Divaina - එෆ්.සී.අයි.ඩී.යක් ඕනෑ... ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අක‍්‍රමිකතා රහස් පරීක්ෂක කතාවක් වගේ!

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 edifea


 ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු
 
පොදු ව්‍යාපාර පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පැවති විමර්ශනයකදී පසුගිය 6 වැනිදා අපූරු ප‍්‍රකාශයක් කළේය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු ලෙස 2017-2020 කටයුතු කළ චන්දික හතුරුසිංහ සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අත්සන් කළ ගිවිසුම සහ ඊට පසුබිම් වූ කරුණු රහස් පරීක්ෂක කතාවක කොටසක් ලෙස මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. ඊට හේතුවූයේ යම් අවස්ථාවක පුහුණුකරු ගිවිසුමේ කාලයට පෙර ඉවත් කළහොත් රුපියල් ලක්ෂ 1,000 වන්දියක් ගෙවීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එකඟවීමයි. හයවන ලෝක කුසලානය සඳහා වූ 2019 තරගාවලියෙන් ශ‍්‍රී ලංකාව පරාජය වීමත් සමගම හතුරුසිංහ ඉවත් කර දැමීය. හතුරුසිංහ නීතියේ පිහිට පැතූ අතර, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනට නීතිඥවරුන් සහ අදාළ නඩුකටයුතු සඳහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 300 කි. මහාචාර්යවරයා පෙන්වා දුන්නේ අධිකරණයේ තීරණය හතුරුසිංහට වාසිදායක වුවහොත් නඩුකටයුතු සඳහා වියදම් කර ඇති මුදලට අමතරව රුපියල් ලක්ෂ 1,000 ක වන්දිය ද ගෙවීමට සිදුවිය හැකි බවයි. මෙය නම් රහස් පරීක්ෂක කතාවක්මය. පොදු ව්‍යාපාර පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අදහගත නොහැකි හෙළිදරව්වක් කළේය. ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යට දැනුම්දීමක් වුවහොත් තමන් යෝජිත තනතුර බාර නොගන්නා බවයි.
 
 කිසිදු වගකීමකින් තොරව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව පැහැදිලිය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙනුවෙන් එම අවස්ථාවට සහභාගි වූ ඉහළම නිලධාරියා ඇෂ්ලි දී සිල්වාය. වසර 13 ක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන සිල්වා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග තුනකට සහ එක්දින තරග 4 කට ක‍්‍රීඩාකර ඇත. එම විමර්ශනයේදී අවධානය යොමුවූ තවත් කරුණක් වූයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට හිමි රුපියල් ලක්ෂ 290 ඇමෙරිකානු ජාතිකයකුගේ ගිණුමට වංචා සහගත ලෙස තැන්පත් කිරීමයි.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අපකීර්තියට පත් කර ඇති සිද්ධීන් අතර ඉහත සඳහන් කළේ එවැනි සිදු වීම් දෙකක් පමණි. ඇත්ත වශයෙන්ම 2020 අගෝස්තු මහමැතිවරණයෙන් පසුව පොදු ව්‍යාපාර පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (සභාපති මහාචාර්ය තිස්ස විතාරණ) සහ රජයේ මුදල් කාරක සභාව (සභාපති අනුර ප‍්‍රියදර්ශන යාපා) පාර්ලිමේන්තු සන්නිවේදන අංශය හරහා මාධ්‍යට නිකුත් කර ඇති වාර්තා හෙළිදරව් කර ඇත්තේ ශ‍්‍රී ලංකාව තුළ මූල්‍ය පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ක‍්‍රියාකාරකම් පමණක් නොව රාජ්‍ය සහ පෞද්ගලික අංශ සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඒකාබද්ධව ක‍්‍රියාත්මක කර ඇති මෙහෙයුම් රහස් පරීක්ෂක කතා වලට වඩා ප‍්‍රබලය. ඉහත සඳහන් කළ පාර්ලිමේන්තු කාරක සභා තුන නිකුත් කර ඇති නිවේදන අවධාරණය කරන්නේ ශ‍්‍රී ලංකාව පත්වී ඇති අවාසනාවන්ත තත්ත්වයයි. විගණකාධිපතිගේද සහභාගිත්වයෙන් සිදුකරන අදාළ කාරක සභා විමර්ශන අනුව ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටක් ලෙස නම් කිරීමේ වරදක් නැත.
 
 විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වර්ධනය වෙමින් පවතින මූල්‍ය අසංවරතාවට මුහුණ දිය යුතුය. එය බරපතළ අභියෝගයක් බව අමුතුවෙන් කිව යුතු නැත. යහපාලන සමයේ එජාපය නියෝජනය කළ ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙම ලියුම්කරු 2019 ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී ඇසූ ප‍්‍රශ්නයකට ‘පාර්ලිමේන්තුව ශ‍්‍රී ලංකාවේ දූෂිතම ආයතනය’ ලෙස පැවසීය. නමුත් පාර්ලිමේන්තු කාරක සභා තුන කර ඇති හෙළිදරව් අනුව තත්ත්වය ඊටත් වඩා බරපතළය. සමස්ත මූල්‍ය ක‍්‍රියාවලියම සොරු රැලකට හසුවී ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශය කියා වෙනසක් නැත.
 
 පාර්ලිමේන්තු වාර්තා හෙළිදරව් කර ඇත්තේ වංචාව, දූෂණය සහ අක‍්‍රමිකතා ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත වී ඇති බවයි. සියලූම දේශපාලන පක්ෂ අඩු වැඩි ලෙස වංචාවට, දූෂණයට සහ අක‍්‍රමිකතාවලට යටවී ඇත. මෙවැනි තත්ත්වයක් තුළ මූල්‍ය පරිපාලනයට වගකිවයුතු පාර්ලිමේන්තුව ක‍්‍රියාකළ යුත්තේ කෙලෙසද? පාර්ලිමේන්තුව මෙම තත්ත්වයට වගකිව යුතුද? ශ‍්‍රී ලංකාව මූල්‍ය විනාශයේ දොරටුව අභියසය. වංචාව, දූෂණය සහ අක‍්‍රමිකතා වැළැක්වීමට වගකිවයුතු ආයතන පරාජය වී ඇතිද?
 
 වර්තමානයේ ක‍්‍රියාත්මක දූෂණ මාෆියාව පරාජය කිරීමට සුපිරි බි‍්‍රතාන්‍ය රහස් ඔත්තුකරුවෙකු වන ජේමිස් බොන්ඞ් වැනි පුද්ගලයෙකුට හෝ එවැනි කණ්ඩායමකටද නොහැකිය. පාර්ලිමේන්තු කාරක සභා ක‍්‍රමය හරහා හෙළිකර තිබෙන දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් නිසියාකාරව නීතිපති දෙපාර්තමේන්තුව ක‍්‍රියාත්මක වූවානම් සුදු කරපටි හොරුන් දෙතුන් සියයක් මහා උළුගෙදරය. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු කාරක සභා ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ ඍජූ දායකත්වය තිබිය යුතුමය. යහපාලන රජයට (2015-2019) එරෙහිව එදා ඒකාබද්ධ විපක්ෂය (වර්තමානයේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ) නැගු ප‍්‍රධානම චෝදනාවක් වූයේ ‘එෆ් සී අයි ඞී’ නොහොත් ‘මූල්‍ය අපරාධ විමර්ශන අංශය’ නමැති විශේෂ පොලිස් කණ්ඩායම පිහිටුවීමයි. යහපාලන රජය ‘එෆ් සී අයි ඞී’ දේශපාලන පළිගැනීමට යොදාගත් බවට දිගින් දිගටම චෝදනා නැගීය. පොහොට්ටු රජය ‘එෆ් සී අයි ඞී’ ය සිදුකළ විමර්ශන පිළිබඳව විමසීමට ජනාධිපති කොමිසම් සභාවක් පත් කළේය. දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ නායකත්වය යටතේ ‘එෆ් සී අයි ඞී’ ය ක‍්‍රියාත්මක කළ මෙහෙයුම ජනාධිපති කොමිෂන් සභාව රාජ්‍ය නොවන සංවිධානයක කටයුත්තකට සමාන කර තිබිණි.
 
 ‘එෆ් සී අයි ඞී’ ය ක‍්‍රියාත්මක කළ මෙහෙයුම කඩාවැටීමට මූලික වූ ප‍්‍රධානම හේතුව යහපාලන රජය ක‍්‍රියාත්මක කළ මහ බැංකු බැඳුම්කර වංචා (2015 පෙබරවාරි සහ 2016 මාර්තු) බව පැහැදිලිය. එදා කොමිනියුස්ට් මහා ලේකම් ඩිව් ගුණසේකරගේ නායකත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව 2015 මහා බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සාර්ථක විමර්ශනයක් කළේය. නමුත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන එජාපය එම වාර්තාවෙන් ගලවා ගැනීමට 2015 ජුනි 26 දින මධ්‍යම රාත‍්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. එජාපය ගලවා ගත්තේය. අප පාර්ලිමේන්තු ඉතිහාසයේ එවැනි කාරක සභාවක් කරනු ලැබූ පරීක්ෂණ වාර්තාවක් යට ගැසීමට පාර්ලිමේන්තුව විසිරුවා හැරි එකම අවස්ථාව එයයි. දේශපාලන අධිකාරිය සහ පෞද්ගලික අංශය එක්වී ශ‍්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කළ දූෂිතම මෙහෙයුම එයයි.
 
 පළමුවන මහා බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනය කිරීමට ‘එෆ් සී අයි ඞී’ ය භාරදීමට තිබිණි. නමුත් දේශපාලන හස්තය එවැනි විමර්ශනයකට ඉඩ තැබුවේ නැත. නමුත් 2020 අගෝස්තු මාසයේ නව රජය පත්වීමෙන් පසුව පොදු ව්‍යාපාර පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් කාරක සභාව හෙළිදරව් කර ඇති අහස පොලොව නුහුලන දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ප‍්‍රබල පොලිස් ඒකකයක් අවශ්‍ය. එම ඒකකය පාර්ලිමේන්තුවේ රජය සහ විපක්ෂය නියෝජනය කරන කමිටුවක් යටතේ ක‍්‍රියාත්මක කළ හැකිය. නමුත් රජයට සහ විපක්ෂයට සැබෑ දේශපාලන වුවමනාවක් නොමැතිනම් මෙවැනි කාර්යක් සාර්ථක කරගත නොහැක.
 
 වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අමාරුව? ශ‍්‍රී ලංකාවේ මූල්‍ය පරිපාලනය සහ විනය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත්තේ නීතිය ක‍්‍රියාත්මක නොවීම නිසාය. පාර්ලිමේන්තු කාරක සභා නිකුත් කර ඇති නිවේදන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සැබෑ මුහුණුවර හෙළිදරව් කර ඇත. රටේ සිදුවන අපරාධ, දූෂණ සහ වංචා පොලිසියට සහ අල්ලස් කොමිසමට දැනුම් දීමට විශේෂ දුරකථන අංක ස්ථාපනය කිරීම අදවනවිට මෝස්තරයකි. ඉහත සඳහන් කාරක සභා විගණකාධිපතිවරයාගේද අවසරයෙන් නිකුත් කරන වාර්තා සහ විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන වාර්තා සම්බන්ධයෙන් නිසියාකාර ලෙස ක‍්‍රියාත්මක වීමේ යාන්ත‍්‍රණයක් තිබේනම් වසර දෙක තුනක් ඇතුළත ශ‍්‍රී ලංකාව මානව හිමිකම් රකින දේශයක් වනවා නොඅනුමානය. මානව හිමිකම් රකින රටක රාජ්‍ය බදු අහිමි කරගනිමින් පවතින රජයේ හිතවතුන්ට රුපියල් බිලියන ගණනින් ලාභ ඉපයීමට බදු අඩු කරන්නේ නැත. රජයේ මුදල් කාරක සභාවේදී මහත් ආන්දෝලනයට ලක්වූ සීනි බදු පහළ දැමීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක සහ ගම්පහ දිස්ත‍්‍රික්ක පොහොට්ටු මන්ත‍්‍රී නලින් ප‍්‍රනාන්දු පෙන්වා දුන්නේ එම ගනුදෙනුව රජයට ‘කළු පැල්ලමක්‘ ඇති කළ බවයි.
 
 ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය දෙසැම්බරයේ පාර්ලිමේන්තුවෙදි සීනි බදු වංචාව සම්බන්ධයෙන් කිවයුතු සියල්ල කීවේය. යහපලන රජයට මහා බැංකු බැඳුම්කර වංචාවෙන් ගැලවීමට නොහැකිසේම වර්තමාන රජයට සීනි බදු වංචාවෙන් පැන යෑමට බැරිය. තම පක්ෂයේ නායකත්වය යටතේ ක‍්‍රියාත්මක රජයේ මුදල් කාරක සභාවේ වාර්තා රජයේ නායකත්වයට කියවා බැලිය හැක.
 
 පිළිකා කාරක සහිත පොල්තෙල් රට තුළට ගෙන්වීම සම්බන්ධයෙන්ද වර්තමාන රජයට අත සෝදා ගත නොහැක. විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයෙකුගේ පාලනයේ පවතින ශ‍්‍රී ලංකා රේගුවේ අධීක්ෂණය යටතේ තිබූ පිළිකා කාරක සහිත පොල්තෙල් අදාළ ආයතනය පිටකර තිබූ බව පැහැදිලිය. බලයේ සිටින දේශපාලන අධිකාරියේ උපදෙස් මත මහබැංකු අධිපතිවරයා (අර්ජුන මහේන්ද්‍රන්) තම බෑනාගේ (අර්ජුන ඇලෝසියස්) සමග එක්වී දෙවරක් මහා බැංකුව මංකොල්ල කෑ රටක ඕනෑම වංචාවක් විය හැක. අතුරු කතාවක්ද ඇත. අර්ජුන ඇලෝසියස්ගේ දූෂිත මෙහෙයුම හෙළිවීම නොසලකා එම ආයතනයෙන් කොළොඹ තරු පහේ හෝටලයක උත්සවයක් පැවැත්වීමට රුපියල් මිලියන 2.5 ලබාගත් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය වගකීම් විරහිතව ක‍්‍රියාකිරීම පෙන්නුම් කරන්නේ සමස්ත පිරිහීමයි. ඇත්ත වශයෙන්ම, නීත්‍යනුකූලව කටයුතු කරන මුදල් උපදවන ආයතනයක් දැනට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මකද? පොදු ව්‍යාපාර පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් කාරක සභාව එවැනි දූෂණයෙන්, වංචාවෙන් සහ අක‍්‍රමිකතා වලින් තොර ආයතනයක් තිබේනම් නම් කළ යුතුය. පාර්ලිමේන්තුවේ සංනිවේදන අංශයෙන් මාධ්‍යට දැනට නිකුත් කර ඇති වාර්තාවලින් පෙන්නුම් කරන තත්ත්වය ඉතාමත් අයහපත්ය. එම වාර්තාවලින් පෙන්නුම් කරන්නේ සමස්ත රාජ්‍ය මූල්‍ය ක‍්‍රියාවලිය රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්වී කොල්ල කන බවය.
 
 ‘විෂ පොල් තෙල් රට හැමතැන!: රේගුවෙන් පන්නවපු තෙල් යළි රේගුවටම දීලා‘ 2021 අපේ‍්‍රල් 04 ඉරිදා ‘ඇත්ත‘ පුවත්පතේ ප‍්‍රධාන ශිර්ෂය රට සැබෑ තත්ත්වය පිළිබිඹු කරන කැඩපතක් වැනිය. පසුගිය මාර්තු 31 දින මාරවිල මහෙස්ත‍්‍රාත් රකිත අබේසිංහ දංකොටුව පොලිසිය මහජනතාවගෙන් ලැබුණු ඔත්තුවක් මත සඟවා තිබියදී අත්අඩංගුවට ගත් පොල් තෙල් බවුසර් දෙක නැවත රේගුවට බාරදීම දැඩි විවේචනයට ලක් කළේය. ‘එක රටක් එක නීතියක්‘ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක නම් පෞද්ගලික අංශය රාජ්‍ය අංශයේ පූර්ණ අනුග‍්‍රහයෙන් විෂ පොල් තෙල් මෙලෙස ගෙන්වන්නේ නැත. පොහොට්ටු ආණ්ඩුවේ විෂ පොල් තෙල් ගෙන්වීම යහපාලන රජයේ එංගලන්තයෙන් කුණු කන්ටේනර් රහසේ ආනයනය කිරීම සමඟ සැසඳිය හැකිය.
 
 අදාළ පාර්ලිමේන්තු කාරක සභා වාර්තා හෙළිදරව් කර ඇති තත්ත්වය අමිහිරිය. නිසියාකාරව ආහාර වේල් දෙකක් ගැනීමට රටේ බහුතර ජනතාවට අවස්ථාවක් අහිමිව ඇති අවස්ථාවක ශ‍්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා තවදුරටත් ඉහළ යමින් පවතියි. මෙම තත්ත්වය උඩු යටිකුරු කළ යුතුය.
 
 පාර්ලිමේන්තු සන්නිවේදන අධ්‍යක්ෂ ශාන් විජේතුංග මාධ්‍යට නිකුත්කර ඇති නිවේදන සමස්ත මූල්‍ය පරිපාලනයේ දුර්වලතා, අඩුපාඩු සහ බරපතළ අක‍්‍රමිකතා පෙන්නුම් කරයි. වඩාත් නරක අතට හැරෙමින් පවතින මූල්‍ය පරිපාලනයේ බිඳවැටීම පෙන්නුම් කරන පහත සඳහන් හෙළිදරව් වෙත අවධානය යොමු කරන්න.
 
 (1) 2021.03.26 - 2020 දෙසැම්බර් 31 දිනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති අගරු වූ චෙක්පත්වල වටිනාකම රුපියල් කොටි 24. කැසිනෝ ව්‍යාපාරයෙන් ලැබීමට ඇති හිඟ බදු රුපියල් මිලියන 2,670 කි.
 
 (2) 2021.03.24 - ශ‍්‍රී ලංකාවට දොඹකර ගෙන්වීමේදී වරාය අධිකාරිය ශ‍්‍රී ලංකා රේගුවට (මහා භාණ්ඩාගාරයට) ගෙවීමට නියමිත මුදලින් 50 % රේගු නිලධාරීන් වෙත ගෙවීම. ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ඇත්ත වශයෙන්ම පුදුමාකාරය. රජයේ ආයතන දෙකක් අතර ගනුදෙනුවකදී එම රජයේ සේවකයන් කණ්ඩායමට විශේෂ ගෙවීම් සිදුකිරීම ජුගුබ්සාදායකය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතකදී ශ‍්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට මෙයද හේතුවක් වන්නට ඇත.
 
 2021.03.10 - බදු ගෙවන්නන් අධිකරණ ක‍්‍රියාවලිය තමන්ගේ වාසියට යොදාගැනීම නිසා රුපියල් බිලියන ගණනක බදු අයකර ගැනීම ප‍්‍රමාදයි. ඛැට්ජහ පරිගණක පද්ධතිය අනුව අයකරගතයුතු හිඟ බදු මුදල වූ රුපියල් බිලියන 107 න් මේවනවිට අයකර ගෙන ඇත්තේ රුපියල් මිලියන 224 පමණය.
 
 2021-03.12 - ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය ආධාර මත ක‍්‍රියාත්මක කළ නැගෙනහිර පළාත් ජල සංවර්ධන ව්‍යාපෘතියේ අක‍්‍රමිකතා හේතුවෙන් රුපියල් ලක්ෂ 600 කට අධික පාඩුවක් සිදුවීම. ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනය වගකිවයුතු එම පාඩුව එම ආයතනය කළ වරදක් ලෙස නොසලකා විමර්ශනය අවසන් කිරීම. අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් අයවිය යුතු රුපියල් මිලියන 205 ක් මුදල අමතර බද්දක් ලෙස අයකර නොගෙන, දණ්ඩනයක් ලෙස ලබාගැනීම නිසා එම මුදලින්ද 50% (රුපියල් මිලියන 102.5) රේගු නිලධාරීන්ට ත්‍යාග ලෙස හිමිවීම. ඊට අමතරව, තවත් 20% (රුපියල් මිලියන 41) රේගු නිලධාරීන්ගේ සුබසාධනය සඳහා වන කළමනාකරණ සහ වන්දි මුදලට බර කිරීම. මෙවැනි තත්ත්වයක් ලොව අන් කිසි රටක තිබිය නොහැක.
 
 2020.12.04 - ශ‍්‍රී ලංකා රේගුවේ නොසැලකිල්ල හේතුවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 6,130 (රුපියල් බිලියන 6 කට අධික මුදලක්) පාම් ඔයිල් ආනයනය කරන සමාගම් දෙකක් 2013-2016 කාලය තුළ අහිමි කිරීම. අදවනතුරු මෙම මුදල අයකර
 
 ගැනීමට කටයුතු නොකිරීමට වගකිව යුත්තේ කවුරුද? විශේෂිත කාර්යයන් සඳහා ආනයනය කළ වාහන ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචි කිරීමට ඉඩ සැලැස්වීමෙන් රේගුව සහ මෝටර් රථ දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට මුදල් අහිමි කිරීම. පාර්ලිමේන්තුව අපූරු උදාහරණයක් මෙහිදී ඉදිරිපත් කර තිබිණි. රජයට අයවිය යුතු බද්ධ රුපියල් මිලියන 56 (ලක්ෂ 560) විය යුතු අවස්ථාවක රුපියල් මිලියන 1.5 (ලක්ෂ 15) බදු මුදලක් අයකර ගනිමින් මිලියන 9 (රුපියල් ලක්ෂ 90) වටිනා වාහනය මුදා හැරීම. ඉහත සඳහන් තත්ත්වය පිළිබඳව විමසා බැලිය යුත්තේ පොදු ව්‍යාපාර පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මාර්තු 10 කළ ප‍්‍රකාශයක්ද සැලකිල්ලට ගනිමිනි. ”රාජ්‍ය මූල්‍ය පරිපාලනය අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලය ඇතැම් අවස්ථාවලදී අභියෝගයට ලක්වී ඇති බවයි. ලක්විජය විදුලි බලාගාරය සම්බන්ධ විගණන වාර්තාව ඊට කදිම නිදසුනක් වශයෙන් ගෙන හැර දැක්විය හැකිය.”
 
 මෙම ලියුම්කරු ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු වාර්තා කිහිපයක් පමණි. සමස්ත අප‍්‍රසන්න චිත‍්‍රය එම වාර්තා කිහිපයෙන් පිළිබිඹු වේ. මෙවැනි තත්ත්වයක් පැවතිය හැක්කේ අප වගේ තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක රටක පමණි.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles