Divaina - තාත්තා එන්න මදනලේ ගීතය ලිව්වේ අම්මට... අදත් ජනප‍්‍රිය ඔහුගේ ගීත... අදත් ගයන්නේ ඔහුගේ ගීත!!

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


karunaratne222


මේ රටේ ජනප‍්‍රිය කලාවේ මූලාරම්භකයෝ කරුණාරත්න අබේසේකර ගේ ළමා මණ්ඩපයෙන් උපන්  දරුවන් විය යුතුය. අද සිටින මහා වෘක්ෂ බඳු වැඩිහිටි ගායක ගායිකාවන්ගෙන් කිසියම් කෙනෙක් ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් පහල වූ අය වෙත්ද, ඒ සියලූම දෙනා කරුණාරත්න අබේසේකරගේ ළමා මණ්ඩපය නමැති මල් පාත්තියෙහි වඩා හිඳුවන ලද මල් පැළ බව අපගේ වැටහීමයි. එච්.ආර්. ජෝතිපාලයන් මේ රටේ සංස්කෘතික උරුමයෙහි කොටසක් වන්නේ යම් සේද, ඩබ්ලිව්.ඞී. අමරදේවයන් මේ රටේ ජාතික උරුමයෙහි කොටසක් වන්නේ යම් සේද, කරුණාරත්න අබේසේකරයෝ මේ රටේ කලා උරුමයෙහි මහා කොටසක් වන්නා හ. දේශබන්දු, දේශමාන්‍ය, කලාශූරී, කලාකීර්ති වැනි සම්මාන නොතිබූ යුගයක උපන් කරුණාරත්න අබේසේකර මළවුන් අතරට යන්නේ ඒ කිසිවක් නැතිවය. එහෙත් ඔහු පෙරකී සියලූම සම්මානවල සමස්ත එකතුවටත් එහා ගිය කෙනකු බව අපගේ හැඟීමය. කරුණාරත්න අබේසේකර ජීවතුන් අතර නැති මේ මොහොතේ කොටස් දෙකකින් යුතුව කෙරෙන මේ සංවාදයෙහි පළමු කොටස අප කරන්නේ ඔහුගේ එකම දරුවා වූ දිලීප අබේසේකර සමඟය.

* තාත්තා ගැන ඔබේ මතකය කොතරම් දිගුද?

දීර්ඝ කාලයක මතකයක් මට නැහැ. තාත්ත ගේ ජීවිතේ අන්තිම අවුරුදු දොළහක දහතුනක වගේ කාලයක කෙටි මතකයක් තමයි මට තියෙන්නේ. පස්සේ කාලෙක තාත්තා ලියපු කියපු දේවල්වලින් තමයි අඳුන ගන්න සිද්ධ වෙන්නේ හරියටම ඔහු මොනව ගේ කෙනෙක්ද කියලා. ඒ ඇරෙන්න සාමාන්‍ය තාත්තා කෙනෙක්ගේ යුතුකම් ටික තමයි මගේ මතකයේ තියෙන්නේ. මං දන්නවා තාත්තා වැඩකරන්නේ මේ මේ ක්ෂේත‍්‍රවල කියලා. හිටපු ගමන් කොහෙහරි එක්කං ගියාම ඒ උත්සවයේ ඔහු ඉන්නේ වේදිකාවේ. එහෙම නැත්නම් ඔහු ඉන්නේ එළියේ නළු නිළියොත් එක්ක කතා කර කර. එහෙම දේවල් මට මතකයි. නිතර ප‍්‍රසිද්ධ කට්ටිය ගෙදර යනවා එනවා කියලා මතකයි. සින්දු හදන්න කට්ටිය එනවා කියලා මතකයි. මං හිතන්නේ ඔහුත් ඔහුගේ වැඩ කටයුතුවල තිබුණ දේවල් විශේෂ ආකාරයෙන් අපිට දැනෙන්න ඉඩ ඇරියේ නැහැ.

old1

 

 

 

 

මම එහෙම ප‍්‍රසිද්ධ මිනිහෙක් නෙවෙයි |
- දිලීප අබේසේකර

 

 

 

 

 

 

 

* ඔහු පන්දහසකට ආසන්න ගීත ප‍්‍රමාණයක් රචනා කර තිබෙන බව සඳහන් වෙනවා?

තාත්තා හැමතිස්සෙම කියලා තියෙන්නේ ඔහු වෘත්තීය ගීත රචකයෙක් කියලා. ඔවුන් සින්දු ලියපු කාලේ බොහෝ වෙලාවට තව දේක අවශ්‍යතාවයටනේ ලියන්නේ. එක්කෝ චිත‍්‍රපටයකට. වැඩි හරිය ලියලා තියෙන්නේ චිත‍්‍රපටවලට සහ ළමා වැඩසටහනට. එතකොට ඒවා ඒ අවශ්‍යතාවයෙන් ලියපු දේවල් මිසක් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ලියපු දේවල් නෙවෙයි. චිත‍්‍රපටයක් ගත්තොත් සමහර වෙලාවට සින්දු අටක් දහයක් තියෙනවා. එක එක කාලේදී එක එක විෂය අනුව ඒ ඔස්සේ මේක ගලාගෙන ගිහිල්ලා තියෙනවා. කවදාක්වත් ඔහු සින්දු නොලියා ඉඳලා නෑ. ඔහු ගුවන් විදුලියට ගියයි කියන්නේ අවුරුදු දොළහේදී. ඒ ළමා පිටියේ ශිල්පියෙක් හැටියට. මට මතකයි තාත්තා නැතිවෙච්ච කාලේ පත්තරවල තිබුණා ඔහු ලියූ ගීත ගීත පන්දාහකට ආසන්න විය යුතුයි කියලා. නමුත් මම නිශ්චිතව දන්නේ නෑ එච්චර ගාණක් තියෙනවාද, ඊට වඩා අඩු හෝ වැඩි විය හැකිද කියලා. මොකද සමහර ගීත පටිගත වෙලාම නෑ. එ
තකොට තව ලියලා තියෙනවා ගුවන් විදුලි ගී, චිත‍්‍රපට ගී, වෙළෙඳ තැටිවලට ලියපු ගීත. මේ සියල්ල එකතු කළොත් යම්කිසි ගණනක් හදාගන්න පුළුවන්. ඔහු අවුරුදු පනස් දෙකයි ජීවත් වුණේ. අවුරුදු දහ අටේ ඉඳලා සින්දු ලිව්වයි කියමු. එතකොට ජීවිත කාලෙන් තුනෙන් දෙකක් ම ලියලා තියෙනවා. අනිත් එක ඒ කාලේ චිත‍්‍රපට ගත්තොත් චිත‍්‍රපටයක ගීත දහයක් විතර තියෙන එක පුදුමයක් නෙමෙයි. හින්දි තනුවලට ලියපු කාලෙනේ මේක. එතකොට එකම තනුවට ඔහුට ලියන්න වෙනවා චිත‍්‍රපට දෙකකට ගායකයෝ දෙන්නකුට වෙනම තේරුම් එක්ක. මොහිදීන් බෙග් ගේ ගීතයක් තියෙනවා ‘ ඕ රාත‍්‍රියේ මේ යාමේ සඳ රාජා බලන්නේ’ නමින්. ඒක මොකක් හරි දෙබස් කවපු හින්දි චිත‍්‍රපටයක එකක්. ඒකම තියෙනවා ‘ඇල් හේනේ පැල් රකිද්දී’ කියලා ජෝතිපාල සහ රාණි පෙරේරා එක්ක ගයන. එකම තනුවට දෙපැත්තට ලියන්න වෙනවා. එතකොට සංඛ්‍යාත්මකව බැලූවොත් අර ගාණට ළඟ ගාණක් තමයි අඩු හෝ වැඩි වශයෙන්. ඒ අතරේ තියෙනවා, පස්සේ කාලෙක තමයි අපි දන්නෙත්, ඔහු තොරණවලට පවා සින්දු ලියලා තියෙනවා. පස්සේ කාලෙක ඒවා වෙන සින්දු වෙලා ඇවිල්ලා තියෙනවා. ඒවා කියන්නෙත් වික්ටර් රත්නායකලා සනත් නන්දසිරිලා වගේ කට්ටිය තමයි ඒ කාලේ හැටියට. ඒ දේවල් කොහෙවත් සඳහන් වෙන්නේ නෑ.

* කරුණාරත්න අබේසේකරයන් ලියූ මුල්ම ගීතය ඔබට හමුවෙලා තියෙනවද?

තාත්තා ලියපු මුල්ම ගීතය හැටියට අපට හමුවෙලා තියෙන්නේ ඔහු ඉස්කෝලේ කාලේ ලියපු ගීතයක්. ඔහු ගේ පන්තියේ ඉඳලා තියෙනවා පසුකාලෙ නළුවෙක් වෙච්ච රවීන්ද්‍ර රූපසේන. තාත්තයි ඔහුයි ඉස්කෝලේ එක පන්තියේ ඉඳලා තියෙන්නේ. එයාට ගායකයෙක් වීමේ ඕනෑකම තමයි ඒ කාලෙ තිබිලා තියෙන්නේ. ඉතිං එයාට ලියපු සින්දුව තමයි මුල්ම සින්දු හැටියට අපිට අහුවෙන්නේ. ඒ සමහර ඒවා අදත් යනවා. එතකොට තාත්තා ඉස්කෝලේ යනකාලේ ලියපු සින්දුවක් තමයි ‘සෝබන සැන්දෑවේ’ කියන ගීතයත්. ඒක මුලින්ම ලියලා තියෙන්නේ රෝහිත ජයසිංහ කියලා ගායකයකුට. ඒ ගැන මං දැනගත්තේ තිස්ස අබේසේකරගේ පොතක තියෙන සඳහනකින්.

* ඔබ දන්න විදිහට ඔහු පෞද්ගලිකත්වය නිමිති කර ගෙන ලියූ ගීත මොනවද ?

එහෙම ගීත ඉතාම අඩුයි ඇත්තට ම. තාත්තා අම්මට ලියපු ප‍්‍රසිද්ධ ගීතයක් තියෙනවා ”එන්න මදනලේ’’ කියලා. සමහර වෙලාවට තාත්තා ළඟින් ආශ‍්‍රය කරපු කට්ටියගේ විශේෂ අවස්ථාවක ඒගොල්ලන්ගේ පේ‍්‍රම කතා තාත්තා දන්නකොට ඒගොල්ලෝ කියලා ලියා ගන්නවා ගීත. සනත් නන්දසිරි මහත්මයාගේ ”මා හද අසපුව’’ එහෙම එකක්. ඒ වගේ කිහිපයක් තියෙනවා. ඒ දෙන්නම ගුවන්විදුලියේ වැඩසටහන්වලට සම්බන්ධ වුණානේ. තාත්ත ඒ කාලේ මේ ගැන දැන ගත්තහම මේ ගීතය ලියලා දුන්නයි කියලා තමයි කියන්නේ. ඒ සමහර ගීතවල ඒ අයගේ නම් ගම් තියෙනවා ගීතයේ සැඟවිලා. ඕකෙත් තියෙනවා ”මා හද අසපුව කුසුමෙන් සැරසුව ඒ මල්බර දෑතයි කියලා. මාල්කාන්ති නන්දසිරිගේ නමනේ ඉතිං. මිල්ටන් මල්ලවාරච්චිගේ ප‍්‍රසිද්ධ පේ‍්‍රම කතාවක් තියෙනවනේ. ඒ පේ‍්‍රම කතාවේ ගීත කීපදෙනෙක් ලිව්වා. ඉතිං ඒ මුල් කාලේ ගීත බොහොමයක්ම ලියලා තියෙන්නෙත් තාත්තා, ඔහුගේ පළමුවැනි ගීතයේ ඉඳලා. නමුත් ඔහු වෙන කෙනෙක් සමඟ විවාහ වුණාට පස්සේ තාත්තා ඒකටත් ගීතයක් ලියලා තියෙනවා, ”ඈත එපිට දුර ආකාසේ කියලා’’. ”ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ’’ කියලා ලියලා තියෙන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ ගේ නම. ඒ වගේ ඉඳලා හිටලා හෝ තමන් ගේ අත්දැකීමක් තාත්තාගෙන් ලියැවිලා තියෙන්නේ ඉතාම අඩුවෙන් අනිත් රචකයන්ට සාපේක්ෂව.

* තාත්තා ගැන, කරුණාරත්න අබේසේකර ගැන, ඔබ හොයන්න පටන් ගත්තේ මොන කාලේදීද?

අපේ අම්මත් වැඩිය මේ දේවල් ගැන කතා කරන කෙනෙක් නෙමෙයි. මමත් ලංකාවේ හිටියේ නෑ කාලයක්. හැබැයි එක්තරා කාලයක් එනවනේ තාත්තා නැති හින්දා එයා ගේ දේවල් හොයන්න. තාත්තා ලියපු අත්පිටපත් ගොඩක් අපේ ගෙදර තාමත් තියෙනවා. ඒත් එක්කම පත්තරවල ගිය ගොඩක් දේවල් අම්මා එකතු කරලා තිබුණා. තාත්තගේ යාලූවෝ සහ එකට වැඩ කරපූ කට්ටිය නිතර හම්බණා. ගුවන්විදුලියට හෝ කොහේ හරි ගියාම අද වෙනකන්ම තාත්තා දන්නා අය හම්බවෙනවා. ඉඳලා හිටලා හෝ දුරකතනයේ කතා කරනවා. ඉතිං මේ හැමදේකින්ම එක වයසකදී ඉස්මතු වුණා මඟහැරුණු තාත්තව අල්ලගන්න තිබුණ වුවමනාව.

කරුණාරත්න අබේසේකර ගීත නිර්මාණ ඔබ සංරක්ෂණය කරනවද?

අවුරුදු දහ අටේ විතර ඉඳලා මියයන තුරුම ඔහු ලියලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම පේනවා ඒක වර්ධනයක් කියලා. කාලයත් එක්ක තව බොහෝ දේවල් මතුවෙනවනේ. තාත්තා තමයි වැඩිපුරම ගීත ලියපු රචකයා කියලා හැමෝම කියනවා ඒ කාලෙත්; ඊට පස්සෙත් ඒක එහෙමයි. ඒවා එකතු කරන්න සිද්ධ වෙනවා. දැන් ඇත්තටම වෙලා තියෙන්නේ ඒවා එකතු කරගන්න තියෙන අසීරුකම. කාලයක් ගිහිල්ලා, සමහර ඒවා පැහැදිලි නෑ. ඒවා එහාට මෙහාට වෙලා. ඒවා එකතු කරද්දී තමයි මේ රචනාවල තියෙන යම් යම් දේවල් අහුවුණේ. ඇත්තටම අපි දන්නෙත් නැති ගීත තියෙනවා තාත්ත ගේ. ඒවා මේ වෙනකොට මිනිස්සුන්ගේ මතකයේ තමයි තියෙන්නේ. සමහර තැටි පවා දැන් හොයා ගන්න නැහැ. ඒවා තාත්තට විතරක් වෙච්ච කාරණා නෙමෙයි. එක්තරා කාලෙක ඒගොල්ලන්ගේ ගීත යට ගහනවා. මං අහලා තියෙනවා ප‍්‍රසිද්ධ කතාවක්, මිල්ටන් පෙරේරා, ජෝතිපාල මහත්මයා වගේ කට්ටිය ඉතාම ජනප‍්‍රිය කාලේ ඒගොල්ලන්ගේ ඉතාම ජනප‍්‍රිය ගීත තැටිවලට ඉරි ගැහුවයි කියලා. ඒත් එක්කම වෙලා තියෙනවා ඒ ගීත යට ගැසීමක්. එතකොට ඒක අහුවෙන්නේ ගොඩාක් කාලෙකට පස්සේ. සරත් දසනායක මහත්මයා සංගීතය කරපු ගොඩාක් සින්දු තියෙනවා එහෙම යට ගැහිලා පස්සේ කාලෙක තමයි ඒවා එළියට ඇවිල්ලා තියෙන්නේ. ටජ් මහලක් කියන ගීතයත් ඒ වගේ. ගොඩක් ගායකයන් ගේ පළමුවැනි ගීතය ලියලා තියෙන්නේ ඔහු. ගායකයෝ ඇවිල්ලා කියලා ලියාගෙන තියෙනවා. මොකක් හරි මතයක් තියෙන්න ඇති ඔහුට කියලා පළමුවැනි ගීතය ලියා ගත්තම ජනප‍්‍රිය වෙනවා කියලා. අනික තරාතිරමක් බලන්නේ නැතුව ලියපු කෙනෙක් තාත්තා. ඇත්තටම ඔහුගේ ජීවිත කාලය ඇතුළත හිටපු හැම ගායකයකුටම ගායිකවකටම එක සින්දුවක් හරි ලියලා තියෙනවා. බොහෝවිට ඒක ඒගොල්ලන්ගේ පළමුවැනි ගීතවලින් එකක්.

* ඔහුට කවුරුන් හෝ දොස් කියනවා ඔබට ඇහිලා තියෙනවද?

මට ඇහිලා නෑ. නමුත් ඕන තරම් පස්සේ කාලේ නිර්දය විදිහට ලියවෙච්ච විවේචන කියවල තියෙනවා. සමහර විවේචන ඇත්තටම ගායකයා ගැන. නමුත් අනිත් පැත්තට එකේ තාත්තා ගැන කියවෙනවා. පද මාලාව ගැනත් කියනවා. මට මෑතකදී හැමබ්වෙච්ච සාක්ෂිවලට අනුව පස්සේ කාලෙක තාත්තා බොහොම පරිස්සම් වෙලා තියෙනවා කෙනකුට සම්මුඛ සාකච්ඡුාවක් දෙනකොට. අපේ විචාර කලාවේ පොඩි වැරද්දක් තියෙනවනේ. එකක් හොඳයි කියලා කියන්නේ තව එකක් පල්ලෙහට දාලනේ. අන්න එහෙම කාලෙක තමයි මොවුන් මේ තරම්වත් වැඩ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒවා ගණන් අරන්ම නැහැ. කොච්චර නිර්දය විවේචන ආවත් ඔහු කවදාවත් ඒ කලාකරුවන්ට ලියන එක එයා නතර කරලා නැහැ. ඔහු පෞද්ගලික සම්මුඛ සාකච්ඡුාවලදී පත්තරවලට කියලා තියෙනවා මම කැමති නෑ මේ වගේ සින්දු ලියන්න, නමුත් මම වෘත්තීය රචකයෙක් මට මේක ලියන්න වෙනවා කියලා. ඒත් එක්කම ඔහු සරල ගී වලට ලියපු ගීත ගැන ඒ කාලේ ලොකු විචාරයක් තිබුණේ නැහැ. මා හද අසපුව වගේ ගීත ගැන සඳහනක් නැහැ. ලංකාවේ වැඩිම ගීත ලියපු රචකයා ඔහු නම් ඔහුගේ අතින් දුර්වල ගීතත් ලියවෙන්න එපැයි. නමුත් දන් අපිට හැරිලා බලද්දී අපිට පේනවා සාපේක්ෂව බලද්දී ඊළඟ යුගවල එන රචනා එක්ක බලද්දී ඒ රචනාවල කිසිම ප‍්‍රශනයක් නැහැ කියලා. මේ සුබ උපන්දිනේ සුපෙම් සිනා පාලා කියන ගීතය විවේචනය කරලා තියෙනවා ඒවා ඇතුළේ ඉංග‍්‍රීසි පද තියෙනවා කියලා. හැබැයි ඒ ගීතවල පැවතෙන ගුණය තියෙනවා. අවර ඝනයේ නං එහෙම වෙන්නේ නැහැනේ. මිනිස්සුන්ට ඒ ගීත කට පාඩමින් කියන්න පුළුවන්නේ. ඒක පද රචනාවේම තියෙන ගුණයක් නේ එතකොට. මට පෞද්ගලිකව හිතෙන දෙයක් තියෙනවා. අපේ තාත්තයි මහගම සේකර මහත්තයයි කොන් දෙකක ලියලා තියෙන්නේ. මහගම සේකර මහත්මයා ලියනවා විදග්ධ සමාජයට. සමහර වෙලාවට ඒ අදහසම තාත්තා ලියනවා අනිත් කොනේ ඉන්න මිනිස්සුන්ට.

* ඔහු ලියූ අප‍්‍රකට රචනා තියෙනවද?

තාත්තා ගොඩක් ළමා පොත් ලියලා තියෙනවා. කවි ලියලා තියෙනවා ගොඩක්. මුල් කාලේ තාත්ත ගේ කවි එකතු දෙකක් කරලා තියෙනවා මගේ මවු බිම සහ ක්ෂේමභූමි කියලා. ඒ ඇරෙන්න කවදාක්වත් එයා ගීත එකතුවක්වත් වෙන මොකක්වත් කරන්න උනන්දු වෙලා නැහැ ඒ කාලේ. කොටින්ම ගීත එකතු කරන්න උනන්දුවක් තිබිලාත් නැහැ. විශේෂ පොතක් තියෙනවා හංසයෝ කියලා. ඒක ෆ්ලෑෂ් ස්ටෝරීස් දහයක විතර පොඩි කතා පොතක්. ඒක අප‍්‍රකටයි ඇත්තටම. මගේ ගාව කොපියක් තියෙනවා. ඉතිං ඒක ඇත්තටම බලනකොට අර ඝනයේ කතන්දර ඇත්තටම තියෙන්නේ. ප්ලොට් මට්ටමේ තියෙන චිත‍්‍රපට පිටපත් එකක් දෙකක් මට හම්බවෙලා තියෙනවා. ළඟදී අපිට කවුරුහරි එවලා තිබ්බා පරණ පත්තර ලිපියක්. ඒකෙත් තාත්තා කියලා තියෙනවා උම්මග්ග ජාතකය චිත‍්‍රපට පිටපතේ වැඩ කරමින් ඉන්නේ කියලා මේ දවස්වල. ඒ කාලේ ලියන කියන පැත්තේ තියෙන සක‍්‍රීය හැම ක්ෂේත‍්‍රයකම වගේ ඔහු කටයුතු කරලා තියෙනවා. පාසල් ගීත ලියලා තියෙනවා. සමහර පාසල්වල ඒ කට්ටිය අපට ඒවා එවලා තිබ්බා. සක‍්‍රීය විදිහට අපි නොදන්න දේවල් ගොඩක් තිබිලා තියෙනවා.

* ඔහුගේ ගීත සඳහා විටක රචකයා ලෙස වෙනත් අයගේ නම සඳහන් වෙනවා නේද?

තාත්තගේ සමහර ගීත සම්මානනීය ගීත පවා වෙන කට්ටිය එක පාරට ගන්නවා. ඕන නම් ඒවා එහෙම නෙමෙයි කියලා පෙන්වන්න සාක්ෂි පවා තියෙනවා. කරන්න දෙයක් නෑ හොඳ නෑනේ. සමහරු තාත්ත ගේ යාළුවෝ. තාත්තගේ සින්දුවලට විතරක් නෙමෙයි ඕක වෙන්නේ. ජනප‍්‍රිය ගීතවලට. ගොඩක් අයට ඔය දේ වෙලා තියෙනවා. තාත්තගේ සමහර ජනප‍්‍රිය ගීත වෙනත් අය තමුන්ගේ කරගන්න මට්ටමකුත් තියෙනවා. අපිට රසිකයෝ කතා කරලා කියනවා අහවල් කෙනා අහවල් දවසේ ගුවන්විදුලියේ කිව්වා වගේ දේවල්. මේවාට හැමදාම ආදරේ කළෙත් ළඟ තියාගෙන හිටියෙත් මේ රටේ සාමාන්‍ය මිනිස්සු ටික, රසිකයෝ ටික. සින්දුවල පද රචනා ලියාගත්ත රසිකයෝනේ ඒගොල්ලෝ.‘හිම බිම පාලන සුරිඳේ’ ගීතය ගැන තාත්තා සමග කළ සාකච්ඡුාවක් ඇසුරින් රචිත පුවත්පත් ලිපියක් මට හම්බුණා. ඒකෙ තියෙනවා තාත්තා ඒ ගීතය ලිව්වේ කොහොමද කියලා. ඒ ගීතය ලියද්දි ඒකෙ එක පදයයි එයාට ලියා ගන්න බැරිවෙලා තියෙන්නේ. හීනෙන් වගේ තමයි ඒක එයාගෙ ඔළුවට ඇවිල්ල තියෙන්නේ. ඔහු ඒක සම්පූර්ණ කළේ එහෙමයි කියලා ඒ ලිපියේ සඳහන්.

* තවත් ඔහුගේ බොහෝ ගීත වෙනත් අය ලියූ ගීත යැයි කියනවා ?

පස්සේ කලෙකනේ ඔය පවුල්වල කට්ටිය මේවා අතට ගන්නේ.  ඒගොල්ලන්ට තේරෙන්න ගන්නවා මූල්‍යමය වටිනාකමකුත් තියෙනවනෙ දැන් මේවට කියලා. එතකොට ඒගොල්ලෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව මේවා එකතු කරගන්නවා. කවුරුහරි කියපු පළියට මේක ගන්නවා. උදාහරණයක් කියන්නන් මං. ප‍්‍රකට ගීත රචකයෙක් හිටියා. ඔහු ගීත ලියල තියෙනවා. එයා වයසට ගියාම මතකයත් පොඞ්ඩක් එහෙ මෙහෙ වෙනවනේ. එයා ගේ පුතා මොකද කළේ මේක තාත්තද ලිව්වේ කියලා අහනවා. ඔව් කිව්වහම ඒක ඒගොල්ලන්ගේ ගොඩට දා ගන්නවා. ඒ වගේ අහලා එයාව එක්කන් ගිහිල්ලා ගුවන්විදුලියේ වැඩසටහනකදී ඔහු ලව්වා කියවලා ඔහු මේවා ලිව්වයි කියලා. ඒක සභාපතිවරයකුගේ කාලයේදී ලයිබ‍්‍රරි ඒකෙ තිබ්බ විස්තර පවා වෙනස් කරලා තියෙනවා. ඒ තරමට මේක දරුණු තත්ත්යක තියෙන්නේ. තාත්තගෙයි තාත්තගේ මල්ලි ගුණරත්න අබේසේකරටයි දෙන්නගෙම සින්දු එයා ගේ කියලා අරගෙන තියෙනවා. කොච්චර ඒක හිත රිදෙන දෙයක්ද කිව්වොත් එයාගේ විවාහයට අත්සන් කරලා තියෙන්නෙත් තාත්තා. දැන් ඔහු කියන්නේ ඔහු ලියපු සින්දු තාත්තගේ නමින් ගියා කියලා ඒ කාලේ ගුවන්විදුලියේ. එතකොට තාත්තා ජීවත්වෙලා ඉදිද්දී ඇයි ඒක නොකිව්වේ? මැරිලා ගිහිලා අවුරදු තිස් ගාණකට පස්සේ ඇයි කියන්නේ. ඒගොල්ලෝ ජීවත්වෙලා ඉන්න කලෙත් සමහරවිට නිස්කාරනේ ඒ ගොල්ලන්ට හොඳක් අහන්න සිද්ධවෙලා නැතුව ඔවුන් සින්දු ලිව්වා. හොඳ අහන්න ලැබිලා තියෙනවා, මිනිස්සුන් ගේ ආදරය ලැබිලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ගෙම අවට හිටපු අයගෙන්නේ දොස් අහන්න උනේ. ඊට පස්සේ වෙන්නෙත් ඒකමනේ. මෑතකදී දැන් මාසෙකට විතර ඉස්සෙල්ල ගීතයක් යනවා රූපවාහිනී රියැලිටි වැඩසටහනක. ජෝතිපාල මහත්මයාගේ ගීතයක් ගායනා කළා අලූත් කෙනෙක්. ඒකෙ පද රචනය සහ තනුව ලෙස සඳහන් වෙන්නේ දැන් තියෙන බෑන්ඞ් එකක නමක්. නමුත් ඒක ලියලා තින්නේ තාත්තා. සංගීතය රොක්සාමි මහත්තයා.‘ඇහෙනවා නං හිත හඬන තරම්’ ගීතය. මමත් ඕක තාත්ත ගේ ගීතයක් නෙමෙයි කියලා හිතාගෙන හිටියේ. නමුත් මිනිස්සු අපිට කතා කරලා කිව්වා මේක තාත්තගේ ගීතයක් කියලා. ඊට පස්සේ මං හොයලා බැලූවා. තාත්තගේ තමයි ඒ ගීතය. මේ ගීත නිර්මාණය වෙන කාලේ මේ බෑන්ඞ් තියා ඒවායේ ඉන්න කට්ටිය ඉපදිලත් නෑ. මේවා පොදුවේ දන්නා රසික සමාජයක් එළියේ ඉන්නවා. මම හැමදාමත් හිතන්නේ මට තියෙන මතකය පොඞ්ඩයි, මට වඩා තාත්තව ආශ‍්‍රය කරපු සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. මට අම්මා කියනවා සමහර රසිකයෝ උදේ එන ගමන් ඇවිල්ලා කාලා බීලා ඔක්කොමත් කරලා තාත්තත් එක්ක යන ගමනත් ඔහේ ගිහිල්ලා, ගුවන්විදුලියටත් ගිහිල්ලා, ඒවත් බලාගෙන ඉඳලා, යන කට්ටිය ඒ කාලේ හිටියා. ඉතිං ඒගොල්ලන්ට මේවා මතකයි.

* අදත් ජනප‍්‍රිය ඔහුගේ ගීත... අදත් ගයන්නේ ඔහුගේ ගීත?

අපි එහෙම ප‍්‍රසිද්ධ මිනිස්සු නෙමෙයිනේ. අපේ අම්මා හෝ මම හෝ දන්න අය නෙමෙයිනේ. නමුත් අදත් අපි කොහෙහරි ගියාම අපිව අඳුන ගන්නවා මිනිස්සු, අඳුනගෙන ඇවිල්ලා කතා කරනවා. ඒ කතා කරන්නේ අපි එක්ක නෙමෙයි බව මං දන්නවා. මං හැමදාම අම්මටත් කියන්නේ කවුරුහරි දන්නේ නැති කෙනෙක් අපිත් එක්ක හිනාවෙනවා නං ඒ හිනාවෙන්නේ තාත්තා නිසා කියලා. දැන් තාත්තා නැතිවෙලා වුරුදු තිස් අටක් විතර වෙනවා. ඔහු සහ ඔහුගේ කාලයේ අය කරපු කියපු වැඩවලින් තමයි ඒගොල්ලෝ මිනිස්සු ගාවට ගිහිං තියෙන්නේ. කෙනෙක් මට කතා කළා දුරකතනයෙන්. එයා තාත්තව දැකලා තියෙනවලූ කැලණිය පන්සලේදී. ඊට දවස් කිහිපයකට පස්සෙලූ තාත්තා නැතිවුණයි කියන ආරංචිය ආවේ. එයා ආසාවෙන් අහපු ගොඩක් සින්දු ලියලා තියෙන්නේ තාත්තා කියලා පස්සෙලූ දැනගත්තේ. එයා එයාගේ බිරිඳට කියලලූ තියෙන්නේ, එයාගේ මරණය බොරැුල්ලේ කනත්තට ගෙනියන කොට, ජෝතිපාල මහත්මය ගෙයි අපේ තාත්ත ගෙයි සොහොන් දෙක තියෙන්නේ එක ළඟ, එතැන පොඞ්ඩක් නවත්වලා ගෙනියන්න කියලා. මොකද ඒ මිනිස්සු හින්දා තමයි එයාගේ ජීවිතේ රසවත් වුණේ කියලා. ඒ සාමාන්‍ය රසිකයෝ. මම දැකලවත් නෑ. ඒ ඒගොල්ලෝ කරපු කියපු දේවල් අල්ලගත්ත මිනිස්සුනේ. අනික එයා ලියපු ගොඩක් සින්දුවල පද දැනුත් බස්වල ත‍්‍රීවීල් වල පවා ගහලා තියෙනවා මං දැකලා තියෙනවා. ”සිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී’’ වගේ දේවල්. ඒවා ජනප‍්‍රවාදයට එකතුවෙලා තියෙන එක සතුටක්; අයිතීන් කෙසේ වෙතත්, ඕවා කාලයක යනකොට කවුරුත් දන්නේ නෑ කවුද මොනවද ලිව්වේ කියලා. අවුරුදු තිහකට පස්සෙත් අපිට තේරෙනවා ඒවා හුඟක් ජනප‍්‍රවදගතව වගේ තමයි තියෙන්නේ කියල. ඒක ලොකු සතුටක්.

( පසුගිය සතියක පද රචකයකු හා කළ සාකච්ඡුාවක් ඇසුරින් සකස් කළ ලිපියක, ඔහු සඳහන් කළ පරිදි, ඔහු ගේ රචනාවක් ලෙස ”හිම බිම පාලන සුරිඳේ’ ගීතය සඳහන් වුවද එය කරුණාරත්න අබේසේකරයන්ගේ ගීත රචනාවක් බව නිවැරදි ලෙසට මෙහි සඳහන් කරමු )

යුගන්ති යශෝධරා

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles