Divaina - රට කැලඹූ පාස්කු ප‍්‍රහාරයේ සැකකරු නිදහස් කිරීම සහ වවුනියාවේ අතට අත දීම!

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

rishad

 


 
 
සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාර්ඞ් බදුර්දීන් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය ක‍්‍රියාකරන ආකාරය පිළිබඳව රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ ප‍්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ, සිවිල් සමාජය සහ ජනමාධ්‍ය අවධානය යොමු කළ යුතුය. බදුර්දීන් වර්ධනය වෙමින් පවතින දේශපාලන අස්ථාවරභාවයට ප‍්‍රධානතම හේතුවකි. පාර්ලිමේන්තුවේ සහ එයින් පිටත ස්ථාවරභාවයට බදුර්දීන් මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
 
 රජය බදුර්දීන් සමග මහ මැතිවරණයෙන් පසුව දේශපාලන එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වකරුවන් පවා අවධානය යොමු කළ බවට ජනතාව දැනුවත්ය. ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය මහ මැතිවරණයට පෙර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණියේය. එයින් ප‍්‍රධානතම කරුණක් වූයේ කිසිදු තත්ත්වයක් යටතේ බදුර්දීන් වැන්නවුන් සමග දේශපාලන එකතුවීමකට තමන් තරයේ විරුද්ධ බවයි.
 
 බදුර්දීන් සම්බන්ධයෙන් ඇති වූ ප‍්‍රශ්නය ප‍්‍රබල දේශපාලන අර්බුදයක් වූයේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මෑතකදී වවුනියාවේ සංවිධානය කර තිබූ උත්සවයකදී බදුර්දීන් සමග ඉතාමත් මිත‍්‍රශීලී ආකාරයෙන් හමුවීම මාධ්‍ය වාර්තා කිරීමත් සමගයි. එම අවස්ථාවේදී ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් කමල් ගුණරත්න කළ කෙටි කතාවේදී බදුර්දීන්ගේ නම සඳහන් කිරීම ද කතා බහට ලක්විය. ආරක්ෂක ලේකම්වරයා ද ‘බදුර්දින් මෙහෙයුමට’ සම්බන්ධ කිරීමට යම් උත්සාහයක් ගෙන තිබිණි. තත්ත්වය කෙතරම් බැරෑරුම් වූයේද කිවහොත් ආරක්ෂක ලේකම්වරයාට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තමන් වවුනියාවේදී කළ කතාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමට සිදුවිය.
 
 අමාත්‍ය චමල් රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් බදුර්දීන්ට අතට අත දීම ජනතාව අතර කතාබහට ලක්විය. ඒ කොරෝනා සමයේ පුද්ගලයින් දෙදෙනකු අතර මීටරයක දුරස්ථභාවය රැක ගැනීම අත්‍යවශ්‍ය බව රජය පුන පුනා පැවසූ නිසා නොවේ. මෙම අතට අත දීම සිදුවූයේ ‘බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර’ අහම්බයෙන් හසුවීමට පෙරය. නමුත් බ‍්‍රැන්ඩික්ස් සේවකයින් එම අවස්ථාවේ කොරෝනා වෛරසයට ගොදුරු වී සිටි ඇති බව දැන් සනාථ වී තිබේ. තම අමාත්‍යවරයා බදුර්දීන්ට අතට අත දීම හේතුවෙන් එම අමාත්‍යංශයේ ලේකම්වරයාට ද ඔහු අනුගමනය කිරීමට සිදු වූ බව නිගමනය කළ හැක. කෙසේ වෙතත්, වවුනියාවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ බදුර්දීන් හමුව රජයට බරපතළ ගැටලූවක් වූයේ තව්හිඞ් ජමාත් එල්ල කළ 2019 අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරයට නායකත්වය දුන් සහාරන් හෂීම් සමග කිට්ටු සම්බන්ධතාවක් පැවැත්වූ බවට චෝදනාව මත මාස 5 ක් රහස් පොලිසියේ අත්අඩංගුවේ පසු වූ බදුර්දීන්ගේ සහෝදර රියාජ් උසාවියකට ඉදිරිපත් නොකරම නිදහස් කර තිබීම දේශපාලන කුණාටුවක් දක්වා වර්ධනය වීම තුළය. පොලිසිය භාර අමාත්‍යවරයා සහ බදුර්දීන් වවුනියාවේ ඔක්තෝබර් 1 දින සිනහමුසු මුහුණින් මාධ්‍ය ඉදිරියේ හමුවන්නේ රියාජ් නිදහස් කිරීමේ පසුබිම තුළය.
 
 මෙහිදී නිතැතින්ම පැනනැගෙන ප‍්‍රශ්නය රහස් පොලිසිය රියාජ්ව නිදහස් කිරීමට වසරකටත් වැඩි කාලයක් වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරන සී.ඞී. වික‍්‍රමරත්නගෙන් තම තීරණය පිළිබඳව විමසුවාද? එලෙසම, පොලිසියේ නීති අංශයෙන් විමසීමක් කළාද? සහ ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් යම් පුද්ගලයකු නිදහස් කිරීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රියා පටිපාටිය අනුගමනය කළාද?
 
 රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ සහ රියාජ් සම්බන්ධයෙන් මාස හයක් තුළ හාත්පසින්ම වෙනස් අදහස් දෙකක් ඉදිරිපත් කළ නීතිඥ පොලිස් ප‍්‍රකාශක එස්. එස්. පී. ජාලිය සේනාරත්න එම තනතුරුවලින් පහ කිරීම ඇතිවී තිබෙන අර්බුදයට පිළියමක් නොවේ. අත්අඩංගුවේ පසුවන ත‍්‍රස්තවාදී සැකකරුවකු නිදහස් කිරීමේ අවශ්‍යතාවයක් රහස් පොලිසියට නැත. කිසිදු පොලිස් ප‍්‍රකාශකයකුට අහිංසකයකු, ත‍්‍රස්තවාදියකු ලෙස හංවඩු ගැසීමටත්, ත‍්‍රස්තවාදියකු නිදහස් කිරීමටත් පෞද්ගලික අවශ්‍යතාවයක් නැත. නීතිඥයකු වන එස්. එස්. පී. සේනාරත්න පවතින නීති රාමුව තුළ ක‍්‍රියාකිරීමට දන්නා බවට සැකයක් නැත. පොලිසිය නීතිය ‘නමන්නේ’ දේශපාලන අධිකාරියට අවශ්‍ය ලෙසට බව අමුතුවෙන් කිව යුතු නොවේ. රියාජ් නිදහස් වීම පසුබිම තුළ බදුර්දීන් පොලිසිය භාර අමාත්‍ය චමල් රාජපක්ෂට අතට අතදීම/ චමල් රාජපක්ෂ බදුර්දීන්ට අතට අත දීම විමසා බැලිය යුත්තේ සමස්ත චිත‍්‍රයම අවධානයට ගැනීමෙනි. එම චිත‍්‍රය අවලස්සනය. තත්ත්වය දූෂිතය.
 
 යෝජිත 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීමට බදුර්දීන් සමග කුමන තත්ත්වයක් යටතේ වුවද ගිවිසුම්ගත වීමට ශිෂ්ටසම්පන්න දේශපාලන පක්ෂයකට බැරිය.
 
 ජනාධිපතිවරයා තමන් කිසිදු ආකාරයක දේශපාලන ඞීල් එකක් බදුර්දීන් සමග නැති බව ප‍්‍රකාශ කළේය. එතුමාගේ ප‍්‍රකාශය ජනතාව අතර විශ්වාසය ඇති කළේය. නමුත් දේශපාලන අවශ්‍යතා මත විය නොහැක්කක් නොමැත. යෝජිත 20 වැනි සංශෝධනයට පාර්ලිමේන්තුවේදී අවශ්‍ය සහයෝගය ලබාගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ගිවිසුම් ගත විය හැක්කේ 2020 අගෝස්තු මහ මැතිවරණයෙන් තේරී පත්වූ පක්ෂ සමග සහ එම පක්ෂ කඩාගෙන රජයට එක්වීමට සූදානම් මහජන නියෝජිතයින් සමගය. බදුර්දීන්ගේ කණ්ඩායම ඒ අතර වීම දේශපාලන යථාර්ථයයි.
 
 කෙසේවෙතත් බදුර්දීන් සමග යම්කිසි දේශපාලන අවශ්‍යතාවයක් (යෝජිත 20 වැනි සංශෝධනය ලෙස උපකල්පනය කරන්න.) ඉටුකර ගැනීමට සන්ධානගත වීම රජය තුළ බරපතළ අර්බුදයක් ඇති කිරීමට හැකිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂගෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට පත්වූ මහජන නියෝජිතයින්ගෙන් 100 කට වැඩි ගණනක් රිෂාඞ්ගේ සොහොයුරු රියාජ් රහස් පොලිසිය පිට පාරෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලීම ඇත්ත වශයෙන්ම බරපතළ තත්ත්වයකි. මීට පෙර කිසිදු රජයක පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය රහස් පොලිසිය ගත ක‍්‍රියා
 
 මාර්ගයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් හෝ අගමැතිවරයාගෙන් පරීක්ෂණයක් ඉල්ලා නැත. එම පෙත්සම පළමුවෙන්ම අත්සන් කර තිබෙන්නේ අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේය.
 
 පාස්කු ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයකු සමග සම්බන්ධතා පැවැත්වූ, තවත් තව්හිඞ් මිනීමරුවකු කොළඹ හෝටලයකදී ප‍්‍රහාරය එල්ල කිරීමට දින කීපයකට පෙර මුණ ගැසුණු බවට 2020 අපේ‍්‍රල් 15 දින පොලිස් ප‍්‍රකාශකගේ චෝදනාවට ලක්වූ රියාජ් සැප්තැම්බර් 30 දින රහස් පොලිසිය නිදහස් කළේ කුමන පදනමක සිටදැයි මැති ඇමැතිවරු ප‍්‍රශ්න කිරීම ඉතාමත් යහපත් ප‍්‍රවණතාවයකි. එජාප නායකත්වය 2015 පෙබරවාරි 27 දින පළමු මහ බැංකු බැඳුම්කර වංචාව ක‍්‍රියාත්මක කළ අවස්ථාවේ එම පක්ෂය ඇතුළත යම් ප‍්‍රමාණයක විරෝධතාවයක් ඇතිවූයේ නම් එජාපය 2020 අගෝස්තු මහ මැතිවරණයේදී මන්ත‍්‍රීවරු 106 සිට 1 කට බහින්නේ නැත. පක්ෂය/පක්ෂ නායකත්වය වැරදි පාරක යනවා නම් පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය නිවැරදි ස්ථාවරයක සිට කටයුතු කළ යුතුය. බහුතරය සිටින්නේ වැරදි මතයක නම්, යම් ස්ථාවරයක් ගත හැකි කණ්ඩායම නිවැරදි මාර්ගය පෙන්වා දිය යුතුය. යෝජිත 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සිදුවිය යුතු නිවැරදි කිරීම් පෙන්වා දීම යහපත් තත්ත්වයකි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර කණ්ඩායම ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පෙන්වා දුන්නේ රියාජ් පාස්කු ප‍්‍රහාරය ක‍්‍රියාත්මක කිරීමට පෙර සහරාන් හෂීම්ට ඉන්දියාවට මුහුදු මාර්ගයෙන් පැන යෑමට උදව් කර ඇති බවයි. එවකට හමුදාපති ලූතිනල් ජනරාල් මහේෂ් සේනානායක 2019 ඔක්තෝබර් 8 වන දින පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමසා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ කළ ප‍්‍රකාශයක් මත එම මන්ත‍්‍රී කණ්ඩායම එලෙස තම පෙත්සමේ සඳහන් කර තිබිණි. මෙහිදී විශේෂයෙන්ම පෙන්වා දිය යුත්තේ විශ‍්‍රාමික ජනරාල් සේනානායක පසුගිය සතියේ රියාජ් සම්බන්ධයෙන් කළ චෝදනාව පාස්කු ප‍්‍රහාරය විමසා බලන ජනාධිපති කොමිසම ඉදිරියේදී නැවතත් තහවුරු කළ බවයි.
 
 පොහොට්ටුව මන්ත‍්‍රී කණ්ඩායම බල කරන්නේ රියාජ් නැවතත් අත්අඩංගුවට ගත යුතු බවයි. රජය ප‍්‍රබල අභියෝගයකට මුහුණ දී සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. යෝජිත 20 ට බෙදුන ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම, එම සංශෝධනය සම්මත කර ගැනීමට අනුගමනය කරන දේශපාලන ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් ද එක මතයක නැති බව පැහැදිලිය. යෝජිත 20 වැනි සංශෝධනය සහ බදුර්දීන් සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් අනුගමනය කළ ක‍්‍රියාමාර්ගය ඉතාමත් දූෂිත ශ‍්‍රී ලංකා දේශපාලනයේ රිදී රේඛාවක් ලෙස හඳුන්වා දිය හැක. එම මන්ත‍්‍රීවරුන්ට සහ ඔවුන්ට ශක්තියක් වූ පාර්ලිමේන්තුවෙන් පිටත ශක්තියක් වූ සියලූ දෙනාටම ජනතාවගේ ප‍්‍රණාමය හිමිවිය යුතුය. මන්ත‍්‍රීවරු එම ලිපිය භාර දුන්නේ චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී බදුර්දීන්ගේ සහෝදරයා වරදක් කර නැති බවත් ඔහුගේ ත‍්‍රස්තවාදී සම්බන්ධතා පිළිබඳව නව තොරතුරු ලැබුණොත් නැවත අත්අඩංගුවට ගන්න බවට පාර්ලිමේන්තුවේදී සහතික වීමෙන් පසුවය.කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ එරාන් වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා රියාජ් නිදහස් කිරීම අනුමත කර ඇත. පාස්කු ප‍්‍රහාරය වන අවස්ථාවේ එජාප රාජ්‍ය ඇමැති ධුරයක් දැරූ වික‍්‍රමරත්න අද ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකි. මෙවැනි කතා එජාපය බිංදුවටම බැස්සූ බව සමගි ජන බලවේගයේ නායකත්වය තේරුම් ගත යුතුය.
 
 පළමුවරට රිෂාඞ් බදුර්දීන් පාර්ලිමේන්තුවට 2001 දී තේරී පත්වන්නේ එජාපයෙනි. රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ බදුර්දීන් වන්නි දිස්ත‍්‍රික්කයේ එජාප ලැයිස්තුවට ඉදිරිපත් කරන්නේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ සාමාජිකයකු ලෙසය. රිෂාඞ් බදුර්දීන් නැවතත් 2004 දී මහ මැතිවරණයේදී වන්නි දිස්ත‍්‍රික්කයට පත්වන්නේ එජාප ලැයිස්තුව හරහාය. ඒ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය කළ යෝජනාවක් අනුවය. නමුත් 2004 දී එජාපය පරාජය වීමත් සමග, එජාපයෙන් තේරී පත්වූ මුස්ලිම් මන්ත‍්‍රීවරු කිහිප දෙනෙකු සමඟ චන්ද්‍රිකා කුමාරතුංග රජයට එකතුවන එම කණ්ඩායම කැබිනට් නොවන අමාත්‍ය ධුර ලබා ගත්තේය. තමන්ගේම දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා එම කණ්ඩායම, 2010 දී ශ‍්‍රී ලංකා මක්කල් කොංග‍්‍රස් නාමය යටතේ ශ‍්‍රීලනිපය නායකත්වය දෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කොටස්කරුවන් වූ බව ජනතාවට මතකය. බදුර්දීන්ට වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය 2010 දී ලැබිණි. ඔහු මෛත‍්‍රිපාල සිරිසේන සමඟ 2014 දී එජාපයට එකතු විය. එජාපය මෛත‍්‍රිපාල සිරිසේන මෙහෙයවිය. ජනාධිපතිවරණය ද මහමැතිවරණය ද යහපාලන කණ්ඩායම සතු විය.
 
 2010-2015 කාලයේදී බදුර්දීන්ට එරෙහිව විල්පත්තුව විනාශ කිරීම ඇතුළු චෝදනා ගොන්නක් නැඟූ, එජාපය බදුර්දීන්ට වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය නැවතත් පූජා කළේය. පාස්කු ප‍්‍රහාරය සිදු වනතුරුම එම අමාත්‍යංශය බදුර්දීන් යටතේ විය.
 
 පාස්කු ප‍්‍රහාරයෙන් පසුව පැවති පළමුවන මහ මැතිවරණයේදී බදුර්දීන් සජිත් පේ‍්‍රමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්විය. බදුර්දීන්ට එරෙහිව පළමුවරට ප‍්‍රබල හෙළිදරව්වක් කළේ ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක ය. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් යුද හමුදාව අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දුන් පුද්ගලයකු සම්බන්ධයෙන් එවකට අමාත්‍ය ධුරයක් දැරූ බදුර්දීන් තමාගෙන් කිහිප වාරයක් විමසා සිටිය බව හමුදාපතිවරයා ප‍්‍රකශ කළේය. අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා එජාපයෙන් පත් වූ තවත් ඇමතිවරයකුගේ උපදේශකයකුගේ පුත‍්‍රයකු බවද හමුදාපතිවරයා හෙළි කළේය. බදුර්දීන්ගේ සහෝදරයා රියාජ් සහරාන් හෂීම් සමග සම්බන්ධතා පැවැත්වූ බවට හෙළි කරන්නේද හමුදාපතිවරයාය. යුද හමුදාපතිවරයාට අමතරව බුද්ධි අංශයේ නිලධාරියකු ද හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා සහරාන් හෂීම්ට ඉන්දියාවට පැන යාමට උදව් කළ බවට ජනාධිපති කොමිසම ඉදිරියේ පවසා ඇත. මෙම සියලූ චෝදනා විමසා බැලිය යුතු වන්නේ පොලිස් ප‍්‍රකාශක සේනාරත්න පසුගිය ජුලි මාසයේ කළ අතිශයින්ම ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්ද සැලකිල්ලට ගැනීමෙනි. මෙම ලියුම්කරු ද එම මාධ්‍ය හමුවට සහභාගී විය.
 
 මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ 2020 ජුලි 10 දින දහවල් පොලිස් මූලස්ථානයේදීය. පාස්කු ප‍්‍රහාරයට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසූ වැල්ලම්පිටියේ ‘කොලෝසස්’ තඹ කර්මාන්ත ශාලාවට අවශ්‍ය තඹ ලබාදීමට අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස බදුර්දීන් කටයුතු කළේ එම ත‍්‍රස්තවාදී කණ්ඩායමේ සැලසුම් දැනගෙන ද යන බව විමර්ශනයට ලක්වී ඇති ආකාරය ඔහු පෙන්වා දුන්නේය. එම කර්මාන්ත ශාලාවෙන් උපාය ගත් ලාභයෙන් කොටසක් ප‍්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමට ලබා දුන් බවද ඔහු පැවසීය. එහි හිමිකරු ඉන්සාෆ් අහමඞ්, 36 (සිනමන් ග‍්‍රෑන්ඞ් ප‍්‍රහාරය එල්ල කළ) සහ ඔහුගේ සහෝදර ඉල්හාම් ඉබ‍්‍රහිම් , 38, (සහරාන් හෂීම් සමග ශැන්ග‍්‍රිලා ප‍්‍රහාරය) එල්ල කළ බදුර්දීන්ගේ සම්බන්ධතාවය පොලිසියේ අවධානයට ලක්වූවාට සැක නැත. එම ‘සුපිරි’ පවුලේ පියා, වයි. එම්. ඉබ‍්‍රහිම්ය. අද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන ඔහු 2015 මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුවේ සිටිය බව අද බොහෝ දෙනාට මතක නැත. ශ‍්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයකු වූ ඉබ‍්‍රහිම් කුළුබඩු අපනයනකරුවෙකි. ඉබ‍්‍රහිම් ජවිපෙ ජාතික ලැයිස්තුවට ඇතුළත් වූ පදනම අදටත් පැහැදිලි නැත.
 
 බණ්ඩාර ද ‘කොලෝසස්‘ කර්මාන්ත ශාලාවට තඹ ටොන් 500 ලබාදීමට කටයුතු කරන්නැයි අදාළ ආයතනයට 2018 ජුනි 6 වන දින ලිපියක් ලියා තිබේ. මෙම ලියුම්කරු පොලිස් ප‍්‍රකාශකගෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කුරුණෑගලට තරඟ කරන ශාන්ත බණ්ඩාර ගෙන් ද ‘කොලෝසස්’ සම්බන්ධතා පිළිබඳව ප‍්‍රශ්න කරනවාදැයි විමසීය. ජනාධිපති කාර්යාලයේ ශීර්ෂය යටතේ ලිපියක් නිකුත් කළාට අදාළ තඹ ටොන් 500 ‘කොලෝසස්’ කර්මාන්ත ශාලාවට ලබාදී නැති බව ඔහු පැවසීය. අද ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ශාන්ත බණ්ඩාරට එම ලිපිය ලිවීමට උපදෙස් දුන්නේ කවුද? එම ඉල්ලීම කලේ කවුරුද? ජනාධිපති සිරිසේන මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් දැන සිටියාද?
 
 එවකට අගමැති වික‍්‍රමසිංහ 2019 ජුලි තමන්ට ලැබුණු රහස්‍ය පොලිස් වාර්තාවක් මත බදුර්දීන් පාස්කු ප‍්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැති බව ප‍්‍රකාශ කළේය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය 2020 ජුලි 15 දින ලිපියකින් වැඩබලන පොලිස්පතිගෙන් ඉල්ලා සිටියේ 2020 අගෝස්තු 10 දක්වා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තාවකාලිකව නතර කිරීමටයි. ඒ බදුර්දීන්ට ඡන්ද ව්‍යාපාරයේ යෙදීමට අවස්ථාව දීමටයි. බදුර්දීන්ගේ කතාවේ නවතම කොටස 20 වැනි සංශෝධනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කරන මෙම අවස්ථාවේ දැක බලාගත හැකිය.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles