Divaina - එජාපයේ ප‍්‍රතිසංවිධානයට රනිල් ගත්ත නව පියවර... අලි සබ්රිගේ කරපිටට වඳින්න ගිය දේවාලේ... අවුරුදු 2500 ඔප්පුව ගැන රනිල්ට කියාදුන් පාඩම... කොරෝනා දුක අහන්න සජිත් ගෙනා යෝජනාව....

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

 

poli

 බුලිත ප‍්‍රදීප් කුමාර
 
ඇමරිකාව ප‍්‍රමුඛ ලොව අන් බලගතු රටවල සේම අපේ රටේ ද පසුගිය සතිය වන විට කොවිඞ් වසංගත තත්ත්වය නරක අතට හැරී තිබිණි. එහෙයින් අපේ දේශපාලන කතිකාවේ ප‍්‍රධාන මාතෘකාව පසුගිය සතියේත් කොවිඞ් ම විය.
 
 පසුගිය සතිය පටන් ගන්නා විට ලංකාවේ කොවිඞ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 12,000 ඉක්මවා ඉහළ ගොස් තිබූ අතර සිදු වූ මරණ සංඛ්‍යාව 30 ඉක්මවා ගියේය. කෙමෙන් කෙමෙන් සතිය අවසන් වන විට මේ තත්ත්වය තව තවත් ඉහළ ගියේ ය. ආසාදිතයින් සංඛ්‍යාව 15,000 ට වඩා වැඩි වූ අතර කොවිඞ් මරණ සංඛ්‍යාවද 50 සීමාව ද ඉක්මවා ඉහළ යන ලකුණු පෙන්නුම් කර තිබිණි.
 
 එහෙයින් පසුගිය සතිය තීරණාත්මක සතියක් විය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයනුත් එක් වී කරන ලද දීර්ඝ සාකච්ඡා කීපයක ප‍්‍රතිඵල අනුව තීරණාත්මක තීන්දු තීරණ ගණනාවක් ම  ගනු ලැබුවේ එම සතිය තුළ ය. බස්නාහිර පළාතේ කොරෝනා ව්‍යාප්තිය ඉතා නරක තත්ත්වයක පැවති නිසා බස්නාහිර පළාත වසා දමන්නට කල්පනා කළ රජය දින කීපයක් තිස්සේ දීර්ඝ වශයෙන් කරන ලද සාකච්ඡා කීපයක ප‍්‍රතිඵලයක් හැටියට පළාත යළි විවෘත කරන්නට තීන්දු ගත්තේ පසුගිය සති අන්තයේය. එහි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිතර නිතර පවත්වන ලද සාකච්ඡාවල දී වර්තමාන ලෝක තත්ත්වය ට අනුව අප ද හැඩ ගැසිය යුතු බව පෙන්වා දුන්නේ ය. රට වසා තබා ආර්ථිකය හා කර්මාන්ත අකර්මණ්‍ය වන්නට ඉඩ නොදී කොරෝනා සමග ජීවත් වෙමින් වැඩ කිරීමේ කලාවට රටේ ජනතාව පුරුදු පුහුණු විය යුතු යැයි ඔහු කීවේය.
 
 එසේම රටේ සංචාරණ සීමා ඉවත් කිරීමට හා ප‍්‍රවාහන පහසුකම් යළි ස්ථාපිත කිරීමට මෙන් ම අවශ්‍ය ආරක්ෂිත උපක‍්‍රම භාවිතා කරමින් රටේ කර්මාන්ත, සේවාවන් හා සැපයුම් යළි යථා තත්ත්වයට ගේන්නට රජය තීන්දු කළේ ය. ඒ අනුව ඉකුත් 8 වැනිදා පාන්දර පහෙන් පසු මුළු රටම සාමාන්‍ය තත්ත්වයට හැරෙන්නට විය. එහෙත් මේ වන විට රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ එළවළු පලතුරු වර්ග හිඟයකින් තොරව බෙදාහැරීම සම්බන්ධයෙන් ගැටලූ රැසක් මතුව තිබිණි. පිටරටින් ගෙන්වන පරිප්පු, අල, ලූනු සීනි වැනි ආහාර ද්‍රව්‍ය ඇති තරම් පිටකොටුවේ තොග වෙළඳුන් ළඟ ගෙන්වා තිබුණත් ඒවා නිසි පරිදි බෙදාහැරීමේ යාන්ත‍්‍රණය දුර්වල වී තිබීම නිසා ප‍්‍රශ්න රැසක් පැන නැගී තිබිණි. අනිත් අතට පසු ගිය කාලයේ ලැබුණු සාර්ථක වී අස්වැන්නට අනුව රට පුරා හාල් ටොන් ලක්ෂ 32 ට වැඩි වී තොගයක් තිබිය යුතු බව ගණන් බලා තිබුණත් සාමාන්‍ය වෙළෙඳ පොළේ සහල් හිඟයක් ද තිබෙන බව පෙනෙන්නට තිබිණි. සියල්ලටම වඩා බරපතළ ලෙස දැනුණු ප‍්‍රශ්නය වී තිබුණේ එළවළු ගොවියන්ගේ එළවළු අස්වනු රට පුරා බෙදා හරින සියලූ යාන්ත‍්‍රණ බිඳ වැටී තිබීමයි. විශේෂයෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු කොවිඞ් වසංගත තත්ත්වය නිසා හදිසියේ වසා දැමීම හේතුවෙන් අකර්මණ්‍ය වූ යාන්ත‍්‍රණය යළි සාමාන්‍ය තත්ත්වයට ගැනීම පහසු වූයේ නැත.
 
 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවියන්ගේ එළවළු අස්වනු ආර්ථික මධ්‍යස්ථාන හදිසියේ වසා දැමීම නිසා මිලදී ගන්නට කෙනෙක් නොවිය. දින කීපයකින් දඹුල්ලේ තත්ත්වය යහපත් වුවත් ඊළඟට එම තත්ත්වය බලපෑවේ කොළඹ මැනිං වෙළෙඳ පළට ය. මැනින් වෙළෙඳපොළ ද පසුගිය දිනවල කිහිපවිටක් ම හදිසියේ වසා දැමීම්වලට ලක් විය. මේ අතර පසුව දා උදේ සිට යළිත් මැනිං වෙළෙඳ පොළේ වාණිජ කටයුතු ආරම්භ කරන බවට 8 වෙනි ඉරිදා හවස මාධ්‍ය මඟින් ප‍්‍රසිද්ධ කෙරිණි. දින ගණනාවක් තිස්සේ අලෙවි කර ගැනීමට නොහැකි වුණු එළවළු තොග රැගෙන රටපුරා ගොවියන් හා තොග වෙළෙන්දන් ඉරිදා රාත‍්‍රියේ මැනිං වෙළෙඳ පොළට පෝලිමේ පැමිණෙන්නට වූහ. එහෙත් හදිසියේ ගත් තවත් තීන්දුවක් නිසා සඳුදා උදේ පාන්දර මැනිං වෙළෙඳ පොළේ වාණිජ කටයුතු ආරම්භ වූයේ නැත.
 
 එයට හේතුව වී තිබුණේ ඊට පෙර දා කොළඹ මැනිං වෙළෙඳ පොළේ බඩු භාණ්ඩ බාන පටවන නාට්ටාමි වරු තුන්සියයක් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණයකින් එකසිය අසූවක් පමණ දෙනා කොවිඞ් ආසාදිතයින් බවට හඳුනා ගැනීමය. බරපතළ අපහසුතාවන්ට ලක් වූ ගොවියන් හා තොග වෙළෙන්දන් ලොරි පිටින්ම රටේ අනෙකුත් ප‍්‍රදේශවල පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත හරවා හරින්නට රජයට සිදු වූයේ ඒ අනුවය. ඇතැම් වෙළෙන්දන් තමන් ගෙන ආ බඩු භාණ්ඩ කොළඹ නගරයේ තැන් තැන්වල තබාගෙන කුණු කොල්ලයට විකුණා දමන්නට තීරණය කළ අතර සමහරු ආපසු හැරී ගියහ. තවත් සමහරු මීගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග රැගෙන ගියත් බොහෝ දෙනෙකුගේ එළවළු තොග දින දෙකතුනක් වාහන ඇතුළේ ම අඩුක් කර තිබීම නිසා නිසි ප‍්‍රතිඵල ගන්නට නො හැකි විය.
 
 ගොවියන් ගේ සියලූ එළවළු තොග රජය විසින් මිලදී ගන්නා බවට රජයේ යම් යම් මාධ්‍ය යොදාගෙන නිවේදන නිකුත් කර තිබුණත් ඒවා හරියාකාරව කළමනාකරණය කර ගන්නට අදාළ දේශපාලන බලධාරීන්ට හා නිලධාරීන්ට නොහැකි වූ අයුරු පැහැදිලිවම පසුගිය සතියේ අපට දැක ගත හැකි විය. මොනතරම් එළවළු තොග කුණු වී ගියත් මොන තරම් එළවළු තොග ගොවියා කුණු කොල්ලයට විකුණා දැමූ බව කීවත් කොළඹ සාමාන්‍ය පාරිභෝගිකයාට නම් එළවළු මිලයට ගන්නට සිදු වූයේ වෙනදාටත් වඩා වැඩි මිල ගණන් යටතේ ය. තත්ත්වය එසේ වුවත් ආණ්ඩුවේ ඇතුලේ අලූත් අලූත් වැඩ සිදු වූයේ නැතැයි කිව නොහැකිය. ආණ්ඩුව පසුගිය සතියේ අලූත් වැඩකට අත ගැසුවේය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ ආර්ථික පුනර්ජීවන කමිටුවේ සභාපති බැසිල්ය. ඒ ග‍්‍රාමීය ආර්ථිකය නංවාලීමේ විශේෂ වැඩ සටහනකි. ග‍්‍රාමීය ආර්ථිකය නංවාලීමේ වැඩ සටහන යටතේ කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් 32 කින් සමන්විත විශේෂ අනු කමිටු 04 ක් පත් කෙරිණ. දිවයිනේ සියලූම දිස්ත‍්‍රික්කවලට ගොස් එම දිස්ත‍්‍රික්කවල ජනතා අවශ්‍යතා හඳුනාගෙන ඊට කඩිනම් පිළියම් යෙදීම මේ කමිටුවලට හැකිවිණි. මෙම කමිටුව වූයේ සාමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව, ජීවනෝපාය සංවර්ධන කමිටුව, ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන යන කමිටු 04 යි.
 
 ජීවනෝපාය සංවර්ධන කමිටුවේ ප‍්‍රධානත්වය දැරුවේ ප‍්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලූත්ගමගේ, සී.බී. රත්නායක යන ඇමැතිවරුන්ය. ජීවනෝපාය සංවර්ධන කමිටුව සිය වැඩ කටයුතු ඇරඹුවේ මාතලේ දිස්ත‍්‍රික්කයෙනි. පසුගිය සඳුදා මාතලේ දිස්ත‍්‍රික් හෝටල් පාසල් ශ‍්‍රවණාගාරයේදි මේ සාකච්ඡාව සංවිධානය කර තිබුණි. රැස්වීමට පැමිණි ඇමැති සී. බී. එහි ආසන අතර මීටරයක පරතරය නොතිබූ බව ඇසුවේය.
 
 ‘අපි මුළු රටටම කියනවා හැමතැනම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා. කෝ... මෙතන මීටරයක දුර නෑනේ.... සී.බී. මහින්දානන්දට කීවේය.
 
 ‘ඒක නේන්නම්’’ යැයි කියූ මහින්දානන්ද වහා එතැන සංවිධායකවරයකුට කථා කර ආසන අතර මීටරයක පරතරය තබා සකසන්නැයි උපදෙස් දුන්නේය.
 
 සාකච්ඡාව අතරතුර සී.බී. මේ පිළිබඳව දිස්ත‍්‍රික් ලේකම්වරයාට විරෝධය පළ කරන්නට ද අමතක කළේ නැත.
 
 ‘කොවිඞ් පාලනය කරන්න සෞඛ්‍ය අංශ නිර්දේශයක් දුන්නාම ඒක ක‍්‍රියාත්මක නොකරන්නේ නම් ඒක නරක පූර්වාදර්ශයක්. මෙතන මීටරයක දුර නැති එක දැක්කම මිනිස්සු බණින්නේ අපිට. ඔබතුමාලට නෙවෙයි. ඒක නිසා මේ වගේ වැඩවලදී මේ ගැන සැලකිලිමත් වෙන්න. සී.බී. කීවේය.
 
 මේ සාකච්ඡාවේදි කෘෂිකර්ම, සංචාරක, වනජීවි අමාත්‍යංශවලට මෙන්ම කමිටුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යංශවලට ඉදිරිපත් වූ ගැටලූවලට කඩිනමින් විසඳුම් ලබා දීමට ද පියවර ගැණින. පසුගිය සතිය ආරම්භයේ පටන්ම අපේ දේශපාලන කරළියට තවත් අලූත් ප‍්‍රශ්නයක් පැන නැගී තිබිණි. ඒ වූ කලී මුස්ලිම්වරුන් කොරෝනා රෝගයෙන් මරණයට පත් වූ විට සාමාන්‍ය නිරෝධායන නීතියට අනුකූලව ආදාහනය කරනවා ද නැත්නම් ඉස්ලාම් ආගමානුකූල ක‍්‍රමවේද මත භූමිදානය කරනවාද යන්නයි. පෑලියගොඩ කොවිඞ් පොකුර සක‍්‍රිය වීමත් සමඟම කොළඹ නගරය පුරා ද කොවිඞ් පැතිර යෑම වේගවත් විය. අධික ජන ඝනත්වයකින් යුතු කොටහේන, දෙමටගොඩ, කොලොන්නාව, බොරැල්ල, මාලිගාවත්ත ආදී ප‍්‍රදේශ හරහා රෝගය පැතිර යෑම වේගවත් වීමත් සමඟ ම රෝගයට බියවී සැඟව සිටිනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද වැඩි දියුණු විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නිවෙස්වල සිටියදී මියගිය කොවිඞ් ආසාදිතයින් පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා විය.
 
 මේ අය අතරින් සැලකිය යුතු පිරිසක් මුස්ලිම්වරුන් වීම නිසා මුස්ලිම් මරණ පිළිබඳ අවධානය හා කතාබහ කොළඹ නාගරිකය තුළ තව තවත් වැඩි විය. මුස්ලිම් ජනයා මිය ගිය පසු භූමිදානය කළ යුතු යැයි යන තර්කය වඩාත් වේගවත් ව මුස්ලිම් සමාජය තුළින් නැෙඟන්නට වූයේ ඉන් පසුවයි. සැබැවින්ම මෙය ඉල්ලීමක් ලෙස සමාජයේ ඉස්මතු වූයේ සාමාන්‍ය ජනතාව අතරින් නම් නොවේ. තවුහිත් ජමාත් සංවිධානය ඇතුළු අනෙකුත් මූලධර්මවාදී ඉස්ලාමීය නායකයින් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් මෙම ඉල්ලීම සමාජගත විය. කෙසේ වෙතත් මෙම ඉල්ලීම ඉන් පසුව සමාජයට පැමිණියේ මුස්ලිම් ජනතාව වෙතින් කෙරුණු සංවේදී ඉල්ලීමක් ලෙසය.
 
 බොහෝ මුස්ලිම් කොටස් හා මුස්ලිම් සංවිධාන මේ පිළිබඳව අධිකරණ අමාත්‍ය මොහොමඞ් අලි සබ්රි මහතාගෙන් ඉල්ලීමක් කළේ ය. ඒ පිළිබඳව සංවේදී වුණු ඔහු රජයේ අවධානය ඒ සඳහා යොමු කරවන්නට උත්සාහ කරන බව ඔවුන් හමුවේ ක‍්‍රියා සිටින්නට ඇත.
 
 ඒත් ප‍්‍රශ්නය තිබුණේ කොරෝනා නිරෝධායන නීති රීති සමුදාය තුළ ය. රජය ප‍්‍රතිපත්තිමය වශයෙන් මේ වනවිට මරණ සම්බන්ධයෙන් එක තීන්දුවකට පැමිණ තිබිණි. කොරෝනාවලින් මිය යන්නන් කවර තරාතිරමක වුවත් කවර ආගමක ජාතියක වුවත් ඒ සියලූම දෙනා සම්බන්ධයෙන් එකම නීතියක් අනුගමනය කරන්නට රජය තීන්දුවක් ගෙන තිබිණි. ඒ තීන්දුව දේශපාලනඥයින් විසින් ගන්නා ලද්දක් නොවීය. තීන්දුව විශේෂඥ වෛද්‍යවරුන් හා වසංගත රෝග නිවාරණ කාර්ය සාධක බළකායේ කමිටු නියෝජිතයින් විසින් ඒකමතික ව ගන්නා ලද්දක් වූහ. ඒත් මුස්ලිම් ජන සමාජය තුළින් පැමිණි මෙම ඉල්ලීම කෙරෙහි සංවේදී නොවී සිටීමට අමාත්‍ය අලි සබ්රි ට නොහැකි විය. ඔහු මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හා ඇමැති මණ්ඩලයේ අවධානය යොමු කරන්නට පහුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී උත්සාහයක් ගත්තේ ඒ අනුව ය.
 
 අලි සබ්රිගේ කරපිටට
 වඳින්න ගිය දේවාලේ...

 
 කැබිනට් මණ්ඩලය තුළ ඇමැතිවරු මෙම ප‍්‍රශ්නය ඉතා ගැඹුරින් සාකච්ඡාවට ගත්හ. මේක ඉතාම පරිස්සමින් කළමනාකරණය කර ගත යුතු තත්ත්වයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඇමැතිවරු එක පැහැර මෙයට විරුද්ධතාවය ප‍්‍රකාශ කරන්නට ගියේ නැත. එහෙත් මෙබඳු තීරණයක් ගතහොත් සමාජය තුළින් මතු විය හැකියි හැකි විරෝධතාවයන් ගැන ඔවුන් කතා බහ කළහ. මේක දේශපාලකයෝ ගත්ත තීන්දුවක් නෙවෙයි. හැමෝම වෙනුවෙන් එකම නීතියක් අනුගමනය කරමින් සියලූ කොවිච් මරණකරුවන් සෞඛ්‍යාරක්ෂිතව ආදාහනය කරන්න තීන්දු කළේ විශේෂඥවරුන්ගේ කමිටුව... ජනාධිපති අවධාරණය කළේ ය.
 
 ලොව දියුණු රටවල් ගොඩක් කොවිඞ් මරණකරුවන් කිසිදු ප‍්‍රශ්නයක් නොමැතිව භූමිදානය කරනවා. අනිත් අතට තර්ක මතු විය. ලංකාවේ තත්ත්වය වෙනස්. අපේ රටේ ග‍්‍රාමීය ජනතාව විතරක් නෙවෙයි, නාගරික ජනතාව වුණත් තවමත් ළිං වතුර පාවිච්චි කරනවා. භූගත ජලයට මේ තුළින් විෂබීජ මුසු විය හැකි යැයි අවදානමක් තිබෙනවා. භූගත ජලය පාවිච්චි නොකරන වියළි කලාපයේ ප‍්‍රදේශයක් වුණත් අපට මේ සඳහා යොදාගන්න පුළුවන් ප‍්‍රති තර්කයක් මතු විය.
 
 හොඳයි එහෙනම් ඉස්සෙල්ලම බලන්නකෝ ඒ සඳහා සුදුසු භූමියක් වියළි කලාපයේ කොහෙද තියෙන්නෙ කියලා.
 
 ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවසානයේ කීවේ එපමණකි. ඔහු ඉල්ලීමට කිසිදු අනුමැතියක් පළ කළේ නම් නැත.
 
 එහෙත් එම රැස්වීම අවසානයේ අධිකරණ ඇමැතිවරයාගේ එක් ලේකම්වරයෙක් පිටස්තර පාර්ශ්වවලට එම තත්ත්වය දැනුම් දී තිබුණේ මුස්ලිම් කොවිඞ් ආසාදිත මරණ භූමිදානය සඳහා සුදුසු ඉඩමක් සොයා ගන්නට පවා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණු බවයි. මෙම තත්ත්වය ප‍්‍රයෝජනයට ගත් තවුහිත් ජමාත් සංවිධානය කොවිඞ් ආසාදිත මුස්ලිම් මරණකරුවන් භූමිදානය කිරීම සඳහා තමන් ගෙන ගිය අරගලය ජයග‍්‍රහණය කළ බවට නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රසිද්ධියක් ලබා දුන්නේ ය. සමාජයේ ගිනි ඇවිලෙන්නට පටන් ගත්තේ එතැනින් පසු ය.
 
 ඒ අනුව ජනාධිපතිවරයා මුස්ලිම් කොවිඞ් මරණ වළ දමන්නට අවසර දුන්නේ යැයි කියා ආරංචියක් රට පුරා පැතිර යන්නට පටන් ගත්තේය. මුස්ලිම් ජාතික අධිකරණ ඇමැති මුස්ලිම්වරුන්ට එම ජයග‍්‍රහණය අරන් දෙන්න ට ඉදිරිපත්ව ඇති බවද කියවිනි. මේ නිසා සමාජයේ යම් යම් පිරිස්වල දැඩි විවේචනවලට අලි සබ්රිට මුහුණ දෙන්නට සිදුවිය. ජාතික මතවාද මත පිහිටා කටයුතු කරන ඇතැම් භික්ෂූන් වහන්සේලා මෙම ආරංචිය නිසා බොහෝ සේ උරණ ව සිටියහ. පුවත්පත් සාකච්ඡා කැඳවමින් එම සංවිධාන, රජය ගත්තා යැයි කියන මෙම පියවර දැඩි ලෙස විවේචනය කරන්නට වූයේ අලි සබ්රි ගේත් ජනාධිපතිවරයාගේත් දෙදෙනාගේම සායම පතුරු යවමිනි.
 
 මෙම විවේචනවලට අධිකරණ අමාත්‍ය අලි සබ්රි ද පිළිතුරු දෙන්නට පටන් ගෙන තිබිණි. ඔහු හොඳ කතාවක් කීවේය. බහුතරය වූ පමණින්ම යම් පිරිසකගේ අදහසක් නිවැරදි නොවන බවත් සුළුතරය වූ පමණින් ම යම් පිරිසකගේ අදහසක් සාවද්‍ය නොවන බවත් පෙන්වා දුන් ඔහු ගිරිය පුප්පාගෙන කෑ ගැහුවාට කාටවත් දේශපේ‍්‍රමීන් විය නොහැකි බව ද පෙන්වා දුන්නේය. අලි සබ්රිගේ මෙම ප‍්‍රතිචාරය හා ක‍්‍රියා කලාපය සමාජ මාධ්‍යවල දැඩි ලෙස විවේචනයට ලක්වන ආකාරය ඉන් පසුව අපට දැකගත හැකි විය. ඔක්කොටම කලින් එසේ සුදුසු ඉඩමක් හොයන්න යැයි කියමින් ජනාධිපතිවරයා පළ කළ අදහස අවභාවිත කරමින් මුස්ලිම් කොවිඞ් මරණ වළ දමන්නට ජනාධිපති අනුමැතිය පළ කළා යැයි කියමින් පතුරුවා හරින ලද ආරංචිය නිසා ගෝඨාභය ජනාධිපතිවරයා ද නොසන්සුන් වී සිටියේය. කැබිනට් මණ්ඩලය තුළ නොවුණ දෙයක් සිදු වූවා යැයි කියා ප‍්‍රචාරය කළ අය සම්බන්ධයෙන් පියවර ගන්නට ඔහු උපදෙස් දෙන්නේ ඉන් පසුවයි.
 
 කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව එළියට පැමිණි මහින්ද අමරවීරගෙන් ජනමාධ්‍යවේදීන් මේ පිළිබඳ විමසා සිටියහ. ‘ඒ සඳහා සුදුසු ඉඩමක් බලන්න කිව්වා... හැබැයි අනුමැතිය පළ කළේ නැහැ. ඒත් ඉදිරියේදී රජය ඒ පිළිබඳව අවධානය යොමු කරමින් විද්වතුන්ගේ මතය විමසා තීන්දුවක් ගනීවි. අමරවීර කීවේ ද එබඳු අදහසක් මිස ඒ වෙනකක් නොවේ.
 
 අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ නිවේදනවල ද ඊට වඩා වැඩි දෙයක් වූයේ නැත. රජය ඒ පිළිබඳව සංවේදීව කරුණු සලකා බලන බව පමණක් ඔහු කීවේය. එහෙත් චමල් රාජපක්ෂ හා මහින්දානන්ද අලූත්ගමගේ කැබිනට් මණ්ඩලය එවන් තීන්දුවක් ගත්තා යැයි කීම නිසා ප‍්‍රශ්නය තවත් දුර දිග ගියේය. රජයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ලටත් මෙම ගැටලූව විසඳන්නට පහසු වූයේ නැත. එම ගැටලූව එසේ සමාජය තුළ දිගින් දිගටම සාකච්ඡා වෙමින් තිබෙන අතරතුර විපක්ෂය තවත් අලූත් ප‍්‍රශ්නයක් සමාජ ගත කළේය. ඒ වූ කලී රැපිඞ් ටෙස්ට් කිට් (rapid test kit) නමින් හඳුන්වන කොවිඞ් රෝග පරීක්ෂණ කට්ටල සමුදායක් ශ‍්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධවයි. විපක්ෂය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ප‍්‍රශ්නයක් මතු කළේ රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණ හා විශේෂඥ කමිටුව මෙම කට්ටලය පිළිබඳව පරික්ෂා කර විශ්ලේෂණ සහිතව අනුමැතිය ප‍්‍රකාශ කිරීමට පෙර රජයේ ගජමිතුරු සමාගමක් විසින් මෙම පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන ඒම සම්බන්ධවයි.
 
 විපක්ෂය විසින් මතු කරන ලද මෙම චෝදනාවට රජයේ පාර්ශ්වයෙන් සාධාරණ ශක්තිමත් පිළිතුරක් ලබා දෙන්නට අමාත්‍ය මණ්ඩලයේ කවරකු හෝ වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරියකු හෝ අදාළ ප‍්‍රකාශකයෙකු හෝ කිසිවෙක් සමත් වූයේ නැත. ඒ වෙනුවට එක එක අය එක එක උත්තර දෙන අයුරු දක්නට ලැබිණි.
 
 එකක් කියන මිනිහෙක්
 හොයාගන්න මෙහෙයුමක්

 
poli2ඞී. වී. චානක කීවේ එබඳු කට්ටලයක් ගෙන ඒමට අනුමැතිය ලබා දුන් බවකි. අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කීවේ අදාළ පෞද්ගලික සමාගම විසින් එබඳු කට්ටල කීපයක් ලංකාවට ගෙන්වා ඇතත් ඒ සියල්ල පුද්ගලික අංශයේ ප‍්‍රයෝජනය සඳහා බවය. තවත් සමහර බලධාරීන් ආණ්ඩුවේ අවසරය ඇතිව ඒවා ගෙනවිත් ඇති බව පැවසූ අතර තවත් කිහිප දෙනෙක් කියා තිබුණේ එවන් උපකරණයක් ලංකාවට ගෙන්වා නැති බවකි.
 
 කෙසේ වෙතත් මෙතන එක් දෙයක් පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. ඒ වූ කලී කොතරම් කමිටු තිබුණත්, කොතරම් ප‍්‍රධානීන් හිටියත්, කොතරම් බලධාරීන් හිටියත් අවශ්‍ය අවස්ථාවක දී යමක් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ශක්තිමත් මතයක් පළ කළ හැකි නායකයෙක් මේ කිසි තැනක නොමැති බවයි. අනිත් අතට සජිත් පේ‍්‍රමදාසගේ සමගි ජන බලවේගය ප‍්‍රමුඛ විපක්ෂය මේ කොවිඞ් අර්බුදයත් සමගම විෂමාකාර සමාජ හැසිරීමක් පෙන්නුම් කළේය. කොවිඞ් අර්බුදය ජය ගැනීමට රජයට උදව් කරනවා යැයි වචනයෙන් කීවද කිසිදු තැනකදී සද්භාවයෙන් යුතුව රජයට ඒ සඳහා උදව් කරන බවක් පෙනෙන්නට තිබුණේම නැත. එසේ ම සමගි ජන බලවේගය ප‍්‍රමුඛ විපක්ෂය කොවිඞ් අර්බුදය සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවලදී ගනු ලැබූ ස්ථාවරයන්හි තර්කාන්විත බවක් පෙන්නුම් කළේ ද නැත.
 
 පළමු කොවිඞ් රැල්ල පැමිණි වේලාවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අවස්ථාවේ දී සමගි ජන බලවේගය කිව්වෙම පාර්ලිමේන්තුව රැස් කර විපක්ෂය සමග සාකච්ඡාවෙන් කොවිඞ් වසංගතයට විසඳුමක් සොයන ලෙසයි. එහෙත් මෙවර දෙවැනි රැල්ල පැමිණි වෙලාවේ ඔවුන් කියන්නට වූයේ පාර්ලිමේන්තුව මීටරයේ පරතරය තබාගෙන පවත්වන්නට නොහැකි නම් වහාම වසා දමන ලෙසයි. ඒ අයුරින් පී සී ආර් පරීක්ෂණ වැඩි වැඩියෙන් පවත්වන ලෙස කීවත් රජයට ඒවා සඳහා වියදම් සොයා ගැනීමට සහයක් දක්වන කිසිදු අදහසක් ඉදිරිපත් කළේ නැත. දැනට පී සී ආර් පරීක්ෂණ පැවැත්වීම සඳහා රජය දිනකට වියදම් කරන මුදල කෝටි හයක් බව පෙන්නුම් කළත් විපක්ෂය ඉන් සෑහීමකට පත් වූයේ නැත. ඔවුන් කීවේ පී සී ආර් පරීක්ෂණවලට වඩා ඉක්මනින් ප‍්‍රතිඵල දැන ගත හැකි තවත් පරීක්ෂණ මේ වෙලාවේ ලෝකයේ පවතින බවයි.
 
 ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මත රජය රැපිඞ් ටෙස්ට් කට්ටල කෙරෙහි අවධානය යොමු කරන්නේ ඉන් පසුවය. ඒ මොහොතේ ඔවුන්ගේ සටන වූයේ රැපිඞ් ටෙස්ට් කට්ටල ගෙන ආ පුද්ගලික ආයතනයක් ගැන ය. ඒවා ගෙන ඒමට රජය අනුගමනය කළ ක‍්‍රියා පිළිවෙත ගැන ප‍්‍රශ්න කරමින් විපක්ෂය ගැටලූ මතු කළේය. මේ අයුරින් ප‍්‍රශ්නය විසඳන්නට කිසිදු ආකාරයක සහයෝගයක් නොදෙමින් ගන්නා ගන්නා පියවර විවේචනය කරමින් සටන් වදින තත්ත්වයකට විපක්ෂය පත්ව සිටියේ ය. ඒ හා සමගම ස්වාමීන් වහන්සේලා හා ආගමික නායකවරු හමුවෙමින් ඔවුන් කියා සිටියේ කොවිඞ් අර්බුදය විසඳා ගැනීමට රජය කිසිලෙසකත් විපක්ෂයේ සහයෝගය ලබා නොගන්නා බවක් නොවේද?
 
 විපක්ෂයේ මෙම විෂමාකාර බහුවිධ ප‍්‍රතිපත්තිය රජයේ කෙසේ වෙතත් පොදු ජනතාවගේ හොඳ අවධානයට ලක්ව තිබුණා නිසැකය. අනිත් අතට මෙය ජාතික ව්‍යසනයක් බව බොහෝ දෙනකුට අමතක ව ඇති සෙයකි. ජාතික ව්‍යසනයක දී තීන්දු තීරණ ගැනීම්වල දී ඒවා පමා කළ යුතු නැත. රටේ ව්‍යසනකාරී වසංගතයක් තිබේ නම් එයට යම් යම් උපකරණ කට්ටල හා බේත් හේත් ගෙන ඒමට අවශ්‍ය වී තිබේ නම් රජය පාසල් ගොඩනැගිලි හදන්නා සේ ටෙන්ඩර් කැඳවමින් ඒවා විමසමින් කාලය කා දැමිය යුතු නැත. ජනාධිපතිවරයා ඒ සඳහා අදාළ කාර්ය සාධක බලකායන්වලට බලය පැවරිය යුතුව ඇත. යුද්ධය අවස්ථාවේ දී යුද්ධයට අවශ්‍ය යම් යම් උපකරණ හා අවි ආයුධ ගෙන ඒමට ක‍්‍රියා කළේ යම් සේ ද, මේ ජාතික අර්බුදකාරි අවස්ථාවේ දී ද රජය එසේ ක‍්‍රියා කළ යුතුය. ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ඒ වෙනුවෙන් කතා කළ යුතු ය. එහෙත් ප‍්‍රශ්නයකට ඇත්තේ අද එවන් ගැටලූවක් මතු වූ විට රජයේ ප‍්‍රකාශකයෝ එක් එක්කෙනා තම තමන්ට දැනෙන පරිදි එක එක දේ පවසන්නට යාමය. ජනාධිපතිවරයා හෝ
 අගමැතිවරයා ඉදිරි පත් ව මේ පිළිබඳව කෙලින් කිසිවක් නො කීම ය.
 
 රනිල් වික‍්‍රමසිංහ
 මුරුත්තෙට්ටුවේ හිමි හමුවේ

 
 කොරෝනා බාධක අතරේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු සිදු කෙරිණි. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ නිතර ම සෙසු නායකයින් සමඟ කතාබහ කරමින් තමන්ට වැරදුණු තැන් නිවැරදි කර ගැනීමේ ව්‍යායාමයෙහි නිරත ව සිටියේය. එජාපය වරද්දා වරද්දා ගත් ටික තැනක් ලෙස ඔවුන් තේරුම් ගෙන තිබුණේ මහා සංඝරත්නය සමඟ මනා සම්බන්ධතාවයක් දිගින් දිගටම පවත්වා නොගැනීමයි. ජාතික බලවේග තුළ සිටින රටේ පිළිගත් මහා සඟරුවන සමග යම් යම් හේතූන් නිසා ගැටලූ ඇති කර ගැනීමෙන් විශාල පාඩුවක් පක්ෂයට සිදු වූයේ යැයි බොහෝ දෙනෙකුගේ අදහස වූහ. රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, පාලිත රංගේබණ්ඩාර, සන්දිත් සමරසිංහ, ආශු මාරසිංහ, අකිල විරාජ් කාරියවසම්, කස්තුරි අනුරාධනායක ආදීන් හමුවී නායකයා සමඟ කතා බහ කරන සෑම විටම මේ ආගමික සමාජ තත්ත්වය පුනරුත්ථාපනය කිරීම සඳහා කළ යුතු ප‍්‍රතිකර්ම ගැන කතා බහ කළහ.
 
 මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මුල ඉඳලම අපිත් එක්ක හිටපු ස්වාමීන් වහන්සේ නමක්. පස්සේ කාලේ අපි උන් වහන්සේව තරහ කර ගත්තා. ඒක අපිට ලොකු පාඩුවක්. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ ගැනත් එහෙම තමයි. උන් වහන්සේ අපේ කඳවුරේ කෙනෙක් නොවුණත් ජාතික කටයුතුවලදී හැමදාම නිවැරදි තැන හිටගෙන හිටපු ස්වාමින් වහන්සේ නමක්. වහාම අපි උන්වහන්සේලා එක්ක කතා බහ කරලා අපි අපේ වැරදි හදා ගත යුතුයි එජාප නායකයෝ තීරණය කළහ. ඒ අනුව පසුගිය සතියේ එ ජා ප නායක රනිල් වික‍්‍රමසිංහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනුත් ඇල්ලේ ගුණවංශ හිමියනුත් හමුවන්නට තීරණය කර ගෙන සිටියහ. එහි සම්බන්ධීකරණ කටයුතු බාරගත්තේ වජිර අබේවර්ධන යි. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කියන්නේ 2001 දි 2004 දී 2015 දී මම ඇමැතිකම් භාර ගත්ත හැම වෙලාවෙම ඒ උත්සවවලට ඇවිල්ල පිරිත් කියලා මට ආශිර්වාද කරපු ස්වාමීන් වහන්සේ නමක්... මම උන්නාන්සේ එක්ක කතා කරලා වෙලාවක් ලෑස්ති කරගන්නම්. ඇල්ලේ හාමුදුරුවන් වත් හම්බවෙලා වෙලාවක් හදාගන්නම්... වජිර ඒ වගකීම භාර ගත්තේය.
 
 ඒ අනුව පසුගිය සති අන්තයේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, වජිර අබේවර්ධන අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවන් වහන්සේ මුණ ගැසුණහ. අපේ නායකතුමා 2005 දී පැරදුණේ ඡන්ද ලක්ෂයකින්. ඒ වෙලාවෙත් අපි අන්තිම රැස්වීම තියන්න ආවේ ඔබ වහන්සේගේ හෙද මැදුරු සංකීර්ණයට... වජිර ඉතිහාසය මතක් කළේය. ඔව් ඔව්... මට මොකද අමතක. කොහොමටත් අපි දේශපාලනය කරන මහත්තුරුන්ට පරදින වෙලාවල්වලදී තමයි අපිව මතක් වෙලා තියෙන්නේ... කියමින් විහිළුවක් කරමින් ආනන්ද හිමියෝ කතාබහ ආරම්භ කළේ ය. එජාප නායකයාත් වජිරත් ආනන්ද හාමුදුරුවෝත් අතර කතාබහ ආරම්භ කෙරුණේ හවස හතරට පමණ ය. කතාබහ අවසන් වන විට රාත‍්‍රී 7.00 ට ආසන්නව තිබිණි. කතාබහට සහභාගී වූයේ ඒ තිදෙනාම පමණක් නිසා මාධ්‍යවලට සාකච්ඡාවේ කරුණු අනාවරණය වූයේ නැත.
 
 අවුරුදු 2500 ඔප්පුව ගැන
 රනිල්ට කියාදුන් පාඩම

 
 ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ ඉතා පහසුවෙන් එජාප නායකයා සමග සාකච්ඡාවකට කැමැත්ත පළ කළේ නැත. ඒ සඳහා වජිරට ඇල්ලේ හිමියන් හමුවීමට වෙනම ගමනක් යන්නට සිදු විය. ඒ අනුව පසුගිය සති අන්තයේ හවස එම හමුවීම ද සිදු කෙරුණි. සහභාගි වූයේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ පමණි.
 
 කතාබහ ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂයේ පසුබෑම සම්බන්ධයෙන් කතා කරමිනි.
 
 ‘ ඕක පරාජයක් නෙවෙයි ඕක විපාකයක්. ජාතිකත්වයෙන් මිදිලා සිවුරේ සුවඳ ගමේ සුවඳ නොතකපු එකේ විපාකය තමයි මේ ලැබුවෙ. ඒ උනාට විපක්ෂයක් මේ විදියට විනාශ වෙනවට අපි කැමති නෑ... ඇල්ලේ හාමුදුරුවෝ කතාබහ ආරම්භයේදීම කියා සිටියේය. රනිල් රටේ ආර්ථිකය ගැන හොඳ විග‍්‍රහයක් කළේ ය. ආර්ථිකය මුහුණ දී තිබෙන අර්බුදය හා අභියෝගය පැහැදිලි කරමින් රනිල් කීවේ ලබන වසර වන විට ඩොලර් බිලියන හයක ණය ආපසු ගෙවීම්වලට ද ආණ්ඩුව මුහුණ දිය යුතු බවයි. ඔව් ඉතින්... ඒ ඔක්කොම පහුගිය ආණ්ඩු සියල්ල ගනිපු ණය ආපසු ගෙවීම්නේ...
 
 අනිත් එක දැන් රටට කිසිම ආදායමක් නෑ... අපනයනයන් නතර වෙලා. විදේශ ශ‍්‍රමිකයන් ගෙන් ලැබෙන ආදායම නෑ. ආනයන ලොකුවට කෙරෙන්නේ නැති නිසා ආනයන බදු ආදායමකුත් රටට නෑ. කවුරු ආණ්ඩුව කළත් මේ වෙලාවේ රට තියෙන දුෂ්කරතාවයක තමයි. හැබැයි ඔබතුමාට මේ වෙලාවේ යුතුකමක් කරන්න ඉඩ තියෙනවා රට වෙනුවෙන්. ඔබ ජාත්‍යන්තරයේ විශ්වාසය හා ආදරය දිනා ගත්ත කෙනෙක්. ඔබට මේ ආණ්ඩුවට වඩා ජාත්‍යන්තර සබඳතා ගොඩක් තියෙන විත්තිය අපි දන්නවා. මේ දුෂ්කර වෙලාවේ පක්ෂ භේදයක් දේශපාලනයක් බලන්න එපා. තමන්ගෙ ජාත්‍යන්තර සබඳතා පාවිච්චි කරලා ආණ්ඩුවට ජාත්‍යන්තරයේ උපකාරය අරගෙන දෙන්න. ඔබට මේ වෙලාවේ රට ජාතිය වෙනුවෙන් කරන්න තියෙන ලොකුම සේවය ඒකයි.
 
 ඒක නෙවෙයි කොහොමද ඔබතුමාගේ නෝනා මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය රනිල් සිය පවුලේ පුද්ගලික තොරතුරු කීපයක් හෙළිදරව් කළේය...
 
 මම එතුමියට ආශිර්වාද කළාය කියන්න. මේ කරුම වසංගත නැත්තං පිරිත් ටිකක් කියලා සෙත් පතන්න ඇවිත් යනවා. ඉන් පසුව හිටපු අගමැතිවරයා කතා කළේ පක්ෂයේ අනාගතය ගොඩනැගීම සම්බන්ධ කාරණා කිහිපයක් ගැන ය. ඔබතුමා මෙච්චර කාලයක් වැඩ කළේ මේ රටට අයිතිකාරයෝ නෑ කියල හිතාගෙන නේ... ඒ වුණාට මතක තියා ගන්න මේ රටේ අති බහුතරයක් සිංහල බෞද්ධයෝ. ඔවුන් අතේ මේ රට සම්බන්ධයෙන් අවුරුදු දෙදහස් පන්සියයක් පැරණි ඔප්පුවක් තියනවා. අන්න ඒ අවුරුදු 2500ක ඉතිහාසය ස්පර්ශ නොකර ගමනක් යන්න බැහැ කියන එක හොඳට මතක තියා ගන්න...
 
 අපිට අවශ්‍ය රටේ සම්පත් පිටරට ඉන්ට උගස් කරලා රටේ ජනතාවට කන්න බොන්න දෙන ආණ්ඩුවක් නෙවෙයි... ඒ ධර්මතාවය තිබුණු ආණ්ඩුවටත් පොදුයි මේ ආණ්ඩුවටත් පොදුයි. මේ ආණ්ඩුවත් ඒව කරනවා නම් අපි මුන්ටත් විරුද්ධයි... හිටපු අගමැතිවරයා අතීතයේ සිදු වූ වැරදි හා අඩුපාඩු ගැන කෙරුණු කතාබහ පිළිගත්තේ ය. ඉතා ඉක්මනින් එම අඩුපාඩු හදාගෙන ගමනක් යන්නට සූදානම් වෙන්නයි ස්වාමීන් වහන්සේ ඔහුට අනුශාසනා කළේය.
 
 ඉන් පසුව දෙදෙනා කතා බහ කළේ කොවිඞ් වසංගත තත්ත්වය පිළිබඳව ය. ගෙවල්වල මිනිස්සු මැරෙන තත්ත්වයට රට පත් වී ඇති බව රනිල් කීවේය. සෞඛ්‍ය සේවය හමුදාවට හා පොලිසියට භාර දීම තුළ ජනතාව විශ්වාසයකින් තොර ව බිය වැදී නිවෙස්වල සැඟව සිටින බව මින් හෙළි වෙතැයි රනිල් කීවේය. රටේ සෞඛ්‍ය සේවය අදාළ සෞඛ්‍ය අංශ වෙත භාර දිය යුතු බව ඇල්ලේ හිමියෝ පැවසූහ. මේ අයුරින් පැය දෙකක පමණ කාලයක් මෙම කතා බහ පැවතිනි.
 
 දින ගණනාවක් ම කොළඹ වැඩ රාජකාරිවලට කොටු වී සිටි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය දිනක හදිසියේම මහනුවර බලා පිටත් විය. ඊට හේතුව මල්වතු පාර්ශ්වයේ යටිනුවර උප ප‍්‍රධාන සංඝනායක ඉලූක්කුඹුරේ පුණ්‍යරතන හිමියන්ගේ අපවත්වීම සැලවීමයි. ප‍්‍රදේශයේ ප‍්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූ උන්වහන්සේ ඇමැතිවරයාගේ ද ඉතා කුළුපග හිතවතෙකු වූහ. නා හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූ ඇමැතිවරයා එදින රාත‍්‍රියේම නැවතත් කොළඹ බලා පිටත්ව ආවේ නව වසංගත තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු සම්බන්ධීකරණ කටයුතු රාශියක් ද ඔහු මත පැටවී තිබූ නිසාය.
 
 කොරෝනා ව්‍යසනයෙන් පීඩා විඳින මාධ්‍යවේදීන් ගැන ද ඇමැතිවරයාගේ අවධානය පසුගිය සතියේ යොමු විය. පාර්ලිමේන්තු වාර්තා කටයුතුවලට සහභාගි වී කොවිඞ් ආසාදිතයින් බවට පත් වූ මාධ්‍යවේදීන් රැසක් ද මේ වන විට රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන බව ඔහු දැන සිටියේය. පුද්ගලිකවම ඔවුන්ගේ තොරතුරු එක් රැස් කළ ඇමැතිවරයා ඔවුන්ගේ සුවදුක් හා ඕනෑ එපාකම් ගැන ඔවුන්ට කතා කරන්නට උත්සාහ කළේය... පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදුනු පුවත්පත් කලාවේදියකුට කතා කළ ඇමැතිවරයා... කොහොමද ඔයාගේ සුව දුක්... මොනාද දැන් වෙන්න ඕන කියමින් අසා සිටියේය...
 
 අනේ මන්දා... මම නම් මේ ඉන්නවට ඉන්නවා.. ඉස්පිරිතාලෙක නැවතිලා ඉන්න තරං උණක් හෙම්බිරිස්සාවක් කිසිම ඇෙඟ් අමාරුව මට මුකුත්ම නෑ... කිසිම රෝග ලක්ෂණයක් ඇත්තෙත් නෑ... ඒ උනාට පොසිටිව්... මධ්‍යවේදියා තත්වෙ පැහැදිලි කළේ ය.
 
 අවශ්‍ය වුණොත් මොනව හරි මට කියන්න... කියමින් අමාත්‍යවරයා දුරකථනය විසන්ධි කළේය. ක්ෂණයකින් එම දුරකථනයෙන් ඇමැතිවරයාට ඇමතුමක් පැමිණියේ ය. කරුණාකරලා මේ නම්බරෙන් මට ඉස්සෙල්ලා කතා කළේ කවුද කියලා තියෙනවද ඔහු ඇසීය... ටිකක් පුරුදු කට හඬක්... ඒ කියන්නේ ඔයාට මාව අඳුරගන්න බැරි වුණා කියලා. මම කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා කීවේය. අනේ සමාවෙන්න ඇමැතිතුමා. ඔබතුමා මට කතා කරයි කියලා මම මේ වෙලාවේ හිතුවේ නෑ... ඒකයි අඳුරගන්න බැරි උනේ. ඉන්පසුව අමාත්‍යවරයා පුවත්පත් මාධ්‍යවේදිනියක් ඇතුළු තවත් මාධ්‍යවේදීන් ගණනාවකට ම කතා කර තොරතුරු විමසනු ලැබුවේය.
 
 කොරෝනා දුක අහන්න
 සජිත් ගෙනා යෝජනාව

 
poli3සජිත්ගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය කොරෝනාවලින් විපතට පත් ජනතාවගේ දුක් ගැනවිලි අසන්නට අලූත් වැඩසටහනක් සංවිධානය කළේ ය. සජිත් පේ‍්‍රමදාස ගෙන ආ වැඩපිළිවෙළ රටේ බිම් මට්ටමට ගෙන ගොස් සංවිධානය කිරීමේ වගකීම පැවරුණේ හරින්ට ප‍්‍රනාන්දුට ය. මේක ඉතාම වටින වැඩක්... හොඳට කරොත් ජනතාවට මෙයින් ලොකු සේවයක් වෙයි... සජිත් කීවේය.
 
 හරීන්ගෙ මෙම මෙහෙයුමට මනුෂ, මරික්කාර්, නලින් ඇතුළු මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් ද හවුල් වී සිටියහ. එහි දී හඳුන්වා දී තිබූ දුරකථන අංකවලට රට හැම තැනින් ම ඉවරයක් නොමැතිව ඇමතුම් ගලා එන්නට පටන් ගත්තේය. තව තවත් වැඩිපුර කට්ටිය යොදවලා ඒ එන හැම ඇමතුමක් ම සටහන් කර ගන්න... සජිත් උපදෙස් දුන්නේ ය. කොරෝන වෛරසය සනීප කරන්න පුළුවන් බෙහෙතක් නිෂ්පාදනය කළා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. ලංකාවටත් ඒකෙන් යම් ප‍්‍රතිශතයක් දෙනවා කියලයි ආරංචි... නලින් බණ්ඩාර කීවේය. ඒවා පාවිච්චි කරනවා ම පාවිච්චි කරන්න ඕන නිසි රසායනාගාර පරීක්ෂණවලින් පසුවයි... බෙහෙතක් වුණ පලියට ඒවා බදාගෙන අපේ රටේ ජනතාව රසායනාගාර මීයන් බවට පත් කරන්න ඉඩ දෙන්න බෑ.
 
 ඒ මොකක්ද ඒ කතාවෙ තියන තේරුම. ඇයි දන්නේ නැද්ද... ඔය වගේ බේතක් හැදුවාම ඉස්සෙල්ලම ඒවා පාවිච්චි කරන්නේ රසායනාගාරවල ඇති කරන මීයන්ට නේ... අන්න ඒ වගේ ක‍්‍රමානුකූලව අවුරුදු ගාණක් සැලසුම් කරලා තමයි මනුස්සයන්ට අත්හදා බලන්නේ... බෙහෙත් හදපු පලියට එක පාර මිනිස්සුන්ට ගහන්නේ නෑ... සජිත් පැහැදිලි කළේ ය. කොවිඞ් වසංගතය නිසා ලංකාවේ පවුල් 64%කට බලපෑම් සිදු වෙලා. එයින් 7%කට ආදායම් අහිමි වෙලා... රංජිත් මද්දුම බණ්ඩාර පෙන්වා දුන්නේය. ඒ විතරක් ද නායකතුමා... රටේ මිනිස්සු රන් භාණ්ඩ උගස් කරලා බිලියන හයසීයකට එහා ණය අරගෙන කියලා පත්තරේ වැටිල තිබුණා... මනුෂ පෙන්වා දුන්නේය.
 
 පසුගිය අඟහරුවාදා සජිත් කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමට ද සහභාගි විය. එහිදී ද සජිත් මෙම ව්‍යසනකාරී අවස්ථාවේදී පක්ෂ පාට අමතක කොට එකට එකතු වී වැඩ කිරීමේ වැදගත්කම ගැන සභාවේ අවධානය යොමු කළේ ය. ඕව වචනයෙන් කියල විතරක් මදි නායක තුමා...
 
 ප‍්‍රායෝගිකවත් ක‍්‍රියාවෙන් ඔප්පු කරල පෙන්නන්න...
 
 ආණ්ඩුවේ නියෝජිතයෙක් ඒ වෙලාවේ විහිළුවක් කළේ ය. පසුගිය බදාදා දිනය අගමැති මහින්ද රාජපක්ෂට තරමක් වෙහෙසකර දිනයක් විය. එදා උදේ අම්පාර ප‍්‍රදේශයට ගිය අගමැතිවරයා වෙහෙර විහාරස්ථාන කීපයකටම ගියේය. ඒ අතරින් දීඝවාපිය බලා ගිය ගමන වැදගත් විය. දීඝවාපී විහාරයේ සංවර්ධන කටයුතු ආරම්භ කරන්නට මුල්ගල් තැබුවේ ඒ මොහොතේය. එදා හවස විශේෂ වැඩ කටයුතු රාශියක් නිසා ඉතා ඉක්මනින් කොළඹ පැමිණි අගමැතිවරයා හවස හයට විශේෂ හමුවක් යොදා ගෙන තිබිණි. එම හමුව සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හා ඇල්ලේ ගුණවංශ හිමියන් සහභාගී වී සිටියහ.
 
 ‘අපේ හාමුදුරුවනේ මම උදේ ගියා දීඝවාපියේ... අපි දීඝවාපියේ වැඩ පටන් ගත්තා... ඔබ වහන්සේලාට හමුවෙන්න යොදා ගෙන හිටපු නිසා සමහර වැඩ පස්සට කල් දාලා ඉක්මනට කොළඹ ආවා...’ දීඝවාපිය විශාල ඉඩම් කොල්ලයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පළාතේ අපේ ජාතියට ආගමට වෙච්ච අසාධාරණය නම් කියලා නිම කරන්න බෑ ඇල්ලේ හාමුදුරුවෝ පැහැදිලි කළේය. ඕව ටිකක් පරිස්සමින් අත ගහලා කරන්න ඕන වැඩ අපේ හාමුදුරුවනේ. ඔතනට වඩා දරුණුයි මුහුදු මහා විහාරයේ තත්ත්වය... ගියේ නැද්ද පොතුවිල්. ගියා ගියා හාමුදුරුවනේ එතනත් බලාගෙන තමයි ආවේ. එතන තමයි ලොකුම ඉඩම් කොල්ලෙ වෙලා තියෙන්නේ... අක්කර 72ක විහාරයක්.
 
 මිනිස්සු පදිංචි වෙලානෙ අපේ හාමුදුරුවනේ... එහෙමෙයි කියල අපිට අපේ ජාතික උරුමයන් අතාරින්න බෑ අගමැතිතුමනි. ඉන් පසුව තුන්දෙනාම කතාබහ කළේ කොරෝනා අර්බුදය පිළිබඳවයි.
 
 මේවා ගැන කතා කරන සමහර මිනිස්සු මහජනතාව බය කරනවා. ඇයි ඉතින් එක එක්කෙනා එක එක ඒවා නේ කියන්නේ. දොස්තරලා එකක් කියනවා, නිලධාරිය එකක් කියනවා, පොලිස්කාරයෝ තව එකක් කියනවා, හමුදාකාරයෝ තව එකක් කියනවා... දැන් මිනිස්සු අන්දමන්ද වෙලා ඉන්නෙ අපි මොනාද විශ්වාස කරන්නේ කියලා... ස්වාමීන් වහන්සේලා පෙන්වා දුන්හ. එක් එක්කෙනාට එක එක ඒව කතා කරන්න දෙන්න එපා අගමැති තුමනි. දේශපාලනඥයෝ කතා කරනකොට වගකිව යුතු නායකයෙක් විතරක් කතා කරන්න. වසංගත තත්ත්වය ගැන කතා කරන්න විශේෂඥ කමිටුවකට බාර දෙන්න... අර අනිල් ජයසිංහ මහත්මයත් ඇවිල්ලා පහුගිය දොහක අපිව හමු වෙලා ගියා. අන්න ඒ වගේ සිවිල් සමාජය පිළිගත්ත ගත්ත හොඳ නිලධාරීන් ටිකක් විතරක් තෝරගෙන එයාලට විතරක් මහජනතාව අමතන්න කියන්න. අඩු පාඩු බොහොමයි මේ වැඩපිළිවෙළේ... ස්වාමීන් වහන්සේලා තරමක් නොමනාපයෙන් කතා කළහ. මම ලලිත් වීරතුංග මහත්මයා එවන්නං ඔබ වහන්සේලා හම්බවෙලා මේ පිළිබඳ සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් හදන්න. අනිත් එක අගමැතිතුමනි එකක් මතක තියා ගන්න... මේ රටේ මිනිස්සු ආදරය කළේ සහ විශ්වාස කළේ ඔබතුමාව. ඔබතුමාව විශ්වාසවන්ත නිසා තමයි අනිත් කට්ටියට ආණ්ඩුවක් භාර දුන්නේ. ඒ විශ්වාසය නිසා තමයි නායකයෙක් පත් කර ගත්තේ. හැබැයි කාටවත් ඒ විශ්වාසය අවභාවිතා කරන්න ඉඩ දෙන්න එපා... ජනතාව අතර විශ්වාසය කඩ වුණොත් ආයේ හදන්න බෑ... මේක තමයි අන්තිම වතාව... ස්වාමීන් වහන්සේලා දෙනමම අවධාරණයෙන් කියා සිටියහ. ජනතාව දිනා ගැනීම ලේසි නෑ... හැබැයි දිනාගත්ත ජනතාව ආරක්ෂා කර ගන්න සමහරු දන්නේ නෑ වගේ... කරුණාකරලා ජනතාවගේ හිත් බිඳින්න එපා... ස්වාමීන් වහන්සේලා අවධාරණය කර සිටියහ...
 
 2021 අයවැය විවාදෙට
 පාර්ලිමේන්තුව දින 21ක්

 
 පසුගිය සතියේ පක්ෂ නායක රැස්වීම ද කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. කතාබහ කළේ බ‍්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුව පැවැත්වීම ගැනය. 2020 වර්ෂය සඳහා දිගින් දිගටම අතුරු සම්මත ගිණුම් ඉදිරිපත් කරමින් රජයේ අයවැය පියවා ගැනීම නිසා ඒ සඳහා අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර කර ගැනීමට අවශ්‍ය බව ආණ්ඩුවේ නියෝජිතයෝ පෙන්වා දුන්හ. දොළොස්වන බ‍්‍රහස්පතින්දා අයවැය ඉදිරිපත් කරන්නට තීරණය විය. ඉන් පසුව කතාබහ කළේ 2021 සඳහා අයවැය ඉදිරිපත් කිරීම ගැනය. ඒ සඳහා ලබන 17 දා නැවතත් පාර්ලිමේන්තුව ආරම්භ කර, අයවැය ඉදිරිපත් කරමින් දින දහයක් ඇතුළත සාකච්ඡා කර අයවැය පාස් කිරීමට ආණ්ඩුව යෝජනාවක් ගෙන ආවේය.
 
 දින දහයෙන් අයවැයක් සම්මත කරන්න බැහැ... විපක්ෂයේ නියෝජිතයෝ කීහ. මේක විශේෂ අවස්ථාවක්... කෝවිඞ් වගේ භයානක වසංගතයක් පවතින වෙලාවක්... ආණ්ඩුවේ නියෝජිතයෝ පෙන්වා දුන්හ. විපක්ෂය විවාදයට මාසයක් කල් ඉල්ලා සිටියහ. අවසානයේ දී දින 21 කින් විවාදය අවසන් කර අයවැයට ඡන්දය විමසීමට පක්ෂ නායකවරු තීරණය කළහ. ඒ අනුව ලබන දාහත් වැනිදා පාර්ලිමේන්තුව ආරම්භ කිරීමටත් දෙසැම්බර් 10 දක්වා විවාදය පැවැත්වීමටත් පක්ෂ නායකයෝ තීන්දුවක් ගත්හ.
 
 ඉකුත් බ‍්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුව පැවැත්වුණේ සියලූ කොවිඞ් නිරෝධායන නීතිරීතිවලට මුල්තැන ලබා දෙමිනි. සියලූ මාධ්‍යවලට පාර්ලිමේන්තුව තහනම් කලාපයක් විය. බ‍්‍රහස්පතින්දා උදෑසන මැති ඇමැතිවරු පිරිසක් පාර්ලිමේන්තු ලොබියේ කථා කරමින් සිටියහ. ඔවුන් කථා කළේ විපක්ෂයෙන් ආණ්ඩුවට එල්ලවන චෝදනා ගැනයි. විපක්ෂය දැන් හරියට කථා කරන්නේ මැරිලා ඉපදිලා වගේ... පෞද්ගලික ආයතනයකින් ගෙනාපු කොරෝනා පරීක්ෂණ උපකරණවල වගකීමත් ආණ්ඩුවට දාන්නයි හැදුවේ ප‍්‍රසන්න කීවේය.
 
 ‘ඒකනම් ඇත්ත ඒ අය සුවඳ පැනින් නාපු අය වගේ කථාව... ලාන්සා කීවේ සිනාසෙමිනි.
 
 ‘මම නම් කියන්නේ විපක්ෂයේ චෝදනාවලට අපි උත්තර දෙන්න ඕනා. නැත්නම් මිනිස්සු හිතනවා උත්තර නොදෙන නිසා ඒවා ඇත්ත කියලා‘ප‍්‍රසන්න කීවේය.
 
 ‘‘මමත් ඉන්නේ ඒ ස්ථාවරයේ දේශපාලනය ඇතඇරලා කොරෝනාවලින් රට බේරගන්න බලමු කියලා තමයි විපක්ෂය මහ ලොකුවට කියන්නේ. හැබැයි කට ඇරියොත් ආණ්ඩුවට බොරු චෝදනා ගේනවා.’ පියල් කිවේය.
 
 ‘‘මම නම් කියන්නේ විපක්ෂයටම කොරෝනා හැදිලා මොලේ වැඩ කරන්නේ නෑ ඒකයි අපි ඔය චෝදනාවලට උත්තර දුන්නත් ඒවම කියවන්නෙ’’ ප‍්‍රසන්න කීවේය.
 
 අයවැය විවාදයේදී සජිත් කළ කතාව විශේෂත්වයක් ගත්තේය. ‘‘ජනතාව කුසගින්නේ දැවෙනකොට ආණ්ඩුව ඒ ගින්නෙන් විසිවෙනි සංශෝධනය කියන සුරුට්ටුව පත්තු කළා” සජිත් සිය කතාවේදී කීවේය. ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛනවල ඇති ව්‍යාජ බව ඔහු සිය කතාවෙන් තර්කානුකූලව ඔප්පු කරනු ලැබීය.
 
 ”මම මෙතන ඇවිත් අල කීයද, ලූනු කීයද, දැන් සැපද කියලා අහන පහත් දේශපාලනය කරන්නේ නෑ” සජිත් එහෙම කියනවිට අගමැති මහින්ද මේසය දෙස බලාගෙන සිනාසුණේය. ජොන්ස්ටන් යමක් කියන්න උත්සාහ කරනවිට සජිත් කීවේ ‘ජනතාවගේ දෙපතුල ගාවට මම එනවා කියනකොට ඒක විකෘති කළේ ඔබතුමා. එහෙව් කෙනා තමයි ඔය කුටුකුටු ගාන්නේ” කියාය.
 
 ”ගංගාවලට කළ දානවා වෙනුවට මොළවලින් වැඩ කරමු” සජිත් ආණ්ඩුවට යෝජනා කළේය.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles