Divaina - කොවිඞ් මර්දනය කරන්න දේශීය වෙදකමට පුළුවන්...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප‍්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි
 
 සාකච්ඡා කළේ
 කුෂාන් සුබසිංහ,
 සුසිල් ජයකොඩි
 
sisirsශී‍්‍ර ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍ෂේත‍්‍රය වසර දහස් ගණනක් ඉපැරණිය. එය මේ රටේ අරුම පුදුම උරුමයකි. ඒ උරුමය මතු පරපුර අරභයා රැක දීමටත්, වත්මන් පරපුරේ ප‍්‍රයෝජනය පිණිස යොදා ගැනීමටත්, භාර දෙන්නේ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් තෙවැනි වරටත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නීතිඥ සිසිර ජයකොඩි මහතාට ය. දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප‍්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කරන ඒ මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමඟ කළ සාකච්ඡාව මෙසේ දැක්වේ.
 
 ප‍්‍රශ්නය : කොරෝනා වසංගතය රට තුළ නැවත උද්ගත වීමත් සමඟ දේශීය වෛද්‍ය ක‍්‍රමයට තිබෙන ඉල්ලූම වැඩි වෙලා තිබෙනවා. දේශීය වෛද්‍ය ක‍්‍රමය රටට අවශ්‍යම මෙවැනි අවස්ථාවක ඒ සඳහා අමාත්‍යාංශය යටතේ ගෙන ඇති පියවර මොනවාද?
 
 පිළිතුර : දේශීය වෛද්‍ය ක‍්‍රමය යනු ස්වභාවදහමත් සමග ගමන් කරන ප‍්‍රතිකාර ක‍්‍රමයක්. දේශීය වෛද්‍ය ක‍්‍රමය පාරම්පරික හෙළ වෙදකම, හෝමියෝපති, ආයුර්වේද, සිද්ධ යුනානි ආදී වෛද්‍ය ක‍්‍රමවලින් සැදුම්ලත් වෙනවා. මේ සියල්ල සමස්තයක් ලෙස එකට එකතු කර දියුණු කිරීමට අපි කටයුතු කරනවා. පාරම්පරික වෛද්‍යවරුන්ට අවශ්‍ය රැකවරණය අපි ලබා දෙනවා. ඔවුන් ලියාපදිංචි වීමට තිබූ අවහිරතා ඉවත් කර ඔවුන්ට නිසි පිළිගැනීම ලබා දී තිබෙනවා. ඒ ඔස්සේ ඔවුන් දැන් සිය සේවාවන් ජනතාවට ලබාදෙමින් රට සුවපත් කිරීමේ කටයුත්තේ උනන්දුවෙන් නිරත වෙමින් සිටිනවා.
 
 ප‍්‍රශ්නය : දේශීය වෛද්‍ය ක්‍ෂේත‍්‍රය මුහුණ දෙන තවත් ගැටලූවක් තමයි ඖෂධ නිපදවීමට අවශ්‍ය තරම් අමුද්‍රව්‍ය නොමැතිකම. මේ සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ගෙන ඇති පියවර මොනවද?
 
 පිළිතුර : අපේ වෛද්‍ය විද්‍යාවට යොදා ගන්නා ඖෂධ පැළෑටි සහ ශාක අපේ රට තුළම නිපදවා ගැනීමට අපි වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. අපේ ඔසු උයන්වල, අපේ කැලෑවල වගා කළ හැකි දේවල් ඇයි අපි පිටරටින් ගෙන එන්නේ? ඒ නිසා සුවධර්නී නමින් වැඩපිළිවෙළක් ඇති කර මේ ශාක සහ පැළෑටි රට තුළ වගා කිරීමට කටයුතු යොදා තිබෙනවා. එමගින් වෛද්‍යවරුන්ට අවශ්‍ය තරම් අමුද්‍රව්‍ය ලබා ගැනීමට හැකි වෙයි කියා විශ්වාස කරනවා.
 
 ප‍්‍රශ්නය : ඇතැම් ඖෂධ වර්ග ප‍්‍රවාහනයට, රැගෙන යෑමට සහ වගාවටද නීතියෙන් තහංචි තිබෙනවා. මේ නීති නිසා ඒවා වගාව කෙරෙහි ජනතාව දක්වන උනන්දුව අඩුවෙලා තිබෙනවා.
 
 පිළිතුර : ඔව්. එය අපිත් හඳුනා ගත් ප‍්‍රශ්නයක්. මහා පරිමාණයේ හොරුන්ට වංචාකාරයන්ට ඕනෑ තරම් වංචාවන් සිදු කරන්න ඉඩ තිබෙන රටක නෙල්ලි ටිකක් කැලෑවෙන් එකතු කරගෙන එන අහිංසක පුද්ගලයාට දඩ ගහනවා. හිරේ විලංගුවේ දානවා. මේ පිළිබඳව තිබෙන හණමිටි නීති වෙනස් කළ යුතුයි. නීති නම්‍යශීලී විය යුතුයි.
 
 ප‍්‍රශ්නය : අපේ රටේ නිපදවිය නොහැකි එහෙත් ඖෂධ සඳහා යොදා ගන්නා ඇතැම් අමුද්‍රව්‍ය ආනයනය කළ යුතුයි නේද?
 
 පිළිතුර : ඔව්. ඒත් අපේ ඖෂධ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලින් සියයට 60 ක් 70 ක් අපේ රටේම නිපදවන්න පුළුවන්. එහෙම තත්ත්වයක් තිබියදී රුපියල් මිලියන 1000 කට වඩා ඖෂධවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සඳහා වසරකට අපි වැය කරනවා. මේවා රටේ ජනතාවගේ මුදල්. ඒ වගේම මේ අමුද්‍රව්‍ය රටේම වගා කිරීමට හැකි පරිසරය ගොඩනැඟුවහොත් එම ජනතාවට ද ආදායම් මාර්ගයක් උදා වෙනවා. වියළි නෙල්ලි ආනයනයට පමණක් 2017 වසරේදී රුපියල් කෝටි 6 කට ආසන්න මුදලක් වැය වී තිබීම අපි
 කනගාටු විය යුතු කරුණක් කටුවැල්බටු, ඉඟුරු, වෙනිවැල් මේ ආදී සෑම දෙයක්ම අපි ආනයනය කරනවා.
 
 ප‍්‍රශ්නය : දේශීය වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වනවිට තාවකාලිකව නතර කර තිබෙනවාද?
 
 පිළිතුර : ඔව්! ඒ සියලූදෙනාගේම දත්ත ලබාගෙන ඒවා යාවත්කාලීන කිරීමේ කටයුතු අපි දැනට ආරම්භ කර තිබෙනවා. ඒ සියල්ල නිම වුණාට පසුව ඔවුන්ගේ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. මොකද හොඳ වෙද මහත්වරු වගේම හොර වෙද්දුත් මේ රටේ ඉන්නවා. මේ අයව අපි පරෙස්සමට තෝරා ගත යුතුයි. වෛද්‍ය සභාව යටතේ ඔවුන් ලියාපදිංචි වෙනවා. පාරම්පරික වෛද්‍යවරුන් විභාගවලට යොමු කිරීමේදී ගැටලූ තිබෙනවා. ඔවුන් වසර ගණනාවක් තිස්සේ මේ ක්‍ෂේත‍්‍රයට විශාල සේවයක් කළ අය. බුලත් කොළයට පඬුරක් අරගෙන දහස් සංඛ්‍යාත පිරිසක් සුවපත් කළ ඔවුන් කර ඇති සේවය අපි ඇත්තටම අගය කළ යුතුයි. පාරම්පරික වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ ගෞරවය ආරක්‍ෂා කරගෙන අපි ඉදිරි කටයුතු සිදු කළ යුතු වෙනවා.
 
 ප‍්‍රශ්නය : ආයුර්වේද පනතම අවුලක් කියලා තමයි ඇතමුන් චෝදනා කරන්නේ?
 
 පිළිතුර : ඇත්තටම ආයුර්වේද පනත තුළත් නිරවුල් කරගත යුතු කරුණු තිබෙනවා. අපි ඒවා ඉදිරියට කරනවා. ඒ වගේම සේවා ව්‍යවස්ථාවේත් ගැටලූ තිබෙනවා. ඒ වගේම අවුරුදු හතරකින් ආයුර්වේද උපාධිධාරි වෛද්‍යවරුන් බඳවා ගැනීමට කටයුතු කරලා නැහැ. අපි දැන් ඒ කටයුතු සිදු කරගෙන යනවා. ඒ වගේම හෝමියෝපති වෛද්‍ය සභාව අපි ස්ථාපනය කළා. ඉන්දියාවේ උපාධි ලබපු වෛද්‍යවරුන්ට පත්වීම් නොදී තිබුණා. අපි ඒ කටයුතු ඉටු කළා.
 
 ප‍්‍රශ්නය : කොවිඞ් 19 වසංගතයෙන් ශී‍්‍ර ලාංකික ජනතාව බේරා ගැනීමට තරම් දේශීය වෙදකම සමත් ද?
 
 පිළිතුර : අනිවාර්යයෙන්ම! ඒ සඳහා ඉපැරණි දේශීය ඖෂධ වට්ටෝරුවලින් සැකසූ ඖෂධ අපි ළඟ තිබෙනවා. සුවධරණි නමින් ප‍්‍රතිශක්තිකරණ පානයක් අපි හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම ගුර්ච්‍යාදි නමින් චූර්ණයක් හඳුන්වා දුන්නා. උගුර සේදීමේ දියරයක් මෙන්ම ධූමායනය සඳහා කුඩු වර්ගයක් ද අපි හඳුන්වා දුන්නා. මේ ඖෂධ සහ ප‍්‍රතිකර්ම භාවිත කළොත් කොවිඞ් මාරයව අපට පරාද කළ හැකියි.
 
 ප‍්‍රශ්නය :ඒ සඳහා ජනතාව අතර දැනට ඉල්ලූමක් තිබෙනවද?
 
 පිළිතුර : ඔව්. ඉල්ලූමට සරිලන සැපයුම ලබා දෙන්න බැරි තරමට ජනතාව තුළ ඒ සඳහා ඉල්ලූමක් තියෙනවා. බටහිර වෛද්‍ය ක‍්‍රමය කොරෝනා හමුවේ පරාද වෙලා ඉවරයි. බටහිර වෛද්‍ය ක්‍ෂේත‍්‍රය දියුණුම, ලොව ඉතා දියුණු රටවල ලක්‍ෂ ගණන් ජනතාව කොරෝනා නිසා මිය යනවා. කොරෝනාවලට බටහිර බෙහෙතක් නැති බව එයින් ඔප්පු වෙනවා. ඒ වගේම අපේ රට තුළත් අද ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල් වැනි ඖෂධ හිඟ වෙලා තිබෙන්නේ ජනතාව ඒවා නිරන්තයෙන් ඉල්ලන නිසයි. පැනඩෝල්, ඩිස්පි‍්‍රන් ඕන තරම් ෆාමසිවල තිබියදී ඉඟුරු, කොත්තමල්ලි ඉවර වෙන්නේ ඇයි කියලා ඔබ දන්නවා ඇති. ජනතාව දැන් දේශීය ඖෂධ ගැන විශ්වාසය තබලා තිබෙනවා.
 
 ප‍්‍රශ්නය: - ආයුර්වේද සංස්ථාවටත්, ආයුර්වේද දෙපාර්තමේන්තුවටත් මේ කටයුතු තනිවම කරන්න පුළුවන් ද?
 
 පිළිතුර : ප‍්‍රායෝගිකව මේ තරම් ඉල්ලූමක් අපට තනිවම දැරිය නොහැකියි. එම නිසා පෞද්ගලික අංශය ද මේ ඖෂධ නිපදවීමට අපි එක්කර ගත්තා. හැබැයි ඒ හැම ඖෂධයක් ම අපි හොඳින් පර්යේෂණ කරලා. අපේ අනුමැතිය ඇතිව තමයි ජනතාව අතරට දෙන්නේ. මොන වෙදා දුන්නත් අපි අධ්‍යයනය කරලා තමයි ජනතාවට දෙන්නේ.
 
 ප‍්‍රශ්නය : කොවිඞ් 19 ආසාදනයට ලක් වුණු රෝගීන්ව කෙළින්ම දේශීය වෛද්‍යවරුන් වෙත යොමු කරන්න බැරිද?
 
 පිළිතුර : ඒ පිළිබඳව අපි දැනටමත් සාකච්ඡා කරගෙන යනවා. ආයුර්වේද මධ්‍යස්ථාන ටික හෝ කොවිඞ් රෝගීන්ට ප‍්‍රතිකාර කරන මධ්‍යස්ථාන ලෙසට පත් කිරීමට ඇති අවකාශය පිළිබඳව අපි දැන් සොයා බලමින් සිටිනවා. එය ලෝකයට වුණත් හොඳ පණිවුඩයක්. රටේ ඉපැරණි දේශීය වෛද්‍ය ක‍්‍රමය ගැන එවිට බටහිර ලෝකයත් කතා කරාවි. අද බටහිර වෛද්‍ය ක‍්‍රමයට යොමු වීම නිසා අපේ රටේ විශාල මුදලක් පිටරටට ඇදී යනවා. ඒ වගේම ඒ වෛද්‍ය ක‍්‍රමය අද පිරිහීමට ලක්වෙලා. හදිසි අනතුරක් වුණොත් අතක්, පයක් කපලා වෙන් කරන වෛද්‍ය විද්‍යාවකින් ඇති වැඬේ මොකක්ද? ඒත් අපේ වෛද්‍යවරුන්ට ඒවා නැවත ශරීරයට සම්බන්ධ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම කොවිඞ් රෝගය මර්දනයට දේශීය හෙළ වෙදකමට පුළුවන් බවට විද්‍යාත්මක පර්යේෂණවලින් ඔප්පු කිරීමටත් අපි ඉදිරියේදී කටයුතු කරගෙන යනවා.
 
 ප‍්‍රශ්නය : දේශීය වෛද්‍ය ක්‍ෂේත‍්‍රය මුහුණ දෙන තවත් ප‍්‍රශ්නයක් තමයි රක්‍ෂණ ආවරණ ඒ මගින් ලබා ගැනීමට නොහැකිවීම සහ නිවාඩු අනුමත කිරීමට ඇතැම් ආයතන කටයුතු නොකිරීම. මේ තත්ත්වය මගහරවා ගන්න වැඩපිළිවෙළක් තිබෙනවද?
 
 පිළිතුර: රක්‍ෂණ ආවරණ ලබා නොදීම අනිවාර්යයෙන් විශාල ප‍්‍රශ්නයක්. අපේ රෝහල් හා ප‍්‍රතිකාර කෙරෙහි ජනතාවගේ ඇති ඉල්ලූම අඩුවීමටත් එය බලපානවා. මේ රක්‍ෂණ කි‍්‍රයාවලිය පිළිබඳව පසුගියදා මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සමග අපි සාකච්ඡා කළා. ඒ වගේම පෞද්ගලික රක්‍ෂණ ආයතන කිහිපයක් සමගත් ඒ පිළිබඳව අපි සාකච්ඡා කර තිබෙනවා. නිවාඩු අනුමත කිරීමේදීත් රජයේ ආයතනත් පෞද්ගලික ආයතනත් දේශීය වෛද්‍ය ක්‍ෂේත‍්‍රය කෙරෙහි කුඩම්මාගේ සැලකිලි දක්වනවා. මේ කාරණා දෙකම ඉක්මනින් විසඳා ගැනීම තමයි අපගේ අපේක්‍ෂාව.
 
 ප‍්‍රශ්නය : දේශීය වෙදකමට තිබෙන අභියෝග මොනවාද?
 
 පිළිතුර : අපිට අභියෝගයක් නැහැ. හැබැයි නිරෝගී මිනිසුන්වත් ලෙඩුන් කරන එක ලෙඩකින් පෙළෙන මිනිහව ලෙඩ ගොඩකින් දුක්විඳිනා මිනිසකු බවට පත් කරන බටහිර වෛද්‍ය විද්‍යාවේ මිත්‍යාව ලොවට හෙළි කළ යුතුයි. රුධිරගත තිබිය යුතු සීනි ප‍්‍රමාණය 160 සිට 140 ටත්, පසුව 120 ටත් ගෙනැවිත් ඊට එහා ගිය විට දියවැඩියාව යැයි කියමින් රටට ම දියවැඩියා පෙති පොවලා වකුගඩු රෝගීන්, අක්මා රෝගීන්, හෘදයාබාධ රෝගීන් බිහි කරන මේ ක‍්‍රමය අපි අවසන් කළ යුතුයි. එය අවසන් කර දේශීය වෙදකම මගින් රටේ ජනතාව කයින් මෙන්ම මනසින් ද නිරවුල් මිනිසුන් බවට පත් කළ යුතුයි. අපේ ප‍්‍රයත්නය එයයි. 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles