Divaina - නාගයින් රැකවල්ලන නිල්ලග්ගම බෝධිඝරය... ලංකාවෙන් හමුවූ වඩාත් කලාත්මක බෝධිඝරය...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

- නිල්ලග්ගම  බෝධිඝරයේ රැකවල්කරුට ඇයි මේ කුඩම්මාගේ සැලකිලි

 

 තිස්ස ගුණතිලක
 හුරිගස්වැව කරුණාතිලක

 

bodi1200
 
 ගුරු පාර වැටී ඇත්තේ උස් වූ වෑකන්ද උඩින්ය. එම පාර මනරම්ය. ඒ මතින් යනෙන කාගේත් ගමන් රිද්මය එකම තැනකදී වෙනස් වන්නේය. ඒ වෑකන්දේ ඇති සංහිඳ සමීපයේදීය. වෑකන්ද ඇරැඹුමේ ම සිටින මට රූස්ස නුග රුක්වල සෙවනැලි වැටුණු වැව් දියත් ගුරු පාරත් සංහිඳත් එහි පාමුල ඇති නිල්ලග්ගම බෝධිඝරයත් එකම කෝණයකින් දිස්වෙයි. සංහිඳේ ඇති විසල් නුග රුක් සෙවණෙ හි එල්ලා ඇත්තේ කොහොඹ අතු රිකිලි සහ පඬුරු බාරය. එය දුටු මගේ සිත නිතැතින්ම ඉගිල ගියේ කුඩා කල කට පාඩම් කළ කවි පන්තියක මතකයකටය.
 
 සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
 කෙම්මුර දවස්වල පහනින් සැරසීම
 වන අතු කඩා ගස් දෙබලක එල්ලීම
 මම නොකෙරුවත් නොකෙරෙමි එය ගැරහීම
 
n1 2

විමලරත්න කුමාරගම එදා මේ කවි පැබැඳුවේ වන්නියේ ජීවත්වන අව්‍යාජ ගැමියන්ගේ අභිචාරවිධි ගැන සානුකම්පිත දැකුමෙන්ය. මම මේ පරිසරය දැකුමෙන් මොහතක් ඒ කවිය තුළ ජීවත් වූවෙමි. ඔබට මේ සිත්කලූ දසුන විඳගැනීමට හැකිවන්නේ නිල්ලග්ගම ඉපැරණි බෝධිඝරය සමීපයේදීය. අපි ඒ දසුන නෙතින් දැක සිතින් විඳ බෝධිඝරය වෙත පිවිසීමට වෑකන්ඳේ සංහිඳ ළඟින් පහලට බැස්සෙමු.
 
 ශ‍්‍රී ලංකාවේදී හමු වූ ශේෂව ගිය බෝධිඝර නටඹුන් අතරින් වඩාත්ම කලාත්මක නිර්මාණය ලෙසින් සැලකෙන්නේ නිල්ලග්ගම බෝධිඝරයයි. එය ක‍්‍රි. ව. 8 සහ 9 වැනි සියවසට අයත් කාලයේ ඉදිකළ එකක් බව සැලකෙන්නේය. එය තහවුරු වන්නේ බෝධිඝරය බටහිර දොරටුව අසල පිටත මණ්ඩපයේ අත්තිවාරම් ගලෙහි නෙළා ඇති ශිලා ලිපියෙනි. සම්බුදු මොනරගල් බුදු වෙමි යනුවෙන් එහි සටහන්ව ඇත. දස ඇතුන් කරවා මහබෝධිය පූජා කළ පිනෙන් සම්බුදු බව ලැබෙම්වා යනු එහි තේරුම වන බව සෙනරත් පරණවිතාන සූරීන් පැහැදිලි කර ඇත. එම අක්ෂර අවන නවන සිවසට අයත් නිසා බෝධිඝරය ඉදිකර ඇත්තේ එම කාලයේ බවට පුරාවි්‍යාඥයන්ගේ විශ්වාසය වී ඇත. මේ සුවිශෙෂී ඉදිකිරීමට බෞද්ධ ඉතිහාසයේ ඉදිකිරීම් අතර ඉහළම තැනක් හිමිය. ඊට හේතුව පියස්සක් පැවැති බවට සලකුණු සහිතව හමුවූ එකම බෝධිඝරය නිල්ලග්ගම බෝධිඝරය විමය. එහි පිහිටී ම නිල්ලග්ගම වෑකන්ද සමීපයේ බෑවුමේම වන නිසා වෑකන්දේ සිට ප‍්‍රාකාරය ඇතුළු සමස්ත ඉදිරීම ම ඔබට සිත් සේ නැරඹීමට හැකිය.
 
 
n1 3

 

එවිට ඔබට පෙනෙන්නේ සමචතුරස‍්‍රාකාර ඇතුළු මළුවක් සහිත සෝබමාන ඉදිකිරීමක් සහ ප‍්‍රතිස්ථාපනය කළ ගල් කුලූනු කිහිපයකි. බෝධිඝරයත් ඒ වටා ඇති අලංකාර ප‍්‍රාකාරයත් ඉදිර ඇත්තේ එම ප‍්‍රදේශයෙන් හමු නොවන කළු ගලිනි. මාලක දෙකකින් යුතු වන පරිදි බෝධිඝරය නිමාවා තිබෙන්නේ තරමක් විශාල ගල් පුවරු භාවිතයෙනි. එයට ඇතුළු වීමට නැෙඟනහිර සහ බටහිර දිශාවෙන් පැවැති දොරටු දෙක එලෙසින්ම පුරාවිද්‍යා දෙපාර්තමේනතුව විසින් වර්තමානයේදී ගොඩනඟා ඇත. නිල්ලග්ගමදී ඔබ පුදුමයට පත්කරනු ඇත්තේ එහි කළු ගල් පුවරු මත නෙළා ඇති කලාත්මක ගල් කැටයම්ය. එහි වන සිංහ රූප, ඇත්, අශ්ව, හංස සත්ත්වයින් පමණක් නොව, ලියවැල් පියුම් සහ අලංකාර ගිනිසිළු රටා සුමටව කළු ගලේ නෙළා ඇති අයුරු ලක්දිව ආදී කලාකරුවාගේ නිර්මාණ ශක්තිය කදිමට කියාපාන්නේය.
 
 

n1 4

නිල්ලග්ගම බෝධිඝරයත් ඇතුළු මේ පෞරාණික බිම අතීතයේදී බෞද්ධ විහාරයකට අයත්ව පැවැති බවට ජනප‍්‍රවාද ආශ‍්‍රයෙන් ඇතැමුන්ගේ විශ්වාසය වී ඇත. බෝධිඝරයට නැෙඟනහිර දිශාවෙන් ඇති විනාශව ගිය චෛත්‍යයක නටඹුන් එකී විශ්වාසය තහවුරු කරන එක් සාධයක් බව ඔවුන් සඳහන් කරන්නේය. ඒ කුමක් වෙතත් අක්කර අටක භූ වපසරියකට හිමිකම් කියූ මේ පුරාවිද්‍යා රක්ෂිත බිම් තීරුවේ වැඩි කොටසක් දැන් මහ වනාන්තරයක වෙස් ගෙන ඇත.
 
 

n1 5

ඉතිහාසයේ දීර්ඝ කාලයක් මහා වනාන්තරයට වැද මහ පොළොව ගිල ගනිමින් පැවැති මේ අගනා උරුමය මතු ලොවට උරුම වන්නේ 1895 වසරේදී මේ ප‍්‍රදේශයේ දඩයමේ යමින් සිටි එම්. පිංහාමි නම් ගැමියෙකු නිසාය. මෙහි වන නටඹුන් මුලින්ම දැක ඇති එම ගැමියා ඒ බව ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්. සී. පී. බෙල් මහතාට සැල කර සිටියේය. ඔහුගේ නිරීක්ෂණය අනුව මුලින්ම මෙම ස්ථානය ඉපැරණි සොහොනක් ලෙස සලකා ඇත. නමුත් 1954 වසරේදී සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ නිරීක්ෂණයෙන් පසු මේ ඉදිකිරීම් බෝධිඝරයක නටඹුන් බව තහවුරු කරගත්තේය.
 
 x නිල්ලග්ගම බෝධිඝරය පිළිබඳ ජනප‍්‍රවාද
 
 නිල්ලග්ගම බෝධිඝරය හා බැඳුණු ජනප‍්‍රවාදවලින් පැවැත එන රසවත් කතා කිහිපයක්ම ඇත. නිල්ලග්ගමට ඒ නම් ලැබී ඇති කතාව ද මේ බෝධිඝරය හා සම්බන්ධය. අතීතයේදී පොලොන්නරුව රාජධානියත් දඹදෙණියත් යාපහුවත් එක් කරන මාර්ගය වැටී ඇත්තේ වර්තමාන නිල්ලග්ගම බෝධිඝරය පවතින ප‍්‍රදේශය හරහාය. එම මාර්ගය ඔස්සේ පොලොන්නරුවේ සිට යාපහුවට දන්ත ධාතූන් වහන්සේ වැඩම කරමින් සිටියදී පැමිණි පිරිස මදක් මේ ස්ථානයේදී ගත සිත නිවාගැනීමට නැවතුණේය. එවිට මෙම ස්ථානයේදී දන්ත ධාතූන් වහන්සේගෙන් නීල වර්ණ බුදු රැුස් විහිදී ඇත. මෙහි බෞද්ධ ඉදිකිරීම් සිදුවීමටත් නිල්ලග්ගම යන නම් ලැබීමටත් හේතූ වී ඇත්තේ එම ආශ්චර්යවත් සිදුවීමය. ජනශ‍්‍රැතියේ එන මේ කතාව අපට කී සාහිත්‍යවේදී බෝගස්වැව සෝමරත්න මහතා නිල්ලග්ගම ප‍්‍රදේශයේ මීට සංචාරය කර ඇත්තේ මෙවැනිම ජනශ‍්‍රැති කතාවක සුලමුල සෙවීමටය. ඔහු ඒ කාතාව සඳහන් කරන අයුරුය මේ.
 
 ජනවහරෙ සඳහන් වෙන විදියට ඔය හරියෙන් නිතර තරමක් විශාල නාගයෙක් එහෙ මෙහෙ ගිහින් තියනවා. මිනිස්සු හදන ඉනි වැටක් කවුරුන් හෝ හැමදාම පෙරළල තියනවලූ. මිනිස්සු මේ ගැන විපරම් කරනකොට අර නාගයා එතැනින් යද්දී තමා මේ ඉනි වැට ට ගහන්නේ. ඉනි වැටක මුල පෙරළුවා ම දිගට ම ටික දුරක් පෙරළෙනවනේ. කොහොම හරි දඩයක්කාරයෙක් මේ නාගයාට වෙඩි තියල තියනවා. ඒ වෙලාවේ මේ නාගයා විෂ දුමාරයක් පිට කරා කියනවා. ඒ දුමාරය නිසා ඔය හරියෙ වෙල් මෑත කාලයක් යන තුරු ගියේ නෑ. මම ඕක බලන්න අවුරුදු ගාණකට කලින් ඒ පැත්තෙ ගිහාම ඇත්තට ම වෙලේ එක හරියක
 
 දිගට ම ගොයම් හරි ගිහින් තිබුණෙ නෑ. මේක ඉතින් ජනප‍්‍රවාදයේ එන කතාවක්.
 
 මෙවැනි ජනප‍්‍රවාදයේ එන කතාන්දර හා බැඳෙන සිදුවීම් නිල්ලග්ගම බෝධිඝරය අවට වාර්තමානයේදීද අසන්නට ලැබේ. ඩබ්ලිව්. එම්. වනසිංහ බණ්ඩාර. මේ අගනා පුරාවිද්‍යා රක්ෂිතය ස්වකීය ලේ උරුමයෙක් සේ ආරක්ෂා කරගෙන සිටින රැුකවල්කරුය. ඔහුට මේ රැුකියාව ලැබී ඇත්තේ පරම්පරාවෙනි. වනාන්තරයෙන් වැසී පැවැති මේ උරුමය සී. පී. බෙල් මහතාට සොයා දුන් එම්. පිංහාමි වනසිංහ බණ්ඩාරගේ මුත්තණුවෝය. එහි පළමු රැුකවල්කරු වූ ඔහු එම රාජකාරිය හීන් මුතුබණ්ඩා වනසිංහට පවරා ඇත. ඔහු ද පිය උරුමයෙන් ලැබුණු රැුකවල් රැුකියාව තමන්ගේ දෙයක් ලෙස ආරක්ෂාකර ගෙන සිටියේය. ඒ රාජකාරිය වෙනුවෙන් හීන් මුතුබණ්ඩාට එදා පුරාවිද්‍යා දෙපාර්තමේතුවෙන් මසකට ලබුණේ රුපියල් 700ක් තරම් සොච්චම් මුදලකි. දැන් මුතුබණ්ඩා වයෝවෘද්ධය.
 
  පුතේ මේ උරුමය අපි පරම්පරාවෙන් ආරක්ෂාකර ගෙන ආවේ. ඇස් දෙක වගේ මේක බලා ගනිනින් තම පියා වන මුතුබණ්ඩාගේ ඒ ඉල්ලීම දිවිහිමියෙන් ඉටුකරගෙන යන්නේ වනසිංහ බණ්ඩාරය. නිල්ලග්ගම බෝධිඝරය ස්ථානයේ සුද්ද පවිත‍්‍ර කරගෙන රැුකබලා ගන්නා ඔහු පවසන්නේ තමන්ට මේ රාජකාරිය හැරදා කිහිප වතාවක්ම වෙනත් ප‍්‍රදේශ කරා ගිය විට කුමන හෝ  බලවේගයකින් එහි රැුඳී සිටීමට ඉඩ නොදෙන බවය.
 
 මෙතැන සුද්ද පවිත‍්‍ර කරගෙන බලා කියාගන්නවට මට ලැබෙන්නෙ මාසයකටම රුපියල් 1750කි. එකෙන් ජීවත් වෙන්න බැරි නිසා මම මෙහෙන් ගියා. හැබැයි ඒ එක තැනකවත් මට සතියකට වඩා ඉන්න දුන්නෙ නෑ. කවුරු හරි ඇවිත් හීනෙන් බය කරනවා. නිදාගෙන ඉන්න තැනින් වට්ටනවා. බැරිම තැන මම ගෙදර ආවා. හැබැයි බෝධිඝරය පැත්තෙ ගියේ නෑ. එහෙම දවසක් ඉන්න ඇති. හවස් යාමෙක ගේ ඉස්සරහ සුදු පාට නාගයෙක් ඇවිත් බලාගෙන ඉන්නවා. එළවන්න හැදුවට යන්නෙත් නෑ. මට තේරුණා හේතුව.
 
 දෙයි හාමුදුරුවනේ මම දන්නවා හේතුව. දැන් ඉතින් මෙතැනින් යන්ඩ. මම ඇවත් බෝධිය ළඟ සුද්ද කරන්නම්.
 
 එහෙම කිව්ව ගමන් නගයා බෝධිඝරය පැත්තට ඇදිල යන්න ගියා. ඔය වගේ සිද්ධි නම් නිතර වෙලා තියනවා. දවසක් මම ඔතන සුද්ද පවිත‍්‍ර කර කර ඉදදී සර සර ගාල සද්දයක් ඇහෙනවා. ඒ පෝය දවසකට කලින් දවසක්. සද්දෙ මොකක්ද කියල මම බලනකොට තමා දැක්කෙ ලස්සන සුදු නාගයෙක් බෝධිඝරයට ඇතුළුවෙන දොර ළඟ පෙනේ පුප්පන් බෝධිඝරය දිහා බලා ඉන්නවා. මම ඒ වෙලාවේ ෆෝන් එකේ පිරිත් දාල තිබ්බේ. ඒක නවත්තල නාගයාගේ ෆොටෝ ගන්න හැදුවා. පුදුමෙ කියන්නෙ එකක්වත් වැදුන් නෑ. මම ඒ වෙලාවේ ඉල්ලීමක් කළා.
 
 දෙවියනේ ඔයා ඔතන ඇත්තට ම ඉන්නවනම් මට මොනවා හරි පෙන්නුම් කරල යන්න. කිව්වත් වගේ නාගයා හෙමින් ඇදිල ගියා. මම ගෙදර එනකොට හොඳ කරන්න බෑ කියල ඉස්පිරිතාලෙන් ටිකට් කපාගෙන ගෙදර ගෙනත් හිටිය තාත්තා මෙන්න හොඳට නැඟිටල කෑමත් කනවා.
 
 ඇත්තට ම මහත්තයෝ අපිට නම් මෙතැනින් පිහිට ආරක්ෂාව තියනවා. ගමේ කවුරුත් මෙතැනින් යනකොට නිල්ලග්ගම මුත්තගෙ පිහිටයි කියල තමා ඉස්සරහට අඩියක් තියන්නේ. හැබැයි ඉතින් පෙර කරපු පින් පව් අනුවනෙ මොනව හරි දෙයක් අපිට ලැබෙනවනම් ලැබෙන්නේ. වනසිංහ බණ්ඩාර මේ සියල්ල කීවේ දැඩි විශ්වාසයකිනි.
 
 නිදන් හොරුන්ගෙන්ද ඉඩම් මංකොල්ල කරුවන්ගෙන් ද ආරක්ෂා කරගෙන ඔහු නිල්ලග්ගම බෝධිඝරය රැුකවල් ලා සිටින්නේ රැුකියාවකට වඩා එය දේව කාරියක් සේ සිතමිනි. එහෙත් මේ උරුමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වනසිංහ බණ්ඩාරගේ පම්පරාව කරන කැප කිරීම කන්තෝරුවල පුටු රත්කරන පුරාවිද්‍යා දෙපාර්තමේනතුවේ ලොකු මහතුවරුන්ට නොදැනී ඇති සැටියකි. නිල්ලග්ගම බෝධිඝරය රැුක බලාගත් පරම්පරාවේ තුන්වෙන්නා වන වනසිංහ බණ්ඩාර තවමත් මාසයකට රුපියල් 1750 ක සොච්චම් දීමනාවක් ලබන අනියම් සේවකයෙකි. එහෙත් ඔහු අලි වන සතුන් ගැවසෙන ඉසව්වේ මතු පරපුර වෙනුවෙන් මේ ජාතික උරුමය ආදරයෙන් රැක බලාගෙන සිටී.
 
 ඔබ මේ ජාතික උරුමය දැකබලා ගැනීමට යන්නේ නම් ගල්ගමුව නිකවැව මාර්ගයේ ගොස් ගල්ලෑව හන්දියෙන් හැරී ඉදිරියට යනවිට හමුවන නිතලව පාසල ළඟින් හැරී කිලෝමීටර් පහක පමණ දුරක් ගමන් කළ යුතුය. නැත්නම් දෙමටෑව මංසන්දියෙන් හැරී කිලෝමීටර් දෙකක් ගිය පසු නිල්ලග්ගම බෝධිඝරය සමීපයට ළඟා විය හැකිය.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles