Divaina - එල්.පී.එල්. වලට කොකා පෙන්නූ මාලිංග ක‍්‍රිකට් පිටිය හැර යයිද?

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 sp
 
අසේල විතාන
 
ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටිය කෝවිඞ් 19 වෛරසය අස්සේ යාන්තම් හිස ඔසවමින් තිබේ. නමුත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩකයන්ට පසුගිය මාස නවයකට ආසන්න කාලයේදී කිසිදු තරගයක් නොලැබුණි. ඔවුන් ඉව අල්ලමින් සිටියේ එල්. පී. එල්. තරගාවලිය ක‍්‍රීඩා කරමින් යළිත් ක‍්‍රිකට් පිටියේ පදම් වීමටය. නමුත් විස්සයි විස්සේ තරු කිහිපයක් එල්. පී. එල්. නැමැති වේදිකාවෙන් බැස යෑමෙන් තරගාවලියේ උත්තේජනය පහව ගිය ද තරගාවලිය සුපුරුදු පරිදි ක‍්‍රියාත්මක වීමට සැලසුම් කර ඇත.
 
 එල්. පී. එල්. තරගාවලිය පවත්වන්නට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මහත් උනන්දුවෙන් කටයුතු කළ බව සැබෑය. ඔවුන් සෞඛ්‍ය අංශ සහ ක‍්‍රීඩා ඇමැතිවරයා සමග දිගින් දිගට ම සාකච්ඡා කරමින් තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩකයන්ගේ නිරෝධායන කාලය දින හත දක්වා අඩු කරගත්තේය. නමුත් මීට මාස දෙකකට පෙර බංග්ලාදේශ කණ්ඩායම මෙරටදී ටෙස්ට් තරග දෙකක් ක‍්‍රීඩා කිරීමට නියමිතව තිබුණි. එහිදී ඔවුන් දින හතක නිරෝධායනයක් ඉල්ලූව ද ඒ සම්බන්ධව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ රජයෙන් කිසිදු සමාවක් නොලැබුණි. අවසානයේ දින 14ක කාලය ප‍්‍රතික්ෂේප කරමින් බංග්ලාදේශය තරගාවලිය කල් දැම්මේය. එම ටෙස්ට් තරගාවලිය ලෝක ශූරතාවලියට අයත් තරග දෙකකි. නමුත් එල්. පී. එල්. උනන්දුව සෑම තරගාවලියකට ම තිබිය යුතු බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයත්, ක‍්‍රීඩා ඇමැති සහ සෞඛ්‍ය අංශ ද තේරුම්ගත යුතුය. හැදි කිහිපයකින් බෙදීමේ කලාව ක‍්‍රීඩාවට අදාළම නැත. ක‍්‍රීඩා ඇමැතිවරයා ද ඒ බව වටහාගත යුතු යැයි අපි මතක් කර සිටිමු.
 
 කෙසේ වෙතත් මේ කතාව එල්. පී. එල්. ය. එල්. පී. එල්. වල පඩි ලැබෙන්නේ කාටද යන්න අපි ඉදිරියේදී සඳහන් කර සිටිමු. එහි දැන්වීම් ‘මාර්කට්’ කිරීම ද ප‍්‍රසිද්ධ ගායක ජෝඩුවකගේ ආයතනයකට ලැබී තිබේ. කොන්ත‍්‍රාත්තු කතා දැන්ම හොඳ නැති බැවින් තරගාවලියට සහභාගි වීමට සිටි සුපිරි තරු ලිස්සා යෑමේ කතාව කාලෝචිත බැවින් ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත්ම සාධකයකි.
 
 ‘‘තරගාවලියක් පවත්වනවානම් හරි විදිහට වෙන්න ඕන. එහෙම නැතිව ගහන්නම් වාලේ ගහලා වැඩක් නැහැ. අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නෙ කියලා. ’’ යනුවෙන් එල්. පී. එල්. වලින් ඉවත් වූ සුපිරි තරුවක් ‘දිවයින’ හමුවේ පැවසීය. ඔහුගේ මතය අනුව තවත් ක‍්‍රීඩයන් කිහිපදෙනෙකුම එල්. පී. එල්. සැලැස්ම විවේචනය කළ ද ක‍්‍රිකට් ආයතන සමඟ ඇති ගිවිසුම සහ ක‍්‍රිකට් තරග අහේනිය හේතුවෙන් අදාළ ක‍්‍රීඩකයන් තරගාවලිය ක‍්‍රීඩා කිරීමට එකඟ වී තිබේ.
 
 එල්. පී. එල්. වැනි ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් අවශ්‍ය බවට බොහෝ කලක සිට මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ මැසිවිලි නැ`ගූහ. ඊට හේතුව පසුගිය වසර කිහිපයේදී විදේශීය ප‍්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක‍්‍රිකට් තරගවලට ශ‍්‍රී ලංකාවෙන් සහභාගි වීමට වරම් ලැබුවේ ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ ඉසුරු උදාන පමණි. බංග්ලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියට ඉකුත් වසරේදී දසුන් ශානක, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ වැනි ක‍්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබුණි. විස්සයි විස්ස ලෝක කුසලාන ලබන වසරේ අග දක්වා කල් ගොස් ඇති වකවානුව ඒ වෙනුවෙන් කෙසේ හෝ තරගාවලියක් පැවැත්වීම ආධුනිකයන්ට නම් හොඳ ඉල්ලූමකි. නමුත් මාලිංගලා නැති ප‍්‍රිමියර් ලීගයක් ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම බොහෝ දෙනකුගේ මාර්තෘකාවට බඳුන්ව තිබේ.
 
 ඉකුත් වසරේදී අයි. පී. එල්. තරගාවලිය ක‍්‍රීඩා කරන අතරවාරයේ දේශීය විස්සයි විස්ස තරගාවලියට සහභාගි වීමට ද මාලිංග සමත් විය. ඒ අයි. පී. එල්. තරගාවලියක් අවසානයේ යළිත් ශ‍්‍රී ලංකාවට පැමිණ පැය කිහිපයකින් පසුව දේශීය පළාත් විස්සයි විස්ස තරගාවලියට සහභාගි වූ ඔහු අමුතුම වැඩ කළ හැකි ක‍්‍රීඩකයකු බවට ඔප්පු කළේය.
 
 ලසිත් මාලිංග එල්. පී. එල්. ක‍්‍රීඩා නොකරන බව පැවසුවේ තරගාවලිය ආරම්භ වීමට සතියක් තිබියදීය. ඔහු ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වයට පත්කිරීමට ද සැලසුමක් තිබුණි. සහිඞ් අෆ්රීඩි ද එම කණ්ඩායමට නම් කර ඇත. නමුත් හදිසියේම ශ‍්‍රී ලංකා විස්සයි විස්ස නායකයා එල්. පී. එල්. ගහන්න බැහැ කිව්වේ කුකුස දනවන ප‍්‍රශ්නයක් සඟවාගෙන බවනම් සැබෑය. නමුත් ඔහු එල්. පී. එල්. නොගසන බව සඳහන් කරන්නේ පුහුණුවක් නැති හෙයිනි. පසුගිය මාස අටක කාලයේදී මාලිංග කිසිදු පුහුණුවක් නොකර සිටියේය.
 
 ‘‘පුහුණුවීම් කරන්න අවස්ථාවක් තිබුණෙ නැහැනේ. කෝවිඞ් 19 හේතුවෙන් රට වහලා තිබුණෙ. මම මේ වසර මුලදී බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් පසුව කිසිම ක‍්‍රිකට් ක‍්‍රීඩාවක් කරලා නැහැ. මට කිසිම පුහුණුවක් ලැබුණෙත් නැහැ. පසුගිය මාසයේ මේ තරගාවලියේ කෙටුම්පත සිදුවුණ වෙලාවේ මම හිතුවා සති තුනකවත් පුහුණුවක් ලැබෙයි කියලා. නමුත් කිසිවක් සිදුවුණේ නැහැ. මේ සතියේදී හම්බන්තොට පැමිණ නිරෝධායනය වෙන්න විතරයි තිබුණේ. පුහුණුවක් නැතිව ඉහළ මට්ටමක ක‍්‍රීඩා කරන්න පන්දු යවන්නකුට පහසු නැහැ. එල්. පී. එල්. තරගාවලියේ එක දිගට තරග තියෙනවා. ඒ නිසා මම තීරණය කළා ක‍්‍රීඩා නොකරන්න. ’’ යැයි මාලිංග පවසයි.
 
 කෙසේ වෙතත් මාලිංග පුහුණුවක් නොලැබුණු බව පැවසුව ද ඉකුත් අගෝස්තු මාසයේ සිට අවස්ථා තුනකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම කොටස් වශයෙන් පුහුණුවීම් කර තිබේ. පල්ලෙකැලේ සහ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණවලදී එම පුහුණුව කළ අතර පසුගියදා යළිත් වතාවක් පල්ලෙකැලේදී ජාතික කණ්ඩායම පුහුණුවීම් කරනු ලැබිණි. එහිදී ලසිත් මාලිංගට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හෝ පුහුණුකරුවා ආරාධනා කර නොමැතිද යන්න අපි නොදනිමු. ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් මීට පෙර පවසා සිටියේ කොරෝනා තිබුණ ද සියලූම කී‍්‍රඩකයන් වට්ස්අප් ඔස්සේ සම්බන්ධ කරමින් නිවසේ සිට කළ හැකි පුහුණුවීම් සහ ව්‍යායාම සම්බන්ධව ක‍්‍රියා කළ බවයි. එහෙත් ලසිත් මාලිංගට ඒ කිසිවකට සම්බන්ධවීමට නොහැකි වීම දන්නේ ඔහු හෝ අදාළ බලධාරින් පමණි.
 
 එල්. පී. එල්. තරගාවලියේ ප‍්‍රධාන සංවිධායකයන් වන ඩුබායි හී අයි. පී. ජී. ආයතනය විසින් මීට පෙර සංවිධානය කරන තරගාවලි කිහිපයක මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් ක්‍ෂේත‍්‍රයේ කතා බහක් ඇතිව තිබේ. මීට පෙර ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩයන්ගේ සංගමය විසින් ද ඒ බව සඳහන් කර තිබුණි. ඒ අනුව ඇතැම් ක‍්‍රීඩකයන් මුදල් නොලැබේයැයි වූ අවිශ්වාසයෙන් තරගාවලියෙන් ඉවත් වන්නට තීරණය කළ ද එහි වරදක් නැත.
 
 විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් ක‍්‍රීඩා කරන සුපිරි තරු අයි. පී. එල්. වැනි තරගාවලියකදී රුපියල් කෝටි දහයකට වැඩි මුදලකට අළවි වේ. අවම වශයේ රුපියල් කෝටි දෙක තුනක්වත් නැතිව ඇතැම් ක‍්‍රීඩයන් තරගවලට සහභාගී වන්නේ නැත. ලසිත් මාලිංගලා හෝ ක‍්‍රිස් ගේල්ලා අයි. පී. එල්. වැනි ලොව පුරා ප‍්‍රිමියර් ලීග් තරග ක‍්‍රීඩා කරමින් උපයා ඇති මුදල් රුපියල් කෝටි 100 ක් ඉක්මවා ඇතැයි යමකුට සිතිය හැකිය. ඒ තරමට අදාළ තරගාවලිවලදී මුදල් ලැබෙන බැවින් ඕනෑම පේ‍්‍රක්ෂකයකු ක‍්‍රීඩකයාගේ වටිනාකම සහ ජනප‍්‍රියතාව මත අදාළ මුදල් ලැබෙන්නට ඇතැයි විශ්වාස කිරීම ද වරදක් නොමැත.
 
 ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක එල්. පී. එල්. තරගාවලියේ සංවිධානය කිරීම, කණ්ඩායම් විකිණීම, විකාශන අයිතිය විකිණීම ආදී සියලූ කටයුතු අයි. පී. ජී. ආයතනය විසින් සිදුකරන අතර ඔවුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට පළමු වසර දෙක සඳහා වාර්ෂිකව ඇ. ඩො. 1,920. 000 ක්ද අනතුරුව සෑම වසරකදීම අදාළ මුදල 10% කින් වැඩිවන ආකාරයෙන් වසර පහක කොන්ත‍්‍රාත්තුව අත්සන් කර තිබේ. නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ක‍්‍රීඩාංගණ, නවාතැන් සහ විදුලි ආලෝක ලබා දිය යුතුය.
 
 සාමාන්‍යයෙන් මෙවැනි තරගාවලියකදී අත්සන් කරන කොන්ත‍්‍රාත්තුව මත ගෙවිය යුතු මුළු මුදලින් 60% ක් පළමු තරගය සහභාගි වීමට පෙර ගෙවිය යුතුව ඇත. නමුත් බොහෝ ක‍්‍රීඩකයන්ට එම මුදල මෙතෙක් ලැබී නොමැත. විශේෂයෙන් ලසිත් මාලිංග ඉවත්වීමට තීරණය කරනවිටත් එම මුදල ඔහුට ලැබී නොමැත. අදාළ තරාවලියේදී ක‍්‍රීඩයන්ගේ දක්ෂතාව අනුව ඇ. ඩො. 60000 සිට ඇ. ඩො. 10000ක් දක්වා ගෙවීම් කිරීමට සංවිධායකයන් තීරණය කර තිබේ.
 
 එල්. පී. එල්. තරගාවලිය විවේචන මධ්‍යයේ හෝ පැවැත්වීම එක් අතකින් විශිෂ්ට උත්සහයක ප‍්‍රතිඵලයකි. නමුත් එය හොරු සමග හෙළුවෙන්නම් එම උත්සහයද ගඟට කැපූ ඉනිමෙන් වැළලී යනු ඇත. තරගාවලියේ අවසන් වෙද්දී ඒ ගැන තවත් බොහෝ තතු හෙළි වීමට පුළුවන. නමුත් එල්. පී. එල්. තරගාවලිය ඉලක්ක කරමින් පුහුණුවීම් අරඹන්නේ තරගාවලිය ආරම්භ වීමට දින තුනකට පෙරය. එබැවින් මේ සියල්ල කඩිමුඩියේ සිදුවීම ද එක්තරා ඛේදවාචකයකි.
 
 කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා විස්සයි විස්ස නායකයාවන ලසිත් මාලිංග මේ වනවිට 37 වැනිවිය පසුකරමින් සිටියි. ඔහු ඉකුත් වසරේ පවසා සිටියේ 2023 වසර දක්වා විස්සයි විස්ස තරග ක‍්‍රීඩා කරන බවය. නමුත් මෙවැනි තීන්දු තීරණ ගැනීම සහ කෝවිඞ් 19 කාලයේදී කිසිම පුහුණුවක් නොකර සිටීමෙන් මාලිංග ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගෙන යනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ ඉදිරි මාස කිහිපයේදී ද ශ‍්‍රී ලංකාවට විස්සයි විස්ස තරග නොමැති බැවිනි. 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles