Divaina - මිනී මෝරුන්ගේන් බේරි ආසියානු වාර්තාවට ගිය සිංහල කොල්ලා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 swim


 කුෂාන් සුබසිංහ
 
වෙරළට එන රළ බිඳෙනවා. පෙණ පිඩු නගිනවා. නැතිව යනවා. ඒත් අහස උසට පොදි බැඳපු බලාපොරොත්තු එහෙම බිඳී යන්නෙ නැහැ. හිතේ හයිය තිබෙනවා නම් ඒ පෙණ පිඩුවලට උඩින් අඩිය තියලා, සයුර මතින් පීනාලා මුළු ලෝකයම දිනා ගන්නත් පුළුවන්.
 
 මේ කියන්න යන්නෙත් එහෙම අරුම පුදුම සුන්දර තරුණයෙක් ගැන. ඔහු නමින් රොෂාන් අබේසුන්දර. රැකියාව ගුවන් හමුදාවේ. ඒත් ලෝකයම ඔහුව දන්නේ අහස නිසා නොවේ. සයුර නිසා. අහසයි සයුරයි යාවෙන තැන අපට මායාවක්. එකට කියන්නේ ක්‍ෂිතිජය කියලා. ඒත් රොෂාන් අපට පේන ඒ ක්‍ෂිතිජය ළඟටම ගියා. තලෙයිමන්නාරමේ ඉඳන් එහා පැත්තෙ කෙළවරට. ජයකොඩිය ළඟට නොවේ, ධනුෂ්කොඩිය ළඟට.
 
 හැබැයි ජයකොඩිය තිබෙන්නේ නැවත තලෙයිමන්නාරමට පැමිණියහොත් බව රොෂාන් දැන සිටියා. ඒ නිසා ශී‍්‍ර ලංකාවේ තලෙයිමන්නාරමත්, ඉන්දියාවේ ධනුෂ්කොඩියත් එක පිම්මට යා කරලා නැවත තලෙයිමන්නාරමට ආ ඔහුට ජයකොඩි පිරිනැමුණා. රොෂාන් එදා පෑව එම දස්කම වීර වික‍්‍රමයක් වුණා. වසර 50 ක් පුරා පැවැති පිහිනුම් වාර්තාවක් බිඳ වැටුණා. ආසියානු වාර්තාවක් ඔහු නමින් ලියැවුණා. ඒ ගැන රොෂාන්ට තිබෙන්නේ පුදුමාකාර සතුටක්.
 
 ‘‘මගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. මගේ දෙමව්පියන්ට, මගේ පවුලේ අයට සහ මම රැකියාව කරන ස්ථානයේ සියලූ ඒ සතුට අයිතියි. මෙය මා පමණක් නොවේ. මුළු රටට ලද ජයග‍්‍රහණයක්. හැබැයි මේ ජයග‍්‍රහණය පමණක්ම නොවේ මගේ ඉලක්කය වුණේ. සාගරයට පොලිතින්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය එකතුවීම වැළැක්වීමයි මගේ මේ උත්සාහයේ අරමුණ වුණේ. ඒ වෙනුවෙන් තමයි මම මේ කාර්යයට පිවිසුණේ. මම මේ දරන ලද උත්සාහයේ සැබෑ ජයග‍්‍රහණය මට ලැබෙන්නේ සාගරයට පොලිතින් ප්ලාස්ටික් එකතු වීම නතර වුවොත් විතරයි.’’
 
 ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග සාකච්ඡාවට මුල පුරමින් රොෂාන් එසේ ප‍්‍රකාශ කර සිටියා. ඇත්තටම රොෂාන් අබේසුන්දර යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උදාර අරමුණක් පෙරදැරි කරගත් ධෛර්යවන්ත සුන්දර තරුණයකු බව ඒ වදන්වලින්ම ඔප්පු වනවා ඇත.
 
 ඔබ අප මතු නොව රටෙන් සියයට අනූවකට වැඩි පිරිසක් නිදි සුව විඳින අතරේ රොෂාන් තලෙයිමන්නාරම ඌරා ජැටියට ළඟා වුණා. ධෛර්යය, වීර්යය, අධිෂ්ඨානය පමණක් ඔහු හද තුළ පිරී තිබුණා. දෑතේ, දෙපයේ ශක්තිය හා කරදිය සමග හරඹ කර උකහා ගත් අත්දැකීම් අනෙක් පසින් තිබුණා. ජීවිතාරක්ෂක භට පිරිස් සහ රොෂාන්ගේ වාර්තාවට අදාළ කටයුතු සම්පාදනය කරන විනිසුරු මණ්ඩලයේ නිලධාරීන් 6 කගේ පිරිසක් ඔහුගේ දෙපසින් බෝට්ටු දෙකකින් ගමන් කළා.
 
 ‘‘සෙනසුරාදා අලූයම 2 ට පමණ මම ගමන ආරම්භ කළා. එතනට මගේ දෙමව්පියන්, බිරිඳ, දරුවන් පැමිණ සිටියා.’’
 
 ඔවුන්ට සමුදුන් රොෂාන් අනතුරුව සමුදුරට ළඟා වෙනවා. ඒ කිලෝමීටර 59 යි මීටර් 3 ක් දුර සයුර තරණය කිරීම පිණිස. කුඩා අවධියේ පටන්ම මුහුද එක්ක පොර බැඳ රොෂාන්ට මේ වාර්තාව තමන්ගේ නමට ගත යුතු බව සිතට අදහස පහළ වී තිබෙන්නේ මීට වසර දහයකට පමණ උඩදී. මීට පෙර එහි වාර්තාව වුණේ තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩිය දක්වා පිහානා නැවත තලෙයිමන්නාරමට පැය 51 ක කාලයක් තුළදී පැමිණීම. කුමාර් ආනන්දන් 1971 වසරේදී එම වාර්තාව පිහිටුවා තිබුණා.
 
 ‘‘එක් අවස්ථාවකදී මම කිලෝමීටර් 49 ක් දුර මුහුදේ පිහිනුවා. ඒක ජාතික වාර්තාවක්. පැය 23 ක් ඒ සඳහා වැය වී තිබුණා. ඒ නිසා කුමාර් ආනන්දන්ගේ වාර්තාව මගේ නමට ගන්න පුළුවන් කියන හැඟීම මට තිබුණා. ඒ ශක්තිය මට තිබුණා.’’
 
 කවුද ඔබට ඒ ශක්තිය දුන්නේ? කී‍්‍රඩාවෙන් ලැබුණු ශක්තියද?
 
 ‘‘නැහැ. මගේ අම්මගෙන් ලැබුණු බුදුසරණයි කියන වචනය තමයි මගේ ශක්තිය වුණේ. මම මොන ගමනක් ගියත් අම්මව ඉස්සරහට මුණගැසිලා එයාගෙන් ‘බුදුසරණයි’ කියලා අහගෙන යන්න තමයි හැමවිටම උත්සාහ කළේ. අම්මගේ ආශීර්වාදය තමයි මගේ ජයග‍්‍රහණයේ රහස.
 
 රොෂාන් අප සමග එසේ හැඟීම්බරව අදහස් ප‍්‍රකාශ කර සිටියා. ඔහු මේ වනවිට දෙදරු පියෙක්. මාතර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු මාතර පොල්හේන ප‍්‍රදේශයේදී උපත ලැබුවා. ඔහුගේ නිවසත්, මුහුදත් අතර තිබුණේ මීටර 300 ක පමණ දුරක්. ඒ සමීප බව රොෂාන්ගේ ජීවිතයටම වාසනාව ගෙන පැමිණියා.
 
 පැය 51 වාර්තාව රොෂාන් බිඳ දැමුවා. ඒ සඳහා රොෂාන්ට ගත වුණේ පැය 28 යි, විනාඩි 19 යි තත්පර 43 ක කාලයක් පමණයි. එය පැරණි වාර්තාවට වඩා පැය 22 යි, විනාඩි 41 යි තත්පර 17 ක ඉදිරියෙන් සිටීමක්.
 
 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව මම ගුවන් හමුදාවට බැඳුණා. ඒ කාලයේ එල්. ටී. ටී. ඊ. ය සමග යුද්ධය පැවතුණා. ඒ මෙහෙයුම් තදින් කි‍්‍රයාත්මක වුණු වන්නි, මුල්තිව්වල තමයි මම ඒ දවස්වල වැඩිපුර රාජකාරි කළේ. යුද්ධයෙන් පසුව මට ගුවන් හමුදාවේ පිහිනුම් සංචිතයට සම්බන්ධ විමට හැකි වුණා. ඊට පසුව මුහුදු සැතපුම් 2, 4 කිලෝමීටර් 10, 12 ආදී තරගවලට සහභාගි වෙලා ජයග‍්‍රහණය කරන්න හැකි වුණා. මුහුදට සමීපව පිහිටා ඇති රොෂාන්ගේ නිවසට මුහුද ලස්සනට දර්ශනය වෙනවා. ඒත් ඒ මුහුදේ ලස්සන දිනෙන් දිනම විනාශ කරන දෙයක් රොෂාන් දකිනවා. ඒ වෙරළේ ගොඩගසා ඇති ප්ලාස්ටික් සහ පොලිතින්. ප්ලාස්ටික් සහ පොලිතින්වලට විරුද්ධව මගේ සටන මම ඉදිරියටත් කරගෙන යනවා. රොෂාන් ඒ දර්ශන දැකීමෙන් එසේ සිත දැඩි කර ගත්තා.
 
 ‘‘රොෂාන්ගේ පවුලේ විස්තර කොහොමද?’’
 
 ‘‘මට අක්කා කෙනෙකුයි, නංගි කෙනෙකුයි ඉන්නවා. නෝනා පුත්තලම මහ රෝහලේ කළමනාකරණ සහායකවරයෙක් ලෙස කටයුතු කරනවා. දරුවෝ දෙන්නයි පුතයි, දුවයි. පුතාට වයස අවුරුදු 7 ක් වෙනවා. දුවට වයස අවුරුදු 2 ක් වෙනවා.
 
 ‘‘මේ වාර්තාව තව අලූත් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?’’
 
 ‘‘තව ලෝක වාර්තාවක්, ගිනස් වාර්තාවක් තියන්න බලාපොරොත්තු වෙනවා. එහෙම කරලා ලංකාවට කීර්තියක් ගේන්න ඕන කියන අධිෂ්ඨානය මගේ හිතේ තිබෙනවා.’’
 
 මෙතරම් දුරක් පිහිනා ගෙන යද්දි ඔබට මහන්සි නැද්ද? ආහාරපාන ලබා ගන්නේ නැද්ද?
 
 ‘‘ලෝක ජල කී‍්‍රඩා සංගමයේ නීති හා රෙගුලාසිවලට අනුකූලව තමයි ඒ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. කිලෝමීටර් 05 ක දුරක් පිහිනා ගිය පසු විනාඩි 05 ක විවේකයක් ගන්න පුළුවන්. හැබැයි ඒ විනාඩි 5 ඇතුළත බෝට්ටුවක එල්ලෙන්නවත්, ඒවට අතවත් තියන්න බැහැ. කාගේවත් අතින් අල්ලන්නවත් කිසිම ආධාරකයක් හා සම්බන්ධ වෙන්නවත් බැහැ. වතුරෙ පිහිනන එක නවත්වලා ඕන නම් පාවෙන්න පුළුවන්. ආහාර ගන්න පුළුවන්. වතුර පානය කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට චොකලට්, දොඩම් වගේ දේවල් තමයි කෑවේ. වතුර බිව්වා. හැබැයි ඒ කෑම බීමත් ‘සර්ෆින් බෝඞ්’ එකක දාලා තල්ලූ කරලා තමයි මට දෙන්නේ. අනිත් කෑම දෙන්න බැහැ.’’
 
 එවැනි ගිමන් හැර, ආහාර පාන ලබා ගත් ස්ථාන කීයක් විතර තිබුණද?
 
 ‘‘ස්ථාන දහයක්, දොළහක් වගේ නතර වෙන්න ඇති.’’
 
 ‘‘එහා පැත්තේ ඒ කියන්නේ ඉන්දියාවේ මායිමට අදාළ ධනුෂ්කොඩිය සීමාවට ගිය විට ඔබට හිතුණද නැවත ආපසුත් ඒ ආකාරයටම යන්න පුළුවන් වෙයි කියලා.’’
 
 ‘‘ඔව්. ඒ ගැන බියක් සැකක් තිබුණේ නැහැ. යන්න කලින් මම කිලෝමීටර් 60 ක් පිහිනලා පුරුදු වෙලා හිටියේ.’’
 
 මේ ගමනෙදී ඔබට බය හිතෙන අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වුණේ නැද්ද?
 
 ‘‘නැහැ. එක අවස්ථාවකදී අපි මෝරුන් වගේ මාළුවන් තුන් හතර දෙනකු දුටුවා. බෝට්ටු දෙකේ සිටි පිරිස් ඒ සතුන්ව හොඳින් නිරීක්ෂණය කළා. හැබැයි පසුව තේරුම් ගත්තා ඒ මෝරුන් නොවේ ඩොල්ෆින්ලා බව. ඒත් මීට පෙර මාතර සිට හික්කඩුවට පිහිනා මා වාර්තාව තැබූ දවසේ ‘කිලර් වේල්’ නම් (මිනිසකු වුවත් ආහාරයට ගත හැකි මාළුවෙක්) මාළුවා මට ඇටෑක් කරන්න පැමිණියා. ඌ ඉතා විශාල මාළුවෙක්. බෝට්ටුවක ආධාරයෙන් ඌව පලවා හරින්න හැකි වුණා. බෝට්ටුවට මීටර් 10 ක පමණ සමීපයට ඇවිත් උඩට ඇවිත් යට යමින් ඌ ලොකු ශබ්දයක් පිටකරා.’’
 
 වෙන කිසිම බාධාවක් පැමිණියේ නැද්ද?
 
 ‘‘රාති‍්‍රයේ පිහිනන විට කිසි දෙයක් පෙනෙන්නේ නැහැ. පොලූ මුගුරු, ප්ලාස්ටික්, බෝතල් ආදී නොයෙක් දේවල් ඔළුවේ හැපුණු අවස්ථා තිබුණා. ඒ වගේම ඇෙඟ් ගැවුණොත් මරණය පවා සිදුවිය හැකි ජෙලි ෆිෂ්ලා මුහුදේ ඉන්නවා. ඉන්දීය මුහුදු සීමාවේ ඔවුන්ගේ ගහනය වැඩියි. ඒත් අම්මගේ ආශීර්වාදය නිසා කරදරයක් වුණේ නැහැ.
 
 අප මහ බෝධිසත්ත්වයන්ට බුද්ධත්වය ළඟා කරගනු පිණිස නියත විවරණ දුන්නේ ද අම්මාය. බෝධිසත්වයන් සිය මව කරේ තබාගෙන මුහුදේ පිනුවාය. රොෂාන්ගේ මවද ඔහුව මේ තත්ත්වයට ගෙන ඒමට ආශීර්වාද දුන්නාය. බොහෝ දුක් කම්කටොළු මධ්‍යයේ තම පුතු උස් මහත් කර ඇත්තේ පලා කොළ විකුණලාය. රෝල්ස්, කට්ලට්, ඉඳිආප්ප තම්බා විකුණලාය. රොෂාන්ගේ ඒ සුන්දර කතාව පිටුපස සුන්දර නැති එවැනි දේවල් ද නැත්තේම නොවේ. ඔහුගේ නිවස ද තවම නිමාවක් නොදුටු නිවසකි. රටට අභිමානයක් ගෙන දෙන්නට සමත් රොෂාන් නම් උදාර තරුණයා දෙස බලධාරීන්ගේ ඇස් මීට වඩා යොමු විය යුතුමයි. අබේසුන්දරගේ කතාව මීටත් වඩා සුන්දර වන්නේ එවිටයි.

swim2
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles