Divaina - වනාන්තර සහ පුරාවිද්‍යාබිම් අක්කර ලක්ෂ 12 ක් රැකි චක‍්‍රලේඛය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අහෝසි කෙරේ!

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

edifea

* වනාන්තර - පුරාවිද්‍යා භූමි අක්කර ලක්ෂ 12ක් විනාශයි


නීතිඥ කපිල ගමගේ


සිරිපාදෙ එරත්න ගිලීමලේ අක්කර 64,000ක්, බිබිල නිල්ගල අක්කර 100,000ක්, අනුරාධපුර ආනවිලූන්දාව අක්කර 50,000ක්, නුවරඑළිය කිකිලියාමාන අක්කර 10,000ක් සහ උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක භූමි තවත් විශාල ප‍්‍රමාණයක් ඒ අතර. වනාත්තර සුරැකි චක‍්‍රලේඛය යනු කුමක් ද?

2001.08.10 දින වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මේ චක‍්‍රලේඛය 5/2001 ලෙස හ`දුන්වන අතර එය නිකුත් කරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරණායක රජයේ අවසාන කාලයේදී ය. ඒ 1998 සිට කරන ලද අධ්‍යයනයන් සහ හඳුනාගැනීම්වල ප‍්‍රතිඵලයක් වශයෙනි. තවද ඒ කාලයේ ආන්දෝලනාත්මක ලෙස සිදුවූ වන සංහාරයට පිළියමක් වශයෙනි. මෙම චක‍්‍රලේඛය ඉලක්ක කෙරුනේ ඒ වන විටත් විනාශ කෙරෙමින් පැවති වනාන්තර පද්ධතිවල එක් අංශයක් ආරක්ෂා කරගැනීමටයි. ඒ අංශය වූයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය නොකරන නමුත් වනාන්තර ලෙස හඳුනාගත් වනාන්තර පද්ධතීන්ය. මේවා ඒ වන විට පාලනය වූයේ දිස්ත‍්‍රික්/ප‍්‍රාදේශීය ලේකම්වරුන් මගිනි.

මේ 5/2001 චක‍්‍රලේඛය නිකුත් කෙරුණේම ඒ වන විට බලපැවැත්වෙමින් තිබූ 5/98 දරණ චක‍්‍රලේඛය අහෝසි කරමිනි. (නමුත් අද 5/2001 අහෝසි කිරීමට හදිසි වී ඇති වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ඒ මූලික කාරණය හෝ නොදැන කටයුතු කරන බව පෙනී යන්නේ ඔහු විසින් 5/2001 අහෝසි කරමින් නිකුත් කර ඇති 1/2020 චක‍්‍රලේඛය මගින් ද නැවතත් පෙර කී 5/98 චක‍්‍රලේඛය ද අහෝසි කරන බවට දක්වා ඇති බැවිනි. මේ බව අදාළ චක‍්‍රලේඛ දෙකෙහි පළමු ෙඡ්ද පරිශීලනයෙන් තහවුරු කරගත හැකිය.) පසුව පරිසර අමාත්‍යාංශ ලේකම් ජේ. ආර්. ඩබ්ලිව්. දිසානායක මහතා විසින් නිකුත් කරන ලද 2/2006 චක‍්‍රලේඛය මගින් යළිත් 5/2001හි බලය යම් තරමකට බි`ද දමන ලදී.

වනාන්තර වෙත තිබූ තර්ජනය කෙසේද යත් දිස්ත‍්‍රික්/ප‍්‍රාදේශීය ලේකම්වරු යටතේ තිබූ, ආරක්ෂා කරගත යුතු නමුත් ඒ වන විටත් නිසි ලෙස මායිම් හඳුනාගෙන වනජීවී හෝ වන සංරක්ෂණ යටතට පත් නොකරන ලද මේ පුරාවිද්‍යා වටිනාකමකින් සහ ජෛව විවිධත්ව වටිනාකමින් යුතු වනාන්තර, නිසි පරිදි තමාට පැවරෙන තුරු ආරක්ෂා කරගැනීමට වනජීවී අධිකාරීන්ට නොයක් බාධා ඇතිව තිබිණි. ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරී තිබූ බලතල අනුව රජයේ ඉඩම් වගා කටයුතු ස`දහා බව කියමින් බලපත‍්‍ර යටතේ දේශපාලකයන් නියම කරන පුද්ගලයන් වෙත ලබාදීමේ ක‍්‍රමවේදයක් අද මෙන්ම එදාත් අඩුවක් නැතිව පැවතිණි.

සෑම විටම නව රජයක් බලයට පත්වූ පසු එම රජය බලයට ගෙනඒමට දරදිය ඇදි හෙංචයියන්ගේත්, දේශීය හා විදේශීය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේත් එක් බලවත් ඉලක්කයක් වූයේ රජයේ ඉඩම් හැකිතාක් ප‍්‍රමාණයක් අත්පත් කර ගැනීමයි. වගා කටයුතු ස`දහා බව කියමින් බලපත‍්‍ර යටතේ ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙතින් ලබාගන්නා මෙම වනාන්තර ඉඩම්වල වන ගහනය කපා අලෙවි කිරීම මේ ඉඩම් ලාභීන්ගේ පළමු කාර්යයි. ඉන්පසු ඒ විනාශකර දමන ලද ඉඩම තවත් කෙනකුට අතයට විකුණා දැමීම හෝ වෙනත් යම් ප‍්‍රයෝජනයක් ගත හැකි නම් ලබාගැනීම සිදුකරන අතර තම පුද්ගලික ඉඩමක් සේම භාවිතා කිරීමත්, බොහෝ අවස්ථාවලදී මෙම ඉඩම්වල නිවාස ඉදිකර ජනාවාස බවට පත්වීමත් දැකිය හැකිය. ඒ අනුව මෙම ඉඩම් ඒවායේ තිබූ ජෛව විවිධත්වය, පුරා විද්‍යාත්මක වටිනාකම, පුරා විද්‍යාත්මක සාධක හෝ මූලාශ‍්‍ර කිසිවක් නැති මුඩු ඉඩම් බවට පත්වන අතර රජයේ කවුරුන් හෝ කෙරුමෙකු අල්ලාගෙන එම ඉඩමට ඔප්පුවක් සකස් කරගැනීම ඊළ`ග පියවරයි. දිස්ත‍්‍රික්/ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් තාවකාලික පදනම යටතේ බලපත‍්‍ර මගින් ලබාදෙන රටේ වනගහනය ක‍්‍රමයෙන් අහෝසි වනුයේ ඒ ආකාරයෙනි. අනෙක් අතට වනාන්තර ආරක්ෂා කිරීම, වැඩිදියුණු කිරීම හෝ කළමනාකරණය කිරීම දිස්ත‍්‍රික්/ප‍්‍රාදේශීය ලේකම්ගේ රාජකාරිය වන්නේ ද නැත.

මෙම වන ගහනය යනු හුදෙක් ජෛව විධත්වය පමණක් සහිත වනාන්තරයක් පමණක් නොවන අතර බොහෝ විට වසර දහස් ගණනක් තිස්සේ නොනැසී පැවති පෞරාණික උරුමය ස`ගවන ලද භාණ්ඩාගාරයක් ද වන්නේය. රටේ ඉතිහාසය විකෘති කරමින් පුරාවස්තු විනාශ කරමින් නව ඉතිහාසයන් සකස් කරන්නට කැසකවන බෙදුම්වාදීන්ටත් මූලධර්මවාදීන්ටත් තිබුණු ප‍්‍රධාන බාධාවක් වූ ඓතිහාසික සාක්ෂි ද මේ වන ගහන නිරාවරණය හරහා ඉවත්ව යන්නේය. මුරගල ලිප්ගලට ගෙන ස`දකඩපහණ රෙදි අපුල්ලන්නට ගන්නා මට්ටමට පත්වන තත්ත්වයක් යටතේ සෙල්ලිපි භාවිතා කරනුයේ අත්තිවාරමට බැ`දීමට හෝ තුන්කාලට කුඩු කොට කොන්ක‍්‍රීට් ස`දහා යොදා ගැනීමට ය. රටක, ගවේෂණය නොකරන ලද ඉතිහාසයක් විනාශ වී යන්නේ ඒ අයුරිනි.

එසේනම් මේ වන විට සිදුකළ යුතුව තිබුණේ අදාළ වනාන්තර මැන, මායිම් සළකුණු කර ගැසට් නිවේදන මගින් නිල වශයෙන් පැවරීමට අවශ්‍ය පියවර ගැනීමය. ඉන්පසු කළමනාකරණය කිරීම, වැඩිදියුණු කිරීම සහ ආරක්ෂා කිරීමට පියවර ගැනීමය. නමුත් ඒ කළ යුතුව තිබුණු කාර්යය පැහැර හරින ලද රජය විසින්ම දැන් ඒ වනාන්තර පද්ධති නැවත අනාරක්ෂිත කොට නැවතත් දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම යනු කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි ”වසර විස්සක් පසුපසට යෑම”කි.

5/2001 චක‍්‍රලේඛය ”ජාතික වන ප‍්‍රතිපත්තියට අදාළව කළමනාකරණය කිරීම, වැඩිදියුණු කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා” යනුවෙන් පැහැදිලිව ස`දහන් වේ. ඉන් අදහස් වනුුයේ රජයට එදා ‘‘වන ප‍්‍රතිපත්තයක්” පැවති බව සහ 5/2001 චක‍්‍රලේඛය යනු එම වන ප‍්‍රතිපත්තියට අනුව ගන්නා ලද තීරණයක් බවයි. එසේනම් අද 5/2001 අහෝසි කළ යුතු වන්නේ අදාළ වන ප‍්‍රතිපත්තිය එක්කෝ සංශෝධනය කිරීමෙනි. නැතහොත් ඒ වන ප‍්‍රතිපත්තිය අහෝසි කොට ඒ වෙනුවට අලූත් වන ප‍්‍රතිපත්තියක් හ`දුන්වා දීමෙනි. එසේ නොමැතිව ඒ වන ප‍්‍රතිපත්තිය එසේම තිබියදී ඒ ප‍්‍රතිපත්තිය වෙනුවෙන් කරන ලද කාර්යයක් අහෝසි කිරීම කිසිසේත් තර්කානුකූල නොවේ. නීත්‍යානුකූලද නොවේ. අනෙක් අතට එම වන ප‍්‍රතිපත්තිය වනුයේ වනාන්තර ”කළමනාකරණය කිරීම, වැඩිදියුණු කිරීම සහ ආරක්ෂා කිරීම” බවද එම චක‍්‍රලේඛයෙන්ම පිළිගෙන ඇත. එවන් තත්ත්වයක් යටතේ මෙලෙස වනාන්තර අනාරක්ෂිත කිරීම රජයේ වන ප‍්‍රතිපත්තියට පටහැනිව යෑමකි. එවන් හපන්කමක් කිරීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතාට කිසිදු නීතිමය අවසරයක් නොලැබෙන බව ඔහුට අමතකව ගොස් ඇති සේ ය.

රජයේ වන ප‍්‍රතිපත්තිය යටතේ ගත් තීරණයක් කිසිසේත් වෙනස් කළ නොහැකිද?

වෙනස් කළ හැකිය. නමුත් අදාළ ”රජයේ වන ප‍්‍රතිපත්තියද” වෙනස් කිරීමෙන් පසුවය. ඒ ප‍්‍රතිපත්තිය වෙනස් නොකොට මේ වනාන්තර අනාරක්ෂිත කිරීමේ තීරණයක් කිසිවකුට හෝ ගත නොහැක. මන්දයත් අදාළ වන ප‍්‍රතිපත්තිය කිසිදු අවස්ථාවක හෝ වනාන්තර වැඩිදියුණු කිරීම සහ ආරක්ෂාකිරීම යන සංකල්පවලට එරෙහිව යන ප‍්‍රතිපත්තියක් නොවන බව ඉහත යෙදුම අනුව පැහැදිලිවන බැවිනි.

උතුරු නැගෙනහිර තවත් වනාන්තර විශාල ප‍්‍රමාණයක් ඇතුළු දළ වශයෙන් හෙක්ටයාර ලක්ෂ 5ක පමණ බිම් ප‍්‍රමාණයක් මේ වනාන්තර කලාපයට අයත්ව 5/2001 චක්‍රෙල්ඛය මගින් ආරක්ෂා කිරීමට නොයෙක් අකටයුතුකම් මධ්‍යයේ වුවද උත්සාහ
ගනිමින් තිබිණි. මේ අක්කර ලක්ෂ පහ යනු දැනට පිළිගත් දත්තයන්ට අනුව ශ‍්‍රී ලංකාවේ සමස්ත වනගහනයෙන් සියයට විසිපහක ප‍්‍රමාණයකි.

5/2001හි සැර බාලකොට 05/2006 මගින් කෘෂිකාර්මික කටයුතු සදහා ඉඩම් ලබාදීමට පහසුකම් සළසා තිබියදී, 5/2001 අහෝසි කළේ ඇයි? මෙවැනි ”සංශෝධිත” රැකවරණයක්වත් රජයේ කැලෑ සඳහා අවශ්‍ය නොවන්නේ ද? ඒසේත් නැතහොත් ජාතික වන ප‍්‍රතිපත්තිය හොර රහසේම අහෝසි කර ඇත්ද? නැතහොත් රජයේ වනාන්තර සංරක්ෂණයට පියවර ගතයුතු නැත යන නව ප‍්‍රතිපත්තියකට රජය එළඹ ඇත්ද? එසේ වන්නේ නම් සෞභාග්‍යයේ දැක්ම හොරෙන්ම වෙනස් කර ඇතිවා වත්ද? ඒ අනුව වනාන්තර 30%ක ඉලක්කය අතහැර දමන ලද්දේ ද?

අනෙක් අතට වගා කිරීම ස`දහා ඉඩම් ලබාදීමේදී දැනට පවතින ජෛව විවිධත්වයෙන් සහ පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් සොච්චම් වනාන්තර පද්ධතිය විනාස කිරීම වෙනුවට අතුරු භෝග හෝ මිශ‍්‍ර භෝග වගාවට යොදාගත හැකි පුරන් ඉඩම් කොපමණ රටේ පවතින්නේ ද? ඊටත් අමතරව වගා කරන කුඹුරු ඉඩම් සැළකුවද, මහ කන්නයේදී අක්කර ලක්ෂ පහකුත්, යල කන්නයේදී අක්කර ලක්ෂ දහයකුත් වාර්ෂිකව වගා නොකර මගහැරෙන බවට වන කතාබහ අමතක කර ඇත්තේ මන්ද? මේ උත්සාහය හුදු වනාන්තර මරාගෙන කෑමකට විනා වගා කිරීමකට නොවන බව මෙයින් පැහැදිලි නොවන්නේ ද?

5/2001 අහෝසි කරමින් නිකුත් කළ 01/2020 චක‍්‍රලේඛය

5/2001 අහෝසි කරමින් නිකුත් කරන ලද වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම්වරයාගේ 01/2020 චක‍්‍රලේඛය මගින් ද ඉහත කී තත්ත්වය වක‍්‍රාකාරයෙන් පිළිගෙන ඇත. එම 01/2020 චක‍්‍රලේඛයේ 4 වන අයිතමය මෙසේය.

”.... වන ව්‍යාපෘති වනාන්තර සංවර්ධනය ස`දහා ආනතිය අංශක 30ට වැඩි ක`දු බෑවුම් සහිත ඉඩම්, පාරිසරික වශයෙන් දැඩි සංවේදී යැයි හ`දුනාගෙන ඇති ඉඩම් තවදුරටත් ආරක්ෂා කිරීමට මෙම චක‍්‍රලේඛය බාධාවක් නොවිය යුතු අතර .......

.......සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ස`දහන් පරිදි ජාතික වන වැස්ම 30%ක් දක්වා ඉහළ දැමීමේ ඉලක්කය සපුරාගැනීමට අවශ්‍ය ඉඩම් ප‍්‍රමාණය තබාගැනීමට ඇති කරුණුවලටද බාධාවක් කර නොගත යුතුය.”

තවද එම 01/2020 චක‍්‍රලේඛයේ 4.1 යටතේ මෙසේ ස`දහන් වේ.

”4.1 මෙම චක‍්‍රලේඛය මගින් ආර්ථිකමය හා වෙනත් ඵලදායී කටයුතුවලට භාවිතා කිරීමට ඉඩම් නිදහස් කිරීමේදී පහත ස`දහන් කාණ්ඩයන්ට අයත් භූමි ප‍්‍රදේශ මෙම කටයුතුවලට තෝරා නොගැනීමට සැලකිලිමත් විය යුතුය.

i. ගංගා ඇළ දොළ ආදී පරිසර සංවේදී භූමි ප‍්‍රදේශ

ii. අධික බෑවුම් සහිත ප‍්‍රදේශ

iii ජල පෝෂක ප‍්‍රදේශ

iv වන අලි සංක‍්‍රමණ භූමි තීර

v. ඓතිහාසික, සංස්කෘතික හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කම් සහිත ප‍්‍රදේශ

vi. ”සෞභාග්‍යයේ දැක්ම’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඇතුළත් පරිසර ප‍්‍රතිපත්තීන්ට අනුකූලව ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමේ කාර්යය සහ වන වැස්ම ඉහළ නැංවීමේ ඉලක්කයන් සපුරාගැනීම ස`දහා යෝජිත භූමි

vii. ව`දවී යෑමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ව විශේෂ සුරක්ෂිත කිරීමේ කාර්යය ස`දහා සංරක්ෂණය කළ යුතු ප‍්‍රදේශ

viii. රජයේ අනාගත සංවර්ධන කාර්යයන් ස`දහා හ`දුනාගෙන ඇති ප‍්‍රදේශ

xi. වෙනත් සුවිශේෂී කරුණු මත සංවර්ධන ක‍්‍රියාකාරකම්වලට භාජනය කිරීමට සුදුසු නොවන ප‍්‍රදේශ

x. අනාගතයේදී ප‍්‍රජා සහභාගිත්වය/ සමාජ වනවිද්‍යාත්මක කාර්යයන්ට යොදාගැනීම ස`දහා යෝජිත ප‍්‍රදේශ”

එනම් අනතුර අවබෝධ කරගෙන ඇති බව පැහැදිලිය. නොඑසේ නම් 01/2020 චක‍්‍රලේඛයට මෙවැනි ව්‍යතිරේඛ හ`දුන්වා දිය යුතු නැත. නමුත් ව්‍යතිරේඛ හ`දුන්වා දී තිබුණද ඒ ව්‍යතිරේඛවලට ගැළපෙන පරිදි ප‍්‍රවේසම් වීමේ යාන්ත‍්‍රණයක් එම චක‍්‍රලේඛය මගින් යෝජනා කර නොමැත. අනතුරට මුහුණදීම ස`දහා ක‍්‍රමවේදයක් සකස් කර නොමැත. ඒ ආ`දා යවා තබා වලපත ඇල්ලීමට බව පැහැදිලිය. අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමට බව පැහැදිලිය. හුදෙක් රැවටීම ස`දහා පමණක් බව පැහැදිලිය. එසේ නොවන්නට නම් කළයුතු කාර්යයන් දෙකක් තිබේ.

1 ඉහත 4.1 යටතට ගැනෙන ප‍්‍රදේශ සහ භූමි පළමුව හ`දුනාගැනීම සහ

2 ඉහත 4.1ට ගැනෙන ප‍්‍රදේශයක් නිදහස් කිරීමට ආසන්න අවස්ථාවක හෝ නිදහස් කරන අවස්ථාවක හෝ නිදහස් කළ අවස්ථාවක හෝ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි, එම පැමිණිලි විභාග කළ හැකි, එම තීරණ තාවකාලිකව අත්හිටුවිය හැකි සහ එම තීරණ ආපසු හැරවිය හැකි හැකි ශක්තිමත් නියාමන ආයතනයක් හ`දුනාගැනීම වශයෙනි.

එවැනි ප‍්‍රවේසම් වීමේ යාන්ත‍්‍රණයක් සකස් කර නොමැති තත්ත්වයක් යටතේ මෙම 01/2020 ක‍්‍රියාත්මක කිරීම යනු ”නැවත මහන්නට නූල් සහ ඉ`දිකටුව පවා නොමැතිව” සැත්කමට පපුව පැලීමක් වැනි අමනෝඥ වෑයමකි. භයානක කටයුත්තකි.

5/2001 චක‍්‍රලේඛය අහෝසි කිරීම පිටුපස ඇති දුෂ්ට අරමුණු හ`දුනාගනිමු.

මේ උත්සාහය පිටුපස දුෂ්ට අරමුණු එකක් නොව කිහිපයක්ම ඇති බව විමසිල්ලෙන් බැලීමේදී පෙනී යයි. ඒවානම්;

1 දේශපාලන හෙංචයියන්ගේ සහ දේශීය මෙන්ම විදේශීය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ මනදොළ පිරවීම පිණිස ඔවුනට ලබාදෙන දොළපිදේනිය වශයෙන් රටේ වනාන්තර පද්ධතියත් පුරාවිද්‍යා රක්ෂිතත් කැප කිරීම.

2 මූලධර්මවාදීන්ට සහ බෙදුම්වාදීන්ට අවශ්‍ය වන පරිදි මෙරට පුරාවිද්‍යාත්මක සහ සංස්තෘතික සාක්ෂි, ස්ථාන සහ මූලාශ‍්‍ර විනාශ කිරීමට අවස්ථාව සළසා දීම.

3 එම්.සී.සී. ව්‍යාපෘතියට අවශ්‍ය කරන ඉඩම් වක‍්‍රාකාරයෙන් නිදහස් කිරීම හෙවත් පළමු පියවර ලෙස මහා සමාගම්වලට නිදහස්කිරීම වශයෙනි.

මේ බව තහවුරු වන්නේ 5/2001 අහෝසි කරමින් නිකුත් කරන ලද 1/2020 චක‍්‍රලේඛයට පසුව නිකුත් කරන ලද අනෙකුත් සහායක චක‍්‍රලේඛ ද විමසා බැලීමෙනි. 17/2020, 17(1)/2020 සහ 18/2020 යනුවෙන් නිකුත් කර ඇති මෙම සහායක චක‍්‍රලේඛ පෙරහැරෙහි අවසන් චක‍්‍රලේඛය වන 18/2020 නිකුත් කර ඇත්තේ 2020 නොවැම්බර් 10 වැනිදා ය.

එම 18/2020 චක‍්‍රලේඛයට අනුව 5/2001 අහෝසි කිරීම හේතුවෙන් ප‍්‍රාදේශීය ලේකම් වෙත පැවරෙන ”රජයේ ඉඩම්” (මේ වන විට වනාන්තර යන වචනය චක‍්‍රලේඛයෙන් මත් හැලී ගොසිනි), ඉඩම් සංවර්ධන ආඥා පනතේ 8 වන වගන්තියේ ස`දහන් කාර්යයන් ස`දහා වෙන් කිරීමට කටයුතු කළ යුතුය. ඉඩම් සංවර්ධන ආඥා පනතේ 8 වන වගන්තියේ ස`දහන් කාර්යයන් අතරින් කිහිපයක් මෙසේය.

( ඕ) පළාත් පාලන ආයතනවල අවශ්‍යතා

(ක) නගර සංවර්ධනය කිරීම

(ග) ඇතැම් පන්තිවල තැනැත්තන්ට බිම් සතු කිරීම

ඉහත කී කාර්යයන්ට පහසු වන පරිදි දිස්ත‍්‍රික්/ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් අදාල ඉඩම් ඨඡුී තාක්ෂණය යොදාගනිමින් කඩිනමින් හ`දුනාගත යුතු අතර දැනටමත් එම ඉඩම්වල පදිංචි තැනැත්තන් සම්බන්ධයෙන් 2008/4, 2008/4(1) සහ 2018/1 චක‍්‍රලේඛයන්හි දක්වා ඇති ක‍්‍රමවේදයට අනුව කටයුතු කළ යුතුය. ඵලදායී කටයුතු ස`දහා යොදා ගන්නා ආකාරය 17/2020 සහ 17(1)/2020 යන චක‍්‍රලේඛවලින් උගත යුතුය.

ඒ සියල්ල අතර මේ පුරාවිද්‍යාත්මක සහ ජෛව විද්‍යාත්මක ඉඩම්වලට අනවසරයෙන් ප‍්‍රවේශ වීමට ”කිසිදු තැනැත්තෙකුට හෝ සංවිධානයකට” ඉඩ ලබා නොදිය යුතුය. මෙහිදී අවසරලාභීන් වන්නේ ප‍්‍රාදේශීය ලේකම්ගේ ලිපියෙන් ඉඩමේ අයිතිය ලබන පුද්ගලයා වන අතර අනවසර සංවිධාන විය හැක්කේ අදාළ පරිසර පද්ධතියේ ඇති වටිනාකම පැහැදිලි කරන පරිසර සංවිධානය හෝ අධ්‍යයන කණ්ඩායම විය යුතුය. අනවසර පුද්ගලයා ලෙස පුරා විද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ව හ`දුනාගෙන ඇතුල්වීම තහනම් කළද අප පුදුම විය යුතු නැත. හෙංචයියලාගේ සහ මහා පරිමාණ සමාගම්වල මංකොල්ලකරුවන්ගේ අයිතිය ආරක්ෂා කරදීමට මහජන මුදලින් වැටුප් ලබන ප‍්‍රාදේශීය ලේකම්වරයා දඩ බල්ලෙකු බවට පත්කර ඇත්තේ එසේය.

මේ උත්සාහය නිසා ජනාධිපතිතුමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළ රටට සිදුවීමට නියමිත සහ එතුමන් වගකීමට බැදෙන විනාශය මෙසේය.

1 හුදු ගස් ගොන්නක් පමණක් නොව ජෛව විවිධත්වයෙන් යුත් පද්ධතියක් වන වනාන්තර පද්ධතිය නැවත පිළිසකර කළ නොහැකි ලෙසට විනාශ වී යෑම.

2 පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික සාක්ෂි, ස්ථාන සහ මූලාශ‍්‍ර විනාශ වී යෑම සහ ඒ අනුව මූලධර්මවාදී බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවන් ඉටුකරගත හැකි නව ඉතිහාසයක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව සැළසීම.

3 මහා පරිමාණ සමාගම් මෙන්ම සුළු පරිමාණව පුද්ගලයන් විසින් ද නොයක් කෘෂි නාශක සහ කෘමි නාශක භාවිතා කර වස විසෙන් යුත් භූමි ප‍්‍රමාණය ඉහළ නැංවීම හේතුවෙන් වස විස පිරි ආදර්ශ කාන්තාරයක් බවට රට පරිවර්තනය වීම.

4 ”සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඇතුළත් ජාතික වන වැස්ම 30%ක් දක්වා ඉහළ දැමීමේ ඉලක්කය සිහිනයක් බවට පත්වීම.

5 දැනට 19%කටත් අඩු ප‍්‍රතිශතයක පවතින ජාතික වන වැස්ම සැළකිය යුතු ප‍්‍රතිශතයකින් තවදුරටත් පහළ වැටීම.

5/2001 චක‍්‍රලේඛය අවසානයේ මෙසේ ස`දහන් වේ.

”දැනට ප‍්‍රකාශයට පත්කර ඇති ජාතික වන ප‍්‍රතිපත්තියට අදාළව නව නීති කෙටුම්පත් සකස් කරන තුරු ඉහත ස`දහන් ක‍්‍රියා පිලිවෙත යොදාගනිමින් රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය කළ යුතුය.”

මේ 01/2020 චක‍්‍රලේඛය සහ ඒ පසුපස එන සහායක චක‍්‍රලේඛ යනු සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ස`දහන් 30% වන වැස්මක් ස`දහා යන ගමන සාක්ෂාත් කරගනු පිණිස හ`දුන්වා දෙන ”රජයේ නව නීතිය” නම්, හැටනව ලක්ෂයක බලාපොරොත්තුවලට දෙවියන්ගේම පිහිට ය. එකසිය විසි ලක්ෂයක හෙට දවසට දෙවියන්ගේ පිහිටක් වත් ලැබේ දැයි සැක සහිතය.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles