Divaina - ඉන්දු සයුරේ බල අරගල රැල්ලට මැදිවූ ශ්‍රී ලංකාව...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 edifea
 මැදගම ධම්මානන්ද හිමි
 අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි
 
ඉන්දියානු සාගරයේ පෙරදිග හා අපරදිග සමුදුරු මාවත මැද පිහිටි ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර භූදේශපාලනයේ දී වැදගත් ම දේශය යි. එම නිසා අසල්වැසි ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ මහජන චීනය ශ‍්‍රී ලංකාවේ ආර්ථික ක‍්‍රියාකාරකම්, විදේශ ප‍්‍රතිපත්ති, ජාත්‍යන්තර ගිවිසුම්, දේශපාලන හැසිරීම් ගැන දැඩි අවධානයකින් පසුවෙයි. එසේ කරන්නේ ඒ රටවල ආරක්‍ෂාව පමණක් නොව, ආර්ථික හා යුදමය වූ උපායමාර්ගික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට මෙවලමක් වශයෙන් නැතිනම් ඉත්තකු ලෙස ශ‍්‍රී ලංකාව යොදා ගැනීමේ අපේක්‍ෂාවෙනි. ත‍්‍රිකුණාමල වරාය හා උතුරේ පිහිටි තෙල් ටැංකි ඉන්දියාවේ ආර්ථිකය හා ආරක්‍ෂාව කෙරෙහි බලපාන්නකි.
 
 ඉන්දියානු සාගරයේ තම ආධිපත්‍යය ශ‍්‍රී ලංකා රජය විසින් පිළිගතයුතු යැයි ඉන්දියාව කල්පනා කරයි. ශ‍්‍රී ලංකාව මෑතක් වනතුරුම අසල්වැසි ඉන්දියාව සමඟ කටයුතු කළේ වැඩිමහල් සොහොයුරා යන හැ`ගීමෙනි. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය අපේ රට පාලනය කළේ ඉන්දියාව සමඟ මිත‍්‍රත්වයකිනි. 1974 වසරේ දී ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ඉන්දියානු සාගරය බෙදා ගත්තේ සමගියෙනි. දෙරටේ ඉතා පටු සීමාවේ දී සැතපුම් දොළහක් ඔබ්බටද සෙසු තැන්වල සැතපුම් 200 ක් ඔබ්බටද ඉන්දීය සාගරයේ අයිතිය ශ‍්‍රී ලංකාවට පැවරුණි. ඒ අවස්ථාවේ දී ඉන්දිරා ගාන්ධි අගමැතිනිය තමිල්නාඩුවේ විරෝධය මැද කච්චතිව් දූපත ශ‍්‍රී ලංකාවට දුන්නාය. 1971 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා අංක 2832 යටතේ ඉන්දීය සාගරය සාම කලාපයක් කිරීමට පුරෝගාමී වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය යි. ඉන්දීය සාගර සීමාවේ ඉහළින් ඇති ආකාශයත්, මුහුදු පතුල සහ ජලයෙන් වැසුණ සමස්ත සාගරයත් නිරායුධ සාම කලාපයක් වශයෙන් යෝජනා සම්මත විය.
 
 ඉන්දියාව හා ලංකාව අතර ගොඩන`ගා ගෙන තිබූ සුහදත්වය ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලනය යටතේ ක‍්‍රමයෙන් ඈත්විණි. ඇමරිකා එක්සත් ජනපදයට ඉන්දියානු සාගරයේ බලය තහවුරු කර ගැනීමට හැකිවන අන්දමේ ගිවිසුම්වලට ජේ. ආර්. ජයවර්ධන මහතා එළැඹීම ඉන්දියාවේ බලවත් අමනාපයට මුල පිරුවේය. 1980 වසරේ දී ප්ලොරිඩාවේ හාර්කෝ සමාගම ත‍්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි භාවිතයට ගෙන තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කළේය. 1982 වර්ෂයේ අපේ‍්‍රල් මස ලක්රජය තෙල් ටැංකි බදුදීමට ටෙන්ඩර් කැඳවූ අතර ඉන්දීය තෙල් සමාගම ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කළේය. නමුත් තෙල් ටැංකි ලබා දුන්නේ නියමිත දිනයටත් පසුව ටෙන්ඩරයක් ඉදිරිපත් කළ සිංගප්පූරුවේ ඕර්ලියම් සමාගමටයි. තම රටේ ආරක්‍ෂාවට තර්ජනයක් බව පවසා ඉන්දියාව එයට විරෝධය දැක්වීය. ඉන්දියාවේ අවධානය යොමුවුණ තවත් කරුණක් වුණේ ඇමරිකානු හඬ ගුවන් විදුලි සම්පේ‍්‍රෂණාගාරය පුළුල් කිරීමේ ගිවිසුම යි. 1983 අගෝස්තු මස අලූත් කෙරුණ එම ගිවිසුමෙන් අක්කර 1000 ක ඉඩමක් ඇමරිකාවට පැවරුණි. එපමණක් නොව. මුහුදු පතුලේ සබ්මැරීන් මෙහෙයවීමට හා ඒවාට බාධා කිරීමටත්, ගුවන් යානා හැසිරවීමටත් හැකි ගුවන් විදුලි තරංග සම්පේ‍්‍රෂණයට එමගින් ඉඩ ලැබිණි. ඉන්දියානු සාගර කලාපයේම ආරක්‍ෂාවට එයින් බලපෑම් එල්ලවන නිසා ඉන්දියාව එයට විරෝධය පෑවත්, ලක් රජය ඒ ගැන නොසලකා හැරීම ඉන්දියාවේ කෝපයට හේතුවිණි.
 
 එක්සත් ජනපදය තමන්ට කළ උදව්වට හිලව් වශයෙන් ඊළාම් ත‍්‍රස්තවාදය පැරදවීම සඳහා ශ‍්‍රී ලංකාවට සහයෝගය දෙන්නට ඉදිරිපත් විය. එක්සත් ජනපදයේ ආරක්‍ෂක ලේකම් කැස්පර් වයින්බෙර්ගර් සහ ජනාධිපති රොන්ල්ඞ් රේගන්ගේ විශේෂ නියෝජිත වර්නන් වෝල්ටර්ස් වරින්වර ශ‍්‍රී ලංකාවට පැමිණ ඊශ‍්‍රායලය හා පාකිස්තානය මාර්ගයෙන් යුද්ධයට වුවමනා ආයුධ සහ හමුදා පුහුණුව ලබාදුනි. විරසක වූ ඉන්දියාව එයට ප‍්‍රතිචාර දැක්වූයේ ත‍්‍රිකුණාමලය හෝ වෙනත් කිසිදු වරායක් ඉන්දියාවේ ආරක්‍ෂාවට හානිවන පරිදි කිසිදු රටකට ලබා නොදීම ඉන්දු-ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස තෙල් ටැංකි පරිශ‍්‍රය පවත්වාගෙන යෑම, ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක ඔත්තු සපයන ගුවන් විදුලි සේවා නතර කිරීම වැනි කොන්දේසි යටතේ 1987 ඉන්දු-ලංකා ගිවිසුමට බලහත්කාරයෙන් අත්සන් ගැනීමෙනි. අප අපගේ භූමි ප‍්‍රදේශ, එකිනෙකාගේ සමගියට, භෞමික අඛණ්ඩතාවයට සහ ආරක්‍ෂාවට අහිතකරවන ලෙසට භාවිත කිරීමට ඉඩ නොදීමට ගන්නා ලද තීරණය නැවත තහවුරු කිරීම වැදගත් වන්නේ යැයි එහි සඳහන් වෙයි. 2002 වසරේ දී එකල පැවැති රජය ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දීය තෙල් සමාගමට පැවරුවේය. එය සාගර කලාපයේ උපායමාර්ගික වශයෙන් ඉන්දියාව ලද ජයග‍්‍රහණයකි. පාවිච්චි නොකරන තෙල් ටැංකි කීපයක් බොරතෙල් ගබඩා කර ගැනීම සඳහා පසුගිය කාලයේ ලක්රජය ඉල්ලා සිටියත් එය නොලැබිණි.
 
 මහින්ද රාජපක්‍ෂ පාලන සමය චීනය දෙසට නැඹුරුවීම ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ උදහසට හේතුවකි. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම, කොළඹ පෝට්සිටි ව්‍යාපෘතිය ඉන්දියානු සාගරයේ පමණක් නොව ආසියානු කලාපයේ බල අරගලය සමඟ බැඳී පවතී. ජාත්‍යන්තර භූදේශපාලනයේ දී ශ‍්‍රී ලංකාව සැලකෙන්නේ චීනයේ ගැත්තකු ලෙසිනි. එම හංවඩුව නැති කරගැනීම ශ‍්‍රී ලංකාවේ වගකීමකි. ඉන්දියාව සහ එක්සත් ජනපදය යන දෙරටෙහි ම පොදු සතුරා වන්නේ මහජන චීනය යි. ඒ නිසා පොදු සතුරාට එරෙහිව දෙරටම එක යුද පෙරමුණක ගමන් කරයි. කලක් ඉන්දියාව තම සතුරකු ලෙස සැලකූ එක්සත් ජනපදය අද ඒ රටේ මිතුරෙකි. දෙරටෙහි එකමුතුව ශ‍්‍රී ලංකාවේ අනාගත පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මක වූවකි. ඉන්දියාව සහ එක්සත් ජනපදය දැනට ආරක්‍ෂක ගිවිසුම් කීපයක් අත්සන් කොට ඇත. 2005 ජූලි 18 වැනි දින මන්මෝහන් සිං අගමැතිවරයා න්‍යෂ්ටික නිෂ්පාදන සඳහා ඇමෙරිකානු ආධාර ලබා ගැනීමේ ඇමරිකා - ඉන්දියා ගිවිසුමට U.S. lndia civil nuclear agreement අත්සන් කළේය. පොදු සහ හමුදාවල අවශ්‍යතා සඳහා න්‍යෂ්ටික පහසුකම් හා තාක්‍ෂණය හුවමාරුව වැනි කරුණු එම ගිවිසුමට ඇතුළත්ය. යුද ගුවන් හමුදා මෙහෙයුම් සහ මිසයිල යැවීම සඳහා නිශ්චිත ඉලක්ක හඳුනාගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදීමේ අවබෝධතා ගිවිසුම (Logistics Exchange memorandum of Agreement LEMOA) 2016 වසරේ ඉන්දියාව අත්සන් කළේ ජනාධිපති බැරක් ඔබාමාගේ මෙහෙයුමෙනි.
 
 2018 වසරේ දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පි ඕ සහ ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් විසින් සන්නිවේදන පහසුකම් සැපයීමේ ආරක්‍ෂක ගිවිසුම The Communications Compatibility and security Agreement (COMCASA) අත්සන් කෙරුණ අතර 2020 ඔක්තෝබර් මස අග දී මයික් පොම්පි ඕ නැවත ඉන්දියාවට ආවේ මුල් ආරක්‍ෂක ගිවිසුම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහාය. ඉන්දියානු සාගරයේ ගමන් කරන ගුවන් යානා, සබ්මැරීන්, නාවික යාත‍්‍රා පිළිබඳ තොරතුරු හා ඒවාට පහරදීම සඳහා ඉලක්කයන් චන්ද්‍රිකා මාර්ගයෙන් ලබාදීම, ප‍්‍රහාරක යානා අතර සම්බන්ධීකරණය, ඒකාබද්ධ හමුදා පුහුණුව ආදී මූලෝපායන් හුවමාරු කර ගැනීමේ සහයෝගිතා ගිවිසුමට Basic Exchange and cooperation Agreement BECA පොම්පි ඕ අත්සන් කළේය. එක්සත් ජනපදය ඉන්දියාව හඳුන්වන්නේ ප‍්‍රධාන ආරක්‍ෂක හවුල්කරුවා Major Defence Partner වශයෙනි.
 
 එක්සත් ජනපදයේ ව්‍යාප්තවාදී නවලෝක සැලැස්ම ඉන්දු - පැසිපික් සාගර කලාප දෙකම ආවරණය කෙරෙන්නකි. ඒ සඳහා ඉන්දියාවට අමතරව ජපානය සහ ඔස්ටේ‍්‍රලියාව ද සම්බන්ධ කරගෙන ආරක්‍ෂක චතුරශ‍්‍ර සංධානයක් (Quad) පිහිටුවා ගෙන ඇත. ඒකාබද්ධ නාවික හමුදා පුහුණුවීම් හා හමුදාවන් අතර සබඳතා පවත්වාගෙන යෑම එහි අරමුණයි. 2020 ඔක්තෝබර් මස 06 වැනි දින ජපානයේ පැවැති ආරක්‍ෂක චතුරශ‍්‍ර සන්ධානයේ සාකච්ඡාවේදී මයික් පොම්පි ඕ චීනයට දොස් පවරමින් රටවල් සූරාකන්නෙක් ලෙස හැඳින්විය. චීනයේ දූත පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ දෙරට අතර සහයෝගිතාවය ශක්තිමත් කර ගැනීමට මුදල් ආධාර දුන්නේ මයික් පොම්පි ඕ ඔක්තෝබර් 29 වැනි දින ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව දැනගෙන ය. දූත පිරිස අපේ රාජ්‍ය නායකයන් සමග කථා කළේ මොනවාදැයි එළිදරව් නොවුණත්, ඇමෙරිකාව සමග ගිවිසුම් අත්සන් කරන්න එපා යැයි ඇතැම්විට කියන්නට ඇත. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ ඉදි කෙරුණේ චීනයෙන් ලබාගත් විශාල ණය ආධාර යටතේ ය. ඒ ගැන දැඩි විවේචන ඉදිරිපත් කළ විපක්‍ෂයෙන්, එකල විපක්‍ෂය 2015 වර්ෂයේ ආණ්ඩු බලය ලබාගත් පසු කළේ හම්බන්තොට වරාය අවුරුදු 99 කට බද්දකට චීනයට පැවැරීමයි. ණයකාරයාට ම සින්නක්කර දීමකි. අවසානයේ මුදලූත් නැත. වරායත් අපට නොමැත. චීනයේ මැදිහත්වීම ජාත්‍යන්තර අර්බුදයක්ව තිබියදී වරාය චීනයට පැවැරීමෙන් යහපාලන රජය සිදු කළේ බරපතළ වරදකි. ඒ ගැන ඉන්දියාව උරණ වූ විට එම රජය පැවැසුවේ අමනාපය නැති කරගන්නට මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන බවයි. ඒ ගැන වාදවිවාද පවතිද්දී කොළඹ වරායේ නැෙඟනහිර ජැටිය ඉන්දියාවට දීමේ ගිවිසුම දියත් විය. එය ආර්ථික වශයෙන් මෙන්ම ආරක්‍ෂාවට ද තර්ජනයකි. එසේ කළේ පෝට් සිටි හා කොළඹ දකුණු ජැටිය චීනයට පැවැරූ බැවිනි. මත්තල ගුවන් තොටුපොළ ඇමරිකානු සමාගමකට පවරාදෙන බවට රාවයක් ද පවතියි. තරගකාරී වූ ලෝක බලවතුන් එකිනෙකා සතුටු කිරීමට යෑමෙන් සිදුවන්නේ ඉන්දියානු සාගරයේ දිනෙන් දින දරුණු වන බල අරගල රැල්ලට ශ‍්‍රී ලංකාව මැදිවීම යි.
 
 මයික් පොම්පි ඕ ශ‍්‍රී ලංකාවට ආවේ හිතවත්කමට යැයි පැවැසුවත්, ඔහු මෙහි පැමිණ කළේ චීනයට ඇණුම්පද කීම හා ශ‍්‍රී ලංකාවට තරවටු කිරීමයි. චීනය යනු මුහුදේත්, ගොඩබිමේත් නීතියට ගරුනොකරන නීතියට පටහැනි ගිවිසුම් ඇති කරන, රටවල ස්වාධීනත්වය නොතකන විලෝපිතයෙකි. ශක්තිමත් ස්වාධීන ශ‍්‍රී ලංකාවක් යනු ඇමරිකාවට උපායමාර්ගික හවුල්කරුවෙකි. ඉන්දු-ශාන්තිකර කලාපයට ශක්තියකි. අපි එන්නේ මිත‍්‍රයකුගේ විලාසයෙනි. එසේ වුවත් ශ‍්‍රී ලංකාව චීනයේ ණය උගුලකට අහුවෙලා යැයි පොම්පි ඕ පැවසීය. ඔහුගේ ඇණුම් පදයට ක්‍ෂණිකව ප‍්‍රතිචාර දැක්වූ චීන තානාපති කාර්යාලය කියා සිටියේ චීනය සහ ශ‍්‍රී ලංකාව අතර සබඳකම්වලට පිටසක්වලයන් සහ විලෝපිතයන් මැදිහත්වන්නට වුවමනා නැත. ඒ සඳහා අවබෝධය අපට තිබේ. නිදහස් කුඩා රටවලට පැත්තක් ගන්නට බලකරන ඇමරිකාව දෙපිටකාට්ටුවෙක් යනුවෙනි. සැබැවින්ම එය සටන් බිමකට පැමිණි දෙදෙනකු වහසි බස් දෙඞීමක් වැනිය. ශ‍්‍රී ලංකාවට අසීරු වුවත්, අත්‍යවශ්‍ය තීරණයක් ගන්නට සිදුවනු ඇත යනුවෙන් පොම්පි ඕ පැමිණීමට පෙර ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් අනතුරු හැඟවීමක් කර තිබිණි. ජාත්‍යන්තර සබඳකම්වල දී ශ‍්‍රී ලංකාවේ ස්වාධීනත්වය කැපකිරීමට කිසිම විටෙක අප සූදානම් නැත. ශ‍්‍රී ලංකාව අනුගමනය කරන්නේ මධ්‍යස්ථ ප‍්‍රතිපත්තියකි. බෙදුම්වාදී යුද්ධය නිමාවූ පසු චීනය අපේ රටේ සංවර්ධනයට හවුල් විය. එය ණය උගුලක් නොවේ යැයි අපේ ජනාධිපති තුමා පොම්පි ඕට පැහැදිලි කළේ ය. ශ‍්‍රී ලංකාව ඉන්දියානු සාගරය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ නිෂ්ක‍්‍රීය neutral හා නොබැඳි non-aligned ප‍්‍රතිපත්තියකි.
 
 ලෝකයේ දැනට පවතින බලතුලනය අනුව සන්නද්ධ අරගලයකට තිබෙන ඉඩකඩ සීමිත ය. කුමන සුන්දර වචන පැවැසුවත්, එක්සත් ජනපදය හා ඉන්දියාව බලන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රායෝගික හැසිරීම දෙස යි. ශ‍්‍රී ලංකාවේ චීන නැඹුරුව තවත් වැඩිවුවොත් ශ‍්‍රී ලංකාව තුළ උතුරේ ෆෙඩරල් රාජ්‍යයක් කොට බලය දුබල කිරීමට ඉන්දියාව අනුබල දෙනු ඇත. එක්සත් ජනපදය නව ප‍්‍රවේශයකින් හෝ එම්. සී. සී. (M.C.C.) සහ සෝපා (SOFA) ගිවිසුම් යටතේ ශ‍්‍රී ලංකාවේ භූමිය හා මුහුදු කලාපය අත්පත් කර ගැනීමට සැලසුම් දියත් කරනු ඇත. ගිවිසුම් අත්සන් කිරීම සිහිනෙන්වත් නොකරන බව අපේ ජනාධිපතිතුමා ජනතාව ඉදිරියේ පොරොන්දු විය. හැටනව ලක්‍ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ මහතා කෙරෙහි විශ්වාසයෙන් බලයට පත්කර ගත්තේ එවැනි අනතුරුවලින් අපේ මවුබිම බේරා ගැනීමට යි. චීනය යනු දුෂ්කර අවස්ථාවල අපට පිහිට වූ මිතුරු රටකි. එය තවත් තහවුරු කරගනිමින් ඉන්දියාවේ හා එක්සත් ජනපදයේ සැකබිය දුරුකොට හිතවත්ව තබා ගැනීම වත්මන් රජයට තිබෙන ප‍්‍රබල අභියෝගය යි.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles