Divaina - විමල් - උදය සංවේදී කළ ජනපතිගේ ද්විත්ව මෙහෙයුම..... හාමුදුරුවොත් හරියට මොරිස් එයිට් කාර් වගෙයි.... අඩියක් පස්සට යන්න ජනපතිගෙන් තීන්දුවක්...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

poli

බුලිත ප‍්‍රදීප් කුමාර


පසුගිය සතියෙත් අපේ රටේ දේශපාලන කතිකාවේ ප‍්‍රධාන මාතෘකාව 20 වන සංශෝධනය ම විය. ගම්පහ, මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩෙක්ස් ආයතනයෙන් ආරම්භ වූ කොවිඞ් 19 තුන්වන රැල්ල ඉතා වේගයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කය පුරාම පැතිර ගොස් ටිකෙන් ටික අනෙකුත් පළාත්වලට ද විහිද යද්දි රජය සුවිශේෂී නිරෝධායන නීති රීති අඩංගු ගැසට් පත‍්‍රයක් ද නිකුත් කරමින් එය මර්දනය කරන්නට කොතෙකුත් උත්සාහ කළත් එය පහසු වූයේ නැත. රෝගීන් සොයමින් ඔවුන්ගේ ආශ‍්‍රිතයන් සොයමින් නිසි පරිදි නිරෝධායන කටයුතු පවත්වා ගෙන යන්නට උත්සාහ කළත් ඊට වඩා වැඩි වේගයෙන් රෝගය පැතිර යන බව පසුගිය සතිය වන විට අපට දැක ගත හැකි විය. මුළු ගම්පහ දිස්ත‍්‍රික්කයම ලොක්ඩවුන් වූයේ ඒ අනුවය.

ගම්පහ පමණක් නොව, කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකටත් කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කීපයකටත් පසුගිය සති අන්තය වන විට ඇඳිරි නීතිය දමන්නට සිදු වීමෙන් ම රෝගය ටිකෙන් ටික අවදානම් තත්ත්වය වෙත ඇදෙමින් තිබෙන බව ජනතාවට ද පැහැදිලි විය.

සෞඛ්‍ය තත්ත්වය එසේ තිබියදී රටේ ජනතාවගේ අවධානයට ලක්වුණු අනිත් වැදගත් ම කාර්යය වූයේ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. එක් පැත්තකින් විසි වැනි සංශෝධනය ගෙන එන්නට රජයට ඇති උවමනාවත් අනිත් පැත්තෙන් ඊට එරෙහි ව රටේ ජාතික බලවේග එකමුතු ව විසින් ඇති කරන ලද ප‍්‍රතිරෝධයත් නිසා රටේ ජනතාව ද අපේක්ෂා භංගත්වයට පත්ව විපිලිසර ව සිටියා යැයි කිවහොත් එය නිවැරැදිය.

මේ අතර පසුගිය සතියේ මුළු රටේම අවධානය දිනාගත් තවත් සිද්ධියක් විය. ඒ වූ කලී රටේ දරුණුතම පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස නම් දරා සිටියේ මාකඳුරේ මධුෂ් ඝාතනයයි.

මීට වසර කිහිපයකට පෙර දකුණු පළාතේ ජීවත් වූ එක්තරා සුප‍්‍රකට වාමාංශික දේශපාලනඥයෙකු වූ ඩැනී හිත්තැටියගේ ඝාතනය කරමින් අපරාධ ලෝකයේ දොරගුළු ඇරගත් මාකඳුරේ මධුෂ් මිනීමැරුම් සාපරාධී අපරාධ හා මත්ද්‍රව්‍ය අපරාධ පනහකට පමණ වගඋත්තරකරුවකු ව සිටියේය. 2019 වසරේ දී ඩුබායි හි පැවැති සාදයක් අතරතුර අත්අඩංගුවට පත්වුණු මධුෂ් පසුගිය සතියේ වෙඩි තබා ඝාතනය කරන තෙක්ම රහස් පොලීසිය භාරයේ සිටියේය.

ඉකුත් අඟහරුවාදා පාන්දර පොලිස් අත්අඩංගුවේ සිටිමින් යම් කිසි පරීක්ෂණ කටයුත්තකට ගෙන යමින් සිටියදී එක්තරා විරුද්ධවාදී කල්ලියක වෙඩි ප‍්‍රහාරයකින් මධුෂ් ඝාතනයට ලක් වී යැයි ප‍්‍රසිද්ධ විය. එහෙත් පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙසේ මධුෂ් පිටස්තර පුද්ගලයෙකුගේ වෙඩි ප‍්‍රහාරයකින් මියයෑම පිළිබඳ ජනතාව අතර ද බොහෝ සැක සංකා මතු ව තිබිණි.

මහා සංඝරත්නයෙන්
සංශෝධන මෙහෙයුම


පසුගිය සතිය පටන් ගන්න විටම විසිවන සංශෝධනය පිළිබඳ ව ආණ්ඩුවට බරපතළම අභියෝගයක් එල්ල කරනු ලැබුවේ මහා සංඝරත්නයයි. මුලින්ම අමරපුර නිකාය හා රාමඤ්ඤ නිකාය ඒකරාශී වී විසිවන සංශෝධනයේ තිබෙන ප‍්‍රධානතම කාරණා කිහිපයකට එරෙහි ව කරුණු දක්වමින් විශේෂ නිවේදනයක් නිකුත් කළේ ය. අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ පාර්ශ්වයෙන් ද මේ සම්බන්ධයෙන් විරෝධතා දක්වමින් රජයට සංදේශ නිකුත් වන්නට විය. ඒ අතරතුර විසිවන සංශෝධනයෙන් අස්ථාවර රාජ්‍ය යාන්ත‍්‍රණයක් බිහිවන්නට ඉඩ ඇතැයි අනතුරු අඟවමින් වත්මන් රජය බිහි කරන්නට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සංඝ පීතෘන් වහන්සේලා පිරිසක් පසුගිය 16 සිකුරාදා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද සංදේශය ආණ්ඩුවට ලොකු බලපෑමක් එල්ල කළේය. එම ලිපියට අත්සන් තබා තිබුණේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන හිමි, පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ පූජ්‍ය කපුගොල්ලෑව ආනන්ද කිත්ති හිමි යන කීර්තිමත් භික්ෂූන් වහන්සේලා හය නමයි. උන් වහන්සේලාගේ නිවේදනයේ විසි වැනි සංශෝධනයේ සඳහන් කාරණා හතක් පිළිබඳව විරෝධතා ගොනු කර තිබිණි. හදිසි පනත් ගෙන ඒමේ ප‍්‍රතිපාදන සපයන යෝජනාව, මැති ඇමැතිවරුන් ඒකීය රාජ්‍යය ආරක්ෂා කරන බවට ව්‍යවස්ථාවේ තිබූ ප‍්‍රතිපාදන ඉවත් කිරීම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ඇති බාධකය ඉවත් කිරීම,

විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනපති අගමැති කාර්යාල ඇතුළු ආයතන ඉවත් කිරීමට තිබෙන යෝජනාව, ව්‍යවස්ථා දායක සභාව සතුව මෙතෙක් තිබූ පත් කිරීමේ බලතල ජනාධිපතිවරයා වෙත පවරා දීමට ඇති යෝජනාව, මැතිවරණ කොමිෂන් සභාව සතු නීතිමය බලතල ඉවත් කිරීම, කැබිනට් ඇමැතිවරු 30 ට හා රාජ්‍ය ඇමැතිවරු 40කට පනවා ඇති සීමාව ඉවත් කිරීම ආදී යෝජනා යහපත් ආණ්ඩුවකට තරම් නොවන බව පෙන්වා දෙමින් ඒවාට බරපතළ විරෝධයක් දක්වමින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනය නිවැරදි කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නය දැඩි පිළිවෙතකින් යුතුව මෙම යෝජනා රජය වෙත ඉදිරිපත් කර තිබිණි.

මහා සංඝරත්නයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රටේ ලොකු ආන්දෝලනයක් ද ඇති විය. ආණ්ඩු පක්ෂයේ සිටිමින් ම සංශෝධනයේ මෙකී යෝජනාවලට විරෝධයක් දක්වමින් සිටී මැති ඇමැතිවරුන්ට ද මහා සංඝරත්නයේ මේ මැදිහත් වීම නිසා ලොකු උත්තේජනයක් ලැබිණි. පසුගිය 16 වැන දා නිකුත් කෙරුණු මෙම නිවේදනයට පසුව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද යම් යම් ප‍්‍රතිචාර ඉදිරිපත් වන්නට පටන් ගත්තේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජිතයින් මගින් උත්සාහ කළේ දහනවවැනි සංශෝධනයෙන් රටට මුහුණ පාන්නට සිදු වූ අප‍්‍රිය අමනාප අවාසනාවන්ත සිදුවීම් සියල්ල විස්තර කර දී මහා සංඝරත්නය කෙසේ හෝ 20 වැනි සංශෝධන යෝජනාවලිය කෙරෙහි අවනත කරවා ගැනීමට ය.

ආණ්ඩුවේ සිටින තවත් පාර්ශ්වයක මැති ඇමැතිවරු කීපදෙනෙක් මේ අතර බෙල්ලන්විල නායක හිමි හමු වන්න ද වෙහෙස වූහ. ඔවුන්ට අවශ්‍යව තිබුණේ ඇල්ලේ හිමියන්ගේ සහ මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ ප‍්‍රකාශය ට වඩා වෙනස් අදහසක් බෙල්ලන්විල හිමියන් ගෙන් ලබා ගෙන විසිවැනි සංශෝධනයට පක්ෂ වෙනත් නිවේදනයක් ලෙස එය මාධ්‍ය තුළින් හුවා දැක්වීමට ය. එහෙත් පසුගිය සෙනසුරාදා උන්වහන්සේ මහනුවර කඩුගන්නාවේ භාවනාව මධ්‍යස්ථානය වෙත වැඩම කර සිටියහ. සති අන්තයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහනුවර මල්වතු අස්ගිරි මහනායක හිමිවරු හමුවන්නට යෑමට යොදා ගෙන සිටි බැවින් එම ගමනේ දී බෙල්ලන්විල හිමියන්වත් බැහැ දකින්නට යොදා ගනු ලැබුවේ ඉන් අනතුරුවය. එම හමුවීම්වල ප‍්‍රතිඵලයක් වශයෙන් සෙනසුරාදා හවස විසි වැනි සංශෝධනය ට යම් පක්ෂපාතිත්වයක් දක්වන නිවේදනයක් බෙල්ලන්විල හිමියන්ගෙන් ලබාගෙන, එය මාධ්‍ය මගින් පළකිරීමට ඉහත කී මැති ඇමැතිවරු සමත් වූහ.

මේ අතර ජනාධිපති කාර්යාලයෙන් කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයට දුරකථන ඇමතුමක් ලැබිණි. කතා කළේ ඇල්ලේ ගුණවංස හිමියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි. දහනම වැනි සංශෝධනය ඉවත් කර විසි වැනි සංශෝධනයක් ඉදිරිපත් කිරීමට හේතු පැහැදිලි කිරීමක් එහි දී සිදු විය.

අපි වැරදි නම් කියන්න
විස්ස වැරදි නම් හදන්න


‘අපි මේවා බලන්නේ ජනතාවගේ පැත්තෙන්. රට ගැන, රටේ ජනතාව ගැන හිතලයි අපි මේ කරුණු කාරණා ඔබතුමාට පෙන්වා දෙන්න කල්පනා කළේ. මේක හදන්න මුල් වුණු උගත් නීතිඥ මහත්වරු ඔබතුමා ළඟ ඇති නේ. ඔබතුමාට පක්ෂපාත හාමුදුරුවරුත් ඇති නේ. ඒගොල්ලන්ට කියන්න අපිව හම්බෙලා අපේ කරුණු කාරණා වැරදි නං අපිට ඒක පෙන්නන්න කියලා. අපි හරි නම් කරුණාකරලා ඒ වැරදි ටික නිවැරදි කරලා දෙන්න. ඊට පස්සේ විසි වැනි සංශෝධනය දිනාගන්න හැකි පරිසරය උදාවේවි... ඇල්ලේ ගුණවංශ හිමියෝ කීහ.

ඉන් පසුව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ඇල්ලේ ගුණවංශ හිමියන්ට කතා කළේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඉහළ පෙළේ උගතෙකු වන ඔහු වත්මන් ආණ්ඩුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවේ සාමාජිකයෙකි. අනාගත ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්නට පත්කළ කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රොමේෂ් ද සිල්වා සමග කටයුතු කරන මහ මොළකරුවා ඔහුය.

ජනාධිපතිතුමා අපිට කිව්වා ඔබ වහන්සේ මුණ ගැහිලා 20 වැනි සංශෝධනය පිළිබඳ අදහස් පැහැදිලි කරන්න කියලා... අපිට වෙලාවක් දෙන්න හාමුදුරුවනේ...

මොකටද හම්බ වෙන්න වෙලාවක්... වෙලාවක් ඕනේ නැහැනේ... අපි ඉදිරිපත් කරපු ලියවිල්ලේ වැරදි තියෙනවා නං ඒක අපිට ලියලා එව්වා නං ඉවරයි... ගුණවංශ හිමියෝ කීහ.

ඔබ වහන්සේලාව හම්බවෙන්න කියලා ම තමයි කිව්වේ.

ඒ අනුව 18 වැනි ඉරිදා උදේ 10.00ට බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේදී සාකච්ඡාව සඳහා වෙලාවක් නියම විය.

සෙනසුරාදා හැන්දෑවේ ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා ට දන්නා කියන සුපුරුදු දුරකථනයකින් ඇමතුමක් ලැබුණේ ය.

කොරෝනා නිසා අසරණ වුණ ගම්පහ මිනිසුන්ට උදව් කරන්න ඕන කියලා ඔයා යෝජනා කරානේ. ඔන්න ඔයාට 5000 ගානේ මිනිසුන්ට බෙදන්න පුළුවන් විදිහට ආණ්ඩුව රුපියල් මිලියන 400 ක් අනුමත කළා. සඳුදා සල්ලි ටික එකවුන්ට් එකට වැටෙයි. ජී. ඒ. එක්ක එකතු වෙලා ඒ ටික කරන්නකෝ.

අනේ ඔබතුමාට ගොඩක් ස්තුතියි. රුපියල් මිලියන 400 ක් 5000 බැගින් බෙදුවහම පවුල් 72,000 ටයි දෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනුවන්ගොඩ වේයන්ගොඩ දිවුලපිටිය කියන පළාත් තුනට බෙදුවහම සල්ලි ඉවරයි... ප‍්‍රසන්න කීවේ ය.

මුළු ගම්පහට ම වැඬේ කරල දාන්නයි බලාපොරොත්තුව නේද. අන්න එහෙම තමයි නායකයො ඉන්න ඕන. බයවෙන්න එපා. ඉතුරු සල්ලි ටිකත් ආණ්ඩුව ජී. ඒ. හරහා එවයි.

ආණ්ඩුවත් මේ වෙලාවේ බොහොම අමාරුවෙන් වැඩ කරන්නේ කියලා අපි දන්නවා සර්. ඒත් මිනිස්සු ඊට වඩා අසරණයි.

”මම දන්නවා ප‍්‍රසන්න මේ වෙලාවේ අපි පුළුවන් තරම් මිනිස්සුන්ට උදව් කරන්න ඕනෑ. ජනාධිපතිතුමන් අගමැතිතුමන් ඉන්නේ ඒ ස්ථාවරයේ. ඔයා ජී.ඒ ඒකක එකතුවෙලා වැඬේ කරන්න” බැසිල් කීවේය.

ඒ අනුව වහාම ක‍්‍රියාත්මක වූ ඇමැති ප‍්‍රසන්න දිස්ත‍්‍රික් ලේකම්වරයා සමග සාකච්ඡා කර අඟහරුවාදා සිටම ගම්පහට රුපියල් 5000 ගෙවීමේ කටයුතු ආරම්භ කළේය.

පළිගන්න ගෙනා යෝජනා
රටට කළ විනාශයක්


ඉරිදා උදේ සංජීව ජයවර්ධන ඇතුළු නීතිඥයෝ කීප දෙනෙක් බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයට පැමිණ ඇල්ලේ ගුණවංශ හිමියෝ මුණගැසුණහ.

දෙපාර්ශ්වය අතර පැය දෙකක් පමණ කාලයක් පුරා ඉතා වැදගත් සාකච්ඡාවක් ඇති විය. ඇල්ලේ ගුණවංශ හිමියන් සංශෝධන කිහිපයක් ම පිළිබඳව යෝජනා කීපයක් ඉදිරිපත් කර තිබිණි.

මෙම සාකච්ඡාවෙන් පසු ව මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ද ධර්මායතනයට පැමිණියහ.

කවුද ඔබ වහන්සේ හම්බවෙන්න ඇවිල්ල හිටිය ඒ කණ්ඩායම.

ජනාධිපතිතුමා තමයි එවල තිබුණේ. ඒ ටීම් එකේ ලීඩර් සංජීව ජයවර්ධන කියන්නේ ලංකාවේ ව්‍යවස්ථා නීතිය ගැන හොඳම එක්ස්පර්ට් කියලයි කියන්නේ. කතා කරල බලනකොට එතුමන්ගේ මෑණියෝ මගේ හොඳ දායිකාවක්. පරණ චිත‍්‍රපටි නිළියක් සුජාතා ජයවර්ධන කියලා. එතුමගේ පියා තමයි ලිවර් බ‍්‍රදර්ස් කොම්පැණියේ ප‍්‍රධානියා වුණ මුල්ම ශ‍්‍රී ලාංකිකයා. අපේ රටේ ඉතාමත් වැදගත් මිනිස්සු. ඇයි මෙයාගෙ අයියනෙ අර සුප‍්‍රීම් කෝට් ජජ් හිටියේ ප‍්‍රසන්න ජයවර්ධන කියලා හිමියෝ කීහ.

ඒ ජජ්ටයි සුමන්තිරන්ලටයි මොකක් ද ඥාති සම්බන්ධයක් හැදිල තියෙනවලූ නේද?

ඕවා කතා කරා වගේ නෙවෙයි. ලියන්නේ එහෙම නෑ මේව පත්තරේ. ප‍්‍රසන්න මහත්තයාගේ තුන්වෙනි කසාදෙ නෝනගේ සහෝදරී තමයි සුමන්තිරන් බැඳල ඉන්නෙ. දැන් ඒ මඟුල් ටික ගැන වල්පල් මොකටද ඔක්කොම බොලාට. ලියන්නෑ මේවා.

ඉතින් මොකද උනේ අපේ හාමුදුරුවනේ.

අපේ විරෝධතා සම්බන්ධයෙන් සාධාරණ හේතු තමයි සාකච්ඡා කළේ. ඒ කරුණු සටහන් කර ගත්තා. සමහර කාරණා ගැන මම යම් යම් යෝජනා කළා. මොනව කරයිද දන්නෑ හැබැයි... ඇල්ලේ හිමියෝ හිනාවෙමින් කීහ. දේශපාලනයට සම්බන්ධ තව කීප දෙනෙක් ද ඒ අසල ගැවසෙමින් සිටියහ.

ඔබ වහන්සේත් එක්ක ජනාධිපතිතුමා කතා කරානේ. එතුමා මොනවාද කියන්නෙ.

එතුමා කියන කාරණා ඔක්කොම ඇත්ත. ඔක්කොම ටික හරි. 19 වැනි සංශෝධනයේදී පහුගිය ආණ්ඩුව පවුලකින් පළිගන්න ගෙනාපු යෝජනා ටික හින්දා රටට වෙච්ච විනාශය තමයි කිව්වේ. එතුමට ආරක්ෂක ඇමැතිකම ගන්න විදියක් නෑ. පොලිස්පති මාරු කරගන්න විදිහක් නෑ. කොමිෂන් එකෙන් පොලිස් නිලධාරිනියක් ඞී අයි ජී කරලා තියෙනවා. හැබැයි පොලිස්පති දන්නේ නෑ. රට හදන්න නම් මේ බලතල ටික එන්න ඕන කියලා තමයි කියන්නේ. ඒ කතාව ඇත්ත. හැබැයි මම කියලා දුන්නා ඔය ඔක්කොම මේ ව්‍යවස්ථාවෙ වැරදි නෙවෙයි. මිනිස්සුන්ගේ භාවිතාවේ තියෙන වැරදි. වැරදි තනතුරුවලට වැරදි කොමිෂන්වලට වැරදි පුද්ගලයන්ව පත්කිරීමේදී තිබිච්ච වැරැද්දනේ... අර හූල්ල ද කවුද කියලා මිනිස්සු වගයක් පත්කරගත්තේ. නොගැලපෙන මිනිස්සු නේ.

ඕවට සම්බන්ධ තව මිනිස්සු කට්ටියක් ආවා මේ ළඟදි මාව හම්බ වෙන්න. සාධාරණ සමාජයක්ද මොකද්ද කියලා. මං හිතන්නේ පහළොවක් විතර ආවා. හිටපු කථානායක කරු ජයසූරිය උන්නැහෙත් ආවා.

මම එවෙලේ කිව්වා අපේ වගකීම තමයි ගහේ කඳයි මුලයි රකින එක. අතු තමයි සිංහල ජාතිය, දෙමළ ජාතිය, අර ආගම මේ ආගම. ජනකොටස් ආදී ඔක්කොම. මම කිව්ව මේ ගහේ කඳයි මුලයි රකින්න තමුන්නාන්සේලා වැඩ කරේ නෑනෙ කියලා. මේව මේ ඔක්කොම ව්‍යවස්ථාදායක සභාවේ වැරදි. හරි මිනිස්සු මේවට පත්කරගත්තේ නැතිකම. අනිත් එක මේ ගොල්ල එකතු වෙලා අර සෝභිත හාමුදුරුවෝයි නාගවිහාරයයි දේශපාලනයට පටලවාගත්තා. අන්තිමේ සෝභිත හාමුදුරුවෝ අපවත් වුණා. පන්සලේ නඩු. පොඩි උන්නාන්සේලාට කර කියාගන්න දෙයක් නෑ. දැන් කවුද ඒව ගැන බලන්නෙ. මං ඉතින් මේවා තමයි කිව්වේ.

සෙනසුරාදා සහ ඉරිදා දින දෙක දේශපාලනමය වශයෙන් මෙහෙයුම් රැසක් සිදු වූ දෙදිනක් විය. එක් පැත්තකින් ජනාධිපතිවරයාත් තවත් පැත්තකින් අගමැති මහින්ද රාජපක්ෂත් නෙළුම් මාවතේ සිට බැසිල් රාජපක්ෂත් දිගින් දිගටම උත්සාහ කළේ 20 වැනි සංශෝධනය ගැටලූවකින් තොරව සම්මත කර ගැනීමටය. එහෙත් ඒ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කෙටුම්පතෙහි යම් යම් වගන්ති සම්බන්ධයෙන් නිර්දේශ කීපයක් ද පැමිණ තිබිණි. යම් යම් යෝජනා සම්බන්ධයෙන් ඉදිරියට යන්නේ නම් ජනමත විචාරණයක් අවශ්‍ය බව නිර්දේශවල දක්වා තිබිණි. කොහොමටත් හදිසි පනත් ගෙන ඒම, පාර්ලිමේන්තුව වසරක් ගෙවුණු පසු විසුරුවා හැරීමේ ජනාධිපති බලතල, ඇමැති මණ්ඩලයේ ප‍්‍රමාණ ඉක්මවා යෑම, විගණකාධිපතිගේ විගණනය ආදී කරුණු පිළිබඳව මහා සංඝරත්නය පැත්තෙනුත් විරෝධතා ඒකරාශි වී තිබිණි. එමනිසා ඒවා යෝජනා ලෙස ඉදිරියට ගෙන යෑමට නොහැකි බව රජය මැනවින් තේරුම් ගෙන තිබිණි.

ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කාදිනල් තුමා හමුවන්නට ගොස් තිබුණේ ද ඒ අතරතුරයි. මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයාට යවන ලද විරෝධතා යෝජනා ඇතුළත් ලියවිල්ලෙහි පිටපතක් ද ඇල්ලේ ගුණවංශ හිමියෝ කාදිනල්තුමා ට භාර දෙනු ලැබුවේ මෙහි දී ය. කතෝලික ජන සමාජයේ අදහස් උදහස්වලට අනුව නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කාදිනල්තුමා ගොනු කරගෙන සිටි කරුණු ද මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනාවල කරුණු සමඟ හොඳ ගැළපීමක් තිබිණි.

විවාදයට දවස් හතරක්
බැහැ දවස් දෙකක් ඇති


poli2මේ සතිය පාර්ලිමේන්තු සතියක් විය. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු රාශියක් ම යෙදී තිබිණි. විශේෂයෙන් ම විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් කතා කර ගන්නට බොහෝ දේවල් තිබුණු බැවින් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නට කථානායකවරයා තීන්දු කළේය.

පක්ෂ නායක රැස්වීම සඳහා ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් පක්ෂ නායකයෝ ඉතාමත්ම උනන්දුවෙන් සහභාගී සිටියහ.

මෙහිදී විපක්ෂය ප‍්‍රශ්න දෙකක් මතු කළේ ය. විපක්ෂ නායකයා ලෙස සජිත් පේ‍්‍රමදාසත් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙස ලක්ෂ්මන් කිරිඇල්ලත් මුලින් විමසුවේ ජදඩසා 19 නිරෝධායන නීතිරීතිවලට අනුව පාර්ලිමේන්තුවේ අසුන් පනවමින් වැඩ කටයුතු කර ගෙන යන්නේ කෙසේද කියාය. දෙවනුව ඔවුන්ගේ ප‍්‍රශ්නය වූයේ විසිවන සංශෝධනය සඳහා විවාදයට ආණ්ඩු පක්ෂය ලබා දෙන කාලයයි. ඔවුන් මේ සඳහා දින 4 ක කාලසීමාවක් ඉල්ලා සිටියහ. එහෙත් ආණ්ඩු පක්ෂයේ මතය වූයේ ඒ සඳහා දින දෙකක කාලයක් ප‍්‍රමාණවත් බවයි. අවසානයේ එම කාලය දින තුනක් කරන්නැයි සජිත් පේ‍්‍රමදාස ඉල්ලා සිටියත් එය ද ප‍්‍රතික්ෂේප විය. ඒ අනුව 21 වැනි දා 20 වැනි සංශෝධනය පිළිබඳ අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නටත් 22 වැනිදා දවස පුරාම විවාදය පැවැත්වී හවස ඡන්දය විමසන්නටත් තීරණය කෙරිණි.

මේ අතර බන්දුල ගුණවර්ධන මහතාට පක්ෂ නායක රැස්වීමේදී ගැටලූවක් මතු විය.

අපේ බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා පී.සී.ආර් පරීක්ෂණයක් කරලා තමයි මෙතනට ඇවිල්ල තියෙන්නේ. එහෙම කරාට පස්සේ හරි නං යන්න ඕන නිරෝධායනයකට.

බන්දුල ඊට පෙර දිනක පොදු වෙළෙඳසල් වෙළඳුන්ගේ රැස්වීමකට සහභාගි වී තිබුණු අතර ඊට සහභාගි වූ වෙළෙන්දෙකුටද කොවිඞ් ආසාදනය වී තිබිණි. ඇමැතිවරයා පරීක්ෂණයට පැමිණ ඇත්තේ ඒ පිළිබඳ යම් සැකයක් නිසාය. එහෙත් ඉන් ඔහුට ගැටලූවක් තිබුණේ නැත. අනිකුත් මැති ඇමැතිවරු ඔහුට විහිළු කරන්නට ගත්තත් සුපුරුදු සිනහවෙන් ම ඒ සියල්ල ඉවසා දරා ගන්නට ඔහුට හැකි විය. මෙම සතියේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිදු කරන ආකාරය ගැන සාකච්ඡා කිරීමෙන් පසුව පක්ෂ නායක රැස්වීම ද විසිර ගියහ.

සංශෝධනය කරන්න
වෙන විකල්පයක් නෑ


මේ අතර ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් ද මහා සංඝරත්නයේ යෝජනාවලිය කෙරෙහි ප‍්‍රතිචාර හිමි වන්නට විය. උන්වහන්සේ විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් මුලින් ම දැඩි විරෝධයක් පෙන්නුම් කරමින් අදහස් දක්වන්නට ඉදිරිපත් වුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග කරන ලද සාකච්ඡා වාර කීපයකින් පසු යම් මැදහත් තැනකට පැමිණ සිටියහ. එකවර ප‍්‍රකාශ නිකුත් කරන්නට ගියේ නැත. ඒ වෙනුවට සාකච්ඡාවෙන් සම්මුතියෙන් ආණ්ඩුව සමඟ මෙම ප‍්‍රශ්නය විසඳා ගන්නට උත්සාහ ගනිමින් සිටියහ. අවසානයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට හා ඇල්ලේ ගුණවංස හිමියන්ට කතා කරමින් උන්වහන්සේ ද අභයාරාමය හා ධර්මායතනය මුල් කරගෙන ආරම්භ වූ විරෝධතා ව්‍යාපාරයට දායක වූහ. බෙංගමුවේ නාලක හිමියෝ ද ඊට තදින් මැදිහත් ව සිටියහ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක හා මැදගොඩ අභයතිස්ස යන ස්වාමීන් වහන්සේලා එකතු වී ඉරිදා පස්වරුවේ කරන ලද සාකච්ඡාවකට අනුව සඳුදා උදේ නාරාහේන්පිට අභයාරාමයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා ඉහත කී ස්වාමීන් වහන්සේලා සිව් නම විසින් සුවිශේෂී දේශපාලනඥයෝ කිහිප දෙනෙකුට ද ආරාධනය කර තිබිණි. දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විදුර වික‍්‍රමනායක, ගෙවිඳු කුමාරතුංග හා ටිරාන් අලස් මෙසේ ආරාධනා ලැබ සිටියහ. විමල් හැරුණු විට අනෙකුත් සියලූ දෙනාම මේ සඳහා පැමිණ සිටීම විශේෂත්වයක් විය.

මුලින්ම ජනාධිපතිවරයාට යවන ලද සන්දේශයේ පිටපත් මෙකී මැති ඇමැතිවරු අතර ද බෙදා හරිමින් වහන්සේලා අදහස් දක්වන්නට පටන් ගත්හ.

‘අපි අපේ විරෝධතා මේ විදිහට ගොනු කරලා තියෙනවා. මේ රටේ මහජනතාවගේ අදහස් සැලකිල්ලට අරගෙන තමයි විරෝධතා ගොනු කරන්නේ. මේක අපි පත් කරපු ආණ්ඩුව. මේක රැක ගන්න ඕනෙත් අපිමයි. ඒ නිසා තමයි මේ වැරදි පෙන්වලා දෙන්න අපි ඉදිරිපත් වුණේ. අපි කියන්නේ මෙච්චරයි. එක්කෝ මේ යෝජනාව කල් දමලා පසුව නිවැරදි එකක් ගේන්න. එහෙම නැත්තං ඉතිං අපි කියපු කාරණා ටික සැලකිල්ලට අරගෙන මේක සංශෝධනය කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශත් ඇවිල්ලා තියෙන මේ වෙලාවේ අපි හිතන්නේ රජයට වෙන විකල්පයක් නැහැ.

මේ මොහොතේ කවුරුන් හෝ අගමැතිවරයාට දුරකථන ඇමතුමක් ගත්තේය.

මමත් මේ බලාගෙන හිටියේ ඔබ වහන්සේලාව එක තැනකදි හම්බ වෙන්නේ කොහොමද කියලා. මම දැන් කීප වතාවක්ම ඇල්ලේ හාමුදුරුවෝ හම්බෙන්න ගියා. කොහේද උන් වහන්සේත් එක තැනක නෑ. ඔබ වහන්සේලා කොහෙවත් යන්න එපා. ඔතනම වැඩ ඉන්න. මම දවල් 12 වෙනකොට ඔතෙන්ට එනවා හම්බ වෙන්න.

ඒ අනුව එම මූලික සාකච්ඡාව හමාර විය. මැති ඇමැතිවරු විසිර ගියහ. ඇල්ලෙ හාමුදුරුවෝ මුරුත්තෙට්ටුවේ හිමියන් දෙස බලමින් මෙසේ ඇසුවේය.

අර අම්මණ්ඩිගේ මහත්තයාට කවුද එන්න කිව්වේ.

මම නම් කිව්වෙ නෑ. මං ඒත් බැලූවා. මං හිතුවා ඔබ වහන්සේ එන්න කියන්න ඇති කියලා... මුරුත්තෙට්ටුවේ හිමියෝ කීහ.

උන්වහන්සේලා දෙනම එසේ සාකච්ඡා කළේ එම සාකච්ඡාව සඳහා ආරාධනා නො ලැබ ම පැමිණ මුල පටන් අග වන තුරු ම එහි රැඳී සිටි නෙළුම් මාවතට සම්බන්ධ මන්ත‍්‍රීවරයකු ද නොවන එක්තරා පුද්ගලයකු ගැන ය.

දහවල් 12 වන්නටත් පෙර අගමැති මහින්ද රාජපක්ෂ අභයාරාමයට පැමිණියේය. ඔහු සමඟ දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන හා විමල් වීරවංශ ද පැමිණ සිටියහ.

අගමැතිවරයා පැමිණි වහාම මුරුත්තෙට්ටුවේ හාමුදුරුවො ළඟට පැමිණ කීවේ... ‘අනේ හාමුදුරුවනේ... හරිම මහන්සියි. දැන් නම් බඩගිනියි...’

ඔබතුමාට මේ පන්සලේ කෑම වේල ගෙදර කෑම වේල වගේ නේ. ඕන වෙලාවක ඒක එහෙමයි. එහෙම නම් මුලින් ම කෑම ටිකක් කාලා ඉන්න. ආනන්ද හිමියෝ ආරාධනා කළහ.

ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ සඳුදා දිවා ආහාරය ගත්තේ ද අභයාරාමයෙනි.

අනතුරුව අගමැතිවරයා සමඟ සාකච්ඡාව පැවැත්වුණි.

අපි වෙන මොකුත් කියන්නේ නැහැ. කරුණාකරලා ඔබතුමන්ලා 69 ලක්ෂයකගේ ජනතා ප‍්‍රාර්ථනාවන් ආරක්ෂා කරන්න. මේ යෝජනා ටික ඔබතුමන්ලාට හොඳ නෑ, රටට හොඳ නෑ ශ්‍රේෂ්ඨාධිකරණයත් දැන් සමහර එව්ව හොඳ නෑ කියලා පිළිඅරන් තියෙනවා. එහෙව් එකේ කාගේ උවමනාවකට ගේන්න හදනවද මං දන්නෑ තවදුරටත් හාමුදුරුවරු කීහ.

අපි හිතුවා සීයට අනූවක් සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දය අරගෙන රුවන්වැලි සෑය මළුවේ දිවුරුම් දීලා වැඩ ආරම්භ කරන කොට මේ රටේ මහා සංඝරත්නයට මීට පස්සේ ඇති කරුණු සම්බන්ධයෙන් මැදිහත් වෙන්න වුවමනාවක් නැති වෙයි කියලා. දැන් බලනකොට මෙතනත් කර ගහන්න වෙලා තියෙන්නේ අපිටනේ...

ස්වාමීන් වහන්සේලා ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලූ එකින් එක හිටපු ජනාධිපතිවරයා හමුවේ විස්තර කරන්නට පටන් ගත්හ.

මේ ඔක්කොම අපිට සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්නේ අපේ හාමුදුරුවනේ.

පුළුවන් හින්දා තමයි අපි මේ මෙච්චර කියන්නේ. දැන්වත් අපි මේ ප‍්‍රශ්න ටික විසඳගමු. අමතක කරන්න එපා මේක තමයි අන්තිම වෙලාව.

හාමුදුරුවොත් හරියට
මොරිස් එයිට් කාර් වගෙයි

මම අපේ කට්ටිය එක්ක සාකච්ඡා කරලා මේ ගැන තීරණයක් ගන්නම්.

දැන් ඔබතුමන්ලා මෙච්චර කාලයක් සාකච්ඡා කරා නේ. තවත් මොනව සාකච්ඡා කරන්නේ දැන් තීන්දුවක් ගන්න ඇල්ලේ හිමියෝ තදින්ම කියා සිටියහ.

මුරුත්තෙට්ටුවේ හිමියන් බුරුලක් දුන්නේ ම නැත. තීන්දුවක් ගන්න. උන් වහන්සේගේ ද ඉල්ලීම එය ම වූහ.

ඔබ වහන්සේලා හරිම සැරයි නේ.

අපේ අගමැතිතුමා දන්නවද මොරිස් එයිට් කාර් එක... ඇල්ලේ හිමියෝ විචාළේය.

මොකද හාමුදුරුවනේ නැත්තෙ මටත් හොඳට මතකයි. මමත් පැදලා තියෙනවා.

අර ඉස්සරහින් පොල්ලක් දාල කරකවල කරකවලා ඉස්ටාට් කරන්නේ... හැබැයි රජෝ ස්ටාට් කරගන්න ලේසි නෑ. ඒ උනාට ස්ටාර්ට් උනාට පස්සේ මොන සක්කරයටවත් නවත්තන්න බැහැ... අන්න ඒ වගේ තමයි අපිත්.

අගමැතිවරයා හක හක ගාමින් හිනා වෙන්නට පටන් ගත්තේය.

අද හවස කැබිනට් එක තියෙනවා. ඊට පස්සේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමත් තියෙනවා. අපි ඒ දෙකේ දීම සාකච්ඡා කරලා මේ පිළිබඳ අවසාන තීන්දුවක් ගමු අගමැති කීවේ ය. ඒ අනුව එම රැස්වීම ද අවසන් වූහ.

සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රධානත්වයෙන් මෙම සඳුදා උදේවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ කණ්ඩායම් රැස්වීමක් පැවැත්විණි. ඔවුන්ට අවශ්‍ය වූයේ මෙම සතියේ ආණ්ඩුව 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන විට ඊට විපක්ෂය ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි කියා කතාබහ කර ගැනීමට ය.

අපි මේ පාර සම්ප‍්‍රදායික විදිහට හැමදාම දක්වන විරෝධතාවයන් පෙන්නලා වැඩක් නෑ මන්ත‍්‍රීවරු කීහ.

ඔව් අලූත් දෙයක් ගැන ඔයගොල්ලා හිතන්න සජිත් කීවේය.

ඒ අනුව අඟහරුවාදා රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණ විරෝධය දැක්වීමට පක්ෂය තීරණයක් ගත්හ.

අපි කරන්න ඉන්න කිසිම දෙයක් ගැන කල් තියා ආණ්ඩුවට දැනගන්න දෙන්න නරකයි. හරීන් කීවේය.

එහෙම නම් ඉතින් හරීන්ම තමයි මේක රහසිගතව සංවිධානය කරන්න ඕන.

ඒ අනුව සංවිධාන කටයුතු හරීන්ට භාර දුන් සජිත් විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට වෙනම විශේෂ කමිටුවක් ද පත් කරනු ලැබීය. ඒ සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලී චම්පික රණවක, කබීර් හෂීම් හා එරාන් වික‍්‍රමරත්න පත් කෙරිණි.

සමගි ජන බලවේගය එසේ සංවිධානාත්මකව විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් විරෝධය පාන්නට ක‍්‍රමවේද සකස් කරමින් සක‍්‍රීයව දායකත්වය දැක්වූවත් එක්සත් ජාතික පක්ෂයට ඒ සඳහා කිසිත් වැඩපිළිවෙළක් නොවීය. ඒ ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ එවන් කිසිදු වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යෑමට මන්ත‍්‍රීවරයකු නොමැති වීම නිසාය. ඔවුන් ලබාගත් ඡන්ද ප‍්‍රතිශතය අනුව ලංකාවෙන්ම ඔවුන්ට එක් මන්ත‍්‍රී ධුරයක් හිමි වී තිබුණත් ඒ ධුරය කාට පිරිනමන්නේ ද කියාවත් තීරණයක් ගන්නට හැකියාවක් නොතිබිණි.

එජාප මන්ත‍්‍රී වෙනුවෙන්
පත්කිරීම් දෙකක් ඕනෙ


පක්ෂයේ බොහෝ දෙනෙක් කීවේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහට එම ධුරය බාර ගන්න යැයි කියාය. එහෙත් රනිල් ඒ සඳහා කැමැත්තක් දැක් වූයේ නැත. රනිල් නොයන්නේ නම් ඒ සඳහා පක්ෂයේ නියෝජ්‍ය නායකයාට අවස්ථාව දිය යුතු යැයි කියන පිරිසක් ද වූහ. ඒ අතර රවි කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ වැන්නවුන් එම මන්ත‍්‍රී ධුරය තමන්ට ලබාදෙන්නැයි ඉල්ලීම් ද කර තිබුණේ ඒ සඳහා සටන්කාමීයෙක් පාර්ලිමේන්තුවට යෑමට අවශ්‍ය බව ද පෙන්වා දෙමිනි. එහෙත් රනිල්ගෙන් තොර අන් කිසිවෙකුටත් ඒ සඳහා අවස්ථාව දීමට පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් කැමැති වූයේ නැත. ඔහු යෝජනා කළේ එම මන්ත‍්‍රී ධුරය තමන්ට ලබා දීම වඩාත් සුදුසු බවය.

එහෙත් මහ ලේකම්වරයාව පාර්ලිමේන්තු යැවීමට පක්ෂයේ අන් සියල්ලෝම විරුද්ධව සිටියහ. මේ තත්ත්වය තුළ තවමත් එජාපයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය හිස් අසුනකි.

පසුගිය දිනක මාධ්‍යවේදියෙක් ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනගෙන් විමසා සිටියේ ය.

ඒකත් දැන් අපිට ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඔහු පුළුල් සිනහවක් පාමින් කීවේය.

එතන සිටි තවත් ප‍්‍රකාශකයෙක් ඒ අතර මෙසේ කීවේ ය.

මන්ත‍්‍රීවරයෙක් යවනවා නම් අපිට ඊට ඉස්සෙල්ලා අලූත් ලේකම්වරයෙක් පත් කරන්න වෙනවා. ඒ අලූත් ලේකම්වරයාට කියලා තමයි අපිට මන්ත‍්‍රීවරයෙක් නම් කරන්න වෙන්නේ.

20 වැනි සංශෝධනය පිළිබඳව විවාදය පැවති 21 සහ 22 දෙදින තුළ පාර්ලිමේන්තුවේ තැනින් තැන විවිධ සාකච්ඡා පැවත්වුනි. මේ අතර ආණ්ඩුවේ විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබුණි. ඒ මහින්දානන්ද, රෝහිත, ප‍්‍රසන්න, නිමල් ලාන්සා වැනි අයගේ මෙහෙයවීමෙනි. ඔවුන් විවිධ මන්ත‍්‍රීවරුන්ට කථා කරමින් 20 පිළිබද ඔවුන්ගේ මතය දැනගැනීමට උත්සහ කළේය. පාර්ලිමේන්තු ලොබියේ කමිටු කාමරවල මෙන්ම මන්ත‍්‍රී පැළඳුම් කාමරයේ ද මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා ඇති විය.

ඇතැම් අවස්ථාවලදී මේ කථා බහට අගමැති මහින්ද ද සම්බන්ධ වූ අවස්ථා තිබිණි. එවැනි එක් අවස්ථාවකදී අගමැතිවරයා කීවේ,

” විපක්ෂය කියන්නේ 20න් මගේ බලතල අඩුවෙනවා කියලා. කවදාවත් නැතිව විපක්ෂයට මං ගැන අමුතු අනුකම්පාවක් පහල වෙලා” කියාය.

”ඔය සර් හදන්නේ ඔබතුමයි ජනාධිපතිතුමයි අතර ඝට්ටනයක් තියෙනවා කියලා පෙන්නන්න. මේ අය අගමැතිතුමාගේ බලතල රකිනවා කිය කියා අඬන ඇඬීල්ල දැක්කම දුකෙත් බෑ” ඇමති රෝහිත කීවේය.

”කලින් කොරෝනා රටේ ව්‍යාප්ත වෙද්දි පාර්ලිමේන්තුව කැඳවන්න කියලා මැරෙන්න හදපු අය දැන් කියනවා පාර්ලිමේන්තුව කැඳවන්න එපාලූ. අම්මපා මම ඒත් බැලූවා මං මැරිලවත් ඉපදුනාවත්ද කියලා” ප‍්‍රසන්න කීවේ සියලූ දෙනා සිනස්සවමිණි.

අඩියක් පස්සට යන්න
ජනපතිගෙන් තීන්දුවක්


සඳුදා හවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් දෙදෙනාගේම සහභාගිත්වය ඇතිව ය. මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ප‍්‍රධාන මාතෘකාව වූයේ කොවිඞ් 19 ට වඩා 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.

විසි වැනි සංශෝධනය අපි ගෙන ආවට පස්සේ එහි තිබෙන සමහර කාරණා ගැන ජාතික සංවිධානවල ස්වාමීන් වහන්සේලාගේ ලොකු විරෝධයක් තියනවා. ඒ උනාට අපි මේ 20 වැනි සංශෝධනය ගෙනාවේ 19 ඉවත් කරන්න. එහෙම කරන්න කියල ජනතාව මගෙන් ඉල්ලූවා. එහෙම උනත් සමහර කරුණුවලට අපි අතරම පොදු එකඟතාවක් නැත්නම් යම් යම් සංශෝධන ගේන්න වෙනවා. ඒ අනුව වඩාත් පුළුල් ලෙස විරෝධයට ලක් වුණු කාරණා සතරෙන් කාරණා තුනක් සංශෝධනයට ලක් නොකොට ඒ අයුරින් ම තියාගන්න අපි තීරණය කළා. ඒ ගැන මොකක්ද ඕගොල්ලන්ගේ අදහස.

ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවට හදිසි පනත් ගෙන ඒමේදී ජාතික ආරක්ෂාවට හා හදිසි ආපදා තත්ත්වයන්ට බලපාන පනත් පමණක් හදිසියේ ගෙන ඒමටත්, ඇමති මණ්ඩල සීමාවන් හා විගණන කොමිසම සම්බන්ධ කාරණා පරණ පුරුදු ලෙස ම තබා ගන්නටත්, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව අවුරුදු හතර හමාරෙන් නොව, අවුරුදු දෙක හමාරෙන් ලබා ගන්නටත් තීන්දුවක් ගත් බව කීවේය. එහෙත් ද්විත්ව පුරවැසියන්ට බලපාන සීමාවන් පමණක් සංශෝධනය කරන්නට තමන් කල්පනා කරන බව ජනාධිපතිවරයා කියා සිටියේ ය.

අමාත්‍ය මණ්ඩලය තුළ මේ සම්බන්ධයෙන් ප‍්‍රතිවිරෝධතා ගොඩ නැගූයේ වාසුදේව නානායක්කාර ඇමැතිවරයා පමණි. ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් ආණ්ඩුව මේ දක්වන උනන්දුව පිළිබඳ තමන් පුදුම වන බවත් ද්විත්ව පුරවැසියකුට මෙසේ රජය තුළ ඉඩ අවකාශ සැලසීම ගැන මම විරුද්ධත්වය පළ කරන බවත් ඔහු කීවේය.

පහුගිය ආණ්ඩුව ද්විත්ව පුරවැසියන් පිළිබඳ ඔය යෝජනාව 19 ට ඇතුල් කළේ ම මම ජනාධිපති වන එක වළක්වන්න. පුද්ගලයකුට පමණක් බලපාන යෝජනාවක් අපි ඒ විදියට තියන්නෙ ඇයි. කලින් එහෙම දෙයක් ව්‍යවස්ථාවේ තිබුණෙ නෑ. ඒ යෝජනාව සම්බන්ධයෙන් අධිකරණයටත් ප‍්‍රශ්නයක් නෑ. බලන්න මේ ඇමරිකාවේ පවා ඉන්නව ලංකාවට ආදරේ කරන අය. එම යෝජනාව එහෙමම තියෙන්න අරින්න ජනාධිපති කීවේය. අවසානයේ එය අමාත්‍ය මණ්ඩල තීන්දුවක් බවට පත් විය.

හවස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ජනාධිපතිවරයා සහභාගි වූයේ නැත. අගමැති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්විණි.

මුලින්ම මෙහිදී කතා බහ කළේ සතියේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ගැන ය. විසි වැනි සංශෝධනය පිළිබඳ විවාදයට කතා කරන අය හා ඔවුන්ගේ කාල වේලාවන් ගැන ද පොඩි කතා බහක් ඇති විය. හවස කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අපි ඉතාම වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගත්තා. විසි වැනි සංශෝධනයට බහුතරයකගේ ඉල්ලීම පරිදි යම් යම් යෝජනා එකතු කරන්නත් ඉවත් කරන්නත් ඇමැති මණ්ඩලේ අනුමැතිය හිමි වුණා. අධිකරණ ඇමැතිතුමා දැන් ඒ ගැන පැහැදිලි කිරීමක් කරයි.

ඒ අනුව අලි සබි‍්‍ර පැහැදිලි කිරීම පටන් ගත්තේ ය.

නව එළඹුම මෙහෙමයි
අලි සබි‍්‍රගෙන් විග‍්‍රහයක්


poli3අපි මේ සංශෝධනය ප‍්‍රවේශයන් දෙකක් මතයි කරන්න තීරණය කළේ. එක ප‍්‍රවේශයක් තමයි නීතිමය ප‍්‍රවේශය. ඒ කිව්වේ අපිට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වලා තියෙනවා අලූත් සංශෝධනයක් හිමි වෙනවා නම් මෙන්න මේ මේ කරුණු ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා. ඒ අනුව මන්ත‍්‍රීවරයෙක් දිවුරුම් දීමේදී කරනු ලබන 7 වෙනි ප‍්‍රතිඥාව එයාකාරයෙන්ම තියන්න අපි තීරණය කළා. දෙවනුව ජනාධිපති කාර්යාලය හා අග‍්‍රාමාත්‍ය කාර්යාලය පෙර පරිදි විගණකාධිපති යටතට පත් කරන්න තීරණය කළා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න හැකි කාලය අවුරුදු දෙකහමාරට වඩා අඩු කරන්නේ නම් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය දන්වලා තියෙනවා. ඉතින් අපි ඒ සීමාව ඉක්මවන්නේත් නෑ. ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පවරන්න පුළුවන් කියන කාරණාවත් ඒ විදිහටම තියනවා. ඊළඟ කාරණාව තමයි මැතිවරණ කොමිසමේ බලතල. මැතිවරණයක් පවත්වන කාල සීමාව තුළ මැතිවරණ කොමිෂන් සභාවේ බලතල එයාකාරයෙන්ම වෙනස් නොකර පවත්වාගෙන යන්න කියලා අපිට අධිකරණය දන්වලා තියෙනවා. එයත් අපි ඒ විදියටම තියෙන්න අරිනවා.

”ඊළඟට දෙවැනි අදියර ලෙස අපි මේ රටේ මහා සංඝරත්නයෙනුත් යම් යම් ජාතික මට්ටමේ සංවිධානවලිනුත් අපේම මැති ඇමැතිවරුන් ගෙනුත් පැමිණි යෝජනා සැලකිල්ලට අර ගෙන නීතිමය පෙලඹවීමක් නැති තවත් කාරණා තුනක් ඒ ගැන අවධානය යොමු කරනවා.

ඇමැති මණ්ඩල සඳහා පනවා තිබෙන සීමාවන් දෙක අපි ඒ අයුරින්ම තබා ගන්නවා. ඒ වගේම රජයට 50% ක කොටස් ඇති සමාගම් විගණනයෙන් ඉවත් කරන්න කියලා යෝජනා කරලා තිබුණු කාරණාවක් අපි ඉවත් කරනවා. අනිත් එක තමයි ආණ්ඩුවට හදිසි පනත් ගෙන ඒමට තියෙන හැකියාව ජාතික ආරක්ෂාවට හා හදිසි ආපදාවන්ට පමණක් සීමා කරනවා.

ඉන් පසුව කීප දෙනෙක්ම අදහස් පළ කරන්නට පටන් ගත්තේය. මේ අතර ගෙවිඳු කුමාරතුංග අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ආණ්ඩුව තුළ කටයුතු කරමින් තමන් ඇතුළු ඇමැතිවරු හා මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් මෙම විසි වන සංශෝධනයේ යම් යම් කරුණුවලට එරෙහිව අදහස් දැක්වූයේ ආණ්ඩුවත් ජනතාවත් අතර තිබෙන මතවාදී පරතරය අඩු කිරීමට බව පෙන්වා දුන්නේය.

අපට ඕනම එක නිවැරදි කර ගන්න. හොඳ දේවල් තියෙනවා නම් අපි ඉතුරු කරගන්න ඕන. වැරදි දේවල් ඉවත් කර ගන්න ඕන. මහා සංඝරත්නය හැටියටත් මේ රටේ ජනතා බලවේගය හැටියටත් අනිකුත් ආගමික නායකයන් හැටියටත් ජනතාව හැටියටත් හුඟදෙනෙක් මේ වැඬේදි අපිට උදව් කළා. විශේෂයෙන් ම අපි දැකපු කරුණු කාරණා සැලකිල්ලට අරන් සංවේදී ව වැරදි නිවැරදි කරන්නට නායකත්වය දුන් අපේ අගමැති තුමන්ට අපි ස්තුතිවන්ත වෙනවා.

ගෙවිඳු එසේ කියමින් තම කතාව නතර කරද්දී තවත් කීප දෙනෙක් යම් යම් අදහස් දක්වමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ජයග‍්‍රහණය ගැන කතා කරන්නට විය.

21, 22 කියන දවස් දෙක අපි ආණ්ඩුවට ඉතාමත් තීරණාත්මකයි. විපක්ෂය මොන මොන සෙල්ලම් දමාගෙන එයිද දන්නෑ. කොහොම ආවත් ඕනෑ ම මොහොතක සිද්ධ වෙන ඡන්ද විමසීමකට ලෑස්ති වෙලා අපි මේ දවස් දෙකේ ඉන්න ඕන. අපි පාර්ලිමේන්තු කණ්ඩායම එකා වගේ පාර්ලිමේන්තුව තුළ ම රැඳී ඉන්න එකයි වැදගත්. අගමැතිවරයා අවවාදාත්මකව දැනුම් දුන්නේ ය.

ඒ අයුරින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ද එදිනට හමාර විය.

කරුණු කාරණා කෙසේ වුවත් ද්විත්ව පුරවැසියන් සම්බන්ධ යෝජනාව සංශෝධනයේ ඉතිරි වීම සම්බන්ධයෙන් ජාතික බලවේගවල නායකයන් තුළ එතරම් සතුටක් තිබුණේ නැත. විශේෂයෙන්ම ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, විදුර වික‍්‍රමරත්න වැනි අය ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ යෝජනාව ඉවත් කිරීමේ සටනට තවදුරටත් නායකත්වය දෙන බව පෙනෙන්නට තිබිණ.

ද්විත්ව පුරවැසි බව සම්බන්ධ යෝජනාව කලින් ආණ්ඩුව ව්‍යවස්ථාවට දැම්මෙ ගෝඨාභය රාජපක්ෂ වළක්වන්න. දැන් මේ වතාවේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ යෝජනාව ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න හදන්නෙත් තවත් රාජපක්ෂ කෙනකුට අවස්ථාව දෙන්න. ඉතින් තනි තනි පුද්ගලයන්ට බලපාන පරිදි රටක ජාතික ව්‍යවස්ථාවක් එක්ක සෙල්ලම් කරන එක වැරදියි කියලයි අපි කියන්නේ. එම ඇමැතිවරුන් තවදුරටත් තර්ක කරන්නට වූහ.

එහෙත් ඒ වන විට ආණ්ඩුවේ යම් යම් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ හා නිලධාරීන් ඔවුන්ගේ හිත් හදන්නට වූයේ සංශෝධනය සම්බන්ධයෙන් රජය මේ තරම් පස්සට ගොස් සිටින විට සටන්කාමීන් ද ලද ජයග‍්‍රහණයේ ප‍්‍රමාණයෙන් සතුටු වීමට එකඟ විය යුතු බව පෙන්වා දෙමිනි.

‘අපි ෂයිලොක්ල වගේ මස් රාත්තලම පපුවෙන් ඉල්ලන්න හොඳ නෑ’ ඔවුන් පෙන්වා දුන්හ.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන ද පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාවට ලක් විය.

පොලිස් කණ්ඩායම් හයක් යොදවා ඔහු සිටින තැන සොයා ගන්නට රජය දැඩිලෙස උත්සාහ කරත් හෝඩුවාවක් සොයා ගත නොහැකි විය.

විපක්ෂය පෙන්වා දුන්නේ නිසැකවම ඔහු ආණ්ඩුවේ බලවත් දේශපාලනඥයකුගේ රැකවරණය යටතේ සුවසේ පසු වනු ඇති බවයි. ඊට පිළිවදන් දුන් ආණ්ඩුව කිව්වේ සමගි ජන බලවේගයේ යම් යම් කණ්ඩායම් විසින් ඔහු කොහේ හෝ තැනක ආරක්ෂිතව රඳවා ඇති බවකි.

මේ පිළිබඳව හෝඩුවාවක් හොයන්නට රහස් පොලිසිය පසුගිය සතියේ සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාසගේ ගෙදරට ගියේය.

බදියුදීන් හිටපු ඇමැතිතුමා කීප වරක් ඔබතුමාගේ දුරකථනයට ඇමතුම් අරගෙන ඇති බව අපගේ පරීක්ෂණවලින් හෙළිදරව් වුණා.

ඔව් ඉතින් ඒක ප‍්‍රශ්නයක් නැහැ නේ. එතුමා මගේ පක්ෂයේ කෙනෙක්. යම් යම් කාරණා මත එතුමා මට කතා කරනවා. කවුරුවත් ඒක තහනම් කරලා නෑ.

නෑ අපිට අවශ්‍ය වන්නේ තොරතුරු කීපයක් ලබා ගන්න. එතුමා කොහේ ඉඳලද කතා කරන්නේ...

ඒක මට අදාළ නැති නිසා මං ඇහුවේ නෑ...

නිලධාරීන්ට ඉන් එහා සජිත්ගෙන් යමක් අසන්නට කාරණාවක් නො වී ය.

කෙසේ වුව ද ඉන් දින කීපයකට පසු දෙහිවල දී බදියුදීන් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට පත් වූ බව සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස ට හෙළිදරව් විය. සජිත් මේ පිළිබඳව කථානායකවරයා දැනුවත් කරමින් මන්ත‍්‍රීවරයකු වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් ඉටු කළ හැකි සෑම ප‍්‍රතිපාදනයක් ම සෑම වරප‍්‍රසාදයක් ම ලබා දෙන්නට කටයුතු කරන්නට විය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ කතාබහට ලක්වූ තවත් උණුසුම් මාතෘකාවක් වූයේ මාකඳුරේ මධුෂ් ඝාතනයයි. මෙය ජනමාධ්‍යවලින් පෙන්වූවාසේ ක‍්‍රියාදාම චිත‍්‍රපටයක ජවනිකාවක් මෙන් පුවතක් නොව, හිතාමතාම සැලසුම් කරන ලද් ඝාතනයක් යැයි විපක්ෂයේ චෝදනාව විය. වසරකටත් වැඩි කාලයක් පොලිස් අත්අඩංගුවේ සිටි මධුෂ් මේ ආකාරයේ නාට්‍යමය ජවනිකාවක් මවා පා ඉදිරිපත් කරමින් ඝාතනය කරන ලද්දේ ඔහු විසින් හෙළිදරව් කරන ලද යම් කිසි තොරතුරු සමුදායක් වළ දමන්නට බව විපක්ෂයේ චෝදනාව විය.

මධුෂ් ජීවත් වුණා නම් කුඩු ව්‍යාපාරවලට මහ ඉහළින්ම සම්බන්ධකම් ඇති මේ රජයේ දේශපාලනඥයින්ගේ නම් ලැයිස්තුවක් ම හෙළිදරව් වනවා. එම හෙළිදරව් වීම යටගහන්න මධුෂ්ව බිලි ගත්තා. ඇතැම් සමාජ මාධ්‍ය කෙලින්ම මේ චෝදනාව ආණ්ඩුවට එරෙහිව නගන්නට පටන් ගත්හ. විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් තිබුණු උණුසුම් වාද විවාද මැද විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවේදී පවා මධුෂ්ගේ මෙම ඝාතන සිද්ධිය ගැන කතා කරන්නට වූහ. විපක්ෂයේ නලීන් බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් ආදීහු මේ ගැන ආණ්ඩුවට චෝදනා නගන්නට වූයේ මධූෂ් ගේ ඝාතනය සම්බන්ධයෙන් රජයට ඇඟිලි දිගු කරමිනි. මෙම ඝාතන සිද්ධියට රජය වගකිවයුතු බව ඔවුන්ගේ බරපතළ චෝදනාව වූහ.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles