Divaina - වසර 31 කට පෙර කොටින්ගේ මරු කටෙන් බේරුණු බොරවැවේ සන්ධ්‍යාගේ කඳුළු කතාව...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

කරුණාරත්න ගමගේ 

 sandaya222
දිගුකලෙක පටන් දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත්සිත් පැහැර ගන්නා උණුදිය පොකුණු සහිත බොරවැව පිහිටා තිබෙණුයේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් වැලිකන්දේ සෙවනපිටිය, බොරවැව ගම්මානයේයි.

දශක තුනකට පමණ ඉහතදී කොටි ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක‍්‍රියා දරුණුවට පැවැති ප‍්‍රදේශයක් ලෙසද වැලිකන්දේ බොරවැව ඉතා ප‍්‍රකටය. මිනිස් ලෙයින් බිම නහවා කොටි ත‍්‍රස්තවාදීහු බොරවැව ගමේ ජීවිත රැුසක් අමු අමුවේ බිළිගත් ශෝචනීය සිදුවීම කිසිදා මතකය හැර නොයන්නකි. ඒ බොරවැව ගම්මානයේ වෙසෙන්නී, ඇගේ නම සන්ධ්‍යා කාන්තිය. ඇය අපට මුණගැසෙන විට සිටියේ අබලන් වූ රෝද පුටුවකට බරදීගෙනය. දිවිමෙඟහි තිස් පස් වන විය ගෙවන ඈ මෙලෙස දෙපා අප‍්‍රාණිකව රෝද පුටුවක් මතට ජීවිතය තල්ලූවී සිටිනුයේ උපතින් ලද රෝගී තත්ත්වයක් නිසා නොව වසර තිහකට නොඅඩු කාලයක් තිස්සේ මේ රටේ ජනජීවිත අඳුරු අගාධයකට ඇද දැමූ රුදුරු කොටි ත‍්‍රස්තවාදයේ සැහැසිකම්වලට ශාප වන්නටය.

එක් මූසල රාත‍්‍රියක තම ගම්මානයට කඩා වැදුණු කොටි ත‍්‍රස්තවාදීහු කිරි දරුවන්, ගැබිණි මවුවරුන්, කුඩා ළමුන් වැඩිහිටියන් ඇතුළු නිරායුධ වැසියන් 58 දෙනකු කපා කොටා පොළොවේ ගසා අමු අමුවේ මරා දැමූ ම්ලේච්ඡ බියගුළු ක‍්‍රියාවට, සිවු හැවිරිදි දැරියකව සිටියදී ලද බියකරු අත්දැකීම් පිළිබඳව සිය මතකය සන්ධ්‍යා අප හමුවේ මෙලෙස අවදි කළාය. ඒ ඇගේ දෑස් කෙවෙනි අග නැවත අලූත්වී දෙකොපුල් දිගේ රූරා හැලෙන කඳුළු කැටද සමඟිනි.

‘‘මගේ අම්මයි, තාත්්තයි දෙන්නගෙම ගම මාවනැල්ල. මහවැලියෙන් ඉඩම් ලැබිල තමයි ඒ අය මෙහාට ඇවිල්ල තියෙන්නේ. තාත්තා ගොවිතැන් වැඩවලට අමතරව පොඩි කඩයකුත් දාගෙන හිටියේ මේ ගෙදර වත්තෙම. මම ඉපදිලා තියෙන්නේ 1985 පෙබරවාරි මාසේ දෙවැනිදා. මම පවුලේ දෙවැනියා. මට වැඩිමල් අයියා කෙනෙකුයි, බාල මල්ලි කෙනෙකුයි හිටියා.

sandaya333

මේ සිද්ධිය වෙනකොට මට වයස අවුරුදු හතරයි. අයියට වයස අවුරුදු අටයි. මල්ලි චූටියි. එයාට වයස මාස තුනයි. මට හොඳට මතකයි. 1989 අවුරුද්දේ අපේ ගමට කොටි ගහපු දවස. ඒ කාලේ අපේ ගමට ලයිට් තිබුණේ නෑ. භූමිතෙල් කුප්පි ලාම්පු තමයි පත්තු කළේ. එදා පෙබරවාරි මාසේ 27 වෙනිදා. කැළේට ලී කපන්න ගිය මාමල කට්ටියක් අපේ තාත්තට ඇවිල්ල කිව්වා, එක මාම කෙනෙක් කැළේදී කොටි අල්ලා ගත්ත කියලා. තාත්තා එවෙලේම ගියා වැලිකන්ද පොලිසියට මේ බව කියන්න. තාත්තා ගෙදර එන්න පරක්කු වුණා. ගමේ මාම කෙනෙක් දවල් කැළේදී අල්ල ගත්ත නිසා ගමට කොටි එයි කියලා අම්ම හරි බයෙන් හිටියේ. රෑ වෙනකොට කුප්පි ලාම්පුවේ එළිය අඩු කරලා ගෙදර දොර වහගෙන හිටියේ. එහෙම ඉඳලා තව ටිකක් රෑ වෙද්දී අපිව ඇඳ යට හැංගුවා. අයියා කලින් කෑම කාලා ඇඳ යටට රිංගුවා. මම බත් කකා හිටියේ.

අම්ම කිව්වා පුතේ ඔයා බත් කාලා ඉක්මනට ඇඳ යටට යන්න කියලා. ඊට පස්සේ මට බය හිතුණා. මම බත් එක කෑම නතර කරලා අත හෝදන්නෙත් නැතුව ඇඳ යටට රිංගුවා. බත් කාලා වතුරවත් බිව්වේ නෑ. වෙලාව මට මතක නෑ. අම්ම කුප්පි ලාම්පුවෙ එළිය අඩු කරලා තිබුණේ. මට නින්ද ගියෙත් නෑ. එතකොට දෙන්නෙක් අපේ ගේ ඇතුළට ආවා. ඒ අය හමුදාවේ වගේ ඇඳුම් ඇඳල හිටියේ. බූට් සපත්තු දාලා හිටියා. එවේලේ අම්ම මල්ලිට කිරි දිදී හිටියේ. එක්කෙනෙක් අම්ම අතේ හිටිය. මල්ලිව උදුර ගත්තා. එතකොට අම්මා කෑගැහුවා. මල්ලිව උදුරගත්තු කෙනා මල්ලිගේ කකුල් දෙකෙන් අල්ලලා බිත්තියේ ගැහුවා. ඒ එක්කම අතේ තිබුණු ආයුධයකින් ගහලා අම්මව කැපුවා. එතකොට අයියා මගේ අතින් අල්ලගෙන ඇඳ යටින් එළියට ආවා. අපේ ගේ බිත්ති බැඳලා බාගෙට හදලා තිබුණේ. අයියා මාවත් ඇදගෙන ගෙයි සාලේ පැත්තට දිව්වා.

මොකක් හරි ආයුධයකින් මගේ පපුවට පාරක් වැදුණා මට මතකයි. ඒත් එක්කම මම බිමට ඇදගෙන වැටුණා. මම ඔළුව ඉස්සුවා. එතකොට ඔළුවටත් පාරක් වැදුණා. එච්චරයි මට මතක. සිහිය එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ ඇඳක. මගේ අම්ම දැකලා තියෙනවා කොටි අපිට ගහනවා. අම්ම ඒ බව කියලා තියෙනවා. එදා ඒ කොටි ගහපු වෙලාවේ අපේ ගමේ 58 දෙනෙක් මැරුණා. අපේ අම්මයි, අල්ලපු ගෙදර නැන්දයි ඒ දෙන්නගේ තමයි එවෙලේ පණ තිබිලා තියෙන්නේ. ඉස්පිරිතාලෙට ගෙනිහිල්ලා තියෙනවා.

අම්මා මැරිලා තියෙන්නේ දවස් දෙකකට පස්සේ නුවර ඉස්පිරිතාලෙදී. අම්ම සිහිය නැතුව ඉඳලා, සිහිය එන වේලක් ගානේ අපි ගැන අහලා තියෙනවා. අපිට කොටි ගහපු හැටි අම්ම දැක්කා කියලා අම්මව බලන්න ඉස්පිරිතාලෙට ගිය අය එක්කලා අම්ම අඬ අඬා කියලා තියෙනවා. අපේ ගමට කොටි ගහපු වෙලේ පණ බේරුණේ අල්ලපු ගෙදර නැන්දගෙයි මගෙයි විතරයි. එදා ඒ වෙච්ච කැපුම් පාරවල්වලින් මගේ දකුණු ඇහැ පේන්නේ නෑ. අන්ධ වුණා. දකුණු කකුළ පණ නැතුව ගියා. මගේ තාත්තා පොලිසියට ගිහිල්ලා එනකොට ගමට කොටි ගහලා. තාත්තාගේ ජීවිතේ බේරුණා. නමුත් එයා පුදුම දුකකින් හිටියේ. ඒ හිත් වේදනාවෙන්ම තාත්තත් මැරුණා.

මම ළමා නිවාසවල තමා හැදුණේ, වැඩුණේ. මම දැන් මේ ගෙදරට ඇවිල්ල පදිංචි වෙලා ඉන්නවා. මම දැනට අවුරුදු දෙකකට විතර කලින් විවාහ වුණා. මගේ මහත්තයා වැඩ කරන්නේ යුද හමුදාවේ. මගේ අසරණකම ගැන අනුකම්පා කරල තමයි එයා මාව කසාද බැන්දේ. දැන් අපි සතුුටින් ජීවත් වෙනවා. නමුත් හැම මොහොතකම ඒ අමිහිරි සිද්ධිය මතකයට එනවා, කොහොමටවත්ම අමතක කරන්න බෑ ඒක. මගේ අම්මට අයියට, මල්ලිට කොටි කරපු අපරාදේ. ඒ වගේම මේ ගමේ එක පවුලක අය වගේ සමගියෙන් එකට ජීවත් වුණු අයට කරපු අපරාදේ. අවුරුදු 31 කට කලින් වෙච්ච දෙයක් වුණත් මට අද, ඊයේ වගේ හැම වෙලේම මැවිලා පේනවා. උදේ හවස බුදුන්ට පහන තියලා මම ප‍්‍රාර්ථනය කරන්නේ කිසිම දවසක කිසි කෙනකුට මේ වගේ විපතක් සිද්ධ නොවේවා කියලා. ඒ වගේ මම මගේ දෙමව්පියන්ට, අයියට, මල්ලිට වගේම මැරුණු හැමදෙනාටම පින් අනුමෝදන් කරනවා. එදා අපේ ගමට කොටි ගහලා මේ කරපු විනාශය ගොඩක් දෙනකුට දැන් අමතක වෙලා ඇති. නමුත් අද ඊයේ සිද්ධ වෙච්ච දෙයක් වගෙයි අපිට. මේ ගමේ අපි ගොඩක් දෙනෙක් තවමත් ඒ වෙනුවෙන් කඳුළු බොනවා.’’

එකළ කොටි ත‍්‍රස්තවාදීහු ගම්වලට කඩා පැන නිරායුධ වැසියන් බුරුතු පිටින් අමු අමුවේ මරා දමා සමූහ මිනිස් ඝාතන සිදුකළ පොලොන්නරුවේ මායිම් ගම්මාන අතුරින් වැලිකන්දේ බොරවැව මහවැලි ගම්මානයද ඉදිරියෙනි. මරබිය තුරුළු කරගෙන රැුය පහන් කරනා මිනිසුන් වෙසෙන නිවෙස්වලට මහ ? මැදිමේ හෝ ඊටත් පෙරාතුව කඩාපැන මිනිස් ජීවිත බිළිගත් අමිහිරි මූසල සිදුවීම් එකල අරුමැසි නොවුණි.

එදා ඒ බිහිසුණු රාති‍්‍රයේ බොරවැව ගම්මානයේ නිරායුධ වැසියන් කෙසෙල් කඳන් මෙන් එකාපිට එකා වැටෙනසේ කපා පෙති ගසා අඳුරේම පළාගිය කොටි ත‍්‍රස්තවාදීන් අතින් මරණය උරුම නොවී ජීවිතය රැුකුණු කුඩා දැරිය දැන් රෝද පුටුවකට ජීවිතය සින්නවී සිටින යුවතියකි. ඇගේ ජීවිතයේ මෙතෙක් පසුකර තිබෙන කඩඉම් දුකින්, කඳුළින් ගෙවුණු ඉතා කටුක ඒවා බව අමුතුවෙන් කිවයුතු නොවේ. තවත් හඬන්නට කඳුළු ඇයට ඇත්දැයි සැක සිතෙන තරම්ය. මරණයේ අබියසට ගොස් සිටියදී දෛවෝපගත ලෙස නැවත ජීවිතය ලද සන්ධ්‍යා මේ කතාව කියාගෙන ගියේ එක හුස්මට නොවේ. වරෙක ඇය සිය කතාව මදකට නවත්වයි. පසුව දිග සුසුමක් පිටකර යළිත් පටන් ගනී. එදා අවුරුදු හතරක් වයසැති කුඩා දැරියකව සිට එවන් බිහිසුණු අත්දැකීමක් ලබා ඇත්තේ තවත් කීයෙන් කී දෙනකුට දැයි සිතා ගන්නටවත් බැරි තරම්ය. තුන් මස් වියැති කිරිකැටි බිළිඳෙකුව සිටි තම මල්ලී අම්මාගේ තුරුලේ උණුසුම්වෙමින් ඇගේ තණපුඩුවෙන් කිරි උරාබොමින් සිටියදී කොටි උදුරාගෙන සිඟිති දෙපාවලින් අල්ලා බිත්තියේ ගැසූ අයුරු සිහිපත් කරන විට ඇගේ දෑස් කෙවෙනි අග කඳුළු යළි අලූත් වෙයි. දෙකොපුල් දිගේ රූරා හැලෙන ඒ කඳුළු පිසදමමින් ඇය නැවත කතාව පටන් ගනී. රුදුරු කොටි ත‍්‍රස්තයන් තම නිවෙසට කඩා වැදුණු මෙහොතේ ඇඳ යට සැඟවී සිට ඉන් පිටතට පැමිණ තමන්ගේද අතින් අල්ලාගෙන ජීවිත ආරක්‍ෂාව පතා දිවයමින් සිටි තම එකම අයියා කොටින් අතින් ඝාතනය වූ අයුරු ඇගේ දෑස් අබිමුව නිතර දිගහැරෙන බව ඇය කියා සිටී. එම ම්ලේච්ඡු කොටි ප‍්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියදී දෙදිනකට පසුව මෙළොව හැරගිය තම මව දරුවන්ට අත්වූ ඉරණම දැක මොන තරම් දුකක් උහුලන්නට ඇත්දැයි ඇය කියන්නීය.

එදා ඒ අඳුරු මූසල රැුයේ කොටින් ඝාතනයවූ බොරවැව ගම්මානයේ වැසියන් 58 දෙනා එකම මිනී වළක මිහිදන් වූ සුසාන භූමියේ අදටද ඔවුන් සිහිපත් කර එක පහනක් හෝ දැල්වෙන බව අපට දැනගන්නට ලැබිණි. බොරවැව ගමේ වැසියන්ට තම නෑසියන් හිතවතුන් පිළිබඳ මතකය එලෙසම බව ගම්මුන් අප සමඟ කීහ.

දිය බොර පැහැයෙන් යුක්ත වුවද නියඟයෙන් දාගිය වියළි බිමට තවමත් දිය නොසිඳුණු බොරවැව සුරබිදෙනක් බව අපට හැඟුණි. ඉමක් නොපෙනෙන යායේ නිල්වන් කෙත් යාය සරු කරන දියවර නොඅඩුව සැපයීම පමණක් නොව බොහෝ දෙනා සිය දිය පවස නිවා ගන්නේත්, දිය නෑම ඇතුළු අනෙකුත් ජල අවශ්‍යතා සඳහාත් පැමිණෙන්නේ මේ වැව් කොමළිය කරා බැව් දැකගත හැකිවිය. බොරවැවෙන් මත්ස්‍ය සම්පත නෙළාගන්නා ධීවර ප‍්‍රජාවක්ද එහි වෙති.

හෝරා කිහිපයක් එම පරිසරයේ සමාධිගතව සිට අපගේ මෙම සටහනෙහි කථානායිකාව වන සන්ධ්‍යා කාන්තිගෙන් සමුගන්නට සූදානම් වෙද්දී ඇය ඉතාමත් අවිහිංසක ඉල්ලීමක් අප හමුවේ තැබුවේ දිවි ඇති තුරාවට බොරවැව ගම හැරදා නොයන බවද පවසමිනි. තමන් දැනට වෙසෙන නිවහන බොහෝ සේ අබලන්ව තිබී පසුගිය කාලයේ පොලොන්නරුවේ ක‍්‍රියාත්මක වූ රජයේ සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ ඉදිකර දුන් බව ඇය මහත් කෘතවේදීව සිහිපත් කළාය. තවදුරටත් තම ආබාධ සහිත බව බාධකයක් කර නොගෙන ඉදිරි ජීවිතය ගොඩන`ගා ගැනීම සිය අරමුණ බව සන්ධ්‍යා කියා සිටියාය. ඒ සඳහා තමන් කුඩා කළ පටන් හැදුණු වැඩුණු ළමා නිවාසවලදී හැදෑරූ පාඨමාලා තුළින් ඉගෙන බොහෝ අත්කම් නිර්මාණ කිරීමේ හැකියාවක් තිබෙන බවත් එයට රජය හෝ පෞද්ගලික ආයතනයක් අතදී උදව් උපකාර කළහොත් එම හැකියාවන් ආදායම් ලබන මගක් බවට පත්කර ගන්නට හැකි බවත් ඇය පැවැසුවාය. දැනටත් තමන් විසින් නිපදවා තිබෙන අත්කම් නිර්මාණ රැුසක් ඇය සතුව තිබෙන බවත් ඒවාද අලෙවිකර

ගැනීමට අවැසි වටපිටාවක් සලසා දෙන ලෙසත් ඇය කළ ඉල්ලීමකි. අප ඉහතින්ද සඳහන් කළ පරිදි සන්ධ්‍යා සතුව දැනට ඇත්තේ අබලන් වූ රෝද පුටුවකි. තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යෑම සඳහා විදුලියෙන් ක‍්‍රියාත්මක කරන රෝද පුටුවක් තමන්ට ලබාදිය හැකිනම් එයද මහඟු උපකාරයක් බව ඇය කීවාය. කිසිවකුටත් බරක් නොවී තම අනාගත ජීවිතය සාර්ථක කරගැනීම සඳහා මේ දිරිය දියණිය ඉල්ලා සිටින උදව් උපකාර කළහැකි පරිත්‍යාගශීලීන් වෙතොත් මේ ඇයගේ ලිපිනය සහ දුරකථන අංකයයි. එම්. එස්. සන්ධ්‍යා කාන්ති, අංක 128, බොරවැව, සෙවනපිටිය. 0710653345.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles