Divaina - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ජනාධිපති ගෝඨාභය ඇලන්මැතිනියාරාමයේදී හමුවෙති.... ආණ්ඩුවේ සෙසු පක්ෂ වෙනම පාරක ගමනක්... රනිල්ගේ සාකචඡාව....

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 poli
 
 බුලිත ප‍්‍රදීප් කුමාර
 
කොතරම් අභියෝග තිබුණත් ඒ සියල්ල මොහොතකට අමතක කරමින් රටේ ජනතාව වසර දෙකකට පසු නිදහසේ අවුරුද්ද සැමරූ දින කිහිපයක් ලෙස පසුගිය සතිය ඉතිහාසගත විය. අවුරුදු සැමරුම් හා අවුරුදු ආශ‍්‍රිත විශේෂ සිදුවීම් රැසක්ම තිබුණත් පසුගිය සතියේ කැපී පෙනෙන දේශපාලන ක‍්‍රියාකාරකම් තිබුණේ නැති තරම්ය. එහෙයින් දේශපාලනය ඔස්සේ අපට කතා කරන්නට ඉතුරු වී තිබුණේ රට කරවන නායකයෝ හා පාලකයෝ හා දේශපාලඥයෝ මහජනතාව එක්ව අවුරුද්දට විශේෂයෙන් කළ කී දෑ ගැන ය.
 
 ජනාධිපති අගමැති විපක්ෂ නායක අනිකුත් පක්ෂ නායකයන් හා ආණ්ඩුවේ මැති ඇමැතිවරු සුපුරුදු පරිදි තම තමන්ගේ නිවෙස්වලට හෝ සුවිශේෂී ස්ථාන වලට වී සිංහල අලූත් අවුරුද්ද සමරන ආකාරය මහජනතාව රූපවාහිනිය ආදී මාධ්‍ය තුළින් දැක බලා ගත්හ.
 
 මැති ඇමැතිවරු පමණක් නොව, රජයේ හා පුද්ගලික අංශයේ සියලූ විද්‍යුත් මාධ්‍ය ආයතන තම තමන්ගේ අනුග‍්‍රාහක භවතුන් ගනුදෙනුකරුවන් කලාකරුවන් හා නිලධාරීන් සමග එක්ව නටමින් ගයමින් අවුරුදු සමරන ආකාරයද මහජනතාවට මැද සාලයේ වාඩිවී නොකා නොබී ඉඳගෙන වුව හොඳින් බලාගත හැකිව තිබිණ.
 
 සුපුරුදු පරිදි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කල්වේලා ඇතිවම අවුරුද්දට පෙර කාල්ටන් නිවසට ගියේය. පාදයේ කරන ලද ශල්‍යකර්මයකින් අනතුරුව වෛද්‍ය උපදෙස් මත විවේකීව කාලය ගත කළ ඔහු මෙම අවුරුද්ද තුළ තව දුරටත් විවේකීව හා සතුටින් එම දින කීපය ගත කරන්නට සිතා ගෙන සිටියේය. රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයන්ද සමග නෑදෑයන් ආධාරකරුවන් පිරිවරාගෙන ඔහු මෙවර වෙනදාටත් වඩා උත්කර්ෂවත්ව සිංහල අලූත් අවුරුදු සමරනු ලැබීය. සිංහල අලූත් අවුරුදු උදාවෙන් පසුව අගමැතිවරයා ඇතුළු පවුලේ සැම තවදුරටත් විවේකය ගත කරන්නට තෝරා ගත්තේ නුවරඑළිය අගමැති මන්දිරයයි. 15 වනදා සිට ඔවුන් සිටියේ නුවරඑළියේය.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙවර සිංහල අලූත් අවුරුදු දින කිහිපය සුවිශේෂී බවකින් තොරව ගත කළේය. රාජකාරි කටයුතු සඳහා මුල් තැන දුන් ඔහු අවුරුදු චාරිත‍්‍ර වාරිත‍්‍ර සියල්ල අයෝමා රාජපක්ෂ මැතිනිය සමඟ මිරිහාන නිවසටම වී අකුරටම ඉටු කරන්නට පියවර ගැනීම විශේෂත්වයකි. ආණ්ඩු පක්ෂයේ සෙසු ඇමැතිවරු හා මන්ත‍්‍රීවරු තම තමන්ගේ ගම් පළාත් වලට හා මහ ගෙවල්වලට ගොස් සිටියහ. විවිධ රාජ්‍ය උත්සව අමාත්‍යාංශ මට්ටමින් කෙරුණු බැවින් බොහෝ අයට ඒවායේ නිල රාජකාරි කටයුතු වෙන්ව තිබීම නිසා විවේකයක් නොවීය.
 
 එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ සාමාන්‍යයෙන් අවුරුදු චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු කිරීම සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් දක්වන්නෙකු නොවුණත් එම දින කීපය නිදහසේ සිටින්න ප‍්‍රිය කරන්නෙකි. වෙනදා ඔහු ඒ සඳහා විදේශ සංචාරයක නිරත වීම සිරිතයි. එහෙත් ඔහු මෙවර සිය බිරිඳ මෛත‍්‍රී වික‍්‍රමසිංහ මැතිනිය සමග ප‍්‍රදේශ කීපයක සංචාරය කරන්නට ගියේ ය. මාතලේ හා බෙරගල ස්ථාන කීපයකට ගිය ඔවුන් රාත‍්‍රී නවාතැන් ගැනීම සඳහා නුවරඑළියේ ඉතාම කුළුපග මිතුරෙකුගේ නිවසකට ගියේය. එජාප නායකයා සිය බිරිඳ සමඟ අවුරුදු චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු කළේ මිතුරාගේ එම නිවසේය.
 
 රනිල් මෙම සංචාරය පිටත්වීමට පෙර කොළඹදී එජාප නායකයා ලෙස විශේෂ වැඩ කටයුතු රාශියකට සහභාගි වන්නට ගියේය. ඊට අමතරව බොහෝ වැඩ රාජකාරි ඔහු ඒ දවස් දෙක තුන තුළ සිදු කළේ දුරකථනය මගිනි. ඒ අතර යම් යම් උත්සව හා ප‍්‍රිය සම්භාෂණ කිහිපයකට සහභාගි වන්නට ද ඔහුට සිදු විය. ඒ අතර ඔහු සහභාගි වූ එක් විශේෂ හමුවක් ගැන යමක් විශේෂයෙන් සඳහන් කළ යුතුය.
 
 
 රොනීට 96 සමරන්න
 රනිල් සජිත් තිස්ස ගිහින්

 
 රොනී ද මැල් යනු අපේ රටේ සිටි කීර්තිමත් මුදල් ඇමැතිවරයෙකි. ජේ. ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස මේ රටේ ප‍්‍රථම විධායක ජනාධිපති ධුරය භාර ගනිද්දී ඔහුට මහා සවියක් වෙමින් මුදල් ඇමැතිවරයා ලෙස සමීපතම රාජකාරියක් කළ නායකයා රොනීය. ඔහු දැන් 96 හැවිරිදි ය.
 
 ඔහුගේ 96 වෙනි ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය අඟහරුවාදා ට ය. ඒ නිමිත්තෙන් පුංචි සාදයක් පවත්වන්නට රොනීගේ හිතවතුන් හා ඥාතීන් කටයුතු කළහ. මේ බැව් කල්තියා දැන ගත් රොනී ද මෙල් ඒ සඳහා 1977 ආණ්ඩුවේදී තමන් සමග සමීපව කටයුතු කළ දේශපාලකයන් කිහිප දෙනකුට ආරාධනා කරන්නයි සංවිධායකයන්ට කියා සිටියේය.
 
 එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ඒ අතරට එක් වූ පරිණත දේශපාලන නායකයකු විය.
 
 මේ අතර රොනී ද මැල් තම උපන් දින උත්සවය සංවිධානය කළ අය අතර සිටි උපුල් ගලප්පත්තිට කතා කරමින් එක්තරා ඉල්ලීමක් කළේය.
 
 මට මේ වැඬේට සජිත් පේ‍්‍රමදාසව ගෙන්නලා දෙන්නත් ඕන. ඔයාගේ හොඳ යාළුවලූ නේද.?
 
 ගෙන්නලා දෙන්නනම් බැරි කමක් නෑ සර්. ඒ උනාට ඔබතුමා එතුමාගේ පියාණන් එක්ක ඒ තරම් හිත හොඳින් හිටියේ හිටියෙ නැහැ නේද..?
 
 ඒවා මහා පරණ කතානෙ. අදට ඔය දේවල් වලංගු නෑ. සජිත් කියන්නේ අනාගතයක් තියෙන තරුණ නායකයෙක්. එයා ගැන මට වෙනම බලාපොරොත්තුවක් තියෙනවා. ඔයා එයාට කතා කරල මම ආරාධනා කළා කියලා කියන්න. උපුල් ගලප්පත්ති සජිත් පේ‍්‍රමදාසට කතා කළේය.
 
 අපේ රොනී ද මැල් මහත්මයා ගේ 96 වෙනි ජන්ම දිනය යෙදිලා තියෙන්නේ අඟහරුවාදා. එදා උදේ දහයට විතර චාල්ස් ඩ‍්‍රයිව් එකේ එතුමගේ නිවසට ඇවිත් යන්න කියලා ආරාධනයක් තියෙනවා.
 
 ඒ ආරාධනය මං සතුටින් පිළිගත්තාය කියා කියන්න. සජිත් කිව්වේය.
 
 අඟහරුවාදා උදේ රොනී ද මැල්ට සුබ පතන්නට නිසි වේලාවට එම නිවසට ගොස් සිටි ආරාධිතයන් අතර රනිල් ප‍්‍රමුඛයා විය. රනිල් දුටු දුටු රොනී ද මැල් ඉතා සතුටෙන් ඔහුව පිළිගත්තේය. 1977 ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා ලෙස රොනී ද මැල් භාරදූර රාජකාරියක් ඉටු කරද්දී ආධුනික මන්ත‍්‍රීවරයෙකු ලෙස කරලියට පැමිණි රනිල් වික‍්‍රමසිංහ පිළිබඳ බලවත් විශ්වාසයකින් එදා එජාපයේ සිටි ප‍්‍රවීණයන් යෞවන කටයුතු, අධ්‍යාපන, ක‍්‍රම සම්පාදන, වැනි විෂයයන් භාරදුන් ආකාරය ගැන රොනී ඉතිහාසය මතක් කරමින් විස්තර කළේය.
 
 අවස්ථාවට සහභාගි වී සිටි ආරාධිතයන් අතර දේශපාලඥයන් සිටියේ අතළොස්සකි. ඒ අතර එතැනට පැමිණි තවත් දේශපාලනඥයකු වූයේ තිස්ස අත්තනායකයි.
 
 තිස්ස නොවරදවාම වසර ගණනාවක් තිස්සේ උපන් දිනයට ඔහුට උදේ පාන්දරම කතා කරන අය අතර ප‍්‍රමුඛයෙකි. එහෙයින් මෙම අවස්ථාවට ඔහුට ද ආරාධනා කර තිබිණි.
 
 තිස්ස එතැනට යන විටත් රනිල් වික‍්‍රමසිංහ ඒ තැනට පැමිණ සිටියේය. සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස ද තවත් නොබෝ වේලාවකින් පැමිණීමට නියමිතව ඇති බව ඔහු දැන ගත්තේය.
 
 තිස්ස රනිල්ට සුබ පතමින් කතා කරන අතරතුර තම හිටපු පැරණි නායකයාට අලූත් අවුරුද්ද සඳහා සුබ පතන්නට ද අමතක නොකළේය. තිස්ස ඔහුගේ ”නොකී කතා” පොතෙහි පිටපතක් ද රොනීට පිළිගන්වනු ලැබීය.
 
 මට ඉක්මනට යන්න තියෙනවා යොදා ගත්ත තව වැඩ දෙක තුනක්ම තියනවා. කියමින් තිස්ස ආපසු යන්නට සැරසෙන විට රොනී ඊට විරුද්ධත්වය පළ කළේය.
 
 කොහෙ යන්නද තේ ටිකක් බොන්නේ නැතුව. ඔබතුමාට පුංචි කතාවකුත් කරන්න තියෙනවා.
 
 මොකද හදිස්සියේ යන්න හදන්නේ. රැස්වීමක්වත් තියෙනවද මේ වෙලාවේ. රනිල් විමසා සිටියේය.
 
 ඒව නම් මේ දවස්වල නෑ. වෙන වැඩ තියනවනෙ.
 
 10:30 ට පමණ කේක් කැපීමෙන් පසු රොනී ද මෙල්ගේ වෙබ් අඩවිය ද එළිදැක්වුණේ රනිල්ගේ ප‍්‍රධානත්වයෙනි. ඔවුහු එහි දී 77 විප්ලවය ඒ ගැන අතීතය මෙනෙහි කරමින් කතා කළේය. ජේ ආර් ගේ ආණ්ඩු ශක්තිමත් කරන්නට මුදල් ඇමැතිවරයා ලෙස රොනී ද මැල් දැක්වූ ආර්ථිකමය ශක්තිය ඔහු අගය කරමින් කතා කළේය.
 
 මේ රටේ ජනතාව ඔබ තුමන්ව මෙවර පාර්ලිමේන්තු නොයැව්වේ රටේ අවාසනාවට. ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නයි තිබුණේ. ඔබතුමා තරම් අත්දැකීම් බහුල පරිණත රාජ්‍ය තාන්ත‍්‍රිකයෙක් තවත් මේ පාර්ලිමේන්තුවේ නෑ. රොනී කීවේය.
 
 තිස්ස අත්තනායකද රොනී ද මෙල්ගේ මුදල් ඇමැති භූමිකාව ගැන හොඳ කතාවක් කළේය. මෙම උත්සවයේ කිසිදු අංගයක් මාධ්‍යවලට විවෘත වී නොතිබීම විශේෂත්වයක් විය.
 
 තේ මේසය සූදානම් වූ පසුව අමුත්තන් කිරිබත් තේ බොමින් කතාබහ කරමින් සිටියහ.
 
 ඒ අතරේ තිස්ස කතාබහ කරමින් සිටියේ පැල්පොල විපස්සි හිමියන් සමග ය. සජිත් පේ‍්‍රමදාස ආචාර්ය හර්ෂ සමග පැමිණියේ මේ දෙදෙනාම පිටත්ව ගොස් ටික වේලාවකට පසුවය. අනතුරුව ඔහු කෙළින්ම රොනී ද මැල්ට සුබ පතන්නට එක් විය.
 
 ඔබතුමා චුට්ටකට කලින් ආවා නං ඔබතුමාගේ හිටපු නායකයත් ඔතන හිටියා. ඔබතුමාලා අසමගි වුණ එකේ පාඩුව තමයි අද රටේ ජනතාව විඳින්නෙ. දැන් බලන්න මේ රටට වෙලා තියෙන දේ. මේ රටට කිසිම න්‍යාය පත‍්‍රයක් නෑ. වැඩපිළිවෙළක් නෑ. එක එක නායකයෝ හිතුන හිතුණ දේවල් කරනවා. ඔබතුමා මේ රට වෙනුවෙන් වෙනම න්‍යාය පත‍්‍රයක් හදලා රටට නිවැරදි දර්ශනයක් ඉදිරිපත් කළොත් මේ රට හදන්න ඔබතුමාට වඩා ජගතෙක් ආයෙ නෑ. මම සමහර දේවල් නිරීක්ෂණය කළා ඔබ ගැන. රොනී බොහෝ සේ ප‍්‍රශංසා මුඛයෙන් සජිත් පිළිබඳ ලොකු වර්ණනයක් කළේය.
 
 ඔව් ඉතින් අපිට ලොකු ගමනක් යන්න ඔබතුමා වගේ ප‍්‍රවීණයන්ගේ ආධාර උපකාර ආදර්ශ උපදෙස් හරිම වැදගත්. මවගේ ඒවා ඉතා වුවමනාවෙන් බලාපොරොත්තු වෙනවා.
 
 සීනි, විෂ පොල්තෙල් හා පාම් ඔයිල් පිළිබඳ කතා බස් සියල්ල පසුගිය දින කිහිපය තුළ සමාජයේ තිබූ අවුරුදු උණුසුමත් සමගම අතුරුදහන්ව ගොස් තිබිණි. අවුරුද්දට පොල් තෙල් භාවිතය මහා පරිමාණ වශයෙන් අඩුවනු ඇතැයි කියා කවුරු අනාවැකි පළ කළත්
 
 පසුගිය සතිය තුළ තුළ ජනතාවට එහි වගේ වගක් නැති විය. මෙවරත් පොල් තෙල් භාවිතය ඉතා ඉහළින් සිදු වූ බව ජනතාවට රහසක් නොවීය. රටේ ජනතාවට විෂකාරක පොල්තෙල් පමණක් නොව කොරෝනා ද අමතක වී ගියේය. නිදහසේ හිතේ හැටියට අවුරුදු කන්නට සියල්ලෝම අවධානය යොමු කර තිබීම විශේෂත්වයකි. මේ අතර දේශපාලන කටයුතු කිසිවකුත් සිදු වූයේ නැතැයි කියා අප සිතුවාට සුවිශේෂී දේශපාලන සංසිද්ධීන් කීපයක් ද මේ අතරතුර සිදුව තිබුණි. දේශපාලන සංසිද්ධීන් සිදු වූයේ නැතුවා නොවේ. සිදුවූයේ ඒවා සිදුවන බව මේ උත්සව සමයේ ජනතාවට දැන ගන්නට ඉඩක් කඩක් නොමැති වීමය.
 
 
 ගෝඨාභය හා බැසිල්
 ඇලන් මැතිනියාරාමයට

 
 පසුගිය සෙනසුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂත් උදේ නාරාහේන්පිට ඇලන් මැතිනියාරාමයට පැමිණියේ තනිවම නොවේ.
 
 බැසිල් රාජපක්ෂ ගියේ සිය බිරි`ද වූ පුෂ්පා රාජපක්ෂ සමගය. අයෝමා රාජපක්ෂ ද මෙම ගමනට සහභාගි වී සිටියහ. එයට විශේෂ හේතුවක්ද තිබිණි.
 
 පුෂ්පා රාජපක්ෂ මැතිනියගේ වියදමෙන් ඇලන් මැතිනියාරාමයට දාන ශාලාවක් ඉදි කරන්නට සැලසුම් කෙරුණේ කලකට පෙර සිටය. එම දාන ශාලාවේ ඉදිකිරීම් කටයුතු අවසන් වී උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ උපන් දිනය දවසේ එය විවෘත කරන්නට පුෂ්පා රාජපක්ෂ මැතිනිය තුළ විශේෂ අදහසක් තිබිණි. ඕ ඇමරිකාවේ සිට ලංකාවට මීට දින කිහිපයකට පෙර පැමිණ සිටියේ එම කටයුත්ත සඳහාය. ගෝඨාභයත් අයෝමා රාජපක්ෂ මැතිනිය සහභාගි වූයේ පුෂ්පා රාජපක්ෂ මැතිනියගේ ආරාධනයක් අනුවය.
 
 ජනාධිපතිවරයාත් බැසිල් රාජපක්ෂ මහතා ඇරුණුකොට කිසිදු දේශපාලනඥයෙක් එදින එම කටයුත්ත සඳහා සහභාගි නොවීම විශේෂත්වයක් විය. එහෙත් මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සොහොයුරා වන ඩඞ්ලි සිරිසේන ද මෙම අවස්ථාවට පැමිණ සිටියේය. තවත් විශේෂ ආරාධිතයන් කිහිප දෙනෙක් පමණක් සිටියහ.
 
 දාන ශාලාව සංඝගත කරන ලද්දේ සුවිසල් දානමය පිංකමකිනි. ඒ සඳහා අස්ගිරි - මල්වතු පාර්ශ්වවල අනුනායක හිමිවරුන් ඇතුළු ස්වාමීන් වහන්සේ රැසක්ම වැඩම කර සිටියහ.
 
 මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ටද මේ අතර සුවිශේෂී පිළිගැනීමක් තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද උන්වහන්සේ සමඟ ද ඉතා ලෙන්ගතුකමකින් යුතුව කතාබහ කරනු බොහෝ දෙනකුට දැකගත හැකි විය.
 
 රටතොට ගැන වත්මන් දේශපාලන තත්ත්වය ගැන හා රටේ ඇතිව තිබෙන අර්බුද ගැන ස්වාමීන් වහන්සේ ජනාධිපතිවරයාත් බැසිල් රාජපක්ෂ මහතා සමඟ කතා සමඟ කතාබස් කරනු දැක ගත හැකි විය.
 
 දානය පිළිගැන්වීමෙන් පසු සියලූ අනුශාසනාවන් වලට ඉතාමත් වුවමනාවෙන් ඇහුම්කන් දෙමින් රැඳී සිටි ජනාධිපතිවරයා ඇතුළු පිරිස සියලූම මහා සංඝරත්නය එතනින් එතනින් නික්ම යන තුරුත් බලා සිටියහ. ගිහි පිරිස වෙනුවෙන් සූදානම් කර තිබූ දිවා ආහාරය සඳහා ජනාධිපතිවරයාත් බැසිල් රාජපක්ෂ මහතාත් සෙසු ගිහි අමුත්තනුත් සහභාගි වූයේ ඉන් පසුවය.
 
 සිංහල අලූත් අවුරුද්ද දිනවල අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් සුබවාදී අදහස් හා කරුණු කාරණා රැසක් ඒ මේ අත හුවමාරු වන්නට විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩ බැරි සභාපතිවරුන් ඉවත් කර දමමින් රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන කාර්යක්‍ෂම ආයතන බවට පත්කරන්නට ගෙන යන වැඩපිළිවෙළ බොහෝ දෙනකුගේ ප‍්‍රශංසාවට ලක්ව තිබිණ.
 
 වැඩ බැරි සභාපතිවරු විතරක් නෙවෙයි මැතිතුමනි. වැඩ බැරි ඇමැතිවරු ගැනත් තීරණයක් ගන්න. වැඩ බැරි අය වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටෙනවා අපිට පේනවා. ඒ අතරේ හොඳට වැඩ කරන්න පුළුවන් ශක්තිමත් දේශපාලනඥයෝ ගොඩක් මන්ත‍්‍රීවරු විදියට ආණ්ඩුවේ පසුපෙළ ඉන්නවා. මේ අය ගැනත් තීන්දුවක් ගත්තා නම් තමයි හොඳ.
 
 මහා සංඝරත්නය අතර සිටි ඇතැම් ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබුණේ වරක් දෙවරක් නම් නොවේ. ජනාධිපතිවරයා මේ පිළිබඳව ද තම අවධානය යොමුකර ඉදිරි සති කිහිපය තුළ ක‍්‍රියාත්මක වන්නට නියමිතව ඇතැයි කියා කතාවක් රටේ පැතිර යන්නට වූයේ මේ අතරතුරයි.
 
 ඇමැති මණ්ඩල මාරුවක් ළඟදිම ළඟදීම සිද්ධ වෙන බවයි ආරංචි. ඇතැම් දේශපාලඥයෝ ජනමාධ්‍යවේදීන්ට යම් යම් ඉඟි පළ කරන්නට වූහ.
 
 සමහර ඉහළ මාධ්‍ය තනතුරු වලත් ලොකු ලොකු වෙනස්කම් ඇති වෙනවා කියලයි ආරංචි. තව දුරටත් ආරංචි පැතිර යන්නට විය. විජයදාස රාජපක්ෂට නුදුරේදීම ලොකු වගකීමක් සහිත ලොකු ඇමැතිකමක් හිමි වන බවට ද යම් යම් සමාජ මාධ්‍ය ප‍්‍රවෘත්ති පවා පළ කර තිබුණේ මෙම පසුබිම අතරතුරයි. සමහර දේශපාලනඥයෝ මේ පිළිබඳ අපේක්ෂාවෙන් පෙර සූදානම සූදානමක පසුවන බවට ද කරුණු කාරණා වාර්තා වී තිබිණි.
 
 ජනතාව අවුරුදු කද්දී
 පාර්ලිමේන්තුවට පනතක්

 
poli2 රටේ ජනතාවට ලහිලහියේ අවුරුදු කන්නට සූදානම් වී සිටියදී ආණ්ඩුව කරවන ඉහළම තැනක තවත් සුවිශේෂී පනතක් ලහි ලහියේ සූදානම් කෙරෙන්නට විය. එම පනතෙහි අන්තර්ගතය වූයේ කොළඹ වරාය ආශ‍්‍රිතව ඉදි වූ වරාය නගරය නම් සුවිශේෂී භූමි භාගයේ ඉදිරි වැඩ කටයුතු හා සැලසුම් සම්බන්ධ නෛතික ක‍්‍රියාන්විත විධිවිධාන රාශියකි. පනත ලහි ලහියේ පසුගිය සතියට පෙර සතියේ පාර්ලිමේන්තුව පැවැත්වෙන අන්තිම දිනයට පෙර දිනයේ ඉදිරිපත් කර තිබිණි.
 
 මෙබඳු රට සම්බන්ධ නෛතික ලියවිල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජය අනුගමනය කළ කළයුතු විධිමත් පිළිගත් ක‍්‍රියාමාර්ග කිහිපයකි.
 
 මෙය පනතක් බැවින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය. කැබිනට් මණ්ඩලයේ සියලූම දෙනාට නෛතික අණපනත් හා ව්‍යවස්ථා පිළිබඳ දැනුමක් නොමැති බැවින් මෙබඳු පනතක් සකසද්දී එය විමසා බලන්නට නීති සම්පාදනය පිළිබඳ අමාත්‍ය අණු කමිටුවට ඉදිරිපත් කළ යුතුය. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුත්තේ එම පනත සාමාජිකයන් තුන් දෙනකුගෙන් සැදුම්ලත් එකී අනුකමිටුවේ අනුමැතියට යටත්වය. අනුකමිටුවේ සාමාජිකයන් වනුයේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි, උදය ගම්මන්පිල හා නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුය.
 
 මෙම පනත පිළිබඳ යම් නෛතික ගැටලූවක් වෙතොත් යම් අයෙකුට දින සීමාවකට යටත්ව ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරවීමට හැකියාව ඇත. එහෙත් අවුරුදු නිවාඩුව අතරතුර මෙම පනත ඉදිරිපත් වූ බැවින් අති බහුතර මන්ත‍්‍රී පිරිසකට මෙම පනත පිළිබඳ අවධානයක් නොමැති විය.
 
 කාගේ අවධානය කෙසේ කොයි අතක කෙලෙස තිබුණත් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසු වූ එක් අයෙකුද පාර්ලිමේන්තුවේ සිටියේ ය. ඒ ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂයි. ඔහු මෙම පනත ඉතා වේගයෙන් අධ්‍යයනය කළේය.
 
 මෙම පනත නීති සම්පාදනය පිළිබඳ අමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කර ඇත්දැයි කියා ඔහු කඩිනමින් සොයා බැලීය. උදය ගම්මන්පිල, නිමල් සිරිපාල මේ පිළිබඳ ඡුායා මාත‍්‍රයක්වත් දැන සිට නැත.
 
 එසේ නම් මේ දේවල් කඩිනම් පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළින් රජය බලාපොරොත්තු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී පිරිසකගේ ඇස් වසා නීතියට හා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට වෙට්ටුවක් දමා පනත සම්මත කර ගැනීම බව ආචාර්ය විජයදාස රාජපක්ෂ තේරුම් ගත්තේය.
 
 ඔහු මේ පිළිබඳව මහා සංඝරත්නය හා රටේ ව්‍යවස්ථා උගතුන් බුද්ධිමතුන් සමග කඩිනමින් සාකචඡා කළේය. පනතට එරෙහි වීම හා ඒ අනුව පනතට විරුද්ධව අධිකරණයේ පිහිට පැතීම හැර වෙනත් විකල්පයක් නැති බව ආචාර්ය විජයදාස රාජපක්ෂ පැහැදිලිවම තේරුම් ගත්තේය. පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා අභයාරාමයේ පුවත්පත් සාකචඡාවක් පවත්වමින් ආචාර්ය විජයදාස රාජපක්ෂ දේශපාලන බෝම්බයක් පත්තු කර හරින්නේ ඒ අනුවය.
 
 ‘‘මේවා තක්කඩි වැඩ. හරි නම් මේවා අපි බලාපොරොත්තු වෙන්න ඕන යහපාලන ආණ්ඩුව තියෙන කාලේ ඒකෙ හිටපු තක්කඩි ඇමැතිවරුන්ගෙන්. දැන් මේ ගොල්ලත් මෙතන මෙහෙම තක්කඩි වැඩ කරනවා නම් ජනතාවට කාගේ පිහිටක් ද” ආචාර්ය විජයදාස රාජපක්ෂ ප‍්‍රශ්න කරන්නට විය. ඔහු අභයාරාමයේදී පැවැත්වූ පුවත්පත් සාකචඡාව තුළ මුළු රටම අවදි කරමින්, මුළු රටේම අවධානය දිනාගනිමින් මෙසේ කියන්නට විය.
 
 ‘‘රනිල් වික‍්‍රමසිංහල එදා හම්බන්තොට වරාය චීනෙට පවරලා දුන්නේ ගිවිසුමකින් විතරයි. හැබැයි මේ ආණ්ඩුව වරාය නගරය සම්බන්ධයෙන් ගනුදෙනු කරන්න හදන්නේ ගිවිසුමකින් නෙවෙයි පනතකින්. අන්න ඒක හරිම භයානකයි. එම පනතෙහි ඇතැම් කොටස් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. ඒක නිසා මේ රටේ ජනතාව හැටියට අපිට යුතුකමක් තියෙනවා මේ වගේ පනතක් හදිස්සියේ ගෙනල්ලා මෙහෙම පාර්ලිමේන්තුවත් නොමඟ ඇරලා ඉදිරිපත් කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න.
 
 අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත‍්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකළ අක්කර 1,100 ශ‍්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත‍්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක‍්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙන්නේ නෑ.
 
 දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක‍්‍රියාමාර්ගවලට යන්නට තීරණය කර ඇත්තේ ඒ නිසයි.
 
 අපි මේක කරන්න දෙන්නෙ නෑ. අපි මේ සියල්ලට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග වලට යන්නට තීරණය කරල ඉවරයි.
 
 ආචාර්ය විජයදාස රාජපක්ෂ මේ අයුරින් ඉදිරිපත් කරන ලද අදහස් ඇතුළත් පුවත්පත් සාකචඡාවේදී කරුණු ලංකාව පුරා පැතිරෙන්නට වූයේ පුවතට තටු ලැබුණාසේය. බොහෝ දෙනෙක් උත්සවවල අවුරුදු කමින් සිටියදී ආචාර්ය විජයදාස රාජපක්ෂ පත්තු කර හරින ලද මේ දේශපාලන බෝම්බය නිසා රටම උණුසුම් වන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ හා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගේ ප‍්‍රතිචාරය සමගම තරමක් කලබලයට පත් වූ බව නිසැකය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙසු නායකයෝ ඒ මේ අතට දුරකථන ඇමතුම් ලබාදෙමින් මේ සිදුවන්නේ කුමක්ද කියා විමසන්නට වූහ. මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ දුරකථනයටද සාගර කාරියවසම්ගේ දුරකථනයටද ඉසිඹුවක් නැති වන්නට විය. සෙසු ඇමැතිවරුන් අමතමින් මේ පිළිබඳව විමසන්නට ජනමාධ්‍ය කොතෙකුත් උත්සාහ කළත් කිසිවෙකුත් මේ ඇතිවී තිබෙන අලූත් තත්ත්වය පිළිබඳව වචනයක් එළියට දමන්නට සූදානම් වූයේ නැත.
 
 මේ සිදුවීම් සියල්ල සිදුවූයේ බ‍්‍රහස්පතින්දාය. ඊට පහුවදා සිකුරාදා උදේ ඊටත් වඩා උණුසුම් ආරංචියක් ජනමාධ්‍යවලට දැනගන්නට ලැබුණේ විජයදාස රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන්ගෙනි.
 
 බොහෝ දෙනකුගේ කතාබහට හේතු මාතෘකා කීපයකි. පාර්ලිමේන්තුවට මෙම පනත නිදහසේ අවුරුදු නිවාඩුවෙන් පසුව ගෙනාවා නම් සිදුවන්නේ කුමක්ද කියා ඔවුහු කතාබහ කරන්නට පටන් ගත්හ. මෙම පනත පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට පෙර කැබිනට් අනු කමිටුවට සාකචඡාව සඳහා ඉදිරිපත් කර නැත්තේ මන්දැයි කියා සමහරු තර්ක කරන්නට විය. කෙසේ වෙතත් අවුරුදු උත්සව සමයේ අවුරුදු උණුසුම ඉවර වන්නටත් පෙර ඉතා දැඩි දේශපාලන උණුසුමක් සහිත කතාබහක් ඇති වීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත‍්‍රීවරු හා නායකයෝ නම් බලවත් සේ සතුටට පත් වී සිටින බව පමණක් දැනගන්නට හැකි විය. එහෙත් විජයදාස රාජපක්ෂ මේ පිළිබඳව කරුණු හෙළිදරව් කරන තෙක් විපක්ෂයේ දැන උගත් මන්ත‍්‍රීවරුන්ගේ අවධානය කොහේ කෙසේ තිබුණේ දැයි කියා ගැටලූවක්ද සමාජයේ සාකචඡාවට බඳුන්වෙමින් තිබේ.
 
 ආණ්ඩුවේ සෙසු පක්ෂ
 වෙනම පාරක ගමනක්...

 
 ආණ්ඩුව ඇතුළේ කටයුතු කරන සෙසු පක්ෂවල නායකයෝ පසුගිය කාලය මුළුල්ලේම සාකචඡා කරමින් සිටියේ තම තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් දේශපාලනය තුළ ඉදිරි ගමනක් යන ආකාරය ගැන ය. මෙහිදී විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම අදහස් ගණනාවක් ම තිබිණි.
 
 ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරුන් ලෙස කටයුතු කළත් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන දෙදෙනාටත් තවත් ඇමැතිවරු කිහිප දෙනෙකුටත් අත්විඳින්නට වී තිබෙන දුෂ්කරතා ගැන මෙම පක්ෂ 11 එකමුතුව තුළ තුළ සාකචඡා වට ගණනාවක් ඇති විය.
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බල අධිකාරිය තුළ බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් තමන් බලවත් සේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ යැයි හැඟීමක් මේ සියලූම දෙනා තුළ තිබිණි.
 
 විමල් හා උදය මෙහි දී එළිපිට ම තම විරෝධය පළ කරමින් සටන් වදින්නට පටන් ගෙන තිබිණි. ඒ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද මෙම සන්ධානයේ සාමාජිකයකු ලෙසත් වෙනම පක්ෂයක් ලෙසත් සාකචඡා අරඹා තිබුණේ තම ඉදිරි ගමන පිළිබඳ ව ය. ඔවුන්ට ද වෙනම න්‍යාය පත‍්‍රයක් පක්ෂයක් හැටියටත් ඇති බව ඔවුන් මෙහිදී සෙසු පක්ෂ නායකයන්ටත් දැනුම් දී තිබිණි.
 
 මෙම පසුබිම තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් හා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කීප දෙනෙක් මීට සති 2 කට පමණ පෙර එක්තරා වැදගත් සාකචඡාවක නිරතව සිටියහ.
 
 වෙනම පක්ෂයක් ලෙස ඉදිරි මැතිවරණවල දී තරග වදින්නටත් ඉදිරියේදී පවත්වන්නට යෙදෙන මැයි දිනය තනි පක්ෂයක් ලෙස පවත්වන්නටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබීම සම්බන්ධයෙන් මෙම සාකචඡාව ඇති විය.
 
 එහිදී බැසිල් රාජපක්ෂ මහතා සමඟ පක්ෂයේ ලේකම් සාගර කාරියවසම්, පාලක ලේකම් රේණුක පෙරේරා, ජයන්ත කැටගොඩ ඇතුළු කිහිප දෙනෙක් ම පැමිණ සිටි අතර ශ‍්‍රී ලනිපය වෙනුවෙන් දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු කිහිප දෙනෙක් ද වූහ.
 
 බැසිල් රාජපක්ෂ එක එල්ලේ ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරිපත් කර තිබූ යෝජනාව වූයේ ”වෙන ම තරග කරන්නට එපා” යන්නය.
 
 ‘අපි වෙනම පක්ෂයක්. අපි ගිවිසුමකින් ආණ්ඩුවත් එක්ක එකතු උනාට අපි හැම පක්ෂයකටම තම තමන් ගේ ප‍්‍රතිපත්තිය අනුව වෙනම කටයුතු කරන්නට අයිතියක් හා අවස්ථාවක් තිබිය යුතුයි... ශ‍්‍රීලනිප යෝජනා කළේ ය.
 
 ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පවත්වනවා නම් ඒ ගොල්ල වෙනම තරග කරන්න හිතුවොත් අපි ආණ්ඩුවක් හැටියට පරදින්න ඉඩ තියෙනවා. දැන දැනත් අපි ඒ ස්ථාවරයට යන්න නරකයි. ඒ නිසා අපිට පරදින්න බෑ... බැසිල් එසේ කීවේය.
 
 අපි වෙනම තරග කළොත් කණ්ඩායම පරදින බව දැන්ද ඕගොල්ලන්ට තේරෙන්නේ... ඇයි ඒ බව කල් තියා තේරුම් අරන් අපිට අත්වෙන්න උවමනා ගෞරවය ලබා නොදුන්නේ... දයාසිරි ජයසේකර ප‍්‍රශ්න කරන්නට විය.
 
 මෙහි දී ඇති වූ අදහස් හුවමාරුව දුරදිග යෑමෙන් බැසිල් රාජපක්ෂ හා දයාසිරි අතර වචන හුවමාරුවක් ඇති විය. එහිදී ඉදිරිපත් වූ ජයන්ත කැටගොඩ ඇතුළු නෙළුම් මාවතේ මන්ත‍්‍රීවරු අපි බැසිල් මහත්තයට වදින්න ගහනවා නම් අපිත් එළියට බැහැලා ඕගොල්ලන්ටත් ගහනවා කුඩුවෙන්න... යනුවෙන් සටන්කාමීව අදහස් ප‍්‍රකාශ කරන්නට පටන් ගත්තේ ය.
 
 හරි එහෙනම් ඕගොල්ලෝ ඔහොම ම කරගෙන යන්න.. ඔබතුමා මේ ගොල්ලත් එක්ක මෙහෙ විදියට වැඩ කරනවා නම් ඉතින් අපිට කරන්න දෙයක් නැති වෙයි. අර තිස්ස කුට්ටිආරච්චි කියලා කෙනෙක් දාගෙන පහුගිය දවස්වල මට ගැහුවා. දැන් මේ ගොල්ලො
 ගහනවා කියලා කියනවා. ඔබතුමා දැන් මෙහෙම ද අපිත් එක්ක වැඩ කරන්නේ.
 
 මේ අයුරින් උණුසුම් වූ සාකචඡාව ඒ දිනට එතෙකින් අවසන් විය. සාකචඡාව තවදුරටත් සාමකාමීව ගෙන යන්නට බැසිල් රාජපක්ෂට අවශ්‍ය විය. එහෙත් සෙසු මන්ත‍්‍රීවරුන් නිසා එම තත්ත්වය පවත්වාගෙන යන්නට දෙපාර්ශ්වයටම නො හැකි විය.
 
 මෙබඳු තත්ත්වයක් තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ආණ්ඩුවට පිටින් සංවිධානය වී තිබූ සෙසු පක්ෂ නායකයින් සමග වූ සන්ධානගත සාකචඡාව ඉතාමත් සාර්ථක විය. සියලූ දෙනාගේම අවශ්‍යතාවය හැඟීම හා වුවමනාව වී තිබුණේ මෙවර මැයි දින පෙළපාලිය පොලොන්නරුවේ හෝ වෙනත් යම් කිසි තැනක පවත්වා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට තමන්ගේ ස්ථානය පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබා දීමට කටයුතු කළ යුතු බවකි.
 
 මේ අතර ඒ සම්බන්ධයෙන් කතිකාව දේශපාලන කරළියේ උණුසුමින් ඇදී යද්දී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊට මැදිහත් විය. ඔහු ලබන 19 වැනි දා ආණ්ඩුවේ සිටින සෙසු පක්ෂවල නායකයින් සමග සාකචඡා කරන්නට විශේෂ හමුවක් කැඳවා තිබිණි. අවශ්‍ය නම් ඊට ජනාධිපතිවරයාව ද සහභාගි කරවන බව අගමැතිවරයා කියා තිබිණි. පළමුව මැයි දිනය ආණ්ඩුව හැටියට එකම තැනක එකම වේදිකාවක පවත්වනවා ද නැද්ද යන කාරණාව ගැන තමන් තීන්දුවක් දෙන බව අගමැතිවරයා මෙහිදී සෙසු පක්ෂ නියෝජිතයන්ට දන්වා යවා තිබිණි.
 
 එහෙත් එබඳු එකම වේදිකාවක පොදු මැයි දිනයක් පවත්වන්නට යෑමේදී විමල්, ගම්මන්පිල ඇතුළු නායකයින් ගණනාවකට ම දැඩි අපහසුතාවක් ඇතිවන පරිදි කටයුතු කරන්නට ද වෙනම සංවිධානගත පිරිසක් සූදානම් වෙමින් සිටින බවට ආරංචි පැතිර යන්නට විය. මැයි දින වේදිකාවේ දී විමල්ට හා ගම්මන්පිලට දොස් කියවන්නට සැලසුමක් වෙතැයි ඒ මගින් කරුණු හෙළිදරව් විය.
 
 එබඳු කරුණු කාරණා නිවැරදි නොවන බවට ප‍්‍රකාශයක් කිසිවෙකුත් කර තිබුණේ ද නැත. එහෙයින් එකම වේදිකාවක එකට සිටීම ගැන සාකචඡාව විවාදයට ලක් වූ උණුසුම් තලයක පැවතිණි.
 
 විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙවර පරණ අවුරුදු දිනය යොදාගෙන තිබුණේ විශේෂ කටයුත්තකට ය. ඒ තම පක්ෂයේ මන්ත‍්‍රීවරයකු මෙන්ම තමන්ගේ හිතෛෂිවන්ත මිත‍්‍රයෙකු ද වූ රංජන් රාමනායක දැකබලා ගන්නට යෑමටය.
 
 ”සර්, සමහරු කියනවා සජබ රංජන්ව ඇතුලට යනකම් බලාගෙන හිටියා කියලා” එහෙම කීවේ අශෝක් අබේසිංහ ය.
 
 ”යූ.එන්. පී. එකේ සමහරුත් එහෙම කියලා තිබුණා.” මුජිබර් කී කතාවට උත්තර දුන්නේ මහලේකම් රංජිත් ය.
 
 ”තමන්ගෙ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස්වල පොල්කෙඳි හොයනවා කියන්නේ ඕකට. රංජන්ට අපේක්ෂකකම්වත් නොදුන්න අවස්ථාවාදියෝ තමයි මේ මනස්ගාත කියවන්නේ” රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
 
 ”නායකතුමා රංජන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටත් මොනතරම් අරගල කළාද. පක්ෂය හැටියට මොනතරම් සටන් කළාද. මේවා නොදන්න කුහකයෝ මිසක් මනසක් තියෙන කවුරුවත් ඔහොම අභූත චෝදනා කරන්නේ නෑ.” හේෂා කීවේය.
 
 ”ෆොන්සේකා මහත්තයාගේ මන්ත‍්‍රීකම ගලවනකොට එදා විපක්ෂ නායකයෝ මොනවාද කළේ. ඒ අය අද මැරිලා ඉපදිලා වගේ කතාව. මොන පණ්ඩිතකම් කතා කළත් තවම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ආසනේ පුරවගන්න ඒ අයට බැරිවුණානේ.”
 
 තරුණ කමිටුවේ රැස්වීමකට පැමිණ සිටි රෙහාන් ජයවික‍්‍රම එහෙම කීවේය.
 
 සජිත් රංජන් බලන්නට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගියේ පරණ අවුරුදු දා දහවල් ය.
 
 සිය නායකයාගේ දෑත් අල්වාගෙන මොහොතක් ගත කළේය.
 
 ”ඔයා හිතන්න එපා සේරම ඉවරයි කියලා සටනවත් අරගලයවත් ඉවර නෑ. අපි ඉන්නවා ඔයා එක්ක” සජිත් රංජන් ට ශක්තිය දුන්නේය.
 
 ”එලියේ යන එක එක කතා එච්චර හිතන්න එපා. ඔබතුමා කරන කැපවීම මම හොඳින්ම දන්නවා.”
 
 ”රංජන් කියන්නේ මානවවාදී නායකයෙක්. එතුමාට ශක්තියක් දෙන්න හැම වෙලාවේම මමත්, පක්ෂයත් පෙනී ඉන්නවා” සජිත් බන්ධනාගාරයෙන් පිටතට පැමිණ කීවේය.
 

poli3
 රනිල්ගේ සාකචඡාව
 
 එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ පසුගිය සතියේ නීතිවේදීන් හා පක්ෂයට ආදරය කරන හිතවතුන් මෙන්ම දේශපාලනඥයන් කිහිපදෙනෙකු සමග එක්වී ආණ්ඩුවේ වර්තමාන ක‍්‍රියාකලාපය ගැන විශේෂ කතාබහක නිරතව සිටියේය. පක්ෂ සභාපති වජිර අබේවර්ධන, රංගේ හා රුවන් විජයවර්ධන ද එක්ව සිටියහ. කොළඹ වරාය නගරය පවත්වාගෙන යෑමට අදාළව පැවැති නීති වෙනස් කොට වත්මන් රජය ගෙන ඒමට බලාපොරොත්තු වන කොළඹ වරාය නගර කොමිෂන් පනත් කෙටුම්පත ගැන දීර්ඝ ලෙස සාකචඡා කෙරිණි.
 
 ”වරාය නගරය වෙනම පරිපාලන ඒකකයක් කරලා, ලංකා රජයේ පරිපාලනයෙන් අයින් කරන්න අවශ්‍ය ප‍්‍රතිපාදන මේකට ඇතුළත් කරලා.” වජිර කීවේය.
 
 ”එදා අපි කටයුතු කළේ කොළඹ මහ නගර සභාවෙන් පාලනය වන නගරයක් හැටියට මේක පාලනය කරන්න. නමුත් වත්මන් ආණ්ඩුව හදන්නේ ඒක චීන ප‍්‍රාන්තයක් කරන්න.” රංගේ ද කතාවට එක්වූවේය.
 
 බදු නිදහස, කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාර වගේම බදු රහිත වැටුප් ගෙවීම ආදී ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා භෞමික අඛණ්ඩතාවයට හානි වන වගන්ති ගණනාවක් ද පනතේ තිබෙන බව නීතිඥවරුන් විසින් නායක රනිල් ඇතුළු පිරිසට පෙන්වා දුන්නේය.
 
 අවසානයේ නායකයා ඇතුළු නීතිඥ කණ්ඩායමේ තීන්දුව වූවේ කොළඹ වරාය නගර කොමිෂන් පනත් කෙටුම්පතට එරෙහිව නඩු පැවරීමටය. නායකයා එහි දී නීතිඥ මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ දක්ෂ නීතිඥයන් එක් කරගනිමින් පනත් කෙටුම්පතට එරෙහිව නඩු පවරන ලෙසය. පක්ෂය පැත්තෙන් පක්ෂ සභාපති වජිර අබේවර්ධන හා මහලේකම් රංගේ බණ්ඩාර පැමිණිලිකරුවන් ලෙස නම් කරමින් අධිකරණය හමුවේ නඩුව ගොණු කරන ලෙස ද නායකයා උපදෙස් දුන්නේය.
 
 ”මෙම නඩු දෙක වගේම සිංහරාජයට කරන හානිය වළක්වන්න ඒ සම්බන්ධයෙන් නඩුවකුත් පවරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න. සිංහරාජය රැකගැනීමේ නඩුව රුවන් විජයවර්ධනගේ නමින් ගොනු කරන්න.” නායකයා නීතිඥවරුන්ට කීවේය.
 
 අවුරුදු චාරිත‍්‍ර සැමරීමට කොළඹින් පිටත්වීමට නායකයා සූදානමින් සිටියේ 12 වැනි සඳුදාය. එදින පෙරවරුවේ වෙනදා මෙන්ම පක්ෂ ක‍්‍රියාකාරීන් පිරිසක් නායකයාගේ නිවසට පැමිණ සිටියහ.
 
 ”සිංහල අවුරුද්ද සමරන්න ජනතාව අතේ අද සල්ලි නෑ. ණය වෙලා තමයි මිනිස්සු අවුරුදු කන්නේ. ජනතාව එහෙම ණය වෙනකොට පාලකයෝ චීනයට ණය වෙනවා. චීන ණයකුත් දැන් ලැබුණ නිසා ආණ්ඩුව සල්ලි අච්චු ගහන එක නැවැත්තුවොත් හොඳයි.” සංදිත් සමරසිංහ කීවේය.
 
 ”චීනෙන් විතරක් නොවෙයි මැදපෙරදිගින් හා බංග්ලාදේශයෙනුත් ලංකාව ණය ඉල්ලලා තියෙන බවට ආරංචි පළ වෙනවා. මෙහෙම ගියොත් රුපියල් 10,000 ක කොළයත් ගහන්න ආණ්ඩුවට සිදුවේවි. රජය ආර්ථිකය විනාශය කරගෙන යනවා.” වජිර අබේවර්ධන පැවසුවේ කනගාටුවෙනි.
 
 ”විෂ පොල්තෙල් ගෙනාපු ආණ්ඩුව ඒවා ප‍්‍රතිඅපනයනය කරලා තෙල් ගෙනාපු සමාගම්වලට දඩ ගහනවාලූ. පුදුම දඬුවම් තමයි මේවා. අහිංසක මිනිහෙක් මේක කළා නම් හිරෙත් දාලා දඩත් ගහල තමයි නතර වෙන්නේ. පාම් තෙල් ආනයනය කරන ගැසට්ටුව ගහලා පැය 24 ක් යන්නත් කලින් පාම් තෙල් ගේන්න පුළුවන් පිරිසක් ගැන කියලා ආයේ ගැසට් එකක් ගහලා.” රංගේ බණ්ඩාර කිවේ අප‍්‍රසාදයෙනි.
 
 ”හිට්ලර්ගේ වගේ පාලනයක් ජනාධිපතිතුමා ක‍්‍රියාත්මක කරන්න ඕනේ කියලා දිලූම් අමුණුගම කියලා පැය කිහිපයක් යන්න කලින් ජර්මන් තානාපතිතුමා ට්විටර් පණිවුඩයක් දාලා එහෙම පාලනයක් ගැන හිතන්නවත් එපා කියලා.” වජිර කීවේ එවැන්නකි.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles