Divaina - ක‍්‍රිකට් ඇතුළේ කලකිරුණු මතිවානන් අලූත් කල්ලියක් සමග... ‘මැතිව්ස්ලාටත් රස්සාවල් දීලා ක‍්‍රිකට් වලට කැපවුණු අපිව කොන් කළා’

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

sp

* ‘මට කරන්න කිසිම වැඩක් දුන්නෙ නැහැ.’

අසේල විතාන


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යනු එක්තරා මෙගා ටෙලි නාට්‍යයක එකම නළුවන් පිරිසක් විසින් රඟපාන කතාන්දරයකි. කාලයෙන් කාලයට එක පිලක සිටින මේ නළුවන් තවත් කාලයක වෙනත් පිලක සිට ගනී. නමුත් නාට්‍යයේ කතාව එකමය. රංගනයද එකමය. පරණ ‘බයිස්කෝප්’ කතන්දර එළියට එන්නේ මේ නළුවන් විරසක වු විටය. එහි අලූත්ම කතාව මතී යයි ජයන්ත එයි යනුවෙනි.

ඉතිහාසයේ පටන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නැමැති සුක්කානම කරකවමින් වැඩිම දුරක් එය ධාවනය කර ඇත්තේ ධර්මදාසලා සහ සුමතිපාලලා බව රටම දනිති. ඒ ක‍්‍රිකට් පරිපාලනයේ ආවතේවකරුවන් හෙවත් ‘ගොට්ටන්ද’ ඒ පැත්ත බැරිනම් මේ පැත්තට හැරී හෝ ක‍්‍රිකට් නැමැති දොල පිදේනිය බුක්ති වි`දීමට සූක්ෂම ලෙස පාට මාරු කරති. ක‍්‍රිකට් නිලවරණයේ ආධිපත්‍ය පතුරවන මේ පරණ නඩය හැර තවත් කොටසක් එය පරිපාලනය කළේ නම් ඒ අතුරු කමිටු පමණි.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ඇතුළේ ඇති කුණු දන්නේ ඒ ඇතුළේ සිටින මහත්වරුන්ය. එහි හොඳ දන්නේද ඔවුන්ය. කෙසේ වෙතත් පාර්ශ්ව දෙකක් එකට හි`දිමින් ක‍්‍රිකට් පරිපාලනය කරනවා යනු පසුගිය රනිල් සහ මෛත‍්‍රී හවුල් ආණ්ඩුව මෙන් බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. ඒ සඳහා හොඳම නිදසුන පසුගියදා එළිපිටම පත්තු වූයේ වසර ගණනාවක් ක‍්‍රිකට් පරිපාලනයේ, සභාපතිවරයකු, උප සභාපතිවරයකු හෝ විධායක කමිටු සාමාජිකයකු වශයෙන් සිටි කේ. මතිවානන් වත්මන් පට්ටම ගලවා දමා කට ඇරීම තුළිනි.

ක‍්‍රිකට් ආයතනයේ කල්කිරියාව ගැන කලකිරුණු උප සභාපති කේ. මතිවානන් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග පැවැති කතාවකදී ඔහු ගෙදර ගිය හේතු පැවසුවේ යළිත් අලූත් කණ්ඩායමක් සමග එන නිලවරණයේදී හැප්පෙන බව පවසමිනි. ‘‘මම හිටියොත් මේ අයට වැරදි වැඩ කරන්න අමාරුයි. ඒ නිසා මට මේ පරිපාලනය කිසිම වැඩක් කරන්න දුන්නෙ නැහැ. ඔක්කොම එක් කොට්ඨාශයක් බදාගෙන ඉන්නවා. මොකද මම ඒවට ගෑවුණොත් ඔවුන් කරන වැරදි වැඩ එළිවෙන නිසා තමයි මාව පැත්තකට කරලා තිබ්බෙ. ඒ නිසා මම උප සභාපති ධුරයට සමුදුන්නා. සමහරු කියනවා මට විනය පරීක්ෂණයක් තියන්න හදනවා කියලා. අමූලික බොරුවක්. අපි විනය කඩලා නැහැ. මාධ්‍යයට තොරතුරු දුන්නා කියලා කතාවක් හදලා තියෙනවා. මාධ්‍යයට මගේ ඉල්ලා අස්වීම දාන්න කියලවත් මම කියලා නැහැ. නමුත් ඒක ප‍්‍රසිද්ධ වුණා. කොහොම වුණත් එන නිලවරණයේදී ආයෙත් අලූත් කණ්ඩායමක් සමග මම සටනට එනවා. ’’

මතිවානන් ගෙදර ගියද ඔහු නැවතත් ක‍්‍රිකට් පරිපාලනයට සම්බන්ධවීමට සැලසුම් කර තිබේ. එහිදී කේ. මතිවානන් ලබන 2021 වසරේදී පැවැත්වෙන ක‍්‍රිකට් නිලවරණයේදී නිශාන්ත රණතුංග සමග අත්වැල් බැඳ ගනිමින් සටනට පිවිසීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

‘‘අපි ක‍්‍රිකට් වලට බොහෝ වැඩ කරපු අය. ක‍්‍රිකට් ගහන ක‍්‍රීඩකයන්ට රස්සාවල් ගොඩක් දීලා තියෙනවා මගේ ආයතනයේ. ඇන්ජලෝ මැතිව්ස්ට පවා මම රස්සාව දීලා තියෙනවා. ක‍්‍රිකට්වලට තියෙන ආදරය නිසා තමයි ඒ වගේ දේවල් අපි කරන්නෙ. මෙතන්ට එන්නෙ සල්ලි හොයන්න නෙමෙයි. මේවා ගරු තනතුරු. නමුත් කට්ටිය ලොකු ලොකු ව්‍යාපෘති පටන් අරන් කරන සෙල්ලම් අපි දන්නවා. හැබැයි මම අයින් වෙන්නෙ මෙතන තියෙන වැඩ ගැන කලකිරිලා. මොකද මම මේ අයගෙ පැත්තෙන් නෙමෙයි මම උප සභාපති වුණේ. හැබැයි එන නිලවරණයේදී මම සභාපති සටනට එනවා. ඒ නිශාන්ත රණතුංගලා අපි එකතුවෙලා තමයි එන ඡන්දෙදි තරග කරන්න බලාපොරොත්තුව. ’’

2017 වසරේ සාජා හී පැවැති ටී 10 තරගාවලියකට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් යවා ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බව කේ. මතිවානන් පවසයි. ‘‘ඔය කියන තරගාවලියට කණ්ඩායම යැව්වෙ දැන් ඉන්න ප‍්‍රධාන ක‍්‍රිකට් විධායක ඈෂ්ලි ද සිල්වා අත්සන් කරලා. දැන් අවිශ්ක ගුණවර්ධනලාට තහනමක් දාලා. එයාගේ නීතිඥයා කියනවා ඒ තරගාවලියෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක් ලැබුණා කියලා. නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට මට මතක හැටියට ඩොලර් 25000 ක් විතරයි ඇවිල්ලා තියෙන්නෙ. ඒ ගිය කණ්ඩායමේ ළමයින්ට සල්ලි දෙන්නත් ඉදිරිපත් වුණේ මම. මට මතක නැහැ ඒ අයට දුන්න ගාණ. මම මැදිහත් වුණේ නැතිනම් ඒ මුදලවත් ක‍්‍රීඩකයන්ට ලැබෙන්නේ නැහැ. ’’

මතිවානන්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව උප සභාපතිවරයා වශයෙන් ජයන්ත ධර්මදාස පත්වීමට නියමිතය. ඒ සම්බන්ධව හිටපු උප සභාපතිවරයා පවසන්නේ මෙවැනි අදහසකි. ‘‘ජයන්ත ධර්මදාස මීට කලින් උප සභාපති ධුරයෙන් අයින් වුණා. ඔහු ඊට පස්සෙ ගිය නිලවරණයේදී ෂම්මි සමග සභාපති තරගයට ඇවිල්ලා පරාද වුණා. එහෙම හිටපු එයා දැන් ආයෙත් උප සභාපති වෙනවා. මේවා හිනා යන වැඩ. ’’

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඉදිරියේදී දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්වීමට ඉඩ තිබෙන බවද මතිවානන් පවසයි. ඊට හේතුව වන්නේ තරගාවලි කිහිපයක්ම පැවැත්වීමට නොහැකි වීම මත තවත් මාස දෙක තුනකින් පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගිණුම හිස් වීමටද ඉඩ ඇති බව සඳහන් කරමිනි. ‘‘පසුගිය කාලයේ අරවට මේවාට කියලා ලොකු ව්‍යාපෘතිවලට සල්ලි වියදම් කළා. ඒ නිසා තව මාස දෙක තුනකින් පස්සේ ක‍්‍රිකට් දුවන්න සල්ලි නැති වෙයි. තරගාවලි කිහිපයක්ම කල්ගියා. විස්සයි විස්ස ලෝක කුසලානත් කල්ගියා. ඒ නිසා ලැබෙන්න තියෙන මුදල් නැති වුණා. මුදල් ආරක්ෂා කරගෙන කරන්න පුළුවන් වැඩ තියෙද්දි ඒවා කරන්න අපිට දුන්නෙ නැහැ. ’’

කාලයෙන් කාලයට එන ක‍්‍රීඩා ඇමැතිවරුද ක‍්‍රිකට් ආයතනයේ පාලකයන් සමග මිතුරු වෙසින් සහ හතුරු ලෙසින් ගැලරියට කතා කියයි. ක‍්‍රිකට් නිලවරණයට ඇති ඡන්ද සංඛ්‍යාව අඩු කිරීමටද ඔවුන් කිසිවකුටවත් මෙතෙක් නොහැකි විය. ඡන්ද 147 ක් ඇති මෙරට ක‍්‍රිකට් නිලවරණය ලෝකයේ වැඩිම ඡන්ද හිමි ක‍්‍රිකට් නිලවරණය බව අපි නොයෙක් විට පෙන්වා දී ඇත්තෙමු. ලොව විශාලතම රාජ්‍යයක් වන ඉන්දියාවේ ක‍්‍රිකට් නිලවරණයට ඇත්තේද ඡන්ද 50 කටත් අඩු සංඛ්‍යාවකි. ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අපි‍්‍රකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් නිලවරණ සඳහා ඇති ඡන්ද සංඛ්‍යාව විස්සකටත් අඩුය. ඡන්ද බුරුතු ගණන් තියෙන ක‍්‍රිකට් නිලවරණය ජය ගන්නට ඡන්ද දායකයන් සතුටු කිරීමට සෑම පරිපාලකයකුම උත්සාහ කරති. නැතිනම් උන්දෑ ඊළඟ ක‍්‍රිකට් නිලවරණයේදී කපෝතිය. ක‍්‍රිකට් හදන්නට මේ ලොකු දුර්වලකම් හඳුනා ගත යුතුය. එවිට මති යන විට ජයන්ත එයි යන නාට්‍ය විකාශනය නොවනු ඇතැයි අපගේ විශ්වාසයයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles