Divaina - යොවුන් ලෝක කුසලානයේ සැඟවුණ රහස සහ බංග්ලාදේශයේ අභිමානය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

sp1
 
  * නවීඞ් නවාස් වසර කිහිපයක් අපි වෙනුවෙන් මහන්සි වුණා. ඔහුගේ දැනුම අති විශාලයි
 
  *  මට හිසට වහලක්වත් කන්න කෑමක්වත් තිබුණෙ නැහැ. ඒත් මගේ සිහිනය වෙනුවෙන් මම ගමන් කළා.
 
 ශ‍්‍රී ලංකාවෙන් පාපන්දු ඉගෙන ගත් මාලදිවයින දැන් දිගට හරහට ශ‍්‍රී ලංකාවට පහර දෙයි. ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රිකට් ඉගෙන ගත් බංග්ලාදේශය වත්මන් යොවුන් ලෝක ශූරයෝ වෙති. ඔවුන්ගේ අයියලාද ශ‍්‍රී ලංකාවට පසුගිය කාලයේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස අංශ තුනෙන්ම පහර දුන්නේය. බංග්ලාදේශ ක‍්‍රිකට් මල්ලිලා ඉදිරියේදී අයියලා වන බවත් ඔවුන් එවිට ඕනෑම රටකට නොදෙවෙනි වන තරමට සන්නද්ධ වන බවත් දැනටමත් ඔප්පු කර අවසන්ය.
 
 ශ‍්‍රී ලංකාවේ මෙන් බංග්ලාදේශයේ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉස්තරම් අයුරින් නැත. ඔවුන්ගේ ක‍්‍රීඩා සමාජ සහ ඇකඩමි ඔස්සේ ජාතික තලයට ක‍්‍රීඩකයෝ පැමිණෙති. නමුත් බංග්ලාදේශයේ ක‍්‍රිකට් සැලැස්ම උඩු යටිකුරු කරන්නට ශ‍්‍රී ලංකාව අතීතයේ සිට ඔවුන්ට ගුරුහරුකම් ලබාදී තිබේ. මෙවර බංග්ලාදේශය යොවුන් ලෝක ශූරතාව දිනා ගනිද්දී එහි තිරය පිටුපස වීරයා නවීඞ් නවාස්ය. ඔහු ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග තුනක් ක‍්‍රීඩා කර තිබේ.
 
sp2 නවීඞ් නවාස් පළමු පෙළ තරග 131 කදී ශතක 12 ක් සහ අර්ධ ශතක 42 ක් සමග මුළු ලකුණු 6892 ක් ලබා තිබේ. ඔහුගේ පළමු පෙළ ඉනිමක සාමාන්‍ය 36.27 කි. 2002 වසරේදී බංග්ලාදේශයට එරෙහිව කොළඹදී ටෙස්ට් වරම් ලැබූ නවීඞ් නවාස් මංගල ඉනිමේදී ලකුණු 21 ක් ලබා ගත්තද දෙවැනි ඉනිමේදී ඔහු නොදැවී අර්ධ ශතකයක් (78* ලබා ගත්තේය. නමුත් එම ටෙස්ට් තරගයෙන් පසුව නවාස්ට ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ කිසිදු
 
 ස්ථානයක් හිමි නොවුණි. ඔහුගේ ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවිය එක්දින තරග තුනකින් සමාප්ත විය. නමුත් පුහුණුකරුවකු ලෙස අනාගතය ජය ගැනීමට උත්සහ කළ නවාස් ගැන දැන් රටම ආරම්භයෙන් කතා කරයි. ඒ ඔහුගේ හැකියාව නිසාය.
 
 ‘‘මම ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් සතුටු වෙනවා බංග්ලාදේශ යොවුන් පිලට දායකත්වයක් ලබාදීමට හැකිවීම සම්බන්ධව. මම විශේෂයෙන් ස්තුති වන්ත වෙනවා මගේ සහය පුහුණුකරුවන්, කී‍්‍රඩකයන්ට සහ බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනයට මට ලබාදුන් සහය සම්බන්ධව. ලංකාවෙන් මට ගොඩක් යාළුවන්, නෑදෑයන් මෙන්ම රසිකයන් විශාල වශයෙන් සුබ පතල තියෙනවා මම ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් සිටියදී බංග්ලාදේශය යොවුන් ලෝක කුසලාන දිනා ගැනීම සම්බන්ධව. ඒ අයටත් මම ස්තුති වන්ත වෙනවා. මොකද පුහුණුකරුවකු වශයෙන් ලෝක කුසලාන උප මහද්වීපයෙන් පිට දකුණු අප‍්‍රිකාවේදී ජය ලැබීම ලොකු සතුටක්. මම අපේ කළාපයේදී එය කළා නම් මේ තරම් පුදුම වෙන්නෙ නැහැ. දකුණු අප‍්‍රිකාවේදී ක‍්‍රීඩා කිරීම දුෂ්කරයි. අපේ කණ්ඩායමේ කිසිවෙක් දකුණු අප‍්‍රිකාවේ තත්ත්වයට හැඩ ගැහෙන්න අමාරු බව කිව්වෙ නැහැ.’’ නවාස් පවසයි.
 
 බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ නායක අක්බාර් අලී පවසන්නේ මෙවැනි අදහසක්. ‘‘ඇත්තටම මම විශේෂ ස්තුතියක් දක්වන්නේ අපේ ප‍්‍රධාන පුහුණුකරු නවීඞ් නවාස්ට. ඔහු
 
 පසුගිය වසර කිහිපය තුළ විශාල කැපවීමක් කළා අපේ කණ්ඩායම වෙනුවෙන්. ඒ වගේම ඔහුට ලොකු දැනුමත් තියෙනවා. ඔහු අපේ හැම ක‍්‍රීඩකයෙක් ගැනම හොඳින් දන්නවා වගේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයන් ගැනත් ඔහු හොඳ අවධානයකින් ඉන්නෙ. මේ ජයග‍්‍රහණයට ප‍්‍රධානතම හේතුව එයයි.’’
 
 බංග්ලාදේශය එදා සිටම ක‍්‍රිකට් දේවත්වයෙන් සලකන ක‍්‍රීඩාවක් බවට පත්විය. ඔවුන් 1996 දී ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන දිනන කාලයේදී ලංකාවට ලෝක කුසලාන ජයග‍්‍රහණය පතා පුද පූජාද පවත්වා තිබේ. එබැවින් ක‍්‍රිකට් වලට බංග්ලාදේශ පේ‍්‍රක්ෂකයන් බහුතරයක් කිට්ටු වෙන විට එරට ප‍්‍රධානතම සහ ජනප‍්‍රියම කී‍්‍රඩාව බවට පත්ව තිබූ පාපන්දුව දෙවැනි තැනට තල්ලූ විය. 2000 වසරේදී ටෙස්ට් වරම් ලැබු බංග්ලාදේශය අද වන විට වත්මන් යොවුන් ලෝක ශූරයෝ වෙති. තවමත් ඔවුන්ට ක‍්‍රිකට් ඉගැන්වූ ශ‍්‍රී ලංකාවට යොවුන් ලෝක ශූරතාවක් දිනා ගැනීමට නොහැකි වූවා සේම මෙවර 10 වැනියා බවට තරගාවලියේදී පත්වීමෙන් අපේ අනාගත ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අවදානම පැහැදිලිව පෙනෙන්නට තිබේ.
 
 බංග්ලාදේශයේ තරුණ ගැටව් දැන් වැඩි වැඩියෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරත වෙති. ඔවුන්ගේ අනාගත සිහින ජාතික කණ්ඩායම නියෝජනය කිරීම හෝ පළමු පෙළ කණ්ඩායමක් නියෝජනය කිරීම වේ. එම සිහිනයන් සමග බංග්ලාදේශ ජාතික කණ්ඩායම්වලට ක‍්‍රීඩකයන් බුරුතු පිටින් සොයා ගැනීමට දැන් හැකිව තිබේ. මෙවර යොවුන් ලෝක කුසලානයේදී බංග්ලාදේශය වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූ අවිශේක් දාස්ගේ පියා සිය පුත‍්‍රයා සම්බන්ධයෙන් පවසන්නේ අපූරු අදහසකි.
 
sp3 ‘‘මගේ පුතා අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රීඩා කරනු ඇතැයි මම සිහිනෙන්වත් හිතුවෙ නැහැ. නමුත් මීට වසර කිහිපයකට පෙර ඔහු කුල්නා ක‍්‍රීඩාංගණයේදී තරගයක් ක‍්‍රීඩා කරනවා මම දැක්කා. එතනදි ඉදිරියට යයි කියලා හිතුණ. පස්සෙ ඩාකා හිදී ඔහුට පුහුණුවෙන්න අවස්ථාව ලැබුණහම යමක් කරන බවට විශ්වාසයක් ඇති වුණා. ඔහුගේ සාර්ථකත්වයට දෙවියන්ට ස්තුති වන්ත වෙනවා.’’ යැයි අවිශේක්
 
 දාස්ගේ ආඩම්බර කාර පියා වන අසිත් දාස් පවසයි.
 
 ඇතැම් දෙමව්පියන් දරුවන්ව ක‍්‍රීඩාවට යොමු නොකර අධ්‍යාපනයේම ගිල්වා තැබීමට උත්සහ කරයි. එවිට දරුවාට ක‍්‍රීඩාවත් අධ්‍යාපනයත් දෙකම නැතිවෙන්නට පුළුවන. කෙසේ වෙතත් යොවුන් ලෝක ශූර කණ්ඩායමේ වමත් මඳ වේග පන්දු යවන්නකු සහ පිතිකරුවකු වන සොරිෆුල් ඉස්ලාම්ගේ මව පවසන්නේ,
 
 ‘‘මගේ පුතාට පාසල් යන්න බැරි වුණාට
 
 ඔහුගේ කාලය අපතේ ගියේ නැහැ. ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ගොඩක් ඇබ්බැහි වුණා.’’ යනුවෙනි.
 
 බංග්ලදේශ ක‍්‍රීඩකයන් ගැන මෙවර යොවුන් ලෝක කුසලානයේදී විශේෂ අවධානයක් යොමුවෙද්දී ශ‍්‍රී ලංකාව ගැනද කරුණු දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු විය. ඒ පුහුණුකරු නවීඞ් නවාස්ය. අනෙක් කරුණ වන්නේ තරගාවලියේ දෙවැනියට වැඩිම ලකුණු ලාභියා වූ රවිඳු රසන්ත යොවුන් ලෝක කණ්ඩායමට නම් කිරීමයි. ගල්කිස්ස සා. තෝමස් විදුහල නියෝජනය කරන රවිඳු මෙවර යොවුන් ලෝක කුසලානයේදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමග මුළු ලකුණු 286 ක් ලබා ගත්තේය. ඔහු දෙවැනි වන්නේ තරගාවලියේ වීරයා වූ යසස්වි ජයිස්වල්ට පමණි.
 
 යසස්වි ජයිස්වල්ද මෙවර ලෝක කුසලානයේදී දැක්වූ දක්ෂතා නිසාම ඉන්දියාවට අවසන් මහා තරගය දක්වා පැමිණීමට හැකිවිය. ජයිස්වල් තරග හයකදී ශතකයක් සහ අර්ධ ශතක හතරක් සමග මුළු ලකුණු 400 ක් ලබා ගත්තේ ඉනිමක සාමාන්‍ය 133.33 ක් සටහන් කරමිනි. ඊටත් වඩා
 
 ඔහුගේ අගය කළ යුතු තවත් දක්ෂතාවක් තිබේ. දැඩි දුක් මහන්සියෙන් ළමා කාලය ගත කරමින් වෙළෙඳාම් කරමින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව දියුණු කර ගැනීමයි.
 
 ජයිස්වාල්ගේ කතාව මෙවර ලෝක කුසලානයේ එක්තරා දුක්මුසුම කතාවකි. ඔහුට ක‍්‍රිකට් ආරම්භ කළ යුගයේදී හිසට වහලක් හෝ කුසට අහරක් නොතිබුණි. ‘‘පීඩා කොතරම් තිබුණද කිව්වොත් මට නිදාගන්න ඇඳක්, කන්න දෙයක් තිබුණෙ නැහැ. නමුත් ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීම මගේ සිහිනය වුණා. ඒ සිහිනය මට සතුට ගෙනත් දුන්නා.’’යනුවෙන් ජයිස්වාල් පවසයි.
 
 දුප්පත් පවුල්වලින් පැමිණ ලෝකයටම අභියෝග කළ ක‍්‍රිකට් තරු ඉන්දියාවේ කිහිප දෙනෙක් සිටිති. උමේෂ් යාදව් යනු ගල් අ`ගුරුපතල් කම්කරුවෙකුගේ පුතෙකි. මොහොමඞ් ෂාමි ගොවියකුගේ පුතෙකි. ඉර්ෆාන් පතන් සහ යුසුෆ් පතන් මුස්ලිම් පල්ලියක භාරකරුවෙකුගේ පුතුන් දෙදෙනෙකි. මොහොමඞ් සිරාජ්
 
 රියදුරෙකුගේ පුතෙකි. එබැවින් ජයිස්වාල්ද අනාගතයේදී ඉන්දියානු ජාතික කණ්ඩායමේ අනාගත විරාට් කෝලිගේ රාජකාරිය ඉෂ්ට කරන කාලයක ඔහුගේ ආරම්භය තවත් රසවත් වනු ඇත.
 
 යොවුන් ලෝක කුසලානයේ දක්ෂතාව, චරිත සහ අනෙකුත් වපසරිය මෙසේ අවසන් වෙද්දී එයින් අනාගතයට කදිම පාඩමක් ලැබී තිබේ. ඒ ජයිස්වාල් පමණක් නොව බංග්ලාදේශ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ ඔවුන්ට අත දුන් පුහුණුකරුවන්ය. ශී‍්‍ර ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවටද යොවුන් ලෝක කුසලානයේ සුවිශේෂී චරිත ඇසුරින් යමක් උකහා ගතහොත් අනාගතයද සුබදායි වනු ඇත.
 
 අසේල විතාන


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles