Divaina - මම ලියපු සින්දු සියයක්‌ විතර ඇති.. කියපු ගණන දෙසීයයි... ප‍්‍රියා සූරියසේන වගේම මිල්ටන් මල්ලවාරච්චිටත් මම සින්දු ලියලා තියෙනවා.....

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

roo1


සංගීත අධ්‍යක්‍ෂ /ගායක /ගී පද රචක
රූකාන්ත ගුණතිලක

මම ලියපු සින්දු සියයක් විතර ඇති කියපු සින්දු ගණන දෙසීයයි


කෑගල්ලේ ඉපිද ශාන්ත මරියා මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා මහනුවර ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයේ ද්විතීය අධ්‍යාපනය ලැබූ මාරියෝ ග්ලෝරි රූකාන්ත ගුණතිලක 1976 දී ගී තනු නිර්මාණකරුවකු ලෙස සංගීත ලෝකයට පිවිසියේය. 1980 දී ගායකයකු ලෙස ස්වකීය වෘත්තීය ජීවිතය පටන් ගන්නා ඔහු ශ‍්‍රී ලංකාවේ පොප් සංගීත ලෝලීන්ගේ ආධ්‍යාත්මය වෙනස් කළ ප‍්‍රමුඛ ගායකයාය. පසු ගිය හතලිස් වසර පුරා ඔහු විසින් ගායනා කෙරුණු ගීත සුවිශාල වාණිජ්‍ය ඉල්ලූමක් ඇති නිර්මාණ මෙන්ම අද්විතීය කලා නිර්මාණ බවට ද පත්වන්නේය. ඔහු උපන්නේ මධ්‍යම පංතික පවුලකය. ළමා වියේ සිටම සංගීතයට මහත් සේ ඇලූම් කළ බැවින් ඔහුගේ මාපියෝ යාබද නිවසක ජීවත් වූ ගුරුවරියක ලවා ඔහුට පියානෝ වාදනය ඉගැන්වූහ. පාසලේදී සංගීත ගුරුවරයා ගේ පියානෝ වාදන සම්ප‍්‍රදාය තුළ නො රැුඳුණු බැවින්ද ගුරුවරයා ඉදිරියේ ස්වාධීන තනු වාදනය කළ බැවින් ද රූකාන්තට දඬුවම් විඳීමට පවා සිදුවිය. තරුණ සංගීත ශිල්පියකු වූ පසු රූකාන්තගේ ගීත සුවිශේෂ වීමට පටන් ගන්නේ ඒවා තුළ සරල මෙන්ම ශාස්ත‍්‍රීය සංගීතයට හිමි ලක්ෂණ තිබූ බැවිනි. මේ ලක්ෂණය නිසාම ඔහු ගේ ගීත ඔහු ගැයූ පරිදිම ගැයීමට අන් අයට අදටත් නොහැක. 1993 දී සිය බිරිය වූ චන්ද්‍රලේඛා පෙරේරා සමග රූ සඳ ? ප‍්‍රසංගය අරඹන රූකාන්ත පසු කාලයේදී එම ප‍්‍රසංගය ඉතාලිය, ප‍්‍රංශය, ඩෙන්මාර්කය, ස්වීඩනය, ජර්මනිය, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, කැනඩාව, එංගලන්තය, ඇමරිකාව සහ එක්සත් එමීරය යන රටවලට ගෙන ගියේය. මෙරට සංගීතය ළවැලි තලාවේ රූකාන්ත තැබූ පා සලකුණ කිසිදු රැුල්ලකට ගසාගෙන යන්නේ නැත.

අප අද කතා කරන්නට බලාපොරොත්තු වන්නේ රූකාන්ත ගුණතිලක නමැති ගී පද රචකයා පිළිබඳව.

* ඔබට, ගී පද රචක ඔබ මතකද?

ජාලිය රණතුංගගේ ගීත එකතුවට තමයි මම ඉස්සෙල්ලාම සිංදු දොළහටම සංගීතය සැපයුවේ. ඒකෙදී මං සිංදු දෙකක් ලිව්වා. එකක් තමයි මාවතේ ඝන ? වෙලේ ඇය කව්දෝ මම නොදනිමි කියන ගීතය. ඒක රාත‍්‍රී සිදුවීමක් ගැන. තරුණයෙක් යනවා තමුන්ගේ කාර් එකේ. ඔය අතරෙදි ? සංචරණයේ යෙදෙන ලියක් හම්බවෙනවා. පාරේ යන ගමන් ඈව දැකලා හිතේ ඇතිවුණා ආසාවක් සහ බය මුසු හැඟීමක්. ඒ හැඟීම සහිත ගීතයක් ඒක. එතනදී මම තීරණය කරනවා මෙතන මම නවත්වන්නේ නෑ, ඇයව මගේ වාහනේට දාගන්නේ නෑ කියන එක. ඒ ගැන යමක් මේ ගීයේ ලියැවිලා තියෙනවා. ගීතයක් ලියන්න ඕන කියලා හිතලමයි ලිව්වේ. මගේ කියලා කරපු පළවෙනි වැඬේ ඇත්තටම. ඊට ඉස්සෙල්ලා සංගීතය පැත්තෙන් වෙන වැඩ ගොඩක් කරලා තියෙනවා. පොඩි පොඩි ගීත ලියලත් තියෙනවා. නමුත් විශේෂයෙන් මං ලිව්වා කියලා කියන්න පුළුවන් පළවෙනි ගීතය තමයි මේ ‘මාවතේ’ ගීතය.

* ඒ ගීත එකතුවට ඔබ තවත් ගීතයක් රචනා කරනවා?

ඔව්. ඒක ටිකක් අමුතු හැඩයකට ලියැවිලා තියෙන හින්දා මං ඒක මතක් කරනවා. පළවෙනියෙන්ම කරපු වැඬේ සිංදු දෙකෙන් අනිත් එක. ආදරේ පුද දෙන්න ඇයි දැයි පමා කියන ගීතය. මේකේ විශේෂත්වය අන්තිම වචනේ, මුළු පේළි හතරෙම එකම වචනයක්. හැබැයි අර්ථ ගැන්වෙන්නේ වෙන විදිහකින්. ඒ කියන්නේ ‘ආදරේ පුද දෙන්න ඇයි දැයි පමා, වේදනා විඳ ගන්න ඇයි දැයි පමා’ ඒ දෙක එකයි, ප‍්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ ‘මා වෙතේ ලංවන්න නෑ දැන් පමා, මා

ඇගේ අත ගන්න නෑ දැන් පමා’. ඇයි දැන් පමා දෙකයි. නෑ දැන් පමා දෙකයි. ඔක්කොම පමා. ඒ ගීත එකතුවට මම ලියූ දෙවැනි ගීතය.

* මේ ගීත ඔබේ පළවෙනි දෙවැනි ගීත කිව්වට ඔබ ලියූ සිංදු පොතක්ම තිබුණා නේද?

මගේ සිංදු පොතට මොනවා උනාද දන්නේ නෑ. මං අදත් හරියට කනගාටු වෙනවා. ඒ සිංදු පොතේ සිංදු පහළොවක් විස්සක් විතර තිබ්බා මං හිතන්නේ. ඒකෙ තියෙනවා මං ලියපු පළවෙනි ගීතයත් ඇත්තටම. ඒවා එළි දැක්විලා නෑ. ‘සොඳුරු සිනා පා’ නමින් ගීතයක් තිබුණා. ඇත්තටම මං හදපු පළවෙනි ගීතය කියලා කියන්න පුළුවන්. ඒක පටිගත කළා. කට හඬ දාන්න පොඞ්ඩක් පරක්කු වුණා. ශබ්ද පරිපාලක මහත්මයා අතින් වැරදීමකින් ඒ ගීතය මැකිලා. හරිම දුකයි. මං හිතනවිදිහට ඒකෙ සංගීතය හොඳට ආවා. නමුත් ආපහු පටිගත කළේ නෑ. ඒක තාමත් අනාගතේ දවසක කරන්නං කියලා හිතං ඉන්නවා. ඊළඟට නිකුත් කරන මගේ ගීත එකතුවේ එන්න ඉඩ තියෙනවා. සොඳුරු සිනා පා මුකුළු කරන්නේ ගීතය, ගැමි ළඳක් ගමේ ගඟක් හරහා එනවා හැන්දෑවරුවක. පොඩි වහු පැටියකුත් අරගෙන අතේ පොඩි තණකොළ මිටියකුත් අරගෙන එන දසුනක් දැකලා තමයි ගීතය ඒ විදිහට ලියලා තියෙන්නේ. නමුත් ඒ හුඟක් ඒවා මන:කල්පිතයි. හැබැයි මම දැකපු ඒවා කියලා හිතන්නත් පුළුවන් එක්තරා කාලෙක.

* පොත නැතිවුණේ කොහොමද කියලා මතකයක් තියෙනවද?

නෑ මතකයක් නෑ. මං පාසලේ නේවාසිකාගාර ශිෂ්‍යයෙක්. මම පාසලෙන් ගෙදර ගෙනාවා කියලා වගෙත් මතකයි. ඊට පස්සේ මොකක්හරි වැරදීමකින් අස්ථානගත වුණාද කියලත් හිතෙනවා. මොකද ඊට පස්සේ ඒ පොත පාවිච්චි උනේ නැති ප‍්‍රශ්නයක් තියෙනවා. සමහරවිට ඉස්කෝලෙම නැතිවුණාද දන්නෙත් නෑ. දිගටම ඕක පරිහරණය කළා නං පොත මගේ ළඟ මාත් එක්ක තියෙනවා. මගේ කවි පොතත් නැති වුණානේ. කවි පොතේ නං මං හිතන්නේ කවි තිබුණා තිහක්, තිස් පහක් විතර. ඒකත් මට හරිම කනගාටුයි. මොනවා කරන්නද ඉතිං. මං ඉන්නවනේ කියලා හිතලා හිත හදා ගන්නවා.

* ‘මාවතේ’ සහ ‘ආදරේ පුද දෙන්න ඇයි දැයි පමා’ ගීතවල සංගීතය?

මේ ගීත දෙකේම සංගීතය නිර්මාණය කළේත් මං. රන් යායේ මුළු කැසට් එකේම සංගීතය මං නිර්මාණය කළේ. සංගීතඥයෙක් වුණේ, මම වෘත්තියමය සංගීතවේදියෙක් වුණේ පාසල් යන කාලෙම තමයි. හැබැයි ගීත ලියනවා කියන එක ඇත්තටම මං අත ගහපු නැති වැඩක්. කොහොමද ලියන්නේ කියන එක ගැන මට හරි අවබෝධයක් තිබුණේ නෑ. ඇත්තටම තාමත් නෑ වගේ මට නං හිතෙන්නේ. ඒක හින්දා මං ඒකට අත ගහන්න ගියේ නෑ. රචකයෝ කියලා වෙනම කුලකයක් ඉන්නවනේ.

ඒගොල්ලන්ට කියලා ගීත ලියා ගන්න ඕනයි කියන එක තමයි මං කියන්නේ. නමුත් මගේ වටේ ඉන්න අය ඉන්නවනේ. ඉතිං ඔයාම ලියන්නකෝ, ඉතිං උඹම ලියපන්කො මචං, කියලා කියනවා. එක්කෝ අම්මා කියනවා ඉතිං ඔයා ලියන්න, ඔයා ලියන්න කියලා. ඒ වගේ කියමන් මට හරියට ශක්තියක් වෙලා තියෙනවා. නමුත් එහෙම කිව්වා කියලා මට ඒක හරියට හිතන්න බැහැ. මොකද සිංදු කියන්න බැරි අයටත් සිංදු කියන්න කියලා පවුලේ කට්ටිය, යාළුවෝ කියනවා. ඒකට හොඳ උදාහරණ දැන් තියෙනවා. ගායන දක්ෂතා අගයන තරගවල මම විනිශ්චය මණ්ඩලයේ ඉන්නකොට තරගකරුවන්ගෙන් විස්තර ඇහුවම ඔවුන් කියනවා ‘යාලූවෝ කිව්වා මට හොඳට සිංදු කියන්න පුළුවන් කියලා ඒ නිසයි මං ආවේ’ කියලා. බලනකොට එයාට එහෙම සිංදු කියන්න බැහැ. නමුත් කියන ඇයට අවබෝධයක් නැහැ මෙයාට පුළුවන්ද බැරිද කියලා. හිතවත්කම්, සම්බන්ධකම්, නිමිත්තෙන් ශක්තිය දෙනවනේ උඹට පුළුවන් මචං කියලා.

* නමුත් රූකාන්ත ගුණතිලක තනු නිර්මාණ වගේම පද රචනා අතිශය ජනප‍්‍රිය වුණා?

පාසල් අවධියේ පටන් පොඩි පොඩි ඒවා ලියලා තියෙනවා. නැත්තේ නැහැ. පසුව ටික ටික මට හිතුනා පුළුවන් වගේ කියලා ගීත ලියන්න. විජිතය ආදරය වගේ ගීත ඔක්කොම ලිව්වේ ස්ටුඩියෝ එකේදිමයි.

* ගීතයක් ලියන්න කව්රුහරි තර්ජනය කරන්න, අභියෝග කරන්නම ඕනද?

අරහේ ඔරලෝසුවේ වෙලාව යනවා, තව විනාඩි පහළොවකින් විස්සකින් ගායකයා මයික‍්‍රෆෝනය ඉදිරිපිට මේක කිය කිය ඉන්න ඕන, ඒක අත්‍යවශ්‍යයි, එක්කෝ පැය භාගයකින් මේක පටිගත වෙමින් තියෙන්න ඕන, ඔබ දැන් මේක ලියන්නම ඕන කියලා කව්රුහරි මට අභියෝගයක් දෙනවා මං ළඟ ඉඳගෙන ලියාවි. අභියෝගවලදී

සාර්ථක වන අත්නොහරින ගතියක් තියෙනවා ඉතිං.

* ඒකද මද්දුම බණ්ඩාර ගැන දවසක් වෙනස් විදිහේ කතාවක් කළේ?

ආ.... ඉස්කෝලේදි එහෙම පොඩි පොඩි කතන්දර තියෙනවා. ඒවා විශේෂම වූ දේවල්. දවසක් සිකුරාදාවක අන්තිම පීරියඞ් එකේ පංතියට ළමයෙක් ඇවිත් කිව්වා ළමයි එන සතියේ කථික තරගයක් තියෙනවා කැමති ළමයි අත උස්සන්න කියලා. මං ටග් ගලා අත ඉස්සුවා. ආ රයිට්, එහෙනං හරි කියලා කිව්වා, එතනින් එහාට මම දන්නේ නෑ. එන සතියේ මිසක් සඳුදා එහෙම කියලා කිව්වෙත් නෑ. කැමැත්ත විමසන වැඩක් උනේ. කැමැත්ත විමසපු සිකුරාදාට පස්සේ සඳුදා උදේ ඉස්කෝලේ ගිහිං පංතියට ගියාම රෙජිස්ටර් එක මාක් කළායින් පස්සේ අපි ඔක්කොමල්ලා ශාලාවට යන්න ඕන කියලා කිව්වා කථික තරගයක් එහෙම තියෙනවා කියලා. විශාල ශාලාවක්. ඒ කාලේ හැටියට එක්දාස් පන්සීයක් විතර දාන්න පුළුවන්. මං ඔය මොකක්හරි කථික තරගෙකට මං කැමති වුණා මතකයි ගිය සිකුරාදා, දැන් මේ සඳුදා. මං ඇහුව එතකොට මාතෘකාව මොකක්ද කියලා; ‘ඇයි ඔයාට හම්බුනේ නැද්ද, මාතෘකාව මද්දුම බණ්ඩාර, කට පාඩමිනුත් කියන්න තියෙනවා කිව්වා කෑල්ලක්’. කට පාඩමින් කියන්න තිබ්බ එක කොලේක ලියා ගත්තා. මද්දුම බණ්ඩාර ගේ කරුණු ඉල්ලගත්තා දෙතුන් දෙනෙක්ගෙන්. මං බැලූව මේකට සූදානම් වෙන එක මට දැන් කරන්න බෑ. තරගයෙන් මට බෑ කියලා අයින් වෙන්නත් බෑ. මම තීරණයක් ගත්තා. මං දන්නවා මට දිනුමක් හම්බවෙන්නේ නෑ කියලා. නමුත් මං පරදින්න කැමතිත් නෑ. මද්දුම බණ්ඩාර මාතෘකාව ගැන මම කතා කළා එදා. හැබැයි මම කිව්වේ මද්දුම බණ්ඩාර වීරයෙක් නෙමෙයි කියලා. මද්දුම බණ්ඩාර මැරෙනා සැටි මම පෙන්වන්නම් කියලා දන් ගෙඩියට බෙල්ල තියනවට වඩා, ඔහු නිර්භීත නම් මගේ දෙඅත් ලෙහන්න, මං වධකයත් එක්ක ද්වන්ධ යුද්ධයකට අභියෝග කරනවා, තරාතිරම ප‍්‍රමාණය ප‍්‍රශ්නයක් නෑ, මම අභියෝග කරනවා මගෙත් එක්ක සටනට එන්න කියලා. ඒ කාලේ භාෂාවත් දාලා කතා කළා. විදුහල්පතිතුමාත් හිටියා. එතුමා ස්වාමි කෙනෙක්. ඉතිං ලොකු ප‍්‍රශ්නයක් වුණා එදා ඔය කාරණාව. මං කාටවත් වැරැුද්දක් දානවා නෙමෙයි. නමුත් වැරැුද්දක් වෙනවා නං කාටහරි ඒකට කරන්න දෙයක් නෑ. මට මාතෘකාව ලැබුණේ නැහැ කියලා පොඩි ප‍්‍රශ්නයක් වුණා ඒ අදාළ ගුරුතුමන්ලට. මං ඇත්ත කිව්වේ. ඇත්තටම මට මාතෘකාව ලැබුණේ නෑ. මගේ හිතේ සතුටක් තිබුණා මම බොරුවක් කළේ නෑ කියන එක මම දන්න නිසා. ප‍්‍රශ්නෙන් පලා යන්නෙත් නෑ මං. පාසලේදී ඔහොම දේවලූත් වුණා. ඉතිං ඒ වගේ මේ ගීත ලියනකොටත් පොඩි එහෙම එකක් තියෙනවා. තාමත් ඒ අභියෝග මා තුළ තියෙනවා.

* ප‍්‍රියා සූරියසේන මහත්මයා ගයන ”මොහොතක සුව දෙන චංචල ලෝකයේ” එහෙම බලෙන් වගේ ලියාගත් ගීතයක් නේද?

ඒක ලිව්වෙත් කුලරත්න ආරියවංශ අපේ ප‍්‍රවීණ ගීත රචකයාගේ මහත් බලකිරීම මත. මම නිකං ස්ටුඩියෝ එකට ගියේ. යනකොට ලොකු පටිගත කිරීමක් අපේ මේ ප‍්‍රවීණ ගායක ප‍්‍රියා සූරියසේන මහත්මයාගේ. මම ගියේ මගේ මිත‍්‍රයා දයානන්ද පෙරේරා මුණගැහෙන්න. යනකොට හුඟක් අය එතන හිටියා. ඒ ඔක්කොමල්ලා මගේ යාළුවො. මං කුඩා කාලයේ ඉඳලා ක්ෂේත‍්‍රයේ හිටපු හින්දා මට වැඩිමල් අයත් මට මචං කියන්නේ. අපි තාම ඒ වගේ. ලොකු මිත‍්‍රයෝ. ඉතාම කුළුපගයි. අපිට ලොකු අතීතයක් තියෙනවා කුඩා කාලයේ ඉඳන් හමුවෙලා. එතකොට දයාත් එහෙමයි. දයා හම්බවෙන්න මම ගිය වෙලාවේ මාව දැකලා කුලේ ”ආ මේ ආවේ, මෙන්න ආවා, මචාං මේ මෙන්න මූට දෙන්න සිංදුවක් ලියන්න කියල” කියලා ඒ තාලේ මට දුන්නා. මං කිව්වා අනේ මට ලියන්න බෑ බං පිස්සුද කියලා. ඒ ගමන් ”පිස්සුද බං ඔන්න ඔහේ ලියපන් ඉඳගෙන” කියලා මට පුටුවකුත් දීලා මේසෙකුත් දීලා කොලෙයි පෑනයිත් දීලා මාව ඒ කාමරේට දාල දොර වැහුවා. මොකද එළියේ සද්ද ඇහෙනවා. කට්ටිය කෑ කෝ ගහනවා. සිංදුවක් පටිගත කරලා එළියට එනවනේ මහන්සි අරින්න. දැන් මං මේක ලියන්නම ඕන. අර්නස්ට් සොයිසා මහත්මයා ඇවිල්ලා මචං මෙන්න මේකයි සිංදුව කියලා ටන ටන ටන නන කියලා තාලේ කිව්වා. මං ඉතිං එවේලේ බොරු වචන ටිකක් ලියා ගත්තා. ඊට පස්සේ මගේ මනෝ ලෝකයට ගිහිල්ලා ගීතය ලිව්වා. දැන් මේ කතා කරද්දී මට තේරුණේ ඒකත් අර ‘මාවතේ’ වගේ. රූපිකාවන් සොයා මා ගියේ නෑ කියලා තමා මේ ගීතයේ ලියැවිලා තියෙන්නේ. මේකෙයි මුල් ගීතයෙයි ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. කොහොම හරි එක පාරට හදිසියේ ලියන්න වෙච්ච ගීතයක් තමයි මේ.

* මේ ගීතය එවෙලේම පටිගත කළාද?

ඒක මං දන්නේ නෑ. මම සිංදුව ලියලා දුන්නා. සිංදුව කියලා බැලූවා, තාලෙට හරිද කියලා. සංගීත අධ්‍යක්ෂවරයා හරි මචං කිව්වා, ඉවරයි. වෙලාව ? නවයට දහයට විතර ඇති. මං ඉතිං නුවර හරි මොකක් හරි බස් එකක එල්ලෙන්න ඕන කෑගල්ලේ එන්න. ඒ නිසා මං පිටවුණා. ඒක එච්චරයි.

* මිල්ටන් මල්ලවාරච්චි මහතාටත් ඔබ ගීත රචනා කළා?

ටොරානා ඒකෙන් මට කතා කරලා කිව්වා රූකාන්ත මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාට සිංදු හතරක් කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම මිල්ටන් අයියා තමයි කිව්වේ රූකන්තටත් සිංදු දෙකක් දෙන්න ඕන මගේ කැසට් එකේ කියලා. එක සිංදුවක් තමයි ”? තුන් යාමේ ගැයෙනා ඒ, ලසෝ රාවේ” ගීතය. ඔන්න මම ඒක ලිව්වා. දැන් ඔන්න ආසයි ලියන්න. දැන් හෙමින් සැරේ තව එකක් බා ගත්තා. ඒකත් එක්ක තව සිංදුවක් කළා මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාට. සංගීතය කරන්න තමයි කතා කළේ. ඉතිං මං බැලූවා මේක මටම ලියන්න පුළුවන් නං හොඳයි කියලා.

* ඔබේ ආදරණීය බිරිඳ ඔබේ සංගීත කටයුතුවලට මැදිහත් වෙන්නේ නැද්ද?

අපි දෙන්නා එකතු වුණායින් පසුව ලියන හැම ගීතයක්ම මම ඉස්සෙල්ලා ඇයට තමයි පෙන්නන්නේ. පද රචනය විතරක් නෙමෙයි සංගීතය උනත්. ඇය කියනවා මෙහෙම කළොත් හොඳ නැද්ද, දැන් ඔයා මෙන්න මේ වගේ ඒවා තමා දැන් කරන්න ඕන, මේ වගේ වෙනස් වෙන්න ඕන කියලා මට නිතර කියනවා.

* ඔබේ ¥ දරුවන් වෙනුවෙන් ලියවුණු ගීත?

මං රයිනිට ලිව්වා. වින්ඩිට ලිව්වේ නැහැ ගීතයක්. ඒක කරෙත් යම්කිසි වෙනසකට. මං ලිව්වේ අන්ඤ්ඤා මුඤ්ඤ කියන ගීතය. මං අතේ තියාගෙන ඔඩොක්කුවේ තියාගෙන එයාව නළවන වෙලාවට පොඩි තාලයක් එක්ක අඤ්ඤා මුඤ්ඤ - අඤ්ඤා මුඤ්ඤ කියලා කියනවා මං. ඔවැනි වචන කියමින් මං එයාව හුරතල් කරනවා. ඕක කිය කිය මං එයාව නිදි කෙරෙව්වා. චුට්ටක් වෙලා යනකොට එයා නිදි හොඳටම. ඉතිං පසු කාලෙක ඇත්තටම කියනව නම් චන්ද්‍රලේඛා තමයි මේ ගීතයත් මුල් වුණේ. අපි ඒ වෙලාවේ ඇමරිකාවේ හිටියේ යම්කිසි වෙලාවක 1997. ඒ වෙනකොට වින්ඩි ඉපදෙන්න මාස ගාණක් තිබ්බා. මේ ළමයත් දැන් ඉපදෙනවා සිංදුවක් හදන්නකෝ මේ ලොකු ළමයට කියලා ඇය කිව්වා. මං ඒ පාර ටග් ගාලා ගිටාරයක් අරගෙන ඔය සිංදුව ලිව්වා.

* ආදරණීය බිරිඳට ලියූ ගීත?

ඇයට ලියූ ගීතය තමයි ‘සඳ පිණි දියේ’. අනිත් එක යුග ගීතය, තරු මල් වගේ. ඒක අපි දෙන්නගේ ජීවිතේ තියෙන ගීතයක්. අපිට ජීවිතේ තිබ්බ අභියෝග බොහොමයි. දුක කඳුළු භීතිය තුවක්කු පිස්තෝල ගින්දර ඒ ඔක්කොම මැදින් ආදරේ ඒ සියල්ල අභිභවා යනවා. ඒක සම්බන්ධයි තරු මල් වගේ කියන අපේ යුග ගීතයට.

* ලියූ ගීත කීයක් විතර ඇත්ද?

මං හිතනවා ලියපු සිංදු ඇති සීයක් විතර කියලා. කියපු සින්දුත් තියෙනවා මං හිතන්නේ දෙසීයකට කිට්ටු වෙන්න. සංගීතය කරපු ඒවා නම් තියෙනවා විශාල ප‍්‍රමාණයක්. සංගීත අධ්‍යක්ෂණය කළ ගීත. මට තිබ්බ පිස්සුව ඒකයි. සංගීත අධ්‍යක්ෂවරයෙක් වෙන්න තමයි ආසාව තිබ්බේ. සංගීත අධ්‍යක්ෂණය, චිත‍්‍රපටවලට සංගීත අධ්‍යක්ෂණය කිරීම. ඒක මෙතෙක් සාර්ථක වෙලා නෑ කිසිම විදියකින්. නමුත් හෙට දවස මං දන්නේ නෑ. නමුත් තිබ්බ ආසාව ඕක තමා.

* අනුන්ට හදපු සිංදු කිව්වේ ඇයි?

දවසක් සිරිල් මාන්නක්කාර කියලා මගේ යාලූවෙක් මාව හම්බවෙන්න ඇවිල්ලා කිව්වා, රූකාන්ත මට අහවල් සිංදුව කියන්න ඕන ඒකට සංගීතය දාලා දෙන්න පුළුවන්ද කියලා. අනුන්ගේ සිංදුවක් ගැන ඔහු කිව්වේ. මං කිව්වා පිස්සුද ගස් යන වැඩක් ඒක. ඒක කරන්න බෑ. අනික මං ඒ නිර්මාණ කරපු එක්කෙනා දන්නවා. ඔයාට ඕන නං මං අලූතෙන් සිංදු හදලා දෙන්නම් කිව්වම මිනිහා හා කිව්වා. කියලා මං මිනිහට සිංදු දොළහක්ම කළා. එයා සිංදු දෙකක් ද කොහෙද කිව්වා. එහෙම ඉඳලා දවසක් ඇවිත් කිව්වා මේ රූකාන්ත මම එන සතියේ ප‍්‍රංශේ යනවා කියලා. මං කිව්වා උඹට පිස්සුද එහෙම ගියාම කොහොමද දැන් එතකොට සිංදු ටික. ඒ ටික ඔයා ගන්න කිව්වා. මං කිව්වා මාර වැඬේනේ සිරිල් මං අරගෙන මං ඔයාට ගෙවන්නේ කොහොමද කියලා. නෑ නෑ සල්ලි දැන්ම ඕනේ නෑ ඔයා හෙමින් සැරේ දෙන්න කියලා කිව්වා. මං ඇහුවා කීයක්ද ඇහුවම රුපියල් පන්දාහක් දෙන්න කිව්වා. මම කමක් නෑ කිව්වා. සිරිල් ප‍්‍රංශෙට ගියා. ඇත්තටම චන්ද්‍රලේඛා මට ඒ වෙලාවේ උදව් කළා. නිෂ්පාදකයින් කිහිපදෙනෙක් ළඟට ගියා කව්රුත් මගේ මේ සිංදු ටික කැසට් එකක් කරන්න ගත්තේ නෑ. දැන් මම ස්විට්සර්ලන්තයේ යන්න තව සති දෙකකින්. ඇඳුම් ටිකක්, අඩු පාඩු වගයක් තිබ්බා අරගන්න. සිංදු අහන්න පොඩි කැසට් එකක් ඕනවෙලා තිබුණා, මොකද සංගීතය උදෙසානේ යන්නේ. ගන්න කෙනෙක් නෑ මේක. පස්සේ මං ගාව තිබ්බ ලොකු කැසට් සෙට් එකක් තිබ්බා. ඒවා එහෙම විකුණලා මම මගේ අර අඩු පාඩු පිරිමහ ගත්ත. එයිට පස්සේ මං ඔගී ශබ්දාගාරයේ ඔගී මහත්තයා ගාව තියලා ගියා ඔගී මේක ඔයාට පුළුවන් වෙලාවක පුළුවන්කමක් තිබ්බොත් ඔයා නිෂ්පාදනය කරන්න. කාටහරි දෙනවා නම් මට ඔය කැසට් එකකින් රුපියල් දෙකක් විතර තියන්න කියලා එයා ගාව ආරක්ෂාවට තියලා තමයි මම ස්විට්සර්ලන්තෙට ගියේ. නමුත් මං එනකලූත් මුකුත් වුණේ නැහැ. මං 88 ආවා. ඒ එන ගමන් මං හිතුවා දැන් නං මේ සංගීතය කර කර ඉඳලා හරියන්නේ නෑ, සිංදුවක් කියන්නම වෙනවා කියලා හිතලා අර ටේප් එක ඉල්ලගත්තා ඔගී ගෙන්. ඊට පස්සේ තමයි ඔය සිංදු ටික කළේ.

* ජිප්සීස් එක්ක?

මං ජිප්සීස් එකේ මේක ගිහිං තිබ්බේ වෙන නිෂ්පාදකයකුට ගන්න. නමුත් දවසක් ? ජිප්සීස් සුනිල් පියල් ඔක්කොම සහෝදරයෝ ටික එක්කහුවෙලා මේක ඇහුවා. අහපුවහම සුනිල් නං කිව්වා මේක හරියන්නේ නෑ මචං මේක ඇඞ්වාන්ස් වැඩියි ලංකාවට කියලා. නමුත් ලාල්, නෑ අයියේ මේක සමහරවිට අල්ලන්න ඉඩ තියෙනවා කියලා මාව හොයාගෙන ආවා, මම රෙකෝඩින්ග් එකක කර කර ඉන්නකොට සව්සිරි පායේ. ඇවිත් ‘රූකා මේ සිංදු ටික ඇහුවා මචං අපි දෙන්නා නිෂ්පාදනය කරමුද මේක’ කියලා ඇහුවා. ඉතිං ඒ විදිහට තමයි නිෂ්පාදනය වුණේ කැසට් එක. සතියක් යනකොට එළියට දැම්මා සිංදු ටික. ඒ දාපු දැමිල්ල තමා මේ.

* දවසක්දා හැන්දෑවක?

මං 85 ස්විට්සර්ලන්තයට ගියේ. සංගීතෙට ගියේ ඇත්තටම. රැකියාවක් කරන්න විදිහක් නෑ. නමුත් ගොඩක් ඒකෙන් ඉගෙනගත්තා මං. එහෙ ඉඳලා තව සතියකින් මං දැන් ලංකාවට එන්න ඕන කියලා හිතාගෙන ඉද්දී තමයි මේ ගීතය ලිව්වේ. එක්තරා ක්ලබ් එකක මට තට්ට තනියෙන් ඉන්න වෙනවා සමහර දවස්වල. මොකද අනිත් අය ඒගොල්ලන් ගේ නෝනලා බලන්න ගිහිල්ලා. ඒ කියන්නේ අපිට සෙල්ලං කරන්න තියෙන්නේ ආයෙමත් සිකුරාදා. දැන් මේ ඇවිල්ලා සඳුදා හරි අඟහරුවාදා හරි. මං දැන් දවස් දෙකක් තුනක් තනියෙන්. ජර්මන් පොතක් තිබුණා, ඒක නිකං බල බල ඉන්නකොට මට ඔය අදහස ආවා. මං මගේ කී බෝඞ් එක අරගෙන පටිගත කිරීමේ යන්ත‍්‍රයක් තිබුණා මං ගාව. ඒකෙ තමා ඔය දවසක් දා හැන්දෑවක රෙකෝඞ් කළේ. ලංකාවට එන්න දවස් ගාණක් තියෙද්දී.

මාවතේ ඝන රෑවෙලේ / ආදරේ පුද දෙන්න / රේණු රේණු / අනාත මාරුතේ /
අඤ්ඤා මුඤ්ඤ / ගිණි කඳු පුපුරණ / මොහොතක සුවදෙන/ මලක් වගේ /
ඔබ ගාව මම ඉන්නෙමි / පාරාදීසේ /
ආදර මගේ ජේසුනිි / අංගනාවෝ /
බඹර පහස / රෑ තාරකාවෝ

යුගන්ති යශෝධරා






විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles