Divaina - ඉඩි අමීන් ගෙන් පසු උගන්ඩාව.. - මුව පුරා සිනහ පාමින් හදවතින් හඬා වැටෙන උගන්ඩාව

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

idiවැඩිම ජනප්‍රියතාවක්‌ දැරූ උගන්ඩානු ජාතිකයා වන්නේ ඉඩි අමීන්. එහෙත් එම ජනප්‍රියතාවයෙන් කිසිම ප්‍රයෝජනයක්‌ නොගැනීම කනගාටුවට කරුණකි. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මෙම ජනප්‍රියතාව ප්‍රයෝජනයට ගැනීම වහා ආරම්භ කළ යුතුය. - උගන්ඩා සංචාරක මණ්‌ඩලය 1971 ජනවාරි මස 25 වැනිදා ඔබොටේ ගේ නායකත්වයෙන් යුත් රජය හමුදා කැරැල්ලකින් පෙරළා දමා උගන්ඩාවේ බලය අල්ලා ගත් ඉඩි අමීන් නිසා උගන්ඩාව ලෝකයේ ප්‍රසිද්ධ රටක්‌ බවට පත්වුණා. ඉඩි අමීන් ඔබොටේ රජයෙහි හමුදා නායකයා වූ අතර බලයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර ව්‍යවස්‌ථාව සංශෝධනය කරමින් සියලුම විධායක බලතල තමන් වෙතට පවරා ගත්තා. පසුව ඉඩි අමීන් ඉතා දරුණු සහ කුරිරු රාජ්‍ය නායකයෙක්‌ හැටියට ප්‍රසිද්ධියට පත් වුණා. ඔහුගේ රාජ්‍ය සමය තුළ පමණක්‌ උගන්ඩා ජාතිකයින් ලක්‌ෂ 3 කට අධික පිරිසක්‌ අමුඅමුවේ ඝාතනයට ලක්‌වූ අතර 1979 වර්ෂයේදී ඔහුගේ රජය බිඳවැටුණු අතර ඔහු සෞදි අරාබියාවට පලා ගියා.

උගන්ඩාවට යා යුතුයි කියා මා තීරණය කළ දිනයේ සිටම උගන්ඩාව සම්බන්ධයෙන් අන්තර් ජාලයේ ඇති විස්‌තර සොයා බැලීමට මම පෙළඹුණා. ඉඩි අමීන් බලයෙන් පහ වී වසර 36 ක්‌ දැනට ගතවී තිබෙනවා. හැබැයි ඉඩි අමීන් උගන්ඩාව පාලනය කළ වසර අටක කාලය මුළු ලොවටම කවදාවත් අමතක වෙන එකක්‌ නැහැ. නමුත් තරමක්‌ හෝ සතුටුදායක තත්ත්වයක්‌ වන්නේ පසුගිය දශක 4 තුළ උගන්ඩාව දේශපාලනික හා ආර්ථීක වශයෙන් සැලකිය යුතු ජයග්‍රහණ ලබාගැනීමත් සංචාරක ව්‍යාපාරයෙන් පෙරට පැමිණීමත්ය.

idi1උගන්ඩාව නැගෙනහිර අප්‍රිකාවේ රාජ්‍යයක්‌. නැගෙනහිරින් කෙන්යාවෙන්ද උතුරින් දකුණු සුඩානයෙන්ද බටහිරින් කොන්ගෝ රාජ්‍යයෙන් සහ දකුණු පසින් ටැන්සානියාවෙන්ද වටවී ඇති උගන්ඩාව හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්‌ටන් චර්චිල් හැඳින්වූයේ අප්‍රිකාවේ මුතු ඇටය නමින්. ලොව වඳවී යන ගෝරිල්ලන් උගන්ඩාව සතුව ඇති නිසා දැන් සංචාරකයින් අතර මේ ගොරිල්ලන් බැලීමට යැම ඉතා ජනප්‍රියතාවට පත් වෙලා තිබෙනවා.

කෙන්යාවේ සංචාරය නිම කර නයිරෝබි නගරයේ සිට කි.මී. 445 ක දුර ගෙවා අප පැමිණියේ කෙන්යාව සහ උගන්ඩාව වෙන් කරන බුසියා දේශ සීමාව වෙතටයි. මේ ස්‌ථානය උගන්ඩාවට ඇතුල් වෙන ප්‍රධානතම දේශසීමාව ලෙසත් ඒ වගේම උගන්ඩා රාජ්‍යයට සාගර දේශ සීමාවක්‌ නොමැති නිසා භාණ්‌ඩ ප්‍රවාහනයේදී බුසියා දේශසීමාව වැදගත් ස්‌ථානයක්‌ ගන්නවා.

මෙම දේශ සීමාව හරහා විදේශිකයෙකුට උගන්ඩාව බලා යැමට නම් තරමක්‌ ලෙහෙසි පහසු ක්‍රියාවක්‌ නොවේ. අවම වශයෙන් පැය 2-3 ක්‌ වත් බලා සිටීමට සිදුවෙනවා. දහස්‌ ගණන් පිරිස්‌ සහ වාහන බයිසිකල් සහ කන්ටේනර් සහිත බර වාහන විශාල ප්‍රමාණයක්‌ කි.මී. 3-4 ක්‌ දුරක සිට පෝළිමේ තිබුණා. සිතූ පරිදීම අපටත් පැය 3 ක කාලයක්‌ පමණ වේලාවක්‌ දේශ සීමාව පසු කිරීම සඳහා ගත වුණා. භාවිත කරන වාහනය උගන්ඩාවේ ලියාපදිංචි වාහනයක්‌ නොවේ නම් අවශ්‍ය කරන ලියකියවිලි කලින් විමසා සකස්‌ කර ගැනීම ඔබේ කාලයෙන් අවම වශයෙන් පැය 2 ක කාලයක්‌ ඉතිරිකර ගත හැකියි. එමෙන්ම මෙහිදී මා දුටු විශේෂ දෙයක්‌ නම් උගන්ඩා සහ කෙන්යා ආගමන නිළධාරීන් සහ පොලිස්‌ නිලධාරීන් කැමරා ආම්පන්න සම්බන්ධයෙන් එතරම් කැමැත්තක්‌ නොදක්‌වන බව. මා අත තිබූ කැමරාව දුටු එම නිළධාරීන් මා පුවත්පත් වාර්තාකරුවෙක්‌ යෑයි සිතා විශේෂ අවසරයක්‌ නොමැතිව බුසියා දේශ සීමාව හරහා යැමට නොමැති බව පැවසුවත් පසුව මා සාමාන්‍ය සංචාරකයෙකු බව අවබෝධ වීමෙන් පසු එම අවසරය මට ලැබුණා.

idi2දිනෙන් දින වර්ධනය වන වෙළෙඳාම් කටයුතු නිසා මෙම දේශ සීමාවේ කාර්යක්‌ෂමතාව වැඩි කිරීම වෙනුවෙන් කෙන්යාව සහ උගන්ඩාව එකතුවී තනි දේශ සීමා මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් පවත්වා ගෙනයාමේ අවශ්‍යතාවය අද වෙනදාටත් වඩා දැනිලා තිබෙනවා. ඒ අනුව 2016 මාර්තු මස සිට එක වහල යට සියලුම ලිපි ලේඛන කටයුතු කර ගැනීමේ පහසුව වෙනුවෙනුත් ඒ වගේම සංචාරකයන්ට විශේෂ පහසුකම් සහිතව නවීකරණය වෙනවා. ඒ අනුව දේශ සීමාව පසුකිරීමේ කාලය අවම කරගැනීමටද හැකියාව ලැබෙනවා.

උගන්ඩාවට ඇතුල්වීමට තරමක කාලයක්‌ ගත වුණත් කම්පාලා නගරය වෙත යන ගමනේදී කෙසේ හෝ අඳුර වැටෙන්නට පෙර මෙම ස්‌ථානය දැක ගැනීමට මට අවස්‌ථාව ලැබුණා. ලොව දිගම ගඟ නයිල් නදිය ආරම්භ වන ස්‌ථානය මෙතනයි. බ්‍රිතාන්‍ය ජාතික ජෝන් හැනින්ග් විසින් 1858 අගෝස්‌තු මස 3 වන දා සොයා ගත් වික්‌ටෝරියා විලේ ජලය මෙම ස්‌ථානයේ සිට නයිල් නදිය නමින් හැඳින්වී කි.මී. 6400 ක දුරක්‌ ගෙවා මධ්‍යධරනී මුහුද වෙත ගලා යනවා.

නයිල් නදිය වනාහී විවිධ රටවල් 11 ක ජලය බෙදා ගන්නා ලොව දිගම ගංගාවයි. ටැන්සානියාව, උගන්ඩාව, රුවන්ඩාව, බුරුන්ඩි, කොංගෝ, කෙන්යාව, ඉතියෝපියාව, එරිත්‍රියාව, දකුණු සුඩානය, සුඩානය සහ ඊජිප්තුව එම රටවල් වෙනවා. මෙම රටවල් වලින් ඊජිප්තුවේ සහ සුඩානයේ ප්‍රධානම ජලය සැපයීම සිදු වෙන්නේ නයිල් නදිය මගින්.

එමෙන්ම වික්‌ටෝරියා විලද අප්‍රිකාවේ පිහිටා ඇති විශාලම විල සහ ලොව ස්‌වාභාවික ජලය පිහිටා ඇති විශාලම විලවල්වලින් එකක්‌ වෙනවා. එහි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 70000 ක්‌ පමණ වෙනවා.

මහත්මා ගාන්ධිතුමාගේ පිළිමයක්‌ මේ ස්‌ථානයේ තිබීම වැදගත් කාරණයක්‌. ප්‍රතිමාව අසල පිහිටා ඇති පුවරුවේ විස්‌තරවලට අනුව මෙය 1997 වර්ෂයේ ඔක්‌තෝබර් මාසයේදී එවකට හිටපු ඉන්දීය අගමැති ඉන්දර් කුමාර් ගු-රාල් මැතිතුමා විසින් විවෘත කර තිබෙනවා. දැන් මෙය උගන්ඩාවේ ඉන්දීය බැංකුවක්‌ විසින් නඩත්තු කෙරෙනවා.

මගේ මඟ පෙන්වන්නා පැවසුවේ මහත්මා ගාන්ධි තුමාගේ අභාවයෙන් පසු එතුමාගේ අළු නයිල් නදියේ පා කර යවා ඇති බවයි.

කවදා හෝ දිනයක ඔබ උගන්ඩාවේ සංචාරයක්‌ සඳහා යන්නේ නම් නයිල් නදියේ මූලාශ්‍රය වෙත යැම ඔබට ආශ්වාදජනක අත්දැකීමක්‌ වෙනවා නිසැකයි.

කි.මී. 6400 ක්‌ දුර ගෙවා ඊජිප්තුවෙන් මුහුදට වැටෙන මේ මනරම් නදිය අප්‍රිකානු රටවල් බොහොමයකට මෙන්ම මුළු ලොවටම ඉතාම වටිනා ස්‌වාභාවික සම්පතක්‌ වෙනවා.

දරුණු කෘර නායක ඉඩි අමීන් දැන් බලයෙන් පහවී වසර තිස්‌ හයක්‌ ගතවී තිබෙනවා. අප්‍රිකානු මහාද්වීපයේ රටවල් නිදහස ලබා ගත්තාට පසු බිහිවූ දරුණුතම රාජ්‍ය නායකයා ලෙස ඉඩි අමීන් නාමය ඉතිහාස ගත වන අතර ඔහුගේ පාලන කාලය තුළ අවම වශයෙන් පුද්ගලයන් 100,000 සිට 500,000 දක්‌වා ඝාතනය හෝ අමානුෂික වධ හිංසා වලට භාජනය වී තිබෙනවා.

1979 වර්ෂයේදී ඉඩි අමීන් පාලනය බිඳවැටීමෙන් පසු ලොවට ඉතිරි වුයේ බිඳුණු ආර්ථීකයක්‌ ඇති දේශපාලන වශයෙන් දුබල උගන්ඩාවක්‌. එහෙත් ඉඩි අමීන් ගේ පාලනයට පෙර උගන්ඩාව අප්‍රිකාවේ තිබූ ප්‍රබල ආර්ථීකයක්‌ සහිත රාජ්‍යයක්‌ වුණා.

කම්පාලා නුවරට කි.මී. 30ක පමණ දුරකින් පිහිටා ඇති මෙන්ගෝ කඳු වැටියේ පිහිටා ඇති මෙන්ගෝ මාලිගාව අද අලංකාරවත් ලෙස සංචාරකයින්ට ප්‍රිය මනාප ස්‌ථානයක්‌ වුණත් මෙයට වසර 40 කට පමණ පෙර නම් මෙම ස්‌ථානය ලෝක ඉතිහාසයේ අති බිහිසුණු වධකාගාරයක්‌ තිබුණු ස්‌ථානයක්‌ හැටියට සඳහන් වුණා.

මෙම ස්‌ථානයේ සිට ඉඩි අමීන් නමින් ඉදිකළ පෞද්ගලික විල මැනවින් දර්ශනය වන අතර මෙන්ගෝ මාලිගාව ඇති ඉඩමේ මායිමේ පිහිටා ඇති ගස්‌ වැල් වලින් වැසී ගිය දැන් නටබුන්ව ඇති ගොඩනැඟිලි තුළ මේ බිහිසුණු වධකාගාර ක්‍රියාත්මක කර තිබෙනවා.

1971 - 79 වසරවලදී අවම වශයෙන් 300,000 කට අධික දේශපාලන සිරකරුවන් පිරිසක්‌ මේ ස්‌ථානයේදී අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා ඝාතනය කර ඇති බවයි උගන්ඩා රජය පවසන්නේ.

ඊශ්‍රායල් ඉංජිනේරුවරුන් මෙම ගොඩනැඟිලි ඉදිකර ඇතත් ඉඩි අමීන් ඔවුනට පවසා ඇත්තේ මේවා ඉදි කරන්නේ ආයුධ ගබඩා මැදිරි හැටියට බවයි. අද මේ ස්‌ථානයේ කිසිම නාම පුවරුවක්‌වත් දක්‌නට ලැබෙන්නේ නැහැ. මාගේ මග පෙන්වන්නා පැවසූ පරිදි සෑම දිනකම සිරකරුවන්ගේ දෑස්‌ වසා බොහෝ දුරක්‌ ගමන් කිරීමට පොළඹවා තිබෙනවා. ඒ අනුව කිසිම සිරකරුවකුට ඔවුන් සිරබත් විඳින්නේ මෙන්ගෝ මාලිගා භූමියේ නොවන බවත් ඉතා දුර බැහැර ප්‍රදේශයක බවත් දැනෙන්නට සලස්‌වා තිබෙනවා. ඒ වගේම කිසිම පිටස්‌තර පුද්ගලයකු සමග සම්බන්ධතා පවත්වන්න අවසර දී තිබුණෙත් නැහැ. මෙහි සියලුම සිර කුටි පොළෝ මට්‌ටමින් අඩි කිහිපයක්‌ උසින් සාදා ඇති අතර එම සිර මැදිරි වට කර ජලය පුරවා තිබී තිබෙනවා. එම ජලයට අධි වෝල්ටේ- විදුලි රැහැන් සම්බන්ධ කර තිබුණා.

ඉතාමත් පුංචි මේ එක්‌ කාමරයක අවම වශයෙන් සිරකරුවන් 500 දෙනෙක්‌ පමණ රඳවා තබා තිබුණා. ඔක්‌සිජන් හිඟ කමින් බොහෝ දෙනා මරුමුවට පත්වූ අතර ආහාර පාන සැපයීමද නිරන්තරයෙන් සිදු නොවුණා. ඉවසා ගත නොහැකි සිරකරුවන් බේරී පලායාම සඳහා ජලයට පැන්නත් අවසානයේදී විදුලි සර වැදීමෙන් මියගියා.

සිරකරුවන් රඳවා තිබුණු එක කුටියකට මම ඇතුළු වුණා. පාලුවට ගිය මේ ගොඩනැඟිලි තුළ අද ඉන්නේ වවුලන් විතරයි. බිත්ති වල සිරකරුවන් ලිවූ සටහන් අදද නොමැකී පවතිනවා. මේ සියලුම සටහන් ලියා ඇත්තේ සිරකරුවන්ගේ ලෙයින් සහ මඩ වලින්. මේ සටහන අදටත් මගේ මතකයට නැඟෙනවා.

ඉඩි අමීන් කොතරම් දුරට මේ වධකාගාරවලට ඇලුම් කළා දැයි කියතොත් තවත් වධකාගාර කිහිපයක්‌ සැදීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. වාසනාවකට වගේ එම කාර්යය නිම කරන්නට ඔහුගේ පාලන සමයේ නොහැකි වුණා.

මෙතරම් කෘර අන්දමින් වධ හිංසා පමුණුවා මිනිසුන් මැරීමට ස්‌ත්‍රීන් දූෂණය කිරීමට ඉඩි අමීන් පුදුම ආශාවක්‌ දැක්‌වූ බව සඳහන් වෙනවා. ඔහු බල තණ්‌හාවෙන් හා මානසික රෝගයකින් පෙළුණු බවත් කියවෙනවා.

මේ තරම් දරුණු අපරාධ කළත් ඉඩි අමීන් හැම වෙලාවෙම පැවසුවේ විදේශීය මාධ්‍ය චෝදනා කළත් උගන්ඩාව නිදහස්‌ රටක්‌ බවත් ජනතාව සතුටින් ජීවත් වෙන බවත් ඒ වගේම කිසිම අන්දමකින් මානව අයිතිවාසිකම් කඩ කිරීම් උගන්ඩාව තුළ සිදු නොවන බවත්.

ඉඩි අමීන් විසින් සිදු කළ කෘර බිහිසුණු මිනිස්‌ ඝාතන ගැන සොයා බලන විට තේරුම් ගත හැකි වන්නේ ඔහු ඔහුගේ දේශපාලනික විරුද්ධවාදීන් වධ දී මරා දැමුවා පමණක්‌ නොව ඔවුන් මරා දැමීමෙන් පසුව සිරුරුවල සමහර ඉන්ද්‍රීයයන් පවා අමානුෂික ලෙස ඉවත් කර ගෙන ඇති බවයි. කම්පාලා නුවර රෝහල්වල වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඉඩි අමීන්ගේ සොල්දාදුවන් රැගෙන එන සිරුරුවල නාසයන්, තොල්, ලිංගික අවයව සහ ඇස්‌ පවා ඉවත් කර තිබූ බවයි.

මෙන්ගෝ මාලිගා භුමියේ එක්‌ කොනක මේ දිරා ගිය රෝල්ස්‌ රොයිස්‌ මෝටර් රථය ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා. මේ මෝටර් රථය එලිසබෙත් රැජින විසින් උගන්ඩාවට ත්‍යාගයක්‌ වශයෙන් ලබා දී තිබෙනවා. ඉඩි අමීන් උගන්ඩාවේ බලය අල්ලා ගත්තාට පසු තවදුරටත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයෙන් මිදී ජීවත් වෙන බව පැවසීමට මේ රථය මහජනතාව ඉදිරියේ ගිනිතබා විනාශ කර දැමුවා.

මෙන්ගෝ මාලිගා භුමියේ කෙළවර ඇති නිවාස වල තවමත් පවුල් කිහිපයක්‌ ජීවත් වෙනවා. මා හට පැවසූ අන්දමට ඉඩි අමීන්ගේ කාලයේ මේ පවුල්වල සාමාජිකයන් මාලිගයේ සේවය කර තිබෙනවා. එහි ජීවත් වන එක්‌ වයසක කාන්තාවක්‌ සමග මා පිළිසඳරේ යෙදුණා. ඇය පවසන්නේ ඉඩි අමීන්ගේ පාලනය බිඳ වැටීමෙන් දැනෙන්නේ අති භයංකාර සිහිනයකින් පසු අවදිවූවා සේ කියා. "උදෑසන නිවසින් පිටවන පුද්ගලයා සවස්‌ වරුවේ නැවත පැමිණේ දැයි සැකයක්‌ කා තුළත් පැවතුණා. කොයි මොහොතේ ඉඩි අමීන්ගේ අමානුෂික සොල්දාදුවන් ගෙන් මැරුම් කෑමට හෝ ඔවුන්ගේ අත්අඩංගුවට පත්වේද යන්න දන්නේ දෙවියන් විතරයි. හැම දවසකම හැන්දෑවේ අපි දෙවියන්ට ස්‌තුති කළා ඒ දවස ජීවත් වීමට අවස්‌ථාවක්‌ ලබා දීම ගැන."

අතොළොස්‌සක්‌ වූ මෙවැනි නායකයින්ගේ ක්‍රියා කලාප නිසා ලෝකයට අහිමි වූ මිනිස්‌ සම්පත අප්‍රමාණයි. ඒ වගේම මේ නායකයන් දෙස මුළු ලොවම බලා ඇත්තේ අන්ධ වූ දෙනෙත් වලින්.

පුදුමයකට වන්නේ 1979 දී බලයන් පහවී සෞදි අරාබියාවට පලා ගිය ඉඩි අමීන් තම පවුලේ නෑදෑයින් සමග සුවසේ දිවිගත කර තිබීමයි. පලා ගොස්‌ වසර විසිතරක්‌ම ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වුණා. උගන්ඩාවේ කෘර ලෙස ඝාතනය වූ සිරකරුවන්ගේ අඳෝනා ඉඩි අමීන්ගේ මරණ මංචකයේදී ඔහුට ඇසෙන්නට ඇති බව විශ්වාස කරන බව මා සමග ගමන් කළ රියෑදුරා පැවසුවේ ක්‍රෝධය පුපුරා යමින්.

මෙන්ගෝ මාලිගා භූමියෙන් පිටතට පැමිණුනු මට දැනුනේ මහත් කලකිරීමක්‌. මිනිස්‌ සංහතියට තමන්ගේම ජනතාවට එරෙහිව මෙතරම් දරුණු, කෘර සහ අමානුෂික ලෙස හැසිරුණු මෙවන් පාලකයන්ට එරෙහිව තීරණ ගැනීමට එරට ජනතාවට එමෙන්ම ලොව යුක්‌තිය සහ ආරක්‌ෂාව වෙනුවෙන් යෑයි පෙනී සිටින ජාත්‍යන්තර සංවිධානවලට නොහැකිවීම ඇත්තටම කනගාටුදායක කරුණක්‌.

ඒ කෙසේ වෙතත් උගන්ඩාවේ ලෙයින් කඳුළිsන් පිරුණු ඉතිහාසය අද උගන්ඩා වැසියන්ට අමතක වී ඇතිවා සේ පේනවා. උගන්ඩාවේ සමහර කොටසකට අදත් ඉඩි අමීන් වීරයෙක්‌ වශයෙන් පෙනෙනවා.

කාලයත් සමගම ඉතිහාසයත් අමතකවී ඇති සේ පේනවා. ඉඩි අමීන්ට දාවකව ඉපදුණු දරුවන් 60 කට අධික ප්‍රමාණයක්‌ උගන්ඩාව ඇතුළු රටවල් කිහිපයක ජීවත් වෙනවා. ඉඩි අමීන් පාලන බලයේ සිටිත්දී පාසැල් යන වයසේ සිටි ඔහුගේ පුතෙකු වන ජෙෆ්රී අමීන් මේ වසරේ ජුනි මාසයේදී වසර 48 ක නිහඬතාවය බිඳිමින් තම පියා කළ අපරාධවලට උගන්ඩා ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

සාමය, සංහිඳියාව, සමගිය සහ සංවර්ධනය යන තේමාව නමින් උගන්ඩාවේ ගෝත්‍රික නායකයින්, ආගමික නායකයින් සහ අනිකුත් සම්භාවනීය පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී ජෙෆ්රී අමීන් මේ බව පවසා තිබෙනවා. (ඉහත ජායාරුපය) මයික්‍රෆොaනය අතැතිව සිටින අමීන් මෙසේ පවසන්නේ කඳුළු පිරි දෙනෙතින් සිටින බැප්ටිස්‌ට්‌ නායකයා වන ජෝටීම් ඉදිරියේ. ජෝටීම්ගේ පියාද ඉඩි අමීන්ගේ සොල්දාදුවන් අතින් මරුමුවට පත්වී තිබෙනවා.

මෑතකදී මේ පුවත මා වෙත දැන්වුයේ අප්‍රිකානු සංචාරයේදී මා සමග ගමන් ගත් උගන්ඩා ජාතික මිත්‍රයෙක්‌. මේ පිළිබඳව පක්‌ෂ සහ විපක්‌ෂව උගන්ඩා ජනතාව විවිධ අදහස්‌ දක්‌වන බවත් ඔහු සඳහන් කරනවා.

ඊළඟට මා පැමිණුනේ උගන්ඩා සංචාරක මණ්‌ඩලය මෙසේ හඳුන්වා දෙන ගඩාෆි අනුස්‌මරණ මුස්‌ලිම් පල්ලිය වෙතට.

"නිව්යෝර්ක්‌ නගරයේ ලිබර්ටි ප්‍රතිමාව පිහිටා ඇත. පැරිස්‌ නගරයේ අයිපල් කුලුන පිහිටා ඇත. ඉන්දියාවේ ට- මහල් ප්‍රාසාදයද එමෙන්ම කම්පාලා නගරයේ ගඩාෆි අනුස්‌මරණ මුස්‌ලිම් පල්ලිය පිහිටා ඇත."

ගඩාෆි අනුස්‌මරණ මුස්‌ලිම් පල්ලිය

කම්පාලා නුවර මධ්‍යයේ පිහිටා ඇති මේ පල්ලිය අක්‌කර 12 ක්‌ පමණ ප්‍රදේශයක පැතිර තිබෙනවා. 2004 වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වී 2008 වසරේදී ලිබියානු නායක කර්නල් ගඩාෆි ගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පැවරුණු මේ ස්‌ථානයේ අවම වශයෙන් පුද්ගලයින් 35000 කට පමණ එකවර ආගමික වතාවත්වල යෙදීමට පහසුකම් සැලසෙනවා. එහෙත් සමහර මුස්‌ලිම් ආගමික දිනයන්හිදී 200,000 ක්‌ පමණ බැතිමතුන් පිරිසක්‌ මේ පල්ලියට පැමිණෙනවා. උගන්ඩා ජනගහනයෙන් 12% ක පමණ මුස්‌ලිම් ජාතිකයින්.

පල්ලියේ මුදුනට නැඟීමෙන් මුළු කම්පාලා නුවරම බලා ගන්න පුළුවන්.

විදේශිකයන් ගෙන් මේ ස්‌ථානය නැරඹීම සඳහා ගාස්‌තුවක්‌ අය කරන අතර කාන්තාවන් අනිවාර්යයෙන්ම හිස සහ ඇඟ ආවරනය වන පරිදි ඇඳුම් ඇඳගෙන පැමිණිය යුතු වෙනවා.

ඉඩි අමීන් විසින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර කර්නල් ගඩාෆි අතින් විවෘත වූ මේ පල්ලිය කර්නල් ගඩාෆි ගේ මරණයෙන් පසු උගන්ඩා ජාතික මුස්‌ලිම් පල්ලිය වශයෙන් හඳුන්වනවා.

ඉතිරි කොටස ලබන සතියට....

රොහාන් ඩිරෙක්‌ස්‌

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles