Divaina - ඇත්තටම අවුරුදු කුමාරයා කවුද?

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 aurudu


 නාලක ජයසේන
 
සිංහල අලූත් අවුරුද්ද සමරන ජනතාවට එය සැමරිය යුත්තේ මේ ලෙසින් යැයි ලියැවුණු අත්පොතක් නැත. සිංහල අලූත් අවුරුද්ද අරබයා ලියැවුණු පොත් පත් හා විවිධ ලිපි රචනාදිය තිබුණද ඒවා හුදෙක් තොරතුරු හෝ ශාස්ත‍්‍රීය ගවේෂණ පමණි. කිසිවකු ඒවා බලා අවුරුද්ද සමරන්නට පෙළඹෙන්නේ නැත. සිංහල අවුරුද්දට අදාළව ජනතාවට වාර්ෂිකව යාවත්කාලීන වන එකම දත්ත සමූහය වන්නේ අවුරුදු නැකත් පමණි. එදා ගමින් ගමට වෙනස් වූ වේලාවලින් යුතු එම නැකත් පත හෙවත් නැකත් සීට්ටුව නැකැත්කරු ගමටම පැමිණ ගෙනැවිත් බෙදා දුන්නේය. ඒ වෙනුවට අද අවුරුද්දකට වරක් මුද්‍රණය කරනු ලබන අවුරුදු ලිත සහ විද්‍යුත්-මුද්‍රිත මාධ්‍ය එම වගකීම ඉටු කරයි. හෙට දින ඒ සඳහා ස්මාර්ට් දුරකථනයට නැකත් ඇප් හෙවත් නැකත් සහිත යෙදවුම් (Applications) මෘදුකාංශ ආදේශවනු ඇති අතර දැනටමත් ඒ සඳහා යෙදවුම් නිර්මාණය වී තිබීම දැකිය හැකිය. කොවිඞ් 19 ගෝලීය වසංගතය හමුවේ වුවද 2020 වසරේ අලූත් අවුරුදු උළෙල සිංහලයෝ සැමරූහ. සිංහල අවුරුද්ද යනු නැකැත් අවස්ථා කිහිපයක් පමණක් නොවෙයි. එය විසල් රුක් මුල් ඇති වනස්පතියක් බඳුය. එහි ශාඛා බෙහෙවි. අංශ වශයෙන් සලකන කලම අවුරුද්දෙහි කොටස් හතරකි. එනම්,
 
 (අ) පරණ අවුරුද්ද,
 (ආ) නොනගතය
 (ඇ) අලූත් අවුරුද්ද
 (ඈ) තෙල් අවුරුද්ද වශයෙනි.
 
 අවුරුද්ද සමරන ජනතාව මේ එක් එක් අංශයට අදාළව කළ යුතු හා නොකළ යුතු දෑ දනී. එය ගැන ඔහු/ඇය දැනුම ලබාගන්නේ කෙසේද? මෙම ප‍්‍රශ්නයට පිළිතුරට සෙවීමේදී ගොඩනැගිය හැකි උපකල්පිතයක් වශයෙන් අවුරුද්දට අදාළ අදෘශ්‍යමාන බලවේගයක් ගැන විශ්වාසයක් මානව ගූඪ චිත්තයෙහි සැඟව ඇත යන්න ඉදිරිපත් කළ හැකිය. පහසුව තකා එම බලවේගය අවුරුදු කුමාරයා ලෙස නම් කරමු. ඒ අනුව අවුරුදු කුමරු පිදීම අරබයා පරපුරෙන් පරපුරට සමාජානුයෝජනය වූ දැනුමක් ඇති අතර ඒ ඉවෙන් යුතු අපි අවුරුදු කුමරු පුදමු.
 
 හැඳින්වීම
 
 සිංහල අවුරුද්දේ ප‍්‍රභවය පිළිබඳ මතිභ‍්‍රම රාශියකි. එහෙත් ඒ සියල්ල එකමිටට ගෙන සලකන කල සිංහල අවුරුද්ද යනු සිංහල ජනතාව විසින් ස්වකීය සාම්ප‍්‍රදායික වර්ෂානුක‍්‍රමිකව පළමු මාසය වන බක් මස ආරම්භය සමය ඉදිරි වර්ෂයට සූදානම් වීම කරණ කොට ගෙන තනාගත් සමාජවිද්‍යාත්මක අවස්ථාවක් වශයෙන් එය සැලකිය හැකිය. එය උත්සව අවස්ථාවකි. උත්සව අවස්ථාවක් යනු යම් භාවයක් (සතුට, දුක...) විරේචනය කරනු ලබන සමාජ සිද්ධියකි. එනයින් සිංහල අවුරුද්ද මගින් ප‍්‍රීතිය ප‍්‍රකාශ කරනු ලබයි. කවර ප‍්‍රීතියක්ද යත් අලූත් වසරක් ආරම්භ වීමයි. සිංහල අවුරුද්දේ ප‍්‍රභවය ගැන සේම එහි සමාරම්භක කාලය පිළිබඳවද නිසි හෝඩුවාවක් නැත. එහෙත් සෙල්ලිපි, ඓතිහාසික ග‍්‍රන්ථ හා වාර්තා ආදිය විමර්ශනය කරන විට එයට අදාළ මූලාශ‍්‍රය කිහිපයක් පහසුවෙන්ම සොයාගත හැකිය. සිංහල අවුරුද්ද සිංහලයාගේ නිර්මාණයක් හා උරුමයක් වෙයි. එය ඉංග‍්‍රීසින්ගේ මැදිහත්වීමෙන් හා දේශපාලන හේතු මත සිංහල හින්දු හා සිංහල දෙමළ අවුරුද්ද ලෙස හැඳින්වුවද අර්ථමය වශයෙන් එය යුක්ති යුක්ත නොවෙයි. නමුත් එයින් සහෝදර ජනවර්ග ආන්තීකරණය කරන බව අදහස් නොවෙයි. එය සැමට එක්ව සැමරිය හැකි උලෙළකි. නමුත් සිංහල අවුරුද්දේ පාදම සිංහල බෞද්ධ සංස්කෘතියයි. සංස්කෘතික සංස්පර්ශයෙන් ඊට හින්දු හා ඉංග‍්‍රීසි අංග එක්ව තිබුණද එහි මූලය අපට මගට හැර යා නොහැකිය. තවද බටහිර ක‍්‍රමයට ජනවාරි 01 දා වර්ෂයක් ආරම්භ වේ යැයි සැලකුවත් එය නව වසරක් විනා අලූත් අවුරුද්දක් නොවන්නේය. ඉංග‍්‍රීසි මාස ක‍්‍රමයට අනුව ජානුස් දෙවියන්ව සිහිකරමින් නම් කර ඇති ජනවාරි මාසයේදී (ජනේරුව ලෙස පෙරකල ගැමි ව්‍යවහාරයේ තිබිණ) සිදුවන්නේ දින දසුන මාරු වීම පමණි. නමුත් බක්මස ශ‍්‍රී ලාංකේය ජනසමාජය මතුනොව පරිසරයද අලූත්වන වෙනස්වන කාලයකි. ජනවාරි පෙබරවාරි ලෙස මාස නම්කර ඇත්තේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේය. එබැවින් එය ගිරිගෝරිස්ගේ කැලැන්ඩරය ලෙසද වහරට ගැනෙයි. ෙසෙද්ධාන්තිකව සිංහල අවුරුද්ද යනු හිරු (රවි ග‍්‍රහයා) මීන රාශියෙන් (රේවත නැකතෙන්) මේෂ රාශියට (අස්විද නැකතට) සංක‍්‍රාන්තියයි. (Helio Transmission). එය මෙම ලියුම්කරු පහත පරිදි රූපණය කොට ඇත.
 
 සිංහල අවුරුද්දේ කේන්ද්‍රය කුමක්දැයි කෙනෙකු විමසුවහොත් එයට පිළිතුරු කිහිපයක් ඉදිරිපත් වනු ඇත. ඒ අතුරෙන් අප හිරු හෙවත් සූර්යයා තෝරාගැනීම මෙම විවේචනය පහසු කරයි. මක්නිසාදයත් අවුරුද්ද ලැබීම හා ගෙවීම සෘජුව හිරු සමග පරායප්තව බැඳී පවතින්නකි. සූර්ය මංගල්‍යය ලෙස මේ උළෙල හඳුන්වන්නේ තද්හේතුවෙනි. අවුරුද්දට මාස දොළසක් ඇති බව අපි දනිමු. නමුත් හිරු පෘථිවිය වටා ගමන් ගන්නේ යන්න විද්‍යාත්මක සත්‍යය යැයි පාසල්වල විශ්වවිද්‍යාලවල ඉගැන්වුවද එය සාපේක්ෂ දැනුමක් පමණි. පෘථිවිය වටා හිරු යන බව අපගේ ඉන්ද්‍රිය ප‍්‍රත්‍යක්ෂයයි. අවුරුද්ද යනු එම සිංහලයාගේ සොබා දැනුමේ ප‍්‍රතිනිර්මාණයකි. අලූත් අවුරුද්දේ අවුරුදු කුමරා වඩින බව කියැවෙයි. අවුරුදු කුමරා යන්නට ශබ්දකෝෂමය අර්ථ ප‍්‍රධාන වශයෙනි දෙකකි.
 
 * නක්ෂත‍්‍රයට අනුව සිංහල අවුරුදු දින පොළොවට පැමිණෙන පුද්ගලයා (මන:කල්පිතය එනම් මෙතෙක් කිසිවකු දැක නැත)
 
 *  අවුරුදු උළෙලවල පැවැත්වෙන අවුරුදු කුමරා තෝරා ගැනීමේ තරගයෙන් ජය ලබන තරුණයා
 
 අපගේ මෙම පත‍්‍රිකාවේදී දෙවැනි අර්ථය සාකච්ඡාවෙන් බැහැර කරන්නට සිදුවෙයි. එනම් එම අවුරුදු කුමාරයා බවට පත්වන තරුණයා සජීවලෙස දැකිය හැකි අයෙක් වීම හේතුවෙනි. සෑම වසරකටම අදාළ අවුරුදු කුමාරයාට ආවේණික ගුණ රාශියකි.
 
 අවුරුදු කුමාරයා යන සංකල්පය නිර්වචනයට හා අර්ථකථනයට පෙර එහි සන්දර්භය අයත් පඨිත විසංයෝජනය කළ යුතුය. එහිලා අතීත හා වත්මන් නිදසුන් දෙකක් උධෘත කර ගැනේ.
 
 1900 අවුරුද්දට පැමිණි අවුරුදු කුමාරයාගේ තතු විත්ති මෙසේය
 
 ශ‍්‍රී ශුඪ ශාලිවාහනාස් ශකරාජ වර්ෂ ප‍්‍රමාණයෙන් එක්වා දහස් අටසිය දෙවිසි වැන්නෙහි මත අවුරුද්ද එනම් ප‍්‍රභවාදී ෂෂ්ටී සංවත්සරයන් අතුරෙන් විෂ්ණු විංශතියෙහි පීතර යුග පඤ්චාබ්දයෙන් සතරවන ශාවිරි නම් සංවත්සරය ගතවන මීන රවි තිසි එක්භාගයට පැමිණි ක‍්‍රිස්තු වර්ෂ 1900 ක් වූ අපේ‍්‍රල් මස 12 වන ගුරු දින මේ ශාස්ත‍්‍රයෙන් පැය ගණනින් උදයාදී තිස්පැය විනාඩි 50ට ලන්සි පැයින් හය පසු වී මිනිට්ටු 15 ත් තත්පර 35ට ආරම්භ වන හෙයින් ඒ වේලාවට ශුද්ද ශුභ පරහිත සිද්ධාන්ත ක‍්‍රමයෙන් ගුණ දුටු ඉෂ්ට ලග්න ස්පුට විසින් තුලා ලග්නයෙන් රවි රාශ්‍යා‹යෙන් තුලා දේර්කානාංශකයෙන් වෘශ්චික ද්වාදශංකයෙන් මිථුන කලාංශකයෙන් කුජ ක‍්‍රිංශාංකයෙන් අකලංක ෂෂ්ට් අංශකයෙන් බක්මස පුර තෙළොස්වකින් උතුරුපල් නැකතින් ධ‍්‍රෑම යෝගයෙන් තෛතිල කරණයෙන් බාලව මුහුර්තියෙන් තාමස ගුණයෙන් ලෝහ පාදය ඝටීකාවෙන් චන්ද්‍ර තත්කාල හෝරාවෙන් කුජ පංචම කාල හෝරාවෙන් රවි රක්ත වර්ණ වස්ත‍්‍රාභරණ මාලාදියෙන් සැරසී සිංහරූපාකාරයෙන් මෙකී වේලාවට මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රාන්ති වශයෙන් පැමිණෙන අන්තරයෙහි මහමෙර උතුරු දිග්භාගයට සතරැස් වූ තැන සමන්තකූඨ පර්වතාරූඪ වූ මහමුනියාගේ නියෝගයෙන් පඬු පැහැයෙන් යුත් තාපසියායයි යන නමින් ප‍්‍රසිද්ධව ඉපිද දොළොස් රියන් උස මැවී පඬු මුහු මුහුදේ ගිලී ස්නානය කොට කුංකුම කලල් ඇඟ තවරා පඬු සිවුරක් පැළඳ මුක්තාභරයක් කරලා ක්ෂිරපායාසයක් වළඳා කිනිහිරි මල්මාලාවක් දරමින් පඬු පැහැයෙන් බැබළි බැබළී සිට මහනෙල් ගිරි පර්වතයක් වැනි යොදුනක් උස රථයක් මවා ඇතකු යොදා එහි දිව යහනෙහි සිට කඩුවක් අතින් ගෙන ගිජු ලිිහිණි මුඛාකාර මාර්ගයකින් මෙලොවට පහළ වන්නේය.
 
 2019 වර්ෂයේ පොළොවට පැමිණි අවුරුදු කුමාරයාගේ ගුණාගුණ මෙසේය.
 
 ශ‍්‍රීමත් ශාලිවාහන ශකනාප වර්ෂ ප‍්‍රමාණයෙන් විෂ්ණු විංශතියට අයත් පීතර යුග පංචාබ්දයෙහි තෙවන ඉඩාවත්සර භේදනාමධාරී චන්ද්‍ර දේවතාධිපති විකාරි සංවත්සරය වනාහි සූර්ය මාස ක‍්‍රමයෙන් මේෂ රවියට පැමිණි බක්මස පුර දශවක තිථියලත් ඉරුදින උදයාදී සිංහල පැය 20 විනාඩි 14 තත්පර 35 හෙවත් ක‍්‍රි. වර්ෂ 2019 අපේ‍්‍රල් 14 වන ඉරු දින ලංකා සම්මත ඔරලෝසු වේලාවෙන් අපරභාග 02 පසුවී මිනිත්තු 09 ට සඳු හිමි කටක ලග්නයෙන් රවි හිමි සිංහ රාශ්‍යාර්ධයෙන් ගුරු හිමි මීන දෙකාර්ණයෙන් ගුරු හිමි මීන නවාංශකයෙන් කිවි හිමි වෘෂභ ද්වි දශාංශකයෙන් කුජ හිමි වෘශ්වික ත‍්‍රිංශාංශකයෙන් බුධ හිමි අස්ලිය නැකැතේ දෙවැනි පාදයෙන් ශුල යෝගයෙන් තෛතිල කරණයෙන් රවි හෝරාවේ ගුරු පංචම කාලයෙන් සම්භවව සූර්ය දිව්‍ය රාජතෙමේ මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වීමෙන් 1941 වෙනි ශක වර්ෂය ආරම්භ වන්නේය. මෙම සංවත්සරය චුති ප‍්‍රති සන්ධීක්ෂණයෙහි පවත්නා ලග්නානුසාරයෙන් වර්ෂයාගේ ශුභාශුභ විපාක ලක්ෂණ දක්වනු ලබන දෙවතා රූපකාරයෙන් සංඥාකොට ඇති කාල පුරුෂ තෙමෙ මහමෙර යාම්‍යදිග් භාගයෙහි වූ රුවන් ගිරි පර්වතයෙහි බ‍්‍රහ්ම දිව්‍ය පුත‍්‍රයෙක්ව ඉපදී රක්ෂසි යන නාමයෙන් ප‍්‍රසිද්ධ වාදශ මාස නමැති වාදශාගයන් සමන්විත දොළොස් රියන් උස මැටි රන්සුණුලයක් ඇඟ උලා ඇලී ගඟින් ස්නානය කොට ගෝරෝචන සහිත සඳුනෙන් ශරීරය ආලෝපනය කර ඝනරන් දුහුලක් ඇඳ බඳු වදමල් සහිත පළොල් මල්මාලාවක් පැළඳ දිවයහන පිට සිට වේදය කියා සතර දිගට ගිනිදැල් පතුරුවා හෝම දෙමින් පුෂ්පාභරණයෙන් සහිත නවරියන් පුන නූලක් කරලා සත් රියන් මල් ඔටුන්නක් හිසදරා යොදුනක් උස ඝන රන් රථයක් මවා එහි දිවයහනෙහි දිව මල්යාලක් අතුරුවා පූප සහිත රන්කිරි පිඬු ඇසින් බලා රථයට ගද්‍රභ වාහනයක් යොදා ස්වර්ණී ඡත‍්‍රයක් නංවා ප‍්‍රදීපයක් අතින්ගෙන දසදිගට පංචතූර්යනාද පතුරුවා ඌර්ධවමුණව දක්ෂිණාවෘත්තයෙන් ඉහත කී සංවත්සරාම්භ මොහොතින් මෙලොවට පහළවන බව ශාස්ත‍්‍ර නියමය වේ.
 
 මේ අනුව අවුරුදු කුමරා යනු අන් කිසිවකු නොව සූර්ය දිව්‍යරාජයාය. ඒ ගැන අතීත කවියා මෙසේ කියා ඇත.
 
 බක්මස ලෙස මේසය යන රැස්වා සක් රජ ලෙස දිව සළු ඇඳ සොඳවා නෙක් ආසිරි සලසා සව් සත්තා නික්මෙයි සූර්ය දෙව් මේ ලෙසටා දරුවා කිරුළ හිමි කොකුමඟ තවරා සරුව බරණ හැඳ ගී නද පතුරා සරුව කුසුම් තවරා නැඟ හසරා මෙලොව පහළ වෙයි අවුරුදු කුමරා
 
 
කෙසේ නමුත් වසරින් වසර ප‍්‍රාදූර්භූත වන අවුරුදු කුමාරයාගේ සමතා හා විසමතා ඇත. ඒවා අතර උස වෙනස් නොවෙයි. පැමිණෙන අවස්ථාව වෙනස් නොවෙයි. (එනම් මීන රාශියෙන් මේෂ රාශියට හිරු මාරුවන අවස්ථාවයි. එම වේලාව පමණක් වෙනස් වෙයි) ඒ අතර එක් එක් වසරවලදී හඳුන්වනු ලබන නාමය, අනුභව කරන ආහාර හා සළුපිළි යනාදිය පමණක් වෙනස් වෙයි. මෙසේ පොළොවට පැමිණෙන අභිමානවත් අවුරුදු කුමරා පිළිගනු වස් ජනතාවද විවිධ අභිචාර පවත්වනු ලබයි. අවුරුදු කුමාරෝත්පත්තිය සෘග්වේදය දක්වාද දිවෙයි. එහි අපේ‍්‍රල් මස භාරව සිටින්නේ ආදිත්‍ය කුමරුය.
 
 අවුරුදු කුමරු සම්බන්ධ සිරිත් - විරිත් (අභිචාර)
 
 නොපෙනෙන අවුරුදු කුමරා පිළිගැනීමට සිදුකරනු ලබන පෙනෙන ලෙස සිදුකරනු ලබන සිරිත වන්නේ අවුරුදු මල්පැලක් ඉදි කිරීමයි. එය ඉතාම ගෞරවයෙන් ඉටු කරනු ලබන්නකි. අවුරුදු මල්පැල තැනීමේ සිරිත් වශයෙන් ඒ හැඳින්වෙයි. නොනගතයට පෙරදා පිරිමියකු විසින් නැවුම් පොල්ගසකින් ගොක් අත්තක් කපා එය බිම නොදමා වියනු ලැබෙයි. පොල් අත්ත පාගා වියනු ලැබීම අවුරුදු තහංචියකි. තම නිවසට ඉදිරියෙන් හිරු එළියට වැටෙන දිශාව බලා ඒ අත්තෙන් මල්පැල තනයි. මෙම මල්පැල තැනීමේ චාරිත‍්‍රයේද ප‍්‍රාදේශීය විවිධත්වයක් දැකිය හැකිය. මෙම ගොක්අත්තට කහදියර ඉසින අතර මල්පැලට සුවඳාදිය ඇල්ලීමද සිදු කරයි. මේ මල්පැලට ආහාර පිසීමෙන් පසු ආහාර අනුභව නැකතෙන් පහන් දල්වා ආහාර ගොටුව තබයි. සබරගමුව හිනිදුම්පත්තුව වැනි ඇතැම් ප‍්‍රදේශවල මල්පැල වෙනුවට ඇවරි කණු හිටවයි. යම්කිසි ලීයක් කපා එහි කෙළවර ඇවරි හෙවත් කුඩා පතුරු තුන හතරක් පලා එහි පොල්කටුව සිරකරයි. ඒ ඇවරි කණුව නමි. ඒ වටා ගොක් කොළ හෝ පුවක් මල් එල්ලයි. එම පොල්කටුවට නව අවුරුදු භෝජනය පිළිගන්වයි. අවුරුදු කුමාරයාට අලූත් වළං ගෙනැවිත් එහි පිසින කිරිබතේ ඉහළම කොටස පිදීම අවුරුදු කුමාරයාට යහන් ඇරීම නම් වෙයි. එසේම මෙම අලූත් අවුරුදු බත හා කැවිලි ආදිය පුදා සූර්ය දේව කන්නලව්වද සිදුකරන්නට ගැමියෝ අමතක නොකරති. එම කන්නලව්වෙහි අන්තර්ගතය නම් එළඹුණු වසර පුරා සශ‍්‍රීකත්වය ලබාදෙන ලෙසත් පසුගිය වසර පුරා දැන හෝ නොදැන හිරු දෙවියන්ට සිදුවුණු වරදක් වේ නම් එයට සමාව දෙන ලෙසත්ය. අදටත් ශේෂව ඇති මෙම නැකත් චාරිත‍්‍රය මගින් අවුරුදු කුමරා යනු අදෘශ්‍යමාන නමුත් ජීවිතය විෂයක සජීව චරිතානුභූතියක් බවට අවුරුදුකරුවන් පත්කරගෙන ඇති බව මොනොවට පසක් වෙයි.
 
 සාකච්ඡාව
 
 සිංහල අවුරුද්දටම පමණක් භාවිත වන සුවිශේෂ වචන දෙසියයකට අධික ප‍්‍රමාණයක් මෙම පර්යේෂකයා ගොනු කර ඒ ඔස්සේ අලූත් අවුරුදු වාක්කෝෂ ප‍්‍රවාදය නිර්මාණය කෙරිණ. (සිංහල භාෂාව හා සිංහල අවුරුද්ද අතර ඇත්තේ අවියෝජනීය අනුපූරක සම්බන්ධයකි. වෙනත් ලෙස කිවහොත් සිංහල අවුරුද්ද හා සිංහල භාෂාව ගසට පොත්ත හා පොත්තට ගස මෙන් බැඳී පවතියි) ඒ වචන සියල්ලම නිරීක්ෂණයේදී පැහැදිලි වූයේ ඒ සෑම වචනයකම අනුහසක් ගැබ්ව ඇති බවයි. එනයින් අවුරුදු කුමාරයා යනුද අනුහස්සහගත වචනයකි. එම අනුහස්සහගතභාවය අවුරුදු කුමාරයාට ලැබුණේ කවර පදනමකින්ද? අලූත් අවුරුදු ජනවහරේ අවුරුදු කුමාරයා හඳුන්වන වචනයක් වන්නේ කෝණ කුමාරයා යන්නයි. මක්නිසාදයත් කෝණ යන්න අවුරුද්දට පර්යාය නාමයෙකි. අවුරුදු කාලයේ පරිසරය උණුසුම්ය. මෙකලට වැටෙන අව්ව, බක්මග බගව්ව නම් වෙයි. භාග්‍යවත් අව්ව යන්නෙන් බගව්ව නිමැවී ඇත. රුහුණු ජනතාව දොළොස් මාසෙකට යන දවස ලෙසද මේ අවුරුදු උදාව හඳුන්වයි. අවුරුදු උදාව යනු අවුරුදු කුමරාගේ සම්ප‍්‍රාප්තියයි.
 
 සූර්යය වන්දනය යනු මානව ශිෂ්ටාචාරයේ සමාරම්භය දක්වාම දිවෙන්නකි. අජීව භෞතික වස්තුවක් වන එය සජීවත්වයට දේවත්වයට පත්වූයේ මන්ද? මානව සමාජය විකාසනයේදී ආදී මානවයාට ලෝකය අවබෝධය කරගන්නට තරම් ඥාන ප‍්‍රභාවක් නොවීය. එබැවින් ඔවුහු ලොව සිදුවන බොහෝ දේ අද්භූත යමකට ආදේශ කරන්නටත් කෙටි කලෙකින් ඒ අද්භූත ද්‍රව්‍යමය දෑ වන්දනාමාන කරමින් ඒවායෙන් ආශීර්වාදය හා ආරක්ෂාව ඉල්ලන්නටත් යොමු විය. බහුදේවවාදය ප‍්‍රාථමික සමාජයේ බිහිවූයේ එලෙසය. ලෝකයට ආලෝකය ගෙන දෙන්නේ සූර්යයා බව දැනගත් ආදි මිනිසා සූර්යයාට දේවත්වයෙන් සැලකූහ. එහිලා පෙර අපරදිග භේදයක් නොතිබිණ. එසේම සූර්යයා යනු අපේ මැවුම්කරුවායැයි කීවද එහි වරදක් නැත. මක්නිසාදයත් සොබාදහමේ චක‍්‍රිය දාමවල ශක්තිය සූර්යයා කරණ කොට ඇති බැවිනි. හිරු සතක් උද්ගමනය වීමෙන් ලෝකය විනාශ වන බව බුද්ධ ඥානයෙන් අනාවරණය කරගෙන ඇත. එහෙත් බොදුදසුනේවත් බටහිර විද්‍යාවේවත් සූර්යයා යනු දෙවියකු වැනි ජීවියකු ලෙස නොසලකන අතර සජීව ශක්ති ද්‍රව්‍ය පදාර්ථයක් වශයෙන් සලකනු ලබයි. නමුත් මෙම සූර්යයා මත පදනම්ව සිංහල අවුරුද්ද නිමැවී ඇත. එනයින් ගත්කල සිංහල අලූත් අවුරුද්ද යනු සිංහලයාගේ නොව සමස්ත ලෝකයේම මංගල්‍යයකි.
 
 කෙසේ නමුත් මෙම භෞතිකව පතනය වන සූර්ය ශක්තිය (අලූත් අවුරුදු අව්ව) පාදක කරගෙන මිනිසා විසින් ගොඩනගාගෙන ඇති අවුරුදු කුමරා සංකල්පය සිංහලයාගේ පමණක් නොව සමස්ත මානවයාගේම සංස්කෘතික චින්තනය කවරේදැයි ග‍්‍රහණය කරගැනීමට අවස්ථාවකි. එසේම එය මනෝවිද්‍යාත්මකව හා දාර්ශනිකව නිරීක්ෂණ පරීක්ෂණ කළ හැක්කකි. සූර්යයා උණුසුම් වස්තුවකි. ළං විය නොහැක්කකි. නමුත් එම සූර්යයා කුමරකු බවට පත් කළ විට එම තේජස සමග ආදරණීයත්වයක්ද ගොඩ නැංවෙයි. හිරු දෙවියා අවුරුදු කුමරා බවට විතැන්වන්නේ එලෙසින්ය. මෙවැනිම සංසිද්ධි රාශියක් මානව ඉතිහාසයේ අපූර්ව ලෙස සිදුව ඇති බව අපි කල්පනා නොකරමු. එහෙත් 2014 වර්ෂයේදී නත්තල් සීයා සිටීද? (Does Santa Exist) යනුවෙන් එරික් කප්ලාන් දාර්ශනික කෘතිය එවැන්නක් සිතන්නට පොළඹවන්නකි. අවුරුදු කුමරා සේම නත්තල් සීයාද අද දින ඇහැට දකින්නට අපි අපොහොසත් වෙමු. අවුරුදු කුමාරයා හා නත්තල් සීයා යනු උත්සව සංකේතද්වයකි. එසේම ඒ දාර්ශනික සංකල්පීය වශයෙන් විභාග කරන සංකල්පනාත්මකව සමරූපතාවකින් (conceptual similarity) යුතුය. ඒ කෙසේද යත්?.
 
 සැන්ටා ක්ලෝස් (Santa cluse) ලෙස හඳුන්වන නත්තල් සීයා ගැන ඇති පුරාණෝක්තියක් ප‍්‍රකාරව 9 වන හා 10 වන සියවස්වල එංගලන්ත මුහුදු මංකොල්ලකරුවෝ ඔඞීන් නම් දෙවිකෙනකු අදහා ඇති අතර එම දෙවියන් සීත සෘතුවේදී තමනට ත්‍යාග ගෙන එන බව විශ්වාස කොට ඇත. එම දෙවියා දොළොස්මසට පුද්ගලයන් දොළහක් පත් කර තිබිණ. නත්තල් හෙවත් දෙසැම්බර් මාසය Jultid නමින් හැඳින්වුණු අතර ඒ සඳහා yalka හෝ jule නම් සේවකයන් අසරුවන් අට දෙනකු සහිත හිම යානාවකින් පාන් රැගෙන පොළොවට එන බව ජන විශ්වාසය විය. ඒ අතර තුර්කියේ බිෂොප්වරයකුව සිටි නිකොලොස්තුමා දුගීනට පිහිට වී ඇත. ක‍්‍රිස්තු වර්ෂ 340දී ඔහු මියගිය පසු මුහුදු යාත‍්‍රිකයන්ගේ හා කුඩා දරුවන්ගේ ආරක්ෂකයකු වශයෙන් ඔහුව සලකා ඇත. එම සංකල්පය තුර්කිය, ඉතාලිය, ප‍්‍රංශය හා ඕලන්දය වැනි රටවලටද ව්‍යාප්ත වූ අතර අද වන විට නත්තල සමග අවියෝජනීය සංකල්පයක් වශයෙන් මෙම නත්තල් සීයා දැකිය හැකිය. අවුරුදු කුමරාද මාස දොළහෙන් එක්මසක ප‍්‍රාදූර්භූත වන්නේ තෑගි භෝග පොළොවෙන්ම මතුකරමිනි. විසිවන සියවසේදී නත්තල් සීයාගේ බිරිඳ (Mrs Santa Clans) සංකල්පයද බිහිවුණු අතර අවුරුදු කුමරි යන සංකල්පය ලංකාවේ බිහිවන්නේද විසිවන සියවසේදීය.
 
 සමාලෝචනය
 
 සිංහල අලූත් අවුරුද්ද යනු හුදු අනුස්මරණ උත්සවයක් නොවෙයි. එය සාමූහික ජන විඤ්ඤාණය ප‍්‍රකටීභූත සමාජසංස්කෘතික සංසිද්ධියකි. මෙම කෙටි ලිපයෙන් දාර්ශනික ප‍්‍රත්‍යවේක්ෂණයකින් විභාග කෙළේ එම සිංහල අවුරුද්දෙහි අවුරුදු කුමාරයාට ඇති ආස්ථානයයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වන නිමේෂයේදී සෞභාග්‍යයේ පණිවුඩය රැගත් ආශ්චර්යවත් කුමාරයකු ලෙස අවුරුදු කුමාරයා හෙළ දිවයිනට වඩින අතර මෙලක්වැසියෝ අනේක හරසරින් ඔවුනට බුහුමන් කෙරෙති. අවුරුදු කෙළි අතර ප‍්‍රමුඛ අංගයක් වන උන්චිල්ලාව නිමැවී ඇත්තේ හිරු කර්කට නිවර්තනයේ පටන් මකර නිවර්තනය දක්වා යන ගමන බව ඇතැමෙක් පවසයි. එබැවින් සරණයි සරණයි ඉරු දෙවි සරණයි යනුවෙන් උන්චිලි වාරම්වලදී ගයන්නට ගැමියෝ අමතක නොකරති. (හිරුට පමණක් නොව සඳුටද අවුරුද්දේ සුවිශේෂ ඉඩක් වෙන්ව ඇතත් ඒ අපගේ ප‍්‍රස්තුතයෙන් බැහැරය. නාථ දෙවියන්ටද සිංහල අවුරුද්දේ සුවිශේෂ ස්ථානයක් ඇති අතර ගම්භාර පත්තිනි ආදි දෙවි දේවතාවුන්ද එම චාරිත‍්‍ර වාරිත‍්‍ර හා බැඳී පවතියි. ඒ සියල්ලෙන් විශද වන්නේ මෙම අවුරුදු මංගල්‍යය සර්වව්‍යාපී අගයකින් යුතු බවයි) එපමණක් අවුරුදු සමරා අතීත ගැමියෝ ඉඩකඩම් තම මුණුබුරන්ට මිණිබිරියන්ට ලියා සිරිපා කරුණා කළ බවද ජනශ‍්‍රැතිය අපට උගන්වයි. ශ‍්‍රී පාදය සහ හිරු අතරද සුවිශේෂ සම්බන්ධයක් ඇත.
 
 තර්කානුකූලව නම් අවුරුදු කුමාරයා වාසය කළ යුත්තේ සූර්යයා සමීපයේය. බුදුදහමට අනුව අජීව ද්‍රව්‍ය අධිගෘහිතව දෙවිවරු වැඩසිටිති. ඒ අනුව සූර්යයා සමීපයෙහිද එවැනි දෙවිවරු සිටිය හැකිය. නමුත් අලූත් අවුරුද්ද විෂයක සලකන විට සැබැවින්ම අවුරුදු කුමරකු වාසය කරනවා නම් ඒ වාසය කරන්නේ සූර්ය මස්තකයේ නොව ජනතාවගේ හද මැඳුරෙහිය. එනයින් අවුරුදු කුමාරයා සොයා යන්නකු හට ඔහුව හමුවනු ඇත්තේ ”වසරකට වරක් එළඹෙන මේ සා ප‍්‍රීති සමයකැයි’’ චිත්ත සංතුෂ්ටියෙන් ඔකඳව ගිය කුඩා දරුවකුගේ හදවතකය. අලූත් අවුරුද්ද අහසෙන් පොළොවට රැගෙන එන අවුරුදු කුමාරයා හෙවත් අලූත් අවුරුද්දේ හිරු රශ්මිය හෙවත් සූර්ය කිරණවල ගුණාගුණ බටහිර භෞතික විද්‍යාවෙන් නිර්වචනය නොකෙරුණුද අපේ හෙළ දැනුමෙන් එය විග‍්‍රහ කළ හැක්කේ මෙපරිදිය.
 
  

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles