Divaina - සුදු ගෝනා කියවා ලිස්‌බන් සිහිනයේ ගිලී ලෝකය වටේ යන ශ්‍රී ලාංකික සංචාරකයා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ඊළඟ ගමනාන්තය ඇලෙස්‌කාව

වසර 20 ක්‌ තුළ රටවල් 78 ක්‌

whiteඅසූව දශකයේ අග භාගයේ ශ්‍රී ලංකාවෙන් රුසියාවේ මොස්‌කොව් නුවරට සංක්‍රමණය වන රොහාන් ඩිරෙක්‌ස්‌ දීර්ඝ කාලයක සිට එහි වාසය කරමින් ලෝකයේ විවිධ ස්‌ථානයන්හි සංචාරය කරන දුර්ලභ ගණයේ සංචාරකයෙකි. නන්විධ වූ ගති පැවතුම්වලින්ද සංස්‌කෘතියෙන්ද බාහිර පෙනුමෙන්ද විචිත්‍රවත් වූ මේ මිනිස්‌ තුලනය තුළ ඔහුට බොහෝ ඇසූ පිරූ තැන් වෙයි. බිලියන හයක්‌ තරම් වන මේ මිහිතලයේ වෙසෙන මිනිසුන් අතරින් ඉතාම අතළොස්‌සක්‌ පය තබා ඇති ස්‌ථානයන්හි සංචාරය කර ඇති අපූර්ව මතකයන්ද ඔහුගේ ඒ අද්දැකීම් ගබඩාවේ වේ. ඒ මතකයන් මේ පෘථිවි තලයේ ඇති චමත්කාරත්වයද භයංකාරත්වයද මිනිස්‌ ශිෂ්ටාචාරයේ විවිධත්වයද මනා ලෙස පෙන්වන්නේ යෑයි සිතේ. මෙතෙක්‌ අන්තර් ජාලය ඔස්‌සේ ඔහුගේ ඒ අපූරු සංචාරයන් පිළිබඳ අදහස්‌ හුවමාරු කරගත් මම කාලයක සිට ඔහු සම්මුඛ වීමේ කැමැත්තෙන් පසුවීමි. ඉතා කෙටි නිවාඩුවක්‌ සඳහා පසුගියදා ඔහු ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ ඒ අවස්‌ථාව උදා වූයෙන් අපි කතා කළෙමු.

දේශ දේශාන්තර අතර ඇවිද යාමත් පෙර නොදුටු විරූ තැන් දැක බලා ගැනීමේත් නොතිත් ආශාව රොහාන්ගේ සිතේ පැළපැදියන් වන්නේ ඔහු කුඩා කල අසන දකින දේ වලිනි. කෙදින හෝ දුර ඈත රටවල සංචාරය කිරීමේ රුචිය වැඩි කළේද පොත්පත් කියවීමේදී සිතේ මැවුණු ලෝකය බව ඔහු කියයි. ආර්. එල්. ස්‌පිට්‌ල්ගේ සුදු ගෝනා කෘතිය කියවීමේදී ලිස්‌බන් නගරය දැක ගැනීමේ සිහිනය මතිනි. ඔහු එම ආසාවෙන් පෙළුණු අයුරුත් එය මේ දිගු ගමනට උත්තේජනයක්‌ වූ අයුරුත් ඔහුගේ මේ දීර්ඝ චාරිකාවේ ඇරඹුමයි.

ආර්.එල්. ස්‌පිට්‌ල්ගේ කතාවේ ඒ පුංචි ළමයා ලිස්‌බන් ඉඳල හැන්ස්‌ වැන්ඩමිර් නගරයට යන්නයි නැව් නගින්නේ. නැව කුණාටුවකට අහුවෙලා ලංකාවට ගොඩගැහුවට ඒ කතාවේ මගේ මනසට තදින්ම වැදුනේ ලිස්‌බන් නගරය. කවදා හරි ලිස්‌බන් නගරයට යන්න ඕන කියන සිතුවිල්ලෙන් මම එදා පෙළුණා. පුංචි කාලේ පොත්පත්වලින් තමයි අපි ලෝකය දැක්‌කේ. පොත්පත්වල කියෑවෙන ලෝකයේ විවිධ නගරවලට එදා මම මනසින් ගියා. ඒත් කවදා හරි මේ තැන් දැකගන්න ඕන කියල හිතා ගත්තා.

නමුත් 1980 මුල් කාලය වගේ වකවානුව ලංකාවේ ජීවත් වුණ මධ්‍යම පාන්තික පුද්ගලයෙක්‌ විදියට ඒක පරමාර්ථයක්‌ කරගන්න එක ලොකු අභියෝගයක්‌. හැබැයි ඒ වෙනකොට තිබුණ සෝවියට්‌ සමූහාණ්‌ඩුවත් එක්‌ක ශ්‍රී ලංකාව හරි මිත්‍රශීලී රටක්‌. මට ශ්‍රී ලංකා සෝවියට්‌ මිත්‍ර සංගමයේ සාමාජිකයෙක්‌ විදියට රුසියානු භාෂාව ඉගෙන ගන්න අවස්‌ථාව ලැබුණු නිසා මගේ ඒ සිහිනය සැබෑ කරගන්න පොටක්‌ පෑදුණා. ඇත්තටම මට සෝවියට්‌ දේශයට යන්න අවස්‌ථාව ලැබුණේ වැඩිදුර ඉගෙන ගන්න සෝවියට්‌ මිත්‍ර සංගමයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක්‌ නිසා. ඒත් සෝවියට්‌ දේශයට පය තබපු දා ඉඳන් ලැබුණු කෙටි නිවාඩුවකදී පවා මම අලුත් තැනක්‌ දැකබලා ගන්න ගියා. රුසියාවේ මොස්‌කව් නුවර වාසය කරමින් එම නගරය කේන්ද්‍ර කොටගෙන ඇරැඹි ඔහුගේ ඒ ගමන මුල් කාලයේදී ඉලක්‌ක වූයේ සෝවියට්‌ සමුහාණ්‌ඩුවට අයත් රටවල් කිහිපයකට පමණකි. දේශ දේශාන්තරවල ඇවිද යාමේ ඔහුගේ දීර්ඝ සංචාරයන් ඇරැඹීමට රොහාන්ට තවත් කාලයක්‌ බලා සිටීමට සිදුවිණි. මෙයින් විසි වසරකට පෙර තායිලන්තයේ කළ ප්‍රථම සංචාරයත් සමග ඒ වසන්ත කාලය උදාවී තිබේ.

රුසියාවෙන් වෙනත් රටකට ගිය මුල්ම සංචාරක ගමන වුණේ තායිලන්තය. ඒ ගමන ලෝකයේ වෙනත් සංචාරකයන් සංචාරය කරනවා වගේ සාමාන්‍ය සංචාරක ගමනක්‌. හැබැයි ඒ ගමන මට හොද ඇරඹුමක්‌ වුණා. හරියටම ඒ ගමන සිද්ධ වුණේ දැනට වසර විස්‌සකට කලින්. එදා මෙදා කාලය තුළ ලෝකයේ සෑම මහාද්වීපයක්‌ම ආවරණය වන ලෙස රටවල් 78 ක මම මේ වෙනකොට සංචාරය කර තිබෙනවා. මේ යන ක්‍රමයට ගියොත් ඉතාමත් කෙටි කාලයක්‌ තුළ තවත් රටවල් ගණනාවකට මට යන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා. මොකද මුල්ම සංචාරයේදී මට අධික වියදමක්‌ දරන්න සිදුවුණා. ඒත් රටවල් තුනක්‌ හතරකට යද්දී ඉතා අවම මුදලකින් වටිනා කියන තැන් වැඩි ප්‍රමාණයක්‌ දැක බලා ගන්නෙ කොහොමද කියන එක මම ඉගෙන ගත්තා. උදාහරණයක්‌ විදියට ගුවන්ගමන්වලදී මගීන්ගේ ඉල්ලුම ඉතාම අඩු කාල සීමාවන් වල ප්‍රවේශපත්‍රවල මිල ඉතාම අඩුයි. හැබැයි ඒ කාල සීමාවට අදාළ ප්‍රවේශපත් මාස ගාණකට කලින් අපි වෙන්කර ගන්න ඕන. එහෙම කරන්න නම් ඉතින් අපි සංචාරයන් කලින්ම සැලසුම් කරගන්න ඕන. මගේ ළඟ දැනටමත් තියනවා එහෙම කල් ඇතිව අඩු මුදලකට වෙන් කරගත්ත ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර කිහිපයක්‌ම.

අනික රටක සංචාරයක්‌ කරන්න කලින් ඒ රට පිළිබඳ අධ්‍යයනය කිරීමත්, කිහිප දෙනෙක්‌ එක්‌ක සම්බන්ධතාවක්‌ හදා ගැනීමත් වටිනවා. මට මතකයි මගේ අප්‍රිකාවේ එක සංචාරයක්‌ සඳහා මම මාස අටක්‌ තිස්‌සේ වෙහෙසුණා. මට අවශ්‍ය වුණා වික්‌ටෝරියා විල වටේ තියෙන කෙන්යා, උගන්ඩා, බුරුන්ඩි, කොංගො, ටැන්සානියා කියන ඔය රටවල් ඔක්‌කොම එක සංචාරයකින් දැක බලා ගන්න. ඒකට මම අන්තර්ජාලයේ බලලා බලලා ගමන් මගක්‌ හදාගෙන ඒ රටවල සංචාරක ආයතන සියයකට වැඩි ගාණක්‌ එක්‌ක ඒ ගැන කතා කළා. හැබැයි ඒ සියයෙන් දහයකට වඩා වැඩි සංඛ්‍යාවක අදහස වුණේ රට රටවල නීති වෙනස්‌ නිසාත් තනි වාහනයකින් නිසාත් මේක කරන්න බෑ කියන එක. හැබැයි අන්තිමේදී මගේ උත්සාහයට රුවන්ඩාවල එක පුංචි ට්‍රැවල් ඒජන්සි එකකින් හොඳ පිළිතුරක්‌ ලැබුණා. ඔවුනුත් එවැනි ගමන් මාර්ගයක මීට පෙර ගිහින් තිබුණේ නෑ. නමුත් මගේ ඉල්ලීම අනුව ඒ ගමන් මගේ රටවල් කිහිපයකට ගිහින් සොයා බලල ඔවුන් මගෙත් එක්‌ක ඒ සංචාරය කරන්න කැමැති වුණා.

නමුත් මේ වගේ ගමන් හරියටම හොයා බලා දැනගෙන කරන්න ඕන. වැරදුනොත් කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙන්නෙ. මටත් මුල් අවස්‌ථාවලදී එහෙම වෙලා තියෙනවා. ඉතියෝපියාවේ එර්තාලෙ ගිනි කන්ද බලන්න යන්න අන්තර් ජාලයෙන් සොයාගත්ත "ගයිඩ්" කෙනෙක්‌ එක්‌ක මම සන්නිවේදනය කළේ. ගමනට කලින් දිනයෙත් ඔහු කීවේ "ඕකේ සර් ඔල්ස්‌" "ආ රෙඩි" කියල. හැබැයි එර්තාලෙ ගිනිකන්ද තියෙන පැත්ත පාලනය කරන්නෙ ත්‍රස්‌තවාදී කණ්‌ඩායමක්‌ කියන එක එහෙම ගියාමයි දැන ගත්තේ. ඒ ගැන මාව දැනුවත් කර තිබුණේ නෑ. අන්තිමේදී මම රුසියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙක්‌ කියල හඳුන්වා දීල යන්තම් ඒ අවස්‌ථාව ලබාගෙන පැය අටක වෙහෙසකර ගමනකට පස්‌සේ එර්තාලෙ ගිනිකන්දට නැග ගත්තා.

රොහාන් එසේ කියන විට මා සිතුයේ වඩා වෙහෙස කර සහ භයංකාරම සංචාරය එර්තාලෙ තරණය කිරීම වන්නට ඇති බවකි.

නමුත් එම නිර්ණාය වැරදි බව වැටහුම් වූයේ කොංගෝ සංචාරය පිළිබඳ ඔහුගේ මේ අත්දැකීම අඩු විටයි.

රුවන්ඩා දේශ සීමාවෙන් පැන්න ගමන් "ගෝවා" කියන නගරයක්‌ තියෙනවා. ඒ නගරයෙන් භාගයක්‌ම නිර්මාණය වෙලා තියෙන්නේ ගිනිකන්දක්‌ පුපුරා ගිය ලාවා වලින්. ඒ නිසා එහි අමුතු සුන්දරත්වයක්‌ තියෙනවා. මගේ අරමුණ වුණේ මේ ගෝවා කියන සිටි එක නැරඹීම. රුවන්ඩා දේශ සීමාවෙන් එහා තිබුණාට ඒ නගරය සිතියමට අනුව කොංගෝවට අයිති නිසා මොස්‌කොව් තානාපති කාර්යාලයෙන් මම වීසා ගන්න උත්සහ කළා. මුලින් වීසා නිකුත් කරන්න බැහැ කියල අන්තිමේදී කීවා අවශ්‍යනම් පැය 4 කට වීසා නිකුත් කරන්නම් හැබැයි ඔයා යන දවස අනුව වීසා දෙන නොදෙන එක තීරණය වෙනව කියල. එහෙම කියන්න හේතුව තමයි ගෝවා නගරයේ පාලනය දවසින් දවස වෙනස්‌ වීම. එහෙ තියෙන ත්‍රස්‌තවාදය නිසා හිටපු ගමන් ගෝවා නගරයේ පාලනය ත්‍රස්‌තවාදීන් අතට පත්වෙනවා. ඒ නිසා පළමු වතාවේ සැලසුම් කළ ඒ ගමන මට යන්න බැරි වුණා. ඒත් මම රුවන්ඩාවට ගිය අවස්‌ථාවේදී රුවන්ඩා දේශ සීමාවට ගිහින් දේශ සීමා ආරක්‍ෂක භටයන් එක්‌ක එකඟතාවකට ඇවිත් පැය 4 කට ගෝවා නගරයට ඇතුල් වුණා. නගරයට ගියාට පස්‌සේ තමයි තේරුණේ අර කිව්වත් වගේ එදා නගරයෙ පාලනය තිබ්බෙ ත්‍රස්‌තවාදීන් අතේ. ඔවුන් මගෙන් නොයෙක්‌ ප්‍රශ්න කිරීම් කළා. මම දැනගෙන හිටියා රුසියාවත් එක්‌ක අප්‍රිකානු රටවල් හොඳ සම්බන්ධතාවක්‌ තියනව කියල. ඒ නිසා මම එතැනදී කිව්වේ මම රුසියානුවෙක්‌, මගේ එකම අරමුණු නගරය දැක ගැනීම පමණයි කියල. පස්‌සේ පැය තුනකට නගරය නරඹන්න ඔවුන් මට ඉඩ දුන්නා. හැබැයි එදා මට වචනයක්‌ වැරදුනානම් මම නගරයට ඇතුල් වුණ එක කොහේවත් සඳහනක්‌ නැති නිසා අනතුරක්‌ වුණානම් කවුරුත් දන්නෙත් නෑ. එවැනි සංචාරයන් කරන්න සල්ලි තිබුණාට බෑ. ධෛර්යය සහ ආසාව තියෙන්න ඕනෑ.

white1ඉතියෝපියාවෙ ගෝත්‍රික ජනතාවත් එක්‌ක දවස්‌ ගාණක්‌ එකට ජීවත් වෙමින් කළ සංචාරය තමයි හිතේ දැඩි අධිෂ්ඨානයෙන් කළ කර්කශකම චාරිකාව. එහෙදී දවස්‌ 12 ක්‌ වතුර බෝතලයක්‌වත් නැතිව හිටිය මම නිදා ගත්තෙ ජීප් එකේ. එහෙමත් නැතිනම් කූඩා ගමක. හැබැයි ගෝත්‍රිකයන් එක්‌ක ජීවත් වුණ කාලය හරි අපූරු කාලයක්‌. මුලින් මම ගියේ සුඩාන් දේශ සීමාව ආසන්නයේ ජීවත් වෙන මුරිසි ගෝත්‍රිකයන් ළඟට. ටී.56 ගිනි අවියක්‌ කියන්නෙ මුරිසි ගෝත්‍රිකයන්ට සාමාන්‍ය දෙයක්‌. මුරිසි ගෝත්‍රික ගෑනු පවා අවි ආයුධ තියාගෙන ඉන්නෙ. හැබැයි ඒ තවත් මනුෂ්‍යයෙකුට එරෙහිව නෙවෙයි. ඔවුන්ගේ හරක්‌ පට්‌ටිවල හරක්‌ 600 ක්‌ විතර ඉන්නවා. උන්ව වන සතුන්ගෙන් ආරක්‍ෂා කර ගන්නයි අවි තියාගෙන ඉන්නේ. සුඩානයේ යුද්ධයක්‌ තියෙන නිසා ගෝත්‍රිකයෝ ත්‍රස්‌තවාදීන් සමග දේශ සීමාව හරහා හරකුන් වෙනුවට අවි හුවමාරු කර ගන්නවා. ඒ ගෝත්‍රිකයෝත් එක්‌ක දවස්‌ දෙකක්‌ හිටිය. මම හොඳින් අවබෝධ කරගත්තේ ගෝත්‍ර හෝ වේවා වෙනත් සමාජයක්‌ හෝ වේවා මිනිස්‌සු ජීවත් වීම සඳහා පරිසරයත් එක්‌ක කොයිතරම් වෙනස්‌ වෙනවද කියලා. මොකද මුරිසි ගෝත්‍රිකයන් හරකුන්ගේ ලේ බීලා තමයි පිපාසය සංසිඳවාගෙන තියෙන්නේ. අදටත් ඒක ඔවුන් කරනව. හරකුන්ගේ බෙල්ල සිදුරු කරල ලීටරයක්‌ විතර උණු ලේ අරන් එහෙන්ම ඔවුන් එය පානය කරනවා. ආගන්තුක සත්කාරයක්‌ විදියට ඔවුන් එය මටත් පිළිගැන්නුවා. ඔවුන්ගේ ආගන්තුක සත්කාර ලබමින් මම දෙදිනක්‌ මහ කැලෑවේ ගත කළේ මුරිසි ගෝත්‍රිකයන් එක්‌ක. ඔවුන්ගේ ජීවන රටාව තුළින් මම දැක්‌ක වැදගත්ම දේ ඔවුන්ට තිබෙන ප්‍රශ්න අඩුයි. ඔවුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය ආහාර සොයා ගැනීම. මුදල් ඔවුන්ට වටින්නේම නෑ. ඒ වගේම ඔවුන් සියලු දෙනාම වගේ සෞඛ්‍ය සම්පන්නයි. පරිසරයත් එක්‌ක බද්ධව ජීවත්වන නිසාද කොහෙද ඔවුන්ට ඒ දේවල් හිමිවී තිබෙනවා. මා ගිය දුෂ්කරම සංචාරය වන්නේ මුරිසි, හාමරි සහ ඩසනැෂ් නමැති ගෝත්‍රික ගම්මානවලට ගිය ගමන. නමුත් ඒ ගමන්වලදී ගවේෂණශීලී සංචාරකයකුට වුණත් කලාතුරකින් ලැබෙන අත්දැකීම් මම ලබා ගත්තා. හාමරි ගෝත්‍රිකයන්ගේ ගවයන් පැනීමේ චාරිත්‍රය එහෙම කලාතුරකින් සිදුවන දෙයක්‌. එය සිදුකරන නිශ්චිත දවසක්‌ නෑ. ගෝත්‍රික ජනයා එක තැනකට එක්‌ රොක්‌ වුණාම ගවයන් පැනීම සිදුකරනවා. කිලෝ මීටර් ගාණක්‌ කැලේ ඇතුළට ගිය මට අතිශය විරල ඒ දසුන දැකගන්න ලැබුණා. අප්‍රිකාවේ ගෝත්‍රික ජනයා පිළිබඳ රොහාන් තුළ ඇති එවැනි අත්දැකීම් බොහෝ වෙයි. නමුත් එක්‌ නිශ්චිත පැනයක්‌ සඳහා ඔහුගේ ඒ දීර්ඝ විස්‌තරයට මම හරස්‌ කැපුවෙමි. සංවිධිත සමාජය තුළ අද බහුලව සිදුවන කාමුක අපරාධ, මිනිස්‌ ඝාතන මේ නොදියුණු ගෝත්‍රික සමාජවලටත් පොදුවේද?

අඩුවෙන් ඇඳුම් ඇන්දට මම අසා දැනගත්ත කරුණු අනුව ඔවුන්ගේ ජීවින රටාව පාලනය වෙන්නෙත් දැඩි නීති රීති පද්ධතියක්‌ එක්‌ක. ඒ නිසාම ගම්මානය තුළ ගැටුම් සිදුවන්නෙ නෑ. ගමක වැඩිහිටි ගෝත්‍රික නායකයාගේ අනු දැනුම මතයි බොහෝ දේවල් සිදුවෙන්නේ. කවුරුත් ගෝත්‍රයේ සිරිත් විරිත්, නීතිවලට ගරු කරන නිසා කිසිම ප්‍රශ්නයක්‌ නෑ.

අප්‍රිකානු සංචාරය පිළිබඳ තවත් බොහෝ දේ කතා කළද එම තතු එයින් නිම කරමින් ඊට ප්‍රතිවිරුද්ධව වූ පාරිසරික අත්දැකීම් පිරි ඉසව්වකට මම ඔබව රැගෙන යමි. දන්නා තරමින් එම බිමේ මින් පෙර එකදු ශ්‍රී ලාංකිකයකුගේ පාද ස්‌පර්ශ ලද බව නොදනිමි. මේ රොහාන් උත්තර ධ්‍රැවයට කළ සංචාරයයි.

මොස්‌කව් ගුවන් තොටුපළේ සිට පැය දෙකහමාරක ගුවන් ගමනකින් පසු සලිහාටි කියන නගරයට ළඟා වුණා. ජනගහනය 25000 ක්‌ විතර වන එම නගරයට හිරුඑළිය වැටෙන්නෙ බොහොම කලාතුරකින්. එය ඉතාමත් අඳුරු නගරයක්‌. ඒ නිසාම නගරයේ ඇති සියලුම ගොඩනැඟිලි තද වර්ණයන්ගෙන් පාට ගන්වා තිබෙනවා. සීත කාලයට අධික සීතලක්‌ ග්‍රීස්‌මයේදී අධික උෂ්ණත්වයක්‌ වන මේ නගරය පාලනය වන්නෙ රුසියානු ආණ්‌ඩුව යටතේ. නමුත් මේ නගරයේ ඇති දුෂ්කරතාව නිසාම එහි සේවය කරන්න කිසිම රුසියානුවෙක්‌ කැමැති නෑ. ඒ නිසාම දිරි දීමක්‌ වශයෙන් එහි සේවය කරන හැම දෙනාටම ආණ්‌ඩුවෙන් වෙනම දීමනාවක්‌ ගෙවනවා. අමතර පහසුකම් ලබාදී තිබෙනවා. නමුත් මා අත්දුටු දෙයක්‌ තමයි සලිහාටිවල පාරිසරික තත්ත්වය මත එහි ජීවත්වන මිනිස්‌සුන්ට ඉක්‌මනින් කේන්ති යන ස්‌වභාවය. මේ සලිහාටි නගරය තමයි රුසියාවේ උතුරු කොටසේ ඉහළම ස්‌ථානයක මිනිසුන් ජීවත් වන නගරය. එතැනින් එහාට යන විට උත්තර ධ්‍රැවයේ උඩ කොටසට පිවිසෙන්න පුළුවන්. උත්තර ධ්‍රැවයේ උඩ කොටස පාලනය තිබෙන්නේ රුසියාවට සහ ඇමරිකාවට. රුසියානු පාලනය ඇති කොටසටයි මගේ සංචාරය සිදුවුණේ. මේ සංචාරය සඳහා රුසියානු රජයෙන් අවසර ලබා ගැනීමට මට දිර්ඝ කාලයක්‌ බලා සිටීමට සිදුවුණා.

සලිහාටි සිට උතුරු දෙසට මුලින්ම මගේ ගමන සිදුවුණේ මෝටර් රථයකින්. පසුව ජීප් රථයෙනුත් එතැන් සිට හිමේ ධාවනය කළ හැකි බ්‍රහාන්තා නමැති විශේෂ රථයකිනුත් ගමන් කර උත්තර ධ්‍රැවයේ සංචාරකයකුට අවසර දෙන දුරකට ළඟා වුණා. රුසියානු සම්භාවයක්‌ ඇති නීනෙට්‌ නමැති ගෝත්‍රික මිනිසුන් පිරිස තමයි මට මේ ගමනේදී හමුවූ අවසන් මිනිසුන් පිරිස. ඔවුන් අධික ශීත කාලයේත් අධික උෂ්ණ කාලයෙත් මෙහිම ජීවත් වෙනවා. මෙවැනි සංචාරයක්‌ සඳහා අධික මුදලක්‌ වැය වුණත් මම එම වියදමට සාපේක්‍ෂව අවම මුදලකින් මේ සංචාරය සිදුකළේ. නමුත් ඇමරිකානු ඩොලර් 4000 ට තරම් වන එම වියදම සංචාරයක්‌ සඳහා මා වැය කළ වැඩිම වියදමයි.

මෙලෙස ලොව නන්දෙස සංචාරය කිරීම ජීවිතයේම කොටසක්‌ කරගත් මේ අපූරු මිනිසා සිය සංචාරයන්හි විනෝදකාමී ප්‍රියජනකම සංචාරය ලෙස දකින්නේ අප කිසිසේත් නොසිතන රටක නමකි. ඒ චෙච්නියාවයි. යුධ ගැටුම්වලින් උණුසුම් රටක්‌ ලෙස අප චෙච්නියාව ගැන අසා තිබුණද චෙච්නියාවේදී තරම් සංචාරකයකුට ඉහළ ආගන්තුක සත්කාර වෙනත් රටකදී නොවිඳි බව ඔහු කියයි. අප්‍රිකානු කලාපයේ යුධ ගැටුම්වලින් පිරි රටවලට මැදිව රුවන්ඩාව නැගී සිටින අයුරු ඔහු සිහිපත් කරයි. ඒ අත්දැකීම් මතින් දැන් ඔහු ඉදිරි සංචාර සඳහා පිඹුරුපත් සකසයි. විසි වසරක්‌ තුළ රටවල් 78 ක ඇවිද ගිය දුරට වඩා තව බොහෝ දුර මේ මිහිතලයේ ඇවිද අලුත් අත්දැකීමක්‌ විඳ ගැනීමට සැලසුම් කරන ඔහුගේ මීළඟ වැදගත්ම ගමනාන්තය ඇලෙස්‌කාවයි.

තිස්‌ස ගුණතිලක

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles