
 
 මෙම කැණීම් පිළිබඳ බොහෝ දෙනකු කටකතා රැසක් පතුරවනවා. මෙම කැණීම් වලින් මැණික් පෙට්ටියක් හම්බවෙලා අරන් ගිහින් කියලා. ඒ වගේ කිසිම වංචා සහගත දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අම්පාර මහා දිසාපතිවරයාගේ සිට ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ දෙනකුගේ අධීක්ෂයෙන් යුතුව තමයි මේ කැණීම් කටයුතු සහ පරීක්ෂණ සිදුකරන්නේ. සමහරු මේ කැණීම් පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව අභූත චෝදනා එල්ල කිරීම කනගාටුවට කරුණක්.
 
 කෙසේ නමුත් මෙම කැණීම් වලින් හමුවූ රන් කරඬුව සහිත ධාතූන් වහන්සේ තුළින් දීඝවාපි සෑ රදුන් ගේ අතීත උරුමයන් පිළිබඳ සැබෑ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වීම සතුටට කරුණක්. ඒ සඳහා දායක වුණු සියලූ දෙනාටම ගෞරවනීය ස්තූතිය පිරිනමනවා යැයි දීඝවාපිය විහාරාධිපති මහඔය සෝභිත නාහිමියන් හිමියන් ‘ඉරිදා දිවයින’ට අදහස් දක්වමින් පවසා සිටියහ.

විශේෂාංග

sikuru

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles