Divaina - සැප වාහන 300ක පාර්ලිමේන්තු සැසිය....

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

shami

ආචාර්ය චරිත හේරත්, අනුර ප‍්‍රියදර්ශන යාපා සහ මහාචාර්ය තිස්ස විතාරණ නායකත්වය දෙන පාර්ලිමේන්තු ව්‍යුහයන්ට මූල්‍ය විනය පවත්වාගැනීමේ වගකීම පැවරේ...
 
 ෂමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
 
සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට සහ රාජ්‍ය ගිණුම්කාරක සභාවට බරපතළ වගකීමක් ඇත. රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දරන වගකීම සහ වගවීම ඉහත සඳහන් කාරක සභා දෙකෙහි ක‍්‍රියාකාරිත්වය මෙන්ම සාර්ථකත්වය මත තීරණය වේ. රජයේ මුදල් කාරක සභාව ද මූල්‍ය විනය සම්බන්ධයෙන් වගකිව යුතුය.
 
 පසුගිය මාර්තු මාසයේදී කොවිඞ් ප‍්‍රහාරයට ලක්වීමට පෙර රටේ ආර්ථිකය බරපතළ පසුබෑමකට ලක්වී සිටියේය. යහපාලන රජය වගකිවයුතු මහ බැංකු බැඳුම්කර වංචා (2015 පෙබරවාරි සහ 2016 මාර්තු) ඇතුළු බලයේ සිටි සියලූම එජාප සහ ශ‍්‍රීලනිප ආණ්ඩු සිදු කළ දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා හේතුවෙන් වසර ගණනාවක සිට ආර්ථිකය බරපතළ ලෙස රෝගාතුර වී සිටියේය.
 
 පාර්ලිමේන්තුවේ කාර්යභාරය නිසියාකාරව සිදුවූවා නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට ශ‍්‍රී ලංකා ආර්ථිකය පත්වන්නේ නැත. පාර්ලිමේන්තුවේ වගකීම් විරහිත ක‍්‍රියා පිළිවෙත පනින රිලවුන්ට ඉනිමං තැබීම සමග සංසන්දනය කළ හැක. රෝහල් ගතවී සිටි ආර්ථිකය පසුගිය මාර්තු මාසයේ ප‍්‍රථම කොවිඞ් ප‍්‍රහාරය දැඩි සත්කාර ඒකකයට යැවූ බව පැහැදිලිය. දෙවන කොවිඞ් ප‍්‍රහාරය ඔක්තෝබර් මාසයේ එල්ල විය. ආර්ථිකයට මාරාන්තික තුවාල සිදුවිය.
 
 මෙම තත්ත්වය යටතේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට වහාම ගත යුතු ක‍්‍රියාමාර්ග තිබේ. දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා තවදුරටත් කිසිසේත් සිදුවිය නොහැක.
 
 වංචාව සහ දූෂණය වැළැක්වීමේ වගකීම පාර්ලිමේන්තුව ආයතනයක් ලෙස ගත යුතුය. මහජන නියෝජිතයින් සහ නිලධාරී පැලැන්තිය ‘ඞීල්’ දැමූ සහ දමන තරු පහේ පාර්ලිමේන්තු ක‍්‍රමය ඇත්ත වශයෙන්ම කොඩිවිනයකි. මරණාසන්නව සිටින ආර්ථිකයට තවදුරටත් දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා උහුලන්නේ නැත. රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අවශ්‍යතාවයටත් වඩා ඕනෑකමක් දූෂණය, වංචාව සහ අක‍්‍රමිකතා වැළැක්වීමේ සැලසුම් සහගත ක‍්‍රියාදාමයක් ක‍්‍රියාත්මක කිරීමට තිබිය යුතුය. මෙම යෝජනාව කිසිසේත්ම නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අවශ්‍යතාවය සැහැල්ලූ කිරීමක් නොවේ. නව ව්‍යවස්ථාව කිසිසේත් ප‍්‍රමාද කළ යුතු නැත. නමුත් මංකොල්ලකරුවන්ගේ ග‍්‍රහණයෙන් ශ‍්‍රී ලංකාව වහාම ගලවා නොගතහොත් නව ව්‍යවස්ථාව ගෙන ඒමේ ප‍්‍රයෝජනයක් නැත.
 
 සැලසුම් සහගත දූෂණ ක‍්‍රියාවලිය සමස්ත ආර්ථිකයට පිළිකාවක් ලෙස පහරදුන් / දෙන බව අමුතුවෙන් කිවයුතු නැත. ශ‍්‍රී ලංකාවේ කාලයක සිට ක‍්‍රියාත්මක සැලසුම් සහගත දූෂණ ක‍්‍රියාවලියේ කූඨප‍්‍රාප්තිය මහ බැංකු මංකොල්ලයයි. දූෂිතයන්ට, මංකොල්ලකරුවන්ට නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බවත්, පාර්ලිමේන්තුව අවශ්‍ය ආරක්ෂාව සපයන බව වටහාගත් කණ්ඩායමක් මහ බැංකු බැඳුම්කර වංචාව ක‍්‍රියාත්මක කළේය. මහ බැංකුව දෙවරක් කොල්ලකෑ රටේ දූෂිතයන්ට කළ නොහැක්කක් නොමැත. කෙසේ වෙතත් පසුගිය පාර්ලිමේන්තුවේ ආසන 106 ලබාගත් එජාපය එක ජාතික ලැයිස්තු ආසනයට අගෝස්තු මැතිවරණයේදී ජනතාව ලබාදුන් තීරණයට මහ බැංකු බැඳුම්කර වංචා බරපතළ බලපෑමක් කළේය. පාර්ලිමේන්තු ක‍්‍රියාකලාපය යහපත් ලෙස වෙනස් විය යුතුය. මහජන නියෝජිතයින්ට හිමි වරප‍්‍රසාද දූෂණයට, වංචාවට සහ අක‍්‍රමිකතාවලට යොදා ගැනීම අවහිර කිරීමේ බරපතළ වගකීමක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට සහ රාජ්‍ය ගිණුම්කාරක සභාවට ඇත. එම කොමිටි දෙකේ නායකත්වය දරන, පිළිවෙළින්, ආචාර්ය චරිත හේරත් සහ මහාචාර්ය තිස්ස විතාරණ රාජ්‍ය මූල්‍යයට වගකිව යුතුය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය එම කොමිටි දෙකේ නායකත්වය සමගි ජනබලවේගයට නොදීම අනුවණ ක‍්‍රියාවකි. සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වාහට මෙම වගකීම භාරදීම රජයට වැඩි වාසිදායක වීමට තිබිණි. රජය නියෝජනය කරන මැති ඇමැතිවරු අවංකව කටයුතු කරනවා නම් එම පාර්ලිමේන්තු කොමිටි තම පක්ෂයෙන් පිට පුද්ගලයින් යටතේ ක‍්‍රියාත්මක වීම ප‍්‍රශ්නයක් නොවේ. රජයේ මුදල් කාරක සභාවේ නායකත්වය අනුර ප‍්‍රියදර්ශන යාපාටය. ඔහු ද රජය නියෝජනය කරයි. මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ලිමේන්තු ව්‍යුහයෙන් තුනෙන් එකක් හෝ සමගි ජන බලවේගයට භාර දීම යහපත් නොවන්නේද? රජයේ ක‍්‍රියාකලාපය විමසා බැලිය යුත්තේ 20 වැනි සංශෝධනය හරහා රජයේ සම්මත
 විගණන ක‍්‍රියාවලිය බරපතළ ලෙස දුර්වල කිරීමට කළ අසාර්ථක උත්සාහය ද සැලකිල්ලට ගනිමින්ය. ඒ ආකාරයෙන් 20 වැනි සංශෝධනය සම්මත වූවා නම් වංචාවට, දූෂණයට සහ අක‍්‍රමිකතා කිරීමට බලපත‍්‍රයක් ලබාදීමක් වනු ඇත.
 
 එලෙසම එම කොමිටි කාගේ නායකත්වය යටතේ ක‍්‍රියාත්මක වුවත් මංකොල්ලකරුවන් පසුබට වන්නේ නැත. ඊට දිය හැකි ප‍්‍රබලම උදාහරණය, දූෂිත ශ‍්‍රී ලංකා දේශපාලනයේ කූඨප‍්‍රාප්තිය වන සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් ක‍්‍රියාත්මක කළ මහ බැංකු බැඳුම්කර වංචාවයි. පළමුවන වංචාව සිදුකරනවිට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති කොමියුනිස්ට් පක්ෂයේ මහා ලේකම් ඩිව් ගුණසේකර විය. දෙවැනි බැඳුම්කර වංචාව සිදුකරන විට එම කාරක සභාවේ නායකත්වය ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති විය. එජාපයට ඒ කිසිවක් අදාළ නොවීය. මෙහෙයුම් දෙකටම අවශ්‍ය දේශපාලන ආරක්ෂාව එජාපය සැලසීය. එජාපය ආරක්ෂා කිරීමට එවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන කළ හැකි සියල්ල කළේය. පළමුවන වංචාව පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම වැළැක්වීමට පාර්ලිමේන්තුව 2015 ජුනි 26 දින ජනාධිපතිවරයා පියවර ගත්තේය. මහ මැතිවරණයට අගෝස්තු මස දින නියම කළ ජනාධිපතිවරයා, එජාපය දිනවීමට ප‍්‍රබල දායකත්වයක් කිසිදු හිරිකිතයක් නොමැතිව කළේය. එක්සත් ජනතා නිදහස් පෙරමුණ ජයග‍්‍රහණය කළත් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් නොකරන බවට කළ ප‍්‍රකාශය තම කණ්ඩායමට එල්ල කළ මල්ටි බැරල් රොකට් ප‍්‍රහාරයකි. එම මැතිවරණය දෙවැනි මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට ඉඩ සැලසීය. පොලිසිය නිහඬව සිටියේය. කිසිදු පරීක්ෂණයක් කළේ නැත. ජනාධිපතිවරයා ජනාධිපති කොමිසම 2017 ජනවාරි පත්කරන තුරු සියලූ බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය.
 
 වර්තමාන නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල දි ලිවේරා කටයුතු කරන ආකාරයට එදා නීතිපති දෙපාර්තමේන්තුව ක‍්‍රියාත්මක වූවා නම් තත්ත්වය වෙනස් වීමට තිබිණි. ඒ පළමුවන බැඳුම්කර වංචාවට නිසියාකාර පරීක්ෂණයක් කිරීමට නියම කරන තත්ත්වයක් තුළය. දූෂිත දේශපාලන ක‍්‍රමය තුළ පාර්ලිමේන්තුවේ අදාළ කාරක සභා දෙකේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමට සිදුවේ. පාර්ලිමේන්තු ක‍්‍රමය තුළම දූෂිත ක‍්‍රියාකාරකම්වලට ආරක්ෂාව තිබේ. පළමුවන මහ බැංකු වංචාව පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දිනට පෙරදින මැතිසබය විසුරුවා හැරීමට ක‍්‍රියාකිරීම අදහාගත නොහැකි අශීලාචාරකමක් නොවේද? මෙලෙස සාමුහිකව බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ජනාධිපති බලතල සහ පාර්ලිමේන්තු ක‍්‍රමය අවභාවිතා කිරීමක් නොවන්නේද? දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ ජනමාධ්‍ය මෙවැනි තත්ත්වයක් පිළිබඳව නිසියාකාර අවධානයක් යොමු නොකිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන 9 ම දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නායකත්වය දරන කණ්ඩායම ජනාධිපති බලතල අනිසි ලෙස දූෂිතයන්/දූෂිත ගනුදෙනු ආරක්ෂා කිරීමට යොදාගැනීම වැළැක්වීමට යෝජනා ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තමන්ට අවශ්‍ය නොවන බැංකු ගිණුමක් අහෝසි කරන ආකාරයට කිරීමට ඇති අවස්ථාව ව්‍යවස්ථානුකූලව නැති කළ යුතුය. යෝජිත නව සාමාන්‍යකරණය යටතේ ක‍්‍රියාත්මක නීතිරීති අනුව ජනතාවට කටයුතු කිරීමට සිදුවේ. එම තත්ත්වය පැහැදිලිය. එලෙසම පාර්ලිමේන්තු ක‍්‍රියාකලාපය ද වහාම වෙනස් කළ යුතුය. තවදුරටත් මහජන මුදල් කාබාසිනියා කරමින්, වංචාවට දූෂණයට ඉනිමං තැබීම පාර්ලිමේන්තුව දැඩි සත්කාර ඒකකයේ සිටින ජාතික ආර්ථිකය මරණයට පත් කිරීමකි. කොරෝනා ප‍්‍රහාරයත් සමග රටේ ආර්ථිකය බලවත් පීඩාවට ලක්විය. රටේ ප‍්‍රධාන ආදායම් මාර්ග ඇහිරිණි. ඇඟලූම් කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ විදේශයන්ගේ රැකියාවේ නියුතු ශ‍්‍රී ලාංකිකයන් සහ ශ‍්‍රී ලංකික සම්භවයක් ඇති විදේශියකයින් කරන මුදල් සම්පේ‍්‍රෂණය සැලකිය යුතු ලෙස පහත වැටිණි. එම තත්ත්වය යටතේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝගය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශීය රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සමඟ පවා පළමුවන කොරෝනා ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේ නොවලහා පැවසීය. ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය අනුපාතයට බලවත් පීඩනයක් ඇති විය. එම තත්ත්වයට මුහුණ දීමට ජනාධිපතිවරයා කළ යෝජනා 2020-04-01 දින කැබිනට් මණ්ඩලයේදී සම්මත විය. ජාතික ආර්ථිකයට ඇතිවී තිබෙන වර්ධනය වෙමින් පවතින පීඩනය සමනය කිරීමට වහාම ගතයුතු ක‍්‍රියාමාර්ග නිර්දේශ කිරීමට ජනාධිපතිවරයා කමිටුවක් පත් කළේය. එම කමිටුවේ යෝජනා අනුව ආනයනික භාණ්ඩ කාණ්ඩ 3 ට බෙදීය. එම ක‍්‍රියාදාමයේ මූලික පරමාර්ථය විදේශ මුදල් සංචිතය ආරක්ෂා කරගැනීම විය.
 
 වාර්ෂිකව දේශීය සහ විදේශීය ණය ගෙවීමේ බරපතළ අර්බුදයක හිරවී සිටින ශ‍්‍රී ලංකාව සෑම ඇමෙරිකානු ඩොලරයක්ම ඉතිරි කරගත යුතුය. ආනයනයට සීමා පැනවීම අත්‍යවශ්‍යය. ජනාධිපතිවරයා ගත් ක‍්‍රියාමාර්ගය ඉතාමත් සාධනීය බව කිව යුතුය. විදේශීය සංචිත ආරක්ෂා කරගැනීමේ පිළිවෙත අනුව (අ) දේශීයව වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ, වෙළඳ භාණ්ඩ සහ මෝටර් වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීම (ආ) භාණ්ඩ සහ සේවා සැපයුම්කරුවන් විසින් ලබා දෙන ණය පහසුකම් මත හෝ විදේශ විනිමය වැය නොවන පදනම මත තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමට අවස්ථාව දීම (ඇ) දේශීය කර්මාන්ත, කෘෂිකර්මාන්තය, ආනයන සැකසුම් සහ දේශීය පාරිභෝජනය සඳහා අවශ්‍ය තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමට ඉඩ සැලසීම. එම සාධනීය පියවරයන් ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය 1969 අංක 1 දරන ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ප‍්‍රකාශයට පත්කළ අති විශේෂ ගැසට් නිවේදන 4 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැතිවරයා මුදල් ඇමැති ලෙස කළ යෝජනාව සම්මත විය.
 
 මැතිසබයේ ආසන 145 ක් ඇති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ගැසට් 4 සුළු බහුතරයකින් සම්මත කර ගැනීමට කිසිදු අවහිරයක් නැත. නමුත් විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කරන අතරම, අධි සැප වාහන 300 ක් පමණ අපේ‍්‍රල් - මැයි කාලය තුළ ආනයනයට අවස්ථාව දීම බරපතළ දූෂිත ක‍්‍රියාවකි. කැබිනට් මණ්ඩලය ගත් තීරණය නිසියාකාරයෙන් ක‍්‍රියාත්මක කිරීමේ වගකීම දැරිය යුත්තේ කවුරුද? රජය ගත්, පාර්ලිමේන්තුවේදී සම්මත වන තීරණය බැංකු පද්ධතියට දැන්වීමට වගකිව යුත්තේ කවුරුද? යම් අතපසුවීමකින් රජය තම වගකීම ඉටු නොකළත්, සියලූම ජනමාධ්‍ය වාර්තා කළ ආනයන සීමා පැනවීම සම්බන්ධයෙන් දැනුවත් වී සිටි වගකිවයුතු ඉහළ නිලධාරී පැලැන්තිය විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසි ක‍්‍රියා මාර්ග නොගත්තේ ඇයි? මෙය නීතිය නැමීමක් නොවන්නේද? දේශපාලන නායකත්වය සහ නිලධාරී පැලැන්තිය මෙවැනි අසාධාරණ ක‍්‍රියාවකට වගකිව යුතු නොවේද? වංචනික ක‍්‍රියා මාර්ගයක් හරහා වාහන ගෙන්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයක් විරෝධතාවයක් දැක්වූයේ නැත. තවමත් කිසිවක් සිදු නොවූ ආකාරයට සියලූම පක්ෂ දූෂිත වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් නිහඬව සිටී.
 
 ආචාර්ය චරිත හේරත් සභාපති ධුරය දරන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අපනයන තහනමක් ක‍්‍රියාත්මක අවස්ථාවක පූර්ණ විමර්ශනයට ලක්විය යුතු නීතියෙන් පිට ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් සැප වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් විමසා බැලිය යුතුය. මෙය සමස්ත බැංකු ක‍්‍රියාවලිය යොදා ගනිමින් කළ දූෂිත ක‍්‍රියාවකි. ආනයනය කළ අධි සුඛෝපභෝගී වාහන 300 අතර තීරු බදු රහිත ආනයනයට රජය නිකුත් කළ බලපත‍්‍ර යොදාගත් අවස්ථා බොහොමයක් විය. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර සහ මුදල් ලේකම් එස්. ආර්. ආටිගල මෙම වංචාකාරී ක‍්‍රියාව සම්බන්ධයෙන් කළ විමර්ශන වාර්තාව ජනතාවට ඉදිරිපත් කළ යුතු නොවේද? රජය, පාර්ලිමේන්තුව ජනතාවට වගකිව යුතුය. ජාතික ආපදා තත්ත්වයක් හේතුවෙන් අපනයන තහනම් කර ඇති අවස්ථාවක නීතිය ආරක්ෂා කිරීමට තදින් බැඳී සිටින පුද්ගලයන් කර ඇති වංචාව බරපතළය. කැබිනට් තීරණයක් නොසලකා කටයුතු කර ඇත. ජනාධිපති ලේකම් සහ මුදල් ලේකම් ආනයන වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සිදුවන්නේ
 ශ‍්‍රී ලංකා රේගුව අදාළ වාහන ආනයනය රජයේ රෙගුලාසිවලට පිටින් කර ඇති බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කර ඇති අවස්ථාවකය. පාර්ලිමේන්තුව නිහඬය. පාර්ලිමේන්තුවේ නිහඬතාවය පුදුමයට කාරණාවක් නොවේ. මහජන නියෝජිතයින් තමන්ට ලැබෙන විශේෂ තීරු බදු රහිත වාහනයක් ආනයනය කිරීමේ ක‍්‍රමවේදය යටතේ ආනයනය කළ සුපිරි වාහන විකුණා දැමීම කිසිදු හිරිකිතයක් නොමැතිව සිදු කරයි. එක වාහනයක් ගෙන්වීමේදී මහජන නියෝජිතයෙක්ට ලැබෙන බදු සහනය රුපියල් ලක්ෂ 330 පමණය. එම සහනය යටතේ ගෙන්වන වාහනය තවකෙකුට විකුණා දැමීමෙන් රුපියල් ලක්ෂ දෙතුන් සියයක් ලබා ගත හැක. මෙහිදී සිදුවන වංචාවට අමතරව, රටේ ආර්ථිකයට වන හානිය බරපතළය. රුපියල් ලක්ෂ 330 ක් රජයට බදු ගෙවා වාහනයක් ආනයනය කිරීමට වත්කමක් තිබෙන පුද්ගලයකු එම මුදල මන්ත‍්‍රීවරයකුට ලබා දෙයි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තීරු බදු රහිත වාහන
 ගෙන්වීම 1978 දී පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් පසු සියලූම දේශපාලන පක්ෂ අදාළ ක‍්‍රමය තම පක්ෂයේ සහ එහි සාමාජිකයින්ගේ වාසියට යොදාගෙන ඇත. රටේ ආර්ථිකයට හෙණ ගැහුවත් ඔවුන්ට ප‍්‍රශ්නයක් නැත. මෙවැනි තීරු බදු රහිත වාහන දුසිම් භාගයක් පමණ ආනයනය කළ මන්ත‍්‍රීවරු/ ඇමැතිවරු සිටිති. ජාතික ආර්ථිකය හප කරන ඔවුන් ජනතාවට වැදී බණ දෙසති. මෙවැනි පාර්ලිමේන්තුවක් ජනතාවගේ පිළිගැනීමට, ගෞරවයට පාත‍්‍ර විය යුතුද?
 
 ජනාධිපති කොමිසම ඉදිරිපත් කළ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව යට ගැසූ බවට චෝදනා කළේ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාමය. එදා ජනාධිපති අද පොහොට්ටු පක්ෂයේ මන්ත‍්‍රී ශ‍්‍රීලනිප නායක සිරිසේන පාර්ලිමේන්තුවේ ඉදිරි අසුනක ය. 1989 පාර්ලිමේන්තුවට පළමුවරට ඇතුළු වූ සිරිසේන 2014 දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවෙන් ඉවත් විය. නැවත මන්ත‍්‍රීවරයකු ලෙස පසුගිය එතුමා තමන් ජනාධිපති ලෙස කටයුතු කළ කාලයේ ඉදිරිපත් කළ බැඳුම්කර වාර්තාව නව පාර්ලිමේන්තුවේදී මතු කිරීමට එතුමා කරන උත්සාහය ජනතාව උනන්දුවෙන් බලා සිටී. නව පාර්ලිමේන්තුවේදී අද වනතුරු සැඟවුණු කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් කිසිදු පක්ෂයක් අදහසක් ඉදිරිපත් කර නැත. පාර්ලිමේන්තුවක් ක‍්‍රියා නොකළ යුතු ආකාරය පැහැදිලි කිරීමට උදාහරණයක් අවශ්‍ය නම් ඒ වෙන කිසිම මැතිසබයක් නොව අපේම පාර්ලිමේන්තුවයි.
 
 හිටපු කථානායක කරු ජයසූරිය මහත් ආඩම්බරයෙන් පැවසූ ආකාරයට ලෝකයේ ක‍්‍රියාත්මක පාර්ලිමේන්තු අතරින් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව අද්විතීය ස්ථානයක තිබෙනවා යැයි පැවසීම කිසිදු සාධාරණ තත්ත්වක් යටතේ පිළිගත නොහැක. සටකපට පාර්ලිමේන්තු ක‍්‍රියාකලාපය පිළිබඳව නිසියාකාර දැනීමක් ජනතාවට නැත. මෙම අවාසනාවන්ත තත්ත්වය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂවලට අදාළය. නිසියාකාර දැනුමක් ඡන්දය දෙන ජනතාවට තිබේ නම්, මහ මැතිවරණයකදී පමණක් නොව ජනාධිපති, පළාත් සභා සහ පළාත් පාලන ඡන්දය පාවිච්චි කිරීම අප රටේ ආර්ථිකය මෙන්ම ශීඝ‍්‍රයෙන් පහළ බසිනු ඇත. ආර්ථිකය බිංදුවට බැසීම සහ වංචාව, දූෂණය සහ අක‍්‍රමිකතා අතර තිබෙන සම්බන්ධතාවය වෘක්ෂයකට වැලක් ගිය ලෙසට පෙන්වා දිය හැක. පාට, පක්ෂ, නිලධාරී මණ්ඩලය වෙනස් ය. නමුත් ක‍්‍රියාකලාප එකමය.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles