Divaina - තන්තුරි චිකන් සුවද විදිමින් ඩවිනො පොළට - ඉඩි අමීන් නැති උගන්ඩාව... අවසන් කොටස

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

thanduriනමුගොන්ගෝ දේවස්‌ථානය

උගන්ඩා ඉතිහාසයට අනුව කතෝලික පූජකවරුන් 24 දෙනෙක්‌ 1885 සිට 1887 දක්‌වා දෙවසර තුළ එවකට උගන්ඩාවේ රජ ම්වන්ගා විසින් මරා දමා තිබෙනවා. එයින් පූජකවරුන් 13 දෙනෙක්‌ පණ පිටින් පුළුස්‌සා මරා දමා තිබෙන්නේ. නමුගොන්ගෝ දේවස්‌ථානය ක්‍රිස්‌තියානි ආගම උදෙසා තම ජීවිතය පරිත්‍යාග කළ මේ සාන්තුවරයන් වෙනුවෙන් ඉදිකර තිබෙනවා. එසේම මේ දේවස්‌ථානය පිහිටා ඇති භූමියෙදීද ශාන්ත චාල්ස්‌ ල්වන්ගා නමැති සාන්තුවරයා 1886 වර්ෂයේදී පණ පිටින් පුළුස්‌ස මරා දමා තිබෙනවා. මෙම දේවස්‌ථානයේ අල්තාරය ගොඩනඟා ඇත්තේ හරියටම එම ස්‌ථානයේ.

දිනපතාම අති විශාල උගන්ඩා කතෝලික බැතිමතුන් මෙහි පැවැත්වෙන දේව මෙහෙයන්වලට සහභාගි වනවා. 1993 වර්ෂයේදී ශාන්ත ජෝන් පාප් වහන්සේද මෙම ස්‌ථානයට පැමිණ තිබෙනවා.

සෑම වසරක ජුනි මස 3 වැනිදා විශේෂ දේව මෙහෙයකින් ඇරඹෙන ආගමික වතාවත් සිදු වන්නේ දේවස්‌ථාන භුමියේ විශාල විලක පිහිටා ඇති කුඩා දුපතක සිට. දේවස්‌ථාන භුමියේ සියලුම කෙළවරවල් වලින් මේ දූපත සහ දේව මන්දිරය ඉතා පැහැදිලිව පෙනෙනවා.

උගන්ඩාවේ ජනගහනයෙන් 85%ක්‌ පමණ ප්‍රතිශතයක්‌ කතෝලිකයන් වෙනවා. කම්පාලා සිට කි.මී. 15 ක පමණ දුරකින් තමයි මේ දේවස්‌ථානය පිහිටා තිබෙන්නේ. සංචාරකයන් වෙනුවෙන් විශේෂ වැඩ සටහන් සහ එක්‌ දින සංචාර උගන්ඩා සංචාරක මණ්‌ඩලය විසින් දිනපතා කම්පාලා නගරයේ සිට ක්‍රියාත්මක වෙනවා.

බුගන්ඩා රජවරුන්ගේ සොහොන්කොත් - කසුබි

කම්පාලා නගරයේ තවත් ප්‍රසිද්ධ ස්‌ථානයක්‌ වන්නේ බුගන්දා රජවරුන්ගේ සොහොන්කොත් පිහිටා ඇති කසුබි ආගමික පෙදෙසයි. අතීත රාජකීය පරම්පරා හතරක සාමාජිකයන්ගේ සොහොන්කොත් මෙම ස්‌ථානයේ දක්‌නට තිබෙනවා. මෙය යුනෙස්‌කෝ සංස්‌කෘතික දේපලක්‌ ලෙස 2001 වසරේ සිට ක්‍රියාත්මක වෙනවා.

උගන්ඩා රාජ්‍යය නිර්මාණය වුයේ 19 වන ශත වර්ෂය අවසානය්දී බුගන්ඩා ජනතාව නමින් හැඳින්වූ පිරිසක්‌ ඔවුන්ගේ රජ වූ කබකාස්‌ හෙවත් බුගන්ඩා වරුන්ගේ නායකත්වයෙන්. 19 වැනි ශත වර්ෂයේ මැද භාගයේදී අරාබි ජාතික වහලුන්ගේ සංක්‍රමණය වෙනතාක්‌ මෙම බුගන්ඩා රාජ්‍යය බාහිර ලෝකය සමග සම්බන්ධතා පවත්වා නැහැ.

පළමු වැනි බුගන්ඩා රජවන කබකා මුටෙසා රජු විසින් සිය පරිහරණය උදෙසා ප්‍රථම රාජකීය නිවස්‌නය මේ ස්‌ථානයේ ඉදිකර තිබෙනවා. 1881 වර්ෂයේදී ඔහුගේ අභාවයෙන් පසු දේහය මේ ස්‌ථානයේ ආදාහනය කර ඔහුගේ හිස්‌ කබල දේවස්‌ථානයේ තැන්පත් කර තිබෙනවා. බුගන්ඩා ජනතාව විශ්වාස කරන්නේ ඒ හේතුව නිසා මේ ප්‍රථම රජුගේ ආශීර්වාදය මේ ස්‌ථානයට හිමි වී තිබෙන බවයි.

ඔවිනෝ පොළ

ඔවිනෝ පොළට නැතිනම් අප්‍රිකාවේ ලොකුම මාර්කට්‌ එකට යාමට මා ඉල්ලීමක්‌ කළ විට මා මිත්‍ර බාරකා විශ්මයට පත් වුණා. මා හට ඇත්ත වශයෙන්ම තිබුණේ කම්පාලා නගරයේ එක දිනයක පමණ කාලයක්‌. එම දිනයෙන් සුළුවෙලාවක්‌ මාර්කට්‌ එකක්‌ බැලීම සඳහා යාමට ඉල්ලන එකම විදේශිකයා මා නිසාදෝ නිසා ඇය පුදුමයකට පත් වී ඇතැයි මට සිතුණා. එහෙත් මට අවශ්‍ය වූයේ උගන්ඩා සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය ගැන සරල අත්දැකීමක්‌ ලබා ගන්නට. එයට හොඳම ස්‌ථානය මේ ඔවිනෝ පොළ.

"දිනකට ලක්‌ෂ සංඛ්‍යාත ජනගහනයක්‌ පැමිණෙන මේ ඔවිනෝ පොළ ඇත්ත වශයෙන්ම ඇවිදීමට පවා ලෙහෙසි පහසු ස්‌ථානයක්‌ නොවේ. මෙතරම් ලොරි කාර් වාහන සහ බෝඩා බෝඩා ප්‍රමාණයක්‌ කෙසේ මේ වෙළෙඳපොළ තුළ ධාවනය වෙන්නේ දැයි දන්නේ ඔවුන්ම පමණයි. සුඩාන් රුවන්ඩා කෙන්යා ඉන්දියා ජාතිකයන් තම වෙළෙඳ ව්‍යාපාර මේ ස්‌ථානයේ පවත්වාගෙන යනවා.

විවිධ වර්ණයන්ගෙන් ඇඳුම් වලින් සැරසී ඇති උගන්ඩා කාන්තාවන් තම හිස මත තබා පලතුරු කූඩයන් රැගෙන යන අන්දම අතිශයින්ම සුන්දරයි. ඉන්දියානු තන්දුරි චිකන් සුවඳ මුළු පොළ පුරාම පැතිර තිබෙනවා. කිසිම කඩයක නමක්‌ හෝ විකුණන්නේ මොනවාද යන්න ලියා නැහැ. කඩය ඉදිරිපිට තමයි සියලුම භාණ්‌ඩ ගොඩගසා තිබෙන්නේ.

බාරකා ගේ උපදෙස්‌ පරිදි මගේ විශාල කැමරාව බෑගය තුළට දමා දුරකථනයෙන් අවශ්‍ය ජායාරුප ලබා ගැනීමට පෙළඹුණා. පොලේ මූලික දොරටුවන් ඇතුළට යැම සඳහා පමණක්‌ අවම වශයෙන් අපිට පැයකට අධික කාලයක්‌ ගත වුණා. ඔවිනෝ පොළේ 70%ක්‌ පමණ වෙළෙඳාම් කරන්නේ කාන්තාවන්. පාවිච්චි කළ ඇඳුම් පැළඳුම් සිට ආහාර පාන, එළවළු සහ පලතුරු විශාල වශයෙන් මේ පොළේ වෙළෙඳාම් සඳහා තබා තිබෙනවා. වෙළෙඳුන්ගේ ඝෝෂාව නිසා මුළු මාර්කට්‌ භූමියේම පවතින්නේ විශාල ඝෝෂාකාරී කලබල වාතාවරණයක්‌. බාරක පවසන්නෙන් හැකි ඉක්‌මනින් මේ ස්‌ථානයෙන් පිටවන ලෙසයි. විදේශික සංචාරකයෙකුගේ වගකීම ඇය මත පැවරී ඇති නිසා ඇය මේ අන්දමට මා හට පවසන බව මට හැඟුණා. එහෙත් මේ අප්‍රිකානු මිනිසුන් අතරට මැදිවී ඔවුන්ගේ ජන ජීවිත රටාවන්වලට එබී බලන්නට ලැබීම ඇත්තටම කවදාකවත් නොලැබෙන අත්දැකීමක්‌. ඔබ උගන්ඩාවට පැමිණෙන්නේ නම් මෙම ඔවිනෝ පොළට යැමට අමතක නොකරන්න. අප්‍රිකානු ජන ජීවිතයේ හදවත්වල රිද්මය කම්පාලා නුවර ඔවිනෝ වෙළඳපොළේදී ඔබ හට දැනේවි.

උගන්ඩාවේ මට රැඳී සිටිය හැකි කාලය ඉක්‌ම යමින් පවතිනවා. නැගෙනහිර අප්‍රිකානු සංචාරයේ මගේ ඊළඟ රට වන රුවන්ඩාවට යැම සඳහා ගමන් ආරම්භ කළයුතුව තිබෙනවා. උගන්ඩාවේ රැඳී සිටි සුළු කාලය තුළදී රට ගැන ලොකු අවබෝධයක්‌ ලබා ගැනීමට මට හැකිවුණා. මා උගන්ඩාවට පැමිණියේ බොහෝ සංචාරකයන් මෙන් උගන්ඩාවේ ප්‍රසිද්ධ කඳුකර ගෝරිල්ලන් නැරඹීමටවත් හෝ සෆාරි සංචාරයේ යෙදෙන්නටවත් නොවේ. දශක හතරක්‌ දේශපාලන පෙරළීම්වලට භාජන වී කඩාවැටුණු ආර්ථීකයක්‌ කරපින්නාගෙන ලොව අමානුෂික ඒකාධිපති නායකත්වයකින් හෙම්බත්වී සිටින උගන්ඩා දේශය සහ ජන ජීවිතය දැන් ටිකෙන් ටික පිබිදීමට ලක්‌වෙමින් පැවතීම සතුටට කරුණක්‌. උගන්ඩා ජන ජීවිතයේ මේ රිද්මය හඳුනා ගැනීම මගේ සංචාරයේ අරමුණ වුණා. මා හට තේරුණ කරුණ වූයේ උගන්ඩා ජනතාවත් මිත්‍රශීලී එමෙන්ම ආගන්තුක සත්කාරයෙන් පිරි ජනතාවක්‌ බවයි. වායු සමීකරණ සාප්පු සංකීර්ණවල නොව මහමග දෙපස වෙළෙඳපොළවල් වල කම්පාලා නගරයෙන් පිට පුංචි නගරවල සංචාරයෙන් මා ලැබූ අත්දැකීම් උගන්ඩා සංචාරයට සුන්දරත්වයක්‌ එකතු කළා.

නමුත් බලවත් පසුතැවිල්ලකට පත් වන්නේ මෙතරම් සුන්දර රටේ අනන්‍යතාව වන්නේ අමානුෂික නායක ඉඩි අමීන් වීමයි. අද ලෝකය උගන්ඩාව හඳුනන්නේ ඉඩි අමීන් නමින්. කෙසේ වෙතත් උගන්ඩා සංචාරක මණ්‌ඩලය ඉඩි අමීන් හා සම්බන්ධ ස්‌ථාන පෙරටු කරගෙන සංචාරකයන් සඳහා වැඩ පිළිවෙළක්‌ සකස්‌ කිරීමට උගන්ඩා රජයට යෝජනා කර තිබෙනවා. උගන්ඩා සංචාරක මණ්‌ඩලය පවසන්නේ අමානුෂික දුක්‌බර ඉඩි අමීන් ඉතිහාසය, රුවන්ඩා ජන සංහාර අනුස්‌මරණ ස්‌ථානයන් සහ හොලොකොස්‌ට්‌ ජර්මානු කෞතුකාගාරය මෙන් ලාබ ලබන සංචාරක කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් කළයුතු බවයි. "ඉඩි අමීන් යනු ලෝකයේ ප්‍රසිද්ධම උගන්ඩා ජාතිකයායි. එහෙත් එම ජනප්‍රියතාවයෙන් කිසිම ප්‍රයෝජනයක්‌ නොගැනීම කනගාටුවට කරුණක්‌. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මෙම ජනප්‍රියතාව ප්‍රයෝජනයට ගැනීම වහා ආරම්භ කළ යුතුය."

thanduri12014 වර්ෂයේදී අප්‍රිකානු සංචාරක සංවිධානය ද මේ යෝජනාව සාකච්ජාවට ගෙන තිබෙනවා. කම්පාලා නගරය, නමුගොන්ගෝ දේවස්‌ථානය සහ ඉඩි අමීන් වධකාගාරය ඉදිරි වසර කිහිපය තුළ උගන්ඩාවේ ප්‍රධාන සංචාරක ස්‌ථාන ලෙස සංවර්ධනය කෙරෙනු ඇති. හැබැයි අද උගන්ඩාවේ සිටින තරුණ පරම්පරාව සහ කුඩා දරුවන් ඉඩි අමීන් ගැන දන්නෙම නැති තරම්. නමුත් ඉඩි අමීන් අද උගන්ඩාවේ ජාත්‍යන්තර වෙළෙඳ භාණ්‌ඩයක්‌ වෙලා. ඒ ජාත්‍යන්තරයට උගන්ඩාව හඳුන්වා දීමේදී. ඔබ දකුණු අප්‍රිකාවට යන්නේ නෙල්සෝන් මැන්ඩෙලා හා සම්බන්ධ ස්‌ථාන නැරඹීමට නම් ඔබ උගන්ඩාවට පැමිණෙන්නේ ඉඩි අමීන් හා සම්බන්ධ ස්‌ථාන නැරඹීමට යන්න බව තමයි උගන්ඩා සංචාරක මණ්‌ඩලයේ මතය. සමහර විට අනාගතයේදී උගන්ඩාවේ සංචාරක අනන්‍යතාව මේ ආකාරයට වෙනස්‌ වේවි.

මා උගන්ඩාවට පැමිණීමට මාසයකට පමණ පෙර උතුරු උගන්ඩාවේ එක්‌ ගම්මානයක සාමය, සංහිඳියාව, සමගිය සහ සංවර්ධනය යන තේමාව නමින් පැවති හමුවකට ඉඩි අමීන්ගේ පුත් ජෙෆ්රී අමීන් සහභාගී වී තිබුණා. මේ ගම්මානයේ තමයි ඉඩි අමීන් වැඩිම පිරිසක්‌ ඝාතනය කර තිබුණේ. ගම්මානයේ සිටි සියලුම පිරිමීන් අමීන්ගේ හමුදාවන් අතින් කෘර ලෙස මැරුම් කෑවා. සමහර පවුල් වල ඉතිරි වුණේ එක්‌කෙනෙක්‌ දෙදෙනක්‌ පමණයි.

ජෙෆ්රී අමීන් තම පියා වෙනුවෙන් සමාව ඉල්ලා සිටි අවස්‌ථාවේදී කඳුළු පිරි දෙනෙතින් ඉදිරියට පැමිණුනු සමහර වැන්දඹු කාන්තාවන් පවසා ඇත්තේ "අපිට කවදාකවත් ඉඩි අමීන්ව අමතක වෙන්නේ නැහැ. නමුත් ඔබගේ සමාව ඉල්ලීම අපි අගය කරනවා. ඒ වෙනුවෙන් ඉඩි අමීන්ව අමතක කරන්න අපි සූදානම්" යනුවෙන්. උගන්ඩා ඉතිහාසය අඳුරුයි. ඛේදජනකයි. නමුත් වර්තමානයේද ආලෝකය නම් පෙනෙන තෙක්‌ මානයේ නැති බවයි මා සමග කතා බස්‌ කළ උගන්ඩා වැසියන් පැවසුවේ. රජයේ දේපල ගසාකෑම, වංචා දූෂණ, අද උගන්ඩාවටද ප්‍රබල ප්‍රශ්නයක්‌ වෙලා. උගන්ඩාවේ හොඳම විශ්ව විද්‍යාලයේ පවා දරුණු වංචා දූෂණ සිදුවෙලා ඒ ගැන පරීක්‌ෂණ පවත්වනවා. 2012 වසරේ නව හැඳුනුම්පත් ක්‍රමයක්‌ හඳුන්වාදීම වෙනුවෙන් උගන්ඩා රජය ඩොලර් මිලියන 72 ක්‌ පමණ වැය කර තිබුණත් වැසියන් 400 කට පමණයි ඒ හැඳුනුම් පත් ලැබී තිබෙන්නේ. මෙවැනි සිද්ධීන් කියා නිම කරන්නට බැහැ. අප්‍රිකාවේ වැඩිම වංචා දූෂණ සිදුවෙන රටක්‌ හැටියට උගන්ඩාව අද පෙරමුණේ.

මා සමග උගන්ඩා - රුවන්ඩා දේශ සීමාව දක්‌වාම පැමිණුනු මා මිත්‍ර උගන්ඩා ජාතිකයා මගෙන් සමු ගත්තේ 2009 වසරේදී ඇන්ඩ්රූ රයිස්‌ විසින් උගන්ඩාවේ ඉඩි අමීන් සමයේ සිදුවූ අමානුෂික මැරකම් ගැන සහ ඒ කාලයේ අතුරුදන් වූ තම පියා වෙනුවෙන් යුක්‌තිය ඉල්ලා සටනක්‌ කළ උගන්ඩා ජාතිකයෙක්‌ ගැන ලියවුණු පොතක්‌ තෑගී වශයෙන් ලබා දෙමින්. ඒ "මුව පුරා සිනහ පාමින් හදවතින් හඬා වැටෙන උගන්ඩාවක්‌" ගැන ලියූ ග්‍රන්ථයක්‌.

සාමය සහ සංහිඳියාව වෙනුවෙන් අතීතය වළලා දැමීමට උගන්ඩාව අපමණ උත්සාහයක්‌ දරනවා. ඉඩි අමීන්ගේ කෘර මිනීමැරුම්වලට සම්බන්ධ වූ පාලකයින් සහ සාමාජිකයින් සාමයේ සහ සංහිඳියාවේ නාමයෙන් අද නිදහස්‌ වෙලා.

උගන්ඩා මිතුරාගේ මුව පුරා විහිදුණු සිනාව මට තවමත් මැවිලා පේනවා.

රොහාන් ඩිරෙක්‌ස්‌

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles