Divaina - අලූත් පක්ෂයක් හදන්න ඉම්රාන් අර්ජුනට කියලා... කාදිනල්තුමා පෙන්නූ ඕ/ලෙවල් නැති මන්ත‍්‍රීවරු... රනිල් මහින්දගේ සාදයේදී මෛත‍්‍රී දුන්නු අවවාදය...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

poli


 බුලිත ප‍්‍රදීප් කුමාර
 
අමාත්‍ය විමල් වීරවංශත් නෙලූම් මාවත කාර්යාලයේ මන්ත‍්‍රීවරුත් අතර තිබූ විරසකය පසුගිය සතිය වන විට තරමක් දුරට යටපත්ව තිබුණි. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රාජපක්ෂගේ අවවාද හා උපදෙස් අනුව නෙළුම් මාවතේ මන්ත‍්‍රීවරු අඩියක් පසුපසට වී නිහඬව සිටින්නට ගත් තීන්දුව නිසා විමල් වීරවංශගේ පාර්ශ්වයෙන් පසුගිය සතියේ වුවමනාවට වඩා විවේචන එල්ල වූයේ නැත. කෙසේ වෙතත් ඊට වඩා බොහෝ බරපතළ ගැටලූ රාශියක් මේ වන විට විසඳා ගන්නට ආණ්ඩුවට සිදුව තිබීම ඊට එක් හේතුවක් වන්නට ඇත. මේ නිසා නෙළුම් මාවත මන්ත‍්‍රීවරු හා විමල් විමල් වීරවංශ අතර ප‍්‍රශ්නයක් ලෙස සමාජයට පැමිණි විමල් - බැසිල් අරගලයට පසුගිය සතියේ පුංචි විරාමයක් ලැබිණි.
 
 ඒ අතර ආණ්ඩුවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාවත් අතර තවත් ප‍්‍රශ්නයක් පසුගිය දිනවල නිර්මාණය විය. එම ප‍්‍රශ්නයට හේතුව වූයේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මීට සති කීපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ අතට පත්ව තිබීමයි.
 
 මුලින්ම මෙම කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් මතු වූයේ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ටය. ජනාධිපතිවරයා වෙත භාර දෙන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් තමන් වෙතට ද භාර දෙන මෙන් කාදිනල්තුමා එහිදී ඉල්ලීමක් කර සිටියේය.
 
 එහෙත් එම ඉල්ලීම පිළිබඳ දේශපාලන කරළියේ විවිධ අදහස් පළ විය.
 
 සමහරුන් පෙන්වා දුන්නේ මෙය කාදිනල්තුමා තමන්ට හිමි බලය සහ ගෞරවය ඉක්මවා යමින් කරන ලද ප‍්‍රකාශයක් හා උත්සාහයක් බවය.
 
 ජනාධිපතිවරයා විසින් පත් කරන ලද එවන් කොමිෂන් සභාවක වාර්තාවක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට හා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනවා හැර කාදිනල් තුමාට හෝ මහනායක හිමිවරුන්ට හෝ වෙනත් ආගමික නායකයන්ට ඉදිරිපත් කිරීම පිළිබඳ ආදර්ශ හෝ පූර්වාදර්ශ නැතැයි පෙන්වා දුන් ඇතැම් දේශපාලනඥයෝ මෙවන් ස්ථාවරයෙහි පිහිටා කටයුතු කිරීම ආගමික සංස්ථාවකට එතරම් සුදුසු වන්නේ නැති බව ද කියන්නට වූහ.
 
 කොමිසමේ වාර්තාවට
 තව කොමිසමක් ඇවිත්

 
 මේ කොමිසම සිය වාර්තාව ජනාධිපතිවරයාට භාරදුන් සතියේ පැවති කැබිනට් මණ්ඩලයේදි ජනාධිපති ගොඨාභය කීවේ. ‘‘මේ වාර්තාව ආන්දෝලනාත්මක එකක් ඒවායේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන්න ගියාම නොයෙකුත් ගැටලූ මතුවේවි. නමුත් ඒවා ක‍්‍රියාත්මක කරන්න වෙනවා’’ කියාය. ඒ අනුව ඒ වාර්තාව ඉතා ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඔහු කිවේය. පසුගිය සඳුදා පාස්කු කොමිෂන් වාර්තාව කැබිනට් මණ්ඩයට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.
 
 ඒ අතරතුර ජනාධිපතිවරයා තවත් කමිටුවක් දැම්මේය. ඒ පාස්කු කමිටුවේ නිර්දේශ ක‍්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහාය. ඒ කමිටුවේ සභාපතිවරයා වූයේ ඇමැති චමල්ය. උදය, ප‍්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ හා රෝහිත මේ කමිටුවේ සෙසු සාමාජිකයන් වූහ.
 
 පසුගිය සඳුදා කැබිනට් රැස්වීමට පෙර ජනාධිපතිවරයා පත්කළ මේ කමිටුවේ පළමු රැස්වීම පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ඒ සවස 3.00 ට පමණය. කමිටු නියෝජිතයෝ පාස්කු කොමිසමේ වාර්තාව ක‍්‍රියාත්මක කිරීමට ගත යුතු පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා  කළහ. ඉතා ඉක්මනින් සිය නිරීක්ෂණ ජනාධිපතිවරයාට භාරදීමටද ඔවුහු තීරණය කළහ. සඳුදා කැබිනට් මණ්ඩලයේ රැස්වීම පැවැත්වුණේ සවස 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ඊට පාස්කු කොමිසමේ වාර්තාව ඉදිරිපත් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය.
 
 ‘‘මේ කොමිසම පත්කළේ අපි නෙවෙයි. මේ කොමිසම පසුගිය රජය විසින් පත්කළ කොමිසමක්. අපි එහි කාලය දීර්ඝ කරමින් එය ඉදිරියට ගෙනයෑමට කටයුතු කළා. කොමිසමේ වාර්තාව මා වෙත ලැබුණට පස්සේ එහි නිර්දේශ ක‍්‍රියාත්මක කළ යුතු ආකාරය නැවත සොයා බලන්නයි. මම චමල් ඇමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේ. නැතිව ඒ නිර්දේශ වෙනස් කරන්න නෙවෙයි.’’ ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.
 
 ‘‘මේ කොමිෂන් වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ඉදිරි ක‍්‍රියාමාර්ගත් ගන්නවා.” ජනාධිපතිවරයා කීවේය.
 
 ඒ අනුව පසුගිය පාස්කු වාර්තාව කථානායකවරයාට භාරදීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර එය මුද්‍රණය කර බ‍්‍රහස්පතින්දා වන විට සියලූ මන්ත‍්‍රීවරුන්ට බෙදා දෙන බව කථානායකවරයා කීවේය. එතෙක් මන්ත‍්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා එහි සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි වාර්තා පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා තිබිණි. විපක්ෂයේ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තු පුස්තකාලයට එම වාර්තාව පරිශීලනය කරනු දක්නට ලැබිණි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මෙම වාර්තාව බලනු දුටු ආණ්ඩුපක්ෂ මන්ත‍්‍රීවරයෙකු කීවේ. ”නම තියෙනවාද කියල හොයනවා” කියාය.
 
 කාදිනල් තුමා පෙන්නූ
 ඕ/ලෙවල් නැති මන්ත‍්‍රීවරු

 
 කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නේ කෙසේ ද යන කරුණ ගැන තනි තීන්දුවක් ගන්නවාට වඩා එවන් කමිටුවක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සාකච්ඡා වට බඳුන් කොට තීරණයක් ගැනීම ඉතා හොඳ බව ජනාධිපතිවරයා විශ්වාස කරන්නට ඇත.
 
 කෙසේ වෙතත් මේ කමිටුව සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල විය. මුලින්ම කමිටුවට බරපතළ චෝදනාවක් ගෙන ආවේ ද අතිඋතුම් කාදිනල් තුමාය. ඉහළ නීතිඥයන් විනිසුරුවන් විසින් නිර්දේශ ඉදිරිපත් කරමින් සකසන ලද වාර්තාවක් ඕ/ ලෙවල් වත් සමත් නැති මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් විමර්ශනය කරන්නේ කෙලෙසකදැයි ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කර සිටියහ.
 
 කාදිනල් උතුමන්ගේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද විවිධ අදහස් උදහස් මතු විය. ආණ්ඩුවේ සිටින පරිණත දේශපාලනඥයෝ කීවේ බෝම්බ ප‍්‍රහාරයෙන් ජීවිත දෙසිය ගණනක් අහිමි වීමේ වේදනාවෙන් පසුවන කතෝලික ජනතාව හා කතෝලික පූජක තුමන්ලා මෙසේ සංවේදීව කටයුතු කිරීම හමුවේ ඉතාමත්ම ඉවසිලිවන්තව ප‍්‍රතිචාර දක්වනු විනා ආවේග සංවේග පළ කිරීම සුදුසු නොවන බවය.
 
 තත්ත්වය එසේ තිබිය දී පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන පමණක් ආණ්ඩුව අභ්‍යන්තරයේ ලොකු සාකච්ඡා වක් ඇති විය.
 
 මේ අතර පාස්කු කොමිසමේ නිර්දේශ වලින් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඇතුළු ආරක්ෂක අංශවල පිරිසකට නඩු පැවරීමට නිර්දේශ කර තිබීම ගැන ද පසුගිය සතියේ ලොකුවට සමාජ කතිකාවක් ඇති විය.
 
 මේ සම්බන්ධයෙන් නීති විශාරදයන් ද යම් යම් මත පළ කරන්නට පටන්ගෙන තිබිණි. ඉතා ඉහළ විධායක විධායක බලතල සහිත ධුරයක්ව තිබූ ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ධුරය 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් හෑල්ලූ කිරීමට අදාළ ප‍්‍රතිපාදන සකස් කිරීමට කටයුතු කළ වගකිවයුත්තන් අතර ප‍්‍රමුඛයා වන්නේ ද හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනයි.
 
 ඔහුගේ මූලිකත්වයෙන් සහ මග පෙන්වීම යටතේ ජනාධිපති ධුරය සතුව තිබූ මුක්තිය ඉවත් කර ඇති කරන ලද සංශෝධන වලට අනුව එහි ප‍්‍රතිඵල එකී පුද්ගලයාටම අත් විඳින්නට සිදුව තිබීම දෛවෝපගත සිද්ධියකි. ඇතැම් නීතිවේදීන් මේ පිළිබඳව කරුණු පෙන්වා දෙමින් ජනාධිපති සිරිසේනට කීවේ එතුමන්ගේ පිටිපසින් කළ හොඳ පස්සෙන් එන්නට පටන් ගෙන ඇති බවකි.
 
 මේ කතිකාවන් හා සාකච්ඡා වන් එසේ පැවැත්වෙමින් තිබියදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද ඇති වී තිබෙන තත්ත්වයට ප‍්‍රතිචාර දක්වන්නට පටන් ගත්තේය.
 
 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට එරෙහිව නඩු පවරන්නට ඔහු විසින්ම පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර එම නිර්දේශ වත්මන් ජනාධිපතිවරයා වෙත භාරදී තිබීම ගැන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයෙහි සාකච්ඡා වක් ඇති වූයේ ශ‍්‍රීලනිප නායක මෛත‍්‍රිපාල සිරිසේනගේ හා දයාසිරි ජයසේකරගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 25 වැනිදා පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදීය.
 
 මෙම රැස්වීමට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ද පැවැත්විණි.
 
 එම සාකච්ඡා වක දී මතු වූ කරුණක් වූයේ කොමිසම තුළ වූ මෙම තීන්දුවට කාගේ හෝ යම්කිසි දේශපාලන අතපෙවීමක් ද සිදුව ඇති බව පැහැදිලිව පෙනෙන බවකි.
 
 ”මෙම කොමිෂන් සභාව කරන්න ඕනේ මේ පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගත්තාට හේතු හොයන එක නෙමෙයි. මෙවන් ප‍්‍රහාරය සිදු වූයේ කෙසේද, ඊට වගකිවයුත්තන් කවුද කියලා හොයන එකයි කරන්න ඕන. මෙම ප‍්‍රහාරයට වගකිව යුතු ප‍්‍රහාරකයන් ගැන සෙවීම පැත්තක තියලා එවකට රටේ ජනාධිපතිවරයායි ආරක්ෂක ප‍්‍රධානියෝයි ඇයි මේක වළක්වා නොගත්තෙ කියන එක හොයන්න ගියාම කළ යුතු හැබෑ පරීක්ෂණ යටපත් වෙලා. අන්තිමේ දැන් අපරාධකරුවෝ පැත්තක. කොහෙවත් හිටපු රාජ්‍ය නායකයෝ හා ආරක්ෂාව පිළිබද ප‍්‍රධානීන් උගුලක අහු වෙලා.
 
 අපි නම් මේ කොමිෂන් සභා වාර්තාව පිළිගන්න කැමති නෑ. දයාසිරි ජයසේකර කීවේය.
 
 ඔව්. අපිට මේ විදියට වැඩ කරන්න බෑ. පක්ෂයක් විදියට අපි අපේ නායකයින්ව ආරක්ෂා කර ගත යුතුයි. අපි අපේ පක්ෂයේ ස්ථාවර පැහැදිලිව ආණ්ඩුවට කියමු.
 
 මේ අනුව එම රැස්වීමේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පාස්කු බෝම්බ පිපිරීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ප‍්‍රතික්ෂේප කරන්නට තීන්දුවක් ගනු ලැබුවේය.
 
 ජනපති කොමිසමටත්
 පක්ෂවලින් විරෝධතා

 
 මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ ද පාස්කු ප‍්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාව ගැන ආන්දෝලනාත්මක අදහසක් සිය නිවසේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡා වකදී ප‍්‍රකාශ කළේය.
 
 පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ඇත්ත කරුණු කිසිවක් මෙම වාර්තාවේ එළිදක්වලා තියෙනවද. ප‍්‍රහාරය මොකද්ද කවුද මේක කළේ, කවුද මේක කරන්න සැලසුම් කළේ, කවද්ද කොහොමද කොතනද ඒව සිද්ධ වුණේ කියන කාරණා ගැන හොයන්නේ නැතුව මේක වළක්වා ගන්න තිබුණා නේද.
 
 මේක වළක්වා නොගත්තේ ඇයි. වළක්වා නොගන්න වගකිව යුත්තේ කවුද. වගේ නොවැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා  කරල තියෙනවා.
 
 මේකත් හරියට අර ඒගොල්ලන්ගෙ තියෙනවනේ ”එක රටක් - එක නීතියක්” කියලා ප‍්‍රකාශනයක්. අන්න ඒ වගේ වැඩක් තමයි මේ වාර්තාවත්.
 
 මේ ගොල්ලන්ට තියෙනවද එක රට තුළ එකම නීතියක් කියල දෙයක්.
 
 එක රටක් තුළ එක නීතියක් ක‍්‍රියාත්මක කරවීම මගින් බුදු දහමට දී තිබෙන ප‍්‍රමුඛස්ථානය අහෝසි කරන්නට ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කරනවද කියලා මට හිතෙනවා. මේගොල්ලෝ කියන විදිහට අපි කොහොමද ජාතීන් අනුව ඉඩම් බෙදීම සිද්ධ කරන්නේ. එතකොට මොකක්ද මේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධූරය අහෝසි කිරීමට තියෙන යෝජනාව. ඒකෙන් දහම් පාසල් අධ්‍යාපනයටත් අවැඩක් වෙන්න බැරි නෑ.
 
 මේ අයුරින් පාස්කු කොමිසමේ වාර්තාව තුළ තිබෙන ඇතැම් කරුණු සාකච්ඡා වට බඳුන් කළ හිටපු අගමැතිවරයා අවසානයේ 2018 අපේ‍්‍රල් 9 වැනි දින රැස් වූ ආරක්ෂක මණ්ඩලයේදී කෙරුණු සාකච්ඡා ව ගැන කරුණු ගණනාවක් හෙළිදරව් කළේය.
 
 සිංහල අලූත් අවුරුද්දට කලින් තිබුණු මේ රැස්වීමේදී බෝම්බ ප‍්‍රහාරයක් ගැන කිසිම කරුණක් හෝ තොරතුරක් සාකච්ඡා  කළේ නැහැ. එතන හිටිය රටේ ඉන්න ඉහළම ආරක්ෂක ප‍්‍රධානීන් ටික. ආරක්ෂක ප‍්‍රධානීන් සියලූම දෙනා හිටපු එම රැස්වීමේදී සාකච්ඡා  නොකළ කරුණක් කොහොමද ඊට පස්සේ සාකච්ඡා  කළාය කියලා කියන්නේ. මට නම් මේ වැඬේ සම්පූර්ණයෙන්ම අවුල්. මෙතන අලූත්ය කියලා ගන්න කිසිම දෙයක් නැහැ. එක රටක් එක නීතියක් කියලා හරියට මේක පක්ෂයක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් වගේ දෙයක්නේ. රනිල් කීවේය.
 
 සංචාරක කාර්ය සාධක බළකායේ පළමු රැස්වීම පසුගිය අඟහරුවාදා (23) රැස්වූයේ ඇමැති ප‍්‍රසන්න රණතුංගගේ ප‍්‍රධානත්වයෙනි. මේ වසරේ සංචාරක ව්‍යාපාරය විසින් සපුරාගත යුතු ඉලක්ක මේ රැස්වීමට ඉදිරිපත් කර තිබුණේ මහ බැංකු නියෝජිතයන් විසිනි.
 
 ‘‘ඔබතුමන්ලා ඉලක්ක හදනවා වගේ මේ ක්ෂේත‍්‍රයේ ඉන්න මිනිසුන්ගේ ප‍්‍රශ්න ටිකටත් උත්තර දෙන්න. ඩ‍්‍රයිවර්ස්ලාට සංචාරක වාහන හිමියන්ට අපි ලීසිං සහන දුන්නා. සමහර මූල්‍ය ආයතන ඒවා දීලා නෑ. සහන දුන්න කාලයට අමතර පොලියකුත් දැන් එකතු කරනවාලූ. ඇයි මේවාට මැදිහත් නොවන්නේ ඉලක්ක දෙනවා වගේම මේවාත් බලන්න’’ දැඩි ලෙස කීවේය.
 
 ‘‘මේ ගැන අපි සාකච්ඡා  කළා. ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නවා.’’ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීයෙකු වහා කීවේය.
 
 ‘‘සාකච්ඡා  කරලා විතරක් වැඩක් නෑ. මේකට ප‍්‍රායෝගිකව විසඳුමක් දෙන්න. මේ ක්ෂේත‍්‍රයේ අය කවදාවත් ආණ්ඩුවට බරක් වුණු අය නෙවෙයි. මේ වෙනකොට ඔවුන් පත්වෙලා ඉන්න තත්ත්වය අනුවයි මේ අය සහන ඉල්ලන්නේ. ආණ්ඩුව දුන්නු සහනයවත් මේ අයට දෙන්න බැරිනම් ඇති වැඬේ මොකක්ද? ඒ නිසා වහාම මේ තත්ත්වය නිවැරදි කරන්න.’’ ප‍්‍රසන්න උපදෙස් දුන්නේය.
 
 ජිනීවා කොමිසමට
 ආණ්ඩුවේ විසඳුම

 
 පාස්කු කොමිසම පිළිබඳ සාකච්ඡා ව දේශපාලන සමාජයේ එසේ ඇදී යමින් තිබියදී ජිනීවා මානව හිමිකම් කොමිසම පිළිබඳව ද ලොකු ආන්දෝලනයක් පැවතිණි.
 
 පසුගිය සතියේ ජිනීවා නුවර මානව හිමිකම් මූලස්ථානයේදී මේ පිළිබඳ සැසිය ආරම්භ වූ අතර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ ලේකම්වරිය මිෂෙල් බැෂලේ මහත්මිය ඉදිරිපත් කර තිබූ වාර්තාව ද ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන්න යෝජනා වී තිබිණි. ඊට උත්තර දෙමින් එහි අඩංගු සියලූ යෝජනා ප‍්‍රතික්ෂේප කරන්නට ද ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සූදානම් ව සිටියේය. මානව හිමිකම් සමුළුව ආරම්භක දිනයට පසු වැනිදා අමාත්‍යවරයාගේ එම දේශනය ලංකාවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන්නට නියමිතව තිබිණි.
 
 ජිනීවා චෝදනා සම්බන්ධයෙන් රජයේ තීන්දුව වූයේ පදනමක් නොමැතිව ඉදිරිපත් කරන ඒ සියලූ චෝදනා කොන්දේසි විරහිතව ප‍්‍රතික්ෂේප කරමින් පරාජය කළ යුතු බවයි. බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ බලවත් රටවල් කිහිපයක් එකතු වී මෙම චෝදනාව ලංකාවට එරෙහිව ගෙන ආවත් ඒ සඳහා ලංකාට මිත‍්‍ර රටවල් සියල්ල විරුද්ධ වනු ඇති බව ආණ්ඩුවේ විශ්වාසය විය. රජයේ තානාපතිවරුන්ගේ
 මාර්ගයෙන් මේ ජිනීවා බලාධිකාරය සම්බන්ධයෙන් මිත‍්‍ර රටවල් දැනුවත් කළ යුතු බව ආණ්ඩුවේ අදහස විය.
 
 මේ අතර පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලංකාවට පැමිණීමේ සිදුවීමද දේශපාලනිකව අපට වැදගත් කරුණක් විය. අසල්වාසී මිත‍්‍ර ඉන්දියාව යම් යම් කෙනෙහිලිකම් පෙන්වමින් ආඩම්බර පෙන්වන අවස්ථාවක තවත් අසල්වාසී රටක් වන පකිස්තානය මිත‍්‍රත්වයේ දෑත දිගු කරමින් ලංකාවට පැමිණීම පසුගිය සතියේ සිදු වූ ඉතා වැදගත් දේශපාලන සංසිද්ධියක් ලෙස සාකච්ඡා වට බඳුන් විය.
 
 අලූත් පක්ෂයක් හදන්න
 ඉම්රාන් අර්ජුනට කියලා

 
 පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් පසුගිය අඟහරුවාදා සවස දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන්තොටුපළේදි ඔහුව පිළිගත්තේ අගමැති මහින්දයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. පාකිස්තානු අගමැතිවරයා සහ ශ‍්‍රී ලංකා අගමැතිවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා  පැවතුනේ අරලියගහ මන්දිරයේදියි. එහිදී අගමැති මහින්ද තමන් සමග සිටින අමාත්‍යවරුන් පාකිස්තානු අගමැතිවරයාට හඳුන්වා දුන්නේය.
 
 ‘‘මේ සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග හිටපු ක‍්‍රිකට් නායක රණතුංගගේ සොහොයුරා’’ අගමැති මහින්ද ප‍්‍රසන්න ඉම්රාන්ට හඳුන්වාදෙමින් කීවේය.
 
 ”ආ.. මට දෙදෙනාගේ සමානකම් පෙනුනා’’ පාකිස්තානු අගමැතිවරයා ප‍්‍රසන්න දෙස බලමින් කීවේය.
 
 දැන් කීදෙනෙක් ආණ්ඩුවේ ඉන්නවද..? කීදෙනෙක් විපක්ෂයේ ඉන්නවද.? ඉම්රාන් ඛාන් ඇසුවේ ප‍්‍රසන්නවත් මහින්දවත් අපේක්ෂා නොකරන ලද ප‍්‍රශ්නයකි.
 
 බලාගෙන ගියාම ඔබතුමා අපි ගැන ඔක්කොම දේවල් දන්නවනේ ...
 
 නෑ...නෑ... ඔක්කොම ටික දන්නේ නෑ. හැබැයි උවමනා ටික විතරක් දන්නවා. ඉම්රාන් ඛාන් විහිළුවක් කළේය.
 
 ඇත්තම කියනවා නම් මම විතරයි ආණ්ඩුව ඇතුළේ ඉන්නේ... අනිත් අය ඔක්කොම ඉන්නේ විපක්ෂයේ.
 
 අර්ජුන ඉස්සර පිට්ටනියට බැස්සමත් දේශපාලනඥයෙක් වගේ තර්ක කරනවා. වැරැද්දට එරෙහිව කතා කරනවා. වරද දුටු තැන සටන් වදිනවා. දේශපාලනඥයකුගේ ලක්ෂණ පෙන්නුම් කරපු හින්දා මම එයාට නිතර කිව්වා. ඔයා ලංකාවට ගිහිල්ලා ක‍්‍රිකට් අතඇරියා ට පස්සේ දේශපාලන පක්ෂයක් පටන් ගන්න කියල. එයාගෙන් අහලා බලන්නකෝ මම කියපු දේ.
 
 ඔබතුමා දන්නවද මෙතුමාලගේ පවුල අපේ ආණ්ඩුවේ හිටපු විශාල ම දේශපාලන පවුලක්. මෙතුමාගේ පියාත් මගේ ආණ්ඩුවේ හොඳ ඇමැතිවරයෙක් වෙලා හිටියා. දැන් පුතාලා ඉන්නවා.
 
 ඔහොමම ඉස්සරහටත් යමුකෝ කියන්නාක් සේ ඉම්රාන් ප‍්‍රසන්නට හොඳ සිනහවකින් සංග‍්‍රහ කළේ ය.
 
 නීති නිලවරණයේ
 වෙච්චි අලකලංචි

 
 poli2අපේ රටේ සමිති සමාගම්වලට නිලධාරීන් පත් කරන නිලවරණ අතර ඉතාමත්ම වැදගත් නිලවරණයක් පසුගිය අඟහරුවාදා පැවැත්විණි. ඒ වූ කලී ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට අලූත් නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා වූ නිලවරණයයි. මේ නිලවරණයේ විශේෂත්වය වූයේ එකම ස්ථානයක නොව, ලංකාවේ අධිකරණ පැවැත්වෙන ස්ථාන 87 කදී ඒ ඒ ප‍්‍රදේශවල නීතිඥයන්ගේ සහභාගිත්වයෙන් නිලවරණ පැවැත්වීම ය.
 
 නිලවරණයේ උණුසුම්ම තරගය පැවැතියේ නීතිඥ සංගමයේ සභාපතිවරයා තේරීමට ය. සභාපති ධුරය සඳහා ඉදිරිපත් වීමට ආණ්ඩු පක්ෂය පාර්ශ්වයෙන් එක් අයෙකුත් විපක්ෂය පැත්තෙන් එක් අයෙකුත් ඉදිරිපත් වීම සාමාන්‍ය සිරිතයි.
 
 එහිදී පැහැදිලිවම විපක්ෂයේ සියලූම පක්ෂ නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඉදිරිපත්ව සිටි අතර ඊට ප‍්‍රතිපක්ෂ ව ඉදිරිපත්ව සිටියේ කුවේර ද සොයිසා නම් තවත් ජනප‍්‍රිය ජනාධිපති නීතිඥවරයෙකි. ඔහු මුලින්ම ඉදිරිපත් වන විට රටේ පැවැති මතය වූයේ ඔහු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයා ලෙසයි.
 
 මුලින්ම කණ්ඩායම් දෙකේ නියෝජිතයෝ දෙදෙනා ලෙස මේ දෙදෙනාගේ සටන සමාජ ගත විය. එහෙත් අතරමැද තැනකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය කුවේර ද සොයිසා ට හිමි නො වන බව පෙනෙන්නට විය...
 
 ”රාජපක්ෂවරුත් කුවේරත් අතර මොකක්දෝ විරසකයක් තියෙනවා. ඒක හින්ද නාමල්ලා එයාට සහයෝගය දෙන්නේ නෑ. ඒ නිසා මේ පාර කුවේර ඉදිරිපත් වෙන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් විදියට.”
 
 මුල දී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොහෝ නීතිඥයෝ කුවේරට උදව් කරමින් ඔහුගේ ඡන්ද සටනට එළඹ සිටියත් ඉහත කී අදහස සමාජය තුළ පැතිර යෑමත් සමඟ ම තත්ත්වය වෙනස් විය.
 
 සිදුවූයේ දවසින් දවසම සාලිය පීරිස් ගේ පිල ශක්තිමත් වූ අතර කුවේර ද සොයිසා ගේ පිල එන්න එන්නම පිරිහෙන්නට පටන් ගැනීම ය. මේ අතර ආණ්ඩුවට සම්බන්ධ නීතිඥයින් වන සමහර ආයතන ප‍්‍රධානීන් පවා පරණ ප‍්‍රශ්න සියල්ල අමතක කරමින් සාලිය පීරිස් ට අප‍්‍රසිද්ධියේ උදව් කරන්නට පටන් ගෙන තිබිණි.
 
 සාලිය පීරිස් යනු රාජපක්ෂ බලවේගය පරාජය කිරීමට 2015දී ශිරානි බණ්ඩාරනායකගේ සිද්ධිය යොදා ගනිමින් නීතිඥයින්ගේ වෘත්තිය තුළ විශාල බුද්ධිමය පරිවර්තනයක් ඇති කළ අයෙකි. මානව හිමිකම් හා යුද අපරාධ ආදී චෝදනා යොදා ගනිමින් රාජපක්ෂ ආණ්ඩුවට විවිධ චෝදනාවක් ගොනු කරන්නට සමත් වූ නීතිඥයින් අතර ප‍්‍රමුඛයෙකි. මංගල සමරවීර විසින් ජිනීවා සමුළුවට ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවලියට පසුබිම් වූ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා විය. යහපාලන ආණ්ඩුව කාලයේ ක‍්‍රියාත්මක වූ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විය.
 
 මේ ආදී වශයෙන් පරණ කෝන්තර ඕනෑ තරම් ඔහු සමග රාජපක්ෂලාට තිබුණා නිසැක ය. එහෙත් ඔහුගේ අවාසියට පසුගිය නිලවරණයේ දී කිසිවක් ම සිදු නො වීම එක්තරා අන්දමකින් වාසනාවකි.
 
 සමහර නීතිඥයෝ මෙම තත්ත්වය අර්ථ දැක්වූයේ ආණ්ඩුව මෙවර එම නිලවරණය ඉතාමත් ම ස්වාධීනව පවත්වන්නට ඉඩ හැර පසෙකට වී සිටින බව ය.
 
 ඒ කෙසේ වෙතත් නීතිඥවරු ලෙස ඡන්දය හිමි අගමැති මහින්ද රාජපක්ෂ වත් නාමල් රාජපක්ෂ වත් ඔවුන්ට ඉතාමත්ම හිතවත් සමීපම නීතිඥවරු කිසිවෙකුවත් මෙම නිලවරණයට ඡන්දය පාවිච්චි කරන්නට ගොස් තිබුණේ නැත.
 
 ඊට හේතුවක් ලෙස දක්වා තිබුණේ ඡන්දය පැවති දිනයේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පැමිණීම හේතුවෙන් අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුත් ඔවුන්ට සම්බන්ධ ආයතන ප‍්‍රධානීන් හා අධ්‍යක්ෂවරුන් වන නීතිඥයෝ සියලූදෙනාමත් අතිශයින් කාර්ය බහුල ව සිටි බව ය.
 
 අඟහරුවාදා සවස් වන විට සංගම් 87 න් පහක් හැරුණ විට අන් සියලූම නීතිඥ සංගම්වල බලය තහවුරු කරගෙන තරඟයේ ජයග‍්‍රාහකයා වන්නට සාලිය පීරිස් සමත් විය.
 
 මෙම නිලවරණය මේ ආකාරයට අවසන් වීම ගැන ආණ්ඩුවට සම්බන්ධ ඉහළ පෙළේ නීතිඥයින් පිරිසක් දැඩි කලකිරීමකට පත්ව සිටියහ. ලේක්හවුස් ආයතනයේ සභාපති ඩබ්ලිව්. දයාරත්න මහතා ප‍්‍රමුඛ ජනාධිපති නීතිඥයෝ ගණනාවක්ම මේ පිළිබඳව කතා බහ කරන්නට ලේක්හවුසියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවේ විශේෂ සාකච්ඡා වක් සූදානම් කළේ ය. ඒ සඳහා ආණ්ඩුවට සම්බන්ධ ආයතන ප‍්‍රධානීන් හා අධ්‍යක්ෂවරුන් වන නීතිඥයන් රැසකට ආරාධනා කර තිබුණේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ හෙට දවසේ වැඩ කටයුතු ගැන සාකච්ඡා  කරන්නට පවත්වන රැස්වීමකට සහභාගි වන්නට එන ලෙසටය.
 
 ලේක් හවුසියේ සභාපති ඩබ්ලිව්. දයාරත්න, අතුල ද සිල්වා, නිශාන්ත දයානන්ද, සාගර කාරියවසම්, ශ‍්‍රීමාල් විජේසිරි, නිසාන් සඳ වර්ණ, විජේසිරි අඹවත්ත, රකිත, ලලිත් පී. පෙරේරා, සරත් අතුකෝරාල, සරල කරුණාරත්න ඇතුළු නීතිඥයෝ පහළොස් දෙනෙක් ද ඒ සඳහා පැමිණ සිටියහ. සාගලා හා චිරන්තිකා නම් නීතිඥවරියන් දෙදෙනෙකු ද ඒ අතර වූහ.
 
 සාකච්ඡා ව ඇදී ගියේ කොළඹ දිස්ත‍්‍රික් නීතිඥ සංගමයේ හෙට දවස ගැන වුව ද කතා බහ කළේ කුවේර ද සොයිසා ගේ පරාජය ගැනය.
 
 කුවේර ද සොයිසා කියන්නෙ මහත්තයෙක්. නරක මිනිහෙක් නෙවෙයි. ඒ මනුස්සයාට පරාජය වන්න ඉඩ තියපු එක වැරදියි... එක් අයෙකු කීවේය.
 
 ඒ උනාට සාලිය පීරිස් ගේ පැත්තේ සාමාජිකයෝ වැඩියි. මිනිහගෙ ස්කූල් එකේ ඉගන ගත්ත අය තමයි අය තමයි ක්අ ැබඑර්බජැ ච්ිි වෙලා 80%ක් ලෝ කොලේජ් එන්නේ. අද එහෙම පාස් අවුට් වෙච්ච ලෝයර්ස්ලා 4000ක් විතරයි ඉන්නවා. ඒ මිනිස්සු කිසි ම දෙයක් බලන්නේ නැතුව සාලිය පීරිස් ට ඡන්දෙ දෙනවා. අපිට හැප්පෙන්න බෑ.
 
 එහෙම කියන්න එපා. අපේ ඉන්න සමහර අය ඡන්දෙ දාන්න ආවෙත් නෑ. මෙතන ඉන්න අය පවා. අනිත් එක අපේ අලි සබි‍්‍ර ඇමැතිතුමාගේ චේම්බර් එකේ ඔක්කොම වැඩ කරේ සාලියට. කාලිදාස විතරයි අපේ පැත්තට හිටියේ. අපේ මිනිස්සු ගොඩක් අය අනිත් පැත්තට උදව් කරා කියලා දැන් අපි දන්නවා. තවත් නීතිඥයෙක් වේදනාවෙන් කියාගෙන ගියේය.
 
 දැන් ඉතින් කරන්න දෙයක් නෑ. වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.
 
 නෑ නෑ තවම වෙන්න ඕන දේවල් වෙලා ඉවර නෑ. සාලිය පීරිස් තාම වැඩ පටන් අරන් නෑ. එයා නීතිඥ සංගමයේ සභාපති හැටියට වාඩි වුණාම තමයි වෙන්න ඕන දේවල් වෙන්නේ. බලාගෙන ඉන්න කෝ. මේ ලැබුණු සංඥාව ඉතා හොඳ එකක් නෙවෙයි කියලා විතරක් හිතේ තියා ගන්න.
 
 මේ අයුරින් පැය කීපයක් ඇදී ගිය සාකච්ඡා ව එසේ නිමාවට පත් වූයේ පසුතැවීම හා පශ්චත්තාප වලින් යුතුවය.
 
 රනිල් මහින්දගේ සාදයේදී
 මෛත‍්‍රී දුන්නු අවවාදය

 
 පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ පැවැත්වූ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට සහභාගී වන ලෙස ලද ආරාධනාවකට අනුව රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයා ද ඊට සහභාගී වීමට ඉකුත් බදාදා අරලියගහ මන්දිරයට ගියේය. ඔහුට අසුන් ගැනීමට ඉඩ වෙන් කර තිබුණේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස, චමල් රාජපක්ෂ, පකිස්තානු සංචාරක ඇමැති හා පකිස්තානු ආයෝජන මණ්ඩලයේ සභාපති අසුන්ගෙන සිටි මේසයේ අසුනක් ය.
 
 රනිල් වික‍්‍රමසිංහ භෝජන සංග‍්‍රහයට පැමිණෙන විටත් හිටපු ජනාධිපතිවරයා එම මේසයේ අසුන්ගෙන සිටීයේය. සජිත් පේ‍්‍රමදාස විපක්ෂ නායකවරයා ඒ වන විට පැමිණ නොසිටීම නිසා එම මේසයේ සිටියේ පකිස්තාන් දෙදෙනාට අමතරව හිටපු අගමැති හා ජනාධිපතිවරයා පමණකි. සිරිසේන ජනාධිපතිවරයා නොරුස්සනා ස්වභාවයෙන් සිටිය ද රනිල් හිටපු ජනාධිපතිවරයා හා කතාවට එකතු විය.
 
 ”පාස්කු කොමිෂන් වාර්තාව බැලූවද?” රනිල් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසීය.
 
 ”තවම නෑ බලන්න ඕනේ.” හිටපු ජනාධිපතිරයාගෙන් පළවූවේ එවැනි ප‍්‍රතිචාරයකි.
 
 එයින් ඇරඹි කතාව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස එම මේසයට පැමිණෙන තෙක් පැවතිනි. පාස්කු වාර්තාව ගැන බිය විය යුතු නැති බව සිහිපත් කළ රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිඥ මහත්වරුන් හමුවී මේ ගැන සාකච්ඡා  කොට ඉදිරි පියවර ගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයාට කීවේය. එයින් ඇරඹි කතාව වෙනත් ක්ෂේත‍්‍ර වෙත ද ගලාගෙන ගියේ නිතැතිනි.
 
 සජිත් පේ‍්‍රමදාස සමග මෙන්ම එහි සිටි පකිස්තාන සංචාරක ඇමැති හා ආයෝජන මණ්ඩල සභාපතිවරයා සමග ද රනිල් කතා බහ කළේය. රාත‍්‍රී භෝජන සංග‍්‍රහය අතරතුර පකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් සමග ද ස්වල්ප වේලාවක් ආගිය තොරතුරු කතා කළ රනිල් සාදයෙන් පිටව ආවේය.
 
 විජමු කළ සේවය ගැන
 ගෙවිඳු කරපු කතාව

 
 පසුගිය විසිපස් වැනිදා පාර්ලිමේන්තුවේ ශෝක ප‍්‍රකාශ යෝජනා පැවැත්විණි. එදිනට නියමිතව තිබුණේ පසුගිය දා අභාවප‍්‍රාප්ත වූ හිටපු කීර්තිමත් දේශපාලනඥයකු වූ විජමු ලොකුබණ්ඩාරයන්ගේ අභාවය පිළිබඳ ශෝක ප‍්‍රකාශ ඉදිරිපත් කිරීමය.
 
 විජමු ආණ්ඩු පක්ෂයේත් විපක්ෂය තුළත් ජනප‍්‍රිය දේශපාලනඥයකු ලෙස පාර්ලිමේන්තුව තුළ පසුගිය කාලයේ ගත කර තිබුණේ ආදර්ශවත් දේශපාලන ජීවිතයකි. මේ බැව් මෙනෙහි කරමින් ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මැති ඇමැතිවරු ඔහු පිළිබඳ ශෝකප‍්‍රකාශ ඉදිරිපත් කරන්නට වූහ.
 
 ඒ අතර ඉතාමත්ම වැදගත් ශෝක ප‍්‍රකාශයක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග අපූරු කථාවක් කළේය.
 
 ගෙවිඳුගේ කතාවට පෙර හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රකාශයකුත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රකාශයකුත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබිණි.
 
 ගෙවිඳු විජමුව හැඳින්වූයේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් තුළ හිඳිමින් ම පාර්ලිමේන්තුව තුළදී ආණ්ඩුවට ප‍්‍රථමයෙන් විසංවාදය ඉදිරිපත් කරන ලද චරිතය ලෙස ය.
 
 ඊට පෙර රනිල්ගේ ප‍්‍රකාශයේ දී රනිල් දක්වා තිබුණේ විජමුගේ හිස්තැන තවත් අවුරුදු 25කින් වත් පුරවන්නට නොහැකිය කියාය. සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රකාශයෙන් කියවී තිබුණේ විජමු යනු ආදර්ශයක් නොව පරමාදර්ශයක් කියාය. ගෙවිඳු පළමුව මේ ප‍්‍රකාශයන් දෙක ප‍්‍රශ්න කළේ ය.
 
 රනිල් වික‍්‍රමසිංහලා එහෙම කළා නම් විජමු අගය කරපු භාෂා ප‍්‍රතිපත්තිය සංස්කෘතික වැඩ පිළිවෙළ මේ රටේ භාෂා හා සංස්කෘතික ප‍්‍රතිපත්ති වෙන්න ඕන. සජිත් පේ‍්‍රමදාස ඒතරම්ම විජමු ගේ අගය පරමාදර්ශයක් කියලා කියනවා නම් එතුමාගේ ඉදිරියේ ආණ්ඩුවක භාෂාව හා සංස්කෘතික ප‍්‍රතිපත්ති විජමු ලොකුබණ්ඩාර මැතිතුමා අගය කළ භාෂා හා සංස්කෘතික ප‍්‍රතිපත්තිය විය යුතුයි. මම ඒක එහෙම ද කියලා එතුමන්ගෙන් අහනවා.
 
 මේ රටේ ඉදිරි පරපුර තුළින් විනය ගරුක සමාජයක් හදන්න නම් පළමුව රටේ භාෂාව හදන්න ඕන. භාෂාව පිළිබඳ තියන විනය හා ව්‍යාකරණය නොමැති ව සමාජයට යමක් වටහා දෙන්න බෑ. මම අහන්න කැමතියි ආණ්ඩු මොනවද ඒ සම්බන්ධයෙන් කරලා තියෙන්නේ.
 
 ඒ දවස්වල යූඇන්පි ආණ්ඩුවලට උවමනා වුණා වාහනවල නම්බර් තහඩුවේ තිබුණු ශ‍්‍රී අකුර ඉවත් කරන්න. ඒ සඳහා මතයක් ඇති කරන්න විජමු ලොකුබණ්ඩාර මැතිතුමා පාවිච්චි කළා. එතුමා තමයි තැන තැන ගිහින් කතා කරේ මහනායක හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කිව්වේ මේ ශ‍්‍රී අකුර උතුම් වචනයක්. ඒ අකුර වාහනවල යටින් හයි කරලා ගොම වදින්න දූවිල්ල වදින්න මඩ වදින්න දෙන්න හොඳ නැහැ කියලා. එහෙම කියලා කියලා අවසානයේ නම්බර් තහඩුවලින් ශ‍්‍රී අකුර ගලවලා ඉරි කෑල්ලක් ගැහුවා. එහෙම කළේ උතුරු නැගෙනහිර දෙමළ මිනිසුන්ගේ අවශ්‍යතාවය ශ‍්‍රී අකුර ඉවත් කිරීම වුණ නිසයි.
 
 කවුරුහරි හිතනව නම් සිංහල භාෂාවට තැනක් නො දී සිංහල භාෂාවට විරුද්ධ වෙලා දෙමළ භාෂාව රැක ගන්න පුළුවන් කියලා ඒ වගේ විහිළුවක් තවත් නෑ. මතක තියාගන්න සිංහල භාෂාව රැකුණොත් දෙමළ භාෂාවටත් හිමි නිසි තැන ලැබේවි. එතකොට දෙමළ භාෂාවත් රැකේවි. සිංහල භාෂාව විනාශ කරන්න හිතුවොත් දෙමළ භාෂාවත් විනාශ වේවි.
 
 අද බලන්න අන්තිමේ වාහනවල නම්බර් තහඩුවට උනේ මොකද්ද කියල. සිංහලෙන් තියෙන ශ‍්‍රී අකුරට විරුද්ධව ඒ ගොල්ලො උද්ඝෝෂණය කළා. එයාලා තර්ක කළා දකුණේ රියදුරෙක් ගිහිල්ලා උතුරේ දරුවෙක් ව හප්පලා පලා ගියාම උතුරේ අම්මා කෙනෙකුට නම්බර් ඒ ලියාගන්න අවබෝධයක් නෑ කියලා. ශ‍්‍රී අකුර කියාගන්න බෑ කියල තමයි තර්ක කරලා අන්තිමේ එතෙන්ට ඉරක් ගැහුවේ.
 
 හොඳට කල්පනා කරල බලන්න අවසානයේ අද මොකද වෙලා තියෙන්නෙ කියලා. අද වාහනවල නම්බර් තහඩුවලට ශ‍්‍රී අකුරත් නෑ... ඉරි කෑල්ලක් නෑ. ඒ වෙනුවට ඉංග‍්‍රීසි අකුරු තුනක් ඇවිල්ලා.
 
 දැන් අර උතුරේ අම්මලාට පුළුවන්ද ශ‍්‍රී අකුර වෙනුවට අර ඉංග‍්‍රීසි අකුරු තුන මතක් කර තියාගෙන නම්බරයක් කියවන්න පුළුවන් ද.
 
 එක ශ‍්‍රී අකුර වෙනුවට අද වාහනෙන් වාහනයට වෙනස් වෙච්ච වෙන වෙනම ඉංග‍්‍රීසි අකුරු ඇවිත්. එක අකුරක් හරි මාරු වුණොත් කියවෙන්නේ වෙනම නම්බරයක්. අද මොකද කියන්නේ ඒ ජනතාව.
 
 ගෙවිඳු එසේ වාහනවල නම්බර් තහඩු පිළිබඳ මතු කළ තර්කය අද බොහෝ දෙනකුට අමතක ව ගිය අතීත කතාවක් අමුතුවෙන් මතක් කර දෙන ප‍්‍රකාශයක් විය.
 
 පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු බොහෝ දෙනෙක් එම ප‍්‍රශ්නයේ ඇති යාවත්කාලීන බව ගැන කුටු කුටු ගන්නට වූහ.
 
 විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පසුගිය සතියේදී බන්ධනාගාරයට ගියේය. ඒ සිරගතව සිටින රංජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ සුව දුක් බැලීමටය. අඟුණුකොළපැලැස්සේ බන්ධනාගාරයට ගිය ඔහු රංජන්ගේ ආරක්ෂාව ගැනද සොයා බැලූවේය.
 
 ‘‘මම ඉන්නේ අනාරක්ෂිත තත්ත්වයක. ජීවිත තර්ජන මැද තමයි මම ඉන්නේ. අඟුණුකොළපැලැස්සෙන් මම වැලිකඩට මාරු කරලා දෙන්න’’ රංජන් කීවේය.
 
 ‘‘ඔයාගේ ජීවිත ආරක්‍ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතුයි. වහාම ආණ්ඩුව මේ ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. මමත් අපේ පක්ෂයේ සියලූ දෙනාමත් ඔබ වෙනුවෙන් නිතරම පෙනී සිටිනවා’’ සජිත් සහතිකයක් දුන්නේය.
 
 රංජන් බලා පාර්ලිමේන්තුවට පැමිණි සජිත් පාර්ලිමේන්තුවේදීත් ඔහු ගැන අවධානය යොමු කළේය.
 
 ‘‘රංජන් රාමනායක නැවත වරක් පාර්ලිමේන්තුවට කැඳවන්න කියලා අපි කථානායකතුමාගෙන් ඉල්ලා සිටියා. සති තුනක් ඇතුළත ඔහු කැඳවීම ගැන තීන්දුවක් දෙනවා කියලා කිව්වට කථානායකතුමා තවම ඒ ගැන තීන්දුවක් ලබාදී නැහැ. රංජන් රාමනායක ගැන ප‍්‍රශ්නයක් මතු කරන විට ඒක හැම විටම මග හරිනවා. ඔහු කුඩුකාරයෝ මැද ඉන්නේ. ඒක ඔහුගේ ජීවිතයට තර්ජනයක්. ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න කියලා කථානායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ’’ සජිත් කීය.
 
 මාධ්‍ය ප‍්‍රධානීන් රත්වී
 ඇමැතිට කළ යෝජනාව

 
 poli3අපේ රටේ ශ‍්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය කියලා එකක් තිබේ. මෙය නියෝජනය කරන්නේ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවන්හි ප‍්‍රධානීන්ය. පසුගිය සති අන්තයේ මෙම සංගමයේ නිලධාරීන් පිරිසක් විශේෂ සංචාරයක් සඳහා මහනුවර ප‍්‍රදේශයට ගොස් සිටියහ.
 
 මෙම පිරිස පසුගිය සති අන්තයේ සිටියේ මහනුවරට ආසන්න එක්තරා පුද්ගලික හෝටලයකය. ඒ සිටින අතර එදින රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පවත්වමින් ඒ සඳහා සහභාගි වන්නයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලටද ආරාධනා කරනු ලැබීය.
 
 අධික වැඩ රාජකාරි නිසා වේලාසනින් එම සාදයට සහභාගි වන්නට ඇමැතිවරයාට නොහැකි විය. එදා ඔහු එතැනට යන විටත් රාත‍්‍රී දහය පමණ වී තිබිණි.
 
 ඇමතිතුමා අපි ඔබතුමත් එක්ක කතා බහ කරන්න මේ වගේ සුහද හමුවක් දාගන්න කලක් තිස්සේ බලාගෙන හිටියා. එහෙම ඉඳලා ඉඳලා බැරිම තැන තමයි අපි මේක නුවරට කිට්ටු තැනක යොදා ගත්තේ. විශේෂයෙන්ම නුවර ඇවිල්ල ඔබතුමාව මේකට සම්බන්ධ කර ගන්න ඕන නිසා.
 
 මෙම හෝටලය පැවතියේ මාතලේට හා මහනුවරට මායිම්ව තිබූ ඉතාම සුන්දර වටපිටාවකය. අසිරිමත් එලිමහනක මේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහය සූදානම් කර තිබිණි.
 
 මානව හිමිකම් සමුළුව, පාකිස්තාන අගමැතිවරයාගේ පැමිණීම, මෙන්ම දේශපාලන කරලියේ බොහෝ දේවල් මෙහිදී කතා කළහ. ඇමැතිතුමා දැන් පුවත්පත් මණ්ඩල පනත මොකද වෙන්නේ ‘‘ඒකෙන් අපි කිසි විදිහකින් මාධ්‍ය මර්දනයක් කරන්නේ නෑ. මාධ්‍යයට අහිතක් කරන්නෙත් නෑ. අපි කරන්නේ මේ පනත යාවත්කාලීන කරන එකයි. මම මාධ්‍ය ඇමැතිවරයා විදිහට ජනමාධ්‍ය වගේම මේ රටේ මිලියන විසි දෙකකට එහා ඉන්න පුරවැසියන් දිහා බලන්නත් ඕනෑ. ඒ නිසා මේක ජනමාධ්‍යවේදීන්ගේ වගේම මේ රටේ පුරවැසියාගේ අයිතිවාසිකම් ද ආරක්ෂා වන විදිහට යාවත්කාලීන යුතුය.”
 
 ඒක ඇත්ත ඇමැතිතුමා ඇමැති කෙහෙලියගේ අදහසට එකඟ වෙමින් එම ප‍්‍රධානීන් පැවසූහ.
 
 එක පාරක් නෙමෙයි දෙපාරක්ම මං මේ රටේ මාධ්‍ය ඇමැති වුණා. ඒක හින්දා මටත් ලොකු අවබෝධයක් තියෙනවා මාධ්‍ය, මෙන්ම මාධ්‍යවේදීන් ගැන. ඒ හින්දා ඒ පැත්තෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා.
 
 ඇමැතිවරයාටද විටෙක රස විටෙක නීරස සාද තෙපුල් මැද මැදියම් රැය පසු වන තෙක්ම ඉන්නට සිදුවිය. මාධ්‍ය ආයතනවල ඉහළ පුටු නියෝජනය කරන කිහිපදෙනෙක්ම පදමට රත්වී රසවත් ගීත කීපයක් ගායනා කිරීමට එක්වූහ.
 
 අඩුම වශයෙන් අපි මාස දෙකකට සැරයක්වත් මේ විදියට හම්බ වෙලා නිදහසේ කතා කරන්න ඕනෑ. ඇමැති කෙහෙලිය එහෙම කියද්දී අනෙක් අය සිනහවෙමින් එය අනුමත කළේ ඒක යස අදහස, හොඳ අදහස අන්න ඒම තමායි ඇමැතිවරු ඉන්න ඕන යයි කියමිනි.
 
 විපක්ෂ නායක ජංගම සේවයේ 42-43 පසුගිය සතියේදී පැවැත්වුණේ දෙහිවල මැතිවරණ කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින්ය.
 
 ‘‘මගේ දුව නුගේගොඩ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන්නේ. එහි විදුහල්පතිනිය මූල්‍ය අක‍්‍රමිකතා නිසා වැඩ තහනම් කරලා තියෙන්නේ. මේ ගැන විමර්ශන අදිසි හස්තයකින් යට ගහලා තියෙන්නේ. මේ ගැන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සමග කතා කළාම මේ වගේ වැරදි හැම තැනම වෙනවා, ඒ නිසා විදුහල්පතිනියගේ වෘත්තිය ජීවිතය විනාශ කරන්න බෑ කියලා කියනවා. මේ ගැන අවධානය යොමු කරන්න’’ අධ්‍යාපන ගැටලූ විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කළේය.
 
 ‘‘අපි ආර්ථික අපහසුතා මැද ජීවත් වෙන්නේ. පවුල් දහ අටකට ගම්පෙරළිය වැඩසටහනින් ගෙවල්වලින් භාගයක් හදාගත්තා. ඉතිරි ටික හදාගන්න උදව් කරන්න’’ කාන්තාවක් ඉල්ලා සිටියාය.
 
 ‘‘මම ආණ්ඩුවේ නෙමෙයි ඉන්නේ. විපක්ෂයේ. ගෙවල් වලට උදව්වක් කරන්න මම බලන්නම්’’ සජිත් කීය.
 
 ‘‘තෑන්ක්යූ වෙරි මච් සර්’’ කාන්තාව ස්තුති කළාය.
 
 ‘‘දැන් ස්තුති කරන්න ඕන නෑ. වැඬේ කෙරෙනකොට ස්තුති කරන්න‘‘ සජිත් පෙර ස්තුතියක් බලාපොරොත්තු නොවීය.
 
 ‘‘කොවිඞ් එන්නත ලබාදීමේ ක‍්‍රමවේදය වල් වැදිලා. විදින ක‍්‍රමවේදයක් නෑ. රටේ ජනතාවගේ මුදල්වලින් මිලියන දහයක එන්නත් ඉන්දියාවෙන් ගෙන්වා
 
 ගැනීමට හදනවා. එන්නත ලබාදීමේ ක‍්‍රමවේදය ගැන පාර්ලිමේන්තුවේදී සාකච්ඡා  කරන්න’’ පොදු යෝජනාවක් ඉදිරිපත් විය.
 
 ‘‘බොහෝ රටවල එන්නත ලබාදෙන ක‍්‍රමවේදය ප‍්‍රසිද්ධියේ තිබෙනවා. ඒත් අපේ රටේ එහෙම නෑ. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට එන්නත ගැහුවත් මම එන්නත ගහගත්තේ නෑ. තමන්ට පෙර රටේ ජනතාව යැයි කියමින් අපිට කොවිඞ් එන්නත ගහගන්න බෑ’’ සජිත් කීය.
 
  

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles