Divaina - ප‍්‍රභාකරන්ටත් නැති ‘ඇම්මක්’ තමිල්නාඩුවෙන් ඇවිත් මුරලි 800 චිත‍්‍රපටයට දෙහි කපයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 

murali
 
 අසේල විතාන
 
 
ක‍්‍රීඩාවට ආගමක්, දේශපාලනයක්, ජාතියක්, කුල බේදයක් අදාළම නැත. නමුත් උඩු බුරන බල්ලන් මෙන් හිස් ඔළු ගෙඩි ඇති ඇතැම් පිරිස් ක‍්‍රීඩාව නැමැති රසවින්දනය බේද භින්න කිරීමට පෙළඹෙන්නේ දේශපාලන මඩගොහොරුව විසින් ඔවුන්ගේ මොළ කා දමා ඇති බැවිනි. තමිල්නාඩුවේ දේශපාලන හිඟන්නන් විසින් විකෘති කරන ලද ඔවුන්ගේ ඡන්ද දායකයන් ශ‍්‍රී ලංකාවට ඔරවනවා මදිවට මුත්තයියා මුරලිදරන් නමැති අපූරු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාටද දැන් දත නියවන්නට පටන්ගෙන තිබේ.
 
 තමින්නාඩුවේ ජීවත්වන බහුතරයක් දෙමළ වැසියෝය. ශ‍්‍රී ලංකාවේ තිස් වසරක ශාප ලත් යුද්ධය නැවතීමෙන් ඔවුන් ශ‍්‍රී ලංකාවට වෛර කරති. ශ‍්‍රී ලංකාවේ සිටින දෙමළ වැසියන්ටද වෛර කරති. යුද්ධ කරපු කරුණා අම්මන්ලාටද වෛර කරති. අගක් මුලක් නොදන්නා තමිල්නාඩු වැසියන් මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව රැගත් ‘මුත්තයියා මුරලිදරන් 800’ නමැති චිත‍්‍රපටය වෙනුවෙන් විරෝධය පාන්නට ඉදිරිපත්ව තිබේ. නමුත් පිස්සන් කෑගැසුවාට දොස්තර කලබල නැත. එබැවින් අදාළ චිත‍්‍රපටය 2021 වසරේ සිට රූගත කිරීම් ආරම්භ වන්නේ ඒ නිසාය.
 
 අතීතයේදී ශ‍්‍රී ලංකා රජය විසින් දෙමළ ජනතාවට අමානුෂික ක‍්‍රියාවන් සිදුකර ඇතැයි චිත‍්‍රපටයේ ප‍්‍රධාන නළුවාට ඔහුගේ රසිකයන් විසින්ම චෝදනා කර සිටියි. ‘‘විජය සේතුපති නළුවෙකු ලෙස සැමවිටම අගය කර ඇත. නමුත් දැන් ඔහු කෙරෙහි මා තැබූ ගෞරවය නැතිව ගොස්. රාජපක්ෂට විවෘතව සහයෝගය දුන් ද්‍රෝහියකුගේ ජීවිත ඉතිහාසය සැකසීම ඒකට හේතුවයි.’’ යැයි එක් රසිකයකු විජයට චෝදනා කර සිටියි.
 
 තවත් චෝදනාවක දැක්වෙන්නේ, ‘‘සිංහල රජය විසින් ඊළාම් දෙමළ ජනයා ලක්ෂ 2 ක් සමූල ඝාතනය කර ඇත. විජය සේතුපතිට මෙම වේදනාව දැනෙන්නේ නෑ. සේතුපතිව හෙළා දකිමි.’’ යනුවෙනි. තවත් අයෙක් සටහනක් තබා ඇත්තේ, ‘‘මුරලි දෙමළ ජාතිකයෙක්. නමුත් ඔහු නියෝජනය කරන්නේ ශ‍්‍රී ලංකාව. අපේ රටේ ක‍්‍රිකට් පුරාවෘත රාශියක් තිබෙනවා. එසේනම් ඇයි ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයාව චරිතාපදානයකට තෝරගත්තේ.’’ යනුවෙනි.
 
 මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව දන්නෝ දනිති. ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විදුහලෙන් අධ්‍යාපනය ලබා ලෝක පූජිත කි‍්‍රකට් ක‍්‍රීඩකයකු බවට පත්වූයේ ටෙස්ට් ලොව වැඩිම කඩුලූ ලාභියා (800) සහ එක්දින ලොව වැඩිම කඩුලූ ලාභියා (534) යන වාර්තා දෙකම තමන් සතු කරගනිමිනි. බාධක කම්කොටලූ මැදින් ජීවිතය ජය ගත් මුරලිගේ කතාව චිත‍්‍රපටයක් බඳුය. එය ඇත්තටම සිනමාවට නැගිය යුතුම ජීවිත කතාවකි. සචින් ටෙන්ඩුල්කාර්, මහේන්ද්‍ර සිං දෝනි යන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ චිත‍්‍රපටද ඉන්දියාවේ සිනමාවට නැ`ගුණි. නමුත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩකයකුගේ ජීවිත කතාව සිනමාවට නැගෙන මෙම අවස්ථාව ශ‍්‍රී ලංකාවටම අභිමානයකි. නමුත් ප‍්‍රභාකරන් නමැති නරුමයාට නොතිබූ කැසිල්ලක් මුරලිගේ චිත‍්‍රපටය වෙනුවෙන් තමිල්නාඩු ජනතාවට කාන්දු වී තිබීම පුදුමයකි.
 
murali2එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් ඇතුළු පිරිස්ද 1996 ලෝක කුසලාන නරඹා ප‍්‍රීති වී තිබේ. යුද්ධය තිබුණද ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් නැවතුණේ නැත. ක‍්‍රීඩාවට කිසිම දිනක එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාර එල්ල වූයේද නැත. මුරලි දෙමළ ජාතිකයකු කියා ඔහුට ක‍්‍රිකට් එපා කළේ නැත. මනුෂ්‍යයෝ සෑම දෙනාම සමානය යන තේමාව යටතේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගොඩනැ`ගී තිබේ. ඩැරල් හෙයාර් මුරලිගේ ක‍්‍රිකට් දිවිය නවතන්නට වෙර දැරුවේය. ‘‘අයියේ මට ක‍්‍රිකට් එපා. මම ගෙදර යනවා. මම හින්දා ඔයගොල්ලන්ටත් කරදර.’’ යැයි මුරලි ඩැරල් හෙයාගේ නිපන්දුවේ ප‍්‍රශ්නයේදී අර්ජුනට කීවේය. නමුත් අර්ජුන ඇතුළු පිරිස මුරලිව රැක ගනිමින් ලෝකයේ විශිෂ්ටතම දඟයා කිරීමට සමත්වීම මුරලිගේ චිත‍්‍රපටයේ වටිනාම දර්ශනය වනු ඇත.
 
 එම්.එස්. ශ‍්‍රීපති සමග මෙම චිත‍්‍රපටය සම රචනා කර ඇත්තේ 2012 පොදුරාජ්‍ය මණ්ඩලීය පොත් ත්‍යාගය දිනා ගත් නවකතාකරුවකු වන ෂෙහාන් කරුණාතිලකය. ඔහු විසින් රචිත ‘චයිනමන් ද ලෙජන්ඞ් ඔෆ් ප‍්‍රදීප් මැතිව්ස්’ යන නවකතාවට එම සම්මානය හිමිව තිබේ. කුඩා කාලයේදී වේග පන්දු යවන්නකු වූ මුරලි දඟ පන්දු යවන්නකු වශයෙන් පරිණාමය වූ අයුරුත්, මුරලිදරන්ගේ කුඩා කල ජීවිතය, එල්.ටී.ටී. ත‍්‍රස්තවාදය හේතුවෙන් සහ ශ‍්‍රී ලංකාවේ භීෂණ සමයේදී ඔහු ලද අත්දැකීම්, ඩැරල් හෙයාර්ගේ නිපන්දුව, 2009.03.03 ලාහෝර් නුවරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය ඇතුළු සිද්ධීන් ද අදාළ චිත‍්‍රපටයට ඇතුළත්ව තිබේ.
 
 මුරලිගේ කතාව රංගනයට නංවන්නේ ජනප‍්‍රිය ඉන්දියානු නළුවකු වන විජේ සේතුපති තමිල්නාඩුවට ජාති ද්‍රෝහියකු වී තිබේ. ‘‘අපට පෙනෙන්නේ ඔහුගේ අතෙන් පන්දුව කැරකෙනවා පමණි. මුත්තයියා පන්දු යවන හැටි බොහෝ දෙනා දන්නවා. නමුත් ඔහුගේ චරිතයට පණ පොවන්න මට අවශ්‍යයි. අප සෑම කෙනෙකුටම විවිධ අභියෝග හමුවේ සටන් කිරීමට සිදුවෙනවා. නමුත් මුරලි අප බොහෝ දෙනාට වඩා සටන් වලට මුහුණ දුන් කෙනෙක්. ඔහු මුද්දරයක් හා සමානයි. මුරලි ආකර්ශනීය චරිතයක් වගේම පෞරෂයක් තියෙන කෙනෙක්. ඔහුගේ සැබෑ ජීවිතයේ පෞර්ෂයට මා කැමතියි. ඔහු පිටියේ දැක තිබුණත් ඉන් පිටතත් සුන්දර මිනිහෙක්. මේ චරිතය මට නම්බුවක්.’’ යැයි විජේ සේතුපති පවසයි.
 
 චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සම්බන්ධව ඞී.ඒ.ආර්. ශ‍්‍රීපති පවසන්නේ මෙවැනි කතාවකි. ‘‘ඔවුන් මගෙන් චිත‍්‍රපටය සෑදීම සම්බන්ධව කතා කරන්න ආපු වෙලාවේ මම හා කියපු එකම හේතුව තමයි ක‍්‍රිකට් පිටියේ බොහෝ වාර්තා බිඳ දැමූ අයෙකු පමණක් මිනිසුන් දැන සිටීමයි. නමුත් ඔවුන් දැනගත යුතුයි මුත්තයියා මුරලිදරන් යනු විවිධත්වයෙන් යුත් පුද්ගලයෙක් බව.’’
 
 මුරලිගේ බිරිඳ වශයෙන් රඟපාන රාජීෂා විජයන් මෙම සිනමාපටයට දායක වීම සම්බන්ධව පවසන්නේ, ‘‘චිත‍්‍රපටයට මා ආකර්ෂණය වූයේ මෙය තවත් ක‍්‍රීඩා චරිතාපදානයක් නොවීමයි. මුරලිගේ ජීවිතයේ රසවත් පැතිකඩ බොහොමයක් තියෙනවා.’’ යනුවෙනි.
 
 මුරලි වෙනුවෙන් ජාත්‍යන්තර සිනමාවට එන ඔහුගේ ජීවිත කතාව ඇතුළත් චිත‍්‍රපටය දෙමළ භාෂාවෙන් එළිදක්වනු ලබයි. නමුත් ඉංග‍්‍රීසි උපසිරැසි සමග ඉදිරිපත් කරන මෙම චිත‍්‍රපටය තෙළිඟු, මලයාලම්, හින්දි, බෙංගාලි සහ සිංහල භාෂාවලින්ද පරිවර්තනය වනු ඇත. ලබන 2021 වසරේ ජනවාරි මාසයේ සිට මෙහි රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත අතර එම රූගත කිරීම් ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාවේදී සිදුකිරීමට නියමිතව තිබේ.
 
 1992 වසරේ කොළඹ පී.සරා ඕවල් ක‍්‍රීඩාංගණයේදී ටෙස්ට් වරම් ලැබූ මුත්තයියා මුරලිදරන් සිය කඩුලූ දඩයම ආරම්භ කළේ ඔස්ටේ‍්‍රලියාවේ ක්‍රෙග් මැක්ඩොමට්ගේ කඩුල්ල දවා ගනිමිනි. සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ 800 වැනි කඩුල්ල මුරලිදරන් දවා ගනු ලැබුවේ ඒ වාර්තාව ඔහුගේ නමට ලියවී තිබූ නිසාවෙනි.
 
 ටෙස්ට් ක‍්‍රීඩාවෙන් සමුගැනීමට මුරලි තීරණය කරන විට කඩුලූ 800 ට ඔහුට තවත් කඩුලූ අටක් අවශ්‍යව තිබුණි. ඉන්දියාව සමග පැවැති එම තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී එක් තරගයක් කඩුලූ අටක් දවා ගෙන සමුගන්නට මුරලි තීරණය කළේ වාර්තාව ඇතත් නැතත් අභියෝගය ජය ගැනීමට තමා සමතෙකු බව පෙන්වමිනි. නමුත් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැති මුරලිගේ අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ඔහුට ලබාගත හැකි වූයේ කඩුලූ පහක් පමණි. දෙවැනි ඉනිමේදී ඔහු පන්දුවාර 44.4 ක් යවමින් ඉන්දියානු කණ්ඩායමේ අවසන් කඩුල්ල සිය 800 වැනි කඩුල්ල බවට මුරලි පත්කරගනු ලැබුවේ ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අභියෝගාත්මකම ඉලක්කය සපුරා යමිනි. එවැනි හපනෙක් වෙනුවෙන් චිත‍්‍රපට සියයක් නිර්මාණය වුවද කවුරුත් කුහක විය යුතු නැත. අති සාර්ථක චිත‍්‍රපටයක් බවට මෙය පත්වූ විට හිස් මොළ ඇති ‘මෝඩයන්ට’ කියන්නට කිසිවක් ඉතරු නොවනු ඇත. 2021 අවසන් වීමට පෙර එම සිනමා පටය කරළියට එනතුරු අපිද බලා සිටිමු.
 
  

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles