Divaina - අපි දෙන්නා අඳුනගත්ත කාලයේ හුඟක් කරදර විඳින්න වුණා.... කරුණාරත්න අබේසේකර ගැන බිරිය ඉරානි අබේසේකර කතා කරයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

old1
 
 දිලීපව නැලෙව්වෙත් සඳ වට රන් තරු ගීතය කියලා ගුවන්විදුලි නිවේදන කලාවේ සහ ගීත රචනා කලාවේ දේශීය ප‍්‍රමුඛයකු ලෙස අදටත් සැලකෙන කරුණාරත්න අබේසේකරයන් ගේ පෙම් කතාව ද ගීතයක්මය. ඔහු පෙම් බැඳි ඉරානි අබේසේකර ඔහුගේ ජීවිතය, කලාව සහ පේ‍්‍රමය පිළිබඳ ඉතාම හොඳින් දත් කාන්තාවය. නැසී ගිය සිය ආදරණීය සැමියා පිළිබඳව ඇය කියන කතාව අද අපි ඔබට ඉදිරිපත් කරමු. මෙහි ගීත ගැන වැඩිමනත් කතන්දර නැතුවා වන්නට පුළුවන. එහෙත් කරුණාරත්න අබේසේකර තමා ලියූ හොඳම ගීත දකින්නට ඇත්තේ ඇගේ දෑස්වලින් වෙන්නට පුළුවනි.
 
* ඔබේ ආදරණීය සැමියා, කරුණාරත්න අබේසේකරයන් ගීත විශාල සංඛ්‍යාවක් රචනා කර තිබෙනවා?
 
 ගෙදර ඉන්නකොට සමහර වෙලාවට ඒ ගීත නිර්මාණ පිළිබඳ කතා කරනවා. නමුත් එහෙම වෙනවා හරි අඩුයි. විටෙක ගෙදරදී ඔහු ගීත ලියනවා. සමහර වෙලාවට ඔහු කියනකොට මම ලියා ගන්නවා. ඒ වගේ දේවලූත් කෙරුණා. කව්රුහරි ගායකයෙක් ගායිකාවක් ඇවිල්ලා ඉන්නකොට නෙමෙයි, නිකං ඉන්නකොට මොකක්හරි ලියනවා නං ඒක මට ලියන්න කියනවා. චිත‍්‍රපට ගීත එහෙමත් ඒ විදිහට කෙරුණා. බුද්ධං සරණං වැනි සමහර චිත‍්‍රපට ගීත පරිවර්තනය කරන්නත් ඕනනේ. විශේෂයෙන් ඒ වගේ ඒවා ඔහු වචන දාලා මම ලියනවා. ගායනයේදී දෙතොල් සමග සමපාත වෙනවද කියලා හරියටම බලනවනේ. චිත‍්‍රපටයේ නිළිය හරි නළුවා හරි සිංදුව කියනකොට ඒ විදිහට වචන එන්නත් ඕන. ඒක නිසා සමහර වෙලාවට කන්නාඩියක් තියාගෙන ඔහු ඒ විදිහට වචන හසුරුවනවා. නිසි පරිදි වචන දෙතොල් සමග සමපාත වෙනවද කියලා බලන්න. ඒ වගේම ඒ ගීත සිංහලට පෙරළන්න මහත්මයෙක් හිටියා ඒරත්න කියලා. ඔහු හින්දි ගීතය සිංහලට පෙරළලා ලියලා එවනවා. ඒ තේරුමත් බලලා තමයි කරු හරිආකාරව ගීතය ලියන්නේ.
 
 *”එන්න මද නලේ” ගීතය පිළිබඳ ප‍්‍රසිද්ධ කතාවක් තිබෙනවා?
 
 අපි දෙන්නා අඳුන ගත්ත කාලයේ හුඟක් කරදර විඳින්න වුණා. එනිසා ඒ කාලේ ලියපු ගීතයක් තමයි ඒක. කිසිම ආරංචියක්වත් නොලැබෙන කාලෙක. ඒ කියන්නේ මාව හුඟක් ආරක්ෂා කරලා තිබුණනේ අපේ තාත්තා, අම්මා එහෙම. කාලයක් තිබුණා කව්රු එක්කවත් මගේ යාළුවන්ටවත් හම්බවෙන්න, කතා කරන්න ඉඩ දුන්නේ නැහැ අපේ ගෙදරින්. මොකද එයාලත් අපට උදව් කරන විත්තිය දන්නවා. එනිසා එයාලත් නෑවිත් හිටියා. ඊට පස්සේ අපිට අපි ගැන තොරතුරක් ලැබුණොත් අහම්බෙන් තමයි. මට මතකයි එහෙම දෙයක්. දවසක් අපි කොහේ හරි ගිය වෙලාවක එතෙන්ට ඇවිල්ලා හිටියා කරු දන්නා කෙනෙක්. ඔහුගේ යාළුවෙක්. ඔහු අතේ පොඩි ලියුම් කෑල්ලක් ලියලා පණිවිඩයක් දුන්නා එක සැරයක්. අන්න ඒ වගේ පණිවිඩ තමයි හම්බුනේ ඒ කාලේ. නැත්නම් නෑ. ටෙලිෆෝන් එකවත් මට අල්ලන්න ඉඩක් ලැබුණේ නැහැ.
 
 *එතරම් විරුද්ධ වුණේ ඇයි කියලාද ඔබ හිතන්නේ?
 
 එක අතකට ඒ කාලේ ඉස්කෝලේ යන ළමයිනේ. එතකොට දෙමව්පියෝ වැඩිය කැමති නෑනේ මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙනවට. අනික ඒගොල්ලන්ට මොනවහරි තියෙන්න ඇති තවත් හේතුවක්. නමුත් ඒ ගැන මට තේරුණේ නැහැ.
 
 *ගීතය ඔබට ලියූවක් බව දැනගත්තේ කොහොමද?
 
 ඒ කාලේ ගුවන්විදුලිය විතරයිනේ තිබුණේ මාධ්‍යයකට. රූපවාහිනී අරවා මේවා නැහැනේ. ඉතිං රේඩියෝ එක නිතර දාලා තියෙනවා. මොකද ඒකෙ හරි වැදගත් දේවල් තිබුණේ. අපට ඉස්කෝලෙනුත් කියලත් තිබුණා රේඩියෝ එක අහන්න, ප‍්‍රවෘත්ති අහන්න කියලා. මගේ මල්ලිත් හිටියා. මල්ලි නං ඒක එච්චර තැකුවේ නෑ. හැමවෙලේම රේඩියෝ එක දාලා තිබුණේ. බණ, සාකච්ඡුා, ඔක්කොම හොඳ වැදගත් දේවල්නේ තිබුණේ. ඔය අතරතුරේ ගීත වැඩසටහනුත් තිබුණා. ගුවන්විදුලි නාට්‍ය එහෙමත් තිබුණා. මං පාසල් ගියේ හෝලි ෆැමිලි කොන්වන්ට් එකට. ඒවායේ කටයුතු වැඩිපුර කෙරෙන්නේ ඉංග‍්‍රීසියෙන්නේ. ඒ කාලේ කොහොමත් ඉංග‍්‍රීසියෙන් තමයි තිබුණේ පාඩම්. ඉතිං සිංහල ටීචර් කියලා තිබුණා ප‍්‍රවෘත්ති අහන්නම කියල. මොකද සිංහල එහෙම හොඳින් දැනගන්න. හොඳ වැදගත් දේවල් යන්නේ. උච්චාරණය එහෙමත් හොඳයි. ඒවා එහෙම ඉගෙනගන්න ප‍්‍රවෘත්ති එහෙම අහන්න කියලා. ඉතිං ඒ වගේ අපේ තාත්තත් නිතරම දාලා තිබුණා රේඩියෝ එක. ඔහොම යනකොට තිලකසිරි ප‍්‍රනාන්දුගේ පැය භාගයක් ගීත ප‍්‍රචාරය වෙන වැඩසටහන් ගියා. ඒ වැඩසටහන දාලා තිබුණේ ඒ වෙලාවේ. අන්තිමට තිබුණේ එන්න මදනලේ සිංදුව. මට තේරුම් ගියා මේක කියන්නේ මට වෙන්න ඕන කියලා. එතකොට තාත්තටත් තේරුණා ඒක. සිංදුව ඉවර වුණාට පස්සේ නම කිව්වා රචකයාගේ. එතකොට ඇත්තටම පණිවිඩයක් තමයි එවලා තියෙන්නේ කියලා තාත්තටත් කේන්ති ගිහිං, රේඩියෝ එකත් තාත්තා හරි මල්ලි හරි දැම්මොත් මිසක් මට දාන්න දෙන්නෙ නැතුව ගියා. ඉතිං ඒ වගේ දුෂ්කර කාලයක තමයි කරූ ඔය සිංදුව ලියලා තිබුණේ.
 
 *ඔබට ලියූ තවත් එවැනි ගීත මතකද?
 
 විස්තර කියන්න දැන් මට මතක අඩුයි. සම්පූර්ණව ලියනවට වඩා එහෙං මෙහෙන් කෑලි දාපුවත් තිබුණා ගීතවල. ඔය ඩිංගිරි මැණිකා චිත‍්‍රපටයේ එහෙම සිංදු තිබුණනේ. එතකොටත් අපි ඈතින් හිටපු කාලයේ. එනිසා ඒ සිංදුවලටත් දේවල් ඇතුළත් කරලා තිබුණා. චිත‍්‍රපටියේ ඒ සිද්ධියටත් අදාළයි. ඒකෙ ඩිංගිරි මැණිකාව හංගලා වගේනේ තිබුණේ. ඇවිත් ඇයව ගෙනියන්න කියනවා වගේ අදහසක්නේ ඒ සිංදුවේ තිබුණෙත්. ඒ වගේ සිංදුවලටත් පොඞ්ඩක් ඇතුළත් කරනවා අපේ මොකක්හරි කියන්න තියෙනවා නං පණිවිඩයක්.
 
 *ඊටපස්සේ මොකද වුණේ?
 
 අන්තිමට ඒ ඉස්කෝලෙන් අයින්කරලා වෙන ඉස්කෝලෙකට දානවා කියලා කිව්වා තාත්තා. ඒ කාලේ ඉතිං ඕන වෙලාවක ඕන ඉස්කෝලෙකට යන්න පුළුවන්. නුවර දාන්නද කියලා ඇහුවා. මං කිව්වා එහෙ යන්න බැහැ, මම මේ ඉස්කෝලෙම ඉන්නවයි කියලා. මං හිතුවා මේ ඉස්කෝලෙට යන්නේ නැත්නම් ආයේ වෙන ඉස්කෝලෙකට යන්නේ නෑ කියලා හිතුවක්කාරකමට වගේ හිටියා. කොහොමහරි උසස්පෙළ විභාගය කිට්ටු වෙනකන්ම හිටියා ඒ පංතියේ. නමුත් විභාගේ කරන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ ඉතිං ගෙදර හිටියා. ඒ කාලේ ඉඳලා අවුරුදු දෙකහමාරකට විතර පස්සේ අපේ තාත්තා නැතිවුණා. ඊට පස්සේ අම්මා තමයි තනියම මාවයි මල්ලිවයි බලාගත්තේ. අම්මත් ටිකක් තද ගති ඇති කෙනෙක්. ඇයත් කියපු කතාව වෙනස්කරේ නැහැ, නෑදෑයෝ එහෙම කිව්වට. දවසක් අම්මගේ නංගි, මගේ පුංචි අම්මයි බාප්පයි දෙන්නා එක්කහුවෙලා කතා කර කර ඉන්න වෙලාවක වටහලා දීලා තියෙනවා මම වෙන යෝජනාවකට කැමති වෙන්නෙම නැති පාටයි, තේරුමක් නැහැ නේද කියලා. අම්ම ඒ වෙලාවේ කියලා තියෙනවා අම්මගේ නංගිටයි ඒ බාප්පටයි, එහෙනං ඕගොල්ලන්ට ඔන්නං කරලා දෙන්නයි කියලා. අම්ම ගේ ඒ කතාවත් යම්කිසි පණිවිඩයක්නේ. ඉතිං ඒ අනුව පුංචි අම්මයි බාප්පයි තමයි ඉදිරිපත්වෙලා අපේ විවාහය කරලා දුන්නේ.
 
 *කොහොමද මේ මුණගැසීම සිද්ධ වුණේ?
 
 ඉස්සර මම ඔහුගේ වැඩසටහන් එහෙම අහනවා. මිස්ටර් ගුරුගේ, මිස්ටර් කොළඹගේ වගේ අය හිටියා වැඩසටහන්වල. ඒවා ඔක්කොම මං අහනවා. වැඩිය නෑනේ වැඩසටහන් ඒ කාලේ. හැබැයි ඔහුගේ කට හඬට මං කැමති වුණා. පුරුදුයි වගේ ඒ හඬ මට. නමුත් මං ඔහුව දැකලාවත් නැහැ. ඉස්කෝලෙ ගියාම යාළුවෝ යාළුවෝ අපි කතා වෙනවනේ අපි කැමති වැඩසටහන වගේ දේවල් ගැන. මං හිතන්නේ මං මෙයාගේ වැඩසටහන්වලට වැඩියෙන් කතා කරනවා. වැඩසටහන් ගැන තමයි අපි කතා කරන්නේ. වෙන දෙයක් ඔලූවේ තිබුණේ නැහැ. ඔන්න පහුකාලයේ දවසක් මං දැක්කා ඔහු දහම් පාසල් උත්සවයකට ඇවිල්ලා හිටියා. ඔන්න එතෙන්දි තමයි මං දැක්කේ කරුව මුලින්ම. ඒ ගමන ඉස්කෝලෙත් ඇවිල්ලා කිව්වා අහවල්ලූ දැක්කා අහවල්ලූ හිටියා මේකේ කියලා. ඒකත් මං දැනගත්තේ එන කට්ටිය වාඩිවෙන පුටුවල නම් ගහලා තිබුණා. ඉස්කෝලෙදි යාළුවෝ කතා වෙනකොට මං කිව්වා මං දැක්කයි කියලා කරූව. ඉතිං ඊටපස්සේ ඔය එක එක වැඩසටහන්වලදී අරහේ මෙහෙ දැකලා තියෙනවා එච්චරයි. සාමාන්‍යයෙන් ඔය වයසට විහිළු කරනවනේ. ඉතිං යාලූවෝ ඔන්න මට විහිළු කරන්න පටන් ගත්තා.
 
 *ඉන්පස්සේ මොකද වුණේ?
 
 ඔය අතරේ සීනියර් විභාගේත් අපේ පංතිවල කට්ටියට තිබුණා. ළමයි ඒකටත් ලැස්ති වෙනවා. සමහර ළමයි ඒ අවුරුද්දේ
 
 විභාගේ කරලා අයින් වෙනවා. සමහරු රැුකියාවකට යනවා. ඒ කාලේ ඉතිං වැඩිදුර ඉගෙනගන්න කට්ටිය හිටියේ නැති තරම්. අපේ යාළුවො හත්දෙනෙක් හිටියා. එයින් එක්කෙනක් දෙන්නෙක් ඒ වගේ නවතිනවා කිව්වා ගෙදර. ඒ හින්දා අපේ යාළුවෝ කට්ටිය කතා වුණා පස්සට මතක තියෙන දේවල් මොනවහරි කරන්න ඕනයි කියලා ඉස්කෝලෙන් අයින් වෙන්න කලින්. ඒ පාර මේගොල්ලෝ ලෑස්ති කරලා තිබුණා කාගේ හරි වෙඩින් එකකට යන්න ඕනයි කියලා. ඒ දවස්වල ඉංග‍්‍රීසි පත්තරේ යනවා
 
 කාගේ හරි වෙඩින් එකක් තියෙනවා නං ඒක ගැන විස්තරයක්. මෙහෙම අහවල්ලූ අහවල්ලූ විවාහ වෙනවා කියලා. ඒකෙ අර වෙඩින් කාඞ් එක වගේ දැනුම් දීමක් තිබුණා. ඉතිං ඔය වගේ පත්තරේ බලලා ඒගොල්ලෝ ලෑස්ති කරලා තිබුණා එක විවාහ උත්සවයකට යන්න. නමුත් බලනකොට ඒ වෙඩින් එකට අපේ අම්මලත් යනවා. ඊටපස්සේ එක කැන්සල් කළා. ඒක කැන්සල් කරලා ටික කාලයක් ඉන්නකොට දැක්කා චිත‍්‍රා සෝමපාලලාගේ වෙඩින් එක තියෙනවයි කියලා පත්තරේ දැනුම්දීලා තිබුණ එක. ඊටපස්සේ මේක හොඳයි කියලා ඒකට යමු කියලා ලෑස්ති කරගත්තා. මගේ යාළුවො හිතුවා මෙතෙන්ට එනවා ඇති කියලා අහවල්ලූ. මම එහෙම හිතුවෙත් නැහැ, එයාලා මට එහෙම කිව්වෙත් නැහැ. අපේ කට්ටිය හත්දෙනයි. ඇත්තටම අපිට ආරාධනා කරලා නැති වෙඩින් එකකට තමයි මේ යන්නේ. හැබැයි අපේ එක යාළුවකුටයි එයාගේ අයියටයි ආරාධනා කරලා තිබුණා. එයා ගේ අයියා ඩොක්ටර් කෙනෙක්. එතකොට ඒ ආරධනා පත‍්‍රය උඩ තමයි මේ අපි යන්නෙත්. අපි දෙතුන් දෙනා ලෑස්තිවෙලා අම්මලට කියලා වෙඩින් ඒකට ගියා. එතනදී අපේ ශ‍්‍රීමා කියන යාළුවා, එයාගේ අයියා තමයි ඩොක්ටර් මේගොල්ලන් හොරෙන් ලෑස්ති කරලා කරූට කියලා අපි ඉන්න තැනට කරූව එක්කගෙන ආවා. එතකොට එයයි එයා ගේ යාළුවෙකුයි අපි ඉන්න තැනට ඇවිල්ලා කතා කළා. එතනදී තමයි හරියට දැනගත්තේ. ඉන්පස්සේ ටෙලිෆෝන් ඒකෙන් කතා කරන්න කිව්වා මට. කරූ කිව්වා සඳුදාට එයා බීම් එකේ ඉන්නවා කතා කරන්න කියලා. ඒත් ඉතිං මම කතා කරේ නැහැ. මගේ අනිත් යාළුවො කිව්වා ඔයා නං කතා කරන්නේ නැහැ කියලා, එක්කෙනක් ඉදිරිපත් වුණා එයා කතා කරලා මට දෙන්නං කියලා. එය රේඩියෝ සිලෝන් එකට කතා කරලා කරුව එතෙන්ට ගෙන්වලා මට කෝල් එකක් දුන්නා අපේ ගෙදරට. එහෙම කතා කළාට මිනිත්තු පහක්වත් කතා කළේ නැහැ. එච්චරට මට කතා කරන්න දේවල් තිබුණේ නැහැ. ඒ වගේ දවස් තුනක් විතර කතා කරපුවහම කරූ කිව්වා ඒගොල්ලන්ට වද කරන්න එපා ඔයා කතා කරන්න මං එතන ඉන්නවයි කියලා.
 
 *ඉඳ හිටවත් හමුවුණේ කොහොමද?
 
 ඔහොම ඉන්නකොට අපේ ඉස්කෝලේ පනස්වෙනි සංවත්සරයට ප‍්‍රදර්ශනයක් තිබුණා. එතකොට මගේ යාළුවො කිව්වා කරුටත් එන්න කියන්න කියලා. ඊටපස්සේ එයයි එයාගේ යාළුවයි දෙන්නා එක්ක ආවා. අනේ ඇවිල්ලා ටිකක්වෙලා ඉන්නකොට ඔන්න අපේ තාත්තාත් ආවා. ඒ ගමන මගේ යාළුවෝ දෙන්නෙක් මාවත් එක්කගෙන වෙන පැත්තකට ගියා. අනික හැම යාළුවා එක්කම යන්න දෙන්නේ නැහැ. ඒ පවුලයි අපේ පවුලයි දන්නවා නම් එහෙම කට්ටිය එක්ක තමයි කොහෙහරි යන්න ඉඩ දීලා තියෙන්නේ අපි හත්දෙනටම. ඊට පස්සේ ඒ යාළුවා කිව්වා අංකල් මම ගෙනල්ලා බස්සන්නන් තව ටිකකින් කියලා තාත්තට යන්න කිව්වා. ඒ එදා. ඔහොම තමයි ඉතිං. ටෙලිෆෝන් ඒකෙන් තමයි වැඩි හරියක්ම කතා කළේ. ඉඳලා හිටලා කරූගේ නෑදෑ අක්ක කෙනකුගේ ගෙදර තමයි අපි හම්බුනේ. තනියම අපි කොහෙවත් ගිහිල්ලා නෑ. එයා එන්නේ එයාගේ යාළුවකුත් එක්ක මම යනවා මගේ යාළුවකුත් එක්ක. එක්කෝ අපේ ගෙදර වාහනෙන් නැත්නම් ඒ මගේ යාළුවගේ ගෙදර වාහනෙන්. ඔහොම තමයි කතාබහ කළේ. දැන් කාලේ වගේ ලේසි නෑනේ ඉස්සර එළියට යන්නවත් තනියම.
 
 * ඒ ගෙවුණු අලූත් ජීවිතය මොනවගේද?
 
 විවාහයෙන් පස්සේ මං හිටියේ එයාලගේ ගෙදර. අම්මා, තාත්තා, මල්ලිලා, නංගිලා අපි ඔක්කොම හරි සතුටින් හිටියා. ඊටපස්සේ ඉතිං එක එක්කෙනා බැඳලා ගියා. සමහරු රට ගියා. අපිට පුතා හම්බුනේ ගොඩ කාලෙකට පස්සෙනේ. ඒ නිසා ටික කලක් අම්මලත් අපිත් දුකින් හිටියා. අවුරුදු දහයකට පස්සේ තමයි අපිට පුතා හම්බුනේ. පුතා උපන්නේ හරියටම එයාගේ උපන්දිනේ දවසේ. ඉතින් පුතා උපන්න එකටත් සංතෝෂයි. එයාගේ උපන්දිනේ දවසේ හම්බුන එකටත් හුඟක් සංතෝෂයි. දුකෙන් හිටියට මොකද ටික කාලයක් හරි සතුටුයි ඊට පස්සේ.
 
 * ඔහු ලියූ ගීත අතුරින් ඔබ වඩාත් ප‍්‍රිය කරන ගීත මොනවාද?
 
 සිංදු නං හුඟක් තියෙනවනේ. මං ආසයි සඳ වට රන් තරු. ඉස්සර සමහර වෙලාවට මං ඒක කියනව පුතා නළවන්න. එතකොට මධුමල ලෙස, පෙම්බර මධු, නිදහස් කාහල නාදය, පෙරදිග මුතු ඇටය, දිලීප පොඩි පුතු, සුරැුකීමට හෝ නැතිවී යනු, ටජ්මහලක්, බුද්ධං සරණ ගච්ඡුාමි, කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී, මා හද අසපුව වගේ ගීතවලට මං වැඩිපුර කැමතියි. එන්න මදනලේ ඉතිං විශේෂයිනේ. තව මිල්ටන් කියන සිංදුවක් තියෙනවා වැඩිය ප‍්‍රචාරය වෙන්නේ නැති ”දුලාමනි දිලීප මයුර දිලීපලගේ ගෙදර ආවම” කියලා. ඒ සිංදුව ලස්සනයි. එයා විශේෂයෙන් ලියාපු සිංදුවක් ඒ කාලේ පවුලේ හිටපු ළමයි ටික ගැන.
 
 *ජීවිතේ අතරමගදී ඔහු ඔබෙන් සමුගන්නවා?
 
 එන්න මදනලේ ගීතය තමයි එයාගේ අන්තිම මොහොතෙ කරූ අහගෙන හිටියේ. අසනීප ගතිය පොඞ්ඩක් තිබුණා. ගෑස්ට‍්‍රයිටිස් වගේ තමයි තිබුණේ කලින්. හිටපු ගමන් ඒ වගේ එනවා ආයේ නැතිවෙලා යනවා. ඉතිං එදා ටිකක් ඔහොම තිබිලා ඩොක්ටර් ඇවිල්ලා බලලා ගියා. කෑම කන්න එපා මොනවහරි බොන්න කියලා ඩොක්ටර් බේතක් දුන්නා. සස්ටජන් එකක් එහෙම හදල ගෙනත් දීලා මායි පුතයි කෑම කන්න ගියා. ඒ දවස්වල රේඩියෝ එකේ තිබුණා වැඩසටහනක්, ඒකෙ කව්රුහරි ගීත රචකයෙක් එයා කැමති ගීත රචකයෙක් ගැන විස්තර කියනවා. අන්තිමට එයා කැමති වෙනත් ගීත රචකයකුගේ ගීතයක් තෝරනවා. එදා තෝරලා තිබුණේ එන්න මදනලේ ගීතය. කරූ මේ ගීතය හොඳට අහගෙන හිටියා. අපි දෙන්නත් මේ සිංදුව ඇහිලා එතෙන්ට ආවා. පුතාට නං එච්චර තේරුමක් නැහැ. හැබැයි දන්නවා තාත්තගේ සිංදුවක් විත්තිය. අහගෙන ඉඳලා අන්තිමට මට කිව්වා ඒක හරි ලස්සන ගීතයක් කියලා. ? තමයි මෙයාට අසනීප වුණේ. වෙනදා වගේ නෙමෙයි දිගට කතා කළා. පොඩි කාලේ ඉඳන් එක ලෙඩ හැදිලා තියෙනවා කිව්වා. ඉතිං මමත් කියනවා පොඩි කාලේ කාටත් අසනීප හැදෙනවනේ ඒ වගේ අපිටත් හැදෙනවනේ කියලා මං ඒ කතාව නවත්වනවා. අන්තිම වෙනකං මාත් එක්ක කතා කර කර හිටියා. මම හිතුවෙත් නෑ එහෙම දෙයක් එයා හිතුවෙත් නෑ. මාත් එක්ක හුඟක් වෙලා කතා කර කර ඉඳලා මං කිව්වා දැන් ඉතිං ඇතිනේ නිදාගන්නකො කියලා මං කීප සැරයක් කිව්වා. හාන්සි කෙරෙව්වා. ඒ උනාට නැගිටලා ඉතිං ඇවිදිනවා එහේම. එයාගේ එක වරදක් තිබුණනේ, සිගරට් එක පාවිච්චි කළානේ. එයින් එකක් මට කිව්වා ගෙනත් දෙන්නකෝ කියලා. මං කිව්වා එපා එපා දැන් ඕනේ නැහැනේ. පැයකට විතර ඉස්සෙල්ලා එකක් පාවිච්චි කළානෙ දැන් ඕන නැහැනේ නිදාගන්න කියලා කිව්වා මං. ඊට පස්සේ එහෙමම එයාව ඇඳේ හාන්සි කරවලා මමත් ඇඳේ වාඩිවෙලා වගේ හාන්සි වෙලා හිටියා. ? ඒකට විතරනේ මට එහෙමම නින්ද ගිහිං. නමුත් දොර අරින සද්දයක් ඇහිලා බලනකොට මෙයා පල්ලෙහට ගිහිල්ලා ඇවිල්ලා. එතකොට හරි මහන්සියි. හරියට හති දානවා. ඒ ගමන මං ඇහුවා ‘ඇයි අනේ ඔයා පල්ලෙහට ගියේ කියලා, නෑ මං සිගරට් එකක් ගන්න ගියේ’ කියලා කිව්වා. මං කිව්වා දැන් වැඩක් නෑනේ මේ ? වෙලා කියලා ආයෙත් හාන්සි කෙරෙව්වා. ඒ පාර අර ඩොක්ටර් ටැබ්ලට් දෙකක් දීලා ගියා ඕන උනොත් විතරක් පාවිච්චි කරන්න කියලා. ඒක දෙන්න කිව්වා. මං කිව්වා ඕනේ නෑනේ දැන් කියලත්. ඒ අතරේ එයාම කතා කළා දයා මල්ලිට. දයා ඩොක්ටර්ට එන්න කියන්න මට ටිකක් සනීප නැහැ කියලා. ඒ අතරේ දැන් ඩොක්ටර් එනවනේ හාන්සිවෙලා ඉන්න කියලා මං හොඳට කොට්ට එහෙම හදලා තියනකන් එයා පැත්තකට හැරිලා ඉඳලා දැන් හරි එන්න කිව්වම හොඳට හාන්සි වෙලා හොඳ හුස්මක් ගත්තා. ඇස් දෙක වහගෙන හොඳ හුස්මක් දෙසැරයක් විතර ගත්තා. ඊට පස්සේ සද්දයක් නැහැ. මං හිතුවා නින්ද ගිහිං කියලා. ඒත් වෙනදා නින්ද ගියාම මෙහෙම නෑ නේද කියලා මටත් ටිකක් හිතුනා. මම ඉතිං පපුවට අත තියලා බලනවා වගේ දේවල් කරනකොටම ඩොක්ටර් ආවා. දයා මල්ලි ඒ ?ම වැඩි වෙලාවක් නොගිහින් ඩොක්ටර් එක්කං ආවා. බලපු ගමන් ඩොක්ටර්ගේ මූණ හොඳ නැහැ. ඒ අතරතුරේ අම්මා ඇතුළට ආවා. ළඟ ඉන්නවා තව මල්ලි කෙනෙක් එහා ගෙදරක ඒ මල්ලිත් ආවා. ඉතිං කොහොම කොහොම හරි මං දන්නේ නැහැ, මගේ හිතේ නින්ද ගිහිං කියලා. ඉතිං මං කකුල් අත ගානවා. අපි ඉන්නවට එහා කාමරේ ලයිබ‍්‍රරි එක වගේ තිබුණේ එයාගේ. එතන්ට ගිහිල්ලා ඒ ඩොක්ටර්යි මල්ලිලායි කතා කර කර ඉන්නවා. සැරින් සැරේට ඇවිල්ලා බලල යනවා. මුකුත් කියන්නේ නැහැ. පැය භාගයක් විතර ගිහිල්ලා මල්ලිගෙන් මං ඇහුවා ඇයි මල්ලි ඩොක්ටර් මොකද කියන්නේ කියලා. එතකොට තමයි මල්ලි කිව්වේ නෑ අක්කේ මුකුත් කරන්න බෑයි කියනවා කියලා. අර වෙලාවේ හුස්ම අරං තියෙන්නේ කියලා මං හිතුවට හුස්ම ගිහිං තියෙන්නේ ඒ වෙලාවේ. මට ඉතිං හරි කම්පනයක් උනා. මං දන්නේ නෑ මොකක් උනාද කියලා මට. ඒ වෙලාවේ මට ඇඬුණෙත් නෑ, කෑ ගැහුනේත් නෑ මොකක්වත් නෑ. පස්සේ තමයි මට තේරෙන්න පටන් ගත්තේ ටිකෙන් ටික. ඉතිං අන්තිමට අහගෙන් හිටියේ ඔය සිංදුව. හරිම හොඳ කෙනෙක්. විවාහයෙන් පසුවත් විවාහයට කලින් ඉඳන් ඒ තිබුණ ආදරය වගේම හරි ගරුත්වයක් තිබුණා. ආවට ගියාට විහිළු කළේවත් නෑ කවදාවත්. කරූ නැති වෙනකල්ම ඒ ආදරයත් ඒ ගරුත්වයත් තිබුණා. මට නිතර නිතර තෑගි ගෙනත් දෙනවා. එහෙ මෙහෙ එක්කං යනවා. පවුලේ අනිත් අයටත් හරි ආදරෙයි අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට. ඒ ඇරෙන්න ඉතිං කාටත් උදව් පදව් කරනවා. ගෙදර ඉන්නකොට මම නිතරම වගේ ළඟ ඉන්න ඕන. පිටතදී තරහ යනවත් එක්ක නමුත් ගෙදරදී එහෙම නෑ හරි සන්සුන්. හුඟක් වෙලාවට කට්ටිය එනවා සිංදු හදාගන්න එහෙම. හුඟක් ? වෙනකං ඉන්නවා වෙලාවකට. අහල පහල කට්ටිය එක්ක උනත් හරි සුහදයි. ඒගොල්ලත් මෙයා එක්ක හරි සුහදයි. අවුරුදු කිහිපයකට පස්සෙන්නේ මේ පාර නම් කළේ කරූ නමින්. එතකොටත් ඒගොල්ලෝ තමයි ඒ කටයුතු කළේ උනන්දුවෙන්. මං ගෙදරට ආවාට පස්සේ හැමදේම එකතු කළා. පත්තරවල ගිය දේවලූත් තියෙනවා. නිර්මාණත් තියෙනවා. සමහර වෙලාවට අහපු නැති සින්දුත් තියෙනවා පරණ ඒවා. අනික මාත් ඇවිල්ලා කාලයක් ගියාට පස්සේ තමයි පොත්වල ලියන්න පටන් ගත්තේ. නැත්නම් කලින් එක එක කඩදාසියක හරි මොකක්හරි කොලේක ලියලා හිටන් දෙනවා. ඉතිං ඒවා හුඟක් වෙලාවට අපි ළඟ නෑ. ඒ නිසයි එකතුවක් කරගන්න අමාරු.
 
  * යුගන්ති යශෝධරා

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles