Divaina - බදු භීතිකාව නැති කරනවා... අඩි 30තුළ ස්වදේශීය නිෂ්පාදන පමණක් අලෙවි කරනවා... Q shop කියන්නේ අලූත්ම සුපර් මාර්කට් ජාලයක්...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 bandula
 
 
 සාකච්ඡා කළේ - 
 සිරිමන්ත රත්නසේක
 
රජයේ ඉදිරි වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ඇතුළු කරුණු කාරණා කීපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාව සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක් කර ගත්තෙමු. එහිදී එම අමාත්‍යංශය විසින් රට පුරා දියත් කිරීමට කටයුතු සම්පාදනය කර ඇති Q shop පිළිබඳව ද විමසා සිටීමට අප අමතක නොකරමු.
 
 පහතින් පෙළ ගැසෙන්නේ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සමඟ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාවයි.
 
 
 ප‍්‍රශ්නය - අයවැය පිළිබඳව විපක්ෂය තුළින් විශාල චෝදනා ප‍්‍රමාණයක් ඉදිරිපත් වෙමින් තිබෙනවා. මෙය කවුරුන් සම්බන්ධයෙන් විශ්වාසය තැබූ අය වැයක් ද..?
 
 පිළිතුර - මෙය මේ රටේ මිනිස්සු සහ සම්පත් ගැන වැඩි විශ්වාසයක් රඳවපු අයවැයක්. ඒ මත ඔවුන්ගේ නිෂ්පාදන දිරි ගන්වනවා. ඒ තුළින් ජාතික ආර්ථිකය ප‍්‍රසාරණය කර ජාත්‍යන්තර වෙළඳපළට භාණ්ඩය යැවෙන ආර්ථිකයත් අප ගොඩ නගනවා. ජාවාරම්කාර නොවන ජාතික ආර්ථිකයක් සඳහා අවශ්‍ය අයවැයක් තමයි මෙවර රජය ඉදිරිපත් කර තිබෙන්නේ.
 
 ප‍්‍රශ්නය - නමුත් විපක්ෂය චෝදනා කරන්නේ මෙවර අය-වැය කළු සල්ලි සුදු කිරීම සඳහා ගෙන ආ අය වැයක් බවයි.
 
 පිළිතුර - ඒ අය කියන කළු සල්ලි සුදු කරන අයවැය කියන්නේ මොකක්ද දන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයෙන් නම් බදු සමා පනත් ගෙනාවා. ඒ පනත් මොනවාද කියලා කියවන්න කියලා මම මුලින්ම චෝදනා කරන අයගෙන් ඉල්ලා සිටිනවා.
 
 ප‍්‍රශ්නය - කළු සල්ලි වලින් සීයට එකක් ගෙවා සුදු කරන්න පුළුවන් බවයි විපක්ෂය අදහස..
 
 පිළිතුර - අප රටේ බදු භීතිකාවක් තියෙනවා. ඒ නිසා මේ රටේ මුදල් තියෙන අය ආයෝජනය කරන්න එන්නේ නැහැ. සල්ලි තියෙන මිනිස්සු වුණත් වාහනයක් ගන්න යනකොටත් එය ලීසිං කරලයි ගන්නේ. ඒ බදු වලට අහුවෙයි කියලයි. බැංකුවකට රුපියල් ලක්ෂ දහයක් දාන්න ගියත් එම මුදල් හම්බ වුණේ කොහොමද කියලා බැංකුවෙන් අහනවා. මිනිහෙක් මොකක් හරි ඉදිකිරීමක් කරන්න ගියත් එහි වැඩ හරියට ඉවර කරන්නේ නැහැ. ඒ ආදායම් බදු දෙපාර්තමේන්තුව සල්ලි ආවේ කොහොමද කියලා හොයන නිසයි. මහ පොළොවේ යථාර්ථය එයයි. මේක තේරුම් ගන්න බැරි විපක්ෂයක් රටට ආයෝජන ගෙන එන්නේ කොහොමද?
 
 මේ රටේ බදු භීතිකාව නැති කරන්න ඕනා. තමන් සතුව ඇති ආදායම්හි ඉපැයීම් පෙන්නන්න නොහැකිනම් එම ආදායමට 1% ක බද්දක් ගෙවා අනෙක් මුදල් කෘෂිකර්මාන්තයේ, කර්මාන්තවල වැනි ආයෝජන වල යොදවන්න හැකියාව මෙවර අයවැයෙන් ලබා දීලා තිබෙනවා. මෙමගින් සිදු කර ඇත්තේ මෙරට ඉන්න මිනිහෙකුට එලියට ඇවිත් නිෂ්පාදන ක‍්‍රියාවලියට දායක වෙන්න අවස්ථාව ලබා දීමයි. මෙය මහා පාප කර්මයක් ලෙස දකිනවා නම් එහෙව් විපක්ෂයකට බලය ලැබුණත් රට කරන්නේ කොහොමද. රට දියුණු කරන්නේ කොහොමද? මෙවර අය-වැය යෝජනා මගින් සිදුවන්නේ නව ව්‍යවසායකයන් බිහිවීමයි. එමගින් රැකියා අවස්ථා බිහි වෙනවා සේම ආදායම් මාර්ගත් උදාවෙනවා. මෙය ‘ආයෝජන ප‍්‍රවර්ධන බදු විමුක්ති පැකේජය’ කියලයි නම් කර තිබෙන්නේ.
 
 ප‍්‍රශ්නය - කොරෝනා වසංගතයෙන් මුළු රටම අකර්මණ්‍ය වී ඇති වටපිටාවක් තුළ එම වසංගතයට මුහුණදීම සම්බන්ධයෙන් මෙවර අය වැයෙන් අවධානයක් යොමු කර නොමැති බව ප‍්‍රබල චෝදනාවක් නැගෙනවා.
 
 පිළිතුර - අප පළමු කොරෝනා රැල්ලට මුහුණ දුන්නේ අයවැයෙන් මුදල් වෙන් කර ගෙනද ? අප මාස දෙකක් ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දුන්නා . එවැනි වියදමක් ලංකාවේ කිසිදු රජයක් සිදුකර නැහැ. ඒ නිසා කොරෝනා වසංගතය හමුවේ හැසිරිය යුතු ආකාරය ආණ්ඩුව දන්නවා. අපි සල්ලි නැතත් ණයට අරගෙන හරි එම මුදල් දුන්නා.
 
 ප‍්‍රශ්නය - ණයට අරන් මුදල් දෙනවා වගේ නෙමෙයි ඇමැතිතුමා මේ වන විට රට ණය කන්දක හිර වෙලයි සිටින්නේ. එසේ වුවත් මෙවර අයවැයෙන් රුපියල් කෝටි ලක්ෂ තුනක් ණය ගන්න යෝජනා කර තිබෙනවා නේද ?
 
 පිළිතුර - අපේ ජීවිත කාලවල එතෙක් මෙතෙක් මුහුණ නොදුන් දැවැන්තම වසංගතයට රට මුහුණ දීලා ඉන්න බව විපක්ෂයේ මන්ත‍්‍රීවරු තවම දන්නේ නෑ වගේ. මෙතරම් ණය ගන්න වෙන එකටත් වගකියන්න ඕනේ පසුගිය යහපාලන ආණ්ඩුවයි. ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකළ පඩිසන් දෙන පාප කර්මයක් ඔවුන් සිදු කර තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - ඒ මොකක්ද ඇමතිතුමා?
 
 පිළිතුර - ඔවුන් අසාමාන්‍ය ණය ප‍්‍රමාණයක් කිසිදු ඵලදායි ව්‍යාපෘතියක් නොකර පසුගිය වසර පහ තුළ අරගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ ජනාධිපති වනවිට මෙරට ණය ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන දෙකයි. එතුමා 2014 රට භාරදෙන විට ණය ප‍්‍රමාණය රුපියල් බිලියන හතයි. ඔහුගේ සමය තුළ රුපියල් ටි‍්‍රලියන 5 ක ණය ප‍්‍රමාණයක් පමණයි වැඩි වී තිබෙන්නේ. යුද්ධයක්, ආර්ථික අර්බුදයක්, ඛනිජ තෙල් අර්බුදයක් ඇතුළු ප‍්‍රශ්න ගණනාවක් තිබියදී තමයි එම ණය ප‍්‍රමාණය වැඩිව තිබෙන්නේ. නමුත් යහපාලන රජයේ වසර පහ තුළ ණය ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 13 දක්වා ඉහළ ගියා. මහින්ද රාජපක්ෂ මහතා වසර දහයක් තුළ රුපියල් තියෙන ටි‍්‍රලියන 5 ක් වෙද්දි ඔවුන්ගේ වසර පහක කාලය තුළ ණය වැඩිවීම රුපියල් ටි‍්‍රලියන හයක්. ඇත්තටම මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය තුළ රටේ අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වුණා. නමුත් යහපාලන රජය සමය තුළ එවැනි කිසිදු ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක වුණේ නැහැ.
 
 ප‍්‍රශ්නය - ඔබ කියන ලෙස විදේශ ණය සම්බන්ධයෙන් දැවැන්ත අර්බුදයකට රට නතුවෙලා නොවේද?
 
 පිළිතුර - ඔව්.. අපට 2029 වසර වන තෙක්ම වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක විදේශ ණය වාරික පොලී ගෙවන්න සිදුව තිබෙනවා. මෙය කෙතරම් ලොකු මුදලක් ද යැයි තේරුම් යන්නේ හම්බන්තොට වරාය විකුණා ගත්තෙත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 දෙස බැලිමෙනුයි. නමුත් අප වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් ගෙවන්න නියමිතව තිබෙනවා. එහෙම නම් මේ වගේ වරායවල් තව කොච්චර විකුණන්න වෙනවද. 2029 වසර වන තෙක් කුමන ආණ්ඩුවක් බලයට පැමිණියත් මෙම ප‍්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා.
 
 ප‍්‍රශ්නය - මෙම ණය අර්බුදයට මුහුණ දිය හැකි විසඳුමක් නොමැති ද ?
 
 පිළිතුර - මම නම් හිතන්නේ මේ සම්බන්ධව ජාත්‍යන්තර සමුළුවක් කැඳවා ණය ප‍්‍රතිව්‍යුහගත කර
 
 ගැනීමක් සිදු නොකළහොත් ප‍්‍රාතිහාර්ය පාන්න කිසිම ආණ්ඩුවකට හැකියාවක් නැහැ.
 
 ප‍්‍රශ්නය - ඇත්තටම අප චීන ණය උගුලක හිර වෙලා නොවේද?
 
 පිළිතුර - බොරුනේ. ඉලක්කම් දන්නැති අය තමයි එහෙම කතා කියන්නේ. බීමත් මිනිහෙක් පාරේ යනකොට කියව කියව යනවා වගේ තමයි අපේ විපක්ෂයත් කතා කියන්නේ. සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාවක් විපක්ෂයට නැහැ. මේක රටේ අවාසනාවක්. අප අරගෙන ඇති සමස්ත ණය ප‍්‍රමාණයෙන් 10% ක් ම පමණයි චීන රජයෙන් අරගෙන තිබෙන්නේ. අනෙක් සියයට 90% ක ණය මුදල් අප අරගෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, විදෙස් රටවල් ඇතුළු වෙනත් ණය ලබා ලබා ගැනීමේ මාර්ග තුළිනුයි. ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව ගෙන එය බලා තේරුම් ගැනීමට විෂයානුබද්ධ හැකියාවක් විපක්ෂයට නෑ. ඇත්තටම රාජ්‍ය මූල්‍ය පිළිබඳව එහි සංඛ්‍යා දත්ත පිළිබඳව විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් හොඳින් දැනගෙන සිටිය යුතුයි. පාර්ලිමේන්තුවේ කඩා වැටීමටත් මෙම විෂයානුබද්ධ දැනුම නොමැතිකම හේතුවක් වෙලා තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - පුද්ගලික අංශයේ සේවකයන්ගේ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු හැටක් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ කියන්නේ මෙම තීරණය සේවක අර්ථසාධක අරමුදලේ මුදල් වලට මාන බලා ගත් තීරණයක් බවයි.
 
 පිළිතුර - එහෙම අදහසකින් එම තීරණය අරගෙන නැති බව විශේෂයෙන් කියන්න ඕන. වයසට ගොස් පරිණත වෙද්දී තමයි ඒ අයගේ හොඳම ප‍්‍රතිඵල ලැබෙන්නේ. බලන්න ලෝකයේ බලවත්ම රට වන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස එරට ජනතාව තෝරා ගත්තේ වයස අවුරුදු හැත්තෑ හතක් වන පුද්ගලයෙක්. වැඩිපුරම අත්දැකීම් එකතු වන්නේ වැඩ කිරීමත් සමගයි. ඇත්තටම දැන් අපගේ ආයුකාලයක් ඉහළ ගොස් තිබෙනවා. ජපානය වගේ රටවල විශ‍්‍රාම යෑමේ වයස වැඩි කර තිබෙන්නේ. ඒක තමයි ලෝක මට්ටමේ ඇත්ත. මගේ නම පුද්ගලික අදහස පුද්ගලික හා රාජ්‍ය අංශයේ යන දෙපාර්ශ්වයේම විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු හැට පහක් කරන්න ඕනා කියලයි.
 
 ප‍්‍රශ්නය - මේ වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගනු ඇති බවට මහබැංකුව, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනයන් කර තිබියදී ලබන වසරේ මෙරට නාමික ආර්ථික වර්ධන වේගය ධන 6.7 ක් දක්වා ඉහළ නැංවීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. ඇත්තටම එවැනි තත්ත්වයකට යෑමට හැකියාවක් නැහැ නොවේද?
 
 පිළිතුර - අප බලාපොරොත්තු වෙනවා ඒ තැනට ගෙන එන්න.
 
 ප‍්‍රශ්නය - විපක්ෂය නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ මෙය අංක ගැලවිජ්ජාවක් බවයි.
 
 පිළිතුර - ඇත්තටම ඔහුට එච්චර දෙයක් තේරුණා නම් ඔහුගේ ආණ්ඩුව කාලේ බලවත් අමාත්‍යාංශය කරලා මෙය හරවන්න තිබුණා නොවේද. නමුත් ඔහු මේ රටේ ආර්ථිකය කඩා වැටෙනකම්ම බලාගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි මාධ්‍ය ඉස්සරහට ඇවිත් ආණ්ඩුව ආරක්ෂා කළා. ඒ නිසා මගේ උගත් මිත‍්‍රයාගේ වෘත්තිමය වලංගුභාවය දේශපාලන නිසා කෙලෙසී තිබෙනවා. ඒ නිසා දේශපාලනිකව මේ දෙස නොබලා ආර්ථිකය විද්‍යාත්මකව බලන්නේ නම් මෙහි ඇත්ත ඔහුට තේරේවි.
 
 ප‍්‍රශ්නය - ඇත්තටම ඉහත ඉලක්කයට ඒමේ හැකියාවක් තිබෙනවාද ?
 
 පිළිතුර - ආයෝජන ප‍්‍රවර්ධන සහන පැකේජය තුළින් එම ඉලක්කය කරා යෑමට අපට හැකියාවක් තිබෙනවා. ඒ සඳහා වන සැලසුම් මේ වන විට ආණ්ඩුව සකසා අවසන්. මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ රට බාර ගනිද්දී මෙරට ආර්ථිකයේ ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන විස්සයි. එය 2014 දී ඇමරිකානු ඩොලර් බිලියන 79 යි. නමුත් යහපාලන ආණ්ඩුව තුළ එය ඇමරිකානු ඩොලර් බිලියන 84 යි. ඔවුන්ගේ පස් අවුරුදු කාලය තුළ වැඩි වී තිබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන පහක් පමණයි. ඇත්තටම යහපාලන ආණ්ඩුව කට උත්තර නැතිව ෆේල් බව මේ තුළින් මැනවින් පෙන්නුම් කරනවා. ඇත්තටම ඒ අයට අලූතෙන් හිතන්න පුළුවන් කමක් නැහැ.
 
 ප‍්‍රශ්නය - යහපාලන ආණ්ඩුවේ අයට අලූතෙන් හිතන්න බැරි බව ඔබ පවසනවා. ඔබ වත්මන් ආණ්ඩුවේ වෙළෙඳ ඇමැතිවරයායි. ඇත්තටම ඔබ අලූතෙන් සිතා ගෙන ආ ව්‍යාපෘති තිබෙනවාද?
 
 පිළිතුර - එවැනි ව්‍යාපෘති නම් ගණනාවක්ම තිබෙනවා. මම වෙළෙඳ ඇමැති ලෙස උපාංග වෙළෙඳසල නොහොත් දාම වෙළෙඳසල් දාමයක් රටපුරා ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. එහි ආරම්භය පසුගිය බ‍්‍රහස්පතින්දා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් නවම් මාවතේ දී සිදු කෙරුණා.
 
 අප එම ව්‍යාපෘතිය නම් කර තිබෙන්නේ කිව් ෂොප් ( Q - Shop) ලෙසයි. ඇත්තටම මෙම වෙළඳසල් තුළ වෙළඳාම් කරන්නේ දේශීය නිෂ්පාදකයන්ගේ උසස් නිෂ්පාදන පමණයි. මෙය මිනි සුපර් මාර්කට් එකක්.
 
 ප‍්‍රශ්නය - එය මොන වගේ ආකෘතියක් ද?
 
 පිළිතුර - එය අඩි හතළිහේ කන්ටේනරයක් තුළ සිදු කෙරෙන ව්‍යාපෘතියක්. එම කන්ටේනරයෙන් අඩි දහයක් කපා එය උඩ තට්ටුවක් ලෙස සකසනවා. ඒ මත පෝෂදායි ධාන්‍ය වර්ග ඇතුළු පෝෂදායි කෑම ජාති පිළියෙල කෙරෙනවා. පහළ අඩි 30 තුළ ස්වදේශීය නිෂ්පාදන අලෙවි කරනවා. ජාතික කිරි මණ්ඩලය, පශු සම්පත් මණ්ඩලය නිෂ්පාදන, කැන්ඩොස්, සිකුරු වැනි උපාලි නිෂ්පාදන, හරිස්චන්ද්‍ර, සිද්ධාලේප නිෂ්පාදන ඇතුළු දේශීය නිෂ්පාදන තමයි ඒ තුළ අලෙවි කරන්නේ. ඒ වගේම අල, ලූනු, පරිප්පු, සීනි වගේම පාලනය මිලක් ඇති සියලූ භාණ්ඩ ඒ තුළ අලෙවි කරනවා. ඒ තුළින් රටේ ජනතාවට නියමිත පාලන මිලට භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව හිමි කර දෙනවා.
 
 ප‍්‍රශ්නය - මෙවැනි අලෙවිසල් කොපමණ ප‍්‍රමාණයක් ස්ථාපිත කිරීමට කටයුතු කරනවද ? ඒවගේම ඒවා ලබා දෙන්නේ කාටද?
 
 පිළිතුර - තරුණ කටයුතු සහ ක‍්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයේ තරුණ ව්‍යවසායකයන් බිහි කෙරෙන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක වෙනවා. මම ඔහුට කතා කර කිව්වා ඔවුන්ගෙන් ව්‍යවසායකයන් දහසක් අපට හදලා දෙන්න කියලා. අප මෙම වෙළෙඳසල් ඒ අයට ලබා දෙන්න තමයි තීරණය කර තිබෙන්නේ.
 
 අපි මෙහි මූලික අදියර යටතේ ලබන වසර අවසන් වන විට මෙවැනි වෙළඳසල් දහසක් පමණ ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. අප ඒ තුළ කිසි විටෙක ගුණත්වයෙන් අඩු භාණ්ඩ අලෙවි කරන්නේ නැහැ. මෙහි භාහිර අයවළුන්ට රැකියා කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ලබා දෙන ව්‍යවසායකයා ඔහුගේ පවුලේ අය සමඟ තමයි මෙය පවත්වාගෙන යන්න තිබෙන්නේ. මේ තුළින් ස්වයං රැකියා තුන්දහසක් පමණ උත්පාදනය කිරීමට හැකියාව තිබෙනවා.
 
 මෙම ව්‍යවසායකයන් සඳහා සහන ණයක් අප ලබා දීමට සැලසුම් කර තිබෙනවා. අප රට තුළ පවතින ග‍්‍රාම සේවා වසම් 14025 තුළම මෙවැනි වෙළෙඳසල් ස්ථාපිත කිරීමට හැකි වුවහොත් ඕනෑම තත්ත්වයක් යටතේ පාලනය මිලට ජනතාවට බඩු භාණ්ඩ ලබා දීමට හැකියාවක් රජයට තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - ඉතින් ඇමතිතුමා නව ව්‍යාපෘතියක් තුළින් මේ වගේ ආයතනයක් දියුණු කරන්න වෙහෙසෙනවාට වඩා දැනට ඔබ අමාත්‍යංශය යටතේ පවතින සතොස ආයතනය දියුණු කරන්න හැකියාවක් තිබෙනවා නේද?
 
 පිළිතුර - එය එහෙම කරන්න බැහැ. එහි සෑම සේවකයකුම වැඩ කරන්නේ සතොසේ අයිතිකාරයෝ වගේ නෙමෙයි නේ. හැමෝම එය තමන්ගේ කියලා හිතාගෙන වැඩ කටයුතු කරන්නේ නැහැ. නමුත් මෙම නව වෙළෙඳ සල් හී තත්ත්වය මීට වඩා වෙනස්. ඒ මිනිස්සු දන්නවා එය තමන්ගේ තැන කියලා. ඒ නිසා ඔවුන් එය දියුණු කරගැනීමට කළ හැකි සියල්ල කරනවා.
 
 ප‍්‍රශ්නය - මෙවැනි වෙළෙඳ සලක් සඳහා මූලික ප‍්‍රාග්ධනය කොපමණ පමණ අවශ්‍ය වේවිද ?
 
 පිළිතුර - අපගේ ඇස්තුමේන්තුව නම් රුපියල් මිලියන 2.5 ක් පමණ මේ සඳහා වැය වේවි කියලයි. ඒ ෆ‍්‍රිජ්, සීසීටීවී කැමරා ඇතුළු සියලූ දේවල් සවි කිරීමෙන් අනතුරුව. මෙය ඉදිකිරීම් සඳහා අප ඉදිරියේ දී ටෙන්ඩර් කැඳවනවා. ඔබට මෙවැනි වෙළඳ සලක් රුපියල් මිලියනයකට හදා දෙන්න හැකියාව තිබෙනවා නම් ඒ සඳහා ඔබට අවස්ථාව තිබෙනවා. මට අවශ්‍ය විනිවිද භාවයයි.
 
 ප‍්‍රශ්නය - මෙම වෙළෙඳ සල් සඳහා බඩු භාණ්ඩ සම්පාදනය කර ගන්නේ කෙසේද?
 
 පිළිතුර - අප බඩු භාණ්ඩ අරගෙන දෙනවා. පිටකොටුවෙන් බඩු මිලදී ගන්න අයගෙන් ලාභයෙන් සියයට 2ක් සහ වෙළෙඳ සල් ලබා දෙන අයගෙන් සියයට එකක මුදලක් අප අය කරනවා . ඒ තුළින් තමයි මේ සියලූ කළමනාකරණ කටයුතු සිදු කරන්නේ. ලබන වසර තුළ මෙවැනි වෙළඳ සල් දහසක් අප ස්ථාපිත කරනවා. මහින්දෝදය විද්‍යාගාර සැකසුවා මෙන් එකම ආකෘතියක් තුළ රට වටේ මෙවැනි වෙළෙඳ සල් ඉදිරියේදී දැක ගැනීමට හැකියාව ලැබේවි.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles