Divaina - කොරෝනා වසංගතය හමුවේ අයවැය ඉලක්ක ජය ගැනීම...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

budget
  

ශ්‍යාම් නුවන් ගනේවත්ත
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


2021 වර්ෂය සඳහා වන වත්මන් ගෝඨාභය රාජපක්ෂ රජයේ ප‍්‍රථම අයවැය ලේඛනය පසුගිය නොවැම්බර් 17 වැනිදා අග‍්‍රාමාත්‍ය සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ වන විට පාර්ලිමේන්තුවේ අයවැය විවාදය ආරම්භ වී ඇත. ඒ අනුව අයවැයේ අන්තර්ගතය ගැන බොහෝ වාද විවාද සිදු වෙමින් තිබේ. කෙසේ හෝ මේ අයවැය ඉදිරිපත් වූයේ අපේ රට කොරෝනා වසංගතයේ අහිතකර බලපෑම්වලට තදින් මුහුණ දෙමින් සිටින තීරණාත්මක අවස්ථාවකය. මේ අභියෝග හමුවේ අපගේ ආර්ථික ඉලක්ක ඉටු කර ගැනීම පවා ලෝකයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය වීම සහ අපේ රටේ කොරෝනා ව්‍යාප්තිය හා එය මර්දනයේ සාර්ථකත්වය මත දැඩි රඳා පැවැත්මක් ඇති බව අප අයවැයට පෙරම කියා සිටියෙමු. ඒ නිසාම මේ අයවැයේ ඇති ඉලක්ක ද බොහෝ දුරට යථාර්ථවාදී වනු ඇත්තේ මේ කරුණ මතය. අපට මේ අයවැයේ ඉලක්ක දෙස බැලීමට සිදු වන්නේ ද එවැනි පසුබිමක සිටය. ලෝකයේ කොරෝනා වසංගතය සැලකිය යුතු කාලයක් තිබෙනු ඇත. ඒ නිසා අපට එම කාලය තුළ ඊට අනුගතව සෞඛ්‍ය උපදෙස්වලට අනුගමනය කරමින් කොරෝනා සමග ජීවත් වීමට සිදු වේ. එසේ වුවත් අපට රටක් ලෙස අප රට තුළ මේ වසංගතය සෑහෙන දුරකට සමාජ පැතිරීමක් නොමැති තත්ත්වයකට පාලනය කර ගත හැකිය. එසේ මෙම වසංගත තත්ත්වය ඉක්මණින් පාලනය කරගෙන නැවත දේශීය ආර්ථික කටයුතු වේගවත් ලෙස පණ ගන්වා ගත හැකි නම් අපට මේ කියන ඉලක්කවලට ළඟා වීම බොහෝ දුරට යථාර්ථවාදී වනු ඇත. අපට ගෝඨාභය රාජපක්ෂ රජයේ පළමු අයවැය ගැන සාකච්ජා කිරීමට සිදු වන්නේ මෙවන් පසුබිමකය.

අයවැය සාරාංශය නමින් අයවැය ඇස්තමේන්තු ගැන සාරාංශයක් අයවැය ලේඛනයේ අන්තර්ගත වේ. මුලින්ම අයවැය ලේඛනයේ ඇති එම මූලික අයවැය ඇස්තමේන්තු ගැන අපි අවධානය යොමු කරමු. ඒ අනුව 2021 වසරේ මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 2029 ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. එයට රු. බිලියන 68 ක පළාත් සභා බදු ආදායම සහ රු. බිලියන 10 ක ප‍්‍රදාන ද ඇතුළත්ය. 2021 වසරේ ඇස්තමේන්තුගත රාජ්‍ය වියදම රු. බිලියන 3594 කි. අයවැය හිඟය ලෙස අදහස් කරන්නේ කිසියම් වර්ෂයක ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම සහ ඇස්තමේන්තුගත රාජ්‍ය වියදම අතර පරතරයයි.

මේ අනුව ලබන වසර සඳහා ගණනය කළ සමස්ත අයවැය හිඟය රු. බිලියන 1565කි. 2020 වසරේ අපේක්ෂා කරන අයවැය හිඟය රු. බිලියන 1266 ට සාපේක්ෂව ලබන වසරේ අයවැය හිඟය රු. බිලියන 300 කින් පමණ එනම් රු. කෝටි 30,000 කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස අයවැය හිඟය මේ වසරේ (2020) ඇස්තමේන්තු කර ඇති සියයට 7.9 සිට ලබන වසරේ (2021) දී සියයට 8.9 ක් දක්වා ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. ආදායම් හිඟය ලෙස අදහස් කරන්නේ රජයේ මුළු ආදායම සහ පුනරාවර්තන වියදම එනම් එදිනෙදා වියදම අතර පරතරයයි. මේ අනුව ගණනය කළ මේ වසරේ (2020) ආදායම් හිඟය රු. බිලියන 865 ක් වන අතර එය ලබන වසරේ (2021) දී රු. බිලියන 515 ක් දක්වා අඩු කර ගැනීමට ද රජය මෙවර අයවැයෙන් ඉලක්ක කර ඇත. ආදායම් හිඟයක් තිබීමෙන් අදහස් වන්නේ රජයේ එදිනෙදා වියදමවත් පියවා ගැනීමට රාජ්‍ය ආදායම ප‍්‍රමාණවත් නොවන බවයි. වෙනත් වචනවලින් කියන්නේ නම් රජයේ ප‍්‍රාග්ධන වියදම් දැරීම සඳහා රාජ්‍ය ආදායමින් ශතයක්වත් ඉතුරු නොවන බවයි. මේ නිසා රජයට එදිනෙදා වියදම්වලින් එනම් පුනරාවර්තන වියදම්වලින් කොටසක් පවා දැරීමට පවා සිදුව ඇත්තේ ණය වීමෙනි. මේ තත්ත්වය අඩු කර ගැනීමට රජය ඉලක්ක කර තිබීම හොඳ දෙයකි. එහෙත් මේවා රාජ්‍ය අයවැය ලේඛනයේ සඳහන් ඉලක්ක පමණක් බවත් අයවැයක සඳහන් දේ එලෙසින් ඉටු වීමට මෙන්ම නොවීමට ද පුළුවන් බවත් අප අමතක නොකළ යුතුය.

කොරෝනා මර්දන ක‍්‍රියාමාර්ග හමුවේ ආර්ථික කටයුතු අඩපණ වීමක් සිදු වේ. මෙසේ ආර්ථික කටයුතු අකර්මන්‍ය වූ වීම රජයේ බදු ආදායමට ද බලපායි. එසේම කොරෝනා වසංගතය හමුවේ රජය නොයෙකුත් සහන ද ජනයාට ලබා දී ඇත. කොරෝනා වසංගතයට පෙර රජය වැට් බද්ද සියයට 8 දක්වා අඩු කළ අතර එය මෙවර අයවැයෙන් ද නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත. කොරෝනා වසංගතය හමුවේ මේ වසරේ මහ බැංකුව අපේක්ෂා කරන ආර්ථික වර්ධනය සියයට ඍණ 1.7 කි. මෙය මහ බැංකුව පුරෝකතය කළේ ඔක්තෝබර් මාසයේ අග දී නිකුත් කළ ‘මෑතකාලීන ආර්ථික ප‍්‍රවණතා’ වාර්තාවෙනි. එහෙත් ඊට පසුව කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තිය මුලින් සිතුවාට වඩා වැඩි වී ඇති අතර මේ නිසා එම රැල්ල පාලනය කර ගැනීමට ගත් ක‍්‍රියාමාර්ග හමුවේ නැවත ආර්ථික කටයුතුවලට අහිතකර බලපෑම් ඇතිව තිබේ. එසේම තවදුරටත් ඇති වෙමින් ද තිබේ. මේ වෛරසය මුල් අවස්ථාවට වඩා වේගයෙන් පැතිර යන ස්වභාවයක් ඇති බවට සෞඛ්‍ය අංශ පැවසීම නිසාත් මෙවර දිනපතාම පාහේ විශාල වශයෙන් ආසාධිතයන් වාර්තා වීම නිසාත් ජනයා පළමු කොවිඞ් රැල්ල අවස්ථාවට වඩා නිවසින් එලියට පැමිණීමට බියක් දක්වන බවක් පෙනේ. මේ තත්ත්වය ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට අහිතකර ලෙස බලපානු ඇත. මේ නිසා බොහෝ විට මේ වසරේ මහ බැංකුව අපේක්ෂා කරන අගයට වඩා ආර්ථික සංකෝචනයක් එනම් සියයට ඍණ 1.7 කට වැඩි ආර්ථික පසුබෑමකට මුහුණ දීමට සිදු වනු ඇති බව අපගේ අදහසයි. මේ නිසා රජය මේ අයවැයෙන් ඉලක්ක කර ඇති සියයට 5.5 ක ඉහළ ආර්ථික වර්ධනය ලබා ගැනීම අභියෝගාත්මක ඉලක්කයකි. මෙසේ කොරෝනා වසංගතය ව්‍යාප්තවීම සහ එය මර්දනය කර ගැනීමේ සාර්ථකත්වය මත ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් වීම ද රඳා පවතින නිසා රජය ඉලක්ක කරන බදු ආදායම ලබා ගැනීමට ද එය බලපානු ලබයි. රජය ලබන වසරේ රු. බිලියන 1724 ක බදු ආදායමක් ලබා ගැනීමට රජය ඉලක්ක කර ඇත. මේ වසර (2020) සඳහා ඇස්තමේන්තු කර ඇති බදු ආදායම රු. බිලියන 1358 කි. මේ අනුව මේ වසරට වඩා බදු ආදායම රු. බිලියන 366 කින් පමණ ඉහළ නංවා ගැනීමට ද රජය අපේක්ෂා කරයි. මේ අනුව ආදායම් බදු ආදායම රු. බිලියන 324 සිට රු. බිලියන 371 දක්වා ද, භාණ්ඩ හා සේවා මත බදු ආදායම රු. බිලියන 631 සිට 823 දක්වා සහ විදේශ වෙළෙඳාම මත බදු ආදායම රු. බිලියන 403 සිට 530 දක්වා ද වැඩි කර ගැනීමට රජය ඉලක්ක කර ඇත. මේ ඉලක්ක ඉටු කර ගැනීමට හැකි වුවහොත් පමණක් අපට රජය කියන රු. බිලියන 1565 ක අයවැය හිඟය මට්ටමේ සිටීමට හැකිවනු ඇත. එසේ නැතහොත් අයවැය හිඟය ඉහළ ගොස් අපට තවත් ණය වීමට සිදු වේ. එසේ නැතහොත් සිදු වන්නේ අපේ ඇස්තමේන්තුගත වියදම් අඩු කර ගැනීමටය.

අනිවාර්ය විශ‍්‍රාම ගැනීමේ වයස යන සිරස්තලය යටතේ මෙවර අයවැයේ අන්තර්ගත අයවැය යෝජනාවට බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුව ඇත. මේ යෝජනාව ක‍්‍රියාත්මක වන ආකාරය ගැන බොහෝ දෙනෙක් අපගෙන් ද විමසීම් කරනු ලැබූහ. මේ නිසා එම අයවැය යෝජනාව ගැන අප වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්ය. අයවැයේ අන්තර්ගත එම අයවැය යෝජනාව මෙසේයි.

‘අනිවාර්ය විශ‍්‍රාම ගැනීමේ වයස කාන්තාවන් හා පිරිමින් වශයෙන් වෙන් කිරීම සාධාරණ නෑ. රාජ්‍ය අංශයේ විශ‍්‍රාම ගැනීමේ වයස අවුරුදු 60ක් වන අතර පෞද්ගලික අංශය අවුරුදු 55ට සීමා කර තිබෙනවා. කාන්තාවන් සඳහා අඩු වයසක්ද ක‍්‍රියාත්මක වෙනවා එසේ වුවත් කාත්තාවන්ගේ ජීවිත අපේක්ෂාව අවුරුදු 76.6 වන අතර පිරිමින්ගේ ජීවිත අපේක්ෂාව අවුරුදු 72ක් වෙනවා. එබැවින් පවත්නා ඉහළ ජීවිත අපේක්ෂා පාදක කරගෙන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ කාන්තා හා පිරිමින් සඳහා විශ‍්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කරනවා. සේවක අර්ථසාධක අරමුදල් පනත හඳුන්වා දෙන අවධියේ අපේ රටේ පිරිමින්ගේ ජීවිත අපේක්ෂාව අවුරුදු 58.8ක් හා කාන්තාවන්ගේ 57.5ක් පමණ අඩු වයසක් බව පෙන්වා දීමටද කැමතියි.’

අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු එය රටේ නීතියක් බවට පත් වේ. ඒ අනුව පෞද්ගලික අංශයේ අවුරුදු 55ට සීමා කර තිබෙන විශ‍්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 ක් බවට පත් වේ. එහෙත් එය බලාත්මක කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදල් පනතට අදාළ සංශෝධන සිදු කර කාන්තා හා පිරිමින් සඳහා විශ‍්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කළ යුතු වේ. එම වෙනස්කම් අයවැයෙන් පසු පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත යුතු ඒවාය. එවිට පුද්ගලික අංශයේ සේවකයන්ට වයස අවුරුදු 60 දක්වා රැකියාව කිරීමට අවස්ථාව සැලසේ. මේ යෝජනාව නිසා සිදු වන්නේ පුද්ගලික අංශයේ විශ‍්‍රාම ගැනීමේ වයස අවුරුදු 55 සිට 60ක් දීර්ඝ වීමයි. එහෙත් මේ නිසා එම සේකයන්ගේ අර්ථසාධක අරමුදල් වලට කිසිදු හානියක් නොවන අතර ඔවුන්ට වයස අවුරුදු 60 දී විශ‍්‍රාම යෑමේදී එම මුදල් පොලියද සමග ලබා ගැනීමට හැකි වේ. එහෙත් නව යෝජනාව අනුව විශ‍්‍රාම ගැනීමේ වයස 60 ක් දක්වා වැඩි වන නිසා ඔවුන්ට තම අර්ථසාධක මුදල් ශේෂය ගැනීමට හැකි වන්නේ වයස අවුරුදු 60 දීය. එහෙත් ඇතැම් අය 55 සම්පූර්ණ වීමෙන් පසු තවත් කාලයක් රැකියාව කිරීමට කැමති වුවත් තවත් ඇතැම් අය තම අර්ථසාධක අරමුදල් ශේෂය ගැනීම වසර පහකින් ප‍්‍රමාද වීම ගැන නොසතුටට පත්ව සිටිති. ඒ හැර එම අරමුදල් ශේෂයට වෙනත් කිසිම බලපෑමක් ඇති නොවන බව අපගේ අදහසයි. කෙසේ වෙතත් මේ යෝජනාව ක‍්‍රියාත්මක වන ආකාරය හරියටම දන්නේ රජයයි. මේ නිසා ජනයා තුළ මෙකී අයවැය යෝජනාව ක‍්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඇති අපැහැදිලි තැන් රජය විසින් නිරවුල් කළ යුතු කිරීම වැදගත්ය. මේ සම්බන්ධයෙන් අප මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගෙන් ද කරුණු විමසු අතර ඔහු පැවසුවේ අයවැය සම්මත වීමෙන් පසු එය නීතිගත කිරීමට රජය පියවර ගන්නා බවයි.


*****************************************************************************************


රාජ්‍ය ආදායම් ඉලක්ක ඉටු කර ගන්න පුළුවන්

budget2

ප‍්‍රශ්නය - මෙවර අයවැයේ ආදායම් ඉලක්ක යථාර්ථවාදී නැති බවත් ඒ නිසා ඒවා ඉටු කර ගැනීමට අපහසු බවටත් විපක්ෂයේ මන්ත‍්‍රීවරු පවසනවා. මේ ගැන ඔබේ පිළිතුර කුමක් ද ?

පිළිතුර - විපක්ෂය මොකක් හරි කරන්න බෑ කියන එක තමයි ඒ අය දිගටම ඉඳල තියන ස්ථාවරය. ඒ අය යුද්ධ කරන්න බෑ කිව්වා. අපට ආර්ථික වර්ධන වේගයක් ගන්න බෑ කිව්වා. අපට සංචිත වර්ධනය කරගන්න බෑ කිව්වා. ඒ වගේම අපට උද්ධමනය පාලනය කරන්න බැහැ කිව්වා. විපක්ෂය බෑ බෑ කිව්වට ඒ බෑ කිව්වා ඔක්කොම අපි කෙරුවා. ඒ නිසා අපි මේවා කරද්දී ඒ අයට පුදුමයක් වෙන්න පුළුවන්. ඒ අය බැහැ කියන දේවල් අපි දිගටම කරලා පෙන්වල තියෙනවා.

මෙතැනදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ආර්ථික කටයුතු වැඩි වෙන විට ගනුදෙනු සිදු වීම වැඩි වෙන විට ඒ අනුව ජනයා අතේ තිබෙන ආදායම් මට්ටම් වැඩි වෙන විට ඒ අය කරන ක‍්‍රියාමාර්ග හරහා සම්පත් වර්ධනය වන විට, අලූත් ආකාරයට පිටින් තිබෙන මුදල් රටට ගලාගෙන එන විට යනාදී වශයෙන් ඒ සියලූම අවස්ථා වලදී අලූතින් බදු රජයට එකතු වීමක් සිදු වෙනවා. මේ බදු එකතු වීම වර්ධනය වීමෙන් තමයි අපි මේ ගණනය කිරීම කරලා තියෙන්නේ. ඒ වගේම අපේ බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාවත් අපි වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සියලූම දේවල් එක ආකාරයට සිදු වෙන්න පටන් ගත්තම ආදායමේ වැඩි වීමක් ඇති වෙනවාමයි.

ප‍්‍රශ්නය - ඔබතුමා කියන්නේ ආර්ථික ක‍්‍රියාකාරකම් වර්ධනය වීමත් සමග රජයට උපයා ගත හැකි බදු ආදායම ඉහළ යන බවයි?

පිළිතුර - ඔව් අනිවාර්යෙන්ම වැඩි වෙනවා. අන්න ඒ මත තමයි අපේ මේ පුරෝකථනය සිදු කරලා තියෙන්නේ. මම හිතන්නේ අනිවාර්යෙන්ම එය සිදු වේවි. අපි ඒ ගැන විශ්වාසය තබා ගෙන කටයුතු කරගෙන යනවා. මට හිතෙන්නේ එම පුරෝකථනය ඉටු කට ගන්න පුළුවන් වෙයි කියන එක තමයි මගේ අදහස.

ප‍්‍රශ්නය - මෙවර අයවැයෙන් පුද්ගලික අංශයේ සේවා කාලය අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම ගැනත් ලොකු කතා බහක් ඇති වී තිබෙනවා. මේ යෝජනාව ක‍්‍රියාත්මක වෙන්නේ කොහොම ද?

පිළිතුර - රජය ඒ ගැන ඉදිරියේ තවදුරටත් පැහැදිලි කිරීම් කරයි. ඒ වුණත් මම කියන්න කැමතියි අපේ රටේ අවුරුදු 55 න් විශ‍්‍රාම යෑම ගැන තීරණයක් අරන් තිබුණේ ජනයාගේ ජීවිත අපේක්ෂාව මීට වඩා බොහෝ අඩු මට්ටමක පැවතියදීයි. ඒ කාලයේ පැවති එම අඩු ජීවිත අපේක්ෂාව අනුව තමයි මේ විශ‍්‍රාම ගැනීමේ වයස තීරණය කරලා තියෙන්නේ. ඒ අනුව එම වයසෙන් පසුව සාමාන්‍යයෙන් ජීවත් වුණේ අවුරුදු දහයක් පමණ කාලයක්. එහෙත් දැන් තිබෙන දියුණු සෞඛ්‍ය තත්ත්වයන්, ආහාර අනුභව කිරීමේ තිබෙන ප‍්‍රවණතා නිසා සහ ව්‍යායාම කිරීම වැනි හේතු අනුව දැන් බොහෝ දෙනෙක්ගේ ආයු අපේක්ෂාව වැඩි වෙලා තියෙනවා. එනම් එසේ කාත්තාවන්ගේ ජීවිත අපේක්ෂාව අවුරුදු 76.6 වන අතර පිරිමින්ගේ ජීවිත අපේක්ෂාව අවුරුදු 72ක් වෙනවා. ඒ අනුව අවුරුදු 55 දී විශ‍්‍රාම ගිහින් තවත් අවුරුදු 20 ක් පමණ ඒ අය ජීවත් වෙනවා. එතැනදී සිදු වීම් දෙකක් වෙනවා. එනම් හොඳට වැඩ කරන්න පුළුවන් සෞඛ්‍ය තත්ත්වයෙන් හිටියත් ඒ අය විශ‍්‍රාම අරන් ගෙදරට වෙලා නිකන් ඉන්නවා. අනිත් පැත්තෙන් ඒ අයගේ ශ‍්‍රම දායකත්වය රටට ලැබෙන්නේ නැහැ. එසේම වැඩ කරන ජනයාට සිදු වෙනවා මේ අය වෙනුවෙන් කටයුතු කරන්න. ඒ නිසා මේ අය නඩත්තු කිරීමට වැඩ කරන ජනයාට වැඩි පීඩනයක් දරන්න වෙනවා. ඒ නිසා දෙපැත්තෙන්ම සමාජයටයි ආර්ථිකයටයි ඒ පුද්ගලයන්ටයි හැමෝටම යම් ආකාරයකින් පාඩුවක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අරුදු 60 දක්වා අනිවාර්ය විශ‍්‍රාම ගැනීමේ වයස වැඩි කරලා තියෙන්නේ. මම හිතන්නේ දැන් බොහෝ දෙනෙක්ගේ සෞඛ්‍ය තත්ත්වය අවුරුදු 65 දක්වා වුණත් ඉහළ තත්ත්වයක තිබෙනවා. දැනට අපි විශ‍්‍රාම ගැනීමේ වයස 65 දක්වා වැඩි නොකළත් කවද හරි ශ‍්‍රී ලාංකික පුරවැසියන් අවුරුදු 79, 80 දක්වා ජීවත් වෙන විට සාමාන්‍යයෙන් අපට සලකල බලන්න වෙයි අඩු තරමින් අවුරුදු 65 දක්වාවත් විශ‍්‍රාම වයස වැඩි කරන්නට.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles