Divaina - තරු පිරි ගගන යට ජෝර්දානයේ වාඩි රම් නිම්නයේ රාත්‍රියක්‌

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

starදුහුවිලි වලින් සහ බොරළු වලින් පිරි ඇති ජෝර්දාන කාන්තාරයේ එක්‌ මාවතක්‌ ඔස්‌සේ අපගේ ජීප් රථය ඉතා සෙමින් සහ අපහසුවෙන් ඉදිරියට ගමන් කරනවා. ඉදිරිපස පෙනෙන්නේ මීටර කිහිපයක්‌ ඉදිරියට විතරයි. අධික දුවිලි තට්‌ටුව නිසා වාහනයේ දෙපස වීදුරු වලින් කිසිම දෙයක්‌ බලා ගන්නට බැහැ.

අපි මේ යන්නේ දකුණු ජෝර්දානයේ පිහිටා ඇති ලොව දර්ශනීය, තවමත් මිනිස්‌ පය නොගැසුණු ප්‍රදේශයන්ගෙන් සමන්විත සහ අරුම පුදුම ස්‌ථානයක්‌ වන වාඩි රම් නිම්නය දැක ගැනීම සදහා.වාඩි රම් නිම්නය කියන්නේ අති විශාල භුමියක පැතිරිලා තියෙන වැලි කාන්තාර සහ ගල් කඳු වැටි වලින් සමන්විත නිම්නයක්‌. ගහක්‌ කොළක්‌ දකින්නට නොමැති වැහි බින්දුවක්‌ නොවැටෙන මේ නිම්නයේ ජීවත් වෙන්නට පුළුවන් වෙන්නේ පරිසරය ගැන හොඳ අවබෝධයක්‌ තියෙන අයට විතරයි. කි.පූ. 312 දී පමණ, අරාබි ගෝත්‍රයකට අයත් වූ ෙබිඩුයින්වරුන් මේ ප්‍රදේශ අවට ජනාවාස පිහිටුවා ගත්තා. දැනට මේ වාඩි රම් නිම්නය අවට ජීවත් වන්නේ බේඩුයින්වරුන් වශයෙන් හැඳින්වෙන ගෝත්‍රිකයන්ය. ඉතා දුෂ්කර පාරිසරික තත්ත්වයක්‌ යටතේ (ඒ කියන්නේ දහවල් උෂ්ණත්වය අධික නිසාත් රාත්‍රිය අධික ශීතල නිසාත්) ජීවත් වෙන ඔවුන් නිසා මේ නිම්නය බොහෝ දුරට ආරක්‌ෂා වී පවතිනවා. එමෙන්ම සංචාරකයන් අතරේද බොහෝ ජනප්‍රියතාවයට පත් වී තිබෙනවා. වාඩි රම් නිම්නයේ ඇති ගල් කඳු වල නැගීමට සහ මේ කාන්තාර භුමිය තරණය කිරීමට ලොව සමහර සංචාරකයින් පුදුම ආසාවක්‌ දක්‌වනවා. ලොව දක්‌ෂ ගල් කඳු නගින පිරිසක්‌ විසින් 1949 වර්ෂයේදී මේ වාඩි රම් නිම්නයේ ගල් කඳු පිළිබඳව අධ්‍යයනය කල පසු එතැන් සිට අද දක්‌වා ඒ මාර්ග ඔස්‌සේ යැමට බටහිර රටවල සංචාරකයින් මාස ගණන් මේ නිධිය තුළ නැවතී කඳු නැගීමේ ක්‍රියාවලියේ නිරත වෙනවා. එදින රාත්‍රිය ගත කිරීම සඳහා මා එවැනි සංචාරක කුඩාරමක්‌ තෝරා ගත්තා. මෙය ඇත්තෙන්ම පුදුම අත්දැකීමක්‌. මේ එක්‌ කුඩාරමක්‌ වර්ග මීටර 5ක්‌ පමණ විශාල වෙනවා. ඇතුළේ රාත්‍රිය ගත කරන්නට අවශ්‍ය පහසුකම් තිබෙනවා. වාඩි රම් නිම්නයේ දහවල් කාලයට අධික උණුසුමක්‌ තිබුණත් රාත්‍රී කාලයට අධික සීතලක්‌ද තිබෙනවා. ඒ නිසා සීතලෙන් ආරක්‌ෂා වීම සඳහා අවශ්‍ය පොරෝන මෙන්ම විදුලි බලයෙන් වැඩ කරන හීටරයක්‌ද තිබෙනවා. හැබැයි විදුලි බලය දෙන්නේ ජෙනරෙටරයකින් නිසා රාත්‍රී 10.00 ට විදුලි බලය විසන්ධි කරනවා. ඊට පස්‌සේ අපිට ආලෝකය ලැබුණේ දල්වන පන්දම් වලින්.

මා රාත්‍රිය ගත කල දිනයේ ලොව නොයෙක්‌ රටවල් වලින් පැමිණි සංචාරකයින් මා සමග රාත්‍රිය ගත කළා. රාත්‍රී සහ උදෑසන කෑම සඳහා එක විශාල කුඩාරමක්‌ තිබෙනවා. එහි බුෙෆ් ක්‍රමයට ආහාර සැපයෙනවා. එක්‌ රාත්‍රියක්‌ ගත කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 50ක්‌ පමණ මුදලක්‌ අය කරනවා.විවිධ රටවල් සංචාරකයින් සමග සල්ලාපයේ යෙදෙන්නටත් රාත්‍රී කාලයේ සකස්‌ කළ ඇති විශාල ගිනි මැලයක්‌ වටේට සිටිමින් ඒ ඒ රටවල් වල ගායන හා නැටුම් ඉදිරිපත් කරමින් අරාබි කාන්තාරයේ රාත්‍රී තරු එළිය හා ගත කළ ඒ රාත්‍රිය ඇත්තෙන්ම සුන්දරයි. පසු දින උදෑසන මා පළමුවෙන්ම පැමිණුනේ වාඩි රම් නිදිය තුළ ජීවත් වන බෙඩුයින් සාමාජිකයෙකුගේ තාවකාලික නිවහනක්‌ වෙත. මේ වියලි දුවිලි ගහන ප§සරයතුල ජීවත් වීමට අවශ්‍ය සියලූම පහසුකම් මේ බෙඩුයින් කුඩාරමේ තිබෙනවා. ඒ වගේම සෑම බෙඩුයින් ගෝත්‍රිකයකු අතම තුවක්‌කුවක්‌ දක්‌නට ලැබුණා. සෑම කි.මී. කිහිපයකටම වරක්‌ අපිට මේ වගේ බෙඩුයින් කුඩාරම් හමු වුණා.පළමුවන ලෝකා සංග්‍රාමයේදී තුර්කි සහ ජර්මානු හමුදාවන්ට විරුද්ධව අරාබි කැරලි වලදී ෆයිසාල් බින් හුසේන් රජු සහ ටී.ඊ.ලෝරන්ස්‌ ගේ (Thomas Edward Lawrence යනු 1888-1935 අතර කාලයේ බ්‍රිතාන්‍යයේ පුරවැසියෙක්‌) හමුදා මූලස්‌ථානයන් මේ වාඩි රම් නිම්නය තුළ ඉදි කර තිබූ බව ඉතිහාසයේ සඳහන් වේ. මේ සංග්‍රාමයට මුල්වූයේ 1915දී තුර්කීන් විසින් සූවස්‌ ඇළ ආක්‍රමණය කිරීමට තැත් කිරීමේදී ඊට එරෙහිව නැඟී සිටි අරාබීන් හා ඔවුන් අතර ඇති වූ සටනක ප්‍රතිඵලයක්‌ ලෙසින්. ලෝරන්ස්‌ විසින් රචිත Seven Pillars of Wisdom ග්‍රන්ථයේ වාඩි රම් නිම්නය ගැන කිහිප වතාවක්‌ සඳහන් වෙනවා.

ඒ වගේම ඩේවිඩ් ලීන් අධ්‍යක්‌ෂණය කල ලෝක ප්‍රසිද්ධ සිනමාකරණයක්‌ වන Lawrence of Arabia චිත්‍රපටය පළමු ලෝක යුද්ධයට සම්බන්ධ ඉහත සත්‍ය සිදුවීම හා චරිත පාදක කරගෙන නිමවුන චිත්‍රපටයක්‌. මේ චිත්‍රපටයේ සමහර අවස්‌ථා රූ ගත කරලා තියෙන්නේ ඇත්තටම මේ සිද්ධිය වුණා යයි විශ්වාස කරන වාඩි රම් නිම්නයේ. ඉතිහාසය මේ වාඩි රම් නිම්නයේ හමුදා මූලස්‌ථානය ගැන හරියටම වාර්තා කර නැතත් මේ සිද්ධිය සමරන්න විශාල ගල් පවුරක ලෝරන්ස්‌ගේ පිළිරුව කොටා තිබෙනවා. ඔබ කවදා හෝ ජෝර්දානයේ සංචාරය යන්නේ නම් මේ වාඩි රම් නිම්නයට පිවිසෙන්න අමතක කරන්න එපා. එයින් ලැබෙන සුන්දරත්වය ඔබේ සිත තුළ සැමදාම රැදී පවතී.

රොහාන් ඩිරෙක්‌ස්‌

මොස්‌කොව් සිට

star1

star2

star3

star4

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles