Divaina - සුද්දාට ඇති වාස්ට නැති බෝලය

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

vass
 
 කසුන් රණවීර
 
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කලින් කලට කතාබහට ලක්වන ආයතනයක් බවට දැන් දැන් පත්ව තිබේ. පසුගියදා කී‍්‍රඩකයින්ගේ විනය විරෝධි කි‍්‍රයාවක් සම්බන්ධයෙන් මාතෘකාවට බඳුන් වූ පරිපාලනය මේ වනවිට තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් සම්බන්ධයෙන් මාතෘකාවට බඳුන්ව තිබේ.
 
 ශී‍්‍ර ලංකා තේරීම් කමිටුවේ හිටපු සභාපති අසන්තා ද මෙල් මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මේ දක්වා තේරීම් කමිටුවක් පත් කිරීමට කී‍්‍රඩා සභාව හෝ කි‍්‍රකට් ආයතනය අපොහොසත් වී ඇති වකවානුවක කොදෙව් සංචාරය සඳහා ඉතිරි වූ තේරීම් කමිටු සාමාජිකයින් විසින් තෝරන ලද ශී‍්‍ර ලංකා සංචිතයක් පසුගියදා පිටත්ව ගියේය. මෙහිදී මෙම සංචාරයට පෙර ශී‍්‍ර ලංකා හිටපු වේගපන්දු පුහුණුකරු ඬේවිඞ් සේකර් ඉල්ලා අස්වීම හේතුවෙන් එම වගකීම ශී‍්‍ර ලංකා හිටපු වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ට පැවරීමට කි‍්‍රකට් ආයතනය පියවර ගත්තේය.
 
 එ් අනුව කොදෙව් සංචාරයේ වේග පන්දු පුහුණුකරු ලෙසින් වාස් පත් කෙරුණ ද ශී‍්‍ර ලංකා කණ්ඩායම කොදෙව් බාල පිටත්ව යෑමට පැය කිහිපයකට පෙර වාස් එම ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබිණි. එහිදී වාස්ගේ ඉවත්වීම බොහෝ දෙනා විමතිය දනවන කරුණක් වූ අතර ඇතැම් පාර්ශ්වයන්ගේ දෝෂාරෝපණයට ලක්වූ කරුණක් බවට පත් විය. වාස්ගේ ඉවත්වීම පිළිබඳ දැනුම්දීමත් සමගින් නිවේදනයක් නිකුත් කරමින් පෞද්ගලික් වාසි ඉල්ලා වාස් ඉන් ඉවත් වූ බව කියමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පළමුවෙන් ඇඟ බේරා ගත්තේය.
 
 චමින්ද වාස් ශී‍්‍ර ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස පත්කරන්නට මිකී ආතර් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෙත යෝජනා කර තිබුණේ මීට සති කිහිපයකට පෙර සිටය. එය එසේ තිබියදී ෂම්මි සිල්වා හෝ අදාළ පරිපාලනය මෙම යෝජනාවට ප‍්‍රතිචාර නොදන්වා සිටියේය. එහෙත් කොදෙව් සංචාරයට දින කිහිපයකට පෙර වාස්ට ශී‍්‍ර ලංකා පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට වාස්ට ආරාධනා කිරීමෙන් අනතුරුව වාස් තමන්ට කරන ගෙවීම් සම්බන්ධයෙන් කි‍්‍රකට් ආයතනයෙන් ඉල්ලීමක් කළේය. එහිදී වාස් සඳහන් කර තිබුණේ තමන් මේ වනවිටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පුහුණුකරුවකු ලෙසින් කටයුතු කළද එම වැටුපට ජාතික කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කළ නොහැකි බවත්ය. එම ඉල්ලීම අසාධාරණ ඉල්ලීමක් නොවන්නේ එහි සත්‍යතාවක් ඇති හෙයිනි. ඕනෑම රැකියාවක ධුරයට අනුව සම්මත වැටුප එම ධුරයට පත්වන පුද්ගලයාට ගෙවිය යුතුය. එහෙත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් එහිදී සිදු කළේ එම යෝජනාව ප‍්‍රතික්ෂේප කරමින් වාස්ගේ ඉල්ලීම දෝෂ දර්ශනයට ලක්කිරීමය. ඔවුන් දිගින් දිගටම කියා සිටියේ කොදෙව් සංචාරයට පැය කිහිපයකට කලින් මෙම තීරණය ගැනීම පිළිබඳ කනගාටුවක් බවය.
 
 කණ්ඩායම පිටත්ව යෑමට ඔන්න මෙන්න තිබියදී වාස් ඉවත්වීම වරදකි. එහෙත් වාස් එම ධුරයට පත් කළේද කණ්ඩායම පිටත්ව යෑමට දිනක් වැනි කාලයක් තිබියදීය. වාස් ශී‍්‍ර ලංක කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මීට මාස ගණනකට හෝ පෙර පත් කර තිබුණා නම් එ් අනුව වාස් කොදෙව් සංචාරයට පැය ගණනකට පෙර ඉවත්වූවා නම් වාස් ඇත්තටම කළේ වරදකි.
 
 පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ අදහස් දැක්වූ කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ චමින්ද වාස් මහතාගේ ඉවත් වීම සහ එම වැටුප් සම්බන්ධ ඉල්ලීම පිළිබඳ තමන් විවේචනය නොකරන බවත් එහෙත් මෙම සිදුවීම පිළිබඳ තමන් කනගාටු වන බවත් නාමල් අමාත්‍යවරයා කියා සිටියේය. ‘චමින්ද වාස් මහතාගේ සිදුවීම ගැන මම පෞද්ගලිකව කනගාටු වෙනවා. මොකද වාස් කියන්නේ ඉතාම දක්ෂ කී‍්‍රඩකයෙක්. එ් වගේම පුහුණුකරුවෙක්. එවැනි පුහුණුකරුවෙක් අහිමිවීම පිළිබඳව මම කනගාටු වෙනවා. කී‍්‍රඩකයෙක් හෝ පුහුණුකරුවෙක් තමන්ගේ ගිවිසුම පිළිබඳව සාකච්ඡා  කරන ක‍්‍රමවේදයක් තියෙනවා. ඔහු යම් කිසි මුදලකට කි‍්‍රකට් පාලක මණ්ඩලය සමගින් ගිවිසුම්ගත වෙලා තියෙනවා. එ් අනුව සංචාරයක් යද්දී සංචාරයට අදාළ මුදලක් ගෙවීමක් සිදු වෙනවා. මේ සංචාරය සඳහා චමින්ද වාස් මහතාට ලක්ෂ හතහමාරක මුදලක් ගෙවන්න පොරොන්දු වෙලා තියෙනවා. කි‍්‍රකට් මණ්ඩලයේ ගිවිසුමට අනුව අමතර සංචාරක ගාස්තුවක් තියෙනවා. එ් ගාස්තුවට අමතරව තමයි මේ ලක්ෂ හතහමාර ගෙවන්න පොරොන්දු වුණේ. හැබැයි චමින්ද වාස් මහතා මෙම ලක්ෂ හතහමාර ගන්න එකඟ වෙලා නැහැ’ යැයි එහිදී අමාත්‍යවරයා කියා සිටියේය.
 
 ශී‍්‍ර ලංකාවේ පිතිකරු පුහුණුකරුවා වශයෙන් කටයුතු කරන ග‍්‍රාන්ට් ෆ්ලවර් හට මාසිකව ඇමරිකන් ඩොලර් 10000ක මුදලක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෙතින් ගෙවනු ලබයි. හිටපු වේගපන්දු පුහුණුකරු ඬේවිඞ් සේකර් හට ඇමරිකන් ඩොලර් 15000ක් ගෙවා තිබේ. මීට අමතරව මිකී ආතර් හට මාසිකව ඇමරිකන් ඩොලර් 25000ක් ගෙවනු ලබයි. ඉදිරියේදී කි‍්‍රකට් අධ්‍යක්ෂ ධුරය සඳහා බඳවා ගැනීමට නියමිත හිටපු පුහුණුකරු ටොම් මූඩිට මාසිකව ඇමරිකන් ඩොලර් 30000ක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ගෙවීම් සිදු කරනු ලබන අවධියක වාස් වෙනුවන් සාධාරණ මුදලක් ගෙවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රතික්ෂේප කර තිබේ. එ් අනුව ශී‍්‍ර ලංකා පන්දු යැවීමේ පුහුණුකරුට හිමි වී ඇති වැටුප එම තනතුරට පත්වන පුද්ගලයාට ගෙවීම සිදු කළ යුතු වේ. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කියා සිටින්නේ අපූරු කතාවකි. ලොව පුරා රටවල් සහ ක්‍ෂේත‍්‍ර මේ වනවිට මුහුණ දී ඇති ආර්ථික ගැටලූ සහගත වාතාවරණයක් තුළ කිසිසේත්ම පිළිගත නොහැකි අයුරින් සිය පෞද්ගලික වාසි බලාපොරොත්තුවෙන් සිදු කළ වාස්ගේ ඉල්ලීම අසාධාරණ බව එහිදී ඔවුන් කියා සිටී. ඇත්තකි. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ සෑම රටක්ම ආර්ථික පසුබෑමකට ලක් වී තිබේ. එහෙත් යම් කිසි හේතුවක් මත ඬේවිඞ් සේකර් වේගපන්දු පුහුණුකරු ධුරයේ දිගටම රැඳුනා නම් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මේ දුක්ගැනවිල්ල ඔහුටත් කියනවාදැයි අපි අසන්නෙමු. වාස් ඉල්ලා තිබුණේ ඬේවිඞ් සේකර්ට ගෙවූ ගාණට අඩකටත් වඩා අඩු වැටුපකි. එ් ඇමරිකන් ඩොලර් 8000කි. එසේ නම් එම මුදල ගෙවීමටවත් අපොහොසත් වෙන තරමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිරිහිලාදැයි දැන් සොයා බැලිය යුතුව තිබේ.
 
 ‘ගිවිසුම් ප‍්‍රකාරව චමින්ද වාස් මහතා මේ වනවිටත් පුහුණුකරු ගිවිසුමක ඉන්නවා. එ් හින්දා ගිවිසුම් ප‍්‍රකාරව වැඩිපුර ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නැහැ. සංචාරයකට පිටත්වෙන්න පැය 3කට කලින් ඇවිල්ලා මට මේක දුන්නේ නැත්නම් යන්නේ නැහැ කියලා ඩිමාන්ඞ් එක දැම්මොත් හෙට අනෙක් පුහුණුකරුවොත් එ් දේ කරයි. හෙට කි‍්‍රකට් කී‍්‍රඩකයෝ එ් විදිහට කරන්න ගියොත් අපි කොහොමද මේ කාරණයට මුහුණ දෙන්නේ. කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සහ කී‍්‍රඩකයන්ගේ වගේම පුහුණුකරුවන්ගෙත් විනය හැදෙන්න ඕනේ. ගෙවීම් පිළිබඳ මෙතන ගැටලූවක් නැහැ. එතුමා බටහිර ඉන්දීය සංචාරය හොඳට කළාට පස්සේ අපේ කි‍්‍රකට් කමිටුවේ අදහසක් තිබුණා දීර්ඝකාලීනව ගිවිසුමකට ගේන්න. අන්න එ් දීර්ඝ කාලීන ගිවිසුමට ගේනකොට මේ කාරණය එතුමා සාකච්ඡා  කළා නම් අපිට සලකා බලන්න තිබුණා’ මේ කී‍්‍රඩා ඇමැතිවරයා එදා පාර්ලිමේන්තුවේදී වාස්ගේ ඉල්ලීමට කි‍්‍රකට් ආයතනය දැක්වූ ප‍්‍රතිචාරය සාධාරණීය කළ ආකාරයයි.
 
 චමින්ද වාස් යනු විනයක් නැති කී‍්‍රඩකයෙක් යැයි අපි කෙදිනකවත් අසා තිබුණේ නැත. දශකයකට වැඩි කාලයක් ශී‍්‍ර ලංකා ආරම්භක පන්දු යවන්නා වශයෙන් කටයුතු කළ වාස් කවදාවත් එම කාලය තුළ තරග තහනමකට ලක්වී නොමැත. වාස් රාති‍්‍ර සමාජ ශාලා තුළ මත්පැන් බිව් බවට හෝ තරුණියන් ඇසුරු කළ බවට හෝ වාර්තා වී ද නොමැත. එසේ නම් මේ කියනා ලෙසට කරනා සේවයට සරිලන වැටුපක් ඉල්ලීම විනය විරෝධි කි‍්‍රයාවක් දැයි අප නොදන්නෙමු. එහෙත් වාස් ගැන නොදන්නා අයට වාස් යනු කවුදැයි මතක්කර දීම අපගේ යුතුකමකි.
 
 චමින්ද වාස් ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම පළමුවරට නියෝජනය කරන්නේ 1994 පෙබරවාර මස 15 වැනිදා ඉන්දියාවට එරෙහිවය. එතැන් පටන් වසර 14ක් ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ වාස් 2008 වසරේදී එක්දින පිටියෙන් සමුගන්නා විට තරග 322කදී කඩුලූ 400ක් දවා ගැනීමට සමත් විය. එ් අනුව මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එක්දින කඩුලූ 400ක් ලබා ගත් දෙවැනි පන්දු යවන්නා බවට වාස් පත්ව තිබේ. වාස්ගේ හොඳම එක්දින පන්දු යැවීම වාර්තා වන්නේ 2001දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය. ශී‍්‍ර ලංකාවේ පැවැති එම තරගයේදී වාස් පන්දුවාර 8ක් කි‍්‍රයාත්මක කරමින් මුලූ ලකුණු 19කදී කඩුලූ 8ක් බිඳ දැමීය. මීට අමතරව දකුණු අපි‍්‍රකාවේ පැවැති 2003 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 25කට කඩුලූ 6ක් දවා ගැනීමට වාස් සමත් විය. එම තරගයේදී බංග්ලාදේශ ඉනිමේ පළමු පන්දුවාරයේ පළමු පන්දු 3දී කඩුලූ ති‍්‍රත්වයක් ලබා ගැනීමට වාස් සමත් වූ අතර එය පන්දු යවන්නෙකු විසින් ටෙස්ට් සහ එක්දින පිටියේ පළමු පන්දුවාරයේ පළමු පන්දු 3දී කඩුලූ ති‍්‍රත්වයක් ලබා ගත් පළමු අවස්ථාව ලෙසින් සටහන් විය.
 
 ජාත්‍යන්තර ටෙස්ට් තරග 111කට කී‍්‍රඩා කළ වාස් එහිදී කඩුලූ 355ක් දවා ගැනීමට සමත්වී තිබේ. පිතිකරුවෙකු ලෙසින් එක් ශතකයක් සහ අර්ධ ශතක 13ක් වාර්තා කිරීමට ද එහිදී වාස් සමත් විය. ටෙස්ට් තරගයකදී කඩුලූ 10ක් දවා ගැනීමට මේ දක්වා සමත් වී ඇති එකම ශී‍්‍ර ලංකා වේගපන්දු යවන්නා චමින්ද වාස්ය. එහිදී වාස් 1995දී නවසීලන්තයට එරෙහිව ඉනිම් දෙකකදී කඩුලූ 10ක් සහ 2001දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඉනිම් දෙකකදී කඩුලූ 14ක් දවා ගැනීමට සමත්ව තිබේ.
 
 මේ වාස්ගේ දස්කම් අතරින් ඉතාම ස්වල්පයකි. කොහොමත් අතීතයේ සිටම ශී‍්‍ර ලාංකීය දක්ෂයින්ගේ අගය ශී‍්‍ර ලංකාවේ මිනිස්සුනට දැනුනේ නැත. ඉතිහාසයේ මේ රට පරදේශක්කාරයින්ට යටත් වූයේද මෙවැනි වූ කාරණා නිසාවෙනි. වර්තමානයේද එහි වෙනසක් නොවේ. වාස් සුද්දකු වුණානම් ඩොලර් මල්ලක් දී ශී‍්‍ර ලංකා පුහුණුකරු ධුරයට බඳවා ගැනීමට ඇතැම්විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනය තීරණය කරනු ඇත. එහෙත් වාස් ශී‍්‍ර ලාංකිකයෙකි. හම කලූ ශී‍්‍ර ලාංකිකයෙකි. ඔහු දේශානුරාගයෙන් කකියන සිංහ ලෙයින් අඩු වැටුපට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෙනුවෙන් වැඩි වැඩ කළ යුතු යැයි ඇතැමුන් සිතන්නේ මේ නිසාය. කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් වලින් හැමදාම තැවුණේ දැවුනේ අහක සිටින මිනිසුන්ය. අවසානයේ මෙම සිදුවීමෙන් වුණේ ශී‍්‍ර ලංකා කණ්ඩායම වේග පන්දු පුහුණුකරුවකු නොමැතිව කොදෙව් සංචාරයට පිටත්වීම පමණකි.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles