Divaina - ඇත්තටම ක‍්‍රිකට් පාවා දුන්නේ කවුද...?

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 sp1
 
 අසේල විතාන
 
ක‍්‍රීඩාව පාවා දෙන්නන් එල්ලා මැරිය යුතුය. නැතිනම් ද`ඩුකඳේ ගැසිය යුතුය. නමුත් මේ දෙකම ජාත්‍යන්තර ක‍්‍රීඩා වේදිකාවේ සිදුවන්නේ නැත. එබැවින් කොහෙන් හෝ තරග පාවාදුන් නරුමයන්ගේ නම පමණක් ‘බ්ලැක් ලිස්ට්’ වී සුවහසක් ජනතාවගේ ආදරණීය ක‍්‍රීඩාවක් කාලකණ්නි වනු ඇත. 2011 ලෝක කුසලාන පාවාදුන්නා යැයි එවකට හිටපු ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා තප්පුලමින් පවසද්දී ඒ ගැන රටේ ජනතාව කෝණ දෙකකින් විග‍්‍රහ කරමින් සිටියි. නමුත් එහි සත්‍ය සෙවීමේ මෙහෙයුම තවමත් ක‍්‍රියාත්මකය.
 
 මීට වසරකට පෙර ශ‍්‍රී ලංකාවේ සනත් ජයසූරිය, අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා ඇතුළු ක‍්‍රීඩකයන් තරග පාවාදුන් බවට පවසමින් අයි.සී.සී.ය විසින් ඔවුන්ට කෙටි කලකට ක‍්‍රිකට්වලට සම්බන්ධ ක‍්‍රියාකාරකම්වල තහංචි පැනවූයේය. ඒ පාවාදීම කුමක්දැයි අයි.සී.සී.ය තවමත් හෙළි කර නැත. ඔවුන් පවසන්නේ අදාළ පරීක්ෂණවලට අවශ්‍ය සහාය ලබා නොදීම නිසා සාධාරණ සැකයකින් තොරව තරග තහනමක් පනවා ඇති බවයි. නමුත් අයි.සී.සී.ය සිද්ධියක් වසන් කරමින් එවැනි තහනමක් පැනවීම ක‍්‍රීඩකයන්ට, කී‍්‍රඩාවට සහ රටකට කරන ලොකු හානියකි. අදාළ ක‍්‍රීඩකයන් තරග පාවාදුන්නේ යැයි කිසි තැනක සඳහන් නොවුණත් මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ වැනි ප‍්‍රකාශයක් මගින් ඔවුන්ට එසේ වුවා විය හැකිය.
 
 අලූත්ගමගේ මහතා 2011 ලෝක කුසලාන පාවාදුන් බවට සාධාරණ සැකයක් ඇතැයි අයි.සී.සී.යට පැමිණිලි කළද ඔවුන් ඒ ගැන වගේ වගක් නොමැතිව කල් මරා තිබේ. හැන්සි ක්‍රොන්යේලා, මොහොමඞ් අමිර්ලා තරග පාවාදුන් හැටි අයි.සී.සී.ය ටෙලි නාට්‍යයක් මෙන් සිදුවීම් මාලාව විමර්ශනය කරමින් අපූ රු මෙහෙයුමක් කරමින් බඩුත් සමගම හොරු අල්ලා ගත්තේය. නමුත් 2011 ලෝක කුසලාන කතාව හෝ ජයසුරියලාගේ කතාවට අයි.සී.සී.ය ලබාදී ඇති පිළිතුරු වෙනත් පැතිකඩක තීන්දුවක් යැයි අපි විශ්වාස කරමු. මීට වසර කිහිපයකට පෙර රංගන හේරත්ව සහ ඇන්ජලෝ මැතිව්ස්ව සී.අයි.ඞී.යට කැඳවා කට උත්තරයක් ලබා ගත්තේය. ඒ ඔවුන්ට බුකී කරුවන් යැයි විශ්වාස කළ හැකි පිරිසක් විසින් දුන් යෝජනාවක් අදාළ පාර්ශවයන් දැනුවත් කර තිබියදීය. නමුත් ඒ පරීක්ෂණ තවමත් හමස් පෙට්ටියේය. ඒ බුකී කරුවා තවමත් බුකියේ ඔල්වරසන් දෙනු ඇතැයි අපි විශ්වාස කරමු. නැතිනම් ඔහු තවත් ඇමක් අල්ලා ගැනීමට වෙහෙස වනවා ඇතැයි සිතමු. රංගනලා සහ මැතිව්ස්ලා එවැනි දැලක නොවැටීමද අපි අගය කළ යුතුය. ඒ ඔවුන්ගේ මහත්මා ක‍්‍රිකට් ගුණය හේතුවෙන් අදාළ යෝජනාව සම්බන්ධව නිසි බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගැනීමයි. නමුත් බුකී මෑන්ස් තවමත් නිදැල්ලේය...
 
 මහින්දානන්දගේ කතාව සමග කරළියට පැමිණි පාවාදීමේ වාක්‍ය ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියම අඳුරු පැතිකඩකට තල්ලූ කිරීම ආරම්භ වූයේ 1990 දශකයේ සිටය. ඊටත් එහා අතීතයේ පාවාදීම් සිදුව තිබුණද ක‍්‍රිකට් පාවාදීමේ නාට්‍ය නූතන ආරම්භය ක්‍රොන්යේගේ සිද්ධිය යැයි අපි විශ්වාස කරමු. ක‍්‍රිකට් ලොව තරග පාවාදුන්නන් බුරුතු ගණනින් සිටිති. නමුත් ඒ පාවාදීමේ ලැයිස්තුවේ අමතක නොවන නාමය හැන්සි ක්‍රොන්යේය. හිටපු දකුණු අප‍්‍රිකානු නායක හැන්සි ක්‍රොන්යේ 1990 දශකයේදී තරග පාවාදුන් බවට අතේ මාට්ටු විය. ඔහු ඉන්දියානු ඔට්ටු කරුවකු වන සංජේ චව්ලා සමග කළ සංවාද අනාවරණය විය. හැන්සි ක්‍රොන්යේ සමග අදාළ තරග පාවාදීමට හර්ෂල් ගිබ්ස්, නිකී බොයේ සහ පීටර් ස්ට‍්‍රයිඩම්ද සම්බන්ධ විය. මේ නඩුව වසර 13 ක් පුරා ඇදුන නඩුවකි. නමුත් 2011 ලෝක කුසලානට තවමත් නඩු නැත.
 
 ලෝක ක‍්‍රීඩා නීතියක හෝ අයි.සී.සී. නීතියක තරග පාවාදුන්නන්ට එරෙහිව විලංගු වැටෙන්නේ නැත. දඩ ගසන්නේද නැත. එකම ද`ඩුවම තරග තහනමකි. හැන්සි ක්‍රොන්යේට ජීවිතාන්තය දක්වා තරග තහනමක් ලැබුණි. අවාසනාවකට ඔහුගේ ජීවන ගමනද ගුවන් අනතුරුකින් 2002 වසරේදී විනාශ විය. තරග පාවාදුන්නන් කාලය කා දමමින් යළිත් වේදිකාවට පිවිසීමට උත්සාහ කරයි. පාකිස්තානයේ හිටපු නායක සලීම් මලික්ටද වසර ගණනාවක තරග තහනමක් ලැබුණි. ඒ තරග පාවාදීමක් නිසාය. දැන් ඔහු කන් කෙඳිරි ගසමින් පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනයෙන් සහ අයි.සී.සී.යෙන් ඉල්ලන්නේ ජීවිකාව ගැට ගසා ගැනීමට අදාළ තහනම ඉවත් කරමින් ක‍්‍රිකට්වලට සම්බන්ධ වීමට ඉඩ දෙන ලෙසයි. නමුත් ඔය තරග තහනම වෙනුවට පාවා දෙන්නන්ට හොඳම උත්තරය ශ‍්‍රී ලංකාවෙන් ලැබී තිබේ.
 
 ලොව ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන රටවල් අතරින් තරග පාවාදුන්නන්ව මහ උළු ගෙදර ගෙනියා හැකි නීතියක් 2019 අංක 24 දරන ක‍්‍රීඩා පනතින් මෙරට සම්මත විය. එහි මුලාරම්භය මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයාගේ කාලයේය. අවසානය හරීන් ප‍්‍රනාන්දු ක‍්‍රීඩා ඇමැතිවරයාගේ කාලයේය. නමුත් ක‍්‍රීඩා ඇමැතිවරයකු ලෙස මේ මල් වට්ටියට අත ගැසුවේ නම් මෙරට අනාගත ක‍්‍රීඩාව සුරක්ෂිත වීමේ පුණ්‍යකර්මයට ඔවුන් දායක වූ බව සැබෑවකි. කෙසේ වෙතත් අදාළ නීතිය අනුව දැන් තරග පාවාදෙන්නෙක් වශයෙන් මෙරට ඕනෑම ජගතකු වැරදිකරු වුවහොත් සිරද`ඩුවම වසර පහක් හෝ දහයක් තරම් ඈතට යනු ඇත. ඉන්දියාවටද දැන් එවැනි නීතියක් අවශ්‍ය බව අයි.සී.සී.ය පවසයි.
 
 2011 ප‍්‍රශ්නය සත්‍යද අසත්‍යද යන්න දැන් පරීක්ෂණ සිදුකෙරමින් පවතී. එය ඉදිරියේදී මාර්තෘකාවට බඳුන් වනු ඇත. නමුත් තිරය පිටුපස ඇති කතා සාධාරණීය කළ හැකි වුද ඇතැම් කතා සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතු යැයි අපි විශ්වාස කරමු. මහින්දානන්ද අලූත්ගමගේ හිටපු ක‍්‍රීඩා ඇමැතිවරයා වසර නවයකට පසු පරණ ‘බයිලා’ කියනු ඇතැයි ඇතැමුන් චෝදනා කරති. නමුත් ඔහුගේ කතාවටද ඇහුම්කන් දිය යුතුය. දැන් 2011 ලෝක කුසලාන ක‍්‍රීඩා කරපු 11 දෙනා පමණක් නොව බංකුවේ සිටි ක‍්‍රීඩකයන් සහ නිලධාරීන් සියලූම දෙනාගෙන් කට උත්තර ගැනීමට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සූදානමින් සිටියි. ඒ අනුව සත්‍ය ජය ගනු ඇත.
 
 පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන සම්බන්ධ කරුණු 24 ක් ලබාදී තිබේ. ඒ කරුණුවල ඇති දෑ අපි නොදනිමු. ලෝක කුසලාන අවසන් මහා තරගයක් අපේ ක‍්‍රිකට් විරුවන් කිසි විටෙකත් පවානොදෙනු ඇතැයි මෙරට සුවහසක් ක‍්‍රීඩා ලෝලීන්ගේ විශ්වාසය වී තිබේ. ඔය කියන කණ්ඩායම 2011 ට පසුව 2014 විස්සයි විස්ස ලෝක කුසලානද ජය ගත්තේය. ‘මේ පාවාදීමට ක‍්‍රීඩකයන් සම්බන්ධ නැහැ. තේරීම් ගැන ප‍්‍රශ්නයක් තියෙනවා.’ යැයි මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසුව කණ්ඩායමේ අවසන් 11 තේරීම් කමිටු සභාපතිවරයාට තනිව තේරිය නොහැකි බව ක‍්‍රිකට් ගසන ඕනෑම අයියා කෙනෙක් දන්නා කරුණකි. එම තේරීම්වලට නායකයා අනිවාර්යයෙන් සම්බන්ධ විය යුතුය. ඔහු සමග පිටියට යන සුදුස්සන් තෝරන්නේ නායකයාය. පුහුණුකරුද ඊට මැදිහත් වේ. මෙය ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සාමාන්‍ය තේරීම් ක‍්‍රමවේදය වේ. එබැවින් යළිත් අලූත්ගමගේ මහතාගේ කතාව සම්බන්ධව සූක්ෂම ලෙස අවධානය යොමු කළ යුතුවේ.
 
 නමුත් අවසන් මහා තරගයේදී දුම්වැටි පානය කළේ කවුද? ඔවුන් එසේ කළානම් ඊට පෙරත් එසේ කර තිබේද? මෙරට හිටපු ක‍්‍රිකට් නායකයකුට තරගයට පෙර දිනයේදී කාසියේ වාසිය දෙවරක් උඩ දමනු ඇතැයි ලැබුණු කෙටි පණිවුඩයක් ඉන්දියානු හිටපු ක‍්‍රිකට් නායකයකු පෙන්නුවාද? මේවා ඇතැම් විට උභතකෝටික ප‍්‍රශ්නය. නැතිනම් මේවා මළ ගෙදරක නිදි මරණවිට කියන කතා කොහෙන් හෝ කරකැවි කරළියට පැමිණියේද. ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයැයි’ යන ප‍්‍රශ්තා පිරුළ ඔස්සේ ඉදිරියේදී සත්‍ය ජයගනු ඇතැයි අපි හුදෙක් විශ්වාස කරමු.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles