Divaina - ක‍්‍රීඩා ඇමැතිව ඇන්ඳවීම සහ ප‍්‍රශ්න පල්වීමේ සෙල්ලම...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 namal
 
ශ‍්‍රීලංකාව අනාගතයේදී ක‍්‍රීඩාවෙන් ලෝකයම හොල්ලන බවට තප්පුලමින් බොහෝ ක‍්‍රීඩා ඇමැතිවරු ආවෝ..ගියෝය. ඒ මුලින් දමා ගන්නා ලකුණු කන්ද සිය ධුර කාලය තෙක් වලංගු බැවින් ඔවුන් එසේ තප්පුලන්නට ඇත. නමුත් මෙරට ක‍්‍රීඩාවේ ප‍්‍රශ්න පල්වී ගඳ ගසද්දී අදාළ ක‍්‍රීඩා ඇමැතිවරුන් ඊළඟ ඡන්දයට ගොස් වෙස් මාරු කර ගත්තේය. අවසානයේදී මෙරට ක‍්‍රීඩාවේ යල් පැන ගිය හණ මිටි පාලනය සහ  රැවටීමේ කලාවෙන් ක‍්‍රීඩාව නන්නත්තාර විය.
 
 ‘කටු කන බල්ලන් සැර යැයි’ ඉතිහාසයේ ප‍්‍රසිස්ධ කතාවක් තිබේ. එබැවින් ඇමැතිවරුන් ළගින් සිටින එවුන් ඇමැතිකම් කොරන්නට ගොස් මෙරට කී‍්‍රඩාව තුනටියෙන් ගිය අවස්ථා ඕනෑ තරම් තිබේ. නව ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ වැඩ භාර ගනිමින් මෙරට ක‍්‍රීඩාවේ කිසිවකු නොකළ විපර්යාසයක් කරන බවට වැඩ සටහන් කිහිපයක්ම දියත් කළේය. නමුත් ඔහුද ගොනාට ඇන්දවීමේ ‘හෙන්චයියන්ගේ’ කලාව තවමත් මෙරට ක‍්‍රීඩා සංස්කෘතියෙන් පලා ගොස් නැත.
 
 නව ක‍්‍රීඩා ඇමැතිවරයා අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කරන්නේ ක‍්‍රීඩා පනතද වර්තමානයට සහ අනාගතයට ඔබින ලෙස සංශෝධනය කිරීමේ කර්තව්‍යට අත ගසමිනි. එය හොඳ වැඩක්ය. නමුත් අනාගතයේදී ක‍්‍රීඩාවක් තියෙන්න නම් වර්තමානයේ පල් වී ගඳ ගසන කුණු ගොඩවල් ඉවත් කළ යුතුය. ඒ කුණු අස්සේ හිරවී පණ අඳින ක‍්‍රීඩාව සහ ක‍්‍රීඩයන්ව මුදවා ගත යුතුය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගෙන වර්තමානය සහ අනාගතය වෙනුවෙන් සැලැස්මවල් දියත් නොකළහොත් නාමල් රාජපක්ෂද නිකන්ම ක‍්‍රීඩා ඇමැතිවරයකු ලෙස ඊළඟ මැතිවරණයේදී වෙනස් අමාත්‍යාංශයකට රිංගනු ඇත.
 
 පසුගිය කාලයේ ඇමැතිවරයා විසින් කරන හොඳ වැඩ ඕනෑ තරම් මාධ්‍යයේ පළ විය. නමුත් ඇමැතිවරයා විසින් කළ යුතු වැඩ කිහිපයක් සම්බන්ධව ඔහු මෙතෙක් අවධානය යොමු නොකිරිමද කණගාටුවට කරුණකි. රණජයපුර විදුහලේ සිද්ධියෙන් ඇමැතිවරයා මුලා වුයේ කෙසේද? හිටපු ශී‍්‍ර ලංකා ‘ඒ‘ ක‍්‍රිකට් පුහුණුකරු අවිශ්ක ගුණවර්ධනට දමා ඇති කැකිල්ලේ නඩු තීන්දුව සම්බන්ධව ඇමැතිවරයා ඇස් පියාගෙන සිටින්නේ කෙසේද? දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ ධාවන පථය 2017 වසරේ සිට තවමත් වැඩ අවසන්ව නැත්තේ කුමන කරුණක් නිසාද? ඇතැම් සංගම් කිහිපයක් නිලවරණ පැවැත්වීමට අපොහොසත් වෙද්දී ඒ වෙනුවෙන් ගත් ක‍්‍රියා මාර්ග කුමක්ද? යන්න සොයා බැලිය යුත්තේද අනාගත සැලසුම් සකස් කරන ක‍්‍රීඩා ඇමැතිවරයාය.
 
 ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් පසුගියදා සද්භාවයෙන් යුතුව අපූරු සත්කාරයක් කළද එය ඔහුව සහ ක‍්‍රීඩා අමාත්‍යාංශයම නොමග යැවීමට එක් හොරෙකුට හැකිවිය. ඒ කතාව මෙසේය. කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක‍්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගන්නා මැටින් එක හෙවත් ලණු පැදුර කිසිවකු විසින් ගිණි තබා විනාශ කරන ලදී. එම සිද්ධිය මාධ්‍යයෙන් දුටු ඇමැතිවරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට කතාකොට මැටින් එකක් සහ ක‍්‍රිකට් උපකරණ අඩංගු බෑග් 02 ක් එම විදුහල වෙත පිරිනමා තිබේ. එම සිදුවීම ක‍්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනවලද සඳහන් වුයේ ‘ගිනි තැබු ක‍්‍රිකට් තණතීරු අතුරණ සිදුවීමට ඇමැති මැදිහත් වෙයි’ යනුවෙනි.
 
 ලණු පැදුර ගිණි තියපු එකා කවුරුන්ද යන්න අපි නොදනිමු. ඇමැතිවරයා විසින් අදාළ භාණ්ඩ ලබාදුන්නේ කාටද යන්නත් අපි නොදනිමු. අපි දන්නා කාරණය වන්නේ අදාළ රණජයපුර විද්‍යාලයට එම භාණ්ඩ ලැබී නැති බවත් ව්‍යාජ පුහුණුකරුවකු විසින් ඇමැතිවරයාවද අන්ඳවමින් එම භාණ්ඩ උස්සන් ගිය බවත්ය. ක‍්‍රීඩා ඇමැතිවරයාගේ වටේ සිටින ඇම්බැට්ටයන් විසින් සිය රාජකාරිය හරියට කළේ නම් වඳින්න ගිය දේවාල ඉහේ කඩා වැටෙන වැඩ ඇමැතිවරයාට සිදු නොවනු ඇත. මේ සටහන ලියන මොහොතක වන විටත් අදාල සිද්ධියෙන් අසරණව සිටින්නේ රණජයපුර විදුහලේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන ළමුන්ය.
 
 රණජයපුර විදුහලේ විදුහල්පතිවරයා අදාළ භාණ්ඩ සම්බන්ධව පවසන කතාව මෙසේය. ‘‘එහෙම භාණ්ඩ වගයක් අපිට කොහෙන්වත් ලැබුණේ නැහැ. ඒත් වෙන එක්කෙනෙක් ක‍්‍රිකට් භාර ගුරුවරයා විදිහට පෙනී ඉදලා ඒ සේරම අරන් තියෙනවා. ඇමැතිතුමා නොමග යවලා තියෙනවා. මැටින් එක ගිණි තිබ්බා කියලා අපි පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා. මම අසනීප වෙලා රෝහල්ගතව සිටින කාලයේ තමයි ඔය සිදුවීම වෙලා තියෙන්නෙ.’’ යනුවෙන් විදුහල්පතිවරයා පවසයි. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සිටින ඇතැම් ඇමැති ගොට්ටන් ඉතිහාසය පුරා කළේ ඇමැතිට ලකුණු අරන් දීමට ගොස් ඇදගෙන නා ගැනීමය. මෙය ක‍්‍රීඩා ඇමැතිවරයා විිසින්ම ගත් තීරණයක්ද යන්න අපි නොදනිමු. එයට හේතුව ඔහුගෙන් මේ ගැන විමසීමට කිහිපය වරක්ම උත්සාහ කළද දුරකතනය ඊට ප‍්‍රතිචාර නොදැක්වීමයි. කෙටි පණිවුඩයකටද ඇමැතිවරයාගේ පිළිතුරක් නොවුණි. ඒ නිසා ඇමැතිවරයා පත්තර බලා අදාළ බඩු බෙදුවේද නැතිනම් වෙනත් ලණුවක් නිසා ඇමැතිට මේ අලකලංචියට මුහුණ දෙන්නට සිදුවුයේද යන්නත් අපි නොදනිමු.
 
 ඉතිහාසයේ පටන් ක‍්‍රීඩා ඇමැතිවරුන් ගොනාට ඇන්දවීමේ කලාවක් තිබුණි. හිටපු ක‍්‍රීඩා ඇමැතිවරයකු වූ හරීන් ප‍්‍රනාන්දුට 10 එම් ඕකේ යනුවෙන් එවු කෙටි පණිවුඩය සම්බන්ධව වැඩිදුරට පරීක්ෂණ තවමත් නැත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඇතුළු ඕනෑම සංගමයක් ඇමැතිගේ පදයට නටන්නට සැරී සිටියි. වත්මන් ක‍්‍රීඩා ඇමැතිවරයා පැමිණීමට පෙර සිටි දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාපා, හරීන් ප‍්‍රනාන්දු වැනි ක‍්‍රීඩා ඇමැතිවරුන්ට අවිශ්කලාගේ අවනඩුවට සාධාරණයක් කිරීමට හෝ කතා කිරීමටවත් කොන්දක් නොතිබුණි. නමුත් මාස කිහිපයකට පත්වු ඩලස් අලහප්පෙරුම ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් අවිශ්කලාගේ ප‍්‍රශ්නයට ඇහුම්කන් දෙමින් ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. දැන් එහි සභාපතිවරයා මාස කිහිපයක සිට විදෙස් ගතවී සිටියි. අවිශ්කලාට රස්සාවක් නැත. රස්සාව නැති වූයේ කේළමක් නිසාය. එයින් දක්ෂ පුහුණුකරුවකුගේ සේවය රටට අහිමිවිය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයද මේ ගැන කිසිදු සද්ධයක් නොමැතිව සිටින්නේ අදාළ ප‍්‍රශ්නය පැන නැගුණහොත් වැ රැද්ද ඔවුන්ගේ කර මතටද පැටවෙන බැවිනි. බීරි අලින්ට වීණා ගයන්නාක් මෙන් මෙරට ක‍්‍රීඩා ඇමැතිවරුන්ට ඇතැම් ප‍්‍රශ්න තේරෙන්නේ නැත. නමුත් වත්මන් ක‍්‍රීඩා ඇමැතිවරයාද ජාතික කණ්ඩායමක නායකත්වය දැරූ ක‍්‍රීඩකයෙකි. එබැවින් ඔහුට ක‍්‍රීඩයකුගේ දුක වේදනාව හො`ඳින් තේරනවා ඇතැයි අපි විශ්වාස කරමු.
 
 ජාතික සංගම්වලට තේරීම් කමිටු පත්කිරිමේදී ඇමැතිවරයා ඇගිලි නොගැසීම, ක‍්‍රීඩා සභාව පත්කිරීම සහ ක‍්‍රීඩා පාසල් 25 සම්බන්ධව වත්මන් ක‍්‍රීඩා ඇමැතිවරයා කරන වැඩ ක‍්‍රීඩාවේ හෙට දවසට ඉතාමත් අගනේය. නමුත් කුණු ගසන ප‍්‍රශ්න අස්සේ ඔය කරන වැඩද ඉදිරියේදී වැටෙන්නේ ක‍්‍රීඩාව නැමැති නෞකාවටය. එවිට වෘත්තීය ක‍්‍රීඩකයන්ට රස්සාව නැතිවන විටත්, ළමුන්ට දුවන්න හදන ධාවන පථ නියමිත කාලයේදී නිම නොවීමත්, බල අරලගල ඔස්සේ නිලවරණ කල් දැමිමත් සම්බන්ධව ඇමැතිවරයා මැදිහත් නොවුණහොත් රණජය විදුහලේ සිද්ධිය මෙන්ම ක‍්‍රීඩා ඇමැතිවරයා දවල් වැටුණු වලේ යළිත් වැටෙනු ඇත.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles