Divaina - අයවැයෙන් පසු අගමැතිමට අභයාරාමයෙන් සහතිකයක්... පාර්ලිමේන්තු මන්ත‍්‍රී කමට රනිල් යවන්න සූදානම්... මේ අයවැයෙන් දුන්න සැඟවුණු සහන මෙන්න... කහ පරිභෝජනය ගැන රනිල් ශිරන්තිට කී කතා...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


බුලිත ප‍්‍රදීප් කුමාර

poli


පසුගිය සතියේත් අපේ රටේ ජනතාවගේ ප‍්‍රධාන අවධානය දිනාගත් කාරණාව වූයේ කොවිඞ්ය. දිනපතාම අලූතෙන් කොවිඞ් ආසාදිතයන් දෙතුන්සියයක් මුළු ආසාදිතයන් සංඛ්‍යාවට එකතු වන පසුබිමක් තුළ පසුගිය සතියේ මැද පමණ වන විට ලංකාවේ මුළු කොවිඞ් ආසාදිතයන්ගේ ගණන 20000 ට ආසන්න වී තිබුණු අතර මරණ සංඛ්‍යාව ද 70ට ළඟා වෙමින් තිබිණි. සෑම දිනකම අලූතෙන් මරණ 5ක් පමණ මියගියවුන්ගේ සංඛ්‍යාවට එකතු වෙමින් තිබුණ නිසා මෙවර කොවිඞ් රැල්ල තීරණාත්මක ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන් ගෙන තිබුණි.

මෙම අවාසනාවන්ත තත්ත්වයට පිළියම් සොයන්නට රජය කොතරම් වෙහෙසුනත් මහන්සියේ තරමට ප‍්‍රතිඵල නොමැති තත්ත්වයක් තුළ කොවිඞ් මර්දන ව්‍යාපෘති හා යාන්ත‍්‍රණවලද ආකූල ව්‍යාකූලතා පැනනැ`ගී තිබිණි. ආරක්ෂක අංශත් සෞඛ්‍ය අංශයත් එක්ව නීති රීති දැඩි කරමින් කොවිඞ් ව්‍යාප්තිය පාලනය කරන්නට නොගත් උත්සාහයක් නැති තරම් ය. අවසානයේ කොවිඞ් ආසාදිතයන් වැඩි වැඩියෙන් හමුවන කොළඹ ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකුත් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයකුත් තව තවත් හිර කරනවා හැරුනු විට රජයට වෙනත් විකල්පයක් නොවීය.

මේ අතර පසුගිය සතියේ අපේ රටේ දේශපාලන ක්ෂේත‍්‍රයේ ද විශේෂ සිදුවීම් කීපයක් දැක බලා ගත හැකි විය. සිදුවීම් ලෙස ගන්නවට වඩා මේවා දේශපාලන සුවිශේෂතා ලෙස හඳුනාගත හැකි විය.

එක් සුවිශේෂතාවයක් වූයේ 2021 වසර සඳහා වූ අයවැය යෝජනා මෙම සතියේ පාර්ලිමේන්තුවට ගෙන එන්නට නියමිතව තිබීමයි. 17 වැනි අඟහරුවාදා මුදල් ඇමැති අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරි මුදල් වර්ෂය සඳහා වූ අයවැය ඉදිරිපත් කරන්නට සූදානම් කරගෙන තිබිණි. ඊට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ රටේ නව ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගෙන වසරක් සම්පූර්ණ වීමේ අවස්ථාව යෙදී තිබුණේ ද පසුගිය 17 වැනිදා ට ය. ඒ නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා විශේෂ කතාවක් කරන්නට ද සූදානම්ව සිටියේය. මීට අමතරව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 75 වන ජන්ම දිනයද මෙම 18 වැනි දාට යෙදී තිබුණ නිසා මෙම සතිය කාගේ කාගේත් අවධානයට ලක්වුණු විශේෂ සතියක්ම වූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සති අන්තයේ අනුරාධපුරය බලා පිටත්ව ගියේය. ජනාධිපතිවරයාත් ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිනියත් පසුගිය සති අන්තය අනුරාධපුරයේ කල්ගත කරමින් ඉතා නිදහසේ ආගමික වත් පිළිවෙත්වලට සහභාගි වන්නට සැලසුම් කරගෙන තිබුණේ කිසිදු ප‍්‍රසිද්ධියක් නැතුව ය.

මේ අතරතුර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ මහා භාණ්ඩාගාරයේ නිලධාරීනුත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීනුත් දිගින් දිගටම අයවැයට සූදානම් වෙමින් සිටියහ. රට ඉතා අවාසනාවන්ත ලෙස ආර්ථිකමය වශයෙන් බලවත් දුෂ්කරතාවනට මුහුණ දී සිටින පසුබිමක් තුළ වුව රටේ සංවර්ධනයට ඉවහල් වන සංවර්ධනීය අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් ඇමැති අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අවශ්‍ය විය. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පසුගිය මාස කිහිපය පුරා මහන්සි වෙමින් ලක ලැහැස්ති වෙමින් සිටියේ මෙම කටයුත්ත ඉටුකර දීම සඳහාය.

දාහත් වන අඟහරුවාදා අයවැය ලේඛනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නට සියල්ල සූදානම්ව තිබිණි. මෙම අයවැය සුවිශේෂී එකක් විය. අග‍්‍රාමාත්‍ය මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 11 වන අයවැය ලෙස මෙය වාර්තාගත විය. ඒ අතරම ශ‍්‍රී ලංකාව නිදහස ලබා ගත්තාට පසු නිදහස් ශ‍්‍රී ලංකාවේ 75වන අයවැය ලෙසද මෙය ඉතිහාසගත විය.

දැඩි කොරෝනා මර්දන නීති රීති යටතේ පාර්ලිමේන්තුව රැස් කරන්නට සියල්ල සූදානම්ව තිබූ අතර මාධ්‍යවේදීන්ට ද පාර්ලිමේන්තුව තහනම් කලාපයක් විය.

17 වැනි අඟහරුවාදා පෙරවරුවේම බොහෝ ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ. මන්ත‍්‍රීවරු අතර විවිධ සාකච්ඡාවන් ගණනාවක් ද සිදු විය. අයවැය යෝජනා ඇතුළත් සුවිශේෂී පෙට්ටිය ද අතේ එල්ලාගෙන අග‍්‍රාමාත්‍ය, මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණියේ දහවල් 1.00ට පමණ ය. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස දොර හැර පාර්ලිමේන්තුවේ සභානායකවරයා වන දිනේෂ් ගුණවර්ධනත් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දුත් අගමැතිතුමන්ව පිළිගනු ලැබූහ. ඔහු ඉන්පසුව කෙලින්ම පැමිණියේ පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයටය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහතා ද අගමැතිවරයා සමඟ පැමිණ සිටියේ ය. අයවැය ඉදිරිපත් කිරීමට පෙර අගමැතිවරයාත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීනුත් අතර විශේෂ රාජකාරිමය සාකච්ඡාවක්ද පැවැත්විණි. ඒ හැරුණු විට අගමැතිවරයා මුණගැසෙන්නට මැති ඇමැතිවරු ද කිහිප දෙනෙක් එතැනට පැමිණ සිටියහ. අගමැති ටික වේලාවක් ඔවුන් සමග පිළිස`දරේ යෙදී සිටියේය.

‘‘අගමැතිතුමණි, අද එතිහාසික දවසක්. ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙලා අදට අවුරුද්දයි.’’ ජොනී කිවේය.

‘‘ඇයි.... තව එකක් තියෙනවානේ’’ ලොහාන් කීවේය. අගමැතිවරයාගේ උපන්දිනය හෙට 75 වන උපන්දිනය. අගමැතිතුමා උපන්දිනය සමරන්නේ ලංකාවේ නිදහසෙන් පස්සේ ඉදිරිපත් කෙරෙන 75 වන අයවැය ඉදිරිපත් කරමින්’’ ලොහාන් පැහැදිලි කළේය.

‘‘හිටපු මුදල් ඇමැති රොනී ද මෙල් මහත්තයා අයවැය 11 ක් ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේනතුවට. අද අගමැතිතුමා මුදල් ඇමැතිවරයකු ලෙස ඉදිරිපත් කරන 11 වන අයවැයත් මේකයි. එතුමා රොනීගේ වාර්ථාවත් සම කරනවා’’ අසල සිටි නිලධාරියකු කීවේය.

අගමැතිවරයාගේ අයවැය කතාවෙන් පසු ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වූයේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 1 ය. අගමැති මහින්ද එහි යන විට ප‍්‍රධාන මේසයේ කේක් 03 ක් තබා තිබුණේ ඇමැති ජොස්ටන්ය. ඒ එදින උපන්දිනය සමරන වීරසුමන වීරසිංහ, පේ‍්‍රමනාත් සී. දොලවත්ත හා අරවින්ද කුමාර් යන මන්ත‍්‍රීවරුන්ගේ උපන් දිනය සැමරීම ස`දහාය. මහින්ද අයවැය නිසා කෙතරම් කාර්ය බහුලව සිටියද උදෑසනම මෙම මන්ත‍්‍රීවරුන් තිදෙනාට කතා කර උපන්දින සුභපැතුම් පිරිනමා තිබිණි.

මන්ත‍්‍රීවරුන් තිදෙනා කේක් කපන විට අගමැති මහින්ද ඇතුළු පිරිස සුබ උපන් දිනයක් වේවා කියමින් ඔවුන්ට සුභ පැතූහ. අගමැතිවරයා විසින්ම එම මන්ත‍්‍රීවරුන්ට කේක් කැපූ අතර ජොන්ස්ටන් ඇමැතිවරයා පිහියක් ගෙන කේක් කපමින් සියලූම මන්ත‍්‍රීවරුන්ට ලබා දුනනේය.

‘‘සර් මේ දවස් වල දොලවත්ත මන්ත‍්‍රීතුමාට යහපාලන කාලෙ වගේ වොයිස් කට් දෙන්න ඕන කරන පරිසරය අඩු වෙලා.” අගමැතිවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ කීවේය.

‘‘යහපාලන කාලේ දොලේගෙ වොයිස් කට් මාධ්‍යයේ නැති දවසක් නෑ. වැඩිපුර උසාවි ළඟ බන්ධනාගාර ළඟ’’ විමල් කියද්දී ‘‘ඒ කාලේ ඒ ආණ්ඩුව අපිට දුන්නෙ පුදුම වදයක්.” ඇමැති ජොන්ස්ටන් කීවේය.

අගමැතිවරයා දොලවත්තට කේක් කවන විට ජොනී දැන් මනාප ප‍්‍රශ්න නෑනේ. විමල් ඇමැතිතුමයි දිනේෂ් ඇමැතිතුමයි ඇවිත් සුභ පතන්න’’ කියා මහා හ`ඩින් කීවේය. ‘‘මේ මේ බැසිල් ඇමැතිතුමාගෙත් උපන් දිනය අද’’ විමල් සිනාසෙමින් කීවේය.

‘‘ආ ඇත්තද’’ මහින්ද ජොනීගෙන් ඇසුවේය.

”නෑ නෑ සර්.... විමල් ඇමැතිතුමා විහිලූවක් කරනවා’’ ජොනී කීවේය.

‘‘ආ ඒක තමයි මම ඒත් බැලූවා මට ඒක අමතක වුණේ කොහොමද කියලා’’ මහින්ද සිනාසෙමින් කීවේය.

20 වන සංශෝධනයේදී ආණ්ඩුවට සහාය දීමට ඒක්වූ අරවින්ද කුමාර් මන්ත‍්‍රීවරයාට අගමැතිවරයා කේක් කැවූ විට ඔහු මහින්දට ස්තුතිකරමින් අමුතුම කතාවක් කීවේය.

‘‘මං අවුරුදු 05 ක් යූ.එන්.පී. ආණ්ඩුවේ හිටපු මන්ත‍්‍රී කෙනෙක් ඒ අවුරුදු 3 න් 5 ටම හමුවූ කිසිම නායකයෙක් මගේ උපන් දිනයට සුභ පැතුවේ නෑ. සර් විතරයි. මට සුභ පැතුවේ’’ ඔහු කීවේය.

අගමැති මහින්ද ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මන්ත‍්‍රීවරයාගේ පිටට තට්ටුවක් දමමිනි.

අනතුරුව මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ විය.

‘‘අපේ ආණ්ඩුවේ ප‍්‍රධාන ඉලක්කය වූයේ කොවිඞ් 19 අර්බුදයට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙනයන එක අපි හැමදාම අභියෝගවලට මුහුණ දීලා ආණ්ඩුව මෙහෙයවූ රට මෙහෙයවූ අය. අපිට මේ අභියෝගයත් ජයගන්න පුළුවන් අගමැති මහින්ද විශ්වාසයෙන් කීවේය.

‘‘අවුරුදු පහක්ම ජනතාව කබලෙන් ලිපට අදලා දාපු විපක්ෂය අද එක එක බයිලා කියනවා. අපිට 2019 දී හම්බුනේ විනාශ කරපු රටක්’’ ඇමැති ප‍්‍රසන්න රණතුංග කීවේය.

‘‘ඒක ඇත්ත. ගමට කාපට් කියන වචනය පවා ආවේ අපේ ආණ්ඩු කාලේ.... හැමදාම මේ රටට වැඩක් කළේ රාජපක්ෂලාගේ ආණ්ඩුව’’ ඇමැති සී.බී. කීවේය.

අයවැය විවාදය පැවැත්වෙන සියලූ දිනවල ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් පැර්ලිමේන්තුවේ සිටීමේ අවශ්‍යතාව මෙහිදී කීවේ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයාය.

‘‘විපක්ෂය මේ අයවැය විවාදයේදී බොරු කප්පරක් කියයි. ඒවා ඒ වෙලාවෙම බොරු කියලා ඔප්පු කරන්න ඕනෑ’’ ඔහු කීවේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කමට
රනිල් යවන්න සූදානම්...


එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ පසුගිය සතිය වන විට සිටියේ ප‍්‍රශ්න ගණනාවක් මැදය. එක් අතකින් ඔහුගේ බිරිඳ වන මෛත‍්‍රී වික‍්‍රමසිංහගේ අසනීප තත්ත්වය ඔහුට දැඩි චිත්ත පීඩාවක් ගෙන දී තිබිණි. අනිත් අතට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රශ්න කන්දරාව ද තිබුණේ ඔහුගේ හිස මතය. පක්ෂයේ බර හිසෙන් බිම තබන්නට ඔහුට බොහෝ සේ වුවමනාව තිබුණත් ඒ සඳහා අවස්ථාවක් නොවී ය.

පසුගිය ස`දුදා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත‍්‍රීවරු කණ්ඩායම සිරිකොතට රැස්වූහ. පක්ෂයේ ඉදිරි වැඩකටයුතු යළි පණ ගැන්වීම ඔවුන්ගේ අරමුණ වූහ. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් විජේමාන්න, තිලක් මාරපන, චම්පිකා පේ‍්‍රමදාස, අර්ජුන රණතුංග, පාලිත රංගේ බණ්ඩාර, ආශු මාරසිංහ, සංදීප් සමරසිංහ ආදීන් පැමිණ සිටි අතර හුඟ කලක් මෙම රැස්වීම්වලට සහභාගි නොවූ තවත් දෙදෙනෙක් පැමිණ සිටියහ. එක්කෙනෙක් නවීන් දිසානායක ය. නියෝජ්‍ය නායකවරයා පත් කිරීමේ පලහිලව්වෙන් පසු ඔහු පක්ෂයේ වැඩකටයුතුවලට සම්බන්ධ වූයේ නැත. අනෙක් කෙනා රවි කරුණානායක ය. ඔහු ටික කලක් පක්ෂයේ වැඩකටයුතුවලින් ඉවත්ව සිටියේය.

මෙම රැස්වීමේ දී මුලින්ම කතාබහ කළේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී පුරප්පාඩුව පිරවීම සඳහා ගත යුතු පියවර ගැන ය.

මෙම රැස්වීමට දින කීපයකට පෙර වජිර අබේවර්ධන එජාප නායකයා හමුවන්නට ගියේ ය. ඔහු එජාප නායකයාට යෝජනා කර සිටියේ පුරප්පාඩු වූ මන්ත‍්‍රී ධූරය සඳහා රනිල්ම සහභාගි වන ලෙස ය. එම මන්ත‍්‍රී ධුරයත් පක්ෂ නායකත්වයත් මොනම කරුණක් නිසාවත් අත්හරින්නට එපා යැයි ඔහු අයැද සිටියේය.

මෙම රැස්වීමේ දී ද එම යෝජනාව කරළියට පැමිණියේ ය. සියල්ලෝම කතා කළේ පක්ෂ නායකත්වයේත් මන්ත‍්‍රීධුරයේත් තවදුරටත් රනිල් රඳවා තබා ගැනීම ගැනය.

මට ඒ ගැන තව දුරටත් හිතන්න ඕන... රනිල් කීවේ ය.

කල් ගියාට කමක් නැහැ. පුරප්පාඩුව ඔහොමම තිබුනදෙන්. හොඳට හිතලා තීන්දුවක් අරන් ආපහු එන්න. හිටපු මන්ත‍්‍රීවරු එකහෙළාම කියා සිටියහ.

එතෙක් රට පුරා තැනින් තැන යමින් දිස්ත‍්‍රික් මට්ටමින් පක්ෂයේ ආසන සංවිධායකවරුන් කළමනාකරණය කිරීමේ සැලැස්ම රුවන් විජයවර්ධනට භාර කළේය. ඒ අනුව ඉදිරි සති අන්තයේ මහනුවරට හා අනුරාධපුරයට ගොස් ආසන සංවිධායකයන් හා ඉහළ කළමනාකරුවන් හමුවී සාකච්ඡා කිරීමටත් වැඩකටයුතු සංවිධානය කිරීමටත් යොදා ගැණින.

පසුගිය අඟහරුවාදා හවස එජාප නායක රනිල් වික‍්‍රමසිංහ වැල්ලවත්ත ප‍්‍රදේශයේ වූ මළ ගෙදරකට සම්බන්ධ වන්නට ගියේ ය. මියගොස් හිටියේ රනිල්ගේ ඉතාමත්ම සමීප හිතවතෙකි. රනිල් සමඟ අවුරුදු 35 ක් පමණ එක දිගට සමීපව කටයුතු කළ අයෙකි. විපක්ෂ නායකවරයාව සිටි කාලයේත් අගමැතිවරයාව සිටි කාලයේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම්ව සිටියේ ඔහුය. ඔහු නමින් නීතිඥ නවුෆර් අබ්දුල් රහුමාන් විය. රනිල්ට ඉතාමත්ම සමීපව ලෙන්ගතුව හා විශ්වාසවන්තව කටයුතු කළත් ප‍්‍රසිද්ධියට ගියේ නැති ලේකම්වරයෙකි.

පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරු සමඟ ඉතාමත්ම ලෙන්ගතුව කටයුතු කළ මේ නිලධාරියාගේ මළගමට සහභාගි වන්නට පාර්ලිමේන්තුවේ පැරණි මන්ත‍්‍රීවරුන් රාශියක්ම පැමිණ සිටියහ. ඔහු ගාල්ලේ කොටුවෙ උපන් අයකු නිසා ගාල්ල ප‍්‍රදේශයෙන්ද නෑදෑයින් විශාල පිරිසක් පැමිණ සිටියහ. රවුෆ් හකීම්, කබීර් හෂීම්, හලීම් ප‍්‍රමුඛ එජාප පැරණි මුස්ලිම් දේශපාලකයන් ලොකු පිරිසක් පැමිණ සිටියහ. වජිර අබේවර්ධනද ඒ අතර විය. වජිර, එජාප නායක රනිල්, රවුෆ් හකීම් හලීම්, කබීර් ඇතුළු කීප දෙනෙක් බොහෝ වේලාවක් යනතුරු එකට කතාබහ කරමින් සිටියහ...

දැන් මේ එක එක අරමුණු ඔස්සේ වෙන් වෙන් වෙලා හිටියට අපි ඔක්කොම එකට හිටපු අය බව අමතක කරන්න හොඳ නෑ... වජිර මතක් කළේ ය.

ඔයගොල්ලෝ ඉස්සරහට මොනවද කරන්නේ කියලා තමයි අපි දැන් බලාගෙන ඉන්නේ..

රනිල් කීවේ අනිත් අය හොඳින් කල්පනා කළ යුතු කතාවකි.

මම නම් දැන් තවත් මළගෙදරකට බොරැල්ලට යනවා... මිස්ටර් පත්මසිරි ජයමාන්නගෙ බොඩි එකත් මේ වෙලාවේ ජයරත්න එකේ තියෙනවනේ...

පත්මසිරි ජයමාන්න යනු කීර්තිමත් පරිපාලන නිලධාරියෙකි. අමාත්‍යාංශ ගණනාවකම ලේකම්වරයා ලෙස කටයුතු කර තිබිණි. රනිල් යටතේ මෙන්ම වජිර යටතේ ද ඔහු අමාත්‍යාංශ ලේකම් වරයෙකි.

ඔබතුමා යන්න මමත් එන්නම් වජිර කීවේය.

අපිත් එතනට එනවා මුස්ලිම් මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් ද කීහ.

රනිල් ජයරත්න මල් ශාලාවට ගිය පසු හකීම්, වජිර, කබීර්, හලීම් ඇතුළු පිරිස ද එතැනට පැමිණියහ. ඒ අතර ජේ. සී. අලවතුවල සිටියේය. රනිල් දේහයට අවසන් ගෞරව දක්වා පසෙකින් වාඩි වී මන්ත‍්‍රීවරු සමග කතාබහ කරමින් සිටියදී විජයදාස රාජපක්ෂද එතැනට පැමිණියේය. විජයදාසත් රනිලූත් බොහෝ වේලාවක් යනතුරු වෙනම කතාබහ කරමින් සිටියහ.

මේ අතර මොණරාගල හිටපු මන්ත‍්‍රිනී සුමේධා ජී. ජයසේන ද එතැනට ආවාය....

කොහොමද දැන් ඔබතුමියට... වෙනම වැඩක් කරගෙන ඉන්නවා ඇති...

අපිට කොච්චර වැඩ තියෙනවද... කියමින් එතුමිය ද කතාබහට එක් වූවාය.

ඒක නෙවෙයි... මේ ආණ්ඩුවෙන් ඔබතුමාට කරපු වැඬේ නම් මහ සවුත්තුම වැඩක්. ඔබතුමා මේ ආණ්ඩුව බලයට ගේන්න කොච්චර සේවයක් කරපු කෙනෙක් ද... අපි මේ ළඟකදීත් ඒ ගැන කතා වුණා... සුමේධා එසේ කීවේ විජයදාස රාජපක්ෂට ය...

විජයදාස ඊට සිනහවකින් උත්තර දුන්නා මිස කිසිවක් කියන්නට ගියේ නැත.

බන්දුලගෙන් අයවැයට
යහපාලන ආසානාසිය...


මීට වසර ගණනාවක සිටම යම් කිසි අයවැයක් ඉදිරිපත් වන්නට පෙර ඒ පිළිබඳ ආර්ථික විවරණයක් කිරීම බන්දුල ගුණවර්ධන සිරිතක් කරගෙන සිටියේය. බොහෝ වෙලාවට එය පොතකි.

බන්දුල පසුගිය ස`දුදා එබඳු පොතක් ජනගත කළේ ය. එය නම් කර තිබුණේ යහපාලන ආණ්ඩුකරණයේ ආසානාසිය කියාය. මෙම පොත ජනගත කිරීමේ උත්සවයේ දී බන්දුල පොත පිළිගන්වන්නට තෝරාගෙන තිබුණේ ඇමැති බන්දුල ගෙන්ම ආර්ථික විද්‍යාව ඉගෙනගත් ප‍්‍රධාන පෙළේ ගෝලයන් කීප දෙනකුටය. ඔවුන් ලංකාවේ විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයේ ඉහළ තැන් හොබවමින් සිටින අයවලූන් වූහ. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවත්, ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ප‍්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය එස්. පී. කරුණාරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර ඒ අතර වූහ. පසු දින පාර්ලිමේන්තුවේදී සියලූම මන්ත‍්‍රීවරුන්ට මෙම පොත පිළිගන්වන්නට බන්දුල කටයුතු කළේය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අයවැය ඉදිරිපත් කළාට පසුව අයවැය විවාදය ආරම්භ කරමින් මුලින්ම කතා කළේ බන්දුල ගුණවර්ධනය. ඔහු එහිදී පොත ගැන සඳහනක් කළේ මෙසේය.

‘‘අපේ පාඨලී චම්පික රණවක හිටපු ඇමැතිතුමා පොතක් ලිව්ව පහුගිය දවස්වල ‘ආලාපාළු ආර්ථිකය” කියලා. ඒකට හොඳ උත්තරයක් දෙන පොතක් තමයි මං මේ ලියල තියෙන්නේ. මම හිතනවා චම්පික ඇමැතිතුමාටත් පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂය අනිත් ඔබ හැමටත් අපේ රටේ ආර්ථිකය පිළිබඳ හොඳ අවබෝධයක් මේ පොතෙන් ලැබෙනවා ඇති කියලා...”

මෙම සතිය පාර්ලිමේන්තු සතියක් බැවින් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන්ට කොළඹම රැඳී ඉන්නට සජිත් උපදෙස් දී තිබිණි. ඒ හැරුණු විට සමගි ජන බලවේගය ආර්ථික විද්‍යාව පිළිබඳ යම් පරිචයක් ඇති මන්ත‍්‍රීවරුන් එකතු වී මෙවර අයවැය පිළිබඳව සමගි ජන බලවේගය ප‍්‍රවේශ වන්නේ කෙසේ දැයි කතාබහ කරන්නට පටන් ගත්හ. ඔවුන් ඒ පිළිබඳව හදාරමින් සාකච්ඡා කරමින් පසුගිය සතියේ වැඩපටන් ගත්හ.

‘‘හැමදාම හරින්... එයාගෙ මාධ්‍ය ව්‍යාපාර තුළින් මතයක් සමාජගත කරනවා. මේ පාර ඔහු සමාජගත කරා ‘‘සර් ෆෙල්” කියලා මතයක්... ඒක දැන් දිගට හරහට සමාජ මාධ්‍යවලින් රට පුරාම පැතිරිලා යනවා... ලක්ෂ්මන් කිරිඇල්ල එසේ කියමින් එම කතාව සජිත්ගේ අවධානයට ද යොමු කළේය.

කොවිඞ් පාලනය කරගන්න බැරුව ආණ්ඩුව අනාත වෙලා ඉන්නේ... සාමාන්‍ය ජනතාවට පන්දහස දෙනවා කියල කිව්වට ඒක කරගන්න බැහැ. මේ දවස්වල කන්නේ කණකර උකස් තියලා. මේ කාලය ඇතුළත රුපියල් බිලියන 643ක රත්තරන් බඩු උකස් කරල මිනිස්සු වේල පිරිමහ ගන්නවා කිව්වම ආණ්ඩුවේ සමහරු හිනා වෙනවා. කබ්රාල් කිව්වා ඒ කතාව බොරුවක් කියලා. ඒ වුණාට ඒක ඇත්ත බව දැන් ඔප්පු වෙලා... කබීර් කීවේය. විපක්ෂ නායකතුමා සංස්කෘතික ඇමැති වෙලා ඉන්න කාලේ දීඝවාපිය සංවර්ධනය කරන්න රුපියල් මිලියන 852ක් වෙන් කරලා වැඩ ඇරඹුවා. ඒක ගලවලා දාලා අගමැතිතුමා ආයෙත් වැඩ අරඹලා මාධ්‍ය සංදර්ශන දැම්මා... විලි ලැජ්ජ නැති වැඩක්... මනූෂ කීවේය.

අපේ රටට විදේශ විනිමය හොයල එවන විදේශ ශ‍්‍රමිකයෝ බර ගාණක් කොවිඞ් නිසා අනාථ වෙලා. ඒගොල්ලන්ට රටවිරුවෝ කියලා මහලොකුවට නමක් දාලා ආණ්ඩුව වැඩ පටන් ගත්තට ඒ මිනිස්සු බලාගන්න බැරි වුණා. කොවිඞ්වලින් ලාංකිකයෝ සියයකට වඩා පිටරටවල්වල දී මියගිහිල්ලා. ආණ්ඩුව වගකීම් පැහැර ඇරලා බලන් ඉන්නවා. හරියාකාරව රටේ පී.සී.ආර්. ටික වත් කරගන්න ආණ්ඩුවට බෑ... සජිත් පෙන්වා දුන්නේය.

ගෙවුනු වසරට මේ ආණ්ඩුව බිලියන දෙසීයකට වඩා ණය වෙලා තියෙනවා... ඒකෙන් කරපු වැඩක් පෙන්වන්න කිව්වම ආණ්ඩුවට තක්කු මුක්කු නෑ.. කිරිඇල්ල කීවේය.

මොකක්ද අර ඔබතුමා මන්ත‍්‍රී පඩි වැඩි කරන්නයි කිව්වා කියලා ගියපු කතාව... හේශා විතාරණ ඇසීය.

ඒක පට්ටපල් බොරුවක්... මම මතක් කළේ එදා ජෙයරාජ් කරපු වැඩක්. 2006 දී මහින්ද ජනාධිපති කාලේ ජෙයරාජ් මන්ත‍්‍රීවරුන්ගේ පඩි වැඩි කරන්න සූත්තරයක් හැදුවා.. මම ඒක ගැන කිව්වා විතරයි..

මැති ඇමැතිවරු කොළඹ වටේ
ගුවන් යානෙක රවුමක් යමු!


poli2අගමැති මහින්දගේ 75 වන ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය බදාදාය. (18 දා) එදින උදෑසනම මහින්ද සිය පවුලේ උදවිය සමග විජේරාම නිවසේදී කේක් කපා උපන්දිනය සැමරුවේය. මහින්ද පාර්ලිමේන්තුවට යද්දිත් ඇමැති ජොන්ස්ටන් විශේෂ උපන්දින කේක් ගෙඩියක් සූදානම් කර තිබිණි.

මහින්ද අගමැති කාර්යාලයේදී එය කැපුවේ සිය දේශපාලන සගයන්ගේ සුභපැතුම් මැදය. පාර්ලිමේන්තුවේ මද වේලාවක් රැ`දුණු අගමැති මහින්ද ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා සමග ගම්පහ බලා ගියේය.

මහින්දගේ උපන් දිනයත්, ජනපති පදවිප‍්‍රාප්තියේ පළමු වසරත් සැමරීම ස`දහා ප‍්‍රසන්න විශේෂ උත්සව කීපයක් ගම්පහ දිසත‍්‍රික්කයේ ස්ථාන 03 ක සූදානම් කර තිබුණි. පළමු වැන්න තිබුණේ බියගම පට්ටිපොලය. ගම්පහ සහ කොළඹ දිසත‍්‍රික්කවලට පානීය ජලය ලබා දෙන ව්‍යාපෘතියක දෙවන අදියර මෙහිදී අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

ඉන් අනතුරුව අගමැති මහින්ද ගියේ කටුනායක ගුවන්තොටුපළටය. කටයුනායක ගුවන්තොටුපළ පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වීම ස`දහාය. එය සංවිධානය කර තිබුණේද ඇමැති ප‍්‍රසන්න රණතුංගය.

මෙම උත්සවය කරුණු කීපයක් මත සුවිශේෂ වූයේය. එකක් මෙය මහින්ද ජනපති සමයේ මුල්ගල තබා යහපාලන ආණ්ඩුව අතහැර දමා තිබූ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම නිසාය. දෙවැන්න මෙම ව්‍යාපෘතිය මේ වසරේ මෙරට අරඹන විශාලතම ව්‍යාපෘතිය වූ නිසාය.

ඇමැති ප‍්‍රසන්න අගමැති මහින්ද ඇතුළු මැති ඇමැතිවරුන්ට දිවා ආහාරය සූදානම් කර තිබුණේ කටුනායක ඇමැතිවරයාගේ නිල නිවාසයේය. මහින්ද කැමති ගමේ ආහාර වේලකින් ඔහුට සංග‍්‍රාහ කරන්නට ඇමැතිවරයා පියවර ගෙන තිබුණි. උත්සවයට යෑමට පෙර අගමැති මහින්ද පැමිණ සිටි මැති ඇමැතිවරුන් සමග සතුටු සාමිච්චියක යෙදී සිටියේය.

‘‘සර් මේ ප්‍රොජෙක්ට් එක යහපාලන ආණ්ඩුව අවුරුදු පහක් පරක්කු කළා. ඒ නිසා රුපියල් කෝටි 300 කට වඩා ලංකාවට පාඩු වෙලා තියෙනවා’’ ඇමැති ප‍්‍රසන්න කීවේය.

‘‘අනික සර් 2014 දී පටන් ගත්තු මේ ව්‍යාපෘතිය නියමිත විදිහට ඉවර කළා නම් අද කටුනායක ගුවන්තොටුපළ පුළුල් වෙලා හරිනම් ජපානයෙන් අපිට දීපු ණය ලබන අවුරුද්දේ ඉ`දලා ගෙවන්න වෙනවා. හැබැයි අපි වැඩ පටන් අරගෙනවත් නෑ’’ රාජ්‍ය ඇමැති ඞී.වී. කීවේය. ‘‘යහපාලන නඩයට ඕන වූයේ රජපක්ෂලාව දේශපාලනයෙන් ඉවත් කරන්න. එහෙම කරපු ඒ අය තමයි දැන් දේශපාලනයෙන් ඇතුගෑවිලා යන්නේ’’ ප‍්‍රසන්න කීවේය.

‘‘යහපාලනයට තිබුණේ රට හදන වුවමනාවක් නෙවෙයි. අපෙන් පලිගන්න වුවමනාවක්. එකයි එහෙම වුණේ’’ මහින්ද කීවේය.

මේ අතර ඇමැති ප‍්‍රසන්න දෙස බැලූ නිමල් ලාන්සා ඇමැතිවරයා පොඩි ඉල්ලීමක් කළේය.

‘‘ඇමැතිතුමා දැන් එයාපෝර්ට් එකත් වහල තියෙන එකේ නරකද ඇවිත් ඉන්න මන්ත‍්‍රීවරු ටික ෆලයිට් එකක කොළඹ වටේවත් රවුමක් අරගෙන ගියානම්’’ ලාන්සා ඇසුවේය.

‘‘ඒකනම් හො`ද අදහසක් තමයි.’’ මන්ත‍්‍රී මිලාන්ද කීවේය.

‘‘ගුවන්තොටුපළේ උත්සවය අවසානයේ මහින්දගේ උපන්දිනය වෙනුවෙන් කේක් කැපීමට ප‍්‍රසන්න සූදානම් කර තිබුණේ කාටත් හොරාය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලාංඡුනය සහිතව හැඩගන්වා තිබූ කේක් ගෙඩියක් ප‍්‍රසන්න උත්සවය අවසානයේ ගෙන්වා ගත්තේය. ප‍්‍රසන්න ඇතුළු පිරිස සුබ උපන් දිනයක් වේවා කියා සුබපතද්දී අගමැති මහින්ද කේක් කැපුවේය. මහින්ද කැපූ මුල්ම කේක් කෑල්ල ඔහු ප‍්‍රසන්නටම කැව්වේ සියලූ දෙනාගේ අත්පොළසන් මැදය.

කටුනායක උත්සවයෙන් පසු මහින්ද ගියේ මර`දගහමුලටය. එහි තිබුණේ ආණ්ඩුවේ නිවාස වැඩසටහන යටතේ ඉදිකෙරෙන නිවාස 100 කින් යුතු මහල් නිවාස ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයයි. එය සංවිධානය කර තිබුණේ නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධය. ඊට ද සහභාගි වූ අගමැති මහින්ද කොළඹ බලා ගියේ උත්සව මාලාව සංවිධානය කිරීම ගැන ඇමැති ප‍්‍රසන්නට ස්තුති කරමිනි.

මේ අයවැයෙන් දුන්න
සැඟවුණු සහන මෙන්න...


අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා හැටියට මෙවර ඉදිරිපත් කරන ලද අයවැය මේ රටේ ආර්ථික විශ්ලේෂකයන් අතර කතාබහට ලක්විය. ආණ්ඩුව, බරපතළ මූල්‍ය අර්බුදයකට රට පත්ව තිබෙන මෙම අවස්ථාවේ මෙවන් සාධනීය අයවැයක් ඉදිරිපත් කිරීම ගැන ඔවුන් මවිතය පළකර සිටියහ.

ඔවුන් පෙන්වා දුන්නේ මෙම අයවැය ජනතා සහන සඟවන ලද අයවැයක් ලෙසයි. පෙට‍්‍රල් මිල අඩු කිරීම්, පඩි වැඩි කිරීම්, වාහන බදු අඩු කිරීම, විවිධ බදු වර්ග ලිහිල් කිරීම, හාල් සහතික මිලට දීම වැනි පෙනෙන සහන කිසිවක් මේ අයවැයේ තිබුණේ නැතත් ජනතාවට ලබාදීමට අවශ්‍ය සහනාධාර සියල්ල පුදුමසහගත ලෙස අයවැය යෝජනා අතර අන්තර්ගත කර ඇතැයි ඔවුන් පෙන්වා දුන්හ.

විපක්ෂයට ද මේ සම්බන්ධයෙන් කටඋත්තර නැති විය. විපක්ෂය බලා සිටියේ පෙනෙන යමක් කරන්නට වූවොත් ආණ්ඩුව අමාරුවේ වැටේවි යැයි කියාය. එහෙත් ආණ්ඩුව ඉතා සීරුවෙන් රටේ ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගනිමින් සාධනීය අයවැයක් ඉදිරිපත් කර තිබීම පිළිබඳ ඔවුන්ට ද කටඋත්තර නැති විය.

පසුගිය දිනවල යම් යම් ව්‍යවස්ථාමය කරුණු සම්බන්ධයෙන් රජය සමඟ විවිධ මත ගැටුම් ඇති කරගෙන සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් ද සිටියහ. ගෙවි`දු කුමාරතුංග ද ඒ අතර එක් අයකු විය. ඔහු මේ අයවැය සම්බන්ධයෙන් කුමක් පවසනු ඇතැයි ද කියා බොහෝ දෙනෙක් බලා සිටියහ. එහෙත් ඔහු කතා කළේ අයවැය සම්බන්ධයෙන් සිය ප‍්‍රසාදය පළ කරමිනි.

මේක අභියෝගාත්මක කාලයක්. ලොකු පරිවර්තනයක් සඳහා සූදානම් වන යුගයක්. අන්න ඒ පරිවර්තනයට අවශ්‍ය ආර්ථික පරිසරය හදන්න මේ අයවැයෙන් ඉතා විශාල ඉඩකඩක් ලබා දී ඇති බව යෝජනාවලින් පෙනී යනවා.

සුභසාධන වැඩවලට රජය වැඩි අවධානය යොමු කරනවා වෙනුවට සංවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කරන්න යෝජනා ගෙන ඇවිත් තියෙනවා. කර්මාන්ත සංවර්ධනයට, යටිතල පහසුකම් සංවර්ධනයට, නිපුණතා අධ්‍යාපනයට, ගොවිතැනට ලොකු අවධානයක් යොමු කරනවා කියලා කියන්නේ ජනතාවට වක‍්‍රාකාරයෙන් සහන සැලසීමම තමයි.

ජනතාවට ඍජු සහන ලබා දීමෙන් ජනතාවගේ අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙන්න බැහැ. හැබැයි මේ ලබා දීපු සහන තුළ ගොවියන්ගේ කම්කරුවන්ගේ කර්මාන්ත හිමියන්ගේ මෙන්ම ව්‍යවසායකයන්ගේ පැත්තෙන් සංවර්ධනය සඳහා ඉඩකඩක් විවර වෙලා ඇති බව පේනවා.

ගෙවිඳු සහල් මිල ගැන ද කතා කළේය. සහල්වලට පොදුවේ සහතික මිලක් රජය ගැසට් කිරීම සහ විටින් විට එම ගැසට් වෙනස් කිරීම ගැන ද විපක්ෂය ගෙන එන චෝදනාවලට ඔහු පිළිතුරු දුන්නේය.

හාල් මිල ස්ථාවරව තියාගන්න ගැසට් 5ක් නිකුත් කළ අය කියන එක නෙවෙයි ප‍්‍රශ්නේ...

හැම අවස්ථාවේම ගොවියාට වී වලට ලැබෙන ප‍්‍රතිලාභය මොකක්ද කියලා කවුරුවත් කතා කරන්නේ නෑ. අද ගොවියෝ මැසිවිලි නඟන්නේ නෑ. ඒ මොකද ගොවියන්ට වී කිලෝවට රුපියල් 50ක සහතික මිලක් ලැබෙනවා. ජනාධිපතිතුමා ඒ දීපු සහතික මිල තුළ අද ගොවියා කිසි ප‍්‍රශ්නයක් නැතුව ජීවත් වෙනවා. හැබැයි අපි බලන්න ඕනෑ හාල් කිලෝවක් හදන්න වී කිලෝ කීයක් වැය කරන්න ඕන ද කියන එක. හාල් මිල වෙනස් වෙන්නෙ අන්න එතෙන්දී. අපේ මූලික අරමුණ ගොවියා ශක්තිමත් කිරීම නම් අන්න ඒක ඉටුවෙලා තියෙනවා. මම මේ අයවැය ගැන සිකුරාදා මගේ කතාවේදී සාධනීයව කරුණු ඉදිරිපත් කරනවා....

ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෝ අයවැය සම්බන්ධයෙන් මොන මොන කරුණු ඉදිරිපත් කළත් විපක්ෂය නඟන චෝදනාවල නම් කෙළවරක් නොවීය. අයවැය පිළිබඳව ඇතුලාන්තයේ තිබෙන සිද්ධාන්තික කරුණු කාරණා විවේචනය කරනවට වඩා සමහරු විවේචනය කළේඅගමැතිවරයාගේ අයවැය ඉදිරිපත් කිරීම පිළිබඳ දුර්වලතා ගැන ය.

දැන් එයා වයසයි, කියන දෙයක් තේරෙන්නේ නෑ, කිසි ජවයක් නෑ, එක දිගට වැඩි වෙලාවක් හිටගෙන ඉන්න බෑ, වාඩි වෙලා අයවැය ඉදිරිපත් කරන්නේ නෑ.... ආදී වශයෙන් පරිබාහිර කරුණු ගැන කියන්නට මහන්සි වූවා මිස අයවැය හරය ගැන කතා කරන්නට අවධානය යොමු කළ අයෙක් විපක්ෂයේ නොවූහ.

කොරෝනා මහජන ගැටලූ
සජිත් වෙතම කියන්න...


මේ අතර පසුගිය සතියේ සමගි බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස අලූත් වැඩකට අත ගැසුවේය. කොරෝනා සම්බන්ධයෙන් ඇති මහජන ගැටලූ පවසන්නට මධ්‍යස්ථානයක් නොමැති නිසා ඔහු ඒ සඳහා මධ්‍යස්ථානයක් අරඹන්නට තීරණය කළේ ය. ජනතාවගේ දුක්ගැණවිලිවලට සවන් දීමට එවන් මධ්‍යස්ථානයක් පටන්ගත හොත් එය ජනතාවට ලොකු සහනයක් වේ යැයි ඔහු සිතන්නට ඇත. සජිත් මෙම මධ්‍යස්ථානය පටන් ගත්තේ විපක්ෂ නායක කාර්යාලයේ කොටසක් වෙන් කරමිනි.

පසුගිය සතියේ සජිත් මෙම මධ්‍යස්ථානය නරඹන්නට ගියේය. ඔහු එහි යන විට හරින් ප‍්‍රනාන්දු මනුෂ නානායක්කාර, මරික්කාර්, මුජිබර් රහුමාන් ආදීහු ජනතාවගේ කොරෝනා ප‍්‍රශ්නවලට සවන් දෙමින් සිටියහ.

මේ අතර අසුනක වාඩි වූ සජිත් පේ‍්‍රමදාස ද ජනතාවගේ ගැටලූවලට සවන් දෙන්නට පටන් ගත්තේය...

මේ ප‍්‍රශ්න ඔයගොල්ලෝ අහං ඉ`දලා විතරක් මදි. ඒවා ලේඛනගත කරලා වාර්ථාවක් තියාගන්න. අපි ඒවාට ඉක්මන් විසඳුම් ලබා දෙන්නත් පියවර ගන්ඩ ඕනේ...

පාර්ලිමේන්තුවේ කණ්ඩායම් රැස්වීමක් තියෙනවා... මම අද ඒකට යනවා... එහෙම නැත්තම් අද දවසම වුණත් මම මෙතන ඉඳලා ජනතාවගේ ප‍්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න කැමතියි... සජිත් කීවේය...

සජිත් එසේ කියමින් පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියේය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා අසනීප වී සිටීම නිසා අලූත් ලේකම්වරයෙක්ද පත්කර තිබිණි. නව ලේකම්වරයා වූයේ රවී ජයවර්ධනයි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උපාධිධාරියකු වන නීතිඥ රවී ජයවර්ධන කලක් රූපවාහිනි සංස්ථාවේ ද සභාපතිවරයා ලෙස කටයුතු කර තිබිණි..

මෙතුමා අපිත් එක්ක හිටපු අති දක්ෂයෙක්. එතුමා අපට අමුත්තෙක් නෙවෙයි. රංජිත් මද්දුම බණ්ඩාර එසේ කියමින් රවීව පිළිගත්තේය.

මට මතකයි සිරිකොතට ගල් ගැහුවා කියලා රවීව හිරෙත් දැම්මා. එදත් රවී නොබියව යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී හිටපු හැටි මට මතකයි... රාජිත අතීත සිදුවීමක් මතක් කරමින් කතා කළේ ය.

සුදුස්සාට සුදුසු තැන දෙනවා. ඒ වගේම නායකතුමා කලගුණ සලකන්නත් දන්නවා. තුෂාර ඉඳුනිල් කීවේය.

මේ අතර පසුගිය දිනවල අමු මාළු කෑම නිසා මහත් ආන්දෝලනයකට මැදි වූ දිලිප් වෙදාරච්චි මන්ත‍්‍රීවරයා සජිත් හමුවන්නට පැමිණියේය.

මාළුවලින් කොරෝනා බෝ වෙනවා කියලා වැරදි මතයක් සමාජගත වෙමින් යනවා. ඒකෙන් විශාල වශයෙන් ධීවර ප‍්‍රජාවට ලොකු පහරක් වදිනවා. අන්න ඒ නිසයි මම අමුවෙන් මාළුවෙක් කාල පෙන්නුවේ. එහෙම දෙයක් නෑ කියලා... සමහරු දැන් ඒකට මට මඩ ගහන්න පටන් අරන් තියෙනවා.. නෑ, ඔයා ප‍්‍රායෝගිකව ඔයාගේ ප‍්‍රජාව වෙනුවෙන් ලොකු දෙයක් කළා. තමන්ගේ මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙන අය තමයි අද හිඟ. ඒ අතින් ඔයා හරිම අව්‍යාජ යි.

අමුවෙන් මාළු කන සංස්කෘතියක් මේ ලෝකේ තියෙන බව නොදන්නා සමහර මිනිස්සු දිලිප් කරපු ඒ වැඬේ විහිළුවට අරගෙන එයාට මට ගහනවා. මමත් දිලිප් වෙනුවෙන් පෙනී ඉන්නවා මනුෂ නානායක්කාර කීවේය.

ඔව්... ජපානයේ මිනිස්සු මාළු කන්නේ අමුවෙන් තමයි... සජිත් කීවේ ය.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ද සමගි ජන බලවේගයේ වෙනම මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්විණි.

එහිදී එජාපයේ තරුණ මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක්ම මහින්දගේ පාර්ලිමේන්තු කතාව ගැන ඇදකුද කියන්නට පටන් ගත්හ...

අගමැතිතුමාට හිටගෙන අයවැය ඉදිරිපත් කරන්න වත් බැරි වුණා.... සජිත් ඔවුන්ව නිරුත්තර කළේය. ඔයාලට තේරෙන්නෙ නැද්ද ඒක මානුෂීය ප‍්‍රශ්නයක් කියලා. ඔයගොල්ලො ඒවට හිනා වෙන්න යන්න එපා. මතක තියා ගන්න අපි හැමෝම වයසට යනවා... මීට වඩා අයවැයේ ඇතුලාන්තය ගැන කරුණු කියනවා නම් ඒවා ඉදිරිපත් කරන්න මතක තියාගන්න...

හැබැයි ඒ ගොල්ලෝ ඔබතුමාට මඩ ගහනවා...

ඒකට කමක් නෑ... අපි වෙනස්. අපි හදන්නේ ආදර්ශවත් නූතනවාදී දේශපාලන පක්ෂයක්... සජිත් කීවේය. මේ අතර ද රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන පේමසිරි හිමියන්ගේ අභාවය පිළිබඳ පුවත සජිත් පේ‍්‍රමදාසට ආරංචි වී තිබිණි. එය සජිත්ගේ දැඩි සංවේගයට හේතුවක් විය. සමගි ජන බලවේගයට සම්බන්ධ එම පන්සලේ ස්වාමීන් වහන්සේ නමකට ඒ මොහොතේම කතා කළ සජිත් කරුණු කාරණා පිළිබ`ද විස්තර සොයා බැලූහ.

කහ පරිභෝජනය ගැන
රනිල් ශිරන්තිට කී කතා...


poli3එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත‍්‍රීවරු පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ නායකයා සමඟ විශේෂ රැස්වීමක් සංවිධානය කර ගෙන සිටියහ. රුවන් විජයවර්ධන විසින් මෙම කටයුත්ත කතාබහ කරන්නට යොදාගෙන තිබිණි.

උදේ වරුවේ මට බැරි වෙයි. මට අපේ හිතවතෙක් ගේ ම`ගුල් ගෙදරක අත්සන් කරන්න යන්න වෙලා තියෙනවා. අපි හවස වැඬේ කරමු... රනිල් කීවේය.

ඉන් පසුව රනිල් ම`ගුල් ගෙදරට සහභාගිවන්නට කොළඹ වෝටර්ස් එජ් හෝටලයට ගියේය.

එදා විවාහ මංගල උත්සවය තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ රත්ගම මැතිවරණ කොට්ඨාසයේ සංවිධායක චරිත්ගේය. චරිත් ඉතා ආදරයෙන් තම නායකයා පිළිගත්තේ ය. වජිර අභයවර්ධන ඇතුළු පාර්ලිමේන්තුවේ හිටපු මන්ත‍්‍රීවරු ගණනාවක්ම පැමිණ සිටි අතර මේ සියල්ල සම්බන්ධීකරණය කර තිබුණේ හිටපු පළාත් සභා මන්ත‍්‍රී සංජීව කරුණාතිලක ය.

විවාහ මංගල්‍යයට එක් පැත්තකින් අත්සන් කළේ රනිල් ය. මනාලියගේ පැත්තෙන් අත්සන් කරන්නට අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ පැමිණ සිටියාය.

සියලූ නිල කටයුතුවලින් පසුව ප‍්‍රධාන අමුත්තන් සියලූ දෙනා ප‍්‍රධාන මේසේ අසුන් ගෙන කතාබහ කරමින් සිටියහ. එජාප නායක රනිල් කොවිඞ් අර්බුදය ගැන ශිරන්තිගෙන් විමසා සිටියේ ය. ශිරන්ති ද ඒ පිළිබඳව බොහෝ කරුණු කාරණා දැන සිටි බැවින් දෙදෙනාට කතාබහ කරන්නට බොහෝ මාතෘකා තිබුණි.

කොවිඞ් වසංගතයෙන් මිදෙන්නට අපේ සාම්ප‍්‍රදායික වත්පිළිවෙත් හා සාපේක්ෂව තවමත් සාර්ථක කිසිදු විසඳුමක් සොයා ගෙන නැතැයි යන අදහසෙහි ශිරන්ති සිටියාය.

ගැමියෝ දෙයියන්ගේ ලෙඩ හැදුණු විට එම රෝගයෙන් බේරීමටත් වසංගතය පිටතට යන්නට ඉඩ නොදීමටත් කරන ලද ඇවැතුම් පැවැතුම් මෙහිදී ඕ විස්තර කළාය. නිරෝධායනය යන්නෙන් අද නම් කරන්නේ එම වත් පිළිවෙත් බව පැහැදිලි කළාය. එහිදී කොහොඹ කොළවලට හා කහ වලට කළ හැකි කාර්යභාරය ගැන ඇය ලොකු පැහැදිලි කිරීමක් කළාය.

ඔව් ඔබතුමියට කියන්න කහ කියලා කියන්නේ අපේ රටේ හොඳම විසබීජ නාශකයක්... රනිල් කීවේය... ස්ථානයක් පවිත‍්‍ර කරන්න ඉස්සර කළේ කහදියර ඉහින එක...

මේ ඔක්කොම හරි මැඩම්. අද ඉතින් ප‍්‍රශ්නෙකට තියෙන්නේ කහ හොයාගන්න නැති එක. සියල්ලෝම හිනස්සවමින් මනමාලයා කීවේය.

මෙම විවාහ මංගල්‍යයෙන් පසුව රනිල් කෙලින්ම පස්වෙනි පටුමගේ සිය නිවසට එන විට රුවන් විජයවර්ධන ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටියහ. විවාහ මංගල්‍යයට පසුව වජිරත් එතෙනට පැමිණියේ ය.

දැන් මොකද රටේ දේශපාලන තත්ත්වය. ඔයගොල්ල මොනාද හිතන්නේ. රනිල් කතාබහ ආරම්භ කළේ ය.

ආයවැයකුත් ඉදිරිපත් කළා. නිකම්ම නිකං වචන පද විතරයි. ජනතාව සතුටු වන, ජනතාවගේ ආකර්ෂණය යොමුවන කිසිම යෝජනාවක් මේක ඇතුලෙ නෑ, රුවන් කීවේය.

මමත් කියවලා බැලූවා.. සංඛ්‍යා ලේඛන දාල තිබුණට ඒ බොහෝමයක් වැරදියි. ආර්ථික වර්ධනයක් තියෙනවා කියලා අයවැයේ සංඛ්‍යාලේඛන දාලා තියෙනවා. ඒ වුණාට උද්ධමනය ඉහළ යනවා. බඩු මිල ඉහළ යනවා. බදු සහන දුන්නට වැඩක් නෑ ඒවා ගන්න ජනතාව අතේ සල්ලි නැත්නම්. මේ රටට ඕන ජනතාවගේ අතට මුදල් ලැබෙන ක‍්‍රමවේදයක් හදන්න... අයවැයෙන් ඒක කරල නෑ.. නායකයා විස්තර කළේ ය.

අයවැය ගැන පක්ෂයක් හැටියට අපි අපේ ස්ථාවරය කියන්න වෙනවා. සන්දිත් සමරසිංහ කීවේය.

මං හිතන්නේ ඒ වගකීම පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට රුවන් විජයවර්ධන මහත්තයා ඉටුකරයි.

අපිට එදා ආණ්ඩුවට තුනෙන් දෙකක් තිබුණෙත් නැහැ. බහුතරයක් තිබුණෙත් නෑ. ඒ වුණාට රුපියල් දහ දහසකින් පඩි වැඩි කළා. අපි ජනතාවට දීපු තල්ලූව නිසා තමයි ජනතාව අදටත් හිස ඔසවලා ඉන්නේ. ඒ අතරෙ ඉන්ධන මිල බඩු මිල එදා අපි අඩුකරේ තුනෙන් දෙකක් තියාගෙන නෙවෙයි... මොනව තිබුණත් වැඩක් නෑ මේ ගොල්ලන්ට ඒ කිසි දෙයක් කරගන්න බැරි වෙලා... ආයවැය පත‍්‍රිකාව ගත්තම හරියට ඒක සෙබ්බජස්ක එසපැි වාර්තාවක් වගේ. පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියන යෝජනා ටික නැති වීම ලොකු අඩුපාඩුවක්.... රුවන් පෙන්වා දුන්නේය.

මේකෙන් විශ‍්‍රාම යන වයස අවුරුදු 60 ක් කරලා තියෙනවා. ඒ වගේම අමතර රැකියාවක් කරන්නත් අවසර දීලා තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව දන්නේ නැති දෙයක් තියෙනවා. ඒ තමයි දැනටමත් මේ රජයේ සේවකයෝ මේ කාර්යාල සේවකයෝ රස්සාවල් දෙකක් කරනවා කියන එක. අමතර වැඩක් නොකොළොත් කාටවත් බැහැ කාල ඇ`දල ජීවත් වෙන්න. කාර්යාලවල ටයිපටි දාගෙන සේවය කරන මහත්තුරු අද කාර්යාල වේලාවෙන් පස්සේ ඌබර්, පික්මී දාගෙන තමන්ගේ කාර් එකෙන් හයර් දුවනවා. එහෙම නැත්තම් කෑම අදිනවා. එහෙමයි මිනිස්සු ජීවත් වෙන්නේ. වජිර අබේවර්ධන පැහැදිලි කළේය.

මුල මතක අගමැතිට
ආනන්ද හිමි දුන් සහතිකය...


අගමැතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් ඔහුට ආශීර්වාද කිරීම සඳහා නාරාහේන්පිට අභයාරාමයේ විශේෂ පිංකමක් පැවැත්විණි.

අගමැතිවරයාට සුබපැතීම සඳහා බොහෝ පිරිසක් එක්ව සිටියහ. කථානායක මහින්ද යාපා, ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, පවිත‍්‍රා වන්නිආරච්චි යන අය ද ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එහි වූහ. අගමැතිවරයා පැමිණෙන තෙක් එහි සිටි අය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සමග කතා කරමින් සිටියේ අගමැති මහින්දගේ ගුණයහපත් ගැනය.

‘‘මහත්තයෝ මම මහින්ද මහත්තයට එදා වගේම අදත් සලකනවා. එතුමාට හොඳට මුල මතකයි. ඒක නිසා තමයි මේ පන්සලේ එතුමාගේ උපන් දිනේට හැම අවුද්දකම මේ පිංකම කරන්නෙ. අද සමාජයේ ගොඩක් දෙනකුට මුල මතක නෑ. ඒක හොඳ දෙයක් නෙවෙයි” මුරුත්තෙට්ටුවේ හිමි කීවේ පිංකමේ කටයුතු ද සොයා බලමිනි.

‘‘අභයාරාමය අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ. මහින්ද මහත්තයට බලය නැති වෙනකොට සෙවන දුන් තැන නේ.” අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කීවේය. මේ කතාබහ අතරතුර මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේ ශිරන්ති රාජපක්ෂ මැතිනියද සමගය.

කිරි අම්මාවරුන්ගේ දානමය අවස්ථාවට එක් වූ අගමැතිවරයා ඉන් පසු විහාරස්ථානයේ පිළියෙළ කර තිබූ කෑම මේසයට ගියේ” උපන් දිනේ දවසෙ පන්සලෙන් උදේ කෑම ගන්න ලැබීමත් හොඳ දෙයක් නේ” කියමිනි.

‘‘හැම අවුරුද්දෙම උපන් දිනේට සර් උදේ පාන්දරම අභයාරාමයේ පිංකමට එන එක ගැන ආනන්ද හාමුදුරුවො ගොඩක් සතුටින් කතා කරනවා. අපිට නිදහසේ ජීවත් වෙන්න රටක් හදල දුන් මහින්ද මහත්තය කවුරුත් අමතක කරන්න එපා කියල පන්සලට එන හැමෝටමත් කියනව.” අගමැති දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ කියද්දී මේ කොවිඞ් වසංගතය අතරෙත් නායක හාමුදුරුවො යුතුකම් කරන්නමනේ බලන්නෙ. හැබැයි අපි හැමෝම පරිස්සම් වෙන්නත් ඕන කාලයක්. වෛරසයෙන් අපිම ආරක්ෂා වෙන්න ඕනෑ.’’ අගමැතිවරයා කීවේය.

මේ අතර අගමැතිවරයාට සුබපැතීම සඳහා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පැමිණ විශේෂ සළුවක් පොරවා ඔබතුමාට දීර්ඝායු වේවා! ඔබතුමා උදාර නායකයෙක්” යැයි කියමින් සුබපැතීය.

ඉන්පසු උපන් දින කේක් කැපීමට ද එක් වූ අගමැතිවරයා වැඩ සිටි මහා සංඝරත්නයේ ආශීර්වාද මැද එතැනින් පිටව ගියේ තවත් රාජකාරි කටයුතු කීපයකට සහභාගි වීමටය.

 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles