Divaina - ඔයා මහ තක්කඩියෙක්..! විමල් නිමල්ට කියයි... 19 නිසා වින්ද දුක් සමහරුන්ට අමතකයි.... ජේ.ආර්ගේ ව්‍යවස්ථාවට ආපසු යනවාලූ.... සේවකයන් බේරගන්න සජිත් ගත්ත පියවර..

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 pola1


 
බුලිත ප‍්‍රදීප් කුමාර
 
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය පිළිබඳ කතිකාව පසුගිය සතියේත් අපේ දේශපාලන කරළියේ ජනප‍්‍රියම මාතෘකාව විය. දේශපාලන කරළියේ ප‍්‍රධාන මාතෘකාව එය වුවත් පොදු සමාජයේ ප‍්‍රධාන මාතෘකාව වී තිබුණේ කොවිඞ් 19 යි. විටෙක කොවිඞ් පරදා විසිවන සංශෝධනය ඉදිරියට එමින් ද තවත් විටෙක 20 පරදා කොවිඞ් ඉදිරියට එමින් ද පසුගිය දින කිහිපය ගත ව ගියේ ය.
 
 මේ අතර එම ප‍්‍රධාන මාතෘකා දෙක හැරුණු විට සමාජයේ කතාබහට ලක්වූ තවත් උප ප‍්‍රධාන මාතෘකා දෙකක් ද විය. ඒ වූ කලී රිෂාඞ් බදුර්දීන් සිද්ධිය හා පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්කි විභාගයයි. විශේෂයෙන් ම මෙම කොමිසම හමුවට හිටපු ජනාධිපතිවරයා පැමිණ සාක්ෂි දීමත් තවත් විටක හිටපු අගමැතිවරයා පැමිණීමත් ඒ අතර හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර පැමිණීමත් නිසා එම සාක්කි විභාගය ද සමාජයේ කතා බහට ලක් වූ රසවත් සිදුවීම් ගණනාවක් ම ජනිත කරවන්නක් විය.
 
 20 වැනි සංශෝධනය වෙත ආණ්ඩු පක්ෂයෙන් ම නැඟුණු විරෝධය බලවත් විය. පසුගිය මැතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් හා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් වෙනුවෙන් ඇප කැප වී ක‍්‍රියා කළ ජාතික සංවිධාන සියල්ලක් ම විසිවන සංශෝධනය සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළ කරමින් විරෝධය පෑම මෙහි දී කැපී පෙනෙන කාරණාවක් විය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඇප කැපවී කැප වී ක‍්‍රියා කළ දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා සියල්ලන් ම පාහේ විස්සට අප‍්‍රසාදය පළ කර සිටියහ. අතිඋතුම් කාදිනල් තුමා ප‍්‍රමුඛ කතෝලික සභාවේම විරෝධය විසි වැනි සංශෝධනයට එරෙහිව පෙළ ගැසෙමින් තිබිණි. පොදු සමාජයේත් පසුගිය මැතිවරණවලදී පොදුජන පෙරමුණට සහාය පළ කළ පුරෝගාමී සමාජ කොටස් විසිවන සංශෝධනය දෙස බැලූවේ බලවත් සැකයකින් යුතුවය. ඒ සියල්ලටම වඩා ආණ්ඩු පක්ෂයේ කටයුතු කරන පුළුල් මහජන නියෝජනයක් සහිත පුරෝගාමී දේශපාලන නායකයන් ගණනාවක් ම විසි වෙනි සංශෝධනයට එරෙහිව දැඩි විවේචන ගෙනෙමින් විරුද්ධ වීම වත්මන් රජයට බරපතළ ගැටලූවක් විය.
 
 ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් දෙකේ දී ම අපි ජනතාවගෙන් වරමක් ඉල්ලූවේ මේ රටට බරපතළ ගැටලූ ගෙන දුන් 19 වන සංශෝධනය අහෝසි කරලා අලූත් ව්‍යවස්ථාමය වෙනසක් ඇති කරන්න. ඒක කරන්න තමයි අපි විසිවන සංශෝධනය ගෙනාවේ. ඒකේ වැරදි තියෙනවා නං අපි ඒව හදාගෙන ඉදිරියට යන්න ඕන. එතන යම් යම් වැරදි හා අඩුපාඩු තියෙනවා කියලා 20 අතෑරලා 19 රකින්න අපිට බැහැ. ඒක නිසා අපි මේ ප‍්‍රශ්නය ආණ්ඩුව ඇතුලෙ සාකච්ඡා කරලා විසඳගන්න ඕන කියන එකයි මගේ කල්පනාව... අගමැති මහින්ද රාජපක්ෂ හැම විට ම කීවේ එයයි.
 
 19 නිසා වින්ද දුක්
 සමහරුන්ට අමතකයි

pola2
 
 විසි වැනි සංශෝධනයට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කරන අය ඉන්නවා. ඒගොල්ලෝ කියනවා විසි වැනි සංශෝධනය ගේනවට වඩා 19 වැනි සංශෝධනය තියා ගන්න එක හොඳයි කියලා. හැබැයි අපි 19 වන සංශෝධනය නිසා දුක් විඳපු අය. ඒ 19 නිසා අවුරුදු
 ගාණක් අපේ රට එකතැන පල්වුන බව සමහරුන්ට දැන් අමතක වෙලා. දහනව වැනි සංශෝධනය හදපු අය පවා ඒක බලවත් වරදක් බව පිළිගන්න මේ වෙලාවේ අපේ ම ආණ්ඩුවේ කට්ටියක් ඉඳගෙන 19 රැකගන්න උත්සාහ කිරීම තමයි ලොකුම පාවා දීම. අපට පුළුල් සංවාදයකින් ඒ අයගේ මතවාද පරාජය කරන්න අවස්ථාවක් ඕන... ආණ්ඩුවේ තවත් පිරිසක් ගොස් අගමැති මහින්ද රාජපක්ෂට එසේ යෝජනා කරන්නට වූහ. කවරෙක් කෙසේ කීවත් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රබල ම කථිකයන් වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, විජේදාස රාජපක්ෂ සරත් වීරසේකර, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග විදුර වික‍්‍රමනායක, ජයන්ත සමරවීර ඇතුළු කණ්ඩායමක් ම 20 පිළිබඳ බරපතළ විවේචනවල සිටියහ. ඔවුන් අගමැතිගෙන් ඉල්ලා සිටියේ තම විරෝධය පාමින් මේ පිළිබඳව අදහස් පැහැදිලි කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම වෙනම කැඳවා සාකච්ඡාවක් ලබා දෙන ලෙසයි.
 
 ඒ අනුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය 9 වැනිදා ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් අරලියගහ මන්දිරයේ පවත්වන්නට තීරණය කළේය. සියලූ දෙනාගේම අදහස් විමසා බලා පුළුල්ව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට මෙම කණ්ඩායම්
 රැස්වීම කැඳවා තිබිණි.
 
 7 වැනි බදාදා මේ සම්බන්ධ සියලූ ආරාධනා පත් මන්ත‍්‍රීවරුන්ට රාජ්‍ය ඇමැතිවරුන්ට හා කැබිනට් ඇමැතිවරුන්ට යවා තිබූ අතර එහි දක්වා තිබුණේ අග‍්‍රාමාත්‍යවරයා හා සාකච්ඡා කිරීමටත් ලබා දෙන අවස්ථාවක් ලෙසයි.
 
 එහෙත් 9 වැනි සිකුරාදා උදේ සියලූම ආණ්ඩු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට කෙටි පණිවිඩයක් මගින් එම අවස්ථාවට ජනාධිපතිවරයා ද සහභාගී වන බව දන්වා තිබුණි.
 
 අගමැතිගේ රැස්වීමට
 විජේදාස බෑ කියයි

 

pola3
 
 පසුගිය සතියට පෙර සතියේ සති අන්තය වන විට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු බොහෝ දෙනෙක් මේ පිළිබඳව විස්සට විරෝධය දක්වන මැති ඇමැතිවරු සමඟ කතා බහ කරමින් සිටියහ.
 
 ”මම නම් මේ රැස්වීමට එන්නේ නැහැ. ඇවිල්ලා තේරුමක් නැහැ. නිකං කාලය කා දමනවා විතරක් වෙයි.” විජේදාස රාජපක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ට කීවේය.
 
 ”එහෙම කතා කරන්න එපා සර්. සර් තමයි අපිට ඉන්න හයිය. ඔය ස්ථානෙ හිටිය ගැන දන්න කෙනෙක් හැටියට සර් මෙතෙන්ට ඇවිල්ල කතා කරන එක තමයි අපිට වටින්නේ... පසුපෙළ මන්ත‍්‍රීවරු පමණක් නොව, ආණ්ඩුවේ සිටින විස්සට විරුද්ධ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පවා විජයදාස රාජපක්ෂගෙන් ඉල්ලා සිටියහ.
 
 ඉකුත් නම වැනි සිකුරාදා හවස 3.30 ට මේ කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.
 
 කණ්ඩායම් රැස්වීම මැනවින් සංවිධානය කර ඇති බව පෙනෙන්නට තිබිණි. සෑම මන්ත‍්‍රීවරයකුගේ ම මේසය මත ලිපිගොනුවක් තිබිණි. ලංකාවේ පැවැති විවිධ ආණ්ඩුක‍්‍රම ගැන විස්තර එහි අඩංගු විය. රාජාණ්ඩු ක‍්‍රමය, වැඩවසම් ක‍්‍රමය, වෙස්ට්මිනිස්ටර් ක‍්‍රමය හා ජනාධිපති ක‍්‍රමය හා ලංකාවේ ආණ්ඩු පැමිණි සැටි විස්තර කරමින් ඒ ඒ ආණ්ඩුවල හොඳ නරක දක්වන විස්තරයක් එම ලිපි ගොනුවේ අඩංගුව තිබූ අතර පසුගිය ආණ්ඩු ජනාධිපති ක‍්‍රමය ඒ ඒ ආකාරයට පාවිච්චි කළ අයුරුද විස්තර කර තිබිණි.
 
 උදාහරණයක් වශයෙන් 1970 බලයට පත්වූ මැතිනියගේ ආණ්ඩුව, 1975 දක්වා පවත්වා ගෙන යෑමට බලය ලබාගෙන 1977 දක්වා දේශපාලන උප්පරවැට්ටියක් මගින් කාලය දිගු කර ගැනීම විස්තර කර තිබිණි. ඉක්බිති ව තවත් අවුරුදු පහක් සඳහා ආණ්ඩු බලය ලබා ගත් ජේ. ආර්. ගේ ආණ්ඩුව ලාම්පු කළගෙඩි සෙල්ලම මගින් ජනතා පරමාධිපත්‍යය කොල්ලකා ගත් ආකාරය ද විස්තර කර තිබිණි.
 
 කණ්ඩායම් රැස්වීම ආරම්භයේ දී මුලින්ම කතා කළේ මහාචාර්ය ජී. එල්. පීරිස් ඇමැතිවරයා ය.
 
 දහනව වැනි සංශෝධනය විශාල වැරැද්දක් කියලා හෝ කවුරුත් පිළිගන්නවා. ඒක හදපු අය පවා පිළිගන්නවා. එකෙන් මේ රටට පහුගිය අවුරුදු පහ ඇතුළත ගොඩක් හානි සිදු වුණා. පාස්කු ප‍්‍රහාරයෙන් විශාල ජීවිත ගණනක් බිලි ගත්තෙත් දහ නවයෙන් සිද්ධ වුණු වැරදි නිසයි. අපි ජනතාවට පොරොන්දු වුණා 19 වැනි සංශෝධනය අහෝසි කරලා අලූත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. අලූත් ව්‍යවස්ථාවක් ගේන්න කලින් දහනවය ඉවත් කරන්න තමයි විසි වැනි සංශෝධනය ගේන්නේ. විස්ස තුළින් 19 අහෝසි වුණාම නැවත යන්නේ ජේ. ආර්. ජයවර්ධන මේ රටට හඳුන්වා දුන්නු ව්‍යවස්ථාවට. එහෙම නැතුව කිසි දෙයක් අපි එකට අලූතෙන් එකතු කරල නෑ.
 
 ඇමැතිලාගේ කතාවෙන් පසුව ජාතික ලැයිස්තු මන්ත‍්‍රී නීතිඥ ජයන්ත වීරසිංහ කතා කළේය.
 
 මහාචාර්යතුමාගේ කතාවෙන් පස්සේ අපට විසිවැනි සංශෝධනය ගැන හොඳට කරුණු අවබෝධ වුණා. අපි මේක ගැන වාද කර කර කාලය නාස්ති කළ යුතු නෑ. දැන් තියෙන්නේ ඔක්කොම එකතුවෙලා මේක සම්මත කරන එක.
 
 මොකක්ද ඔබතුමාගේ ඒ කතාවෙ තේරුම... ඔබතුමා කියන්නේ දැන් අපි මේ ගැන මොකවත් නොකිය එකඟ වෙලා යන්න කියන එක ද...? වාසුදේව හාස්‍යය මුසු ස්වරයෙන් අසා සිටියේය.
 
 නෑ... නෑ... එහෙම නෙවෙයි. අපි එන්න කිව්වේ මේ ගැන ඔබ තුමන්ලාගේ අදහස් දැන ගන්න. එතුමා එයාගේ මතය ප‍්‍රකාශ කළා. ඔයගොල්ල ඔය ගොල්ලන්ගේ මතය කියන්න... අගමැති මහින්ද කීවේය. ඉන් පසුව කතා කරන්නට නැගී සිටියේ ආචාර්ය සරත් වීරසේකර යි.
 
 ”පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් දහනව වැනි සංශෝධනයට විරුද්ධ වෙච්ච එකම එක පුද්ගලයාට හැටියට මම දහනවය අහෝසි කරන ඕනෑම යෝජනාවකට කොන්දේසි විරහිතව එකඟයි. හැබැයි ඉතින් එතනදී ජනාධිපති ධුර කාලයට, ආණ්ඩුව විසුරුවා හැරීමේ කාලයට සීමාවන් පනවන්න බෑ. ඒවා ඔක්කොම වෙනස් නොකර පරණ විදියට තියෙන්නෙ දෙන්න. අනිත් එක තමයි විගණකාධිපති ගේ බලය සීමා වෙන විදිහ යෝජනා ගෙනැවිත් තියෙනවා. විගණකාධිපතිගේ විගණනයට යටත් වෙන ආයතන ටිකත් ඒ විදිහටම තියෙන්න දෙන්න ඕන.”
 
 සරත් වීරසේකර ගෙන් පසුව කතා කරන්නට ගෙවිඳු කුමාරතුංග නැගිට්ටේය.
 
 ජේ.ආර්ගේ ව්‍යවස්ථාවට
 ආපසු යනවාලූ

 
 ”ජී. එල්. පීරිස් ඇමැතිතුමා කිව්වා විස්සෙන් සිද්ධවෙන්නේ ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාවට ආපහු යන එක කියලා. මට පුදුමයි ජී. එල්. ඇමැතිතුමා ඒ වගේ කතාවක් කිව්වා. මොකද අසූව දශකයේ අත්දැකීම්වලට මුහුණ දීපු කිසිම කෙනෙක් නැවත ජේ. ආර්ගේ ව්‍යවස්ථාවට යනවා කියලා කියන්න විදිහක් නෑ. ඔබතුමා කිව්වා 19 හින්දා පාස්කු ප‍්‍රහාරයෙන් විශාල පිරිසක් මියගියා කියලා. එහෙම හිතෙනවා නම් ජේ. ආර්. ඔය කියන ව්‍යවස්ථාව ගෙනල්ලා 82 දී මහ මැතිවරණය නොතියා කරපු සෙල්ලම හින්දා දකුණේ උතුරේ ලක්ෂ 2කට වඩා තරුණයෝ නැති වෙච්ච එකක් මතක් කරන්න වෙනවා. ඡන්ද නොතියා කළු ජූලියක් ඇති වෙන්න ඇරලා ඒ මත ජේවීපී එක තහනම් කරලා මොනතරම් විනාශයක් කරාද ඒ ව්‍යවස්ථාව. මට පුදුමයි ඔබතුමාගෙම කොළඹ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කීදෙනෙක් නැති වුණාද. හිටපු උපකුලපතිත් නැති වුණා.”
 
 ” ඕවා දැන් මේ මෙතන කතා කරලා වැඩක් නැහැ. රටේ ජනතාව 69 ලක්ෂයක් මට බලය දීලා ඉල්ලූවේ මේ රට හදන්න කියලා. තව අවුරුදු හතරයි මට කාලය තියෙන්නේ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න. පරණ කතා කී ඉඳලා කාලය නාස්ති කරන්න අපට වෙලාවක් නෑ. මට ඕනේ වැඩ කරන්න... ඔයගොල්ලො මෙතන මේ 19 හොඳයි කියනවා. 19 ජනතාවට හොඳ නම් රනිල් පරදී ද. එයාට ආසනෙත් නැති වුණා...” ජනාධිපති තරමක් වේගයෙන් කියාගෙන ගියේ ය.
 
 ”මම කතා කළේ ජී. එල්. පීරිස් ඇමැතිතුමාගේ කතාවෙ තියෙන වැරදි ගැන. එතුමා කියන දේවල් නම් අපි වේදිකාවෙ කිව්වේ නෑ. අපි කතා කළ අලූත් ව්‍යවස්ථාවක් ගෙන එක ගැන. විස්සක් ගෙනත් මේ වගේ කරුණු ගේනවා කියලා”
 
 ජනාධිපති ගෙවිඳුගේ කතාවට හරස් වෙමින් කතා කළේය.
 
 ”නෑ නෑ... ඕව දැන් මෙතන කතාකරල වැඩක් නෑ... ඔයා යන්න ගම්වලට ගිහිල්ලා ජනතාව හම්බවෙලා අහන්න මොනවද ඕන කියලා. ජනතාව මගෙන් ඉල්ලන්නේ වැඩ... ඔයා වාඩිවෙන්න.”
 
 ”ඒ කියන්නේ මේ ව්‍යවස්ථාවට අදාළ ව අපිට මෙතන කතා කරන්න ඉඩක් නැද්ද...”
 
 මේ වෙලාවේ ජනාධිපති ගෝඨාභයගේ පැත්තෙන් කරුණු දක්වමින් නෙළුම් මාවතේ මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් ද ගෙවිඳු ට බාධා කළහ.
 
 18 හින්ද වාසුට
 තවම හූ කියනවලූ
 

 ”මමත් මේ 20 ඇතුලෙ තියන සමහර කරුණුවලට විරුද්ධයි... අපි ඒව විවේචනය කරනවා... එහෙමයි කියලා ආණ්ඩුව ගෙන එන යෝජනාවලට විරුද්ධව අපි ඡන්දෙ දෙන්නෙ නෑ. අපි ආණ්ඩුව රකිනවා. 18 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවේ අපි ඒකට විරුද්ධව කතා කළා තමයි. හැබැයි 18ට පක්ෂව අපි ඡන්දෙ දුන්නා. විපක්ෂයේ එව්වෝ මට තාම ඒකට හූ කියනවා...” වාසුදේව සම්‍යයක් ප‍්‍රයෝගයක් පාවිච්චි කරමින් කතා කළේය...
 
 ”නෑ නෑ මේගොල්ලන්ට අපි එන්න කිව්වේ කතා කරන්න. මේ වෙලාවේ හැම කෙනෙක්ගෙම අදහස් අපිට වැදගත්... කරුණාකරලා මේගොල්ලන්ට කතා කරන්න දෙන්න... ඔයා කතා කරන්න.” ගෙවිඳු දෙසට අත දිගු කරමින් අගමැතිවරයා කීවේය. නැවතත් ගෙවිඳු කතා කළේ ය.
 
 ”ජී. එල්. පීරිස් මැතිතුමයි අලි සබ්රි මැතිතුමායි දෙන්නම කතා කරන්නේ විපක්ෂය කියන පරිදි... විපක්ෂය දක්වන පරිදි කියලයි.... ඒ උනාට මෙතන විපක්ෂයක් නෑනේ... මෙතන ඉන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු හැටියට ඉඳගෙනත් විමල් වීරවංශ මැතිතුමාලා කරුණු තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි කරුණු හතක් පෙන්නලා දුන්න. වාසුදේව මැතිතුමත් විජයදාස රාජපක්ෂ මැතිතුමාත් ලිඛිතව කරුණු කියලා තියෙනවා. මේ කරුණු විරෝධතා විදියට එකකට එකක් සම්බන්ධයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඒ දක්වපු කරුණුවලට සාධාරණ උත්තර තියනවද කියන එකයි. මෙතන මේ නැති විපක්ෂයක් දක්වමින් කරුණු දක්වන එක තමයි කාලය අපතේ හැරීම. අපේ ප‍්‍රශ්නවලට උත්තර දෙන්න... අපි අහන්නේ ඇයි ඇමැතිවරු තිහේ සීමාව ඉක්ම වන්නේ. අපි දකින විදිහට ඒක අන්තවාදී පක්ෂවලට කප්පන් දෙන්න ගෙනාපු සංශෝධනයක්.
 
 අනිත් එක අපි කොතැනකවත් කියලා නෑ ඇමැතිවරු 30 දක්වා අඩු කිරීම වැරදියි කියලා. 19 ඇතුළෙ එම යෝජනාව ගෙනල්ලා ගිය ආණ්ඩුව ඒකට වංචා කළා. අපි ඒ වංචාවයි වැරදියි කිව්වේ.”
 
 ”ඉතින් මම තිහේ සීමාව ඉක්මවූව ද ... මම තිහක් වත් දැම්මෙ නෑනේ...” ජනාධිපති ඇසී ය.
 
 ”ඒක තමයි අපි වේදිකාවෙ කිව්වේ... ඔබතුමායි ඒක නියම විදිහට රැක්කේ. ඔබතුමා තාවකාලික ආණ්ඩුවේ ඇමැතිවරු පහළොස් දෙනයි පත්කළේ. එහෙව් එකේ ඇයි අපි මේ වෙලාවේ ඒ සීමාව අයින් කරලා අපවාදයට ලක් වෙන්නේ. අනිත් එක මේවා ගැන අද කතා කරන ජාතික සංවිධාන ඔක්කොම ඔබතුමා වෙනුවෙන් වැඩ කරපු අය. විපක්ෂය නෙවෙයි. ඒ සංවිධාන ඔක්කොම ගිය ආණ්ඩුව වැරදි පනත් හදිසියේ ගෙනල්ලා සම්මත කරන්න හදනකොට උසාවි ගියා. ඒක ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින අයිතියක්. එහෙව් එකේ ඒ අවස්ථාව නැති කරලා ඇයි අද ඔබතුමාලා හදිසි පනත් ගෙනඒම නීතිගත කරන්න හදන්නේ.
 
 මේ අතර නවක මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් විසිවන සංශෝධනය වැදගත්කම ගැන නැවත කතා කරන්නට පටන් ගත්හ. වාසුදේව ඇමැතිවරයා ද්විත්ව පුරවැසිකම ගැන ප‍්‍රශ්න කරමින් කතා කළේ ඒ අතරය.
 
 ”ද්විත්ව පුරවැසිකම වගේ දෙයක් මේ වෙලාවේ ගේන්නේ මොකටද කියන ප‍්‍රශ්නය අපට තියනවා. අනිත් එක තමයි සබ්රි ඇමැතිතුමා කිව්වා සිංගප්පූරුවේ පුද්ගලික විගණන ආයතන විසින් විගණනය කරන ආයතන ලාභ ලබනවා. නමුත් අපි රාජ්‍ය විගණන අංශය විසින් විගණනය කරන ආයතන පාඩු ලබනවා කියලා. එතකොට මං අහන්න කැමතියි රාජ්‍ය අංශය විසින් විගණනය කරන ලාභ ලබන ආයතන ඇත්තේම නැද්ද..? අනිත් එක අපේ සමහර ආයතන පාඩු ලබන්නේ විගණන ආයතනවල වරදින් නෙමෙයිනේ. සමහර රාජ්‍ය ප‍්‍රතිපත්ති නිසා සමහර ආයතන පාඩු ලබනවා. උදාහරණයක් වශයෙන් ඒක හොරකම් නිසාත් පාඩු ලබනවා. ඒ වගේම ජනතාවට අඩු මිලට සේවාවන් සපයන්න ගිහිල්ලත් පාඩු ලබනවා. විගණනය තියනවා කියලා ආයතනයක් පාඩු ලබනවා කියන එක අපි පිළිගන්නේ නෑ.”
 
 විමල් කියූ ප‍්‍රකාශය
 ඉල්ලා අස්කර ගන්න

 
 මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා 20 වැනි සංශෝධනයේ යෝජනා ගැන ලොකු පැහැදීමකින් යි කතා කරන්නට විය....
 
 ”ජනාධිපති තුමා ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් වැඩ කරන්න පොරොන්දු දීලා තියනවා. අපි එතුමාට අවශ්‍ය ශක්තිය දෙන්න ඕන. ආණ්ඩුව රැක ගන්න ඕන. මේ වෙලාවේ විවේචනය කර කර ඉන්න එක නෙවෙයි වැදගත්. 20වෙනි සංශෝධනය ගෙනත් තියෙනවා. ඒකෙ සුළු සුළු අඩුපාඩු තියෙනවා. අපි ඒවා නිවැරදි කර ගනිමින් කතා බහ කරලා එක තැනකට ඇවිත් මේක සම්මත කරන්න ඕන...”
 
 නිමල් සිරිපාල එසේ කියන විට විමල් වීරවංශ හෙමින් සීරුවෙ අපූරු ප‍්‍රකාශයක් කළේ ය.
 
 ”ගරු ජනාධිපති තුමනි... ඔබතුමා බොහොම ඉක්මනට ඉගෙන ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. සමහර අය නායකයාට ඇත්ත කියනවා වෙනුවට නායකයා සතුටු වෙන දේවල් කියනවා. ඔබතුමා දන්නවනේ පහුගිය කැබිනට් එකේදි මම විසිවැනි සංශෝධනය විවේචනය කළා. කැබිනට් එක ඉවර උනාට පස්සේ ඔය දැන් කතා කරපු මන්ත‍්‍රීතුමා මගේ ළඟට ඇවිල්ල අතට අත දීලා මට කිව්වා... විමල්... ඔයා නම් හරිම great... අපිට ඔව්වා කියාගන්න බැරිවයි හිටියේ. අපි ඔක්කොම වෙනුවෙන් ඔයා විරෝධය පෙන්නපු එක ලොකු දෙයක්. අපි ඔයත් එක්ක ඉන්නවා... කියලා මට කියපු තක්කඩියා තමයි ඔබතුමා ඉස්සරහ දැන් විස්සෙ හොඳ කිව්වෙ. ඔබතුමා ඔය වගේ තක්කඩි ගැන පරිස්සමෙන් ඉන්න.
 
 ”විමල්... කරුණාකරලා ඒ තක්කඩියා කියන වචනෙ ඉල්ලා අස් කර ගන්න.”
 
 ”හරි හරි අගමැතිතුමනි ඔබතුමා කියනවා නං ඔන්න මං තක්කඩියා කියන වචනය ඉල්ලා අස්කර ගත්තා.”
 
 අනතුරුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දයාසිරි කතා කළේ ය. කරුණු කිහිපයක් ගැන යම් යම් විරෝධතා තිබුණත් මේ අවස්ථාවේ 20 සම්මත කර ගැනීම සඳහා සහාය දෙන බව ඔහු කිව්වේය. එස්. බී. දිසානායකගේ අදහස ද එයම විය. ඔහු ජී. එල්. පීරිස් ඇමැතිවරයාට පෙන්වා දුන්නේ ප‍්‍රශ්න ඇති කීපදෙනා සමග පමණක් කථා සමඟ කතා කර මෙම ගැටලූ නිරාකරණය කර ගන්න කියාය.
 
 විජේදාස රාජපක්ෂ මෙහිදී කිසිවක් ම කීවේ නැත. මෙතන කතාකරල වැඩක් නැති බව මම දන්නවා නේ. ඒකනේ මම කිව්වේ මෙතැනට එන්න බැහැ කියලා. ඔහු පසුපෙළ මන්ත‍්‍රීවරයකු ට කීවේය.
 
 විදුර වික‍්‍රමනායක ද මෙහිදී කිසිවක් ම නො කියන්නට වග බලා ගත්තේය. සාකච්ඡාව යන අතර වාරයේ ”මෙය වැඩක් ඇති මඟුලක් නොවේ” යැයි කියමින් නැගිට ජනාධිපතිවරයා ළඟට ගොස් කනට කර ඔහුට කුමක්දෝ කියා පිටව ගියේය.
 
 මීට වඩා මේවා ගැන කතා කතා කරල වැඩක් නෑ. මම මේක විසුරුවා හරිනවා. සාකච්ඡාව නිමා කරමින් අගමැතිවරයා කීවේය.
 
 කෙසේ වෙතත් කතා කරන්නට හා යම් යම් කරුණු විවාදාත්මක පැහැදිලි කරගන්නට බලාපොරොත්තුව සිටි බොහෝ දෙනෙකුට ඒ සඳහා අවස්ථාවක් නොලැබීම සම්බන්ධයෙන් අගමැතිවරයා ද සිටියේ යම් නොපැහැදීම ක ය. ”කරුණාකරලා මේ අයට කතා කරන්න ඉඩ දෙන්න. අපි මේ සාකච්ඡාව කැඳෙව්වේ මන්ත‍්‍රීවරුන්ගේ අදහස් දැන ගන්න...” යනුවෙන් කිහිප වරක් ම කියන්නට අගමැතිවරයාට සිදු විය.
 
 අවසානයේ පැය දෙකහමාරක් පමණ පැවති එම උණුසුම් සාකච්ඡාව අවසන් වූයේ ඒ අයුරිනි.
 
 පසුගිය සති අන්තයට පෙර සති අන්තයේ රජයේ විසිවන සංශෝධනය පිළිබඳ කතා බහ මේ අයුරින් උණුසුමින් පැවතෙන අතර කොවිඞ් 19 වසංගත රෝග තත්ත්වය ද රට තුළ එන්න එන්නම උත්සන්න වන්නට පටන් ගත්තේය. වසංගත රෝග කාර්යාංශය මෙම රෝග ව්‍යාප්තිය මෙවර හඳුන්වනු ලැබුවේ ජදඩසා-19 තුන්වන රැල්ල කියාය. ජදඩසා-19 තුන්වන රැල්ල අනිත් රැලි දෙකටම වඩා තරමක් සංකීර්ණ විය. ඊට හේතුව එම රැල්ල ලංකාවට පැමිණියේ කෙසේ ද කවර හේතුවක් නිසා ද කියා ස්ථිරවම කියන්නට කිසිදු සෞඛ්‍ය අංශයක් අපොහොසත් වීම නිසා ය.
 
 3 වැනි කොරෝනා රැල්ල
 ආණ්ඩුව මැඬලයිද?

 
 මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇඟලූම් කර්මාන්තශාලාව ආශ‍්‍රයෙන් ජදඩසා 19 තුන්වෙනි රැල්ලේ පළමු ආසාදිතයා හමුවන්නේ ඉකුත් ඔක්තෝබර් 4 වැනිදාය. සති දෙකක් ගත ව ගිය තැන එම ආසාදිතයින් ගණන 1800 (16 වැනිදා වන විට) දක්වා වර්ධනය වුවත් රෝගය ආ ගිය තැන් මුල ගිය තැන් පිළිබඳ කිසිත් සඳහනක් කොතනකවත් නොවීය. සමහර මාධ්‍ය විශ්ලේෂකයන් මෙම තත්ත්වය විග‍්‍රහ කළේ අදාළ ඇඟලූම් සමාගම තත්ත්වයේ බරපතළ බව දැන දැනම සත්‍ය වසන් කරන බව පෙන්වා දෙමිනි. ආණ්ඩු පක්ෂයට විවේචන ගෙන එන විපක්ෂයේ කොවිඞ් ව්‍යාප්ති නිගමනය ද එයම විය.
 
 ඒ කෙසේ වෙතත් රජය උත්සහ කළේ ලොක්ඩවුන් වැනි දැඩි පිළිවෙත් අනුගමනය නොකර ම ප‍්‍රාදේශීය වශයෙන් ඇඳිරි නීතිය පමණක් පනවමින් තත්ත්වය පාලනය කර ගැනීමට ය. එහෙත් රජයට ද එය හිතන තරම් පහසු කටයුත්තක් නොවීය. පටන් ගැනුණේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයෙන් වුවත් සති දෙකක් යන විට රෝග ආසාදිතයින් ලංකාවේ සෑම සියලූ දිස්ත‍්‍රික්කයකින් ම වාර්තා වන්නට වීම තුළ දිනෙන් දින තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව පමණක් ප‍්‍රදර්ශනය විය.
 
 මෙවර කැබිනට් මණ්ඩලය සුපුරුදු පරදි රැස්වූයේ පසුගිය සඳුදාය. ඒ හවස 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙනි. මෙහිදී රටේ පැතිර යන කොවිඞ් තුන්වන රැල්ල ගැනද අවධානය යොමු වූවේය.
 
 සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා, කොරෝනා තුන්වන රැල්ලේ තත්ත්වය කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළේය. ”කොරෝනා වසංගතය පාලනය කරන්න සෞඛ්‍ය අංශ උපරිමයෙන් කටයුතු කරගෙන යනවා” පවිත‍්‍රා කීවාය.
 
 ”මේ වනකොට කොරෝනා තුන්වන රැල්ල පාලනය කරන්න සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කළ යුතු කළ හැකි සියලූම දේ කරනවා. මට විශ්වාසයි පළමු හා දෙවැනි රැල්ල පාලනය කළා වගේම මේ රැල්ලත් පාලනය කරන්න අපිට පුළුවන් කියලා. ඒකට ජනතාවගේ සහයෝගය අවශ්‍යයි.” ජනාධිපතිවරයා කීවේය.
 
 ”සර්, ඇඳිරි නීතිය දාපු ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හුඟ දෙනෙක්ට ආර්ථික දුෂ්කරතා තියෙනවා. ඒ අය වෙනුවෙන් රුපිියල් 5000 දීමනාව ලබා දෙන්න පුළුවන් නම් හොඳයි” ඇමැති ප‍්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාට කීවේය.
 
 ජනාධිපතිවරයා කීවේ ඒ ගැන ඉදිරියේදී අවධානය යොමු කරන බවයි.
 
 මේ අතර ප‍්‍රසන්නට පසුගිය සතියේ තවත් වගකීමක් පැවරුණි. ඒ ආණ්ඩුව නියමිත පරිදි 5 ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය පැවැත්වීමට තීරණය කිරීමත් සමගය. ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඇඳිරි නීතිය පැනවූ ප‍්‍රදේශවල විභාගය පැවැත්වීම හා නිරෝධායනය වන පවුල්වල දරුවන් විභාග සඳහා යොමු කිරීම ඒ වගකීමයි. කලින් සතියේ සිකුරාදා ප‍්‍රසන්න ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියලූ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ට කථා කළේ ඒ අනුවය.
 
 ”දිස්ත‍්‍රික්කයේ හැම විභාග මධ්‍යස්ථානයක්ම විෂබීජහරණය කරන්න ඕනෑ. උසස් පෙළ විභාගය ඉවර වෙනකන්ම අපි මේක කරන්න ඕනෑ.” ඔහු කීවේය.
 
 ඒ අනුව ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියලූ විභාග මධ්‍යස්ථාන විෂබීජහරණයට පියවර ගැනිනි.
 
 මේ අතර පසුගිය ඉරිදා දවල් ඇමැති ප‍්‍රසන්නගේ දුරකථනයට ඇමතුමක් ලැබුණේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දැරියකගෙනි.
 
 ”මාගේ තාත්තා නෑ. අම්මා බ‍්‍රැන්ඩික්ස් එකේ. අම්මව නිරෝධායනයට ගෙනිච්චා. මට විභාගයට යන්න විදියක් නෑ ” ඇය හඬමින් කීවාය.
 
 ප‍්‍රසන්න වහාම එම ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාට කථා කර එම දැරියව විභාගය අවසන් වන තුර විභාග මධ්‍යස්ථානයට ගෙනයෑමට හා නිවසට ඇරලීම සෞඛ්‍ය උපදෙස් අනුව සිදුකිරීමට වැඩපිළිවෙළක් සැකසුවේය.
 
 5000 නැවත ලබාදෙන්න
 ප‍්‍රසන්න අගමැතිට කියලා

 
 මේ අතර ඇඳිරි නීතිය පනවා ඇති ප‍්‍රදේශවල ජීවනෝපාය අහිමි වූ පවුල් 72,345 ක් සිටින බව දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් දැනගත් ප‍්‍රසන්න, අගමැති මහින්දට හා හිටපු ඇමැති බැසිල්ටද කථා කළේය. මේ පවුල් වෙනුවෙන් රු. 5000ක දීමනාව ලබා දෙන්නැයි ඉල්ලූවේය. ඉන් නොනැවතුනු ඔහු සිය හිතවතුන් හා මහජන නියෝජිතයන් සම්බන්ධ කර ගනිමින් එවැනි පවුල්වලට අවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කළේය.
 
 පසුගිය සතියේ අපේ රටේ ජනතාව අතර කතා බහට ලක් වූ අනෙක් වැදගත් කාරණාව වූයේ රිෂාඞ් බදුර්දීන් සිද්ධියයි. ඊට හේතුව හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලීසිය වෙත නියෝගයක් නිකුත් කර තිබීමයි. පසුගිය මැතිවරණ සමයේ පුත්තලම ප‍්‍රදේශයේ අවතැන් කඳවුරුවල ස්ථාන ගතව සිටින උතුරුකරයේ ඡන්ද දායකයන් පිරිසක් රජයේ වියදමින් බස් රථ යොදවා උතුරට ගෙනගොස් නැවත ගෙනවිත් දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් වූයේ රජයේ මුදල් අවභාවිත කිරීමේ එම සිද්ධිය නිසාය.
 
 එහෙත් ඒ වන විට රටේ පැතිර ගොස් තිබූ කතාව වූයේ විසිවන සංශෝධනය තුනෙන් දෙකෙන් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා රිෂාද් ඇතුළු ඔහුගේ මුස්ලිම් කණ්ඩායම ආණ්ඩුව වෙත ගැනීම සඳහා ආණ්ඩුවට සම්බන්ධ බලවත් පුද්ගලයෙක් රිෂාද් ලා සමග සාකච්ඡාවක් අරඹා තිබෙන බවකි. පාස්කු ප‍්‍රහාරයට යම් සම්බන්ධයක් ඇතැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඒ වන විටත් ප‍්‍රශ්න කරමින් සිටි රිෂාද්ගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් හිටි හැටියේ කිසි නඩු විභාගයක් ද නොමැතිව නිදහස් කර දැමීම එම සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් නිසා සිදු වූවක් යැයි ඒ වන විට රටේ තවත් කතාවක් පැතිර ගොස් තිබිණි. එම නිදහස් කර දැමීමට එරෙහිව සමාජයේ ලොකු ආන්දෝලනයක් ද ඇති ව තිබුණි.
 
 කෙසේ වෙතත් මේ අතර රිෂාද්ව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති නියෝගයක් නිකුත් කිරීමත් පොලිසිය විශේෂ කණ්ඩායම් හයක් යොදවා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂා කිරීමත් නිසා එතෙක් පැවැති සමාජ නිගමන සියල්ල අභියෝගයට ලක් විය.
 
 එහෙත් තවත් පිරිසකගේ අර්ථකථනය වූයේ මේ සියල්ල හුදු නාට්‍යයක් බවයි. අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර සතියක් ගතව ඇති මුත් ඉතා විශිෂ්ට ගණයේ බුද්ධි අංශයක් හිමි පොලිසියට හිටපු ඇමැතිවරයාව අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම යථාර්ථයක් නොවන බව ඔවුන්ගේ තර්කය විය. ජනතාව තර්ක කළේ රිෂාඞ් බදුර්දීන් ආණ්ඩුවේ බලවත් පුද්ගලයෙකුගේ රැකවරණය යටතේ සිට නොබෝ දිනකින් ම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවකි. එය ඔවුන් සමාන කළේ අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කර තිබියදීත් දේශපාලඥනයෙකුගේ රැකවරණය යටතේ ආරක්ෂිතව සිට දින කිහිපයකට පසුව අධිකරණය වෙත ඉදිරිපත් කළා වූ මීගමුව බන්ධනාගාර අධිකාරි සම්පායෝගේ සිද්ධියට ය.
 
 අති දක්ෂ පොලිස් කණ්ඩායම් හයක් යොදවා හිටපු ඇමැතිවරයා හොයන්නට පොලිසිය කොතරම් උත්සාහ කළා යැයි කීවත් ඔවුන්ට සොයාගත හැකි වූයේ ඇමැතිවරයාගේ එක් ආරක්ෂක නිලධාරියකු පමණි. ඒ අතර ඉකුත් 15 වැනි බ‍්‍රහස්පතින්දා හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නිකුත් කරනු ලැබූ නියෝගය වළකමින් අතුරු නියෝගයක් ඉදිරිපත් කරන්නැයි කියා බදුර්දීන්ගේ පාර්ශ්වය අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවේය.
 
 මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටි ආණ්ඩුවට සම්බන්ධ නීතිවේදියකු මාධ්‍ය කීප දෙනෙකු සමග පැවැත්වූ සුහද සාකච්ඡාවක දී කීවේ සියල්ල ම නාට්‍යයක් බව ය. හිටපු ඇමැතිවරයා පසුගිය ඡන්ද සමයේ බස් රථ යොදවා එසේ සෙනග ගෙන ගොස් ඇතත් ඒ සඳහා ගෙවීම් කර ඇත්තේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ක‍්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධානයක් බව ඔහු පෙන්වා දුන්නේය. එතන කිසිත් රාජ්‍ය දේපොළ අවභාවිතා නැත. රිෂාඞ් බදුර්දීන් සම්බන්ධ බරපතළ චෝදනා රැසක් තිබියදී එබඳු එකකටවත් ඔහුව අත්අඩංගුවට නොගෙන, ඔප්පු කරගත නොහැකි, කිසිදු නඩුවක් නැති මෙබඳු චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට යන්නේ ඔහු ව වීරයකු කර නිදහස් කිරීමට ඇති අවශ්‍යතාවය නිසාදැයි තමන්ට සැක බව එම නීතිවේදියා මාධ්‍යවේදීන්ට පැහැදිලි කර දුන්නේය.
 
 ජනපති සහ අගමැති
 කොමිෂන්වල පෙරළි

 
 මේ අතර සමාජයේ කැපී පෙනුනු තවත් රසවත් සිද්ධියක් වූයේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම වෙත සහ දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමට සාක්කි දීමට හිටපු ජනාධිපතිවරයාත් හිටපු අගමැතිවරයාත් විටින් විට කැඳවා තිබීම ය. මෙම අවස්ථාවලදී ඔවුන් ලබා දුන් සාක්ෂි අනුව ඔවුන් දෙදෙනා එක්ව පසුගිය අවුරුදු පහක කාලය තුළ ආණ්ඩුවක් කරනු ලැබුවේ ද එසේත් නැත්නම් ජනතාව සමග යම් හාස්‍යජනක ගනුදෙනුවක් කරනු ලැබුවේ ද යන සැකය ඉස්මතු විය. පාස්කු කොමිසමේදී හිටපු ජනාධිපතිවරයා මේ කිසිත් සිද්ධියක වගකීමක් භාර ගැනීමට තමන් වෙත හේතුවක් නැතැයි පෙන්වා දුන්නේ පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා හෝ බුද්ධි අංශ ප‍්‍රධානියා හෝ මේ කිසිම කෙනෙක් තමන් දැනුවත් නො කළේ ය යන කාරණාව හුවා දක්වමිනි.
 
 මේ අතර හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ පසුගිය බ‍්‍රහස්පතින්දා උදේ දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමට සාක්කි දීමට යෑමට පෙර සිරිකොත මන්දිරය වෙත පැමිණියේය. ඒ වන විට ඔහුව හමු වන්නට එතනට පක්ෂයේ නිලධාරීන් හා ජෙන්‍ෂ්ඨ දේශපාලනඥයන් ගණනාවක් ම පැමිණ සිටියහ.
 
 ඔබතුමා පහුගිය අඟහරුවාදා පාස්කු කොමිසම ට ගියා. එතෙන්දි මොනවද වුණේ... හිතවතුන් කිහිප දෙනෙක් එජාප නායකයා ගෙන් විමසා සිටියහ.
 
 මොනවා වෙන්න ද... මම අහපු ප‍්‍රශ්නවලට උත්තර දුන්නා. එච්චරයි.
 
 ජනමාධ්‍යයත් අයින් කරලා පාස්කු එකේ බෝම්බකරුවෙක් නිදහස් කිරීමට ගිය ආණ්ඩුවේ යම් පාර්ශ්වයක් සම්බන්ධ බවට වැදගත් ම තොරතුරක් එළි කරා කියලා ජනමාධ්‍යවල එහෙන් මෙහෙන් ගියා...? ඒ පිළිබඳව ඇත්ත කතාව කුමක්දැයි අයකු ඇසුවේය.
 
 රහසක් කියන්නේ රහසක් නේ ඒක තැන් තැන්වල මේ විදියට කියන්න බෑ රනිල් කීවේය. ඒ අතර වජිර අබේවර්ධන ප‍්‍රශ්නයක් ඇසීය.
 
 එතකොට මොකක්ද අර 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුව පාර්ලිමේන්තුවට දාන්න කලින් ලීක් වුණාය කියලා යන ආරංචිය...?
 
 තීන්දුව ලීක්වුණේ
 කොහොමද සොයයි

 
 ”ලීක් වෙච්ච එක නම් ලොකු ප‍්‍රශ්නයක් තමයි... හැබැයි ඉතින් ඕක බලාගන්න වෙන්නේ ලීක් වෙච්ච කරුණුයි පාර්ලිමේන්තුවට ගේන කරුණුයි අතර සම්බන්ධතාවක් තිබුණොත් විතරයි... ගැලපුණොත් නං මේ ලීක් වෙච්චි එක ලොකු ප‍්‍රශ්නයක්. මොකද ඕක ලැබෙන්නේ ජනාධිපතිටයි කථානායකටයි විතරයි. ලීක් වුණා නම් මේ දෙන්නගෙන් කවුරු හරි ලීක් කරන්න ඕන.
 
 මේ අතරතුර එක්සත් ජාතික පක්ෂය යළි නගා සිටුවීමේ කමිටු වාර්තාව පිළිබඳ නායකයාගේ අවධානය යොමු විය. වාර්තාව සකසා තිබුණේ රුවන් විජේවර්ධන, සාගල රත්නායක, කරුණාසේන කොඩිතුවක්කු ඇතුළු කණ්ඩායමක් විසිනි.
 
 වාර්තාව නම් මං කියෙව්වා. ඒත් ඉතින් ඒ ගැන තීන්දුවක් ගන්න බැහැනේ මේ කොරෝනා හින්දා. අගවිනිසුරුවරයා වගේ මෙතනදී මට තනියම තීන්දු ගන්න බෑ... අපි බලමු කවුරුත් එක්කත් කතා බහ කරලා මොකක්ද කරන්න ඕනි කියලා රනිල් කීවේය.
 
 එ.ජා.ප ජාතික ලැයිස්තුව සඳහා මහාලේකම් අකිලගේ නම ඔහු විසින්ම මැතිවරණ කොමිසමට යැවීමට උත්සාහ කළ බවට පසුගිය දා සමාජ මාධ්‍යවල පළවිය. ඒ ගැන ද කතාබහක් ඇති විය.
 
 ”අකිලටත් යන්න ඕන වෙලා වගේ පේනවා. අකිල වගේම සුදුසුකම් තියෙන තවත් අය මේක ඉල්ලනවා. පක්ෂයේ එකඟත්වය නැතුව පාර්ලිමේන්තුවට නම් කරන්න අමාරුයි. අනික ඡන්දයෙන් නොතේරුණු කෙනෙකුට ජාතික ලැයිස්තුවෙන් යන්න බෑ කියලා එ.ජා.ප තීන්දුවකුත් තියෙනවා. අකිල ද වෙන කව්රු හරිද පාර්ලිමේන්තු යන්නේ කියලා ඉක්මණින් තීන්දු කරන්න ඕනෑ.” නායකයා කීවේය.
 
 කොරෝනා යළි පැතිරෙන පසුබිමක 20 වැනි සංශෝධනය කඩිමුඩියේ සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන බව පෙනේ. එහෙත් විපක්ෂය, සමාජ ක‍්‍රියාකාරී බලවේග වගේම අමරපුර - රාමඤ්ඤ ලේඛකාධිකාරී හිමිවරුන්, කතෝලික රදගුරු සම්මේලනය, ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිස්තියානි සභාව ආදි සියලූ පාර්ශ්ව වෙතින්ම මේ සඳහා විරෝධතා
 
 ගොඩනැගෙමින් තිබේ. එම ගිනියම් බවත් සමග ආණ්ඩු පාර්ශ්වයෙන් එය නිවීම සඳහා උපක‍්‍රම රැසක් යොදමින් තිබෙන බවද පෙනෙන්නට තිබේ. රාමඤ්ඤ හා අමරපුර නා හිමිවරුන් ගෙන් ජනමාධ්‍ය ප‍්‍රකාශන ලබාගැනීම එහි එක් අවස්ථාවකි. ඇමති ජි.එල් අගරදගුරු හිමි හමුවීම ද එහි තවත් එක් කොටසක් විය හැකි බවට ද මත පළවේ.
 
 ”ස්වාමීන් වහන්සේලාගේ සහ කතෝලික ක‍්‍රිස්තියානි පූජ්‍ය පක්ෂවල විරෝධතාවයෙන් පස්සේ ආණ්ඩුව ඒ සඳහා මෙහෙයුමක් දියත් කරනකොට අත්තංගනේ රතනපාල නාහිමි ඊට නිසි ප‍්‍රතිචාර දුන්නා. අපේ නිකායවල් දෙකේ සමගිය ගැන ආණ්ඩුව බය වෙලා. අපි මේකට සියම් නිකායත් එකතු කර ගන්නවා. වයස සීය පැනපු අපේ නාහිමිවරුන්ගෙන් ප‍්‍රකාශ ලබාගැනීම තුළම ආණ්ඩුව බිය වී ඇති අයුරු පේනවා. උන්වහන්සේ කිව්වේ එහෙමයි.”
 
 එ.ජා.ප නිලධාරියකු කරුණු පැහැදිලි කළේය.
 
 ආගමික සතියකින්
 රුවන් යළි කරළියට

 
 ”රුවන් විජයවර්ධන එ.ජා.ප නියෝජ්‍ය නායකයා කරලා බුදුදහමේ පදනම තුළින් පක්ෂය ඉදිරියට ගෙන යන්න එ.ජා.ප ය ගත්ත තීන්දුවත් මේ පසුබිම ඇති වෙන්න බලපෑවා. 20 සම්මත වුණොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේම බුදුදහමටත් තහංචි වැටෙන බවට එ.ජා.ප ය මතු කළ තර්කය තමයි මේ ඉදිරියට යන්නේ. අපි දේශපාලනයෙන් තොරව රටට ජනතාවට හිතැති බලවේගයක් ලෙසයි මේ තත්ත්වය මතු කළේ. ඒත් විපක්ෂයේ සමහරු දේශපාලනිකව 20 යටපත් කරන්න උත්සාහ කිරීම වැඩදායක වේවි කියලා හිතන්න අමාරුයි.” එ.ජා.ප නායකයා කළ විග‍්‍රහයට කාගේත් එකඟතාව පළ විය.
 
 මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පක්ෂයේ ආගමික වැඩ සටහන් ඒ වනවිටත් ආරම්භ කර තිබිණි. ඔහුගේ සැලසුම්වලට අනුව ජනතාව මේ දිනවල බරපතළ ලෙස පීඩා විඳිමින් සිටින කොරෝනා උවදුර සම්බන්ධ කරගෙන සංවිධානය කෙරුණු වැඩසටහනට රාශියක් තිබිණි. විශේෂයෙන්ම ගම්පහ දිස්ත‍්‍රික්කය ඇතුළු කොරෝනා උවදුරින් පීඩාවට පත්වුණු ජනතාවට සෙත් පතා ඔහු ආගමික වැඩසටහන් රැසක්ම මේ සතියේ සංවිධානය කළ අතර ඒවා බෞද්ධ, කතෝලිකථ මුස්ලිම් හා හින්දු ආගමික වැඩසටහන් ලෙස වෙන වෙනම සංවිධානය කරන්නට ද ඔහු පියවර ගෙන තිබණි. එහෙත් ඔහුට ඒ සඳහා ලොකු බාධාවක් වූයේ කොවිඞ් නීති රෙගුලාසි නිසා සෙනඟ ඒකරාශී කිරීමට නොහැකි වීම ය. මෙම තත්ත්වය සැලකිල්ලට ගත් රුවන් ඒ ඒ දිස්ත‍්‍රික් මට්ටමින් වෙන වෙන ම ආගමික ආශිර්වාද වැඩසටහන් පවත්වන්නට මෙම සතිය යොදා ගත් අතර ආගමික සතිය ලෙස ඒ වැඩ සටහන් සියල්ල නම් කරන්නට ද පියවර ගත්තේ ය.
 
 පසුගිය බදාදා රාත‍්‍රියේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී කෝවිඞ් උවදුරෙන් පීඩා විඳින රටට හා ජනතාවට සෙත් පතා පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් පවත්වනු ලැබීය. බ‍්‍රහස්පතින්දා උදෑසන මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් සූදානම් කෙරිණි. මේ අයුරින් රුවන් කොළඹ සිට කොළඹ දිස්ත‍්‍රික්කයේ වැඩසටහන සංවිධානය කළ අතර අනෙකුත් සෑම දිස්ත‍්‍රික්කයක ම එවන් වැඩසටහන් සංවිධානය කරන්නට අවශ්‍ය උපදෙස් හා ප‍්‍රතිපාදන දිස්ත‍්‍රික් නායකයන් වෙත සලසනු ලැබීය. විශේෂත්වය වූයේ බෞද්ධ ආගමික පින්කම්වලින් පටන් ගෙන අනෙකුත් ආගමික ස්ථානවල ද එම ආශිර්වාද වැඩසටහන සංවිධානය කිරීමයි.
 
 පසුගිය සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනදා තරම් කාර්ය බහුල ව සිටියේ නැත. එ නමුත් සුපුරුදු පරිදි පවත්වාගෙන ගිය අමාත්‍යාංශවල ඇමැතිවරු ලේකම්වරු හා නිලධාරීන් හමුවීම්වල නම් අඩුවක් නො තිබිණි.
 
 මේ අතර අඟහරුවාදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුවේ රැස්වීමක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මේ සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේ හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරු ද නිලධාරීන් ද අදාළ ඇමැතිවරුන් ද පැමිණ සිටි අතර කමිටුවේ සෙසු සාමාජිකයින් වන දේශපාලනඥයෝ ද පැමිණ සිටියහ. බැසිල් රාජපක්ෂ මහතා ද ඒ අතර විය.
 
 කොරෝනා උවදුරත් සමඟම පැමිණි හාල් හිඟය, පොල් හිඟය, එළවළු හිඟය ආදී ප‍්‍රශ්න ගැන මෙහිදී පුළුල් ලෙස කතා බහ විය.
 
 වී අස්වනු හැංගුවේ
 ලොක්කොද පොඞ්ඩොද?

 
 මම හොයලා බැලූවා මේ ගැන. මේ පාර යල කන්නයේ වී අස්වැන්න හොඳටම හොඳයි කියලයි හැම පැත්තෙන්ම ඇහෙන්නේ. ඒ වුණාට වෙළඳපොළේ හාල් හිඟයක් තියෙනවා කියලා කියනවා. මට නම් මේක විශ්වාස කරන්න බෑ. වී අස්වැන්න හොඳ නම් කොහොමද හාල් හිඟයක් ඇති වෙන්නේ... ජනාධිපති ප‍්‍රශ්න කළේ ය.
 
 මමත් හොයලා බැලූවා. මේ වෙලාවේ රටේ වී තොගවල කිසිම හිඟයක් තියෙන්න විදියක් නෑ. මේක තනිකරම මවා පෑමක් බැසිල් කීවේය.
 
 මීට මාස කීපයකට කලින් රටේ නාඩු හාල් හිඟයක් තියෙනවා කියලා කතාවක් ගියා. ඒගොල්ල කිව්වා කීරි සම්බා නං ඕන තරම් තියෙනවා. නමුත් නාඩු හිඟයි කියලා. ආණ්ඩුව නාඩුවලට ස්ථාවර මිලක් තියලා ඉහළ දැම්මට පස්සේ නාඩු තොග එළියට ආවා. ඊට පස්සේ නාඩු ඕන තරම් තියනවා. කීරි සම්බා හිඟයි වගේ කතාවක් ගියා. වී අලෙවි මණ්ඩලයෙන් පැමිණි නිලධාරියකු පැහැදිලි කළේය.
 
 නාඩු මිල 96 ට තියන එක වැඩි කරන්න යන්න එපා. ඒක ඒ ගාණටම තියෙන්න අරින්න. එතකොට මට දැනගන්න පුළුවන්ද අපේ රටේ හාල් පරිභෝජනය මොන විදිහට සිද්ධ වෙන්නේ කියලා ජනාධිපති ඇසී ය.
 
 අපි ළඟ තියෙනවා දිස්ත‍්‍රික් මට්ටමෙන් ලංකාවේ හාල් පරිභෝජනය. ගම්පහ දිස්ත‍්‍රික්කය තමයි හාල් පරිභෝජනය වැඩිම. දෙක කුරුණෑගල, තුන කොළඹ ආදී වශයෙන් නිලධාරීන් දිගු ලැයිස්තුවක් කියවන්නට පටන් ගත්තේය.
 
 ඔයගොල්ල හොයලා බැලූවෙ නැද්ද මේ වැඩිපුර අස්වැන්නෙන් ආපු වී තොග දැන් මේ වෙලාවේ කොහෙද කොහෙද තියෙන්නෙ කියලා
 
 ප‍්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයෝ දෙන්නා තුන්දෙනා ළඟ තියෙනවා. ඒවායි ගණන් මිනුම් නම් අපි දන්නවා. ඊළඟට සාමාන්‍ය මට්ටමේ ප‍්‍රධාන හාල් වෙළෙඳුන් ළඟත් වී තොග ඇති තරම් තියෙනවා. ඊට අමතරව ගම්වල මෝල් හිමියෝත් වී එකතු කරනවා නේ සර්. මේ පාර ඒ ගොල්ල ළඟ හුඟක් වී තියෙන බවයි ආරංචිය. ඒවා ගැන තමයි
 
 ගණන් මිනුම් නැත්තේ... සාමාන්‍යයෙන් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ තුනක් විතර ගොවියො ළඟත් තියන් ඉන්නව නේ...
 
 මෙටි‍්‍රක් ටොන් එකක් කියන්නේ?
 
 මෙටි‍්‍රක් ටොන් එකකට සාමාන්‍යයෙන් වී ගෝනි විස්සක් විතර අහු වෙනව සර් ගොවීන්ගේ අතේ තියෙන වී ටිකයි ගොවීන් ගෙන් ගමේ කුඩා කුඩා මෝල් හිමියෝ අරගන්න වී ටිකයි හින්දා තමයි අපේ ගම්වල ආර්ථිකය රැකෙන්නේ. පිටතින් ගම්වල ඉන්න පොඩි පොඩි මෝල් හිමියන් විශාල සේවාවක් කරනවා ගමේ ආර්ථිකය රැකබලා ගන්න. ඒගොල්ලන්ට කිසිම විදියකින් අතක් තියන්න එපා බැසිල් පෙන්වා දුන්නේය.
 
 ඔව් ඔව් අපි ගමේ මෝල් හිමියෝ ආරක්ෂා කරගන්න ඕනි ජනාධිපතිවරයා ද කීවේය.
 
 අපි මෙතෙන්දි හොයල බලන්න ඕන ගමේ මෝල් හිමියා ගැනවත් ගොවියා ගැනවත් නෙවෙයි මහා පරිමාණයෙන් වී තොග හංගාගෙන ඉඳන් රටේ වී හිඟයක් තියෙනවා කියලා ඔප්පු කරන්න හදන අතරමැදි වෙළෙන්දෝ ඉන්නවා. ඒ අයගේ ක‍්‍රියාකාරකම් ගැන තමයි අපි හොයන්න ඕන බැසිල් උපදෙස් දුන්නේ ය.
 
 අනිත් එක තමයි ගොවියා රැකෙන්න ඕන. කුඩා කුඩා මෝල් හිමියා රකින්න ඕනේ. ඒ වගේම වැදගත්ම දේ පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු වෙන්න ඕන. පාරිභෝගික සේවා අධිකාරියට ලොකු වගකීමක් තියෙනවා ජනාධිපති කීවේය.
 
 රටේ ලොකු හාල් හිඟයක් තියෙනවා කියලා වෙළෙඳපොළේ කතා වෙනවා කියන එක මම නම් දකින්නේ වෙන විදිහකට. ඒක මේ ආණ්ඩුව විසින් ම ඇති කරගන්න භීතිකාවක්. වෙළෙඳ පොළ හැසිරීම හැටියට රුපියලක් දෙකක් එහෙ මෙහෙ උනාම ආණ්ඩුව ඒක ගණන් ගන්න හොඳ නෑ. ඒවා පාලනය කරන්න ගියාම තමයි වෙළෙන්දා වී තොග හංගන්නේ. රුපියලක් දෙකක් කියන එක අද මිනිසුන්ට දැනෙන්නෙත් නෑ. වෙළෙඳ පොළට නිදහසේ ගලාගෙන යන්න දුන්නහම ඒවා නිරායාසයෙන් පාලනය වෙනවා. බලන්න සිගරට් පැකට් එකක් රුපියල් හයසීයක් විතර වෙනවා. මිලක් නිතරම ඉහළ යනවා. කවුද ඒ ගැන කතා කරන්නේ. අවශ්‍ය මිනිහා විතරක් ඒව ගන්නවා. වෙළෙඳපොළ හැසිරීමට ඉඩ දෙන එක තමයි හොඳ නිලධාරියෙක් විග‍්‍රහ කරන්නට විය.
 
 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පාලනය කිරීම සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙළ ගැන ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
 
 මේ අයුරින් ජීවන වියදම් කමිටුවේ සාකච්ඡාව ද අවසන් විය.
 
 ඉන් පසුව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් වසංගත රෝග නිවාරණ කාර්ය සාධක කමිටුවේ රැස්වීමක් ද පැවැතුණත් එහි තොරතුරු මාධ්‍යවලට නිරාවරණය වූයේ නැත.
 
 සේවකයන් බේරගන්න
 සජිත් ගත්ත පියවර

 
 පසුගිය සතියේ සමගි ජන බලවේගයේ දේශපාලන ක‍්‍රියාකාරකම් කිසිවක් පොදු සමාජය ඉලක්ක කර ගෙන සිදු වූයේ නැත. කල් තියා එබඳු දේශපාලන වැඩසටහන් රැස්වීම් හා ක‍්‍රියාකාරකම් රැසක් ම දිස්ත‍්‍රික් මට්ටමෙන් යොදාගෙන සිටියත් ඒ සියල්ල වත්මන් කොවිඞ් අර්බුදය නිසා නතර කර දමන්නට සමගි ජන බලවේගයේ දේශපාලන මණ්ඩලය තීන්දුවක් ගත්තේය.
 
 මේ අතර සජිත් පේ‍්‍රමදාස සිය පක්ෂ කාර්යාලයේ හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සේවක සේවිකාවන් සියලූම දෙනාට නිවේදනයක් නිකුත් කරමින් කොවිඩි නිරෝධායන නීති රීතීන් අකුරටම අනුගමනය කරමින් වැඩ කරන ලෙස දන්වා සිටියේ ය. විශේෂයෙන් ම පාර්ලිමේන්තුවේ කාර්යාලයේ වැඩ කරන සේවක සේවිකාවන්ට නිවසේ සිට රාජකාරි කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දුන් සජිත් ඔවුන් ට ඒ සඳහා අවස්ථාව සලසා දුන්නේය.
 
 මේ වගේ වෙලාවක ඉස්සෙල්ලාම මම මගේ කාර්යමණ්ඩලයේ දිහා නම්‍යශීලීව බලන්න ඕන. මම මහ ? වෙලා වැඩ කරන හැම දවසකම ඒ අය මමත් එක්ක හිටියා. හැබැයි අවදානමක් තියෙන වෙලාවක මම ඔවුන් ගෙන් වෙනදා වගේ වැඩ ගන්න කැමති නෑ. අනිත් එක දැන් අපේ වැඩ අපිම කරගන්න පුරුදු වෙන්න ඕන. සජිත් තම ළඟම සේවකයන්ට උපදෙස් දුන්නේ ඒ අයුරිනි.
 
 පසුගිය සතියේ මහජන හමුවීම් කිසිවක් නොපැවතුන සමගි ජන බලවේගයේ අභ්‍යන්තර සාකච්ඡා කීපයක්ම පැවැත්විණි. මෙහිදී සමගි ජනබලවේගයේ නායකයෝ සාකච්ඡා කළේ කොරෝනා අවදානමට මුහුණ දීම සඳහා රජය පෙන්නුම් කරන නොහැකියාව ගැන ය.
 
 බ‍්‍රැන්ඩික්ස් සමාගමට මේ අනතුරට මුහුණ දෙන්න සිද්ධ වුණේ ඉවක් බවක් නැතුව ඔවුන් ඉන්දියාවෙන් සේවකයන් හා බඩු භාණ්ඩ ගෙන්නපු නිසයි. කිසි වගකීමක් නැතුව ඔවුන් ඒ සේවකයන් මේ කර්මාන්ත ශාලාවල වැඩට යෙදෙව්වා. ඉන්දියාවෙන් ගෙන්නපු සේවකයන්ගේ තොරතුරු රටට හෙළි කරන්න කියලා මනුෂ නානායක්කාර මන්ත‍්‍රීතුමායි විපක්ෂ නායකතුමයි දෙන්නම පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළත් ආණ්ඩුව ඒ ගැන කිසිම තැකීමක් කළේ නෑ. ඇත්ත තොරතුරු රටට වංචා කරන එක ලොකු වරදක්... හරීන් ප‍්‍රනාන්දු කීවේය.
 
 ඉන්දියාවෙන් ගෙන්නපු සමහර කණ්ඩායම් නිරෝධායන නීති රීති වලට පිටින් නිදහස් කරගෙන තියෙනවා. ඉන්දියාවෙන් ගෙන්නපු පිරිස් නිරෝධායනය කළා නම් ඒවාට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සම්බන්ධ විය යුතුයි. නමුත් ඒ කිසිවකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සම්බන්ධ වෙලා නැති බවයි පේන්නේ. මනුෂ තමන් දන්නා තොරතුරු හෙළි කළේ ය.
 
 අපි මේ වෙලාවේ කොරෝනාවලින් විපතට පත් වෙලා ඉන්න අයගේ ලැයිස්තුව අරන් තොරතුරු මූලාශ‍්‍ර හදා ගන්න ඕන සජිත් කීවේ ය.
 
 ”ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා තිබෙන ප‍්‍රදේශවල ජනතාව ගැන සොයා බලන්න. එදිදෙනා ආදායම් උපයපු අයට රැකියාව කර ගැනීමට නොහැකිව අසරණ වෙලා ඉන්නවා. ඇඳිරිනීතිය දාන වෙලාවේ අතේ රුපියල් හයසීයක් තිබුණා. දැන් තියෙන්නේ රුපියල් දහයේ කාසි දෙකක් විතරයි, පොඩි අය කන්න ඉල්ලනවා. කරගන්න දෙයක් නැතිව ඉන්නවා” කියලා ගම්පහ පැත්තේ කෙනෙක් කියනවා රූපවාහිනී නාලිකාවක පෙන්නුවා” විපක්ෂ නායකවරයා කීවේ කොරෝනා නිසා අසරණවූ ජනතාව
 ගැන සිහිපත් කරමින්ය.
 
 ”රුපියල් පන්දාහේ දීමනාව කොරෝනා නිසා අසරණවූ අයට දෙන්න ආණ්ඩුවේ කිසිම සූදානමක් නෑ” පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
 
 ”ගිය පාර රුපියල් පන්දාහේ දීමනාව දුන්නේ ඡන්දය බලාගෙන. ඒකත් සමෘද්ධි අරමුදලේ සල්ලිවලින් දුන්නේ. තවම ආණ්ඩුවෙන් ඒ මුදල් සමෘද්ධි අරමුදලට පියවලා නෑ. දැන් ඡන්දයක් නැති නිසා වෙන්න ඇති ආණ්ඩුව ජනතාවට සහන ලබාදෙන්නේ නැත්තේ. පටු දේශපාලන වාසි ගැන කල්පනා කරන මේ ආණ්ඩුව ජනතාවගේ දුක හඳුනන්නේ නෑ. ඒ නිසා තමයි කොරෝනා අස්සේ හරි විසි වැනි සංශෝධනයක් සම්මත කරගන්න ආණ්ඩුව හදන්නේ” සජිත් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles